lakbima.lk

චම්පික-වජිරගේ වැය ශීර්ෂ පැරද වූ රහස් මෙහෙයුම

අයවැය පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා නිසා මේ දිනවල මැති ඇමැතිවරු බොහෝ දෙනෙක් සිටින්නේ පාර්ලිමේන්තුවේය. පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම් මෙන්ම කැබිනට් මණ්ඩල රැස්වීම්ද පාර්ලිමේන්තුවේ පැවැත්වෙන්නේ අයවැය විවාදයට සහභාගීවන මැති ඇමැතිවරුන්ගේ පහසුවටය. අගමැති රනිල් වික්‍රමසිංහ, අයවැය විවාදය ආරම්භවන සතියේදීම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු පැමිණීම අනිවාර්ය කර තිබුණේය. ඒ බහුතරයක් එජාපයට නැති බැවින් හදිසියේවත්, විපක්ෂය ඡන්ද විමසීමක් ඉල්ලා සිටියහොත් එයට මුහුණදීමට හැකි වන පරිදිය.

අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම එජපය ජයගැනීමෙන් පසුව කාරක සභා අවස්ථාවලදී අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයට ගන්නා අවස්ථාවලදී ඡන්ද විමසීමක් ඉල්ලීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කිසිදු වුවමනාවක් තිබුණේ නැත. අයවැය විවාදය ගැන පැවැත්වෙන පක්ෂ නායක රැස්වීම්වලදී විපක්ෂය පවසා තිබුණේ ජන්දයක් නොයිල්ලන බවය. මේනිසා ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුද සිටියේ තරමක් සැහැල්ලුවෙන්ය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු අයවැය විවාදය සැහැල්ලුවට ගන්නා බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරු නිරීක්ෂණය කළහ. මේ නිසා ආණ්ඩුවට එක්වරම පාඩමක් ඉගැන්වීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කතිකා කරගත්හ. එම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරුණේ රංජිත් සොසියා මන්ත්‍රීවරයාටය. ඒ නිසා ඔහු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට පැමිණීම අඩු දවස්  ගැන අවදියෙන් සිටියේය.

වැය ශීර්ෂයක් පරාජයට පත් කිරීමේ අවස්ථාවන් කිහිපයක්ම පසුගිය සතියේදී උදාවී තිබුණේය. එහෙත් ආණ්ඩුවට දැනෙන වැය ශීර්ෂ කිහිපයක් පරාජය කිරීමේ අවශ්‍යතාව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම පෙන්වා දුන්හ. ඔවුන්ගේ තේරීම වූයේ පාඨලී චම්පික රණවක ඇමැතිවරයා සහ වජිර අබේවර්ධන ඇමැතිවරයාය. ඔවුන් දෙදෙනොගේ අමාත්‍යාංශ වැය ශීර්ෂ පරාජයට පත් කිරීමට අවධානය යොමු කළේ ඒ වන විටත් පාඨලී ඒකාබද්ධ විපක්ෂයට හිසරදයක් වී තිබිම නිසාය. පාඨලී දිගින් දිගටම ඒකාබද්ධ විපක්ෂය විවේචනය කරන නිසා ඔහුට විරුද්ධව විපක්ෂ මන්ත්‍රීවරු එක් කරගැනීමද පහසුවී තිබුණි.

මේ අතර පාඨලීගේ මහා නගර අමාත්‍යාංශය සමග වජිරගේ පළාත් සභා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පරාජය කිරීමට තීරණය කළේ ‍පොහොට්ටුව වැඩි බලයක් දිනාගෙන තිබෙන පළාත් පාලන ආයතනවල කටයුතුවලට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සෘජුව බලපාන නිසාය. රංජිත් සොයිසා මේ ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ දැනුවත් කළ අතර ඔවුන් දෙදෙනාගේ සහයද මෙයට හිමිවිය. ඒ අතර රංජිත් සොයිසාගේ සහයට ෂෙහාන් සේමසිංහ මන්ත්‍රීවරයාද ඉදිරිපත් විය.

පාඨලීගේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගත් බ්‍රහස්පතින්දා උදෑසන ඔවුන් දෙදෙනා පාර්ලිමේන්තුවට ගියේ පාර්ලිමේන්තුවේ කිසිවක් සිදු නොවන ගානටය.

