lakbima.lk

ඉන්දියාවේ ගැමි කතුනගේ දුක කියා ඔස්කාර් සම්මානය දිනාගත් චිත්‍රපටය

නවදිල්ලියට කිලෝමීටර් හැටක් දුරින් පිහිටි හාපූර් දිස්ත්‍රික්කයේ වැඩිහිටි කාන්තාවන් තබා තරුණ ගැහැනු ළමුන්වත් සිය සනීපාරක්ෂාව වෙනුවෙන්, කුමක් කළ යුතු දැයි දන්නේ නැත. ඔවුන් දන්නේ මාසයකට වතාවක් සිය ජීවිත නතර වන බව පමණි.

ලෝකයේ ගැහැනු පිරිමි හැල්මේ දුවද්දී, ඔවුහු මසක් ගානේ නතර වන සිය ජීවිත ගැන ළතවෙමින් හිඳිති. බොහෝ ගැහැනු දරුවෝ වැඩිවිය පැමිණීමෙන් පසු පාසල් ගමන අත්හරිති. ගැහැනු මසකට දවස් තුන හතරක් නිවෙස්වලම රැඳෙති.

“හැම කාලයක්ම හරිම අමාරුයි. ගැහැනු ළමයින්ට ඉස්කෝ‍ලේ යන්නත් විදිහක් නැහැ. ඉස්කෝලෙදි පිරියඩ්ස් හැදුණොත් ළමයි හරිම අපහසුතාවට පත් වෙනවා” ‍පොලිස් නිලධාරිනියක් වීමට සිහින දකින ස්නේහා කියයි. ඉන්දියාවේ හාපූර් වැනි දිස්ත්‍රික්කයන්හි මතු නොව, ලංකාවේද, අගනුවරින් දුර බැහැර දුෂ්කර ගම්මානවල තත්ත්වය එහෙමය. අදටත් මසකට වතාවක් සිය ජීවිත එකතැන නතර කර ගන්නා දැරියන් හා මැදිවියේ ගැහැනු එමටය.

එහෙත් සෑම දුෂ්කර පළාතකම කාන්තාවන්ගේ ‍පොදු කතාන්දරය දැන් දැන් වෙනස් වෙමින් තිබෙයි. ‍පොලිස් නිලධාරිනියක් වීමේ ස්නේහාගේ සිහින මාවතේ කොළ එළියක් දැල් වී තිබෙන්නේත්, එක් තැනැත්තකුගේ කැපවීමක් නිසාය.

තමිල්නාඩුවේ අරුණාචලම් මුරුගානන්දන් ලෙසින් නැතත්, ඉන්දියාවේ ‘පෑඩ් මෑන්’ ලෙසින් ලොව හඳුනන්නේ, ඉන්දියාවේ සෑම දුෂ්කර පළාතකම ගැහැනුන් හා දැරියන් පීඩා විඳින මේ ‍පොදු ප්‍රශ්නයට විසඳුමක් දුන් තැනැත්තාය.

“මාස් ශුද්ධිය කියන්නේ ඉන්දියාවේ තහනම් වචනයක්. දුව අම්මා එක්ක, බිරිඳ සැමියා එක්ක, යාළුවන් යාළුවන් එක්කවත් ඒ ගැන කතා කරන්නෙ නෑ. ඒ හින්දා ඒ ගැන අවබෝධයක් සමාජයේ නැහැ. අදටත් ඉන්දියාවෙ සියයට දහයක ප්‍රතිශතයක් විතරයි පෑඩ් භාවිත කරන්නෙ.

මේ ප්‍රතිශතය සියයට 100 ක් දක්වා වැඩි කිරීමයි මගේ අරමුණ.”
ඉන්දියාවේ ‘පෑඩ් මෑන්’. යනුවෙන් ලොවම දන්නා අරුණාචලම් මුරුගානන්දන්, සනීපාරක්ෂක තුවා හදන යන්ත්‍රයක් තැනුවේය. එය තැනූ මුල් කාලයේ ඔහුට සිදුවූයේ මැෂිමෙන් ඒවා නිපදවන හැටි කෙසේ වෙතත්, ඒවා මොනවාදැයි කියා දෙන්නටය.

