lakbima.lk

ජනපති ‍පොලිස්පති පට්ට ගහයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සතියේදී ලංකාවට පැමිණියේය. මෛත්‍රී ලංකාවේ නොසිටීම නිසා පසුගිය සතියේ දී කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වුණේද නැත. ඒ නිසා මේ සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී සුපුරුදු පරිදි අඟහරුවාදා උදෑසන පැවැත්විණි.

මේ සතියේ කැබිනට් මණ්ඩලයේදී එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන ගැන වැඩි අවධානයක් යොමුවිය. එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ඇතිවී තිබෙන දුෂ්කරතාවන් ගැනද අවධානයක් යොමුවිය.

“මේ වැඩසටහනට බැංකු නිලධාරීන්ගෙන් සහයක් ලැබෙන්නේ නෑ. සමහර බැංකුවලට ගියාම ණය ගන්න අය ආපහු හරවලා එවනවා. ගනුදෙනුකරුවෝ නොමග යවනවා. මේ ක්‍රමය යටතේ ණය ගන්න අය සාමාන්‍ය ක්‍රමයට ඇතුළත් වෙන බව බැංකු නිලධාරීන් කියනවා. ඒ නිසා ජනතාව අසීරුතාවයට පත්වෙනවා. ගනුදෙනුකරුවන් බිය වෙනවා. මේ ගැන සොයා බලන්න.” විජිත් විජිතමුණි කීවේ උදාහරණද දක්වමිනි.

“සමහර බැංකු කළමනාකරුවන්ට ඕන මේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්නයි. ඒ නිසා මිනිස්සු කලකිරීමට පත්වෙලා” සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාත් විජිත් විජිතමුණිගේ කතාවට සහය දැක්වූවේය.

“මේ වැඩපිළිවෙළ අපි අධීක්ෂණය කරනවා. බැංකු නිලධාරීන් ගැන පැමිණිලි ලැබිලා තියෙනවා. ඒ අයට කිසිම සමාවක් දෙන්නේ නෑ. ඒ අයට විරුද්ධව අපි දැඩි ක්‍රියාමාර්ග ගන්නවා” මංගල කීවේය.

 ‍පොලිස්පතිට බාල්දි

‍පොලිස් නිලධාරීන්ට උසස් අධ්‍යාපන පහසුකම් දීම සඳහා ජාතික මට්ටමේ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීම පිළිබඳ සාකච්ඡා කළේ ඉන් පසුවය. ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත්ව තිබූ අතර ඒ සමගින් ‍පොලීසියේ කටයුතු ගැන කතාවක් ඇදී ආවේය.

“‍පොලීසිය ගැන මට කනගාටුයි. ‍පොලිස්පතිවරයා විහිළුකාරයෙක් වෙලා. මීට කලින් හිටපු කිසිම ‍පොලිස්පතිවරයෙක් මේ විදියට හැසිරිලා නෑ. ‍පොලීසියක් තියෙනවාද කියලත් දන්නේ නෑ. ‍පොලිස්පතිවරයා කරන පිස්සු වැඩ නිසා බැණුම් අහන්නේ මමයි අගමැතිතුමයි.  මේවාට කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා. ‍පොලිස්පතිවරයාගේ හැසිරීම හරිම ලැජ්ජා සහගතයි. රට තුළ අපරාධ වැඩිවෙලා කියලා මාධ්‍ය වාර්තා කරනවා. මේවාට දැඩි ක්‍රියාමර්ග ගන්න ඕන”මෛත්‍රී ‍පොලිස්පතිවරයා දැඩි ලෙස විවේචනය කළේය.

“ඒ වුණාට සර් අපරාධ ක්‍රමයෙන් අඩුවෙලා තියෙනවා. මාධ්‍යයේ ඒවා වැඩියෙන් වාර්තා වෙන නිසා තමයි අපරාධ වැඩිවෙලා කියලා පේන්නේ”රංජිත් මද්දුමබණ්ඩර ඇමැතිවරයා අපරාධ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළේය.

ඉන් පසුව ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගුවන් යානා ඉන්ධන ලබාගැනීම පිළිබඳ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා ඉදිරිපත් කර තිබුණේය.

