lakbima.lk

රනිල්ගෙන් රන්ජන්ට දොස්

කොකේන් කතාවක් අල්ලාගෙන රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා පත්තු කළ දේශපාලන බෝම්බය පසුගිය සති අන්තය වන විටත් නිවී තිබුණේ නැත. රන්ජන්ගේ දේශපාලන බෝම්බය සමග විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර විධායක අගමැති ක්‍රමයක් ඇති කළ හැකි ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම කෙරෙහිද දේශපාලන කරළියේ සාකච්ඡාවට ලක්විය. පසුගිය සතියේ සිකුරාදා කොකේන් කමිටුව ඉදිරියට ගොස් කරුණු දැක්වූ රන්ජන් වෙනදා මෙන් මාධ්‍යයක් ඉදිරියට පැමිණ තමන් රහසිගත කමිටුව ඉදිරියෙදී කළ කී දේ ගැන වමාරන්න ගියේ නැත. එහෙත් ඔහුට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවේ පෙනී සිටීමට සිදුවිය. ඒ ඔහුගේ කොකේන් කමිටු වාර්තාව කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබිම නිසාය.

කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවට එන්නැයි දැනුම් දෙමින් රන්ජන්ට ලිඛිත දැනුම්දීමක්ද කර තිබුණි. මේ නිසා කල් ඇතිව රන්ජන් පැමිණියේ ලිපි ගොනු තොගයක්ද රැගෙනය. සුපුරුදු පරිදි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ආරම්භ වූයේ පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ වාර්තාව ඉදිරිපත් කරමින්ය.

රන්ජන් පසුගිය දවසක ප්‍රකාශයක් කරලා තිබුණා. කොකේන් ගහන මැති ඇමැතිවරු ගැන. රන්ජන් කියපු දේ ගැන ලොකු ආන්දෝලනයක් ඇතිවුණා. මේ නිසා අපි මේ ගැන සොයා බැලීමට කමිටුවක් පත් කළා. ඒ කමිටුවේ වාර්තාව අපිට ඇවිත් තියෙනවා. මේ කමිටු වාර්තාව මම කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරනවා අගමැති රනිල් වික්‍රමසිංහ කීවේ කමිටු වාර්තාව කියවන්නැයි දැනුම් දෙමිනි. ඒ අනුව කොකේන්  කමිටු වාර්තාවේ ඉංග්‍රීසි පිටපත එක් වරක්ද, සිංහල පිටපත දෙවරක්ද ඉදිරිපත් කෙරුණි.

මොකක්ද මේ ගැන දරන මතය රනිල් කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් විමසුවේය.

රන්ජන්ගේ මේ ප්‍රකාශ නිසා පක්ෂයටත් මන්ත්‍රීවරුන්ටත් වෙන්නේ ලොකු හානියක් සිඩිනි ජයරත්න මන්ත්‍රීවරයා කතා කරන්න ගත්තේය.

මොකක්ද සිඩ්නි ‍පොයින්ට් එක සිඩ්නිගේ කතා බහ ගැන දන්නා රනිල් විමසුවේය.

