lakbima.lk

මෛත්‍රී-කරු හමුවේදී අර්බුදයට කොළ එළියක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කාලයක් තිස්සේ ආන්දෝලනාත්මක දේශපාලන තීන්දු ගත් සිකුරාදා බැවින් දැන් සිකුරාදා දිනවල බොහෝ දෙනා ගත කරන්නේ දෙගිඩියාවෙනි. ඒ සිකුරාදා දිනවලදී ආන්දෝලනාත්මක දේශපාලන තීන්දු ගැනීමට මෛත්‍රී වැඩි කැමැත්තක් දක්වන බව පෙනෙන්නට ඇති නිසාය. රනිල් අගමැති පුටුවෙන් ඉවත් කිරීමේ සිට ඇතිවූ දේශපාලන වෙනස්කම් සිකුරාදාවන්හිදී සිදුවුවත් ඊට පෙරද ඔහු සිකුරාදා දිනවලදී මෙවැනි ආන්දෝලනාත්මක තීරණ ගෙන තිබේ. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී බහුතරය ගත්තද මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් නොකරන බව ඔහු පැවැසුවේද සිකුරාදාවකය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ‍ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ‍ලේකම් සුසිල් ප්‍රේමජයන්ත ‍ලේකම් ධුරයෙන් ඉවත් කළේද සිකුරාදාවකමය. දැනට වසර දෙකහමාරකට පෙර මහින්ද අගමැති ධුරයට පත් නොකරන බව කියූ පරිදි දැන් ඔහු කියමින් සිටින්නේ රනිල් වික්‍රමසිංහ නැවත අගමැති ධුරයට පත් නොකරන බවය.

මේ අර්බුද මැද සිකුරාදා සවස් වනවිට දෙපාර්ශ්වයේ අර්බුදයට විසඳුමක් ගැනීමට හැකි මඟක් පිළිබඳ කොළ එළි දැල්වෙමින් තිබුණේය. ඒ මෛත්‍රී හමුවීම ප්‍රතික්ෂේප කර සිටි කථානායක කරු ජයසූරිය ඔහු හමුවීමට කැමැත්ත දැක්වීම නිසාය.

පසුගිය සති අන්තය ආරම්භ වනවිට මහින්ද මෛත්‍රී හමුවීමට ගොස් සිටියේය. ඒ වර්ධනය වෙමින් තිබෙන අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීමටය. බහුතරයක් නොමැති ආණ්ඩුවේ අනාගතය පිළිබඳ සාකච්ඡා කිරීමට සිය හවුල්කාර පක්ෂවල නායකයන් සමග පැමිණි මහින්ද මෛත්‍රීගෙන් විමසා තිබුණේ ආණ්ඩුවේ අනාගතය පිළිබඳවය. පාර්ලිමේන්තුවේ බහුතරයක බලය දෙන බවට මෛත්‍රී සහතිකයක් දී තිබිම නිසා ඔහු මේ ගැන විමසා තිබුණේය.

පාර්ලිමේන්තුවේ බහුතරයක් පෙන්වන්න බැරිනම් මම අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් මහින්ද මෛත්‍රීට සෘජුව කියා තිබුණේය. එහෙත් මෛත්‍රී එයට වැඩි කැමැත්තක් දක්වා තිබුණේ නැත. ඔහු මහින්දගෙන් ඉල්ලා තිබුණේ අගමැති ධුරයෙන් ඉල්ලා අස් නොවන ලෙසය.

මහින්ද අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමේ කතාව පසුගිය බදාදා වන විට දේශපාලන ලෝකයේ ආන්දෝලනයක් බවට පත්විය.