“ශ්‍රී ලංකන් එක එමිරේට්ස් එක එක්ක ඒකාබද්ධව කටයුතු කරපු කාලයේදී ලාභ ලැබුවා. පසුගිය ආණ්ඩුව ගනිපු තීරණයක් නිසා පාඩු ලැබිම ආරම්භ වුණා. මේ වන විට ශ්‍රී ලංකන් එක විශාල වශයෙන් පාඩු ලබනවා. ශ්‍රී ලංකන් එක යථා තත්ත්වයට පත් කිරීමට යෝජනා රැසක් ඉදිරිපත් වුණා. කටාර් ගුවන් සේවයත් ඒ සඳහා ඉදිරිපත් වුණේ මගේ ඉල්ලීම නිසයි. ඒත් ඒවා වැඩක් වුණේ නෑ” මෛත්‍රී පැවැසුවේය.

“තවත් ගුවන් සමාගමක් මේ සඳහා යෝජනා ඉදිරිපත් කළා. එත් පස්සේ ඒවා අතහැරලා දැම්මා” කබිර් හෂීම් ඇමැතිවරයා කීය.

“කටාර් ගුවන් සේවය ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබාගැනීමට යෝජනා වාර්තාවක් ඉදිරිපත් කළා. ඒක  ගැන සොයා බැලීමට මෙරටට පැමිණි කටාර් ගුවන් සේවයේ නිලධාරීන්ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරීන් වාර්තාමය වැඩසටහනක් ඉදිරිපත් කළා. මේ වාර්තාමය වැඩසටහනේ තිබුණේ නරක පැත්ත විතරයි. හොඳ පැත්ත පෙන්වා දුන්නේ නෑ. ඒ නිසා කටාර් ගුවන් සේවයේ අයට තිබුණ උනන්දුව නැතිවී ගියා” රාජිත තිරය පිටුපස කතාව හෙළි කළේය.

“බොල් ණයක් විදියට සලකලා කටයුතු කිරීම නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ආයෝජකයෙක් සොයාගැනීමට හැකියි. මම ඉදිරියේදී ඒ ගැන සාකච්ඡාවක් කැඳවනවා. එතැනදී අපි ශ්‍රී ලංකන් එක ගැන අවසාන තීන්දුවක් ගනිමු” මෛත්‍රී කීවේය.

මේ අතර දුම්කොළ සමාගම නව සිගරට් පැකට්ටුවක් හඳුන්වාදීමට ගෙන ඇති තීරණය ගැන රාජිත අදහස් දැක්වීමට පටන්ගෙන තිබුණි. ඒ ගැන කතාව ඇදී ආවේ තනි සිගරට් විකිණීම තහනම් කරමින් කැබිනට් පත්‍රිකාවක් රාජිත ඉදිරිපත් කිරීම නිසාය.

“තනි සිගරට් එක විකිණීම තහනම් කිරීමට දුම්කොළ සමාගම් විරෝධය දක්වනවා. ඒ නිසා ඔවුන් නව සිගරට් පැකට්ටුවක් හඳුන්වා දෙන්න පුළුවන්. මුදල් අමාත්‍යාංශයේ බදු ආදායමත් වැඩිවෙලා තියෙනවා. ඒත් බදු ආදායම මදි කියලා මුදල් අමාත්‍යාංශය කියනවා. දුම්කොළ සමාගම මොනවා කළත් මම තනි සිගරට් එක විකුණන එක නවත්වනවා”රාජිත කීවේ ස්ථිර හඩිනි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර එකඟතාවයක් ඇති කරගැනීම සඳහා මැදිහත්වී කටයුතු කරන එස්.බි. දිසානායක හිටපු ඇමැතිවරයා පසුගිය සතියේදී අවස්ථා කිහිපයකදී මහින්ද හමුවීමට ගියේය. ඒ අතරම මෛත්‍රීත් හමුවූ එස්.බි. දෙදෙනා අතර එකඟතාවයක් ඇති කිරීමට අවශ්‍ය පණිවුඩ හුවමාරු කළේය. එහෙත් මේ වන විටත් මෛත්‍රීගේ පාර්ශ්වයෙන් අවසන් එකඟතාවයක් ගැන පැහැදිලි කරුණු ඉදිරිපත් කර තිබුණේ නැත.