“අපි පාර්ලිමේන්තුවේ ඉන්නේ නැහැ කියලා ආණ්ඩුවට පෙන්නමු. එතකොට ඒ අයත් ඡන්දයක් ආවත් බය නෑ කියලා ඉන්නවානේ. ඡන්දයක් ගන්න තියෙන්නේ හවසටනේ. උදේට එන මන්ත්‍රීවරු හවස් වෙනකම් ඉන්නේ නෑ. ටිකක් වෙලා ගියාම යනවා. ඒ නිසා අපි හවසට එකපාරටම සභාවට ඇවිත් ඡන්දයක් ඉල්ලමු. අපේ අය පාර්ලිමේන්තුවේ නෑ කියලාම පෙන්වන්න ඕන. නැත්නම් ආණ්ඩුවේ අය ඇවිත් අපේ  සැලසුම කඩාකප්පල් වෙන්න පුළුවන්” රංජිත් සොයිසා මන්ත්‍රීවරුන්ට සැලසුම හෙළි කළේය.

ඒ අනුව රංජිත් සොයිසා සභා ගර්භයට ගොස් තමන්ගේ අසුනේ වාඩිවිය. ඒ හැරුණු විට විපක්ෂයේ සිටියේ වාසුදේව නානායක්කාර සහ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා පමණි. විපක්ෂයේ අනෙක් මන්ත්‍රීවරු පාර්මේන්තු පැමිණ නැතැයි සිතූ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් සභාවෙන් පිටත්ව ගොස් තිබුණාහ.

“අපේ කතාව අහන්න පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරු නෑ. ඉන්නේ මන්ත්‍රීවරු තුන් දෙනයි” ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු විපක්ෂයේ කණ්ඩායම සමච්චලයට ගෙන තිබුණි.

එහෙත් ඒ වන විට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ තැන තැන සැගවෙමින් සිටියහ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පිවිසුමෙන් පිවිසෙන සෑම මන්ත්‍රීවරයෙක්ගේම නම එහි සටහන් වන්නේ ඔහු පැමිණි වේලාවත් සමගය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු පිවිසුමෙන් පිටත්ව ගිය ‍ලේඛනය පරීක්ෂා කළ ආණ්ඩු පක්ෂයේ සංවිධායක කාර්යාලයේ නිලධාරීන්ගේ තක්සේරුව වී තිබුණේ ඡන්දක් ඉල්ලුවද ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව වැඩි බවය. එහෙත් මන්ත්‍රී පිවිසුමෙන් පිටත්ව ගිය ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු එකා දෙන්නා බැගින් නැවත අනෙක් පස පිහිටි මහජන පිවිසුමෙන් පාර්ලිමේන්තුවට පැමිණ තැන තැන සැගවී සිටින්නට විය. ඒ රංජිත් සොයිසාගේ සැලසුම අනුවය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සැලසුම මෛත්‍රී සමග සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු දැන සිටියේ නැත. ඒ නිසා වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පැමිණ එතැනින් පිටත්ව නොයා සිටියේය. ඒ බව දැනගත් රංජිත් සොයිසා වීරකුමාර පාර්ලිමේන්තුවෙන් පිටත් කර යැව්වේ ඔහුගේ කරට අත දාගෙන පැමිණ වාහනයට නංවමිනි.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු තැන තැන සැගවී සිටියදී සවස 7.20ට පමණ විවාදය අවසන් විය. විවාදය අවසානයේදී ජන්දයක් අවශ්‍ය යැයි කීවේ රංජිත් සොයිසාමය. ඒ අනුව ඡන්දයක් පැවැත්වීම සඳහා මන්ත්‍රීවරු කැඳවීමේ සීනුව නාද විය. එම සීනුව නාදවන විට සැගවී සිටි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු සභාවට පැමිණියහ.