මහින්ද මහත්තයා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින් ඉන්නවා. ඒත් ජනාධිපතිතුමා තමයි යන්න එපා ඉන්න කියලා කියන්නේ. ඕනම වෙලාවක ඉල්ලා අස්වෙන්න පුළුවන්. දැන් අපි අතරේ සාකච්ඡාව වෙන්නේ මේ ගැන නඩු තීන්දුව විභාගයට ගන්න ලබන 7වැනිදාට පස්සේ අස්වෙනවාද නැතිනම් ඊට කලින් අස්වෙනවාද කියන එකයි. අපේ සමහර කණ්ඩායම් 7වැනිදාට කලින් අයින් වෙමු කියලා කියනවා. සමහරු කියන්නේ නඩුවේ තීන්දුව ලැබුණාට පසුව තීරණයක් ගනිමු කියන එකයි රාජපක්ෂවරුන්ට සමීප ප්‍රකාශකයෙක් මේ තීරුවට පැවැසුවේය.

පසුගිය සතියේදී කතා මැද කතා තීරුවෙන් අනාවරණය කළ පරිදි තානාපතිවරු සමග ආණ්ඩුවේ මැති ඇමැතිවරු කළ සාකච්ඡාව පිළිබඳ තවත් තොරතුරු මේ වන විට අනාවරණය වෙමින් තිබේ. දිනේෂ් ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත හා මහින්ද සමරසිංහ සමග තවත් අයෙක් එයට එක්ව සිටියහ. එහෙත් අනෙක් පුද්ගලයා මේ වන විට පාර්ලිමේන්තුවේ සිටින අයෙකු නොවේ. බටහිර රටවල තානාපතිවරු ඇතුළු තානාපතිවරු කණ්ඩායම සමග මොවුන් සාකච්ඡා කරද්දී තානාපතිවරුන්ගෙන් එල්ල වී තිබුණේ රතු එළියකි.

මාසයකට වැඩි කාලයක් තිස්සේ ඇදී යමින් තිබෙන අර්බුදය විසඳා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් තානාපතිවරු කතා කර තිබුණේ චෝදනා මුඛයෙනි. කඩිනමින් ප්‍රශ්නය විසඳා ගැනීමට කටයුතු නොකරන්නේ නම් දැනට ලංකාවට දෙමින් තිබෙන ආධාර කප්පාදු කිරීමට සිදුවීම පිළිබඳවත් අනතුරු ඇඟවූ තානාපතිවරු ඉදිරියේදී ගන්නා දැඩි ක්‍රියාමාර්ග ගැනත් ඉඟි පළ කළහ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයන් හා ඔවුන්ගේ පවුල්වල අය සම්බන්ධයෙන් සම්බාධක පැනවීම පිළිබඳවත් මෙහිදී තානාපතිවරු අනතුරු ඇඟවීම් කර තිබේ. ඒ අනුව ඔවුන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට විදේශයන්හි සංචාරය කිරීම සම්බන්ධයෙන්ද ගැටලුකාරී තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් තිබේ. එහෙත් පුද්ගලයන් සම්බන්ධයෙන් සම්බාධක පැනවෙනු ඇත්තේ ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට තහවුරු වූ විටදීය.

ආණ්ඩුවේ මැති ඇමැති ධුර ලබාගත් කණ්ඩායම හා ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාශීලීව කටයුතු කළ කණ්ඩායම් අතර මේ වනවිට නොයෙක් ආකාරයේ මත ගැටුම් ඇතිවෙමින් තිබෙන්නේ කරළිය පිටුපසය. තැනින් තැන සිදුවන කතාබස්වලදී ඔවුන්නොවුන්ට විවේචන එල්ල කරගනිමින් සිටිති. විශේෂයෙන්ම මහින්දට අගැමැති ධුරය දීමේදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරු ඇමැති ධුර නොගන්නා බවට ඇතිකරගෙන තිබූ එකඟතාවයන් උල්ලංඝනය කිරීම් පිළිබඳ සාකච්ඡා වන්නේ පක්ෂයේ අභ්‍යන්තර රැස්වීම්වලදීය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට පසුව ‍පොදුජන පෙරමුණට එක්වූ කණ්ඩායම ඉලක්ක කරගෙන කිසියම් ආකාරයක ප්‍රහාරයක්ද එල්ලවෙමින් තිබේ.

මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේදී කැබිනට් රැස්වීම පැවැත්වුණේ ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදීය. සුපුරදු පරිදි අඟහරුවාදා දිනයේදී කැබිනට් රැස්වීම පැවැති අතර පසුගිය සතියේදී කැබිනට් රැස්වීමට පැමිණ සිටි වසන්ත සේනානායක එහි පැමිණ සිටියේ නැත. එදින ජනාධිපති ‍ලේකම් කාර්යාලයට නොගිය වසන්ත සේනානායක එදින සවස අරලියගහ මන්දිරයට ගොස් තිබුණේය. ඒ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට සහභාගී වීමටය. අරලියගහ මන්දිරයේ කණ්ඩායම් රැස්වීම පැවැත්වෙන කාමරයට ගිය වසන්ත පිටුපස පේළියේ අසුනක අසුන්ගත්තේය. ඒ දුටු හර්ෂ ද සිල්වා තමන්ගේ ජංගම දුරකථනයෙන් ඡායාරූප කිහිපයක් ගැනීමට උත්සාහ කළේය. එහෙත් ඒ වන විට තවත් පේළි දෙකක මන්ත්‍රීවරු සිටි නිසා එක්වර ඡායාරූපයක් ගැනීමට නොහැකි විය. දෙතුන් වරක් උත්සාහ ගත් හර්ෂ වසන්තගේ ඡායාරූපයක් ගෙන තමන්ගේ ට්විටර් ගිණුමට යොමු කළේ වසන්ත සේනානායක පැමිණ සිටි බව දැනුම් දෙමිනි. එහෙත් ඔහු කියා තිබුණේ වසන්තගේ පැමිණීම ගැන තමන් කිසිදු අදහසක් නොදක්වන බවය.

එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීමට යන විට වසන්ත ලිපි දෙකක් රැගෙන ගියේය. එක් ලිපියක් යොමු කර තිබුණේ ජනාධිපතිවරයාටය. අනෙක් ලිපිය ලියා තිබුණේ කථානායකවරයාටය. ජනාධිපතිවරයාට දීර්ඝ ලිපියක් යොමු කරමින් ඔහු කියා තිබුණේ තමන් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වන බවය. කථානායකවරයා වෙත යොමු කළ ලිපියේ දක්වා තිබුණේ තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන බවය. එහෙත් එම ලිපි දෙකටම දින යොදා තිබුණේ නැත. නොවැම්බර් මාසයේ පමණක් දක්වා තිබූ එම ලිපිය කල් ඇතිව සකස් කරගෙන තිබූ ලිපියක් බව පෙනෙන්නට තිබුණි. වසන්තට තිබුණේ එම ලිපියට අත්සන් යෙදීම පමණි.

ඉල්ලා අස්වීමේ ලිපියක් ලියාගෙන අරලියගහ මන්දිරයට ගොස් සිටි වසන්ත ගැන කැබිනට් මණ්ඩලයේදී කතාබහක් ඇදී ආවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය වෙනුවෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිම නිසාය. මෙම කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ගන්නා විට සංචාරක ඇමැතිවරයා වන වසන්ත එහි නොසීම ගැන සියලු දෙනාම අවධානය යොමු කළහ.

කෝ මේ වසන්ත සේනානායක ඇමැතිතුමා නැද්ද? සංචාරක ඇමැතිතුමා නැතිව කොහොමද මේවා කරන්නේමෛත්‍රී ඇසුවේ සිනාසෙමිනි.

එතුමා අරලියගහ මන්දිරයට ගිහින්. සමහර විට හෙට ආයිමත් කැබිනට් එකට එන්න පුළුවන් ඇමැතිවරු කීහ.