ඒ අතරම මෛත්‍රී බ්‍රහස්පතින්දා දහවල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම කැඳවා තිබුණේය. ඒ ඉදිරි දේශපාලන කටයුතු ගැන සාකච්ඡා කිරීමටය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසන්ධාන කටයුතු, මැතිවරණයට මුහුණදීම හා අනෙකුත් දේශපාලන කටයුතු ගැන එහිදී සාකච්ඡා කර තිබූ නමුත් අවසන් තීරණ කිසිවක් ගෙන නොතිබුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක මණ්ඩල රැස්වීමක් එදින රාත්‍රියේදී පැවැත්වීමට නියමිතව තිබූ නිසාය.

මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් පැවැති සන්ධානයේ විධායක සභාවට එකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයෝද සහභාගීවී සිටියහ. සන්ධානයේ මියගිය පක්ෂ නායකයන් සිහි කරමින් රැස්වූ විධායක සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ‍ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසද සහභාගී වී සිටියේය. ඔහු එහි පැමිණ තිබුණේ පළමු වතාවටය. මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් සන්ධානයේ විධායක සභාවට සහභාගී වූ සෝමවීර චන්ද්‍රසිරි වෙනුවට සිසිර ජයකොඩි පත් කළේද මෙම හමුවේදීය.

එහිදී වැඩි අවධානයක් යොමුවූයේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම කෙරෙහිය.

“පළාත් සභා මැතිවරණය ගැන විවිධ කතා යනවා. සන්ධානයේ අයගේ මතය කියන්න” මෛත්‍රී ‍පොදුවේ සියල්ලන්ටම අදහස් දැක්වීමට අවස්ථාවක් ලබාදුන්නේය.

“පළාත් සභා මැතිවරණය කල් දානවා කියලා පාර්ලිමේන්තුවේදීත් කතා වෙනවා. විසි වැනි සංශෝධනය නිසා තමයි මැතිවරණය කල් යන්නේ. පළාත් සභා මැතිවරණය තියනවාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධයි කියලා එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ කියනවා. පසුගිය මැතිවරණයේදී මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට හැම පක්ෂයක්ම කැමැති වුණා. ඒ නිසා තමයි මැතිවරණ ක්‍රමය වෙනස් කරන්නේ. පරණ ක්‍රමයට අයිමත් මැතිවරණය තියනවා නම් ලොකු වෙනසක් කරන්න වෙනවා. ඒත් දැන් තියෙන ක්‍රමයටම ඡන්දය තියනවා නම් ‍පොඩි ‍පොඩි වෙනස්කම් කීපයක් කරලා ඡන්දය තියන්න පුළුවන්” ෆයිසර් මුස්තාෆා ඇමැතිවරයා කරුණු පැහැදිලි කළේය.

“අලුත් මැතිවරණ ක්‍රමය හොඳයි. ඒත් ඡන්දය තියන්න පරක්කු වෙන එක තමයි අපිට තියෙන ප්‍රශ්නය” දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාත් කරුණු ඉදිරිපත් කළේය.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය ශක්තිමත් කිරීම ගැන අවධානය යොමු කරමින් ඒ පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට සාකච්ඡා කළේය. ඒ අනුව ඒ සඳහා විශේෂ කමිටුවක් පත් කළේ ඒකාබද්ධ විපක්ෂයේ සිටින සන්ධානයේ විධායක කමිටු සාමාජිකයන්ගේ සහභාගීත්වය ඇති පරිදිය.

 ඉඩම් ගැන මෛත්‍රීගේ  අවධානය

උතුරු පළාතේ සංවර්ධන කටයුතු ගැන විශේෂ සාකච්ඡාවක් මෛත්‍රී මේ සතියේ කැඳවා තිබුණේය. එයට විපක්ෂ නායක ආර්. සම්බන්ධන්ද මෛත්‍රී කැඳවාගෙන විත් තිබුණි.

“අපේ ඉඩම් ප්‍රශ්න තවම විසඳිලා  නෑ. තවම නිදහස් නොකළ ඉඩම් තියෙනවා” සම්බන්ධන් සාකච්ඡාව ආරම්භයේදීම කීවේය.

“ඉක්මනට මේ ඉඩම් නිදහස් කරන්න. සමහර ඉඩම් තියෙනවා ඒවායේ අයිතිකරුවන් ඉදිරිපත් වෙන්නේ නෑ. ඒවගේ ඉඩම්වල හිමිකරුවන්ට ඉක්මනින් ඉදිරිපත් වෙන්න එන්න කියලා අපි ආරාධනා කරනවා” මෛත්‍රී කීවේය.

