lakbima.lk

අත - ‍පොහොට්ටු සමාදානයකට ගුරු ගෝල මෙහෙයුමක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සති අන්තයේ සිටියේ කෙන්යාවේය. ඒ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහෙන් සිව්වැනි සැසිවාරයට සහභාගීවීමට පිටත්ව ගොසින්ය. පරිසර සමුළුවට ගොස් එන විට මෛත්‍රීට විසඳීමට තවත් පරිසර ගැටලුවක් රට තුළ මතුවී තිබුණේය. ඒ විල්පත්තුව පිළිබඳ ගැටලුවයි. විටින් විට සමාජ මාධ්‍ය ඔස්සේ ඇතිවන උණුසුම අවසානයේදී නතර වන්නේ දේශපාලනඥයින් ළඟිනි. විල්පත්තු ගැටලුව මතුවන විට මෛත්‍රීට එය මැදිහත්වීමට සිදුව තිබෙන්නේ ඔහු පරිසර ඇමැතිවරයා නිසාය. ඇමැතිවරුන්ගේ හා රාජ්‍ය නිලධාරීන්ගේ සමුළුවක් වූ පරිසර සමුළුවට සහභාගී වූ එකම ආසියානු කලාපයේ රාජ්‍ය නායකයා වූ මෛත්‍රීට ලංකාවට පැමිණි වහාම මතුවෙමින් තිබූ විල්පත්තු උණුසුමට පිළිතුරු දීමට සිදුව තිබුණි.

මෛත්‍රී විල්පත්තු ප්‍රශ්නය ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේ බ්‍රහස්පතින්දාය. ඒ වන විට විල්පත්තු ගැටලුව උණුසුම් තත්ත්වයකට පත්ව තිබූ අතර මේ ගැන මෛත්‍රීගේ අවධානය යොමුවිය.

සියයට විසි අටක වන ඝනත්වයෙන් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ උතුරු ප්‍රදේශයේ. වනාන්තර ඒ විදියට ආරක්ෂා කළේ කවුද? එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්‍ලේ ප්‍රභාකරන් තමයි ඒ විදියට වනාන්තර ආරක්ෂා කළේ. ඔහු වැරදි කළා. ඔහු ඉතාම නරක කෙනෙක්. ඔහු කළ එකම හොඳ වැඩේ තමයි වනාන්තරය ආරක්ෂා කරපු එක. ඔහු ත්‍රස්තවාදී ගරිල්ලා නායකයයෙක්. ඒ නිසා ඔහුට වනාන්තරය ආරක්ෂා කිරීමට සිදුවුණා. යුද්ධය නැති අනිත් සියලුම පළාත්වල දේශපාලනඥයන්, දූෂිත නිලධාරීන් රටේ වනාන්තරය විනාශ කළා. ලංකාවේ වන ඝනත්වය ගැන අවසන් වරට සංගණනයක් කර ඇත්තේ 2010 වසරේදීයි. කවුරුවත් මට සංගණනයක් කරන්න ඕන කියලා කිව්වේ නෑ. එහෙම කිව්වානම් මම ඒකට සම්පත් දෙනවා මෛත්‍රී තදින්ම කීවේය.

පාසලක පැවැති මෙම උත්සවයට පැමිණි සිටි බොහෝ දෙනා පාසල් ළමුන්ය. පාසල් ළමුන් ගෙන්වා උත්සවය පිරවීම ගැන මෛත්‍රී සිටියේ එතරම් කැමැත්තකින් නොවේ. පාසලක පැවැති උත්සවයක් නිසා පාසල් ළමුන් සිටියත් පරිසර නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ගෙන්වූවේ නම් එය වඩාත් වැදගත් බව මෛත්‍රී කීවේ පරිසරය සම්බන්ධයෙන් ඔහුගේ ඇති දැඩි උනන්දුව නිසාය.

