lakbima.lk

රජ පවු‍ලේ අයෙක් පළමු වරට කියුබාවට

කලකට පෙර විශේෂයෙන් ෆිඩෙල් කස්තේ‍රා්ගේ කාලයේ නම් කියුබාවට බටහිර රටවල් වහකදුරු වාගේ වී තිබිණි. ඒ නිසාම සුප්‍රකට බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ කිසිදු සාමාජිකයෙකුට එරට සංචාරයක් සඳහා ඇරයුමක් ලැබි තිබුණේ නැත. නමුත් ෆිඩෙල්ගේ කාලයෙන් පසු පාලන බලය අතට ගත් රාවුල් කස්තේ‍රා්ගේ කාලයේ සිට  ක්‍රමයෙන් බටහිර සමග මුසුවෙමින් හා වඩා ලෝකයට විවෘත වෙමින් සිටින තත්ත්වයක් කියුබාව පෙන්නුම් කරන්නේ එසේ ප්‍රායෝගික ක්‍රියා මාර්ගයකට නොපැමිණියොත් අනාගතයේදී එය ගැටලුවක් විය හැකි බව සිතන නිසා විය යුතුය.
 
මේ ක්‍රමයට වැඩිහිටි පරම්පරාව වැඩි කැමැත්තක් දක්වන්නේ නැති අතර තරුණ පරම්පරාවෙන් බහුතරය ඊට කැමතිය. ඇමෙරිකාවේ වත්මන් ට්‍රම්ප් රජය කියුබාව සම්බන්ධයෙන් හිතවාදී ආකල්පයක් නොදක්වන අතර ට්‍රම්ප්ට දැඩි සහයෝගයක් කියුබාවෙන් පළාවිත් ඇමෙරිකානු පුරවැසියන්ව සිටින හා කියුබාවේ රජයට දැඩි විරෝධයක් දක්වන කියුබානුවන්ගෙන් ලැබෙයි. බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමාරයා පසුගියදා කියුබාවේ වාර්තාගත තුන්දින සංචාරයක යෙදුණේ මේ අතරය. කියුබාවේ නිල වශයෙන් සංචාරය කළ රජ පවු‍ලේ  පළමු සාමාජිකයා ලෙස ඒ අනුව ඔහු ඉතිහාසගත වනු ඇත.
 
තම බිරිය වන කැමිලා සමග 1953 වසරේ බ්‍රිතාන්‍ය නිමැවුමක් වූ කළු පැහැති මෝටර් රියක නැගී චාල්ස් එරට අගනුවර වන හවානා නගරයේ වීදි පුරා සංචාරය කළේ කියුබාවට එළැඹ තිබූ වසන්තයේ සිරි විඳිමිනි. ඒ අවස්ථාවේ ඔහු සහභාගි වෙමින් සිටියේ පරණ කාර් ප්‍රදර්ශනයකටය. මෙම ප්‍රදර්ශනය පැවැතියේ කියුබාවේ වඩාත්ම බ්‍රිතාන්‍ය සම්ප්‍රදායන් දැක්වෙන බව කියන ප්‍රදේශයකය. පරණ මෝටර් රථවලට දැඩි ලෙස ඇලුම් කරන කුමාරයා තමාට පදවන්නට අවස්ථාව ලැබුණු මේ මෝටර් රිය ගැන දිගු වර්ණනාවක්ද කොට තිබුණි.
 
එහි හිමිකරුවූ එඩුවාඩෝ බර්මු ඩාස් ද බ්‍රිතාන්‍යයේ මෝටර් රථවලට දැඩි ලෙස ඇලුම් කරන අයෙකි. 1950 වනවිට කියුබානුවන් සෑහෙන පිරිසකට ඇමෙරිකාවේ නිෂ්පාදිත මෝටර් රථ තිබුණද තමා කවදත් ඇලුම් කළේ බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත ස්‍පෝට්ස් වර්ගයේ රථවලට බව ඔහු පවසා තිබුණි. මේ අතර එහි පැමිණ සිටි මෝටර් රථ හිමිකරුවන් සමග කතාකොට ඒවායේ තොරතුරුද විමසා දැනගත්තේ දැඩි උනන්දුවකිනි. විශේෂයෙන් ඔහුට අවශ්‍ය වූයේ මෙම වාහන මෙතරම් කලක් ආරක්ෂිතව තබාගත්තේ කෙසේද යන්න දැන ගැනීමටය.
 
