lakbima.lk

දෙසැම්බර් 9දා දිවුරුම් දෙනවා කියන ජනපති කවුද?

 

දුමින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ‍ලේකම්වරයා අනුරාධපුරයේදී ඉදිරි ජනාධිපතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා ගැන අදහස් දැක්වූවේ පාක්ෂිකයන්ට පක්ෂය ගැන බලා‍පොරොත්තුවක් ඇති කරමින්ය. එහෙත් එම බලා‍පොරොත්තුවට ගිය සතියේදී හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ දැඩි ප්‍රතිරෝධයක් එල්ල කළේය. ඔහු එම කතාව කීවේ මීළඟ ජනපති අපේක්ෂකයා පිළිබඳ කතා නොකිරීමට දෙපාර්ශ්වයම නොනිල එකඟතාවක් ඇති කරගෙන තිබෙන පසුබිමකය. එම එකඟතාව කඩ කරමින් බැසිල් රාජපක්ෂ කීවේ දෙසැම්බර් 9 වැනිදා ‍පොහොට්ටුවේ ජනපතිවරයා දිව්රුම් දෙන බවය. එහි අදහස බැසිල් සහය දෙන්නේ ‍පොහොට්ටුවෙන් ඉල්ලන ජනපති අපේක්ෂකයකුට  බවය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක් නොවන බැසිල් ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් හමුවකදී කියා තිබුණේද වෙනත් දේශපාලන පක්ෂයක      අයෙක් වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරයක් මෙහෙයවීමට තමන් සූදානම් නොමැති බවය. ඒ අතරම ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙක් විය යුතු බවට යෝජනාවක් සම්මත කරගත්තේය.

ඔයාලා කලබල වෙන්න එපා. ‍පොහොට්ටුවෙන් තරග කරන එක ගැන මටත් වුවමනාවක් තියෙනවා. මෙච්චර අමාරුවෙන් හදපු පක්ෂයක් විනාශ වෙන්න ඉඩ තියන්න බැහැ. ඒ නිසා ලබන වතාවේ පත්වෙන ජනාධිපතිවරයා නිසැකවම ‍පොහොට්ටුවේ සාමාජිකයෙක් කියලා මතක තියාගන්න බැසිල් අවධාරණය කළේය.

බැසිල් ‍පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් ගැන අවධානය යොමු කරන විට මෛත්‍රී නැවත ‍පොදු සන්ධානයක් ගොඩ නගාගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ අපේක්ෂාවෙන් පසුවේ. ඒ වෙනුවෙන් පසුබිමෙන් සමාජ ජාල ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භ කර තිබේ. මොනවා නැතත් - අත්වල ‍ලේ තැවරුණ නැති එකම නායකයා, මොනවා නැතත් - හොරකම් නොකරපු එකම නායකයා ආදී ලෙසින් මේ දිනවල සමාජ මාධ්‍ය වෙත යොමුවී ඇත්තේ එම ප්‍රචාරණ යන්ත්‍රණයය.

‍පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව කියන බැසිල් සිය පක්ෂයේ සියලුම පළාත් පාලන නියෝජිතයන් කැඳවා ඔවුන්ට වගකීමක් පවරා තිබුණේය. ඒ ගම් මට්ටමින් තොරතුරු එක් කිරීමේ වැඩසටහනක්ය. සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයක් මට්ටමින්ම පුද්ගලයන්, නිවාස සංඛ්‍යාව, ඒ ඒ නිවාසවල රැකියා කරන පුද්ගලයන්, ඉඩම්, ආදායම් මාර්ග පමණක් නොව මාර්ග සංවර්ධනය ගැනත් අවධානය යොමු කරමින් එම තොරතුරු එක් කිරීමට නියමිතය.