ඒ වන විට වැඩිහිටි ගැහැනුන් කෙසේ වෙතත්, තරුණ ගැහැනු ළමයින්වත් සනීපාරක්ෂක තුවා දැකබලාගෙන තබා කනින් අසාවත් නැති නිසා ඔහු සනීපාරක්ෂක තුවා මැෂිම ගැනත් සනීපාරක්ෂක තුවා ගැනත් පාඩම් කියා දුන්නේය. ආක්ෂේ කුමාර් රඟන ප්‍රකට බොලිවුඩ් චිත්‍රපටයක් වන පෑඩ් මෑන් චිත්‍රපටයට ගෙන ඇත්තේද ඉන්දියාවේ පෑඩ් මැෂිම හඳුන්වා දුන් අරුණාචලම් මුරුගානන්දන්ගේ කතාවය.

ඔහු ඉන්දියාවට හඳුන්වා දුන් ‘පෑඩ් මැෂිමෙන්’ ස්නේහලාගේ ජීවිතවලට එළිය වැටෙන්නටය පටන් ගැනුණි. හාපුර් දිස්ත්‍රික්කයේ කාර්තිකේරා ගම්මානයේ ඇති මැෂිමෙන් ස්නේහලා ඒවා දහස් ගණන් හදති. ඉන්පසු ගෙයින් ගෙට ගොස් අඩු මිලට එවා විකුණති.

“දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි ‘ලයිට්’ නැතිකම. සමහර වෙලාවට එක දිගට දවස් දෙකක් තුනක් ‘ලයිට්’ නැතුව තියෙනවා. එහෙම තිබිලා සමහර වෙලාවට රෑට ලයිට් එනවා. ‘ලයිට්’ ආපු ගමන් අපි දුවගෙන ඇවිල්ලා මැෂින් එක ඔන් කරලා අමුද්‍රව්‍ය ටික හදා ගන්නවා. මාසෙකට ඕනෙ කරන ‘ටාගට්’ එක හදා ගන්නකන් අපි රෑ දවල් වැඩ කරනවා.”

රෑ දචල් වැඩ කර අතට මුදලක් ගන්නා නිසා, ගමේ ගැහැනුන් දැන් ස්වාධීනය. ඔවුන්ට ඔවුන්ගේම ලෝකයක බලා‍පොරොත්තු දළුලමින් තිබේ.
“පෑඩ් හදලා ගන්න සල්ලි එකතු කරනවා. තව අවුරුදු පහකට පස්සෙ මං වැඩ කරන්නේ දිල්ලි ‍පොලිසියෙ.”  ස්නේහාගේ කතාවේ ඇත්තේ ස්ථිර ස්වරයකි.  

“අපිට ඕනෙ අපේ ගෑනු අය දියුණු වෙලා ඉහළට යනවා දකින්නයි” ස්නේහා කියයි.
ස්නේහාගේ ජීවිත කතාව මුල් කර ගනිමින්, පෑඩ් නිෂ්පාදනය කරන ගම්මානවල ජීවිත පිළිබඳ වාර්තා චිත්‍රපටයක් තැනුණේය. Period end of Sentence එම චිත්‍රපටයයි. 2019 ඔස්කාර් සම්මාන උළෙ‍ලේ හොඳම වාර්තා චිත්‍රපටයට හිමි සම්මාන දිනා ගැනුණේ එම චිත්‍රපටය විසිනි.

රාඛ්‍යා ශේතාබ්ජී එහි අධ්‍යක්ෂවරියයි.
මේ වන විට රජයේ ව්‍යාපෘති ලෙසින්ද ගම් මට්ටමින් විවිධ පළාත්වල සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දීය රජයද අනුග්‍රහය දක්වයි. ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන මැදිහත්ව මේ මැෂින් ලබා දී ගම්වල කාන්තාවන් ලවා සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කෙරේ. 

මයීනා මහිලා සමිතිය එලෙස ඉන්දියාවේ දුර බැහැර පළාත්වල සනීපාරක්ෂක තුවා හඳුන්වා දෙන්නටත් භාවිතය ඉහළ නංවන්නටත්, කටයුතු කරන සංවිධානයකි. එහි සම නිර්මාතෘ සුහානි ජලෝටා සී. එන්. එන්. නාලිකාව පැවැත්වූ වැඩසටහනකට සහභාගි වෙමින් පවසා සිටියේ ඉන්දියානු කාන්තාවන් වැඩි දෙනෙකුට තවමත් මේ
නිෂ්පාදනය ආගන්තුක බවයි.