වෙනදාට මේ ආකාරයට මන්ත්‍රීවරු තැන තැන සැඟවී සිටින බවට තොරතුරු ලැබෙන විට ක්‍රියාත්මක වන්නේ ආණ්ඩු පක්ෂයේ සංවිධායක කාර්යාලයයි. ගයන්ත කරුණාතිලක ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ සිටියත් අනෙක් මන්ත්‍රීවරු ගෙන්වා ගැනීමට වැඩි උනන්දුවක් දක්වා තිබුණේ නැත. වෙනදාට ඡන්දය පැවැත්වෙන වේලාවට පාර්ලිමේන්තුවට එන්නැයි කෙටි පණිවුඩයකින් හා දුරකතන ඇමතුමකින් දැනුම් දෙන නමුත් මෙදින කිසිදු දැනුම්දීමක් තිබුණේද නැත. ඒ නිසා අවසානයේදී සිදුවූයේ අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ කිහිපයක් පරාජයට පත්වීමය. එහෙත් ග්‍රාමනිලධාරීන්ට බලපාන වැය ශීර්ෂ පරාජයට පත් නොකිරීමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කර තිබුණේ ජනාධිපතිවරයා හිටපු ග්‍රාමනිලධාරිවරයෙක් වීමට වඩා ග්‍රාමනිලධාරී සංගම් ඒකාබද්ධ විපක්ෂය සමග කටයුතු කරන නිසාය.

“වෙනාදට අපිට පාර්ලිමේන්තුවට එන්න, ඡන්දයක් ඉල්ලන්න පුළුවන් කියලා එස්.එම්.එස්. එකක් එනවා. කෝල් එකක් එනවා. ඒත් මෙදා කිසිම දැනුම්දීමක් තිබුණේ නෑ” ඇතැම් මන්ත්‍රීවරු වජිරට කියා තිබුණේ ගයන්තට දෝෂාරෝපණයක් එල්ල කරමිනි. ඔවුන් දෙන්නාම ගාල්ල දිස්ත්‍රික්කයේය.

මෙසේ වැය ශීර්ෂයක් පරාජයට පත්වූයේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරු දෙදෙනෙක් සහකාර ප්‍රධාන සංවිධායකවරු තිදෙනෙක් සිටියදීය.  ඒ අතරින් ආශු මාරසිංහ මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහට ලිපියක් ලියමින් සිය ධුරයෙන් ඉල්ලා අස්වූවේය.

“අයවැය විවාද කාල පරිච්ජේදයේදී මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ අනිවාර්යෙන් රැඳී සිටින්නැයි නියම කර තිබියදී අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ පරාජයට පත්වීම පිළිබද කනගාටුවට පත් වෙමි. ආණ්ඩු පක්ෂයේ සංවිධායකට, නියෝජ්‍ය සංවිධායකවරුන් දෙදෙනාට සහ සහකාර සංවිධායකවරුන්  තිදෙනාට මේ සම්බන්ධයෙන් වගකීමක් ඇතැයි මම විශ්වාස කරමි. ආණ්ඩු පක්ෂයේ සහකාර ප්‍රධාන සංවිධායකවරයෙක් ලෙස මාගේ වගකීම නොපිරිහෙළා ඉටු කළත් මේ සිද්ධියේදී මාහට පැවරී ඇති වගකීම බැහැර කළ නොහැකිය. නොසැලකිලිමත් බව, අපරික්ෂාකාරීබව, මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ගැනීමට නොහැකිවීම ගැන මා අතිශයින් කනගාටුවට පත්වෙමි. විශේෂයෙන්ම මෙයින් පෞද්ගලිකව අපහසුතාවට පත්වූ ඇමැතිවරුන්ට මාගේ කනගාටුව ප්‍රකාශ කරන අතර මේ සම්බන්ධයෙන් වන වගකීම භාරගෙන ඉල්ලා අස්වීමට තීරණය කරමි” ආශු මාරසිංහ සිය ඉල්ලා අස්වීමේ ලිපියේ ලියා තිබුණේය.

මධුමාධව අරවින්දගේ විවාහ මංගල උත්සවය සුගිය සතියේදී පැවැත්වුණේ ගංගාරාම විහාරස්ථානයේදීය. මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මධුමාධවගේ විවාහයේ සාක්ෂිකරුවන් වූයේ ඔහුගේ දේශපාලන සම්බන්ධය නිසාය. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසක්ද එහි පැමිණ සිටියහ. ඒ වන විට එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් අතර ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීම පිළිබඳ  කතාවක් ඇතිවී තිබුණි.

මොකක්ද සර් අර ජාතික ආණ්ඩු කතාව ප්‍රසන්න මහින්දගෙන් ඇසුවේ ඔහු ඒ ගැන නිවැරදි තොරතුරක් දන්නවා යැයි සිතාය.

මමත් දැක්කා එහෙම කතාවක්. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ වගේ වැඩක් කරාවි කියලා මම නම් හිතන්නේනෑමහින්ද කීවේය.