පළාත් පාලන නියෝජිතයෝ ගෙවල්වලට ගිහින් මේ තොරතුරු එකතු කරන්න ඕන. ගෙදරට ගිහින් හදිසියේම මේවා එකතු කරගන්න එපා. ටික වෙලාවක් ගෙදර රැඳිලා ඉඳලා ඒ අයගෙන් තොරතුරු ගන්න බැසිල් උපදෙස් දී තිබුණේය. ‍පොතක් වැනි මෙම තොරතුරු පත්‍රිකාව පුරවා නැවත අප්‍රේල් මාසය වන විට පක්ෂයට  භාරදිය යුතුය. පක්ෂය විසින් එම තොරතුරු විශ්‍ලේෂණය කරමින් ඉදිරි මැතිවරණයක ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කිරීමට නියමිතය.

නෙළුම් මාවතේ පිහිටි ‍පොදුජන පෙරමුණු කාර්යාලයට යාබද නිවස දැන් තිබෙන්නේද බැසිල්ගේ භාරයේය. එම නිවසත් බැසිල් කුලියට ගෙන ඇත්තේ ‍පොදුජන පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය නිර්මාණය කිරීමටය. දිස්ත්‍රික්ක විසි හතරට අදාළව මෙහෙයුම් මධ්‍යස්ථාන විසි හතරක් නිර්මාණය කරමින් ඔහු සූදානම් වන්නේ ඉදිරි මැතිවරණයට විය යුතුය.

බැසිල් වෙනම ජනාධිපතිවරණයකට සූදානම් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන්ටද ආරංචි වී තිබු අතර ඔවුහු එයින් තරමක කලබලයට පත්ව සිටියහ. ‍පොදුජන පෙරමුණේ අනෙක් නායකයන් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් කිහිපදෙනෙක් අදහස් හුවමාරු කරගෙන තිබුණේ බැසිල්ගේ හදිසි වෙනස නිසාය.

පසුගිය සතියේදී ඇතිකරගත් එකඟතාවන්ට අනුව ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ පක්ෂ නායකයන් ජී.එල්. පීරිස්ගේ නිවසට පැමිණියේ මෛත්‍රීත් සමග පසුගිය සතියේ පැවැති සාකච්ඡාවේ තවත් දිගුවක් ලෙසය. පසුගිය සතියේදී පැවති සාකච්ඡාවේදී එකඟවී තිබුණේ සෑම සතියකදීම පක්ෂ නායකයන් එක්ව සිදුවන දේශපාලන වෙනස්කම් ගැන අවධානය යොමු කිරීමටය. මෛත්‍රී සමග පැවැති සාකච්ඡාවටත් නොපැමිණි බැසිල් ජී.එල්.ගේ ගෙදර පැවැති සාකච්ඡාවටත් පැමිණියේ නැත.

ජී.එල්.ගේ නිවසට පැමිණෙන බව බැසිල් ‍පොරොන්දු වී තිබුණේ මහින්දටය. සාකච්ඡාව ආරම්භ වන විටත් බැසිල් පැමිණියේ නැත. ඒ නිසා තරමක කලබලයට පත්වූ මහින්ද බැසිල්ට දුරකථන ඇමතුමක් ගත්තේය.

බැසිල්, අපි ඔයා එනකම් බලාගෙන ඉන්නවා. පරක්කු වෙනවා නම් අපි සාකච්ඡාව පටන් ගන්නවා. ඔයා එනවාද? මහින්ද ඇසුවේය.

දුරකථනයේ එහා කෙළවරෙන් පිළිතුරු දුන් බැසිල් කියා තිබුණේ තමන් අනිවාර්යයෙන්ම සාකච්ඡාවට පැමිණෙන බවය. එහෙත් වේලාව ගත වුවත් බැසිල් එහි ආවේ නැත. ඒ නිසා නැවතත් මහින්ද බැසිල්ට දුරකථන ඇමතුමක් ගත්තේය. එයටත් පිළිතුරු දුන් බැසිල් කීවේ තමන් ජී.එල්. ගේ නිවසට පැමිණෙමින් සිටින බවය. මග එනවා යැයි කියූ බැසිල් රාත්‍රී භෝජන සංග්‍රහය අවසන් වන තෙක්ම පැමිණියේ නැත. ඒ ගැන පසුව කවුරුවත් එතරම් විමසන්නට ගියේත් නැත.