කැබිනට් මණ්ඩල රැස්වීම අවසන් වීමෙන් පසුව ආණ්ඩුවේ මැති ඇමැතිවරු එක්ව ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමක් පැවැත්වූහ. ඒ ඉදිරි පාර්ලමේන්තු සතියේදී ගන්නා ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කිරීමටය.

අපි පාර්ලිමේන්තු රැස්වීමට යමු. රැස්වීමට ගිහින් ආයිමත් එමු. අපි පාර්ලිමේන්තුවේ සැසිවාරයට සහභාගී වෙන්න ඕන නෑ. අපි වර්ජනය කරමු දිනේෂ් ගුණවර්ධන යෝජනා කළේය.

අපි පාර්ලිමේන්තුවට යනවා කියන්නෙ පාර්ලිමේන්තුව පිළිගත්තා කියන එකනේ. මන්ත්‍රී පිවිසුමෙන් ඇතුළට එනකොට අපේ නම් ලකුණු වෙනවා. එතකොට සභා ගර්භයට ගියත් නැතත් අපි පාර්ලිමේන්තුවට ආවා කියන එක තමයි ලියවෙන්නේ. මේ නිසා අපි පාර්ලිමේන්තුවට යන්නේම නැතිව ඉමු. අපි පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම වර්ජනය කරමු දිනේෂ්ගේ අදහසට වඩා වෙනස් අදහසක් දැක්වූ මන්ත්‍රීවරු පිරිස් ඒ අතර වූහ.

එහිදී මන්ත්‍රීවරු එකිනෙකට වෙනස් අදහස් දක්වන්නට වූ අතර ඔවුන් අතර ඇතිවූ කතාබහ උස් හ¾ඩින් කතා කරන තැනකට ඇදී ආවේය.

මට මෙතැන තීරණයක් ගන්න වෙන්නේ හඬ අනුවයි. හඬ අනුව මට තීරණය කරන්න වෙන්නේ පාර්ලිමේන්තුවට නොගිහින් ඉන්න ඕන කියන යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වුණා කියන එකයි මහින්ද සිනාසෙමින් කීවේ කථානායකවරයා ඡන්දය විමසූ ආකාරය සිහිපත් කරමින්ය.

මේ අතර පසුදා උදෑසන කථානායකවරයා හමුවීමට ආණ්ඩුවේ මැති ඇමැතිවරු කණ්ඩායමක් ගියේ කථානායක නිල කාමරයටය. මැති ඇමැති කණ්ඩායමට නායකත්වය දුන්නේ එස්.බි. දිසානායක ඇමැතිවරයාය.

සාමාන්‍යයෙන් මේ වගේ තත්ත්වයක් ඇතිවුණාම පාර්ලිමේන්තුවේ කටයුතු කරන හැටි ගැන නීතිපතිවරයාගෙන් අදහස් ගන්නවා. දැන් අගමැති කාර්යාලයේ අරමුදල් කපා හැරීමේ යෝජනාව විවාදයට ගන්න එක ගැන නීතිපතිතුමාගේ අදහස් ගත්තාද එස්.බි. ප්‍රශ්නය යොමු කළේය.

මම මේ ගැන නීති උපදෙස් අරගෙන තියෙන්නේ කරු උත්තර දුන්නේය.

අපි අද නීතිපති දෙපාර්තමේන්තුව පැත්තෙන් මේ ගැන හෙව්වා. ඔබතුමා නීතිපතිතුමාගෙන් මේ ගැන කිසිම දෙයක් ඇහුවේ නෑ කියන එක තමයි අපිට ලැබුණ ආරංචිය වුණේ ඇමැතිවරු පැවැසූහ.

මම නීතිපතිවරයාගෙන් විමසුවේ නැතිවුණාට නීතිඥ කණ්ඩායමකින් මේ ගැන විමසුවා. ඔවුන්ගේ අදහස අනුව තමයි මම කටයුතු කරන්නේ කරු කීවේය.

පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක එකේදී ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීම නැවත වරක් රැස්විය. පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී නොවුණත් ඔවුන් පාර්ලිමේන්තුවට පැමිණ අදාළ සාකච්ඡා පවත්වා, ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද පාර්ලිමේන්තුවේම පවත්වා පිටත්ව යති. පාර්ලිමේන්තුවේදී පැවැති කණ්ඩායම් රැස්වීමේදී අවධානය යොමුවූයේ දිගටම පාර්ලිමේන්තුව වර්ජනය කරන්නේද යන්නයි. ඒ ගැන අදහස් දැක්වීමට මුලින්ම නැගී සිටියේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාය.

කථානායකතුමා දිගටම පාර්ලිමේන්තු සම්ප්‍රදායන් උල්ලංඝනය කරමින් කටයුතු කරනවා. ඒ නිසා අපි පාර්ලිමේන්තුව වර්ජනය කරමු. දැන් වර්ජනය කරනවා වගේ දිගටම අපි පාර්ලිමේන්තුව වර්ජනය කරමු. මොකද මේ පාර්ලිමේන්තු රැස්වීමත් දැන් හරියට සිරිකොත රැස්වීමක් වගේ වෙලා තියෙනවානේ නාමල් මුලින්ම කතා කළේය.

කථානායකතුමාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒ ගැන දිගටම සාකච්ඡා කළා එස්.බි.ත් නාමල්ගේ යෝජනාවට තල්ලුවක් දුන්නේය.

කථානායකතුමා පාර්ලිමේන්තුවේ විවාද සජීවීව මාධ්‍ය ඔස්සේ දෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුව ගැන වැරදි මත එළියට යනවා. මේක නවත්වත්වන්න ඕන රංජිත් සොයිසා මන්ත්‍රීවරයාත් යෝජනා කළේය.

පාර්ලිමේන්තුවේ විවාද සජීවී රූපවාහිනී විකාශයක් ලෙස ලබාදීම ගැන කණ්ඩායම් රැස්වීමේදීවත් සාකච්ඡා කරලා තිබුණේ නෑ. අඩුම තරමේ පක්ෂ නායක රැස්වීමේදීවත් මේ ගැන කතා කරන්න තිබුණා දිනේෂ් එම චෝදනාව එල්ල කළේද කරුටය.

ඒ අතර පාර්ලිමේන්තුවේ කටයුතුවලට අමතරව වෙනත් කටයුතු පිළිබඳවත් අවධානය යොමුවිය.

දැන් මේ වෙන දේවල්වල තේරුම මොකක්ද? අපි මාසයක් තිස්සේ අදහස් දක්වමින් ඉන්නවා. මම මේ වෙන දේට අකමැතියි. අඩුම තරමේ ඇමැතිකම් ගනිපු එකටත් මම අකමැතියි. අපි ගියපු ගමනක් තිබුණා. ඒ ගමන සාර්ථකව ඉදිරියට ආවා. අපි ඒ ගමන ඉස්සරහටම ගියානම් මීට වඩා වැඩි සාර්ථකත්වයක් ගන්න තිබුණා ප්‍රසන්න කීවේය.

මට රාජපක්ෂවරු ගැන ලොකු විශ්වාසයක් තිබෙනවා. මම ඒ අය ඕනම වෙලාවක ආරක්ෂා කරනවා. හැබැයි දැන් වෙන දේවල් එක්ක මට ලොකු ප්‍රශ්න තියෙනවා ප්‍රසන්න කතාව නැවැත්වූවේ නැත මොකක්ද ප්‍රසන්න ප්‍රශ්නේ මහින්ද ඇසුවේය.