පරිසර ගැටලු අතරේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ගැටලුවට මැදිවීමටද මෛත්‍රීට සිදුව තිබුණේය. විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු ආණ්ඩුව නියෝජනය කරමින් යැවීමට මෛත්‍රී මුලින්ම උත්සාහ ගත්තේය. එහෙත් එසේ ජිනීවා යන මැති ඇමැතිවරුන් අතර එක්සත් ජාතික පක්ෂයට හිතවත් මැති ඇමැතිවරු කිහිප දෙනෙක්ද සිටියේය. ඒ අතර ඉදිරි මැතිරණය එක්සත් ජාතික පක්ෂයෙන් තරග කිරීමේ අපේක්ෂාවෙන් පසුවන මන්ත්‍රීවරයෙක්ද විය.

ජිනීවා මානව හිමිකම්  කවුන්සිලයට සිය නියෝජිතයින් ලෙස හා ආණ්ඩුව නියෝජනය කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරු යැවීමට එක්සත් ජාතික පක්ෂය වැඩි කැමැත්තක් දක්වා තිබුණේ නැත. එහෙත් ටික දිනක් නිහඩව සිටි රනිල් වික්‍රමසිංහ පෙන්වා දී තිබුණේ රජයක් නියෝජනය කළ යුතු තැනකට විපක්ෂයේ මන්ත්‍රීවරු යැවීමෙන් ඇතිවන තත්ත්වයයි. කෙසේ වෙතත් අවසානයේදී ජනපතිවරයා ඒ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය විදේශ කටයුතු ඇමැති තිලක් මාරපනට දුන්නේය. තිලක් මාරපනගේ නියෝජිත කණ්ඩායමට අවස්ථාව දුන්නේ වෙනදා තද තීරණ ගන්නා, තැබූ පියවරක් ආපස්සට නොගන්නා ජනපතිවරයාමය.

දෙමුහුන් අධිකරණයක් පිහිටුවීමට ඇති නොහැකියාව ඇතුළු කළ නොහැකි දේ පැහැදිලිව පෙන්වා දුන් තිලක් මාරපන කළ හැකි දේ කිරීමට අවශ්‍ය කාලය ගත්තේය. යහ පාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමට වසර දෙකකින් කල් ඉල්ලා ගෙන ඇති ආණ්ඩුව නැවත වරක් තවත් වසර දෙකක් මේ සදහා කල් ඉල්ලා ගත්තේය. ඒ අනුව ජිනීවා යෝජනා ක්‍රියාත්මක කරීමට 2021 දක්වා කල් තිබේ. එනම් ඉදිරි ජාතික මැතිවරණ සියල්ල අවසන්වීමෙන් පසුව ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීමට හෝ ක්‍රියාත්මක නොකර සිටීමට අවස්ථාව උදාවේ. එවිට යෝජනා ක්‍රියාත්මක කිරීම හරහා සිදුවන අභ්‍යන්තර විරෝධතා මැතිවරණයට බල නොපාන තත්ත්වයක් ඇතිකරගැනීමට රනිල්ගේ උපයා වී තිබුණි. ඒ අතරම එම යෝජනා ක්‍රියාත්මක නොකර සිටියහොත් ඇතිවිය හැකි ජාත්‍යන්තර බලපෑම්ද මැතිවරණයකට අහිතකර බලපෑම් ඇති නොකරගන්නා තත්ත්වයක් නිර්මාණය කරගැනීමටද හැකියාව ලැබේ.

 ‍පොදු සන්ධාන

අයවැය දෙවැනි වර කියවීමේ ඡන්දයට විරුද්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ඡන්දය ප්‍රකාශ කරන විට බහුතරයක් ඡන්දය ලබාදීමෙන් වැලකී සිටියහ. ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ සමග කටයුතු කරන සියලුම කණ්ඩායම් දෙවැනි වර කියවීමට විරුද්ධව ඡන්දය භාවිතා කළහ. ‍පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ‍පොදු සන්ධානයක් නිර්මාණය කරගැනීමට අවස්ථාව ලැබෙතැයි අපේක්ෂාවෙන් සිටි බොහෝ දෙනා අයවැය දෙවැනි වර ඡන්ද විමසීමත් සමග සිය අපේක්ෂාවන් භංග කරගෙන තිබුණේය.

