lakbima.lk

මාස හයක ගමනකින් පසු අඟහරු වෙත ළඟා වූ 'ඉන්සයිට්' යානය

අඟහරු ග්‍රහයා කවදත් පෘථිවි වාසීන්ගේ කුතුහලය, උනන්දුව ඇවිල වූ ග්‍රහයෙකු විය. එයට එක් හේතුවක් වූයේ එය පෘථිවියට ආසන්නයෙන්ම පිහිටි ග්‍රහලෝකයක් වීමයි. තවත් හේතුවක් වූයේ අඟහරු මත  ජීවීන් සිටින බවට ඈත අතීතයේ සිටම කිසියම් ගුප්ත විශ්වාසයක් ඇතැමුන් තුළ තිබිමයි.

කෙසේ හෝ වේවා, මේ දිනවල නැවතත් අඟහරු ග්‍රහයා ගැන  ලොකු අවධානයක් යොමු වෙමින් තිබේ. එයට හේතු වී ඇත්තේ අඟහරු වෙත තවත් ඓතිහාසික චාරිකාවක නිරත වූ අභ්‍යවකාශ යානයක් මාස හයක දීර්ඝ ගමනකින් අනතුරුව පසුගිය 26 වෙනි දින ඒ මත ගොඩ බැසීමයි. මෙම යානය හැඳින්වුණේ 'ඉන්සයිට්' (InSight)  යන නමිනි. කි.මී. මිලියන 225 ක දුරක් ගෙවාගෙන ගොස්  'ඉන්සයිට්' යානය අඟහරු මත ගොඩ බැසීමත් සමග මෙම යානය පිළිබඳවත්, අඟහරු ග්‍රහයා පිළිබඳවත් මේ වනවිට ලොකු කතාබහක් ඇති වෙමින් තිබේ. අඟහරු ග්‍රහයා වෙත මේ ආකාරයෙන් ඇමෙරිකානු යානයක් ගමන් කළේ වසර 6 කට පසුවයි. මෙයට කලින් 2012 වසරේ යානයක් ඒ වෙත ගමන් කළ අතර එය හැඳින්වුණේ 'කියුරියෝසිටි'  (Curiosity) යනුවෙනි. 26 වෙනි දින ග්‍රිනිච් වේලාවෙන් රාත්‍රි 8 ට පමණ ඉතා සාර්ථකව අඟහරු මත ගොඩ බෑමට 'ඉන්සයිට්' යානය සමත්ව තිබිණි.

අඟහරු මත යානයක් නිරුපද්‍රිතව ගොඩ බැස්සවීම සැලකෙන්නේ ඉතා අසීරු, අභියෝගාත්මක කටයුත්තක් වශයෙනි. මේ වනතෙක් ඒ වෙත යවා ඇති යානා අතරින් බොහොමයක් විවිධ අකරතැබ්බවලට මුහුණ දී ඇති බව සඳහන් වෙයි. ඒ බොහෝ යානා නිසි පාලනයකින් තොරව අඟහරු මත කඩා වැටී ඇති අතර තවත් සමහර යානා ඉලක්කය වැරදී අඟහරු පසුකරමින්  ඇදී ගියේය. මෙසේ සිදුවීමට හේතුව ලෙස සැලකෙන්නේ යානාවල වේගය නිසි පරිදි හසුරුවා ගැනීමට නොහැකි වීමයි. සාමාන්‍යයෙන් අභ්‍යවකාශ යානයක් අඟහරු වායුගෝලය වෙත ළඟා වන්නේ ඉතාම අධික වේගයකිනි. ඉන්සයිට් යානය අඟහරු වායුගෝලය වෙත ළඟා වෙද්දී එහි වේගය පැයට සැතපුම් 12,000 කට ආසන්න වූ බව සඳහන් වේ. නමුත් අඟහරු මත නිරුපද්‍රිතව, මෘදු ලෙස ගොඩ බෑමට නම් මෙම වේගය විශාල වශයෙන් අඩු කර ගත යුතු වෙයි. එය පැයට සැතපුම් 5 ක තරම් ප්‍රමාණයකට අඩු කර ගත යුතු බව සඳහන් වේ. නැත්නම් සිදුවන්නේ මහත් විනාශයකි. මෙහි ඇති තවත් අභියෝගයක් වන්නේ මේ තරම් ප්‍රමාණයක් වේගය අඩු කර ගැනීම සඳහා ඉතිරිව තිබෙන්නේ විනාඩි 7 ක පමණ සුළු කාලයක් වීමයි. මෙම සුළු කාලය තුළ අර තරම් ප්‍රමාණයකින් වේගය අඩු කර ගැනීමට සිදුවීම අඟහරු වෙත යන යානයක් මුහුණ දෙන ලොකුම අභියෝගය ලෙස සැලකේ.  අනෙක් කාරණය වන්නේ ගමනේ මෙම අදියර වනවිට යානය කටයුතු කරන්නේ මුළුමනින්ම ස්වයංක්‍රීයව වීමයි. එම නිසා යානය තමුන්ගේ කටයුතු තමුන්ම පාලනය කරගත යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුවුවහොත් එය අඟහරු මත කඩා වැටී ඩොලර් බිලියන ගණනක් වියදම් කරමින්, දැවැන්ත කාලයක්, ශ්‍රමයක් කැප කරමින් සැලසුම් කළ ව්‍යාපෘතියක් මුළුමනින් නිරර්ථක වීමට ඉඩ තිබේ. මේ නිසා පසුගිය 26 වෙනිදා යානය කරදරයකින් තොරව අඟහරු මත ගොඩ බසින තෙක් තමුන් සිටියේ දැඩි ආතතියකින් බව 'ඉන්සයිට්' ව්‍යාපෘතිය භාරව සිටි විද්‍යාඥයින්  සඳහන් කර තිබිණි. කෙසේ හෝ වේවා  සියලු අභියෝග ජයගනිමින්, සියලු දෙනාගේ අපේක්ෂා සඵල කරමින් යානය අනතුරකින් තොරව ගොඩ බැසීමට සමත්ව තිබිණි.