මේ අතර මඩු දේවස්ථානය සම්බන්ධයෙන්ද අදහස් ඉදිරිපත් විය.

“මඩු දේවස්ථානය සම්බන්ධයෙන් තිබූ ගැසට් නිවේදනයේ අඩුපාඩු තිබුණා. ඒක නිවැරදි කරන්න කියලා ඉල්ලීම් ඉදිරිපත් වුණාට ඒවා සිදුවුණේ නෑ. ඒත් ජනාධිපිතතුමා ඒකට මැදිහත්වුණා” එතැනට පැමිණි නියෝජිතයෝ මෛත්‍රීට සිය ස්තුතිය පුද කළහ.

 මෛත්‍රීට හමුවූ ඥාතියා

ජනපතිවරයා ලෝක ළමා දිනය යෙදුන පසුගිය සඳුදා බලපිටිය රේවත විද්‍යාලයට පැමිණියේ අලුතින් ඉදිකර තිබූ නව විද්‍යාගාර ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට හා ත්‍යාග ප්‍රදානෝත්සවයට  සහභාගීවීමටය. මෛත්‍රී පැමිණි හෙලිකොප්ටරය බලපිටිය බණ්ඩාරවත්ත ක්‍රීඩාංගණයට ගොඩ බැස්වූ අතර දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා ඇතුළු පිරිස ගොස් මෛත්‍රී පිළිගත්හ.

මෛත්‍රී කෙළින්ම ගියේ උත්සවය පැවැත්වෙන ශාලාවටය. ඔහු එහි සිටියදී දකුණු පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රීවරයෙක් අධ්‍යාපන අමාත්‍යාංශය විවේචනය කරමින් කතා කළේය. ඉන් පසුව කතා කළ දේශපාලනඥයන් විද්‍යාලයේ ඇති අඩුපාඩු පෙන්වමින් පිහිණුම් තටාකයක් දෙන්නැයි ඉල්ලුවේය. එම ඉල්ලීමටත් මෛත්‍රීගෙන් ලැබුණේ යහපත් ප්‍රතිචාරයකි.

වේදිකාවේ අසුන්ගෙන සිටින අතරතුරදී මෛත්‍රී ශාන්ගෙන් ගාල්ලේ දේශපාලනය ගැන විමසා සිටියේය.

“ශාන් කොහොමද දැන් දේශපාලන වැඩ කටයුතු”මෛත්‍රී ඇසුවේය.

“වරදක් නෑ සර්. අපි හොඳින් වැඩ ටික කරගෙන යනවා. සර් පත්වීම් දීපු අලුත් සංවිධායකවරු සම්බන්ධකරගෙන ලොකු වැඩක් කරන්න තමයි හිතාගෙන ඉන්නේ”ශාන් කීවේය.

“කවදද ශාන් පළාත් සභාව ඉවර වෙන්නේ”මෛත්‍රී පළාත් සභාව ගැන විමසුවේය.

“ලබන සිංහල අවුරුද්ද කාලෙම තමයි අපිට විසුරවන්න වෙන්නේ”ශාන් උත්තර දුන්නේය.

“ඒක හොඳයි. ඔයා පළාත් සභාව හොඳට හැඩල් කරනවානේ”මෛත්‍රී ශාන්ට ලකුණක්ද එක් කළේය.

උත්සවයෙන් පසුව තේ පැන් සංග්‍රහයක්ද සූදනම් කර තිබුණි. එතැනට එකවරම පැමිණියේ බලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාය. ඔහු පැමිණියේ මෛත්‍රීට ඇති ඥාති සම්බන්ධයක්ද කියමිනි.

“සර් මම සර්ගේ ඥාතියානේ”සභාපතිවරයා කියන විට මෛත්‍රී තරමක් පුදුමයෙන් බලා සිටි අතර පසුව ඔහු තමන්ට ඇති ඥාති සම්බන්ධය පැහැදිලි

කළේය. ඉන් පසුව ඔහු තමන්ගේ ඉල්ලීම ඉදිරිපත් කළේය.

