lakbima.lk

මධ්‍යම කඳුකරයට මාස හතරකට ආසන්න කාලයක් තිස්සේ පවතින වියළි කාළගුණයත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම  ඉතා සීඝ්‍රයෙන් පහත බැස ඇත්තේ ජාතික වශයෙන් විදුලි අර්බූදයක් ඇති කරමිනි.

ජාතික ජල විදුලි බල පද්ධතියට අයත් මාවුස්සාකැලේ ජලාශය ඉදිකර ඇත්තේ 1961 වසරේදීය. ජල ධාරිතාව අක්කර අඩි 95400 ක වපසරියකින් යුත් මෙම ජලාශය ඉදිකිරීමෙන් අනතුරුව ජලය සම්පූර්ණයෙන් පුරවා ඇත්තේ, 1969 වසරේ ජූනි මාසයේදීය.මුලින්ම මෙම ජලාශය ඉදිකර ඇත්තේ ජලය ගබඩා කර ගැනීමේ අරමුණිනි.

එම කාලයේදී පැවති අධික වර්ෂාවත් සමග මාවුස්සාකැලේ ජලාශය දින 03 ක පමණ කාලයක් ඇතුළත සම්පූර්ණයෙන් පිරී ගිය බව මස්කෙළිය ප්‍රදේශයේදැනටත් ජීවතුන් අතර සිටින පැරැණ්නෝ  පවසති. දින තුනක් තිස්සේ පැවති ධාරා නිපාත වර්ෂාවත් සමග පැරණි මස්කෙළිය නගරය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වන අවස්ථාවේ ඇතුම් වෙළඳසල් හිමියන්ට හා නිවාස හිමියන්ට තම ගෘහ භාණ්ඩ රැසක් ඉවත් කර ගැනීමට නොහැකි වී ඇත්තේ, මස්කෙළිය පොලීසිය හා  විදුලි බල මණ්ඩලය මගින් දින කීපයකට පෙර වහාම නිවාස, වෙළඳසල් හා ව්‍යාපාරික ස්ථාන වලින්  ඉවත්වන ලෙස කර තිබූ දැණුම්දීම් අනුව පැරණි මස්කෙළිය නගරයෙන්  ඔවුන් ඉවත් නොවූ නිසාය.

දින 03 ක් වැනි කෙටි කාලයකදී ජලාශය පිරී යනු ඇතැයි ඔවුන් කිසිසේත් විශ්වාස නොකළ නිසාත්, වසර ගණනක් තිස්සේ තමන් ඉපදුන, හැදුන වැඩුන ස්ථාන හැර දමා ඉවත්ව යාමට හිත් ඉඩ නොදුන් නිසාත් ඔවුහූ අවසන් මොහොත දක්වා එම ස්ථාන වල රැඳී සිටි නිසා වටිණා ගෘහ භාණ්ඩ ඇතුලු චංචල දේපළ රැසක් ජලාශයට පුද කරන්නට සිදු වූ බව පැරැණ්නෝ පවසති.

ඇතැම් අය තම නිවාස හා වෙළඳසල් ඇතුලු දේපළ ජලයෙන් ක්‍රමක් ක්‍රමයෙන් යට වෙද්දී හඬා වැළපුණ බව පැරණ්නෝ පවසන්නේ දැඩි හැඟීම් බරවය. පැරණි මස්කෙළිය නගරයේ ජලාශයට යටව තිබූ ආගමික සිද්ධස්ථාන අතර ශ්‍රී සුමනාරාම විහාරස්ථානය, ශ්‍රී ෂණ්මුගනාදන් හින්දු දේවස්ථානය, ඝණ දෙවි කෝවිල, සිවන් කෝවිල, ඉස්ලාම් පල්ලිය හා  සාන්ත ජෝෂප් කතෝලික පල්ලිය ප්‍රධාන වශයෙන් සඳහන් වේ. ඊට අමතරව පැරණි මස්කෙළිය නගරය අවට තිබූ තේ වතු 13 ක පිහිටුවා තිබූ හින්දු කෝවිල් 15 කට ආසන්න ප්‍රමාණයක්  මෙම ජලාශයට යටව ඇත.