ජී.එල්.ට අපිට රෑ කෑමක් දෙන්න ඕන කියලා තිබුණා. ඒ නිසා තමයි අපි හැම සතියකම තියන්න සැලසුම් කළ පක්ෂ නායක රැස්වීම ජී.එල්.ගේ ගෙදර තිව්වේ. අපි සන්ධානය හැදීමේ ක්‍රියාදාමය ගැන මෙහිදී සාකච්ඡා කළා. ඒ වගේම දේශපාලන තත්ත්වය ගැනත් සාකච්ඡා කළා. සාකච්ඡාවලට අමතරව අපි තීන්දු කිහිපයක් ගත්තා. එකක් තමයි දිස්ත්‍රික් මට්ටමින් අපි ‍පොදුවේ රැස්වීම් පැවැත්වීමට. මහනුවරින් මේ රැස්වීම් මාලාව ආරම්භ කිරීමට අපි එකඟතාවකට පැමිණියා සාකච්ඡාවේදී අවධානය යොමුවූ දේ ගැන වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා කතා මැද කතා තීරුවට පැවසුවේය.

 මහාරජාට ඇඳපුු අය

මහින්ද පසුගිය සතියේදී සිටියේ ඉන්දියාවේය. ද හින්දු පුවත්පත විසින් සංවිධානය කළ දේශනයකට සහභාගී වීමට ඉන්දියාවට යාමට පෙර මහින්ද නෙළුම් මාවතේ කාර්යාලයට පැමිණ තිබුණේය. එහෙත් ඔහුට කාර්යාලය ඇතුළට යාමට අවස්ථාවක් ලැබුණේ නැත. ඒ විශාල පිරිසක් එහි පැමිණ සිටීම නිසාය. කාර්යාලය තුළට යාම පසෙකට තැබූ මහින්ද එළියේ පුටුවක වාඩිවී කළ යුතු කාර්යයන් කිහිපයක් අවසන් කර නැවත පිටත්ව ගියේය.

මහින්ද සමග නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාත්, ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයාත් ඉන්දියාවට ගොස් තිබුණේය. ඉන්දියාවේ රාජ්‍ය තාන්ත්‍රිකයන් කිහිපදෙනෙක් හමුවූ මහින්දව ඇතමෙක් පිළිගෙන තිබුණේ සාටක හා මහාරාජාවරු පලඳින ආකාරයේ හිස් වැසුමක් පලඳවමින්ය. මහින්ද සමග ගිය නාමල් හා ඩිලාන්ද මහාරාජාවරුන්ට අන්දවා තිබුණේය.

මහින්ද ඉන්දියාවට යාමට පෙර ගම්පහ මන්ත්‍රීවරු දෙදෙනෙක්ම තිරුපති කෝවිලට ගොස් පැමිණියේය. ඒ ප්‍රසන්න රණතුංග හා ප්‍රසන්න රණවීරය. බැසිල් සමග පසුගිය සතියේදී පැවති සාකච්ඡාවකට ඔවුන් දෙදෙනාම පැමිණ තිබුණේ තට්ටය ගාගෙනය. ඒ තිරුපති කෝවිලට වී තිබූ භාරයක් ඉටු කිරීමට ඔවුන් කොණ්ඩය කපාගෙන පැමිණ තිබූ නිසාය.

ජනපති මෛත්‍රී පසුගිය සති අන්තයේ සිටියේත් ‍පොළොන්නරුවේය. මෛත්‍රී ‍පොළොන්නරුවේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් හමුවී ඉදිරි මැතිවරණ ගැන සාකච්ඡා කළේය.

එක එක්කෙනා ජනාධිපතිවරණයක් ගැන කතා කරනවා. කවුරු මොනවා කිව්වත් මුලින්ම තියන්නේ පළාත් සභා මැතිවරණය. ජනාධිපතිවරණයක් මුලින්ම තියන්න පුළුවන් නම් ඒක තීරණය කරන්න පුළුවන් එකම කෙනා මම. ඒ ගැන මම අවශ්‍ය වෙලාවේදී තීන්දුවක් ගන්නවා. ඒත් මුලින්ම තියන්නේ පළාත් සභා මැතිවරණයක්මෛත්‍රී කීවේය.

