lakbima.lk

උඩින් ගිය රනිල් බිමින් එයි

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය සිකුරාදා හෙලිකොප්ටරයකින් කොළඹ සිට ගාල්ල බලා පිටත්ව ගියේ අගමැතිවරයා ලෙසය. උඩින් ගිය රනිල් යළි කොළඹ ආවේ බිමෙනි. අගමැති ධුරයෙන් පහ කිරීම නිසා ඔහු කොළඹ ආවේ මෝටර් රියෙනි.

රනිල් ගාල්ලේ සිට කොළඹ බලා පැමිණෙන අතරවාරයේදී තමන්ගේ හිතවත් මන්ත්‍රීවරුන්ට දුරකථන ඇමතුම් කිහිපයක් දුන්නේය. ඒ වහාම අරලියගහ මන්දිරයට එන ලෙසට දැනුම් දෙමිනි. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හදිසි කණ්ඩායම් රැස්වීමක්ද කැඳවිණි. රාත්‍රී 9.30ට කණ්ඩායම් රැස්වීම කැඳවූ  අතර රනිල් සමග එතරම් ඇයි හොඳයියක් නැති රවි කරුණානායක මන්ත්‍රීවරයාටද කණ්ඩායම් රැස්වීමට දැනුම්දීමක් කළෝ්ය.

“මට එන්න වෙන්නේ නෑ” රවි කියා තිබුණේය.

ඒ බව කබිර් හෂීම් මන්ත්‍රීවරයාට හා අකිල විරාජ් කාරියවසම් පක්ෂ මහ ‍ලේකම්වරයාට ආරංචිවී තිබුණි. ඔවුන් දෙදෙනාද රවිට දුරකථනයෙන් කතා කළෝය.

“මට මලික්ට පාඩමක් උගන්වන්න ඕන. ඒ නිසා මම එන්නේ නෑ” රවි තමන්ගේ මලික් විරෝධය එළිපිටම ප්‍රදර්ශනය කළේය. කෙසේ වෙතත් පසුව රවි අරලියගහ මන්දිරයට පැමිණ තිබුණේය.

රනිල්ගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ හදිසි කණ්ඩායම් රැස්වීම පැවැති අතර එහිදී පැවැති තත්ත්වය ගැන සහ ඉදිරියේදී ගත යුතු පියවර ගැන දීර්ඝ ලෙස අදහස් හුවමාරු විය.

“මේ රටේ අගමැති මමයි. ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ බහුතරය සහිත පුද්ගලයා මිස වෙනත් කෙනෙක් අගමැතිකමට පත් කරන්න බෑ. ඒ නිසා වහාම පාර්ලිමේන්තුව කැඳවා බහුතරයක් ඇති පුද්ගලයා කවුරුන්දැයි සොයන්න. මීට මාස කිහිපයකට පෙර මට එරෙහිව පැමිණි විශ්වාසභංග යෝජනාවේදීත් මගේ ස්ථාවරය  පාර්ලිමේන්තුවේදී ඔප්පු කළ නිසා ප්‍රජාතන්ත්‍රවාදීව වහාම පාර්ලිමේන්තුව කැඳවන්න කියලා මම ඉල්ලනවා” රනිල් කීවේ අරලියගහ මන්දිරයෙන් ඉවත්ව යාමේ සූදානමක් නැති බව පවසමිනි.

එදින රාත්‍රියේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් සිටියේ අරලියගහ මන්දිරයේය. ඒ වන විට එක්සත් ජාතික පාක්ෂිකයන් අරලියගහ මන්දිරය වෙත පැමිණෙමින් තිබූ අතර ඔවුන් රැය පහන් කළේ අරලියගහ මන්දිරයේය.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු අරලියගහ මන්දිරයේ සිටින විට නව අගමැතිවරයා ලෙස දිවුරුම් දුන් මහින්ද තමන්ගේ මන්ත්‍රීවරු සමග මුලින්ම ගියේ අරලියගහ මන්දිරයට ආසන්නයේ ඇති ගංගාරාම විහාරස්ථානයටය. එහි ගොස් ආශිර්වාද ලබාගත් මහින්ද නැවත නිවසට යන විට රෑ බෝ වී තිබුණි.

 යනකොට ඇමැති  එනකොට මන්ත්‍රී

මහින්ද අගමැති වන බව කල් ඇතිව දැන නොසිටි ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයන් කිහිපදෙනෙක් ඒ වන විට සිටියේ විදේශගතවය. ඒකාබද්ධයේ ප්‍රධාන සංවිධායක වූ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාත් මහින්ද අගමැති වන විට විදේශගතව සිටි අතර නැවත ලංකාවට පැමිණියේ සෙනසුරාදා අලුයමය. ප්‍රසන්න පිළිගැනීමට උත්සවයක් ගුවන්තොටුපළේ සංවිධානය කර තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු පිරිසකි. ඔවුන් සමග ඉන්දික අනුරාධ මන්ත්‍රීවරයාත් ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාත් ගුවන්තොටපළට පැමිණ සිටියේය.

“අයියේ මේ මොකක්ද වුණේ කියලා දන්නවාද” ඉන්දික ඇසුවේය.

“මම දැනගෙන හිටියා. මම මේ ගැන බැසිල් මහත්තයාගෙන් කතා කරලා ඇහුවා. එතකොට මට විස්තරේ කිව්වා” ප්‍රසන්න කීවේ අනෙක් මන්ත්‍රීවරුන්ට නොලැබුණ තොරතුරු තමන්ට ලැබුණ ආකාරය ගැන සිහිපත් කරමින්ය.

“අපි කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑනේ” ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා කීවේ ප්‍රසන්න කියූ දේ ගැන විශ්වාස කළ නොහැකි අයුරිනි.