නෑ සර්, රන්ජන් එක එක වෙලාවට එක එක දේවල් කියනවා. මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිකිරීම ගැන කාලයකදී කතා කරනවා. මන්ත්‍රීවරුන්ට ලැබෙන පාර්ලිමේන්තු දීමනාව වැඩි කරනකොට තව වෙලාවකදී කතා කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණීම වෙනුවෙන් ලැබෙන රුපියල් පන්සියයේ දීමනාව රුපියල් දෙදහස් පන්සියය දක්වා වැඩි කළාම රන්ජන් ඒකට විරුද්ධව කෑ ගහන්න ගත්තා. රන්ජන්ට නම් ප්‍රශ්න නෑ. පවුල් බරක් නෑ. අපි එහෙම නමෛයි. අපිට කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා අපිට ඒ වගේ දීමනාවක් අවශ්‍යයි. අපි මේක අවශ්‍යයි කියද්දී රන්ජන් මේක අවශ්‍ය නෑ කියලා කියනවා. මේවා මෙහෙම වෙනකොට අපි ගමට යන්නේ කොහොමද සර්. මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. රන්ජන් දැන් කොකේන් ගැන කතා කරනවා. මේවා සේරම කරන්නේ මං ‍පොර කියලා පෙන්නන්න අවශ්‍ය නිසයි. රන්ජන් අපේ පක්ෂයේ අයත් විවේචනය කරනවා. එක වෙලාවකට රවි කරුණානායක ඇමැතිතුමා විවේචනය කරනවා. අර මහින්ද රාජපක්ෂලාගේ ගෙදර තිබුණ මඟුල් ගෙදරට ගියා කියලා සර්වත් විවේචනය කරලා තිබුණේ සිඩිනි නොනවත්වා අදහස් දක්වන්න විය.

සර්, මගේ ඒ විරෝධය තවමත් තියෙනවා අතක් උස්සාගෙන නැගිටිමින් රන්ජන් අදහස් දැක්වූවේය.

රන්ජන්, ඉස්සරවෙලා මේ කියන කතාව අහගෙන ඉන්නරනිල් නුරුස්සන හඬකින් රන්ජන්ට කියන විට ඔහු නිහඬව අසුන් ගත්තේය. රන්ජන්ට කතා කිරීමට අවස්ථාවක් ලැබුණේ සිඩ්නිගේ කතාව සම්පූර්ණයෙන්ම අවසන් කිරීමෙන් පසුවය.

මම කියපු දේවල් ගැන වාර්තාවක් මෙතැන තියෙනවානේ. කොකේන් ගහන බවට චෝදනා කරන අයගේ නම් ලයිස්තුවක් මම සී.අයි.ඩී. එකට භාරදීලා තියෙන්නේ. ඒ විතරක් නමෛයි මම කථානායකතුමාට ඒ බව වාචිකව කියලා තියෙනවා. මේ ටෙස්ට් එක කළානම් ජාතික නිදහස් පෙරමුණේ දෙන්නෙක් අහුවෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉන්න දා හතර දෙනෙක් අහුවෙනවා. මම දැන් මෙතැනදී නම් ටික කියන්නද රන්ජන් ලිපි ගොනුවක් විවෘත කිරීමට උත්සාහ ගත්තේය.

එපා. එපා.. මෙතැන නම් කියන්න යන්න එපා රනිල් රන්ජන්ට හරස් කැපුවේය.  ඒ විරෝධතා මැද රන්ජන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පිටත්ව යාමට සූදානම් විය. එහෙත් රෝසි සේනානායක, හර්ෂ ද සිල්වා හා දයා ගමගේ පැමිණ රන්ජන්ගේ අතින් අල්ලාගෙන එතැනින් පිටත්ව යාමට නොදී රඳවාගත්තේය.

සර්ලට මම ඕන වෙන්නේ ඉලෙක්ෂන් එක කාලෙට විතරයිනේ. ඉලකේෂන් එකේ ස්ටේජ් එකට ඇවිත් රන් සමනළ ජෝඩුව වාගේ සිංදුව කියවගන්නනේ මාව ඕන වෙන්නේ. මගේ සේවය සර්ලට ඕන නැතිනම් මට කියන්න. මම පක්ෂයෙන් යන්නම් රන්ජන් ද කීවේ තරමක සංවේදීබවකිනි.

 හිතෙන හිතෙන වෙලාවට පක්ෂය දාලා යන්න බෑ. ඒ වගේම තමයි රන්ජන් සාමූහික වගකීමක් තියෙනවා. ඒ ගැනත් හිතලා වැඩ කරන්න සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාත් අදහස් දක්වන්න විය.