එම තේ වතු වන්නේ, මහ මස්කෙළිය, මෝකා, දෝතැල්ල, බනියන්, වක්කා, ලක්ෂපාන, ගඟේවත්ත, බ්‍රවුන්ලෝ, පුංචි ගඟේ වත්ත, රක්කාඩු, නූගේ වත්ත, පොඩියෙන් තෝට්ටම් හා මරේ වත්තය. එම තේ වතු වල පිහිටි වතු අධිකාරිවරුන්ගේ නිල නිවාස 13 ක් හා තේ කර්මාන්ත ශාලා 08 ක්ද ජලයට යට වී ඇත. පොලිසිය හා  රජයේ රෝහල සමග සිනමා ශාලා 02 ක් ද මෙහිදී ජලයට යටවී තිබේ.  පැරණි මස්කෙළියෙ හා ගඟේවත්ත  යන නගර 02 ක් සම්පූර්ණයෙන් මාවුස්සාකැලේ   ජලාශයට යටවූ බව ජනතාව පවසති.

පැරණි මස්කෙළිය නගරය හරහා කොළඹ, හැටන්  සහ නල්ලතන්නිය ප්‍රධාන  මාර්ග පද්ධතිය පිහිටා තිබුණි. ශ්‍රී පාදස්ථානය බලා ගමන් කරන වන්දනාකරුවන්ද මෙම මාර්ගය හරහා ගමන් කළහ.එවක ශ්‍රීපාද වන්දනාකරුවන්පැරණි මස්කෙළිය නගරය හරහා ගමන් ගනිද්දී නගරයේ පිහිටි බෞද්ධ හා හින්දු ආගමික ස්ථාන වැඳ  පුදා ගැනීමට අමතක නොකළහ.

දැනට නව මස්කෙළිය නගරයට වඩා විශාල නගරයක් වු පැරණි මස්කෙළිය නගරයේ කාටුවා කඩේ අසල පිහිටි කාවඩි පාළම කුඩා නිසා එම ස්ථානයෙන් ධාවනය කිරීම අපහසු නිසා  ලොකු වාහන ගඟේ වත්ත නගරයේ නවතා එම ස්ථානයේ සිට කුඩා ලංගම බස් රථ වලින් නල්තන්නිය දක්වා වන්දනාකරුවන් ප්‍රවාහනය කිරීම සිදු කෙරිණි. නල්ලතන්නිය නගරයේ බස් හා වෑන් රථ ගාල් කිරීමට ස්ථාන නොවූ නිසා සියලු ශ්‍රීපාද වන්දනා බස් රථ ගාල් කර ඇත්තේ ගඟේවත්ත නගරයේය. එම නිසා ශ්‍රීපාද වන්දනා සමයේදී ගඟේවත්ත හා  පැරණි මස්කෙළිය නගරවල සියලු වෙළඳසල් හා ආපන ශාලා වලට ශ්‍රීපාද හොඳ වෙළඳාමක් තිබූ බව පැරණ්නෝ පවසති.

මාවුස්සාකැලේ ජලාශය ඉස්මත්තේ පිහිටි නව මස්කෙළිය නගරය 1969 වසරේදී පිහිටුවා ඇත. පැරණි මස්කෙළිය නගරයේ දේපළ හානි වූ ව්‍යාපාරික ප්‍රජාවට හා අනෙකුත් ජනතාවට නව මස්කෙළිය නගරයේ ඉඩම් ලබා දී ඇති අතර අහිමි වූ දේපළ වලට වන්දි මුදල්ද ලැබුණි. පැරණි මස්කෙළිය නගරයේ පදිංචිව සිටිමින් තම ව්‍යාපාරික ස්ථාන පවත්වාගෙන යනු ලැබූ සිංහල ව්‍යාපාරිකයින් අති බහුතරයක් දකුණු පළාතේ සිට වෙළඳාම් කටයුතු සඳහා උඩරට ප්‍රදේශයට පැමිණි අයයි. මේ වන විට එම ව්‍යාපාරිකයින්ගේ ඥාතීන් වැඩි පිරිසක් නව මස්කෙළිය නගරය හැර ගොස් ඇති අතර එයින් වැඩි පිරිසක් දකුණු පලාතෙත් වෙනත් ප්‍රදේශවලත් ස්ථීරව පදිංචිව සිටිති.

තමන් වසර ගණනක් තිස්සේ පදංචිව සිටි ස්ථාන පමණක් නොව තමන්ගේ සියලු දේපළ, රටට විදුලිය ලබා දෙන  ජාතික වැඩ පිළිවෙල වෙනුවෙන් ලබා දෙන්න හැකි වීමත් තමන් ලැබූ වාසනාවක් බව පැරණි මස්කෙළිය නගරයේ පදිංචිව සිටි තවමත් ජීවතුන් අතර සිටින මස්කෙළිය නගරයේ පදිංචි ඇතැම් වයෝවෘද්ධ පුද්ගලයන් කීප දෙනෙක් අප සමග පැවසූහ.