දැන් සර් බලන්න. තේරීම් කාරක සභා පත් කළා. මේ තේරීම් කාරක සභාවලට පත් වෙලා ඉන්නේ කවුද? ‍පොහොට්ටුව නියෝජනය කරන එක මන්ත්‍රීවරයෙක්වත් මේකට දාගන්න පුළුවන් වුණාද? ‍පොහොට්ටුවේ වැඩ කරන කිසිම කෙනෙක් තේරීම් කාරක සභාවට පත් කරලා නෑ. දැන් කරන හැම දෙයක්ම කරන්නේ පක්ෂ නායකයෝ එක්කයි. තීන්දු තීරණ ගන්නේ පක්ෂ නායකයෝ එක්ක විතරක් කතා කරලයි. පක්ෂ නායකයෝ එක්කම වැඩ කරලා හරියන්නේ නෑ. අලුතින් පක්ෂයක් හදන්න කැපකිරීම් කළ අය ඉන්නවා. ඒ අය කියන දේ ගැනත් අවධානය යොමු කරන්න ඕන ප්‍රසන්න කීවේ තරමක ආවේගයෙන් යුතුවය.

මට මේවට උත්තර දෙන්න ඕන විමල් නැගිට්ටේ පැත්තක යමින් තිබූ තොප්පියක් තමන්ගේ හිසටම දමා ගනිමිනි. එහෙත් ඔහු අසල සිටි රමේෂ් පතිරණ මන්ත්‍රීවරයා එයට ඉඩ දුන්නේ නැත.

ඇමැතිතුමා ‍පොඩිඩක් කලබල වෙන්නේ නැතිව ඉන්නකෝ. ප්‍රසන්න කියන්නේ මොකක්ද කියලා ‍පොඩ්ඩක් අහගන්න රමේෂ් විමල් වාඩිකරවූවේය.

කරුණාකරලා මම කියන දේ සම්පූර්ණයෙන්ම අහගෙන ඉඳලා කතා කරන්න. මම කියන්නේ මෙතැන ඉන්න පක්ෂ නායකයන් එක්ක කතා කරලා වැඩ කරනවා වගේම අපි එක්කත් කතා කරලා තීරණ ගන්න කියලයි ප්‍රසන්න කීවේය.

තේරීම් කාරක සභාවලට පත් කිරීම් කළ ආකාරය ගැන මම ‍පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕන. පහුගිය කා‍ලේදී කථානායකතුමා එක්ක දිගටම වැඩ කළ අය තමයි තේරීම් කාරක සභාවට පත් කළේ දිනේෂ් කරුණු දැක්වීමට පටන් ගත්තේය.

මේවාට හේතු තියෙන්න පුළුවන්. ඒත් ‍පොහොට්ටුවේ අයටත් අවස්ථාවක් තියෙන්න ඕන. ඒකට ‍පොහොට්ටුවේ අය ඇතුළත් කරන්න තිබුණා. මම මේවා මේක ඇතුළේ කියන්නේ එළියේ ගිහින් කතාකරන්න බලාගෙන නමෛයි. මම මේක මෙතැනින් එහාට අරගෙන යන්නේ නෑ. අපි මේ කාමරේ ඇතුළේම මේක කතා කරලා ඉවරයක් කරගමු ප්‍රසන්න කතාව නිම කළේය.

ආණ්ඩුවේ මැති ඇමැතිවරු පාර්ලිමේන්තුව වර්ජනය කරද්දී පසුගිය සතියේදී විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණියේය. ඒ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමටය. අගමැතිවරයාගේ ගැටලුව විසඳා ගත යුතු බව කල් ඇතිවම මෛත්‍රීටත් දැනුම් දී තිබූ විජයදාස තමන්ට හිතවත් එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු පිරිසක් පසුගිය සතියේදී හමුවිය. ඒ අතර වජිර අබේවර්ධන ඇමැතිවරයාද විය.

