lakbima.lk

සම්ප්‍රදාය වෙනස් කළ හැරි-මෙගන් විවාහය

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මෙගන් මාර්කල් අතර විවාහය අති උත්කර්ෂවත් අයුරින් පවත්වා දින කිහිපයක් ගතව ඇතත් තවමත් ඒ පිළිබඳ කතාබහ නම් අඩුවක් නැත. එයට එක් හේතුවක් වී ඇති බව පෙනෙන්නේ රජ පවු‍ලේ සම්ප්‍රදායන් තුළ මෙම විවාහය කිසියම් වෙනසක් සළකුණු කළ එකක් වීමයි. සමහරුන් මෙය සලකන්නේ බ්‍රිතාන්‍ය රජ පවුල 21 වෙනි සියවස වෙත ගෙන ආ විවාහයක් ලෙසිනි. එයට හේතුව නම් රජ පවු‍ලේ සාමාන්‍ය සම්මතයන්, සම්ප්‍රදායන් රැසක් කාලයට අනුව වෙනස් කිරීමට මේ දෙදෙනාගේ විවාහයට හැකි වීමයි. 
ඉතා සාමාන්‍ය යුවතියක වන මෙගන් රජ පවු‍ලේ සම්ප්‍රදායික ආකල්පයන්ට අනුව නම් 'පවුලට නොගැළපෙන' මනාලියක ලෙස සැලකිය හැකි කෙනෙකි. ඇය හැරීට වඩා වයසින් ද අවුරුදු තුනකින්  වැඩිමහල්ය. හැරී ට වයස අවුරුදු 33ක් වන අතර මෙගන්ගේ වයස 36කි. එමෙන්ම ඇය මෙයට කලකට පෙර විවාහ වී සිට දික්කසාද වී සිටින කාන්තාවකි. (ඇගේ මුල් විවාහය සිදු වූයේ ටේ‍රවර් එන්ගල්සන් නමැති චිත්‍රපට නිෂ්පාදකයෙකු සමග 2011 දීය. 2013 දී ඔවුහු දික්කසාද වූහ.) මෙගන් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු නොව ඇමෙරිකානු ජාතික කාන්තාවක වීම ද තවත් විශේෂත්වයකි. ඇයගේ මව ඩෝරියා රැඩ්ලෑන් සහ පියා තෝමස් මාර්කල් ද සිටින්නේ දික්කසාදවය. ඔවුන් දික්කසාද වන විට මෙගන්ට වයස අවුරුදු 6ක් බව සඳහන් වේ. මෙගන්ගේ පියා සුදු ජාතිකයෙකු වනඅතර මව කළු ජාතික කාන්තාවකි. මේ නිසා සමේ වර්ණය අතින් ද මෙගන් 'පිරිසිදු' සුදු ජාතික කෙනෙකු ලෙස නොසැලකිය හැකි කෙනෙකි. ඇය පිළිබඳ තවත් විශේෂත්වයක් වන්නේ ඇය ඇමෙරිකානු ටෙලි නාට්‍ය නිළියක වීමයි. ඇය රඟපෑ ප්‍රසිද්ධම ටෙලි නාට්‍ය මාලාව වන්නේ 'සූට්ස්' (Suits) නැමති ටෙලි නාට්‍ය මාලාවය. හැරී බ්‍රිතාන්‍යයේ ප්‍රභූ සමාජය නියෝජනය කරද්දී මෙගන් ඇමෙරිකානු ‍පොප් සංස්කෘතියේ ජනප්‍රිය චරිතයක් වීමද ඔවුන් අතර ඇති වෙනස පෙන්නුම් කරන්නකි. මේ සියලු 'නොගැළපීම්' පිළිබඳව සලකා බලන කල ඇය රජ පවුලට ඇතුළත් වීමට සමත් වීම සැබැවින්ම ලොකු ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි අතර ඇය වැනි කෙනෙකු සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගැනීමට තරම් එඩිතර වීමෙන් හැරී ද සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇති බව පැවැසිය හැකිය.