මාවුස්සාකැලේ  ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට මේ වන විට අඩි 69 දක්වා පහත බැස යාමත් සමග ජලයට යටවී තිබූ පැරණි මස්කෙළිය නගරයේ නටඹුන් සියල්ල දර්ශණීය අයුරින් දිස්වන්නට පටන්ගෙන ඇත. විදුලි අර්බූදය නිසා දැඩි අපහසුතාවට පත් වූවත් පැරණි මස්කෙළිය නගරයේ නටඹුන් වසර ගණනකට පසුව නැවතත් දර්ශණයවිම තුලින් ශ්‍රීපාද වන්දනාකරුවන් ඇතුලු මස්කෙළිය ප්‍රදේශයේ  ජනතාව මහත් වින්දනයක් ලබන අයුරු දැක ගත හැකිය.

මස්කෙළිය නගරයේ හා අවට උප නගරවල ජීවත්වන බෞද්ධ හා හින්දු ජනතාව මේ දිනවල ජලය සිඳී ගොඩ වී ඇති පැරණි මස්කෙළිය නගරයේ ශ්‍රී සුමනාරාම  විහාරස්ථානයේ සහ ශ්‍රී ෂන්මුගනාදන් හින්දු කෝවිල මෙන්ම පැරණි ඝණ දෙවි කෝවිලටද ගොස් ආගමික කටයුතු වල නිරතවන අයුරු දක්නට හැකිය. එය ජාතික සමගිය මෙන්ම ආගමික සහජීවනයේ අපූරු අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකිය.

ඡායාරූප හා සටහන - මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

52 වන ජාතික අලුත් සහල් මංගල්‍යය වෙනුවෙන් රුවන්වැලි සෑ රදුන් උදෙසා පැවැත්වූ කප්රුක් පූජාව හා පහන් පූජාව හා එක්වෙමින් 52වන ජාතික අලුත් සහල් මංගල්‍යය නිමිත්තෙන් රටටත් ජනතාවටත් සෙත් පතා අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑ රදුන් අභියස පැවති කප්රුක් පූජාව හා ආශිර්වාද පූජාව කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැතිනි..

පස්වරුවේ ඓතිහාසික ශ‍්‍රී මහා බෝධිය අභියස ගිලන් පස පූජාව හා බෝධි පූජාව පැවැති අතර ඉන් අනතුරුව රුවන් වැලි සෑ පිවිසුම් මාර්ගය පෙත්මග දෙපස පැවැත්වූ පහන් පූජාව සදහාද අමාත්‍යවරයා එක්විනි.

මේ අවස්ථාවේදී අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් ද පල්ලේගම හේමරතන නායක හිමිපානන් වහන්සේද අමාත්‍යතුමන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

 

කමාන්ඩෝ රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිකුරාදා (05) දින උදෑසන ගනේමුල්ලේ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ පැවැති කෙටි උත්සවයකදී රාජකාරි අරඹන ලදී.

ආගමිකවතාවත් මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛණයකට අත්සන් තබමින් නව රෙජිමේන්තු අධිපතිතුමන් සිය කාර්යාලයේ දී නව ධූරයේ රාජකාරි භාරගත්හ.

නව රෙජිමේන්තු අධිපතිතුමන් මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කල අතර ඉන් අනතුරුව, මෙම අවස්ථාවට සහභාගීවූ කමාන්ඩෝ සෙබළුන් ද අමතනු ලැබීය.

රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව රෙජිමේන්තු අධිපතිතුමන් හට හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව බ්‍රිගේඩියර් ප්‍රියන්ත සේනාරත්න සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් නව රෙජිමේන්තු අධිපතිතුමන්ව උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

හිටපු කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මෙන්ම කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා, යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමගැනීමෙන් අනතුරුව, නව රෙජමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එම ධූරයේ රාජකාරි භාරගත්හ.

මෙම අවස්ථාව සඳහා බ්‍රිගේඩියර් ප්‍රියන්ත සේනාරත්න, යුද්ධ හමුදා මෙහෙයුම් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් උපාලි රාජපක්‍ෂ, බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් උදිත බණ්ඩාර, කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති කර්නල් අනිල් සෝමසිරි, මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ශාමාල් සිල්වා ඇතුළු කමාන්ඩෝ රෙජිමේන්තුවේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලෙස ද රාජකාරි සිදුකරනු ලබයි.