'ඉන්සයිට්' ව්‍යාපෘතිය වූ කලී අඟහරු ගවේෂණ ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන ව්‍යාපෘතියකි. එයට හේතුව නම් ඉතිහාසයේ පළමු වතාවට මෙම යානය විසින් අඟහරුගේ පෘෂ්ඨයට යටින් ඇති අභ්‍යන්තරයෙහි ගති ලක්ෂණ ගවේෂණය කරනු ලැබිමයි. මෙම කටයුත්ත ඉටු කිරීම සඳහා නවීන මෙවලම් රාශියක් යානය විසින් අඟහරු වෙත රැගෙන යන ලදී. ග්‍රහයා ගේ අභ්‍යන්තරයෙහි සිදුවන භූමිකම්පා මැනීම සඳහා වන මෙවලම්  මේ අතර ප්‍රධාන වෙයි. භූමිකම්පාවක් සිදුවන විට පැතිරෙන කම්පන  සූකෂ්ම උපකරණ මගින් අල්ලාගෙන ඒවායේ ඇති ස්වභාවයන් සියුම් ලෙස අධ්‍යයනය කිරීමෙන් ග්‍රහලෝකය අභ්‍යන්තරයේ හැඩගැස්ම පිළිිබඳව ත්‍රිමාණ 'සිතියමක්' ගොඩ නැගිය හැකි බව විද්‍යාඥයින්ගේ විශ්වාසයයි. එමෙන්ම අඟහරු අභ්‍යන්තරයේ උෂ්ණත්වය මැනීම සඳහා වන අලුත් පන්නයේ උෂ්ණත්වමානයක් ද මෙම මෙවලම් අතර වේ. එය ස්ථානගත කිරීමට නියමිතව ඇත්තේ මතුපිට සිට මීටර 5 ක් (අඩි 16 ක්) පමණ ගැඹුරිනි. මේ අතර අඟහරුගේ භ්‍රමණය සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීම සඳහා ද නවීන මෙවලම් ඉන්සයිට් විසින් රැගෙන යන ලදී.

මෙම සියලු තොරතුරු රැස් කිරීමෙහි ප්‍රධාන අරමුණ ලෙස සැලකෙන්නේ අඟහරු ග්‍රහයා වසර බිලියන ගණනක කාලයක් තිස්සේ විකාශනය වූ ආකාරය පිළිබඳ යම් අදහසක් ඇති කර ගැනීමයි. බොහෝ කාලයකට ඉහත අඟහරු සහ පෘථිවිය දෙදෙනාම බොහෝ දුරට සමාන ලක්ෂණවලින් හෙබි වූ බව පිළිගැනේ. වායුගෝලයේ ඝනකම අතින් ද, උණුසුම ආදී කාරණා අතින්ද මෙම ග්‍රහයින් අතර සමානත්වයක් පැවැති බව විද්‍යාඥයින්ගේ අදහසයි. අඟහරු මත කලක් ජලය ද්‍රව තත්ත්වයෙන්  තිබෙන්නට ඇති බවට ද මතයක් පවතී. කෙසේ නමුත් කිසියම් හේතුවක් නිසා මෙයට වසර බිලියන තුනකට හතරකට පමණ පෙර සිට මෙම තත්ත්වය වෙනස් වන්නට පටන් ගෙන ඇති බවත්, පෘථිවිය සහ අඟහරු එකිනෙකට වෙනස් ආකාරයෙන් ඉදිරියට යාමට පටන්ගෙන ඇති බවත් විද්‍යාඥයෝ පෙන්වා දෙති. පෘථිවිය මත ජීවීන්ට හිතකර පරිසරයක් ඇති වූ අතර අඟහරු මත එම තත්ත්වය දක්නට නොලැබිණි. මෙවැනි වෙනසක් ඇති වූයේ කුමක් නිසා ද යන්න විද්‍යාඥයන් කාලයක් තිස්සේ පිළිිතුරු සොයමින් සිටින ප්‍රශ්නයකි. 'ඉන්සයිට්' ව්‍යපෘතියේ ද ප්‍රධාන අරමුණක් වන්නේ  මෙම අබිරහස විසඳා ගැනීම සඳහා තොරතුරු රැස් කිරීමයි. අඟහරු අභ්‍යන්තරයේ ස්වභාවය අධ්‍යයනය කිරීමෙන් මේ සඳහා යම් හෝඩුවාවන් සොයාගත හැකි වනු ඇතැයි යන්න 'ඉන්සයිට්' කණ්ඩායමේ විශ්වාසයයි. එමෙන්ම පෘථිවියේ විකාශනයට අදාළ කාරණා පවා මේ ඇසුරෙන් තේරුම් ගැනීමට හැකි වනු ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

මේ අතර අඟහරු මත ජීවය පවතිනවාද යන්න සම්බන්ධයෙන් කෙරෙන පර්යේෂණවලට ද 'ඉන්සයිට්' ව්‍යාපෘතියෙන් යම් සහයක් ලැබෙනු ඇති බව සඳහන් වෙයි. 'ඉන්සයිට්' යානය වසර දෙකකට ආසන්න කාලයක් අඟහරු මත රැඳී සිටිමින් තොරතුරු රැස් කිරීමට නියමිතව තිබේ.

කිත්සිරි මල්වත්ත

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.