lakbima.lk

වියපත් පුද්ගලයන් ජපානයෙන් වැඩිපුර වාර්තාවන්නේ ඇයි?


ලෝකයේ පරමායුෂ වැඩිම රටවල් අතර  ඉදිරියෙන්ම සිටීමට මේ වනවිට ජපානය සමත්ව සිටින බව රහසක් නොවේ. ජපානයේ මෙම අපූරු සුවිශේෂත්වය නැවත වතාවක් සනාත කරමින් ලොව මේ වනවිට ජීවත්ව සිටින වයෝවෘද්ධම පුද්ගලයා යන නම්බු නාමයට පසුගිය දා යළිත් වරක් ජපන් ජාතික කාන්තාවක හිමිකම් කීවාය.
කේන් තනාකා නම් වන ඇයගේ වයස අවුරුදු 116කි. ඇය උපත ලබා ඇත්තේ 1903 වසරේ ජනවාරි 02 වෙනිදාය. 

ගිනස් ලෝක වාර්තා පිළිබඳ ආයතනය විසින් පසුගිය 9 වෙනි දින ඇය ලොව වයස්ගතම පුද්ගලයා ලෙස නම් කරනු ලැබිණි. ඇය මෙම වාර්තාවට හිමිකම් කීමට පෙර එයට හිමිකම් කියමින් සිටියේ චියෝ මියාකෝ නැමැති කාන්තාවකි. ඇයද ජපාන ජාතික කාන්තාවක වීම විශේෂත්වයකි. මියාකෝ 2018 වසරේ ජූලි මස 22 වෙනි දින මිය ගියාය. කේන් තනාකා මෙම වාර්තාවට හිමිකම් කියන්නට පටන් ගත්තේ එයින් පසුව ගිනස් වාර්තා පිළිබඳ ආයතනය විසින් කරන ලද විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙසිනි. මියාකෝ මියයන විට 117 වෙනි වියෙහි පසු වූවාය.

මියාකෝට කලින් මෙම වාර්තාව පිහිටුවා තිබුණේද ජපන් කාන්තාවකි. ඇය නබි තජීමා  නම් විය.
ලොව වියපත්ම පුද්ගලයා ලෙස අලුතෙන්ම තේරී සිටින තනාකා ජීවත් වන්නේ නිරිතදිග ජපානයේ පිහිටි ෆුකුඕකා නැමැති නගරයේ වැඩිහිටි නිවාසයකය. ඇයගේ වයස අවුරුදු 116 ක් වුවත් තවමත් ඇය හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සහ ක්‍රියාශීලී ගතියෙන් දිවි ගෙවන බව සඳහන් වෙයි. දිනපතා  අලුයම 6 ට අවදි වී දවසේ වැඩකටයුතු පටන් ගන්නා ඇය තමා මේ ආකාරයෙන් දීර්ඝායු විඳීමේ රහස ලෙස පෙන්වා දෙන්නේ හොඳින් ආහාර ගැනීම යි.

තවමත් තමාට හොඳ ආහාර රුචියක් ඇති බව ඇය පවසයි. තනාකාගේ පවු‍ලේ තරුණ සාමාජිකයෙකු පවසා තිබුණේ තනාකා දැඩි ආගමික භක්තියකින් හෙබි කාන්තාවක ද බවයි. සමහර විට මේ ඔස්සේ ඇය හිමි කරගත් මානසික සුවය ද ඇයගේ දිගු දිවියට හේතුවක් වන්නට ඇත. තනාකා ජපානයේ ප්‍රසිද්ධ ආගමක් වන ෂින්ටෝ දහම අනුගමනය කරන්නියකි.  සොබා දහම වන්දනා කිරීමද මෙම දහමේ එක් ලක්ෂණයකි.

තනාකා උපත ලබා ඇත්තේ ක්‍යුෂු නැමැති දිවයිනේ කසුකි නැමැති ගම්මානයේ ය. ඇය නිසි කාලයට කලින් (නොමේරූ දරුවෙකු ලෙස) උපත ලැබූ කෙනෙකු බව ද සඳහන් ය.  මේ නිසා ඇය ‍පෝෂණය කිරීම සඳහා ඇයගේ මවට අමතරව තවත් කාන්තාවන් ද කිරි ‍පොවා ඇති බැව් පැවැසේ.