ශ්‍රී ජයවර්ධනපුර ශික්‍ෂණ රෝහලේ ‘හදට හදක් භාරකාර අරමුදලේ’ ඉල්ලීමකට අනුව හෘදයාබාධ රෝගීන්ගේ ජිවිත බේරාගැනීම සඳහා හදිසි හෘද ශල්‍යකර්ම සිදුකිරීමට අවශ්‍ය වියදම් දැරීමට යුද්ධ හමුදාවේ සේවයේ නියුතු සියලුම යුද්ධ හමුදා සාමාජිකයින්ගේ එක්දින වැටුපකින් කොටසක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ‘හදට හදක් භාරකාර අරමුදල’ වෙත පරිත්‍යාග කරන ලදී.

 හෘද ශල්‍යකර්ම සඳහා වියදම් දැරීමට නොහැකි හෘද රෝගීන්ට ආධාර කිරීමේ අරමුණින් වර්ෂ 2014 ඔක්තෝබර් මාසෙය්දී ශ්‍රී ජයවර්ධනපුර ශික්‍ෂණ රෝහලේ ‘හදට හදක් භාරකාර අරමුදල’ පිහිටවන ලද අතර සෑම වසරකම වියදම් දැරීමට නොහැකි හෘද රෝගීන් 75 කට පමණ හදිසි ශල්‍යකර්ම සිදුකිරීමට සිදුවන හෙයින් රෝගියෙකු වෙනුවෙන් ජනාධිපති අරමුදලින් නිකුත් කරන රුපියල් ලක්ෂ 2 ක අර්ධ දායකත්වයට අතිරේක පරිපූරක අරමුදල් සඳහා රුපියල් මිලියන 150 ක් පමණ හදට හදක් භාරකාර අරමුදලට වාර්ෂිකව දැරීමට සිදුවනු ඇත.



 හදට හදක් භාරකාර මණ්ඩලයේ ජාතික සංවිධායක මෙන්ම භාරකාර මණ්ඩලයේ සාමාජික විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් ජගත් ඩයස් හෘද රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට හදට හදක් භාරකාර අරමුදලෙහි මුදල් සම්පාදන වැඩසටහන යටතේ අරමුදලට මුදල් රැස් කිරීම සඳහා අවශ්‍ය වටිනා සහයෝගය යුද්ධ හමුදාවෙන් ඉල්ලා සිටියහ.

ශල්‍යකර්මවලට වියදම දැරීමට නොහැකිව රජයේ රෝහල්වල වසර 1 - 2 කට වඩා වැඩි කාලයක් බලා සිට මියයන සිය ගණනක් හෘද රෝගීන්ගේ ජීවිත බේරාගැනීම සඳහා හදට හදක් භාරකාර අරමුදල විසින් සිදුකරනු ලබන මානුෂික මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන්, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පසුගිය දෙසැම්බර් මාසයේ දී දැනුම්දීමකින් අනතුරුව යුද්ධ හමුදාවේ සේවයේ නියුතු සියලුම යුද්ධ හමුදා සාමාජිකයින්ගේ එක්දිනක වැටුපෙන් කොටසක් හදට හදක් භාරකාර අරමුදල වෙත පරිත්‍යාග කිරීම සඳහා වෙන්කරන ලදී. ජීවිත බේරාගැනීමේ මෙම මානුෂිය ව්‍යාපෘතියේ උච්ච ස්වභාවය පිළිබඳ සියලුදෙනා දැනුවත් කිරීමෙන් අනතුරුව පසුගිය දෙසැම්බර් මස වැටුපෙන් රුපියල් මිලියන 10.5 ක මුදලක් යුද්ධ හමුදාව විසින් එක්රැස් කරන ලදි. ඒ අනුව, මෙම මානුෂිය ව්‍යාපෘතිය සඳහා යුද්ධ හමුදා නිලධාරීයෙකු රුපියල් 100/= ක් සහ සෙසුනිලයකු රුපියල් 60/= ක මුදලක් සිය වැටුපෙන් ලබාදී ඇත.



යුද්ධ හමුදාධිපති කාර්යාලයේ  පැවැති පරිත්‍යාග වැඩසටහන සඳහා ‘හදට හදක් භාරකාර අරමුදලේ’ නිර්මාතෘවරුන් වන හෘද රෝග විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක සහ ශ්‍රී ජයවර්ධනපුර ශික්‍ෂණ රෝහලේ ‘හදට හදක් භාරකාර අරමුදලේ’ හෘද ශල්‍යකර්ම විශේෂඥ වෛද්‍ය රජිත වයි ද සිල්වා, හදට හදක් භාරකාර මණ්ඩලයේ ජාතික සංවිධායක මෙන්ම භාරකාර මණ්ඩලයේ සාමාජික විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් ජගත් ඩයස් හා විධායක සම්බන්ධිකාරක ශාන්ති ප්‍රනාන්දු මහත්මිය සමගින් යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සංජිව මුණසිංහ සහභාගි වූහ.