“මම ඉතිං මහින්ද මහත්තයා අගමැති කරවන සටනේ මුල ඉඳලා හිටියානේ. අද ඒ සටන ජයග්‍රහණය කරලා තියෙනවා. ඒක කොහොම වුණාද කියන එක දැන් ගැටලුවක් නමෛයි. පහුගිය අවුරුදු තුනේම රට අගාධයකට යමින් තිබුණා. දැන් තියෙන්නේ මහින්ද මහත්තයා එක්ක එකතුවෙලා රට ගොඩගන්න එකයි.  හැමෝම එකතුවෙලා ඒකට සහාය දෙමු” ප්‍රසන්න කීවේය.

ප්‍රසන්න ගුවන්තොටුපළින් එළියට ඒමට පෙර සිටියේ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේය. ඔහු එහි සිටියේ සිය බිරිඳ එනතුරුය. ඒ අතරතුර එහි ආවේ රවුෆ් හකීම්ය.

“මොකද මේ වෙන්නේ. මම යනකොට ඇමැති. එනකොට මන්ත්‍රී” හකීම් කීවේය.

“වෙන්න තියෙන හොඳම දේ තමයි වෙන්නේ” ප්‍රසන්න කීවේය.

“ඔයාට නම් ඉතිං දැන් ලොකු ඇමැතිකමක් ලැබේවි. මොකද මේ සටනේ මුල ඉඳලා හිටපු කෙනා ඔයානේ හකීම් කීවේය.

“මම ඒවා ගැන නම් කිසිම බලා‍පොරොත්තුවක් තියාගන්නේ නෑ. අපි ඇමැතිකම් තියාගෙන ඉන්නේ ඔයාලට දෙන්න නේ” ප්‍රසන්න කීවේය.

“අ‍පෝයි අපි ඒවා ගන්නවා නම් ගන්නේ ගොඩක් කල්පනා කරලයි” හකීම් කීවේ ප්‍රසන්නගේ යෝජනාව ගැන වැඩි ප්‍රසාදයක් නැතිවය.

පසුදා උදෑසනම ප්‍රසන්නට මහින්ද සහ බැසිල් දුරකථන ඇමතුම් දෙකක් දුන්නේය. ඒ ඔහු ලංකාවට පැමිණියේදැයි සොයා බැලීමටය.

“ප්‍රසන්න අද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම තියෙනවා. ඒකට අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න” මහින්ද අවධාරණය කර තිබුණේය.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මහින්දගේ ප්‍රධානත්වයෙන් රැස්විය. එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළේ මහින්ද අගමැති ධුරය භාර ගැනීමට පසුබිම්වූ කරුණුය. අගමැති ධුරය භාර ගැනීම පිළිබඳ සැඟවුණු කතා කිහිපයක්ද මහින්ද එහිදී අනාවරණය කර තිබුණේය.

“සර් දැන් අපිට පාර්ලිමේන්තුවේ බහුතරයක් පෙන්වන්න පුළුවන්ද” මන්ත්‍රීවරයෙක් ඇසුවේ පාර්ලිමේන්තුව කැඳවූ විට මුහුණපෑමට සිදුවන තත්ත්වයන් පිළිබඳවය.

“අපිට සරල බහුතරයක් ඉක්මවලා මන්ත්‍රීවරු ඉන්නවා. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා”මහින්ද කීවේය.

ඒ අතරවාරයේදී මහින්දට දැනගැනීමට ලැබුණේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව යාමට රනිල්ගේ සූදානමක් නොමැති බවය.

“එදා ජනාධිපතිවරණය පැරදුණාම සර් හිනාවෙවී අරලියගහ මන්දිරයෙන් එළියට යනකොට මිනිස්සු ඇඬුවා. අද රනිල් අරලියගහ මන්දිරයට වෙලා අඬ අඬ ඉන්නකොට මිනිස්සු හිනාවෙනවා. ඔන්න ඕක තමයි වෙනස” ප්‍රසන්න මහින්දට කීවේය.

 රනිල්ගේ ආරක්ෂාව  නැතිවූ හැටි

රනිල් සෙනසුරාදා උදෑසන වනවිට එක්සත් ජාතික පාක්ෂිකයන් අරලියගහ මන්දිරයට කැඳවා තිබුණි. ඒ අතරම පාර්ලිමේන්තුවත් කැඳවා පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට රනිල් උත්සාහ ගත්තේය. එහෙත් මෛත්‍රී එක්වරම පාර්ලිමේන්තුව නොවැම්බර් 16 වැනිදා දක්වා කල් තැබිමට තීරණය කිරීමත් සමග පාර්ලිමේන්තුවේදී රනිල්ට බහුතරයක් පෙන්වීමට තිබූ අවස්ථාව අහිමිවී ගියේය.

මහින්ද අගමැතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව අරලියගහ මන්දිරයේ මුළුතැන්ගේ භාරව සිටි නාවික හමුදාව එයින් ඉවත් කෙරිණි. පසුව අගමැති ආරක්ෂක ඒකකයේ නිලධාරීන්ගේ සංඛ්‍යාව දහයක් දක්වා අඩු කෙරිණි. විශේෂ කාර්ය බළකායද ඉවත් කෙරුණි. එක්වරම ‍පොලිස්පතිවරයාගෙන් අගමැති ආරක්ෂක අංශ ප්‍රධානියාට නියෝගයක් ලැබි තිබුණේ ආරක්ෂක නිලධාරීන්ගේ සංඛ්‍යාව දහය දක්වා අඩු කිරීමටය. ඒ වන විට ඇතැම් ආරක්ෂක නිලධාරීන් අරලියගහ මන්දිරයේ තමන්ගේ විවේක කාමරවලට වී සිටි අතර ඔවුන්ට වහාම තමන්ගේ කාමරයට එන්නැයි රනිල් දැනුම් දුන්නේය.