 අපිට භය නැතිව හොරකම් කළේ නැහැ කියලා කියන්න පුළුවන් නායකයෙක් ඉන්නවා. කොමිස් ගහපු නැති, කොන්ත්‍රාත් නොකළ නායකයෙක් අපිට ඉන්නවාදයාසිරි ජයසේකර පක්ෂ මහ ‍ලේකම්වරයා ජනපති ගැන ගුණ ගැයුවේ බැසිල් මෛත්‍රීට පිටුපාමින් සිටින බවට මතයක් සමාජගත වෙමින් තිබූ අවස්ථාවේදීය.

‍පොළොන්නරුවේ සති අන්තය ගත කළ මෛත්‍රී කොළඹ පැමිණියේ පිබිදෙමු ‍පොළොන්නරුව       වැඩසටහන යටතේ ජීවනෝපාය සරිකරගැනීම සඳහා අවශ්‍ය උපකරණ ලබාදීමේ වැඩසටහනකට සහභාගි වීමෙන්ද පසුවය.

සඳුදා නැවත කොළඹ පැමිණි මෛත්‍රී, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති ග්‍රාම ශක්ති වැඩපිළිවෙළ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්විය. සියලු දෙනාම එක්ව රට ගොඩ නැගිය යුතු බව කී මෛත්‍රී එදින සවස සුළු හා මධ්‍ය පරිමාණයේ වී මෝල් හිමියන් හමුවිය. මෛත්‍රී වී මෝල් හිමියන් හමුවීමට යන විට ඒ ගැන කාගේත් අවධානය යොමුවූයේ මෛත්‍රීගේ සහෝදරයා ලංකාවේ අංක එකේ වී මෝල් හිමියා නිසාය. ඉකුත් කාලයකදී ඔහුගේ සොයුරා වන ඩඩ්ලි සිරිසේනද ප්‍රසිද්ධියේ දේශපාලනය ගැන කතා කරන්නට පටන්ගෙන තිබුණි. නමුත් මින් පෙර ජනපතිවරයාගේ පවු‍ලේ සාමාජිකයන් ඒ ආකාරයට දේශපාලනය ගැන කතා කර තිබුණේ නැත.

මගේ සල්ලිත් තියෙන්නේ මල්ලි ළඟ කියලා සමහරු හිතනවා. මිනිහගෙන් රුපියලක් අරගන්න තියෙන අමාරුව දන්නේ මම. මගේ ප්‍රතිපත්තිය වෙන්නේ නැගිටපු අයෙකුට අත දීම නමෛයි. වැටුණු කෙනෙක්ට අත දෙන එක තමයි මගේ ප්‍රතිපත්තිය වෙන්නේමෛත්‍රී කීවේය.

මෛත්‍රීගේ විරෝධය

සුපුරුදු පරිදි මේ සතියේත් කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී පැවැත්වුණේ මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන්ය. මේ දිනවල කැබිනට් රැස්වීමට වැඩි වේලාවක් නොගන්නේ කැබිනට්ටුව තුළ දේශපාලන කාරණා දීර්ඝ ලෙස සාකච්ඡා නොවන නිසාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු නොසිටින කැබිනට් රැස්වීමේදී කැබිනට් යෝජනා ගැන පමණක් අවධානය යොමුවේ.

උසස් පෙළ ළමුන් සඳහා ටැබ් දීමේ යෝජනාවක් මේ සතියේදීත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණේ අකිල විරාජ් කාරියවසම් ඇමැතිවරයාය. ජාතික ආණ්ඩුවක් පැවැති කාලයේදීත් අවස්ථා කිහිපයකදී කැබිනට් මණ්ඩලයට මේ යෝජනාව ඉදිරිපත් කර තිබුණත් මෛත්‍රී එයට විරෝධය දැක්වූවේය. එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් පවතිද්දීත් අකිල නැවත මේ යෝජනාව ඉදිරිපත් කළේ කලින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට සංශෝධන කිහිපයක් ඇතුළත් කිරීමෙන් පසුවය.