“මේ නිෂ්පාදනය භාවිතා කරන්න තවමත් සමහර කාන්තාවන් මැළි වෙනවා. ඒකට වෙනස් කාරණා ගණනාවක් බලපානවා. ප්‍රධානම කාරණය තමයි ඒ අයට මේ ගැන අවබෝධයක් නැතිකම. ඒ වගේම වෙනස් කරන්න ඕනෙ ආකල්ප ගණනාවක් මේ එක්ක සමාජයෙ තියෙනවා.”

“කාන්තාවක් ෆාමසියකට ගිහිල්ලා පෑඩ් පැකට් එකක් ඉල්ලද්දි, එතන ඉන්නෙ අයකැමියා පිරිමි කෙනෙක්. ඉන්නේ පිරිමි සේවකයො. පිරිමි පාරිභෝගිකයෝ. ඉතින් කඩේකින් හරි ෆාමසියකින් හරි පෑඩ් පැකට් ඉල්ලනවා කියන්නේ, තමන්ට මාස් ශුද්ධිය හැදිලා කියලා ලෝකෙට ප්‍රචාරය කරන එක කියලා දෙගොල්ලොම හිතනවා. එහෙම ඉල්ලුවම සමහර වෙලාවට අයකැමියා අපහසුතාවට පත් වෙනවා වගේ. ඔහු කාන්තාවගේ මූණවත් බලන්න බැහැ වගෙයි හැසිරෙන්නෙ”

ඇය කියන්නේ, මාස් ශුද්ධිය හා බැඳුණු කාරණා ගැන කතා කරන්නට කාන්තාවන්ගේ ඇති අකමැත්ත කාලයත් සමග මඟ හැරී යා හැකි බවයි.

දාවුලා හා ජ්හාම්වාස් ගම්මානවලද කාන්තාවන්ට පරම්පරා ගණනක් තිස්සේ වද දුන් ප්‍රශ්නයෙන් විමුක්තිය ලැබුණේ, ඒ ගම්වලත් අසල්වැසි ගම්මානවලත් කාන්තාවන් සනීපාරක්ෂක තුවා හදන්නට පටන් ගැනීමත් සමගිනි.

දාවුලා හිදි සනීපාරක්ෂක තුවා හදන කාන්තාවෝ, අට දෙනෙක් පුළුන් හා රෙදි යොදා ගනිමින් නිමවන තුවා දාවුලා, අලිපූර්, හර්චන්දන්පූර් හා තවත් අසල්වැසි ගම්මාන ගණනාවක බෙදා හරිති. ඒ ප්‍රදේශයේම, රාජ්‍ය නොවන සංවිධානයක අනුග්‍රහයෙන් සනීපාරක්ෂක තුවා නිමවන ‘සාකි’ නමින් වැඩ‍පොළක් පවත්වාගෙන යන ප්‍රමෝද් රාඝව්
සිය මැෂිම අරුණාචලම් මුරුගානන්දන්ගෙන්ම මිලදී ගත්තක් බව පවසයි. 

2016 වසරේදී කාන්තාවන් තුන් දෙනකුගෙන් ඇරඹුණු සනීපාරක්ෂක තුවා නිපදවන ‘සාකි’ වැඩ‍පොළට අසල්වැසියන්ගෙන් බලවත් විරෝධතා එල්ල වී තිබුණේ ‘ජරා වැඩකැ’යි කියමිනි. එහෙත් අද වන විට එම ස්ථානය දිනකට සනීපාරක්ෂක තුවා පැකට් 600 ක් නිපදවයි. එක පැකට්ටුවක් රුපියල් 18 බැගින් අලෙවි වෙයි. ඒවා අහළ පහළද ගම්වල අලෙවි වෙයි.

කාලය හා තාක්ෂණය මිනිසුන්ගේ නොදැනුවත් කම් මග හරවා, ආකල්පද වෙනස් කරමින් තිබේ. සනීපාරක්ෂක තුවා නිපදවන කාන්තාවෝ, තවෙකෙකු අත ගසන්නට අකමැති යමකට අත ගසා ආකල්පමය පවුර ටිකෙන් ටික බිඳ දමමින් සිටිති.

ඉන්දියාවේ කාන්තාවන්ගෙන් සියයට 100ක් සනීපාරක්ෂක තුවා සඳහා යොමු කිරීමේ අරුණාචලම් මුරුගානන්දන්ගේ ඉලක්කය වෙත ළඟා වන දිනය වැඩි ඈතක නැත.

උදානි විජයසුන්දර
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.