ඒ කැඳවීම අනුව ඇතැම් ආරක්ෂක නිලධාරීන් එහි ගියේ තමන් ඇඳ සිටි බොටම් කලිසම සහ ටී ෂර්ටය ඇඳගෙනමය.

“මගේ ආරක්ෂාව දහයකට අඩු කරලා තියෙනවා. මේ නිසා ඔබලාට අරලියගහ මන්දිරයෙන් යෑමට සිදුවෙනවා” රනිල් කීවේය.

“ඔබතුමා මුල් වෙලා මහින්ද මහත්තයාටයි ගෝඨාභය මහත්තයාටයි සිය ගණනක් ආරක්ෂකයන් දුන්නත් අද ඔබතුමාගේ ආරක්ෂාව ඉවත් කිරීම පුදුමයි” අගමැති ‍ලේකම්වරයෙක් කියන විට රනිල් මද සිනහවක් පා ඉවත බලාගත් නමුත් කිසිවක් කියන්න ගියේ නැත.

ඉන් පසුව අගමැති ‍ලේකම් කාර්යාලයේ මෙන්ම අරලියගහ මන්දිරයේ කාර්යමණ්ඩලය ඉවත් කිරීමටද නියෝග ලැබි තිබුණි. ඔවුන් වෙනත් ආයතන සඳහා මාරුකොට යවා තිබුණේය. මේ අතරවාරයේදී අරලියගහ මන්දිරයට ඇතුළුවන ප්‍රධාන ගේට්ටුව ඉදිරියේ පැය විසිහතර පුරාම පිරිත් සජ්ක්ධායනාවක් ආරම්භ කළේ එක්සත් ජාතික පක්ෂයට හිතවත් සංඝරත්නයේ ඉල්ලීමකට අනුවය. මේ පිරිත් සජ්ක්ධායනාවක් සමග යාග හෝම කිරීම් ගැන කතාවක් ද ඇදී ආවේය.

“දැන් අරලියගහ මන්දිරයේ යාගහෝමත් කරනවා කියලා කියන්නේ. කොතැනද ඒවා කරන්නේ” ලක්ෂ්මන් කිරිඇල්ල ඇසුවේ අරලියගහ මන්දිරයේ සිටින සේවකයෙක්ගෙන්ය.

“මොන බොරුද සර්. එහෙම එකක් නෑ” අරලියගහ මන්දිරයේ සේවකයා කීවේය.

මේ අතර රනිල් අරලියගහ මන්දිරයට වී ඇතිවී තිබෙන තත්ත්වය ගැන අවධානය යොමු කරන්න විය. තමන්ට හිතවත් මැති ඇමැතිවරු කිහිපදෙනෙක් කැඳවාගත් රනිල් ඇතිවී තිබෙන තත්ත්වය ගැන ඔහු සාකච්ඡා කරන්න විය. මේ වනවිට විදෙස් රටවල් කිහිපයක්ම ලංකාවේ දේශපාලන වෙනස ගැන අවධානය යොමු කර තිබුණි.

“ජාත්‍යන්තර සහය නැතිව මේ ආර්ථික අර්බුදය මැද රටකට දුවන්න බෑ. ජනතාවට ලොකු පරිප්පුවක් තමයි කන්න වෙන්නේ නේද සර්” රනිල්ගෙන් ඇසුවේ එතැනට පැමිණ සිටි මන්ත්‍රීවරයෙකි.

“මේ අයට අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාව නෑ. තානාපතිවරුන්ට අපි රටේ තත්ත්වය පැහැදිලි කළා. අලුත් අගමැති පත් කිරීම ගැන ලෝකයේ රටවල් හෙළා දකිමින් තමයි කතා කළේ”  රනිල් පැහැදිලි කළේ සෙනසුරාදා සවස විදේශ රටවල තානාපතිවරු හමුවී කළ සාකච්ඡාව ගැන හෙළි කරමිනි.

 අලුත් ලේකම්ගේ නියෝග

අගමැති ‍ලේකම් ලෙස කටයුතු කළ සමන් ඒකනායකට අගමැති කාර්යාලයේ තමන්ගේ කාර්යාලයේ ඇති බඩු බාහිරාදිය ඉවත් කරගන්නා ලෙස දැනුම් දී තිබුණේ මහින්ද දිවුරුම්දී වැඩි වේලාවක් ගතවීමට පෙරය. සිකුරාදා දිවුරුම්දුන් මහින්ද සෙනසුරාදා වන විට නව අගමැති ‍ලේකම්වරයෙක් පත් කරන ලෙස මෛත්‍රීගෙන් ඉල්ලා තිබුණි. මහින්දගේ තෝරාගැනීම වී තිබුණේ තමා ධීවර ඇමැති කාලයේ තම අමාත්‍යාංශ ‍ලේකම්වරයා ලෙස රාජකාරි කළ දි.මු.  ජයරත්න අගමැතිකාලයේදී සිටි අගමැති ‍ලේකම් සිරිසේන අමරසේකරය. ඔහු විශ්‍රාම ගොස් වසර කිහිපයක් ගතවී ඇති නමුත් ඔහු නැවත සේවයට කැඳවා තිබුණේය.

ජනාධිපති ‍ලේකම් කාර්යාලයට කැඳවූ හිටපු ‍ලේකම්වරයාට නව අගමැති ‍ලේකම් තනතුරක් දුන් මෛත්‍රී අමාත්‍යාංශ ‍ලේකම්වරුන්ද සිය කාර්යාලයට කැඳවා තිබුණේය. ඒ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීමටය.

“සර් අපිට කාගේවත් පැත්තක් ගන්නේ නැතිව වැඩ කරන්න පුළුවන්” අමාත්‍යාංශ ‍ලේකම්වරු මෛත්‍රීට දැනුම් දුන්හ.