මෙහි ඇතැම් වාහන මේ වනවිට බ්‍රිතාන්‍යයේ තවදුරටත්  නිෂ්පාදනය නොකරන අතර ඒ නිසාම ඒවායේ අමතර කොටස්ද මිලයට ගන්නට නොමැත. මේ රථ හිමිකරුවන් චාල්ස් සමග පවසා තිබුණේ එවැනි අමතර කොටස් තමන් විසින්ම නිෂ්පාදනය කොටගත් බවකි. එක් රථයක හිමිකරුවෙකු පවසා තිබුණේ පසුකලක තමා විසින්ම නිෂ්පාදිත අමතර කොටස් යෙදූ බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනයක්වූ මෝටර්රියෙන් මේ වනවිට බ්‍රිතාන්‍යයේ කොටස් ලෙස ඇත්තේ සියයට දහයක පමණ කොටස් බවය.
 
ප්‍රදර්ශනයට පැමිණි වාදක කණ්ඩායම් චාල්ස්ට ඇසෙන්නට වාදනය කළේ සුපිරි බ්‍රිතාන්‍ය සංගීත කණ්ඩායම්වූ බිට්ල්ස් හා කුවීන් යන කණ්ඩායම්වල ගීතය. හවානා හි ජෝන් ලෙනන් චතුරශ්‍රය වෙත ගිය චාල්ස් සහ කැමිලා එහි මනරම් මුහුදු තීරයේදි නිල ඡායාරූපයකටද පෙනී සිටියෝය. මෙහි බිට්ල්ස් නායක ජෝන් ලෙනන්ගේ පිළිරුවක්ද වෙයි. දහඅට වැනි ශත වර්ෂයේ ස්පාඤ්ඤ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව තැණුනු බොහෝ ගොඩනැගිලි හා නිවාස මේ වන විට නවීකරණයවී ඇති ආකාරය ඔවුන්ට අගනුවරදී දැකගත හැකිවිය.
 
චාල්ස් මුණගැසුණු මාධ්‍යවේදීන්ට මෙන්ම ඇමෙරිකානු සංචාරකයන්ටද අවශ්‍ය වූයේ ඔහුගේ බාල පුත් හැරී කුමරුගේ බිරිය මේගන් පළමු දරුවා ප්‍රසුත කරන කාලය හා ඒ සම්බන්ධ තොරතුරු දැනගැනීමටය. කෙසේ වුවද එක් තැනකදී පිළිගැණුනු මෙක්සිකානු ආහාර වර්ගයක් නම් හැත්තෑ හැවිරිදි රජ කුමරා තරයේම ප්‍රතික්ෂේප කොට තිබුණේ තම ශරීර සෞඛ්‍යය ගැන සිතා විය යුතුය. ගැඹුරු තෙලෙහි බැදගත් චුරෝස් නම් මෙම ආහාරය පිළිගැන්වූ විට තමා ඒ වනවිට උදෑසන ආහාරය ගත් හැටියේ බව කියමින් ආචාරශීලි ලෙස ඔහු එය ප්‍රතික්ෂේප කොට තිබුණි.
 
මහමග ගී ගයන වාදකයන් දෙදෙනෙකු විසින් චාල්ස් හා කැමිලා නතර කරනු ලැබූ විට ඔවුන්ගේ වාදනයට හා ගායනයට සවන්දී අසලවූ හිස් වැස්මට මුදල් නෝට්ටුවක් දැමීමටද චාල්ස් පසුබට වූයේ නැත. හාස්‍යජනකම සිදුවීමක් වූයේ ඔහු බාබර් සාප්පුවක් නැරඹීමට ගිය අවස්ථාවේය. කොණ්ඩය කපාගන්නා ලෙසට කළ ඉල්ලීම කුමාරයා ප්‍රතික්ෂේප කළේ හඬ නගා සිනාසෙමිනි. ‍පොඩ්ඩක් කපමු” යැයි බාබර් සාප්පුව හිමි කත කළ ආයාචනය ඔහු නැවතත් ප්‍රතික්ෂේප කළේ” මම මෙතැනට ආවෙ රස්නෙ නිසා ටිකක් ඔයාලගෙ වායු සමීකරණය යට ඉන්නයි” යැයි විහිළු කළේය.
 
මෙම සංචාරය තුළදී කියුබානු ජනපති මිගෙල් ඩයස් කැනල් හා රාජකීය යුවළ අතර හමුවක් පැවැති අතර මෙම සංචාරය තමාට හා රටට දැඩි සතුටක් ගෙනා බව ජනපතිවරයා චාල්ස්ට පවසා තිබුණි.
 
 
නිශානි දිසානායක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.