“හරි.. හරි.. මම ඕක කරලා දෙන්නම්”මෛත්‍රී සභාපතිවරයාගේ ඉල්ලීම ඉටු කරන බව පැවැසුවේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග සේවය කළ අමාත්‍යාංශ ‍ලේකම්වරුන්, මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව පිහිටුවාගෙන තිබෙන යහපාලන වින්දිතයෝ සංවිධානයේ කණ්ඩායමක් මහින්ද හමුවීමට ගිය සතියේ වේලාවක් ඉල්ලූහ. තමන් සමග උදෑසන ආහාරය ගැනීමට එන්නැයි මහින්ද ඔවුන්ට දැනුම් දී තිබුණි. අඟහරුවාදා උදෑසන එම කණ්ඩායම මහින්දගේ විජේරාම මාවතේ නිවසට ගියේ තමන්ට ඇති ගැටලු ගැන සාකච්ඡා කිරීමටය.

“මොකක්ද සර් මේ ඒකාබද්ධයයි, ශ්‍රී ලංකා එකයි එකතු වෙන්න යනවා කියලා කතාවක් යන්නේ” මහින්දගේ ආණ්ඩුවේ සිටි මාධ්‍ය ආයතන ප්‍රධානියෙක් ඇසුවේය.

“මට එස්.බි. ඇවිත් කතා කළා. මම එස්.බි.ට කිව්වේ මොනවා කිව්වත් දැන් ඉන්න කෙනා අපිට විශ්වාස නෑ. එයා උදේට කියන දේ නමෛයි දවල්ට කියන්නේ. දවල්ට කියන එක නමෛයි හවසට කරන්නේ. ඒ නිසා ඔයාලා කට්ටිය එක්ක කතා කරලා ආණ්ඩුව හදන්න ඕන දේවල් කරලා මාව හමුවෙන්න. එතකොට මම ඒකාබද්ධ විපක්ෂය පැත්තෙන් කරන්න පුළුවන් දේවල් කරන්නම්” කියලා මහින්ද පැහැදිලිි කළේය.

“ඒක නම් හොඳයි සර්. මොකද අපි කාටත් පහුගිය මහ මැතිවරණයේදී කරපු දේවල් මතකයි. රෑ වැටුණ වළේ දවල් වැටෙන්න ඕන නෑනේ” මාධ්‍ය ආයතන හිටපු ප්‍රධානියා කීවේය.

මහින්ද මේ කතාව කියා දින දෙකකට පසුවත් එස්.බි. මහින්දගේ නිවසට ගොස් තිබුණේය. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය එක් කිරීම ගැන සාකච්ඡා කිරීමටය.

මේ අතර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පසුගිය සතියේදී ජාත්‍යන්තර ‍පොත් ප්‍රදර්ශනයට ගිය අවස්ථාවේදී මහාචාර්ය සරත් විජේසූරිය හමුවීම පිළිබඳ කතාවක් හෙළි කළේය.

“දන්නවාද නාමල් ‍පොත් ප්‍රදර්ශනයට ගියපු වෙලාවේ වුණ වැඩක්. මිනිහට සරත් විජේසූරිය හමුවෙලා තිබුණා. ඔයාලා හොඳ වැඩක් ඒ කා‍ලේ කරලා තිබුණා කියලා සරත් විජේසූරිය කියලා තිබුණා. නාමල් මොකක්ද ඒ කියලා ඇහුවාම සරත් විජේසූරිය කියලා තිබුණේ මෛත්‍රී දිගටම ඇමැතිකමේ තියාගනිපු එක නම් හොඳ වැඩක් කියලයි. අගමැතිකම නොදී ඇමැතිකම තියාගනිපු එක හොඳයි කියලා තමයි කියලා තිබුණේ” මහින්ද කීවේය.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේද එදින සවසය. එහිදී විශේෂ අවධානයක් යොමුවූයේ රටට බලපා ඇති ආර්ථික අර්බුදය කෙරෙහිය. ඒ ගැන පක්ෂ නායකයන්ට කරුණු පැහැදිලිි කළේ බන්දුල ගුණවර්ධනය.

“අද වෙනකොට පේන්න තියෙන්නේ ආණ්ඩුවට කිසිම දැක්මක් නැතිකම නිසා මේ තත්ත්වය උද්ගත වෙලා තියෙනවා. ලෝක ආර්ථික අර්බුදය කල් තියා දැකලා ඒවාට මුහුණදෙන්න සූදානම් වෙන එක තමයි ආණ්ඩුවේ මූලිකම කාර්යභාරය වෙන්න ඕන. එහෙම කළා නම් අද මේ වගේ අමාරුවක වැටෙන්නේ නෑ” බන්දුල කීවේය.