ඒ කතාව කියන විට රන්ජන් නඩු කතාවක් කතා කරන්නවිය.

ඔයාගේ නඩුවලට නීතීඥයන් අල්ලලා දුන්නේ මමනේ. සුමන්තිරන් අල්ලලා දුන්නේත් මම රනිල් කීය.

සර් අල්ලලා දීපු සුමන්තිරන් දැන් උසාවියේ ඉන්නවා. මම වෙනුවෙන් නඩුවකට පෙනී ඉන්නවා. මම නඩුව තියෙද්දී තමයි මෙතැනට ආවේ රන්ජන් කීය.

නඩුව තියෙනවා නම් දැන් යන්න රනිල් ඔහුට නඩුවට යාමට ඉඩ ලබාදුන්නේ කොකේන් වාර්තාව ගැන වැඩි දුර කතාවක් නොකරමය.

 කොකේනේ අවුලෙන් පසු තවත් අවුලක්

කොකේන් අවුල විසඳියත්ම රන්ජන් තවත් අවුලක් ඇතිකරගත්තේය. ඒ ගාල්ලේ ක්‍රිෂාන්ත පුෂ්පකුමාර පළාත් සභා මන්ත්‍රීවරයා සමගය. ළමා අපචාර චෝදනාවක් සමබන්ධයෙන් චෝදනා ලැබ සිටි ක්‍රිෂාන්ත පුෂ්පකුමාර අත්අඩංගුවට නොගෙන සිටීම ගැන රන්ජන් අවධානයෙන් සිටියේය. ඒ කලින් සතියේදී රන්ජන් හඳුන්වාදුන් ප්‍රවෘත්ති සාකච්ඡාවලදී දුරකථනයෙන් කතා කර අනෙකා කතා කරන දේ මාධ්‍යයට ඇසෙන්නට සැලැස්වීමේ උපක්‍රමය ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හරවා රන්ජන්ට දමා ගැසීම නිසාය. ඒ නිසා තරමක ආරවුලක සිටි රන්ජන් ක්‍රිෂාන්ත අත්අඩංගුවට නොගැනීම ගැන තොරතුරු සෙවීම භාරකර තිබුණේ බන්දුලාල් බණ්ඩාරිගොඩ මන්ත්‍රීවරයාටය.

නියෝජ්‍ය ඇමැතිතුමා, අර කේස් එක අක්මීමන ‍පොලීසිය යට ගහනවා වගේ. ‍පොඩ්ඩ්ක් මැදිහත් වෙන්න බන්දුලාල් දුරකථනයෙන් කීවේය. බන්දුලාල් දුරකථනයේ සිටියදීම රන්ජන් අක්මීමන ‍පොලීසියේ ස්ථානාධිපතිවරයා සම්බන්ධ කරගත්තේය.

මේ ගැන තොරතුරු හොයන්න තමුන් කවුද ස්ථානාධිපතිවරයා රන්ජන්ට සැර විය.

මම මහජන නියෝජිතයෙක්. ළමා අපචාරයක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගන්නේ නැතිව ඉන්නකොට ඒ ගැන සොයා බැලීමේ වගකීමක් මට තියෙනවා රන්ජන් තමන්ට ඇති අයිතිය ගැන කරුණු දැක්වූවේය.

මම දන්නේ නෑ. ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකට කතා කරලා මේ ගැන අහන්න. සමහරවිට දැන් පේ‍රස් කොන්ෆරන්ස් එකකදී මේක අහන්න දෙනවාද කියලා දන්නේත් නෑනේ' ස්ථානාධිපතිවරයා කීවේය.