එහෙම නොකළොත් හොඳයි. එක පාරක් ජාතික ආණ්ඩු අටවාගන්න ගිහින් වෙච්ච දේවල් මතක ඇතිනේ ප්‍රසන්න කීවේය.

අපි බලමුකෝ. එයාලා ඉතිං ගන්න තීන්දුවලට අපිට මුකුත් කියන්න බැහැනේ. අපි අපේ වැඩේ කරගෙන යමුමහින්ද කීවේය. පසුව ගෝඨාභය, මහින්ද, ප්‍රසන්න සහ ගම්මන්පිල පැත්තකට වී කතා කරන්න වූ අතර ඔවුන් හතර දෙනා කතා කළේ මොනවාදැයි කාටවත් කියා තිබුණේ නැත.

ඒකාබද්ධ විපක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර මන්ත්‍රීවරුන්ට ජාතික ආණ්ඩු කතාව ප්‍රශ්නයක් වී තිබුණි. පාර්ලිමේන්තුවේදී මහින්දගේ මුහුණට හමුවන බොහෝ දෙනා ඔහුගෙන් ඒ ගැන අසා තිබුණේය.

මගෙනුත් ගොඩක් අය කතා කරලා අහනවා. අදත් කෝල් හතරක් පහක් ආවා. දැන් කෙනෙක් කෝල් කරලා අහනවා ඒ කතාව ඇත්ත නේද, රනිල් මෛත්‍රී එක්ක කාර් එකේ නැගලා යනවා දැක්කා කියලා.ඒ දෙන්නට කාර් එකේ එකට යන්න බැරිද කියලා මම විහිළුවට වගේ ඇහුවා මහින්ද ප්‍රශ්න අහන අයට උත්තර දුන්නේය.

බදාදා සවස පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසයේ කණ්ඩායමේ මන්ත්‍රීවරු පිරිසක් මහින්ද හමුවීමට විපක්ෂ නායක කාර්යාලයට පැමිණියහ. ඒ ඉදිරි දේශපාලන කටයුතු ගැන සාකච්ඡා කිරීමටය. දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල, ලක්ෂ්මන් වසන්ත සහ ඩිලාන් පෙරේරා එසේ මහින්ද හමුවීමට පැමිණ සිටියහ. මහින්දගේ අදහස වූයේ ජාතික ආණ්ඩුවක් නිර්මාණය නොවන බවය.

ජාතික ආණ්ඩුව පිළිබඳ කතාබහ ඇදී ආවේ පසුගිය කාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට එක්සත් ජාතික පක්ෂයට නොනිල වශයෙන් සහය ලබාදීට ඉදිරිපත්වූ මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ට ඇමැතිධුර ලබාදීම පිළිබඳ අවධානය යොමු කරමින්ය. පියසේන ගමගේ මන්ත්‍රීවරයා තමන්ට ඇමැති ධුරයක් නොලැබිම සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලට පත්ව සිටින අතර ඔහු ඒකාබද්ධ විපක්ෂයේ කිහිපදෙනෙක් සමග සාකච්ඡා කර තිබුණේ නැවත වරක් මහින්ද රාජපක්ෂ කණ්ඩායම සමග එක්වීමටය. ඒ අනුව ඔහු ඒකාබද්ධ විපක්ෂයට අනිවාර්යෙන්ම එක්වනු ඇතැයි ඒකාබද්ධ විපක්ෂය      නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසක් දැඩි විශ්වාසයක සිටි අතර එක්සත් ජාතික පක්ෂයට දැනුම්දී තිබුණේ තමන්ට ඇමැතිධුරයක් නොලැබෙන්නේ නම් තවදුරටත් ආණ්ඩුවට සහය දීමේ ප්‍රයෝජනයක් නොමැති බව කියමිනි.

මේ නිසා එක්සත් ජාතික   පක්ෂය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු සිව් දෙනෙකුගේ නම් මෛත්‍රී වෙත යොමු කළේය. ඒ ඇමැති ධුර දීමටය. විජිත් විජිතමුනිද සොයිසා, ඒ.එච්.එම්. ෆවුසි, පියසේන ගමගේට ඇමැති ධුර ලබාදෙන්නැයි එයින් දැනුම්දී තිබුණේය. එපමණක් නොව ඇමැතිධුර ලබාදිය යුතු එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු කිහිපදෙනෙක්ගේ නම්ද මෛත්‍රීට යැවූ ලිපියට ඇතුළත්වී තිබුණි. පාලිත රංගේ බණ්ඩාර සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ නම් එයට ඇතුළත් කර තිබුණේ ඔවුන් දෙදෙනාට ඇමැතිධුර ලැබිය යුතු බවට පක්ෂය තුළින් දැඩි මතයක් ඇතිවීම නිසාය.

