lakbima.lk

සුවය ලැබූ “වාසනා” කතරගම පෙරහරට සූදානම්

කතරගම දේවාලයට අයත් වාසනා හස්තියා මඳ කිපීම හේතුවෙන් මාස 04ක් එකම තැන ගස් බැඳ සිට ඊයේ (08) වැනි දින උදෑසන සුභ මොහොතින් ඇසළ මංගල්‍ය සඳහා එම ගසින් ලිහා දැමුවේය.

රුහුණු මහා කතරගම දේවාලයේ වාසනා හස්තියාද මාස 04ක කාලයක් සිට ගස් බැඳ තැබිම වසරකට වරක් සිදුවේ. ඇතාගේ කන් තෙමීමේ රෝගය සුව වීමෙන් පසුව සුභ මොහොතින් යදම්වලින් මුදවා කඳ සුරිඳුගේ පෙරහර මංගල්‍ය සඳහා සූදානම් කරවන්නේ චාරිත්‍ර විදි අනුගමනය කරමින්ය.

මෙම අවස්ථාව ඉතාම අලංකාරවත්ව සිදු කරනුයේ මඟුල් ගෙදරක සිරියක් මවා පාමින්ය. අලි ඇතුන්ට වසරකට වරක් වැලඳෙන කම්බුල් තෙමීමේ රෝගය හෙවත් මඳ කිපීමේ රෝගය වාසනා හස්තියාටද වසරකට වරක් වැලඳෙන අතර මෙම රෝගය වැළඳුණ විටදී ඇතා පිස්සකු මෙන් හැසිරෙන බවත් මෙම හේතුව මත ඇතා මාස කීපයක් ගසක බැඳ දමා සාත්තු සප්පායං කරමින් රැක බලා ගන්නා බවත් වාසනා හස්තියා රැක බලා ගන්නා බාරකරුවන අජිත් අසෝක ලියනගේ මහතා පවසයි.

කතරගම දේවාලයේ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කතරගම ශ්‍රී අභිනවාරාම විහාරාධිපති ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස හිමියන්ගේ හා කිරිවෙහෙර වාසි තලගල ඤාණේන්ද්‍ර හිමියන්ගේ ආශිර්වාදය මැද ඊයේ (08) වැනි දින සෙත් පිරිත් සජ්ක්ධායනා මැද පිරිත් පැන් ඉස ඇතාට ආශිර්වාදය කර ඇතා ගසින් ලිහුවේය.

ඇතා ඉදිරි පිට කිරි මුට්ටියක් ඉතිරවීමෙන් පසුව බැඳ තැබූ යදම් ගලවා, ඇත නහවා, කැවුම් කිරිබත් පලතුරු ආහාරයට ලබාදීම සිදු කෙරෙයි. මෙම අවස්ථාවේදී මඟුල් ගෙදරක මෙන් පැමිණ සිටි සැමට අලි වාඩියේ භෝජන සංග්‍රහයක්ද සංවිධානය කරන අතර පැමිණ සිටින සැවොම කැවුම් කිරිබත් කා ඇත් ගොව්වාට මුදල් තෑගි ද ලබා දෙති.

කතරගම කේ.ඩී. දේවප්‍රිය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.