ඉන් පසුව රන්ජන් ‍පොලිස් මූලස්ථානයට කතා කර මේ ගැන පැමිණිල්ලක් කළේය. ‍පොලීසිය සැකකරු අත්අඩංගුවට ගැනීම ප්‍රමාද කිරීම ගැන ඔහු කළ පැමිණිල්ලෙන් පසුව ‍පොලීසිය ඔහු තමන් භාරයට ගෙන තිබුණේය. රන්ජන් තමන්ගේ හිතවත් මන්ත්‍රීවරයෙක් සමග කියා තිබුණේ සැකකරා පළාත් සභා මන්ත්‍රීවරයා බේරා ගැනීමට ගාල්ලේ දේශපාලන ප්‍රබලයෙක් මැදිහත්වී ඇති බවය. ඔහු මැදිහත්වීම නිසා ක්‍රිෂාන්ත පුෂ්පකුමාර ‍පොලිස් භාරයට පත්වන තෙක් අත්අඩංගුවට ගෙන තිබුණේ නැතැයි රන්ජන්ට තවත් මන්ත්‍රීවරයෙක් කියා තිබුණි.

ව්‍යවස්ථා සංශෝධන  සූදානම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් අගමැතිවරයාට බලය ලබාදෙන ක්‍රමයක් වෙනුවෙන් මේ සතිය වන විටත් නැවත සාකච්ඡා ඇතිවිය. මෛත්‍රී - මහින්ද  සාකච්ඡාවලදී අවධානය යොමුවූයේද මේ ගැනය. මහින්ද මේ සදහා කොළ එළියක් දල්වා තිබෙන්නේ ඒ හරහා තමන්ට නැවත වරක් බලය ලබාගැනීමට හැකි ආකාරයක් පෙනෙන්නට ඇති නිසාය.

ඒ සඳහා යොදා  ගැනීමට අපේක්ෂා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. විසි වැනි සංශෝධනයට සහය දෙන්නැයි ජනතා විමුක්ති පෙරමුණ මහින්දගෙන් ඉල්ලා සිටීමට බලා‍පොරොත්තුවෙන් සිටින අතර එයට මහින්දත් සුබවාදී ප්‍රතිචාරයක් දැක්වීමට ඉඩ ඇතැයි සඳහන්ය. ජනාධිපති ක්‍රමයක අහෝසි කර අගමැති ක්‍රමයක් ඇති කිරීමෙන් දැනට ඒකාබද්ධ විපක්ෂය තුළ ඇතිවී තිබෙන විමල් - ගම්මන්පිල - බැසිල් ගැටුමට විසඳුමක් දීමට හැකිවනු ඇතැයි මහින්දගේ අපේක්ෂාවය.

මේ අතර එක්සත් ජාති පක්ෂයද ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන අවධානය යොමු කර තිබෙන්නේ රනිල් එක්සත් ජාතික පෙරමුණේ නායකයන් හමුවූ අවස්ථාවේදීය.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළේ අපි නමෛයි. ජනතා විමුක්ති පෙරමුණෙන් මේක ඉදිරිපත් කළේ. 2015දී විධායක ජනාධිපති ධුරය අහෝසි කරලා පාර්ලිමේන්තුවට බලතල දෙන්න අපි ‍පොරොන්දු වුණා. ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි මේ සංවාදය යන්නේ රනිල් කීය.

මේකට සුළු පක්ෂ ‍පොඩ්ඩක් අදිමදි කරනවා වගේ නේද? ජනාධිපති ධුරය අහෝසි කළොත් ශක්තිමත් පාර්ලිමේන්තුවක් බිහි කිරීම අත්‍යවශ්‍ය වෙනවා කිරිඇල්ල අවධානය යොමු කළේය.

විසි වැනි සංශෝධනය සම්පූර්ණ එකක් නමෛයි. බොහෝ පක්ෂ ශක්තිමත් පාර්ලිමේන්තුවක් හා අලුත් ඡන්ද ක්‍රමයක් ඉල්ලනවා. ඒ වගේම දෙමළ ජාතික සන්ධානය බලය බෙදීමකුත් ඉල්ලනවා. ඒ නිසා විසි වැනි සංශෝධනය ගැන තවම අවසන් තීන්දුවක් නෑ. මේක ගැන පුළුල් සංවාදයක් කරලා එකඟතාවයකට ආවොත් මේ සංශෝධනය සම්මත කරගැනීමට හැකිවේවි මහින්දත් උනන්දුවන විසි වැනි සංශෝධනය ගැන රනිල් දක්වන්නේ එවැනි ආකල්පයකි.