එහෙත් නැවත වරක් ‍පොදු සන්ධානයක් නිර්මාණය කරගැනීමේ සාකච්ඡා කරළියට පැමිණ තිබේ. අලුත්ම සාකච්ඡාවලට දැන් සති එකහමාරක් වයසය. ‍පොදු සන්ධානයක් නිර්මාණය කරගැනීම සඳහා පැවැත්වෙන අලුත්ම සාකච්ඡා වටය ආරම්භ වූයේ පසුගිය සතියේ බ්‍රහස්පතින්දාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිත කණ්ඩායමක් හා ‍පොදුජන පෙරමුණේ නියෝජිත කණ්ඩායමක් මුහුණට මුහුණ හමුවිය. එහෙත් ඔවුන් හමුවූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ‍ලේකම් මහින්ද අමරවීර නොමැතිවය. දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමට නායකත්වය දෙන විට ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ කණ්ඩායමට නායකත්වය දුන්නේ ජී.එල්.පීරිස්ය. එය ගුරු - ගෝල නායකත්වයකින් යුත් සාකච්ඡා වටයක් විය. කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ දයාසිරි ඉගෙනමු ලබමින් සිටින විට ඔහුගේ ආචාර්යවරයා වූයේ නීතිය පිළිබඳ මහාචාර්යවරයකු වන ජී.එල්.ය. එපමණක් නොව දයාසිරිගේ දේශපාලන ගුරුවරයාද ජී.එල්.ය. ජී.එල්.ගේ පුද්ගලික ‍ලේකම්වරයා ලෙස කටයුතු කළ දයාසරි ජී.එල්. සමගම එක්සත් ජාතික පක්ෂයට ගියේය. පසුව ජී.එල්. හැරදා තනිවම එක්සත් ජාතික පක්ෂයේ සිටි ඔහු පසුව මහින්ද   ළගටත්, මෛත්‍රී ළඟටත් එක්විය.

අපිට ජනාධිපතිතුමා විශ්වාස කළ හැකි ආකාරය ගැන සහතිකයක් අවශ්‍යයි. ඔහුගේ හැසිරීම එක් එක් අවස්ථාවලදී එක් එක් ස්වභාවයන් ගන්නවා. ‍පොදුජන පෙරමුණ අපේ අපේක්ෂකයෙක් ඉරිපත් කරන බව පවසනවා. ඒ වගේම ජනාධිපතුමාත් නැවත වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ අපේක්ෂාවෙන් කටයුතු කරන බව තමයි පේන්න තියෙන්නේ. මේ ගැන අපිට සහතිකයක් අවශ්‍යයි‍පොදුජන පෙරමුණෙන් ඉදිරිපත්වූ ඉල්ලීම විය.

මෛත්‍රී සමග සාකච්ඡා කර නැවත සතියකින් හමුවීමේ අපේෂාවෙන් දෙපිරිස වෙන්වූහ. සාකච්ඡාවලින් පසුව වෙන්ව ගිය ඔවුන් නැවත දැනට දින හතරකට පෙර මුහුණට මුහුණලා තවත් සාකච්ඡාවක් පැවැත්වූ අතර එම සාකච්ඡාවට පැමිණෙන විට දෙපාර්ශ්වයම දේශපාලන කරළියේ ඔවුනොවුන්ට නොයෙක් චෝදනා එල්ල කරනිමින් තිබුණේය.

අපි සන්ධානයකට යන්නේ වෙන අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න නමෛයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නයි. ‍පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙක්ට සහාය ලබාදීමට අපි සූදානම් නෑදයාසිරි ප්‍රසිද්ධියේ කීවේය.

දයාසිරිගේ කතාවට උත්තර දී තිබණේ ප්‍රසන්න රණතුංගය.

ජනපති නැවත ජනාධිපති කිරීම සඳහා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගතවීමට සූදානම් නෑ. අපි සන්ධානගතවන්නේ ආණ්ඩුව පරාජය කිරීමට මිසක් නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ජනාධිපති කරන්න නමෛයි. ප්‍රසන්න පැවැසුවේය.

ප්‍රසන්නගේ කතාව දයාසිරිගේ දේශපාලන නාඩිය රිදවන්නක් විය. පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේදී ලක්ෂ්මන් යාපා, අනුර ප්‍රියදර්ශන යාපා කතා කරමින් සිටියදී එතැනට දයාසිරි ආවේ ඔවුන් සමග නිමල් ලන්සා මන්ත්‍රීවරයාද සිටිනු දුටු නිසාය.