“දැන් තියෙන තත්ත්වය අනුව ජාතික ආණ්ඩුව අහෝසි වෙනවා. මේ නිසා අමාත්‍යාංශ සංඛ්‍යාව තිහකට අඩු කරන්න වෙනවා. එතකොට දැනට ඉන්න සමහර ‍ලේකම්වරුන්ට මෙතැනින් යන්න වෙනවා” මෛත්‍රී කීවේය.

“ඉවත්වෙලා යන ‍ලේකම්වරුන්ට දෙන තනතුරු ගැන වැඩපිළිවෙළක් තියෙනවාද සර්” අමාත්‍යාංශ ‍ලේකම්වරු විමසූහ.

“අලුත් අමාත්‍යාංශවල ‍ලේකම්වරු විදියට වැඩ කරන්න කැමැති අයට ‍ලේකම් තනතුරු දෙනවා. අනෙක් අයට අතිරේක ‍ලේකම් තනතුරු දෙනවා. හැබැයි ඒ අයට අමාත්‍යාංශ ‍ලේකම්වරයෙක්ට දෙන බලය අඩු කරන්නේ නෑ. දැනට දෙන බලය ඒ විදියටම දෙනවා. දැනට දෙන පහසුකම් අඩු කරන්නේත් නෑ. හැබැයි අතිරේක ‍ලේකම්වරු විදියට වැඩ කරන්න කැමැති නැති අයට විශ්‍රාම යන්න පුළුවන්” මෛත්‍රී ‍ලේකම්වරුන්ට අත්වන ඉරණම ගැන පැහැදිලි කළේය. නව අමාත්‍යාංශවල ඇමැතිවරු දිවුරුම්දීමටත් කලින් අමාත්‍යාංශ ‍ලේකම්වරු කිහිපදෙනෙකු පත් කළේ ඒ අනුවය.

අගමැති ‍ලේකම්වරයා සෙනසුරාදා වැඩ භාරගැනීමට එන විටත් හිටපු ‍ලේකම්වරයා තමන්ගේ කාර්යාලයේ බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබුණේ නැත. අලුත් ‍ලේකම්වරයා වැඩ භාරගැනීමට විනාඩි පහළොවකට පෙර කාර්යාලයට පැමිණි හිටපු ‍ලේකම්වරයා තමන්ගේ පෞද්ගලික බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබුණේය.

මහින්දට අගමැති ‍ලේකම් කාර්යාලය ගැනීමට හැකිවුවත් අරලියගහ මන්දිරය ගැනීමට හැකියාව තිබුණේ නැත. ඒ නිසා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරු අරලියගහ මන්දිරය අල්ලාගැනීමට උත්සාහ කළහ. ඒ සදහා මුලින්ම කළේ මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කිරීමය. ඒ සඳහා මූලිකත්වය ගත්තේ විමල් වීරවංශ මන්ත්‍රීවරයාය.

“අපි රනිල් වික්‍රමසිංහට හෙට උදේ අට වෙනකම් කල් දෙනවා. අරලියගහ මන්දිරය අතහැරලා යන්න. එහෙම නැතිවුණොත් ජනතාව සමග ඇවිත් අපිට අරලියගහ මන්දිරය අල්ලා ගැනීමට සිදුවෙනවා” විමල් අනතුරු ඇඟවූවේය. එහෙත් පසුදා උදෑසන වන විට අරලියගහ මන්දිරයේ බලය අල්ලාගැනීමට ඔවුන්ට හැකිවූයේ නැත. ඒ වනවිට පවතින තත්ත්වය පිළිබද රනිල් විදේශ රටවල තානාපතිවරු දැනුවත් කර තිබූ අතර එංගලන්තය, ඇමෙරිකාව, යුරෝපා සංගමය ඇතුළු රටවල් ගණනාවකින්ම නිවේදන නිකුත් කරමින් ලංකාවේ තත්ත්වය ගැන අවධානයෙන් පසුවන බව දැනුම් දී තිබුණේය. චීනයේ තානාපතිවරයා මුලින්ම මහින්ද හමුවී සුබපතා රනිල් හමුවී තිබුණේ තත්ත්වය ගැන ඔවුන්ගේ අවධානයත් යොමුකරමින්ය.

මේ තත්ත්වය මැද රනිල් අරලියගහ මන්දිරයට වී සිය පාක්ෂිකයන් හා මාධ්‍ය කැඳවමින් ඇතිවෙමින් තියෙන තත්ත්වයන් ගැන මාධ්‍ය දැනුවත් කරමින් සිටි අතර හදිසියේම ඉරිදා රාත්‍රියේදී අරලියගහ මන්දිරයේ විදුලිය විසන්ධි විය. ඒ වන විට ආහාර සැපයීමට සිටි නාවික හමුදාවේ නිලධාරීන්ද ඉවත් කර තිබූ අතර ඒ සමග අරලියගහ මන්දිරයේ වැඩ කටයුතු කිරීමට සිදුවූයේ ජෙනරේටර ආධාරයෙන්ය.

මේ අතර අරලියගහ මන්දිරයෙන් රනිල් සහ එහි සිටින පාක්ෂිකයන් ඉවත් කිරීම සඳහා ‍පොලිස් විශේෂ කාර්ය බළකායට විශේෂ සැලසුමක් සකස් කිරීමට නියෝග ලැබි තිබුණි. ඒ අනුව ඔවුන් අරලියගහ මන්දිරයෙන් රනිල් ඉවත් කිරීමට විශේෂ සැලසුමක් සකස් කර තිබුණි. එහි සිටින පාක්ෂිකයන් ඉවත් කිරීමට තවත් සැලසුමක් සකස් කර තිබූ අතර ඒ සඳහා විශේෂ සැලසුම් දෙකක්ද සකස් කර තිබුණේය.