රජ පවු‍ලේ සාමාන්‍ය සිරිත අනුව එහි සාමාජිකයෙකු හෝ සාමාජිකාවක වරක් දික්කසාද වූ කෙනෙකු සමග විවාහ වීමේදී මහ රැජින විවාහ උත්සවයට සහභාගි වන්නේ නැත. චාල්ස් සහ කැමිලා පාකර් අතර විවාහය සිදු වූ අවස්ථාවේ ද එළිසබෙත් මහ රැජින එම අවස්ථාවට සහභාගි නොවූවාය. නමුත් මෙවර ඇය ද එම සම්ප්‍රදාය නොසලකමින් සිය මුණුබුරාගේ විවාහ උත්සවයට සහභාගි වීම කැපී පෙනුණු වෙනසක් විය. මේ සියල්ල තුළින් පෙනී යන්නේ වර්තමානයේ පවතින යථාර්ථයන්ට අනුව හැඩ ගැසීමට රජ පවුලට කිසියම් දුරකට සිදුව ඇති බවයි. 
රජ පවු‍ලේ ආධිපත්‍යය තවදුරටත්  පිළිගත යුතුද වැනි කාරණා සම්බන්ධයෙන් මේ වනවිට බ්‍රිතාන්‍යය තුළ ලොකු සංවාදයක් පවතින බව ද මේ මොහොතේ අමතක කළ හැකි නොවේ. බ්‍රිතාන්‍යයේ මේ වනවිටත් රාජ්‍ය නායිකාව ලෙස පිළිගැනෙන්නේ මහ රැජිනයි. ජනතා ඡන්දයෙන් නොව පරම්පරා උරුමයෙන් පත්වන කෙනෙකු මේ ආකාරයෙන් රාජ්‍ය නායකයා/ නායිකාව නොවිය යුතු බවට ප්‍රබල අදහසක් කාලයක සිට සාකච්ඡාවට භාජනය වෙමින් තිබේ.  මෙවැනි විරෝධතා ද පවතින පසුබිමක  බ්‍රිතාන්‍යයේ සාමාන්‍ය වැසියන් වෙත වඩාත් සමීප වීමේ වුවමනාව ද රජ පවුල තුළ පවතින බව සඳහන් කළ හැකිය. හැරී සහ මෙගන් අතර විවාහය හරහා මෙම අරමුණ ද කිසියම් දුරකට ඉටු කර ගැනීමට රජ පවුලට හැකිව තිබෙන බව පෙනේ. මෙගන් වැනි ඉතා සාමාන්‍ය කෙනෙකු, වෙනස් කෙනෙකු රජ පවුලට සම්බන්ධ කර ගැනීමට තරම් නම්‍යශීලී වීම සාමාන්‍ය ජනතාවගේ ආදරය වඩාත් ඔවුන් වෙත යොමු කරන්නක් ලෙස සැලකිය හැකි වෙයි.
අද ලෝකය බොහෝ දුරට සංස්කෘතික විවිධත්වය, පුද්ගල විවිධත්වය පිළිගන්නා සහ එයට ගරු කරන ලෝකයක් බවට පරිවර්තනය වෙමින් තිබේ. මෙම කාලීන ප්‍රවණතාවන් සමග ගැළපීමට නම් රජ පවුල ද පෙරට වඩා යම් විවෘතභාවයක් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය වෙයි. නැතහොත් සිදු වන්නේ එය වර්තමාන බ්‍රිතාන්‍යයට නොගැළපෙන යල් පිනූ කෞතුක භාණ්ඩයක් පමණක් බවට පත්ව, කාලය සමග නොපෑහෙන  ආයතනයක් බවට පත් වීමයි. හැරී සහ මෙගන් අතර විවාහය නිසා මේ අතින් ද රජ පවුල යම් පියවරක් ඉදිරියට ගොස් ඇතැයි පැවැසිය හැකිය. අනාගතයට ගැළපෙන රජ පවුලක පැවැතිය යුතු ගුණාංග කමෛන් බ්‍රිතාන්‍ය රජ පවුල තුළට කාන්දු වෙමින් ඇති බවක් මේ තුළින් දැකිය හැකි වෙයි.
