lakbima.lk

දිවිජ් ෂා කියන්නේ ඉන්දියාව උපන් බිම වූ බොහොම සුන්දර පෙනුමක් තිබෙන හුරුබුහුටි පිරිමි දරුවෙක්. ඔහු නිතරම බොහොම කි‍්‍රයාශීලීයි.  දිවිජ්ගේ පියාත් කි‍්‍රකට් ක‍්‍රීඩාව ගැන බොහොම උනන්දුවක් තිබෙන කෙනෙක්. ඔහුගේ බලාපොරොත්තුව වුණේ දිවිජ්වත් ලෝකයේ කතාබහට ලක්වෙන, ඉතාමත් දක්ෂ කි‍්‍රකට් කී‍්‍රඩකයෙක් කරන්නයි.

දිවිජ්ටත් ක‍්‍රිකට් කියන්නේ අලූත් දෙයක් නොවෙයි. හේතුව තමන්ගේ පියාට ක‍්‍රිකට්වලින් තොර ලෝකයක් නොතිබුණු නිසයි. දිවිජ් බොහොම උනන්දුවෙන්, කැමැත්තෙන් සිටියේ පියාගේ සිහිනය සැබෑ කරවන්නයි.

අපි හිතන පතන හැම දෙයක්ම ඒ විදිහටම ඉෂ්ට  සිද්ධ වෙනවා නම් කොයිතරම් හොඳද?. ඒත් එහෙම නොවෙන අවස්ථා  ඕනෑ තරම් තිබෙනවා. දිනය 1994 අපේ‍්‍රල් 06 වැනිදා. එදා තමන්ගේ දෙමව්පියන්ගේ ඇස් ඉදිරිපිටම සිදුවුණු අනතුරකින් දිවිජ්ගේ දකුණු අතින් බාගයක්ම ඔහුට අහිමි වුණා. ඒ, විදුලි සෝපානයක දොරට ඔහුගේ අත සිරවීම නිසායි.

දිවිජ්ගේ මානසිකත්වය බින්දුවෙනුත් පහළට කඩාවැටුණා වගේ වුණා. තමන් මොනවා කරනවාද කියලා මේ පුංචි දරුවාට කිසිම දෙයක් හිතාගන්න බැරි වුණා. කි‍්‍රකට් ක‍්‍රීඩකයෙක් වෙලා තාත්තාගේ බලාපොරොත්තු ඉටුකරන්න පෙරුම් පුරාගෙන සිටි දිවිජ්ගේ ලෝකයම අඳුරු වුණා වගෙයි ඔහුට දැනුණේ. දරුවාගේ අම්මාටත් දැනුණේ දරාගන්න බැරි කම්පනයක්.

”පුතේ, අපි එක දෙයක් තේරුම්ගන්න  ඕනේ. ඒ තමයි අපි ළඟ තියෙන හැම දෙයක්ම හැමදාම එකම විදිහට තියෙන්නේ නැති බව. පුතා, ඔයාගේ දකුණු අත නැති වුණා. ඒක පිරිමහගන්න බැරි පාඩුවක් විත්තිය ඇත්ත. ඒත් එක්කම ඔයා තවත් දෙයක් හොඳින් තේරුම් ගන්න. ඒ තමයි ඔයාට අහිමි වුණේ ඔයාගේ දකුණු අත විතරක් බව. අනික් හැම දෙයක්ම ඔයාට තියෙනවා.

අපිට යමක් අහිමි වුණාම අපි කරන්න  ඕනේ ඒ අහිමි වුණු දෙය ගැන විතරක් හිත හිතා ඒ ගැන දුක්වීම නෙවෙයි. ඉතුරු වෙලා තියෙන දේවල් ගැන සතුටු වීමයි. ඒ වගේම ඒ දේවලින් යමක් කරන්නට උත්සාහ කිරීමයි.” දිවිජ්ගේ කඩාවැටුණු හිත නැවතත් ගොඩනඟාගන්නට දිරියක් ලබාදෙමින් ඔහුගේ පියා එහෙම කිව්වා.

කි‍්‍රකට් ක‍්‍රීඩා කරන්නට තිබුණු බලාපොරොත්තුව සහමුලින්ම ඉවත් කරගත් දිවිජ් අලූත් ක‍්‍රීඩාවක් ගැන හිතන්න පටන් ගත්තා. ඒ තමයි සයිකල් පැදීම.

”තනි අතකින් සයිකල් පදින එක තරමක් අමාරු දෙයක්. ඒත් මට හිතෙනවා උත්සාහ දැරුවොත් කරන්න බැරි වෙන එකක් නැහැ කියලා.” දිවිජ් අධිෂ්ඨානයක් ඇතිව ඒ විදිහට හිතුවා.

ඉන් පස්සේ ඔහු හිතූ දෙය කි‍්‍රයාත්මක කරන්න පටන්ගත්තා. මුලින් මුලින් අමාරුකම් ඇති නොවුණා නොවෙයි. ඒත් ටිකින් ටික පදින්න හුරුවුණා. ඉතාමත් කෙටි කාලයකදී තනි  අතින් සයිකල් පැදීම ඔහුට ඉතාමත් පහසු වුණා.

දිවිජ්ගේ ඉලක්කය වුණේ පාපැදි ධාවන තරගවලට සහභාගී වීමයි. ක‍්‍රිකට්වලින් පෙන්වන්නට නොහැකි වුණු දස්කම් මේ ක‍්‍රීඩාව ඔස්සේ පෙන්වීමයි දිවිජ්ගේ උවමනාව හා බලාපොරොත්තුව වුණේ.

දිවිජ් ඒ ඉලක්කයට ළඟා වුණේ කත්මණ්ඩු හා බහරේන් නගරවල පැවැත්වුණු ආබාධිතයන් සඳහා වන ජාත්‍යන්තර පාපැදි ධාවන තරගවලට සහභාගි වෙමින්. මේ තරග දෙකේදීම ඔහුට රිදී පදක්කම් හිමිවුණා.

දිවිජ්ගේ ඊළඟ ජාත්‍යන්තර ඉලක්කය වී තිබෙන්නේ 2020 දී ජපානයේ ටෝකියෝ හිදි පැවැත්වෙන පැරාලිම්පික් ක‍්‍රීඩා තරගාවලියයි. එහිදී පාපැදි ධාවන තරගයෙන් රන් පදක්කමක් දිනාගැනීමයි ඔහුගේ බලාපොරොත්තුව.

”අපට සිදුවන පාඩු ගැනවත් හානි ගැනවත් හිතමින් පසු තැවෙන්න එපා. අපි දුරුකර ගන්න  ඕන භයානකම රෝගය තමයි අපට අහිමි වුණු දේවල් ගැන සිතමින් පසුතැවීම.”

දිවිජ් ෂා මෙතෙක් ආ ගමනේ සාර්ථකත්වයේ රහස ලෝකයට එළිදරව් කළේ ඒ අන්දමින්.

නඳුන් අමන්ද මනමේන්ද්‍ර ආරච්චි

Page 1 of 9

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.