වජිර, විජයදාසගේ නිවසට ගියේ ඔහුගේ සහය එක්සත් ජාතික පක්ෂයට ගැනීමට සාකච්ඡා කිරීමටය. මේ ගැටලුව විසඳා ගැනීමේ මැදිහත්කරුවෙක් ලෙස කටයුතු කිරීමට විජයදාස කැමැත්ත පළ කර තිබුණි. ඒ අනුව පසුගිය බදාදා රාත්‍රී දොළහට පමණ වජිර විජයදාසගේ නිවසට ගියේය. ඒ එක්සත් ජාතික පක්ෂය සමග කටයුතු කිරීමේදී ඇතිවිය හැකි ගැටලු කිහිපයක් ගැන අවසන් සාකච්ඡා පැවැත්වීමටය. විජයදාස සමග කටයුතු කිරීමට රනිල් වැඩි කැමැත්තක් නොදක්වා තිබූ අතර එය සමථයකට පත් කළේ වජිරගේ මැදිහත්වීමෙන්ය.

පසුව ඔහුට තිබුණේ රාජිත සේනාරත්න ඇමැතිවරයා සමග පැවැති ගැටලු විසඳාගැනීමය. ඒ අනුව විජයදාස හා රාජිත අතර දුරකථන සංවාදයක්ද සූදානම් කළේය.

අපි දෙන්නා අතර නොයෙක් ප්‍රතිපත්ති ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ වුණත් මේ වෙලාවේදී ඇතිවෙලා තියෙන ප්‍රශ්නය විසඳාගන්න ඕනම දෙයක් අපි කැප කරන්න ඕන. අපි එකතුවෙලා වැඩ කරමු රාජිත විජයදාස සමග පැවැති අමනාපයට තිත තැබුවේය.

ඒ අනුව පසුදා පාර්ලිමේන්තුවට පැමිණි විජයදාස පාර්ලිමේන්තුවේදී කතාවක් කළේය. මෛත්‍රී සමග සාකච්ඡාවකට කරුට ඔහු ඒ අනුව ආරාධනා කළ අතර එම ආරාධනය පිළිගනිමින් කරු බ්‍රහස්පතින්දා සවසම මෛත්‍රී හමුවීමට ගියේය.

මේ අතර අතුරලියේ රතන හිමියන් ද විජයදාසගේ කතාවෙන් පසුව පාර්ලිමේන්තුවේදී කතාවක් කළේය. උන්වහන්සේගේ කතාව අවසන් කළ පසුව සභා ගර්භයෙන් එළියට පැමිණියේය. එළියට එන විටම උන්වහන්සේට හමුවූයේ මාධ්‍යවේදීන් කිහිපදෙනෙකි.

මගේ කතාව ඇහුවද රතන හිමියෝ ඇසූහ.

ඔව් හාමුදුරුවනේ. හැබැයි කතාවෙන් ඔබවහන්සේ ඉන්නේ මොන පැත්තේද කියන එක ගැන නම් පැහැදිලි අදහසක් ගන්න බැරිවෙනවා මාධ්‍යවේදියෙක් පැවැසුවේය

මම ඉන්නේ ජනාධිපතිතුමා එක්ක රතන හිමියෝ කීහ.

ඒ වුණාට හාමුදුරුවනේ රනිල් වික්‍රමසිංහට අගමැතිතුමා කියලානේ කතා කළේ. ඒ කියන්නේ ඔබවහන්සේ රනිල් එක්ක ඉන්නවා වගේනේ පේන්නේ මාධ්‍යවේදියා කීය.

මම කියන්නේ මට ඕන එක. ඒක ඔයා තේරුම් ගන්න විදිය නොවෙන්න පුළුවන්. මම කියන දේ ඔයා තේරුම් ගන්න ඕන නෑ ආවේගශීලීව කතා කළ රතන හිමියෝ එතැනින් පිටත්ව ගියහ.

තිලකජය

කාටූන් - අංජන ඉන්ද්‍රජිත්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.