“ප්ලෑන් ඒ ක්‍රියාත්මක කරන්න ගියොත් අපිට යන්නේ විනාඩි විසි එකක් විතරයි. ප්ලෑන් බි ක්‍රියාත්මක කරන්න ගියොත් විනාඩි තිස් දෙකක් යනවා” මෙම සැලසුම සම්බන්ධයෙන් දැන සිටි අයෙක් පැවැසුවේය.

රනිල් අරලියහ මන්දිරයෙන් ඉවත් කිරීමේ සැලසුම් සකස් කළත් ඒවා ක්‍රියාත්මක වූයේ නැත.

මේ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ රනිල් හමුවීමට අරලියගහ මන්දිරයට පැමිණියේය. ඔහු එහි පැමිණියේ රනිල්ගේ ආරාධනාවක් අනුව යැයි ගෝඨාභයගේ ප්‍රකාශක මිලින්ද රාජපක්ෂ පැවැසුවේය. රනිල් සහ ගෝඨා අතර සාකච්ඡාව පවත්වා තිබුණේ විනාඩි හතකි. සවස 4.10ට රනිල්ගේ කාර්යාලයට පැමිණි ගෝඨා සවස 4.17 වන විට සාකච්ඡාව අවසන් කර ඔහුගේ කාර්යාලයෙන් එළියට පැමිණියේය. එම සාකච්ඡාවට කිසිදු නිලධාරියෙක් සහභාගී කරගෙන නොතිබූ අතර ඔවුන් දෙදෙනාගේ සාකච්ඡාව සතර කන් මන්ත්‍රණයක්ම විය.

මේ සාකච්ඡාවට ගෝඨාභය රාජපක්ෂ සහභාගී වුණේ අගමැතිවරයාගේ නියෝජිතයා ලෙසයි. ලංකාවේ දේශපාලන ගැටුම්කාරී වාතාවරණයක් නිර්මාණය වී ඇති බවට ජාත්‍යන්තරයෙන් නැගෙන අසුබවාදී දැක්මන් පිළිිබඳ මෙහිදී සාකච්ඡා කළා. ඒ වගේම පාර්ලිමේන්තුවේ බහුතරයක් තමන් සතුව ඇති බවට අගමැතිවරයාට තිබෙන විශ්වාසය හිටපු අගමැතිවරයා වෙත පළ කළා. හිටපු අගමැතිවරයාත් තමන්ට පාර්ලිමේන්තුවේ බහුතරයක් ඇති බවට විශ්වාසය පළ කර තිබුණා. පාර්ලිමේන්තුවේදී ඒ බව තහවුරු කිරීමට හැකි බව ඔහුත් පවසා තිබුණා ගෝඨාභයගේ ප්‍රකාශකයා කීවේය.

ගෝඨා පැමිණ රනිල් හමුවන විට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහින්ද හමුවීමට ගොස් තිබුණේය. ඔහු එහි ගොස් තිබුණේද රනිල්ගේ පූර්ණ අනුදැනුම ඇතිවය. ඔවුන් දෙදෙනා අතර ඇතිවිය යුතු සාකච්ඡාව පිළිබඳ මූලික කරුණු රනිල් කල් ඇතිවම සජිත්ට දැනුම්දී තිබුණේය.

 රනිල් වරප්‍රසාද ඉල්ලයි

රනිල්ගේ ආරක්ෂාව ඉවත් කරමින් අගමැතිවරයා ලෙස ඔහුට හිමිව තිබූ වරප්‍රසාද අහිමි කරමින් සිටින විට එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙස කබිර් හෂීම් කථානායක කරු ජයසූරියට කඩිනම් ලිපියක් යැව්වේය. ඒ රනිල්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලමිනි.

එම ලිපියට කරුගෙන් ලැබි තිබුණේද යහපත් ප්‍රතිචාරයකි. එයට කඩිනම් පිළිතුරු දුන් කරු මෛත්‍රීට ලිපියක් යොමු කළේය. ඒ රනිල්ගේ වරප්‍රසාද ආරක්ෂා කිරීමට අවධානය යොමු කරමින්ය. ඒ අතරම පාර්ලිමේන්තුව කල් දැමීම ගැන තමන්ගේ ඇති නොරිස්සුම මෛත්‍රීට ලිඛිතව දැනුම් දීමට කරු සෘජු වී තිබුණේය. සාමාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව පාර්ලිමේන්තුව කල් දැමීමට පෙර කථානායකවරයා සමග සාකච්ඡා කළ යුතු බව සිහිපත් කිරීමට කරු වගබලාගෙන තිබුණි. එහෙත් එයට මෛත්‍රීගෙන් ලැබුණ ප්‍රතිචාර ලිපියක් ගැන කිසිදු සඳහනක් වූයේ නැත.

 මෛත්‍රීට රනිල්ගෙන්  පිළිතුරු

රනිල් ඉවත් කළ මෛත්‍රී ඉරිදා සවස ජාතිය ඇමැතුවේය. රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමට හේතු ගැන ඔහු කරුණු පවසන්න විය. රනිල් අගමැතිවරයා ලෙස කටයුතු කිරීමෙන් තමන්ගේ ජීවිත ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව මෛත්‍රී කීවේය.