මොනවද ඔයාලා අර කියලා තියෙන්නේ දයාසිරි ලන්සාගෙන් දැඩිව ඇසුවේය. ඔහුගේ උස් කතාබහ සමතයකට පත් කිරීමට මැදිහත්වූයේ අනුර ප්‍රියදර්ශන යාපාය.

කෙසේ වෙතත් බ්‍රහස්පතින්දා සවස වන විට පාර්ශ්ව දෙකම යළිත් විපක්ෂ නායක කාර්යාලයට පැමිණියේ දේශපාලන කරළියේ කුමන බැණවැදීම් කරගත්තද එකට එක්ව දේශපාලන ගමනක් යාමේ අභ්‍යන්තර අපේක්ෂාවද තවදුරටත් තිබෙන නිසාය.

ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ගැන ඇතිවන කතාබහ ගැන මෛත්‍රීද සිය අවධානය යොමු කර තිබුණේය. ඒ අනුව පසුගිය සතියේදී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී මේ ගැන දැඩිව සාකච්ඡා කර තිබුණි.

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන තමන්ගේ පුද්ගලික අදහස් ඉදිරිපත් කරන්න යන්න එපා. ඒක අපේ එකඟතාවන්ට ප්‍රශ්නයක් වෙනවා මෛත්‍රී මධ්‍යම කාරක සභාවේදී අවධාරණය කළේය. ඉන් පසුව මධ්‍යම කාරක සභාවේ සාමාජිකයින් පවසන්න ගත්තේ මෙසේ ඉදිරිපත් කරන්නේ මන්ත්‍රීවරුන්ගේ පුද්ගලික අදහස් බවය.

මේ වන විට නැවත වරක් ගෝඨාභය රාජපක්ෂ ‍පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිපත්වීමේ සූදානම ගැනද අදහස් මතුවෙමින් තිබේ.

රාජපක්ෂවරුන් පැමිණෙන කිසිදු උත්සවයකට සහභාගී නොවන එජාප ජාතික සංවිධායක නවීන් දිසානයකට ගෝඨාභය පසුගියදා හමුවී තිබුණි. කිසිදු රාජපක්ෂවරයෙක් මුහුණට මුහුණ හමුවීමට කැමැත්තක් නොදක්වන නවීන් ඇතැම් ඒවාට සහභාගී වන්නේ නැත. රුසියාවේ තානාපතිවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය සමන් වීරසිංහගේ කර්මාන්තශාලාවක් විවෘත කිරීමේ අවස්ථාවට මහින්දට හා නවීන්ට වරක් ආරාධනා කර තිබුණි. නවීන්ගේ කාර්යමණ්ඩලයේ අයෙක් කලින් පැමිණ මහින්ද පැමිණෙන්නේද නැද්ද යන්න බලා වාර්තා  කළේය. මහින්ද උත්සවයට පැමිණි නිසා නවීන් උත්සවය අසලටම පැමිණි ආපසු වාහනය හරහවාගෙන ගියේය.

එහෙත් පසුගිය සතියේදී නවීන් ගෝඨාභය සමග එකට උත්සවයට සහභාගී විය. ඒ නාරාහේන්පිට විහාරස්ථානයක පැවති උත්සවයකි. ඔවුන් දෙදෙනා මුහුණට මුහුණ හමුවී කතා බස් කළ අතර ඔවුන් දෙදෙනා අතර බරපතළ පුද්ගලික විරසකයක් ඇති බව පෙනෙන්නට තිබුණේ ද නැත.

මම මෙතැනට පැමිණීම ගැන සතුටු වෙනවා. මොකද ජනාධිපති අපේක්ෂකයා වෙන්න ඉන්න තැනට එන්න ලැබිමත් සතුටුයි නවීන් කීවේය.