 බලය බෙදා හැරීම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය ගැන කතා කරන අතරවාරයේදී බලය බෙදාහැරීම ගැනත් අවධානය යොමුවී තිබුණේය. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලය බෙදාහැරීම් ගැන සාකච්ඡා කිරීමට පක්ෂ විපක්ෂ නියෝජිතයෝ එක්ව සිටියහ. රනිල්, ලක්ෂ්මන් කිරිඇල්ල, රාජිත සේනාරත්න, පලනි දිගම්බරන්, රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම්, ඩිලාන් පෙරේරා, සරත් අමුණුගම, එම්.ඒ. සුමන්තිරන්, නිමල් සිරිපාල ද සිල්වා, ආර්. සම්බන්ධන් මෛත්‍රී සමග සාකච්ඡාවට එක්ව සිටියහ.

මෛත්‍රී කතා කිරීමෙන් පසුව අදහස් දක්වන්න ගත්තේ ආර්.සම්බන්ධන්ය.

පළාත් සභා හදලා අවුරුදු තිහක් වන නමුත් බලය බෙදාහැරීමේ ගැටලුව තවම විසඳි නොමැති බව කියමින් ආර්. සම්බන්ධන් තරමක ආවේගාත්මක කතාවක් කළේය. සම්බන්ධන්ගේ පැත්ත ගෙන ඩිලාන් හා රාජිත කතා කළේ ඔවුන් දශක දෙක තුනක් තිස්සේම බලය බෙදාහැරීමේ විසඳුමක් වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින නිසාය.  ඔවුන්ට අවශ්‍යවූයේ ජනාධිපතිවරයා බලය බෙදාහැරීම සම්බන්ධයෙන් දක්වන අදහස පිළිබඳ දැනුවත්වීමටය.

බලය බෙදාහැරීම සම්බන්ධයෙන් ජනවාරි 8 වැනිදා මගේ තිබුණ ස්ථාවරය වෙනස් වෙලා නෑ. පාර්ලිමේන්තුව ගන්න ඕනම තීරණයකට මම සහය දෙනවා මෛත්‍රී කීවේය.

වෙනදාට ෂයිලොක්ගේ මස් රාත්තල මෙන් පෙඩරල් ක්‍රමයේ බලය බෙදාහැරීමක් ඉල්ලා සිටින දෙමළ ජාතික සන්ධානය මේ වන විට මැද තැනකට පැමිණ සිටින බව සිහිපත් කළේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් එහි සිටි නිසාය. ඔවුන් කියා සිටියේ ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදාගැනීමේ විසඳුමකට කැමැති බවය. බෙදිය නොහැකි රටක බලය බෙදාහැරීම ගැන අවධානය යොමු කළ දෙමළ ජාතික සන්ධානය තවත් සාධනීය යෝජනාවක් ඉදිරිපත් කළේය. ඒ රට බෙදිය නොහැකි බවට වන වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුය යන්නයි. දෙමළ ජාතික සන්ධානයේ සහය හිමිවන ව්‍යවස්ථා සංශෝධනයක් මගින් රට බෙදී යන බවට දකුණේ ඇති බිය තුරන් කිරීම සඳහා සාධනීය පියවරක් දෙමළ ජාතික සන්ධානය ගෙන තිබුණේය.