“කොහෙද ඉතිං දැන් ඉන්න මුදල් ඇමැතිලා ඉගෙන ගෙන තියෙන්නේ වෙන වෙන දේවල්නේ. එයාලාට ආර්ථික අර්බුදයට මුහුණ දෙනවාට වඩා වැඩ තියෙනවානේ” කෙහෙළිය පැවැසුවේය.

“රටම ආර්ථික අර්බුදයකට වැටිලා තියෙන වෙලාවේ මංගල ඒවා ගැන කතා කරන්නේ නැතිව කාදිනල්තුමා මානව හිමිකම් ගැන කිව්ව එකක් අල්ලාගෙන නටනවා. මේ වගේ මුදල් ඇමැතිවරු ලෝකයේ කොහේවත් නැතිව ඇති” ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු මංගල පතුරු ගැසූහ.

මේ අතර පළාත් සභා මැතිවරණය ගැනත් ඒකාබද්ධ විපක්ෂයේ අවධානය යොමුවිය. ඒ අනුව උතුරු මැද පළාතේ පැවැති ආකාරයට පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ ජනහමු මාලාවක් මධ්‍යම පළාතේ පැවැත්වීමටද සාකච්ඡා කෙරිණි.

 බැසිල්ගේ ක්‍රමය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීයවේදීන්ගේ ජාතික පෙරමුණ බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා හමුවීමට නෙළුම් මාවතේ කාර්යාලයට පැමිණියහ. ඒ වනවිට ‍පොදුජන පෙරමුණේ සාමාජිකයන් කිහිපදෙනෙක්ද බැසිල් සමග සිටියහ.

“අපි ආවේ සිංගප්පූරු ගිවිසුම ගැන ‍පොදුජන පෙරමුණ එක්ක කතා කරන්න” වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයෝ පැවැසූහ.

“ආ.. ඒක හොඳයි. මීළඟට ආණ්ඩුව භාරගන්න ඉන්න පක්ෂය එක්ක තමයි මේ වගේ දේවල් සාකච්ඡා කරන්න ඕන” බැසිල් කීවේ සිනාවක් මුවට නංවාගනිමිනි.

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිංගප්පූරු ගිවිසුම ගැන කරුණු ඉදිරිපත් කරන විට බැසිල් නැගිට ගොස් ‍පොත් රාක්කය අසලට ගියේය. එහි තිබූ විශාල ‍පොතක් බැසිල් තමන්ගේ අතට ගත්තේය. බැසිල් පෙරළන්න හදන ‍පොත මොකක්දැයි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් බැලුවේ කරමින් සිටි කතාවද මඳකට නතර කරමිනි. බැසිල් අතට ගෙන තිබුණේ සිංගප්පූරු ගිවිසුමට අදාළව සකස් කර තිබූ ‍පොතකි.

“අපි ඔබතුමන්ලාගේ මැදිහත්වීම අගය කරනවා. සිංගප්පූරු ගිවිසුම ගැන ඔබතුමන්ලාගෙයි, අපේ පක්ෂයේ නියෝජිතයෝයි ඉන්න ඒකාබද්ධ තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කරලා අපි ඉදිරි වැඩ සැලසුම් කරමු” බැසිල්ගේ යෝජනාවට වෘත්තීයවේදීන්ගේ ජාතික පෙරමුණ එකඟ විය.

“සර්, දැන් අපේ බස් රථ කර්මාන්තය දැනට තියෙන්නේ ස්වයං රැකියාවක් විදියට. මේ ගිවිසුමෙන් ඒක බහුජාතික සමාගම් සතු ව්‍යාපාරයක් බවට පත්වෙනවා” තමන් ගැන වැඩි අවධානයක් යොමු නොවීම නිසා බස් සංගම් නියෝජිතයෙක් අදහස් දැක්වූවේය.

“අපේ කාලයෙත් ඔය යෝජනාව ආවා” බැසිල් පසුගිය ආණ්ඩු කාලයේදී ඉදිරිපත් වූ යෝජනා ගැන සිහිපත් කළේය.

“ඔව් ඔබතුමාලා ඒක කළේ නෑනේ” බස් සංගම් නියෝජිතයා පැවැසුවේය.