“මමත් හිටපු ආරක්ෂක ‍ලේකම්වරයාත් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳ නාමල් කුමාර නැමැත්තා හෙළිදරව්වක් කළා. මේ ගැන කරන පරීක්ෂණ ගැන කිසිම වාර්තාවක් මා වෙත පැමිණියේ නෑ. මේ ගැන කිසිම දෙයක් මම දැන සිටියේ නෑ” මෛත්‍රී කිවේය. මේ ප්‍රකාශය කරන අවස්ථාව වන විට එස්.බි. දිසානායක සමග සාකච්ඡාවක යෙදී සිටි ලියුම්කරු වෙත හෙළිදරව්වක් කරමින් එස්.බි. දිසානායක ඇමැතිවරයා කීවේ මේ ගැන මෛත්‍රී සමග කිසිදු අවස්ථාවක රනිල් සාකච්ඡා කර නොමැති බවය. සෑම සතියකම කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භ වීමට පෙර රනිල් මෛත්‍රීගේ නිල කාමරයට ගොස් සාකච්ඡා කරමින් සිට දෙදෙනාම එකට කැබිනට් රැස්වීමට පැමිණියත් කිසිදු අවස්ථාවකදී ඔහු ඒ ගැන විමසා නැතැයි එස්.බි. කීවේය. මාස ගණනාවකට පසුව එක් අවස්ථාවකදී රනිල්ගෙන් මේ ගැන විමසූ විට ඔහු සිනා වී පැත්තක් බලා සිටි අතර ඒ ගැන විමසා නොතිබිම ගැන මෛත්‍රී සිට තිබුණේ දැඩි කනස්සල්ලෙන්ය. මේ කනස්සල්ල මෛත්‍රීගේ කතාවෙන් හෙළිවිය.

මෛත්‍රීගේ කතාවට රනිල් පසුදා පිළිතුරු දුන්නේ මාධ්‍ය අමතමිනි. විනාඩි අටක කාලයක් තිස්සේ ඔහු මාධ්‍ය ඇමැතුවේ අරලියගහ මන්දිරයේ ඉදිරිපස ප්‍රධාන දොරටුව ඉදිරිපිටදීය. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ලෙස සඳහන් පුවරුවක්ද ප්‍රදර්ශනය වන ආකාරයට සකස් කර තිබූ ‍පෝඩියමක් ඉදිරියට වී ඔහු මාධ්‍ය ඇමැතුවේය. එහිදී මෛත්‍රී ඉදිරිපත් කළ චෝදනාවලට පිළිතුරු දුන්නත් මෛත්‍රීගේ පෞද්ගලික ජීවිතය හෝ මෛත්‍රීගේ චරිතයට කිසිදු පහරක් එල්ල නොකිරීමට රනිල් වගබලාගෙන තිබුණේය.

 ඇමැතිවරු දිවුරුම්  දුන් හැටි

අලුත් ආණ්ඩුවේ ඇමැතිවරු දිවුරුම් දීම සම්බන්ධයෙන් අලුත් අගමැතිවරයා දිවුරුම් දී දින තුනක් යන තෙක් තීරණයක් ගැනීමට මෛත්‍රීට හැකිවී තිබුණේ නැත. ඒ වන විට මෛත්‍රී සමග සිටි මන්ත්‍රීවරු විසි තුන්දෙනා තමන්ගේ නිල නිවසට කැඳවා තිබුණේය

මමත් එක්ක හිටපු කණ්ඩායමේ හැමෝටම තනතුරු දෙනවා. ඒ අය ඉඳපු තනතුරුම මම ඒ අයට දෙනවා. මේ අයට තනතුරු දීලා තමයි අනෙක් අයට තනතුරු දෙන්න වෙන්නේ මෛත්‍රී තමන් සමග සිටි විසිතුන්දෙනාට කියුවේය.

ඉන් පසුව ගැටලුව තිබුණේ මීට පෙර ආණ්ඩුවෙන් ඉවත්වූ දහසයේ කණ්ඩායමට ඇමැති ධුර දීම කෙරෙහිය.

මට මේ අය ගැන වගකීමක් ගන්න බෑ මෛත්‍රී කීවේ දහසයේ කණ්ඩායම ගැන අවධානය යොමු කරමින්ය.

මටත් ඒ අය ගැන වගකීමක් ගන්න බෑ මහින්දත් ඔවුන් සම්බන්ධයෙන් වගකීමක් ගත නොහැකි බව කියා තිබුණේය.

දහසයේ කණ්ඩායමට ඇමැති ධුර දීම ගැන අවසන් තීරණයක් නොමැති තත්ත්වයක් තුළ එස්.බි. දිසානායක ඇමැතිවරයා තමන්ට හිමිවිය යුතු ඇමැති ධුරය ගැන කල් ඇතිවම දැනුම් දී තිබුණේය. ඔහුගේ මුල්ම ඉල්ලීම වී තිබුණේ මුදල් අමාත්‍ය ධුරයයි. ඔහුගේ දෙවැනි තේරීම වූයේ නිවාස අමාත්‍ය ධුරයයි. එම ඇමැති ධුර දෙක නොලැබෙන්නේ නම් තමන් ඇමැති ධුරයක දිවුරුම් නොදෙන බව එස්.බි.ගේ ස්ථාවරය විය. පසුව ඔහුගේ ස්ථාවරය වෙනස් වූ අතර ආණ්ඩුවට එක්වන මන්ත්‍රීවරුන්ට ඇමැති ධුර දීමෙන් පසුව පමණක් ඇමැති ධුරයක් ගැනීම දක්වා ඔහුගේ ස්ථාවරය වෙනස් විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු කණ්ඩායමක් සඳුදාම දිවුරුම් දුන් අතර ඒ අතරට එක්සත් ජාතික පක්ෂයේ සිටි මන්ත්‍රීවරු දෙදෙනෙකු විය. එක් අයෙක් වූයේ වඩිවෙල් සුරේෂ්ය. වසන්ත සේනානායක අනෙක් මන්ත්‍රීවරයා විය. වඩිවෙල් සුරේෂ් මහින්ද හමුවී ඇමැති ධුරයක් ගැනීමට එකඟත්වය පළ කළත් පසුදා උදෑසන ඔහු යළිත් රනිල් හමුවීමට ගොස් තිබුණේය. මහින්ද පාර්ශ්වයෙන් ඔහුට දීමට එකඟ වී තිබූ පහසුකම් ඒ ආකාරයෙන් දීමට අ‍පොහොසත් වී තිබිම නිසාය. ඒ ආරංචිය ලැබි තිබුණේ බැසිල්ටය.