ඒ අතරම බලය බෙදාහැරීමේ විසඳුම ඉදිරිපත් කිරීම කෙරෙහි සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට යෝජනාවක් ඉදිරිත් විය. එහෙත් සර්ව පාර්ක්ෂික කමිටු පත් කර වාර්තා ලබාගෙන ඒවා හමස් පෙට්ටියට දැමීමේ මහින්ද රාජපක්ෂ ආදර්ශය දෙස බැලූ මෛත්‍රී එවැනි කමිටුවකට කැමැත්තක් දැක්වූයේ නැත. මෛත්‍රීගේ තර්කය වූයේ එවැනි කමිටුවක් මගින් සිදුවන්නේ ප්‍රශ්න නොවිසඳා කතා කරමින් සිටිනවාය යන්නයි.එහෙත් බලය බෙදාහැරීම පිළිබඳ අවශ්‍ය පියවර ගෙන කරුණු ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීමට මෛත්‍රී එකඟවිය. රාජිත, ඩිලාන්, අමුණුගම, සුමන්තිරන් එයට ඇතුළත් කළේ බලය බෙදාහැරීම සම්බන්ධයෙන් එකම මතයක් ඔවුන් දරන නිසාය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පසුගිය සතියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමේ තවත් පියවරක් ගත්තේය. ඒ අලුතින් ආසන සංවිධායකයන් හා පක්ෂයේ පුරප්පාඩුව පැවැති තනතුරු කිහිපයක් සඳහා පත් කිරීම් කර අවසන් කිරීමය. පුරප්පාඩු ආසන සඳහා නව සංවිධායකයන් පත් කළේ ඉදිරි මැතිවරණයක් සඳහා මෛත්‍රීගේ සූදානම නැවත වරක් පන්නුම් කරමින්ය.

අලුතින් ලියාපදිංචි කිරීමට නියමිත දේශපාලන සන්ධානයේ නායකයන් රනිල් පසුගිය සතියේදී කැඳවා තිබුණේ මෛත්‍රීගේ මැතිවරණ සූදානම ගැන අවධානය යොමු වී ඇති නිසාය. නව සන්ධානයක් නිර්මාණය කරගැනීමේ වැඩි උනන්දුවක් දැන් ඇත්තේ රාජිතටය. අලුත් සන්ධානය ලියාපදිංචි කිරීම ගැන රාජිත ප්‍රශ්න කරන විට රනිල් කියා තිබුණේ අලුතින් දේශපාලන සන්ධානයක් ලියාපදිංචි කිරීමට තමන්ගේ විරෝධතාවක් නොමැති බවය. මලික් යෝජනා කර තිබුණේ විශාල උත්සවයක් පවත්වා සන්ධානය ප්‍රසිද්ධියට පත් කිරීමටය.

ඒ අතර මැයි පළමුවැනිදා සන්ධානයේ ජන රැලිය මැයි දිනය සමග සැමරීමට රනිල් යෝජනා කළේය. එහෙත් ඊට පෙර අලුත් සන්ධානය සඳහා අවශ්‍ය එකඟතාවන් ඇතිකරගෙන ලියාපදිංචි කිරීමේ කටයුතු අවසන් කළ යුතුය. මැයි මාසය වන විට එම ලියාපදිංචි කිරීමේ කටයුතු අවසන් කිරීමට ඔවුන්ගේ එකඟතාව හිමිවිය.

ඔවුන්ද අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගැන අවධානය යොමු කළේය. මේ වන විට විධායක ජනාධිපති ක්‍රමයේ ඇති බලතල සියල්ල අහෝසි කර විධායක අගමැතිවරයෙක් පත්කිරීම ගැනත් අවධානය යොමු කළේය. ඒ සඳහා ඔවුන්ගේ සහාය දීමට එකඟත්වය ඇති කරගත්තේ ඒ සඳහා මහින්ද රාජපක්ෂගේ විරෝධයක් නොමැති බවද අනාවරණය වීම නිසාය.