 යුද්ධ හමුදා මූලස්ථාන සැරයන් මේජර් ඇතුළු සෙසුනිලයින් කණ්ඩායමක් ඉදිරිපිටදී සංකේතාත්මකව රුපියල් මිලියන 10.5 ක වටිනාකමින් යුතු චෙක්පත ප්‍රදානය කළහ.

 තවද මෙම අවස්ථාව සඳහා මේජර් ජෙනරාල් කේ.පී. සුමනපාල සහ බ්‍රිගේඩියර් ක්‍රිශාන්ත ප්‍රනාන්දු එක්ව සිටියහ.



ඉස්සර ජෙනරේටරයක් යනු මහා ගරු ගාම්භීර භාණ්ඩයකි. මරණ ගෙදරට, මඟුල් ගෙදරට, පිරිත් ගෙදරට වඩම්මන ආඩම්බරකාර අමුත්තෙකි. ඒත් මේ දිනවල පවතින ලයිට් කැපිල්ල ඒ ආඩම්බරකාර අමුත්තා මහ පාරට ඇද දමා තිබේ. මේ උත්සව සමයේ කොළඹ, කිරිබත්ගොඩ, නුගේගොඩ වැනි නගරවල ජෙනියක් නැති කුඩා කඩයක්වත් සොයා ගැනීමට නොහැකි තරම්ය.

ඡායාරූපය - මලිත් ගමගේ

ජාත්‍යන්තර මානුෂාවදී බිම්බෝම්බ ඉවත්කිරීමේ දිනය අප්‍රේල් 04 දිනට යෙදී ඇති අතර එයට සමාගමීව ශ්‍රී ලංකාවේ එම දිනය සැමරීමේ උත්සවය සහ යුද්ධය නිසා සිදුවූ අවතැන්වීම සම්බන්ධයෙන් ස්ථිරසාර විසදුම් ලබාදීම පිළිබද වන ජාතික ප්‍රතිපත්තිය පිළබදව දැනුවත් කිරීමේ වැඩසටහන අද (05) දින කිළිනොච්චිය පරවිපරන්ජාන් ක්‍රීඩංගනයේදී සිදුකෙරිණ.

ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම, උතුරු පළාත් සංවර්ධන හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සංවිධානය කළ වැඩසටහන වවුනියාව දිස්ත්‍රික් අයි.එම්. හනීෆා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

වැඩසටහනට ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වල නියුතු යුධ හමුදා මානුෂවාදී බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකක නිලධාරින්, භට පිරිස්, බිම්වෙඩි ඉවත් කිරීමේජාත්‍යන්තර සංවිධාන වන හලෝ  ට්‍රස්ට්, මැග් ආයතන සහ බිම්වෙඩි ඉවත් කිරීමේ රාජ්‍ය නොවන සංවිධාන වන ඩෑෂ්, ෂාප් ආයතන වල නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.

2020 වන විට මෙරට බිම්බෝම්බ වලින් තොර කලාපයක් කිරීම උදෙස් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වැඩසටහන වඩාත් සාර්ථක කර ගැනීම සහ යුද්ධය නිසා සිදු වූ අවතැන්වීම සම්බන්ධයෙන් ස්ථිරසාර විසදුම් ලබාදීම පිළිබදව වන ජාතික ප්‍රතිපත්තිය පිළිබදව බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වල ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වී සිටින සාමාජිකයින් දැනුවත් කිරීම, දිරිගැන්වීම හා ඇගයීම මෙම වැඩසටහනෙහි ප්‍රධාන අරමුණ විය.

මෙහිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා මානුෂවාදී   බිම්වෙඩි ඉවත් කිරීමේ ඒකකයට අයත් ඇලවින් සුනඛයා  විසින් බිම්බෝම්බ සොයා  ගනු ලබන ආකාරය ප්‍රදර්ශනාත්මකව පෙන්වනු ලැබීය.

වැඩසටහනට කිළිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් ජී.වී.රවිප්‍රිය, පුනරුත්ථාපන කොමසාරිස් කාර්යාලයේ අධ්‍යක්ෂක ජනරාල් මේජර් ජනරාල් ජානක රත්නායක, ශ්‍රී ලංකා බිම්බෝම්බ ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක එස්.ජලදීපන්, සහකාර අධ්‍යක්ෂක නීල් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

වවුනියාව - මාධව කුලසූරිය.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.