ප්‍රසන්න, ඉක්මනට වඩිවෙල් සුරේෂ් හමුවෙන්න. එයාට නැවත මෙහාට එක්කගෙන එන්න බැසිල් දුරකථන ඇමැතුමක් දී ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාට දැනුම් දුන්නේය. ඒ අනුව ප්‍රසන්න ගොස් වඩිවෙල් සුරේෂ් නැවත කැඳවාගෙන පැමිණියේය.

මේ අතර විදේශ ගතවී සිට ලංකාවට පැමිණි වසන්ත සේනානායක මන්ත්‍රීවරයා රනිල් පිළිබඳ කලකිරී ඇතැයි බැසිල්ට තොරතුරු ලැබි තිබුණේය. ඒ අනුව බැසිල් මේ ගැන කිහිපදෙනෙකුට දැනුම් දුන්නේය. ඒ අනුව තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායමක් වසන්තගේ නිවසට ගියහ. ඔහු ලංකාවට පැමිණ දවසක් ගතවනතුරුත් මහින්දගේ පාර්ශ්වයෙන් කිසිවෙක් කතා නොකිරීම ඔහුගේ කනස්සල්ලට හේතුවී තිබුණි. තිලංග ඇතුළු කණ්ඩායම එහි ගොස් ඔහුගේ ගැටලුවට විසඳුම් දීමට පියවර ගත්තේය.

මේ අතර දුමින්ද දිසානායක ඇමැතිවරයා ඇතුළු කණ්ඩායමක් ඇමැති ධුරවල දිවුරුම් දීම ගැන දෙගිඩියාවක සිටියහ. ඒ ගැන සාකච්ඡා කිරීමට එන්නැයි මෛත්‍රී කිහිප අවස්ථාවකදීම ඔවුන්ට දැනුම් දී තිබුණි. ඒ වනවිට මහින්ද අගමැතිවීමෙන් පසුව අමාත්‍යාංශවල සිදුවූ වෙනස්කම් ගැන මෛත්‍රීට එම කණ්ඩායම දැනුම් දී තිබුණේය

සර්, හරියට ජනාධිපති වෙනස් වෙලා වගේ තමයි දැන් හැමෝම හැසිරෙන්නේ. බලන්න අමාත්‍යාංශවල වෙන දේවල්. මේවාට විසඳුමක් දෙන්න ඕන ඔවුහු පෙන්වා දුන්හ.

ඉතිං මේ අය එක්කනේ මට වැඩ කරන්න වෙලා තියෙන්නේ මෛත්‍රී කීවේ තරමක කනගාටුවෙන් යුතුවය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් ඇමැති ධුරවල දිවුරුම් දුන්නේය. ඒ දුමින්ද ඇතුළු කණ්ඩායමක් දිවුරුම් නොදී සාකච්ඡා කරමින් සිටියදීය. අවසානයේදී දුමින්ද ඇතුළු කණ්ඩායම දිවුරුම් දුන්නේ බ්‍රහස්පතින්දා රාත්‍රියේදීය.

දුමින්ද ඇතුළු කණ්ඩායමට දිවුරුම් දීමට එන්නැයි ජනාධිපති ‍ලේකම් කාර්යාලයෙන් දැනුම් දී තිබුණේ එදින උදෑසනය. සවස හයට දිවුරුම් දීමට එන්නැයි මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබුණේය. ඒ අනුව සවස හය වන විට මන්ත්‍රීවරු කණ්ඩායම ජනාධිපති ‍ලේකම් කාර්යාලයට ගියහ. ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ ඉහළ මාලයේ කාමරයක දිවුරුම් දීමට සිටි මන්ත්‍රීවරු පිරිස සිටි අතර ඔවුහු පැය එකහමාරකට වඩා එහි රඳවාගෙන සිටියහ. ඒ ඇමැති ධුරවල දිවුරුම් දීම සම්බන්ධයෙන් ඇතිවී තිබූ ගැටලුකාරී තත්ත්වයක් නිසාය.

පසුව ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ පහළ මාලයට පැමිණි එම පිරිස මෛත්‍රී ඉදිරියේ දිවුරුම් දුන්හ. ඔවුහු දිවුරුම් දීමෙන් පසුව එතැනින් පිටත්වීමට සූදානම් වූහ.

ඔය අය යන්න එපා. තවත් රැස්වීමක් තියෙනවා මෛත්‍රී එම ඇමැතිවරු පිරිස එහි නවත්වා ගත්හ. ඔවුන් සමග සාකච්ඡා කිරීමට නවතා ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවත් කැඳවා ඇති අවස්ථාවකදීය. ඒ අනුව මහින්දත් සමග මධ්‍යම කාරක සභාව රැස්විය. මහින්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවකට පැමිණියේ වසර තුනහමාරකට පසුවය.

එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා තවත් අය එනවා. ඒ අයට තනතුරු දෙන්නත් වෙනවා. ඒ නිසා කැපකිරීම් කරන්න පුළුවන් අය මේ වෙලාවේ අවශ්‍යයි. කැපකිරීම් කරන්න පුළුවන් අය කැපකිරීම් කරලා ඇමැතිධුර ගන්නේ නැතිව ඉන්න මෛත්‍රී ඉල්ලීමක් කළේය

පාර්ලිමේන්තුව  කැඳවන දවස

පාර්ලිමේන්තුවේ ගැටලුකාරී තත්ත්වයක් ඇතිවී තිබෙන තත්ත්වය තුළ පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවන්නැයි එක්සත් ජාතික පක්ෂය ඉල්ලා සිටියේ කොල්ලුපිටියේ විරෝධතාවයක්ද කරමිනි. ඒ අතරම කරු ජයසූරියද මෛත්‍රීට නිතරම මේ ගැන සිහිපත් කළේය. ජාත්‍යන්තරයෙන්ද ඒ සඳහා බලපෑමක් එල්ලවෙමින් තිබුණි.