කෙසේ වෙතත් මේ වන විට නැවත වතාවක් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ අදහස යට ගොස් තිබෙන්නේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන අවධානය යොමුවී ඇති නිසාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය තමන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ විවිධ අදහස් දක්වමින් සිටියදී ඒකාබද්ධ විපක්ෂය රහස් සාකච්ඡා ගණනාවක් පවත්වා තිබුණේය. රාජපක්ෂ පවු‍ලේ සාමාජිකයන් අතර එම සාකච්ඡා පැවැති අතර ඔවුන් එහිදී අවසන් තීරණයක් ගෙන තිබුණේය. ඒ ගෝඨාභය රාජපක්ෂ ජනධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමටය.

එහෙත් ගෝඨාභය රාජපක්ෂගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඔහුගේ අපේක්ෂකත්වයට බාධාවක් ලෙස පැවැතිය හැකි බවට තර්කයක් මතුවිය. යම් හෙයකින් අධිකරණය විසින් ගෝඨාභය රාජපක්ෂට      ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දිය නොහැකි බවට තීරණයක් ලබාදුන්නහොත් ඇතිවිය හැකි තත්ත්වය ගැනද දීර්ඝ සාකච්ඡාවකට ලක්විය.ඒ අනුව ඔවුන් තීරණය කර තිබුණේ ගෝඨාභයගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීම සඳහා වන අයැදුම්පත නැවත වරක් ඇමෙරිකානු තානාපතිකාර්යාලය හරහා ඉදිරිපත් කිරීමටය. ඒ අනුව මේ මාසය මුලදී ගෝඨාභය නැවත වරක් ඇමෙරිකානු තානාපති කාර්යාලය හරහා සිය ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීම සඳහා වන අයැදුම්පත ඉදිරිපත් කර තිබුණි.

එහි ඉදිරි කටයුතු කිරීමට නම් ගෝඨාභයට ඇමෙරිකාවට යාමට සිදුව තිබුණි. වැඩි අවධානයක් දිනාගන්නේ නැතිව ඇමෙරිකාවට ගොස් පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය අවසන් කරගැනීම ගෝඨාභයගේ අපේක්ෂාව විය. ඒ අනුව ඔහු මේ සතියේදී ඇමෙරිකාව බලා පිටත්ව ගියේය. ඔහු ඇමෙරිකාව බලා පිටත්ව ගියේ විවාහ මංගල උත්සවයකට සහභාගී වීමටය. විවාහ මංගල උත්සවයට සහභාගීවීම ප්‍රසිද්ධ කාරණය වී තිබූ නමුත් අභ්‍යන්තර මෙහෙයුම වී තිබුණේ සිය පුරවැසිභාවය ඉවත් කරගැනීම සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරගැනීමය.

යම් හෙයිකින් ගෝඨාභයගේ ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි වුවහොත් ඔහුට ජනාධිපතිවරණයකට ඉදිරිත්වීමට අවස්ථාව ලැබෙනු ඇත. මේ අවස්ථාව වැළැක්වීම සඳහා සැලසුමක් සකස් කර තිබුණේ නවීන් දිසානායක මන්ත්‍රීවරයාය. ඒ අනුව නවීන් දිසානායක පසුගිය සතියේ පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට යෝජනාවක් ඉදිරිපත් කරමින් පැවැසුවේ විදෙස් පුරවැසිභාවය ඉවත් කරගත්තද එවැනි අයට මැතිවරණයකට ඉදිරිපත් විය නොහැකි බවට වන යෝජනාවක් ඉදිරිපත් කළ යුතු බවය.

විදෙස් පුරවැසියන්ට මැතිවරණවලට ඉදිරිපත් වෙන්න බැහැ කියලා මැතිවරණ නීතියක් නෑ. ඒ නිසා මැතිවරණ කොමිසම ශක්තිමත් කරලා විදෙස් පුරවැසියන්ට මැතිවරණයකට ඉදිරිත් විය නොහැකි බවට වන නීතියක් ගෙන ආ යුතුයි නවීන් යෝජනා කළේය.