නවීන් දිසානායක ඇමැතිතුමාගේ මාමණ්ඩිය ජනාධිපති අපේෂකයා වෙනවා කියලා ආරංචියි. මාමණ්ඩිට විතරක් නමෛයි බෑණටත් ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්න අවස්ථාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ගෝඨා පෙරළා උත්තර දුන්නේය.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් පිරිසක් පසුගිය සතියේදී ජනපතිවරයා හමුවීමට ගියේය. වාසු, දිනේෂ්, ගම්න්පිල ඇතුළු පිරිස ගියේ මෛත්‍රීගේ නිවසටය. ඔවුන් එහි ගියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාව කටයුතු කරන ආකාරය ගැන කතා කිරීමටය. ඔවුන් එහි යන විට මෛත්‍රීගේ නිවසේ රාත්‍රී ආහාරය සූදානම් කර තිබුණි. ඒකාබද්ධ විපක්ෂයේ නායකයින්ට මෛත්‍රී රාත්‍රී ආහාරය සූදානම් කර තිබුණේ ආප්පය. මාළු ඇඹුල් තියල් සහ කුකුළු මස් ද කෑම මේසයට එක්ව තිබුණි. වැඩි කතාබහකින් තොරව පිරිස කෑම මේසයට එක්වූයේ රාත්‍රී ආහාරය ගන්නා අතරවාරයේදී සාකච්ඡාව කරගෙන යාමට හැකි නිසාය.

ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් අත්සන් කරලා එවපු ලිපිය ඔබතුමාට ලැබුණාද දිනේෂ් ඇසුවේය.

තවම නම් ලැබුණේ නෑ. ඒක ලැබේවි මෛත්‍රී කීය.

මෛත්‍රීට තවමත් නොලැබන ලිපියේ පිටපතක් දිනේෂ්ගේ අතේ විය. දිනේෂ් එය මෛත්‍රීගේ අතටම දුන්නේය.

2015දී  මානව හිමිකම් සැසියට ලංකාව සම අනුග්‍රාහකත්වය දැක්වූවා. සහ අනුග්‍රාහකත්වය ලබාදීමත් සමග කිසියම් බැඳීමක් ඇතිවෙනවා. ඊශ්‍රායලයට විරුද්ධව තමයි මානව හිමිකම් කවුන්සිලයේ වැඩිම යෝජනා සංඛ්‍යාවක් සම්මත වෙලා තියෙන්නේ. හැබැයි ඊශ්‍රායලය මේ යෝජනාවලට සම අනුග්‍රාහයකත්වයක් ලබාදී නැහැ. ඒ නිසා ඊශ්‍රායලයට විරුද්ධව පියවර ගන්න හැකියාවක් ලැබෙන්නේ නෑ ජී.එල්. පැවැසුවේය.

මම කියන්නේත් මේ යෝජනාවට සම අනුග්‍රාහකත්වය නොදී ඉන්න තිබුණා. ඇත්තටම මම මේ ගැන දැනගත්තේ සම අනුග්‍රාහකත්වය ලබාදීමට කැමැත්ත පළ කළාට පස්සෙයි. නැත්නම් මම ඕකට ඉඩ තියන්නේ නෑ. මම දන්න තරමට සම අනුග්‍රාහයකත්වය දැක්වූවාට පස්සේ ඉවත්වීම ටිකක් අපහසු කාර්යයක් ජනපතිවරයා කීවේය.

 මහින්දට හමුවූ  එක්සත් ජාති පක්ෂ ප්‍රබලයෝ

මහින්දට පසුගියදා පාර්ලිමේන්තුවේදී ලක්ෂ්මන් කිරිඇල්ල හමුවිය.

කොහොමද සර්, සර්ලාගේ පැත්තේ අය ජනාධිපතිවරණයට සූදානම්ද කිරිඇල්ල ඇසුවේය.

අපිත් ලෑස්තියි. හැබැයි අපේ සමහරු දැන් කේන්දර අතේ තියාගෙන ඉන්නේ. සර්ලාගේ පැත්තේත් එහෙම වෙන්න ඇති නේදකිරිඇල්ල ඇසුවේය.

අ‍පෝ නෑ. අපේ අයට නම් එහෙම උවමනාවක් නෑ මහින්ද උත්තර දුන්නේ සිනාසෙමින්ය.

තිලකජය 
කාටූන් - අංජන ඉන්ද්‍රජිත්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.