කොහොමටත් හැරී මෙන්ම මෙගන්ද සැලකෙන්නේ සාමාන්‍ය ජනතාව සම්බන්ධයෙන් ඉතා සමීප ආකල්පයක් ඇති දෙදෙනකු වශයෙනි. ඔවුන් ඉදිරියේදී රජ පවු‍ලේ සෙසු සාමාජිකයින්ට වඩා ජනතාවගේ ආදරය දිනාගත් යුවළක් බවට පත්වන ලකුණු දැනටමත් පහළ වී ඇති බවද පැවැසිය හැකි වෙයි.
මේ අතර විවාහයෙන් පසු හැරී සහ මෙගන් ගැන අලුත් තොරතුරු දැනගන්නට  කුතුහලයෙන් පසුවන බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත්තේ ඔවුන්ගේ මධුසමය ගැනය. ඔවුන් දෙදෙනා මධුසමය ටික කලකට කල් දමා ඇති බවක් පසුගිය දිනවල ප්‍රකාශයට පත් විය. මෙම සටහන ලියන අවස්ථාව වනවිටද ඒ පිළිබඳව නිශ්චිත දිනයක්, ස්ථානයක් ගැන නිල වශයෙන් ප්‍රකාශයට පත්ව තිබුණේ නැත.  ඇතැම් මාධ්‍ය වාර්තාවල පළවී තිබුණේ මධුසමය ගත කිරීම සඳහා රාජකීය යුවළ නැමීබියාව තෝරාගෙන ඇති බවයි. නැමීබියාව යනු ඉතා අඩු ජනගහනයක් සිටින රටකි. වැඩි කලබලයකින් තොරව, නිස්කලංකව කාලය ගත කිරීම සඳහාත්, මාධ්‍ය අවධානය අවම කර ගැනීම සඳහාත් ඔවුන් නැමීබියාව වැනි රටක් තෝරා ගන්නට ඇති බවද කියැවිණි. මේ අතර ඔවුන් දෙදෙනා නව නිවසක පදිංචියට යාමට සැරසෙන බවට ද තොරතුරු පළවී තිබේ. එය මේ වනවිට විලියම් සහ කේට් යුවළ පදිංචිව සිටින කෙන්සින්ටන් මාලිගයටම සම්බන්ධ නිවාසයකි. කෙන්සින්ටන් මාලිගය කොටස් කිහිපයකින් සමන්විත වන අතර හැරී සහ මෙගන් වෙනුවෙන් මේ දිනවල එහි එක් කොටසක පිහිටි නිවසක් අලුත්වැඩියා කෙරෙමින් ඇති බව සඳහන් වෙයි. මෙය කාමර 21 කින් සමන්විත සුවිසල් නිවසකි. විවාහයට කලින් ඔවුන් වාසය කළේ කාමර දෙකකින් පමණක් සමන්විත නොටිංග්හැම් කොටෙජ් (Nottingham Cottage) නමැති නිවාසයේය. එයද කෙන්සින්ටන් පරිශ්‍රයේම පිහිටා තිබෙන්නකි. විවාහයෙන් පසු ඔවුන් පළමු වරට රජ පවු‍ලේ නිල කටයුත්තකට සහභාගි වීමද පසුගිය 22 වෙනි දින සිදුවිය. එය ලබන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත චාල්ස් කුමරුගේ 70 වෙනි උපන් දින සැමරුම හා සම්බන්ධ කටයුත්තක් බව සඳහන් විය.
 
 කිත්සිරි මල්වත්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.