මහින්ද රාජපක්ෂ පසුගිය සතියේදී දේශපාලන වැඩ කටයුතු අතර ඒකාබද්ධ විපක්ෂය තුළ ඇතිවී තිබෙන අර්බුද ගැන වැඩි අවධානයක් යොමු කර තිබුණේය. මේ වන විට එක් එක් තැන්වලට විතැන්වී ඇති ගැටුම් ගැන අවධානය යොමු කළ මහින්ද එම ගැටලු විසඳා ගැනීමට හැකි මාර්ගයක් ගැන අවධානය යොමු කළේය. මේ අතර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර විධායක අගමැති ක්‍රමයක් ඇති කිරීමෙන් ඇතිවී තිබෙන ගැටලුවට විසඳුම් ලබාගැනීමට හැකි බව ඔහු තමන්ගේ හිතවතුන් සමග සාකච්ඡා කර තිබුණි.

පසුගිය සිකුරාදා පැවැති මහින්ද - මෛත්‍රී සාකච්ඡාවලදී මහින්ද මේ ගැන අවධානය යොමු කර තිබුණේය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට බලය ලැබෙන ආකාරයේ යෝජනාවක් ඉදිරිපත් කරන්නේ නම් එයට සහාය දීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් බවට මහින්ද මෛත්‍රී හමුවේ සහතිකයක් දී තිබුණේය.

එහෙත් ඒ සඳහා අවධානය යොමු කරනවාට වඩා වැඩි අවධානයක් යොමු කරන්නේ මහින්ද සමග ‍පොදු සන්ධානයක් නිර්මාණය කරගැනීම කෙරෙහිය.

මෛත්‍රී මේ සතියේදීත් එක්සත් ජාතික පක්ෂයට හීන් සැරයන් කිහිපයක් එල්ල කර තිබුණේය. මේ සතියේදී ජාතික ආර්ථික සභාව රැස්වූ අවස්ථාවේදීත් මෛත්‍රී එක්සත් ජාතික පක්ෂයට පල නොකියා පලා බෙදා තිබුණි.

ඊ.ටී.අයි. එකේ දූෂණ ගැන දැන් කතා වෙනවා. මේවාට සල්ලි දාන්න එන අය ගෙන්නුවේ කවුද? ඒවාට අයත් රූපවාහිනී නාලිකා ගන්නේ කවුද. මේවා ගැන හොයා බලන්න මෛත්‍රී ජාතික ආර්ථික කමිටුවට දැනුම් දුන්නේය.

 මෛත්‍රී ගිය ගමන

ජාතික ආර්ථික කමිටුවේදී මංගලට හීන් සැරයක් එල්ල කළ මෛත්‍රී දින කිහිපයකින් මංගලගේ එක් පසෙකට වී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අසුන් ගත්තේ මංගලගේ දේශපාලන ජීවිතයට වසර තිහක් පිරීමේ උත්සවයේදීය. මෛත්‍රී මංගලගේ එක් පසෙකින් සිටින විට මහින්ද සිටියේ මංගලගේ අනෙක් පසෙන්ය.

මංගල කියන්නේ හිත හොඳ මිනිහෙක්. ඉස්සර මංගල පාර්ලිමේන්තුවට එන්නේ මල්ලක් අරගෙන. ඒ මල්ල අපි ළග තියලා මංගල යනවා. අපි ඒ මල්ලට දැමිය යුතු දේත්, නොදැමිය යුතුදේත් දානවා. මංගල ඒවා දකින්නේ ගෙදර ගියාට පස්සේ. පහුවදාට එන මංගල අපි හැමෝටම හොදටම බණිනවා. අපි ඒකෙන් ලොකු විනෝදයක් ලබනවා මෛත්‍රී කීවේ මංගල හිත හොඳ දේශපාලනඥයෙක් යැයි සහතියක්ද දෙමිනි.

තිලකජය

කාටූන් - අංජන ඉන්ද්‍රජිත්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.