තවම මේ රටේ හරියට ඩෙස් බංකු නැති ඉස්කෝල තියෙනවා. එහෙම තිබියදී ළමයි ටිකකට ටැබ් දෙන්න යෝජනා කරන එක වැරදියි. ටැබ් දෙන්න කලින් ඩෙස් පුටු ටික හදලා ඉන්න මෛත්‍රී සුපුරුදු පරිදි අකිලගේ යෝජනාවට හරහට හිටියේය. එහෙත් අකිල තමන් ඉදිරිපත් කළ යෝජනාව වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටියේය. අවස්ථා කිහිපයකදී කැබිනට් මණ්ඩලයට මේ යෝජනාව ඉදිරිපත් කළ විට මෛත්‍රීගේ විරෝධය හමුවේ එය හකුලාගැනීමට සිදුවූ ආකාරය ගැන අකිල කරුණු දක්වන්න විය.

එහෙනම් අපි මේක නියමු ව්‍යාපෘතියක් විදියට ක්‍රියාත්මක කරමු. මේකේ සාර්ථකත්වය අනුව ඉදිරියේදී මේක රට පුරාම ව්‍යාප්ත කරනවාද කියලා තීරණය කරන්න මෛත්‍රී අවසානයේදී නියමු ව්‍යාපෘතියකට පමණක් අවසර ලබාදීමට එකඟ විය.

අකිල ඉදිරිපත් කළ යෝජනාවකට පමණක් නොව අගමැති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවකට මෛත්‍රී හරහට හිටියේය. රනිල් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබුණේ උසස් පෙළ විභාගය සමතුන් හත්දහස් පන්සියයකට රැකියා දීමටය.

උසස් පෙළ සමත් ළමයින්ට රැකියා දෙන්න අගමැතිතුමා යෝජනා කරනවා. ඒ අස්සේ උපාධිධාරීන්ට රැකියා නැහැ කියලා ඒ අය මෙහේට පෙළපාළියෙන් එනවා. මේවට උත්තර දෙන්න වෙන්නේත් මටනේ මෛත්‍රී සිය විරෝධය දැක්වූවේය. තමන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව හකුලාගැනීමට රනිල්ගේ වැඩි කැමැත්තක් තිබුණේ නැත. එහෙත් මෛත්‍රීගේ දැඩි විරෝධය හමුවේ ලබන සතිය දක්වා කැබිනට් පත්‍රිකාව සලකා බැලීම කල් දැමුවේය.

එකට නොසිට දයාසිරි බලන්න ගිය ගමන

අඟහරුවාදා සවස මෛත්‍රී එකට සිටිමු යනුවෙන් සංවිධානය කර තිබූ වැඩසටහනට සහභාගිවීම සඳහා පිටත්ව යාමට සූදානම් වෙමින් සිටියදී දයාසිරි ජයසේකර ගැන ආරංචියක් ආවේය. ඒ ඔහු අසනීපව රෝහල්ගතකර ඇති බවය.

මම එකට සිටිමු වැඩසටහනට යන්න කලින් දයාසිරි බලලා එන්න ඕන. ඒ නිසා දයාසිරි ඉන්න ජයවර්ධනපුර රෝහලට ගිහින් එමුයැයි සිය ආරක්ෂක අංශයට කී මෛත්‍රී එකට සිටිමු වැඩසටහනට සහභාගිවීම පසෙක තබා ජයවර්ධනපුර රෝහලට ගියේය.

