lakbima.lk

රුසියාව අන්තර්ජාලය ක්‍රියා විරහිත කිරීමේ සූදානමක

අන්තර්ජාලය හා සමාජ මාධ්‍යවලින් ඒවා භාවිතාකරන ඇතැමෙකුගේ ක්‍රියා කලාපය නිසා හොඳකට වඩා නරකක් සිදුවන බව දැන් කාලයක සිට පවතින කතිකාවකි. පෞද්ගලිකව තම හිතවතුන්ට පවා ඔවුන්ගේ ගිණුම්වලට රහසින් ඇතුළු වෙමින් කරන කරදරවලට අමතරව දේශපාලනික වශයෙන්ද විරුද්ධ දේශපාලන අදහස් ඇති අය කරන මඩගසා ගැනීම් විශේෂයෙන් වර්තමානයේදී සුලභව දක්නට ලැබේ. මේවා ඇතැම් විට සත්‍යය නොව පෞද්ගලිකව පවා අදාළ චරිතවලට ද්වේෂ සහගතව කෙරෙන මඩගැසීම්ය.

මේ ඇතැම් සමාජ මාධ්‍ය “‍පෝස්ට්” දැන උගත් අය විසින් පවා ඉවක් බවක් නැතුව බෙදාහදා ගැනීමද දක්නට ලැබෙන තවත් අහිතකර බලපෑමකි. අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය හරහා තමන්ට සිදුකරන හිරිහැරයක් ගැන පැමිණිලි කිරීමට පසුගියදා එම අංශයට ගිය මගේ හිතවතෙක් කියා සිටියේ පවුල් පිටින් වී ශේෂයෙන් තම තරුණ දුවා, දරුවන්ට සිදුකරන සයිබර් අවකාශයේ හිරිහැර ගැන පැමිණිලි කිරීමට පැමිණ සිටි සිය ගණන් පිරිස්වලින්ම මෙය වසංගතයක් මෙන් පැතිර යන ආකාරය සිතාගත හැකි බවය.

මෙම තත්ත්වය කෙතරම් අහිතකරදැයි දැක්වෙන ජාත්‍යන්තර උදාහරණ දෙකක්ද පසුගිය සතියේ වාර්තා විය. ඉන් එකකින් කියැවුණේ අන්තර්ජාලය හරහා සිදුවන අහිතකර බලපෑම නිසා තම රට තුළ එය ක්‍රියාවිරහිත කිරීමට රුසියාව සිතා බලන බවය. මෙහිදී සමාජ මාධ්‍ය හා අන්තර්ජාලයේ යූ ටියුබ් හරහා පෞද්ගලිකව කරන හිරිහැරවලට අමතරව විශේෂයෙන් ප්‍රකට පුද්ගලයන් ගැන අසත්‍ය තොරතුරු පැතිර වීම හා විෂය කරුණුූ ගැන ඒ සම්බන්ධ දැනුමක් නැති අය විසින් පළකරන අසත්‍ය තොරතුරුද සලකා බැලෙයි. විශේෂයෙන් සෞඛ්‍යමය කරුණු ගැන වැරදි තොරතුරු පළකොට මිනිසුන් වෛද්‍යවරුන් වෙත අද්දවා ගැනීමට උත්සාහ කරන ඇතැම් වබේ අඩවි නිසා වෙන කවරදාටත් වඩා ඒ කියවන ජනතාව මානසිකව  ඇදවැටෙ න බව සත්‍යයක් වන අතර මෙය ඔවුන් කායික වශයෙන් රෝගී කරවන බව සමාජ විශ්‍ලේෂකයන් පෙන්වා දී තිබේ.

මෙහිදී රුසියාව උත්සාහ කරන්නේ තාවකාලිකව අන්තර්ජාලය ඉවත්කොට වඩා විධිමත් හා ආරක්ෂක සැලැස්මක් යටතේ එය ක්‍රියා කරවීමටය. මෙහිදී තම රට තුළ සංසරණය වන තොරතුරු රට තුළ හා රටේ ජනතාව තුළ පමණක් හුවමාරු වී එය ජාත්‍යන්තරය වෙත යැවීමේදී දැඩි ආරක්ෂාවක් සහි තව එය කිරීමටද රුසියානු රජය බලා‍පොරොත්තු වෙයි. ලබන අප්‍රේල් පළමුවැනිදාට පෙර මෙම ක්‍රියාවලිය සිදුකිරීමට ඔවුහු බලා‍පොරොත්තු වෙති.