අපිට බහුතරය හදාගන්නකම් ඉන්නවා. නැතිනම් අපි පාර්ලිමේන්තුව නැවත වරක් කල් දානවා මෛත්‍රී මහින්ද පාර්ශ්වය සමග සමීපව කටයුතු කරන අයෙකු මේ තීරුවට පැවැසුවේය.

මේ අතර ලබන 5 වැනිදා පාර්ලිමේන්තුව කැඳවන බව මහින්ද මාධ්‍යයට දැනුම් දුන්නේය. ඔහු ඒ බව දැනුම් දුන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරු පිරිසක් සමග සාකච්ඡාවක් කරමින් සිටියදීය. එම සාකච්ඡාව සඳහා මාධ්‍යවේදීන්ද පැමිණ සිටි අතර එම සාකච්ඡාව සිදුවන අතරවාරයේදී මහින්දට දුරකථන ඇමැතුමක් ලැබුණේය. දුරකථනයේ එහා කෙළවරේ සිටියේ මෛත්‍රීය. මහින්ද දුරකථනය අතට ගෙන වෙනත් කාමරයකට ගියේ මෛත්‍රී සමග රහස් සාකච්ඡාවක් තිබූ නිසාය.

එම දුරකථන සාකච්ඡාව අවසන් වීමෙන් පසුව මහින්ද නැවත විශ්වවිද්‍යාල ආචාර්යවරු සිටි තැනට පැමිණියේය.

ලබන 5 වැනිදා පාර්ලිමේන්තුව කැඳවනවා. ඒ සඳහා ජනාධිපතිවරයා කථානායකවරයාට අවශ්‍ය උපදෙස් ලබාදෙනවා මහින්ද පැවැසුවේය. ඒ අනුව එම පුවත එසැණින් පුවත් ලෙස මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. මේ වාර්තාව ගැන මෛත්‍රීගේ අවධානය යොමුවී තිබුණේය. ඔහු මේ ගැන සොයා බැලීමෙන් පසුව නැවත වරක් මහින්දට දුරකතන ඇමතුමක් ගත්තේය. ඒ වන විටත් මහින්ද සිටියේ කලින් සාකච්ඡාව අවසන් නොකරමය.

මම කිව්වේ 5 වැනිදා බොහෝ විට පාර්ලිමේන්තුව කැඳවනවා කියලනේ. එහෙම නැතිව මම 5වැනිදාට අනිවාර්යෙන් පාර්ලිමේන්තුව කැඳවනවා කියලා කිව්වේ නෑනේ මෛත්‍රී කීවේ එම වැරදි පුවත නිවැරදි කළ යුතු බව කියමිනි.

ඒ අනුව මහින්ද තමන්ට සිදුවූ අත්වැරදීම ප්‍රකාශයට පත් කළේය.

පස් වැනිදා පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන් කියලා තමයි ජනාධිපතිතුමා  කියලා තියෙන්නේ මහින්ද නැවත වරද නිවැරදි කළේය.

ඩොලර් මිලියන  ගණනින් ඉල්ලූ අය

පසුගිය සිකුරාදා උදෑසන පාර්ලිමේන්තුවට එක්සත් ජාතික පක්ෂයේ, දෙමළ ජාතික සන්ධානයේ හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු පැමිණ සිටියහ. ඒ පාර්ලිමේන්තුව නැවත කැඳවා ගැනීම පිළිබඳ සාකච්ඡාවටය.

ඔබලාගේ ඉල්ලීමකට අනුව අද මම ඔබලා හමුවෙනවා. පාර්ලිමේන්තුව කල් දැමීමේදී කථානායකවරයා දැන්වත් නොකිරීමේ ගැටලුව මම ජනාධිපතිවරයාට පෙන්වා දුන්නා. මම මේ ගැන වාචිකව හා ලිඛිතව මේ ගැන සිහිපත් කළා. මේ ගැටලුව පාර්ලිමේන්තුවේ දී විසඳා නොගැනීමේ ගැටලුව ගැන මම පෙන්වා දුන්නා කරු කීවේය.

ජනාධිපතිවරයා කථානායකවරයා සමග සාකච්ඡා කරලා තමයි පාර්ලිමේන්තුව කැඳවන්න ඕන. මෙහිදී ජනාධිපතිවරයා පැහැදිළිවම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තියෙන්නේ. මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා යම් කිසි තැනකදී මේ ගැන ප්‍රකාශයක් කරලා තිබුණත් ඒවා පිළිගන්න බෑ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කැඳවන්නේ නැතිනම් ඔබතුමාගේ බලතල අනුව පාර්ලිමේන්තුව කැඳවන්න ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.

මේ අතර ආණ්ඩුවට එක්වීම සඳහා මුදල් දීමට කටයුතු කළ අවස්ථා ගැනද කතා ඇදී ආවේය.

මම ආණ්ඩුවට එනවා නම් සල්ලි දෙන්නම් කියලා මේ අය කිව්වා. මම ඩොලර්වලින් සල්ලි ඕන කියලා කිව්වා. ඒ පාර ඩොලර්වලින් දෙන්නම් කිව්වා. ඩොලර් මිලියන 2.8ක් මට දෙන්නම් කියලා කිව්වා පාලිත රංගේ බණ්ඩාර කීවේය.

තිලකජය 
කාටූන් - අංජන ඉන්ද්‍රජිත්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.