එහෙත් නවීන්ගේ යෝජනාවට සහය ලබාදීමට කිසිවෙක් ඉදිරිපත්වූයේ නැත. ඒ වෙනුවට නවීන්ට ප්‍රතිපක්ෂව අදහස් දැක්වූයේ සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාය.

අපි මේ තත්ත්වය දන්නවා. ඒ නිසා එවැනි නීතියක් ගෙන ඒමට අවශ්‍ය නෑසජිත් නවීන්ට විරුද්ධව අදහස් දැක්විය. ඒ අදහස් දැක්වීම අවසන් වූයේ ඔවුන් දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවකිනි.

මේ අතර ගෝඨාභය ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිත් කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටද සෘජු මාර්ගයක් ඔස්සේ කරුණු වාර්තා කර තිබුණි. එහෙත් එයට තවමත් මෛත්‍රීගේ ප්‍රතිචාරයක් ලැබි තිබුණේ නැත. ඒ ගැන සාකච්ඡා කිරීමට ඔහු මහින්ද අමරවීර මන්ත්‍රීවරයාත් ලසන්ත අලගියවන්න මන්ත්‍රීවරයාත් කැඳවූවේය. ඒකාබද්ධ විපක්ෂයෙන් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා සහය ලබාදෙනවාද නැතිනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේද යන්න ගැන මෛත්‍රී වැඩි අවධානයක් යොමු කළේය. එහෙත් ඒ ගැන අවසන් තීරණයක් ගැනීමට ඔහුට හැකියාවක් ලැබි නැත.

මේ අතර දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායමක් මෛත්‍රී හමුවීමට පැමිණියේ මේ ගැන ජනාධිපතිවරයාගේ අවසන් තීරණයක් ලැබි නොමැති බවට කරුණු වාර්තාවීම නිසාය. දයාසිරිගේ අදහස වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිවම නැගිටිය යුතු බවය. මෙවැනි තත්ත්වයක් තුළ ‍පොදුජන පෙරමුණ සමග සන්ධානයක් ගොඩනගාගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන්ගෙන් අදහස් මතුවිය.

ඒ අනුව දයාසිරිගේ යෝජනාව වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දැවැන්ත මැයි දිනයක් සංවිධානය කළ යුතුබවය. ඒ සඳහා ගම්පහ දිස්ත්‍රික්කය ඔවුන්ගේ තෝරා ගැනීම විය. මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය    නගා සිටුවීමේ අවසන් අවස්ථාව නිසා ඒ වෙනුවෙන් ගත හැකි උපරිම ශක්තිය යෙදවීමට ඔවුන්ගේ කතා බස්වලදී තීරණය වී තිබුණේය.

 රනිල්ගේ උපන්දිනය

අගමැති රනිල් වික්‍රමසිංහගේ හැත්තෑ වැනි උපන්දිනය යෙදී තිබුණේ පසුගිය සතියේදීය. සාම්ප්‍රදායික උපන්දින උත්සවයක් වෙනුවට රනිල් උපන්දිනය සැමරීමට හම්බන්තොටට ගොස් තිබුණේය. ඒ ඩොලර් බිලියන හතරක් වැය කරමින් තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට මුල් ගල තැබිමටය. කොළඹ සිට හම්බන්තොට බලා පිටත්ව ගිය රනිල් ගියේ හම්බන්තොට ශැංග්‍රිල්ලා හෝටලයටය. ඔහු හෝටලයට යන විට අලංකාරවත් කේක් ගෙඩියක් සූදානම් කර තිබුණි. ඔහු සිය උපන්දින කේක් ගෙඩිය කැපුවේ රාජපක්ෂවරුන්ගේ ආශිර්වාදයෙන් ඉදිකළ ශ්‍රැංග්‍රිල්ලා හෝටලයේදීය. රනිල් සමග එයට හම්බන්තොට රාජපක්ෂලාගේ දේශපාලන ප්‍රතිවාදියා වන සජිත් ප්‍රේමදාසද එකව සිටියේය. උපන්දින කේක් ගෙඩිය කැපිමෙන් පසුව පිරිස පිටත්ව ගියේ මුල් ගල තැබිමේ උත්සවයකටය.

තිලකජය

කාටූන් - අංජන ඉන්ද්‍රජිත්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.