“අපි මේවාට මුහුණදෙන හැටි ගැන අවධානය යොමු කරලායි ඉන්නේ. ජපානෙට ඇපලුයි හාලුයි පිටින් එන්න පටන් ගත්ත වෙලාවේ ප්‍රශ්නයක් නෑ. ඕන තරම් එවන්න කියලා ජපානය කියලා තිබුණා. හැබැයි ජපානය ඒ වෙනකොට දේශීය නිෂ්පාදන පමණක් මිලදී ගන්න කියලා තමන්ගේ පුරවැසියන් හොඳින් ‍පොලඹවලා තිබුණා. අන්න ඒ වගේ අපි උපක්‍රමශීලීව මේවාට මුහුණදෙන්න ඕන” බැසිල් සැහැල්ලුවෙන් කීවේය.

 රනිල් නෝර්වේට

අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේදී නෝර්වේ බලා පිටත්ව ගියේය. නෝර්වේ රාජ්‍ය සංචාරයක් අවසන් කර නැවත එන අතරවාරයේදී එංගලන්තයේද රාජ්‍ය සංචාරයක නිතරවීමට අදහස් කරමිනි. රනිල් නෝර්වේ සංචාරය ආරම්භ කළේ ඔස්ලෝ නුවර එක්ස් එක්ස් එල් ගබඩා සංකීර්ණයේ රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන ගබඩා සංකීර්ණයක කටයුතු නිරීක්ෂණය කරමිනි. රනිල් සමග මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, විජිත් විජිතමුනි සොයිසා, කාවින්ද ජයවර්ධන, හේෂා විතානගේ ඇතුළු නියෝජිතයෝ පැමිණ සිටියහ. එදින සවස  ශ්‍රී ලංකාව සහ නෝර්වේ අතර ව්‍යාපාර කටයුතුවල නිරත වී සිටින ව්‍යාපාරිකයන් හමුවිය. ශ්‍රී ලංකාවේ සහ නෝර්වේ ව්‍යාපාරිකයන් එක්ව සංවිධානය කළ මෙම හමුවේදී රනිල් දෙරට අතර ව්‍යාපාරික සම්බන්ධතා ශක්තිමත් කිරීමට ගත හැකි පියවර ගැන අවධානය යොමු කළේය.

නෝර්වේ ජාත්‍යන්තර සංවර්ධන අමාත්‍ය නිකොලායි අස්ට්‍රප් සහ රනිල් අතර හමුවක්ද පැවැත්විණි. මෙම හමුවේදී නව ආර්ථික වැඩපිළිවෙළක් ඔස්සේ ශ්‍රී ලංකාවට උදාවන නව අවස්ථාවන් පිළිබඳ අවධානය යොමු විය. ඒ අනුව නෝර්වේ රාජ්‍ය්‍යයේ අත්දැකීම්, දැනුම හා සහය ලබාදීම ගැන අවධානය යොමු කළේය.

“ලංකාවේ ආර්ථික වර්ධනයට නෝර්වේ රාජ්‍යයෙන් ලබාදිය හැකි සියලුම සහය ලබාදීමට අපි කටයුතු කරනවා” නෝර්වේ ජාත්‍යන්තර සංවර්ධන ඇමැතිවරයා සහතිකයක් දුන්නේය.

රනිල් මේ සංචාරය ආරම්භ කරනවිට තවත් මන්ත්‍රීවරු පිරිසක් නෝර්වේ බලා පිටත්ව ගොස් තිබුණි. ඒ සාරතී දුෂ්මන්ත ඇතුළු මන්ත්‍රීවරු පිරිසකි. ඔවුන්  නෝර්වේ බලා පිටත්ව ගොස් තිබුණේ පාර්ලිමේන්තුවේ අධ්‍යනය චාරිකාවකට සහභාගී වීමටය. ඔවුන් නෝර්වේහි සිටින අතරවාරයේදී රනිල් එහි පැමිණීම නිසා ඔවුන් රනිල් සමග රාජ්‍ය සංචාරයටද එක්විය.

මේ අතර රනිල් ඇතුළු නියෝජිත පිරිසට රාත්‍රී භෝජන සංග්‍රහ කිහිපයක්ම සූදානම් කර තිබුණි. ඒ නෝර්වේ රාජ්‍යයයේ රාජ්‍ය තාන්ත්‍රිකයන් විසින්ය. නෝර්වේ සංචාරය අවසන් කළ රනිල් පැමිණියේ බ්‍රිතාන්‍යයටය.