ඇයගේ ජීවිත කතාවේ තවත් විශේෂ කාරණයක් වන්නේ වරක් ඇය පිළිකා රෝගයට ද ගොදුරුව තිබිමයි. ඒ වනවිට ඇයගේ වයස අවුරුදු 103 ක් වූ බව සඳහන් ය. බඩවැලෙහි හටගත් පිළිකාවකින් පීඩා විඳිමින් සිටි තනාකා කෙසේ හෝ එයින් සුව වීමට වාසනාව ලැබුවාය. ඇයගේ පුතෙකු  තනාකා  පිළිබඳව ‍පොතක් ද ලියා තිබේ. ඇයගේ ජීවිත අත්දැකීම් ගැන මෙන්ම ඇය දීර්ඝායුෂ විඳීමේ රහස් ගැන ද එම ‍පොතෙහි සඳහන් වන බව පැවසේ.
ජපාන වැසියන් මේ ආකාරයෙන් දීර්ඝායු සම්පත් විඳීමේ රහස ගැන විවිධ අදහස් පළවෙයි.

බොහෝ දෙනෙකු පෙන්වා දෙන්නේ එම වැසියන්ගේ, විශේෂයෙන් ගැමි ප්‍රදේශවල වැසියන්ගේ ආහාර රටා සහ ජීවන රටාව මෙයට ප්‍රධාන හේතුවක් බවයි. ඔවුන්ගේ ආහාර බොහෝ දුරට සමන්විත වන්නේ මාළු, ධාන්‍ය, බත්, එළවළු ආදියෙනි. මේවායින් සමන්විත ඉතා සමබර ආහාර වේලක් ගැනීමට ජපන් ජාතිකයන් බොහෝ දෙනෙකු හුරු වී සිටින බව පැවැසේ.

මේ අතර, මේ වනවිට 'ලොව වයස්ගතම පිරිමි පුද්ගලයා' යන වාර්තාව සඳහා ඇබෑර්තුවක්'' පවතින බව ද සඳහන් වෙයි. මෙයට කලින් එම වාර්තාවට හිමිකම් කියමින් සිටියේ ද ජපාන ජාතිකයෙකි. මසාසෝ නොනාකා නම් වූ ඔහු හොකයිඩෝ දිවයිනේ ජීවත් වූවෙකි. පසුගිය ජනවාරි මාසයේ ඔහු මිය යන විට 113 වෙනි වියෙහි පසු විය. කෙසේ වෙතත් ලොව වියපත්ම පුද්ගලයා ලෙස සිටි මියාකෝගේ අභාවයෙන් පසු එම වාර්තාවට හිමිකම් කීම සඳහා තනාකාට අමතරව තවත් පුද්ගලයන් දෙදෙනෙකු ඉදිරිපත් වී තිබිණි.

ඒ හොසේ ෆෙරෙයිරා ඩොස් සැන්ටොස් නැමැති බ්‍රසීල ජාතික පිරිමියෙකු සහ කොකු ඉස්තාම්බුලොවා නැමැති රුසියානු ජාතික කාන්තාවකි. හොසේ ෆෙරෙයිරා පවසන්නේ මේ වනවිට තමාගේ වයස අවුරුදු 118 ක් බවයි. ඉස්තාම්බුලොවා පවසන ආකාරයට ඇයගේ වයස අවුරුදු 129 කි. තමුන්ගේ වයස් සනාථ කිරීමට උප්පැන්න සහතික සහ ගමන් බලපත්‍ර වැනි ලිපි‍ලේඛන ඔවුන් ඉදිරිපත් කර ඇතත් මේවා සම්බන්ධයෙන් තවමත් ගිනස් වාර්තා ආයතනය අවසන් තීරණයක් ගෙන නොමැති බව පැවැසේ.

හොසේ ෆෙරෙයිරාගේ උප්පැන්න සහතිකය ලෙස ඉදිරිපත් කර ඇති ‍ලේඛනයේ ඔහු ගේ උපන් දිනය සඳහන් වන්නේ 1900 නොවැම්බර් 9 ලෙසිනි. ඉස්තාම්බුලොවා තමාගේ විදෙස් ගමන් බලපත්‍රයක් සහ විශ්‍රාම සහතිකයක් යැයි පැවැසෙන ‍ලේඛන දෙකක් ඉදිරිපත් කර තිබෙන අතර ඒවායේ සඳහන් වන ආකාරයට ඇයගේ උපන් දිනය 1889 ජුනි 1 වෙනිදා ය.  යම් හෙයකින් ඉදිරියේදී මෙම ‍ලේඛන ගිනස් වාර්තා ආයතනය විසින් පිළිගනු ලැබුවහොත් දැනට පවතින වාර්තාවල වෙනස්කම් සිදුවීමට බොහෝ දුරට ඉඩ තිබේ.

කිත්සිරි මල්වත්ත

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.