පෙර සඳහන් කළ දෙවැනි කරුණ වාර්තා වූයේ ප්‍රංශයෙනි. මෙහිදී එක්තරා සංවිධානාත්මක කණ්ඩායමක් කාන්තාවන් ඉලක්කකොට අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය හරහා හිරිහැර සිදුකිරීමේ තත්ත්වයක් කලක සිට වාර්තා වී තිබූ අතර පසුගිය දිනයක සියලුදෙනා පුදුමයට පත්කරමින් හෙළිවූයේ මෙය සිදුකරන්නේ මාධ්‍යවේදීන් පිරිසක් බවය.

මුහුණු‍පොත හරහා සංවිධානය වූ මේ පිරිස අතර ‍‍‍ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ද සිට ඇති අතර මේ වනවිට ඔවුන් රැකියාවෙන් අස්කර හා ඇතැමෙකුගේ වැඩ තහනම් කර ඇති බව පැවැසෙයි. කාන්තාවන් දූෂණය කරන බවට හා ඇතැම් අවස්ථාවලදී ඔවුන්ගේ මුහුණු යොදා අසභ්‍ය ඡායාරූප සකස් කරමින් මෙම නීති විරෝධී ක්‍රියාවෙහි යෙදුණු ඔවුන් ඉලක්ක කරගත් කාන්තාවන් අතර මාධ්‍යවේදිනියන්ද සිටින බව හෙළි වී තිබේ. එරට ප්‍රකට පුවත්පතක් වූ ලිබරේෂන් විසින් මෙම හෙළිදරව්ව කිරීමෙන් පසු මේ සම්බන්ධයෙන් කාන්තාවන් තම දැඩි විරෝධය පළකොට තිබේ. මෙහිදී විශේෂ කරුණක් වන්නේ මෙම පුවත්පතේ අන්තර්ජාල කර්තෘද මෙම කණ්ඩායම අතර සිටීම වන අතර ඔහුද මේ වනවිට වැඩ තහනමකට ලක්ව සිටියි.

එමෙන්ම මෙම කණ්ඩායමේ නිර්මාතෘවරයාද එම පුවත්පතෙහිම නිදහස් මාධ්‍යවේදියෙකු වන අතර ඔහු එය පිහිටුවාගෙන තිබුණේ 2009 වසරේදීය. එතරම් කලක් මෙය සිදුකරන අය හෙළිදරව් නොවීම ගැනද බොහෝදෙනෙක් විමතිය පළකරන්නේ ප්‍රංශය තාක්ෂණය අතින්ද ‍පොහොසත් රටක් බැවිනි. මුහුණු‍පොතට අමතරව ට්විටර් ගිණුම් හරහාද ඔවුන් මාධ්‍යවේදියන්, ‍ලේඛිකාවන් හා සමාජ ක්‍රියාකාරිනියන් හට මෙසේ හිරිහැර කොට තිබේ. මේ වනවිට ලිබරේෂන් පුවත්පතද මෙම සිදුවීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වයි.

එක් අවස්ථාවකදී ප්‍රකට මාධ්‍යවේදිනියක්ව අමතමින් මෙම කණ්ඩායමේ අයෙකු පවසා ඇත්තේ තම සඟරාව වෙනුවෙන් ඇයව සම්මුඛ සාකච්ඡාවකට ලක්කිරීමට අවශ්‍ය බවය. මේ කරන්නේ බොරුවක් බව නොදැන ඇය මෙම සම්මුඛ සාකච්ඡාව ලබාදීමෙන් පසු ඔහු ඇයව හාස්‍යයට ලක්කරමින් එය අන්තර්ජාලයට මුදාහැර තිබුණි.

අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය හරහා හිරිහැර සිදුකිරීම, අසත්‍ය පුවත් පැතිරවීම මෙන්ම රුසියාව චෝදනා කරන්නාක් මෙන් තම රටට අහිතකර දෑ වෙනත් රටවලින් සිදුකිරීම වර්තමානයේදී භයානක තත්ත්වයක් බව බොහෝ රටවල් පෙන්වා දී තිබේ පසුගිය වසරේදී ඇමෙරිකාවේ ටෙක්සස් ප්‍රාන්තය එහි පාසල් තුළ සිදුවන සමාජ මාධ්‍ය හිරිහැර වළක්වාලීමේ පනතක් සම්මත කරවාගත්තේය. සමාජ විද්‍යාඥයන් පෙන්වා දී ඇත්තේ නූතන තාක්ෂණය සමාජයට යහපතක් කර ඇති අතරම අවාසනාවකට මෙන් එය අනුන්ට හිරිහැර කිරීම පහසු කර ඇති අතර තම අනන්‍යතාවය සඟවාගෙන එය කිරීමට හැකිවීම හේතුවෙන් දිගින් දිගටම එසේ කිරිමටද අනුබලයක් ලැබි ඇති බවය.

මෙසේ සයිබර් හිරිහැරවලට ලක්වන දරුවන්ගෙ න් අඩකට වඩා වැඩි පිරිසක් ඒ බව තම වැඩිහිටියන්ගෙන් වසන්කරන බවද ඔවුන් වයසින් වැඩීමත් සමග මෙම වසන්කිරීම වඩාත් සිදුකරන බවද හෙළි වී තිබේ. මෙසේ හිරිහැරයට ලක්වන වැඩිහිටියන්ගෙන් ඒවා නැවැත්වීමට ඉදිරිපත් වී පියවර ගන්නේ සියයට හතළිහකටත් අඩු පිරිසක් බව කියැවෙයි.

මෙලෙස නව තාක්ෂණය උපයෝගී කරගෙන අනුන්ට හිරිහැර කිරීමට යමෙක් ‍පොළඹවන හේතු අතර කරන්නට වැඩි යමක් නොමැති වීම හේතුවෙන් ඇතිවන අලස බව, කෝපයෙන් පසුවීම මෙන්ම අනුන්ට රිදවා සතුටක් ලැබිමේ ආශාව ප්‍රධාන වන බව සමීක්ෂණ පෙන්වා දෙයි. මෙහිදී තවත් විශේෂත්වයක් වන්නේ ගැටවර හා තරුණ වයසේ පසුවන්නන්ට මෙසේ හිරිහැර කරන පිරිස බොහෝ විට නාඳුනන්නන් නොව හිරිහැරයට ලක්වන තැනැත්තා ගේම හිතවතුන්, ඔහු හෝ ඇය කලක් ආශ්‍රය කළ අය හෝ හිටපු පෙම්වතුන්, පෙම්වතියන් මෙන්ම ආදරය ඉල්ලා එය නොලැබුණු අය වීමය. 

මේ අතරින් සියලු වයස් සීමාවලදී පිරිමින්ට වඩා කාන්තාවන් අතවරයට ලක් වන බවද හෙළිවිය. මුලදී සෙල්ලමට මෙන් පටන්ගන්නා මෙම සයිබර් හිරිහැර ඒවා එවීමේ පහසුව හේතුවෙන් දිගින් දිගටම සිදුවන සෙල්ලමක් බවට පත්වෙයි. වර්තමානයේදි තම ඉගෙනුම් කටයුතු, රැකියා, වෙනත් කටයුතු මෙන්ම පවු‍ලේ සාමා ජිකයන් සමග සබඳතාවයන් පැවැත්වීමටද අන්තර්ජාලය නැතිවම බැරි මෙවලමක් වී තිබේ. එබැවින් අන්තර්ජාලයෙන් ඉවත්වීමද පහසු නැත. ආරක්ෂක අංශ මෙන්ම සමාජ විද්‍යාඥයන්ද පෙන්වා දෙන්නේ මෙසේ හිරිහැර කරන්නන් සොයා නීති මගින් ඔවුන්ට දඬුවම් කිරීමට එම හිරිහැරයට ලක්වන සියල්ලන් පෙළැඹුණහොත් මෙම තත්ත්වය බොහෝ දුරට හෝ මැඩ පැවැත්විය හැකි බවය.

නිශානි දිසානායක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.