හදිසි හෘදයාබාධයක් නිසා රෝහල්ගතවී සිටි දයාසිරිගේ සුව දුක් බැලීමට මෛත්‍රී යන විට දයාසිරි දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබුණේය. එහි ගිය මෛත්‍රී දයාසිරිගේ සුව දුක් විමසා එකට සිටිමු වැඩසටහනට එන විට රාත්‍රී අට පමණ වී තිබුණි. මෛත්‍රී සහභාගි වන විට එම වැඩසටහනේ වැඩි කොටසක් අවසන්වී තිබුණේය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පරිසර සමුළුවට යමින් සිටි මෛත්‍රීට මාධ්‍ය මගින් දැනගන්නට ලැබුණේ ජනාධිපති ආරක්ෂක ඒකකයේ ‍පොලිස් නිලධාරියෙක් ගංජා සමග අත්අඩංගුවට පත්ව ඇති බවය. මෛත්‍රී මත්ද්‍රව්‍ය මැඩලීමේ වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් තිබියදී ජනාධිපති ආරක්ෂක ඒකකයේ නිලධාරියෙක් ගංජා සමග අත්අඩංගුවට පත්වීම පිළිබඳ මෛත්‍රී සිටියේ තරමක කනගාටුවෙන් යුතුවය.

ජනාධිපති ආරක්ෂක ඒකකයේ නිලධාරියෙක් වුණාට කමක් නෑ. අත්අඩංගුවට ගනිපු නිලධාරියා සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්නමෛත්‍රී උපදෙස් දුන්නේය.

අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේ වැඩි කාලයක් ගත කළේ අලුතින් ඉදිකළ සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට පත් කිරීමේ වැඩසටහන්වලට සහභාගි වීමටය. බණ්ඩාරගම ‍පොදු වෙළෙඳ සංකීර්ණය විවෘත කළ රනිල් මාළිගාවත්තේ නිවාස සංකීර්ණයක් විවෘත කිරීමට ගියේ පාඨලී චම්පික රණවක ඇමැතිවරයා සමගය. සාගල සමග විශ්වෝදා ජාතික පාසල ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයටත් එක්වූ රනිල් යාපනයට ගියේය. බ්‍රහස්පතින්දා උදෑසනම ඔහු යාපනයට ගියේ යාපනය රෝහ‍ලේ තවත් විවෘත කිරීම් කිහිපයකට සහභාගී වීමටය.

යුද හමුදාව යුද අපරාධ හා ස්ත්‍රී දූෂණ අතුරුදන්වූවන් ගැන හොයන සත්‍ය කැබිනට් පත්‍රිකාව කල් ගියා කියලා පත්තරවල තියෙනවාඔවුන් කීවේ මේ ගැන රනිල්ගේ අදහස දැනගැනීමටය.

රනිල් යාපනයට ගියේ හෙලිකොප්ටරයෙන්ය. ඔහු සමග වජිර අබේවර්ධන, රාජිත සේනාරත්න ද යාපනයට පිටත්ව ගියේය. යාපනයට ගිය රනිල් විවෘත කිරීම් කිහිපයකට සහභාගී වී රාත්‍රිය ගත කිරීමට යාපනයේ ජෙට්වින් හෝටලයට පැමිණියේය. ඔහු ජෙට්වින් හෝටලයට පැමිණි විට තවත් අමුත්තෙක් රනිල් හමුවීමට ආවේය. ඒ මේ දිනවල කොළඹ මාධ්‍යයේ ජනප්‍රිය වී සිටින අරුන්ය. ආවා කල්ලියේ සාමාජිකයෙක් බව කියන ඔහු රනිල් හමුවී කතා කළා පමණක් නොව ඔහු සමග ඡායාරූපයකටද පෙනී සිටියේය. ආවා කල්ලියේ සාමාජිකයෙක් බව කියන ඔහු මීට පෙර පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග සමීපව කටයුතු කර තිබුණේය.

යාපනයේ සිටින රනිල් සති අන්තයේදී එන්නේ ගාල්ලටය. ඒ ගාල්ලේ සම්මන්ත්‍රණ ශාලාවකට මුල් ගල් තැබිමටය.

තිලකජය 
කාටූන් - අංජන ඉන්ද්‍රජිත්

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.