නීතිපති ගැන දේශපාලන කතා

රනිල් නෝර්වේ බලා පිටත්ව යාමට අවස්ථා දෙකකදී වියට්නාමයට ගොස් තිබුණේය. පළමු වරට ඔහු වියට්නාමයට ගොස් තිබුණේ සමුළුවකට සහභාගිවීමටය. දෙවැනි වරට ඔහු වියට්නාමයට ගියේ වියට්නාම රජයේ ආරාධනාවකට අනුවය. එහිදී සංචාරක කර්මාන්තයට අදාල ගිවිසුමකටද අත්සන් කර තිබුණි. ඒ වියට්නාමයේ සිටින සංචාරකයින් ලංකාවට ගෙන්වා ගැනීමටය. ඔවුන්ට ලංකාවට පැමිණීමට බාධාවක් වී තිබුණේ සෘජු ගුවන් සේවාවක් නොමැතිවීමය. ඒ අනුව සෘජු ගුවන් සේවාවක් ආරම්භ කිරීමට අදාල කටයුතු කරන බවට රනිල් සහතිකයක් ද දී තිබුණේය.

පසුගිය බදාදා නැවත ඔහු නෝර්වේ බලා පිටත්ව ගියේ මේ ආකාරයේ වෙළද ගනුදෙනු පිළිබද අවධානය යොමු කරමින්ය. ආර්ථිකය ගැන අවධානය යොමු කරන අතරවාරයේදී නීති ක්ෂේත්‍රය ගැනද රනිල් අවධානය යොමු කර තිබුණේය. නෝර්වේ යාමට පෙර ඔහු නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් මෙන්ම ඉදිරියේදී පත්වීමට නියමිත නීති ක්ෂේත්‍රයේ ඉහළ නිලධාරීන් ගැනත් අවධානය යොමුවි තිබුණේය.

මේ අතර මෛත්‍රීගේ පාර්ශවයෙන්ද නීති ක්ෂේත්‍රයේ ඉහළ නිලධාරීන්ගේ පත්වීම් පිළිබද අවධානය යොමුවී තිබුණේය.

“ඉදිරියේදී අගවිනිසුරවයාගේ කාර්යභාරයට වඩා නීතිපතිවරයාගේ කාර්යභාරය ගැන තමයි අවධානය යොමුවෙන්න ඕන. දූෂණ වංචා සම්බන්ධයෙන් තද පියවර ගන්න ඕන නම් හොද නීතිපතිවරයෙක් පත් කරගන්න ඕන”මෛත්‍රීගේ උපදේශකයින් මෛත්‍රීට පවසා තිබුණේය.

නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්ගේ නමක් මෛත්‍රීගේ උපදේශකයින් එහිදී යෝජනා කර තිබුනේය.

“ඒත්  එයා බැඳුම්කර නඩුවේදී කටයුතු කරපු ආකාරයට එක්සත් ජාතික පක්ෂයේ අය කැමැති නෑ. ඒ නිසා මේ නම ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්” මෛත්‍රීගේ උපදේශකයින් කතා  කර තිබුණේය.

පොලිස්පතිට දෙන ගෙඩිය

මහින්ද අමරවීර ඇමැතිවරයා පසුගිය සතියේදී කෑගල්ල ප්‍රදේශයේ සංවර්ධන වැඩ කටයුතු කිහිපයකට සහභාගී වූයේ රංජිත් සියඹලාපිටිය ඇමැතිවරයා සමගය. දිවා ආහාරය ගැනීමට ඇමැතිවරු දෙදෙනාම පැමිණියේ සියඹලාපිටියගේ කරවනැල්‍ලේ නිවසටය.

“මම ගෙවතු වගා දියුණු කරන්න වැඩපිළිවෙළක් හදනවා. ගෙවතු වගාවට වැඩියෙන් යොමු කිරීමට සම්මාන දෙන්න තමයි මම හිතාගෙන ඉන්නේ”මහින්ද අමරවීර කීවේය.

“ඒක හොඳ අදහසක්. ඒක කරන්න කලින් මාත් එක්ක ‍පොඩි ගමනක් යන්න එන්න”අමරවීරට ආරාධනා කළේය.

“කොහේද යන්න තියෙන්නේ” අමරවීර අසන විට සියඹලාපිටිය ඔහු කැඳවාගෙන ගියේ තමන්ගේ ගෙවත්තටය.

“මෙච්චර ලොකු වත්තක්” යැයි අමරවීර පුදුමයට පත්වූයේ සියඹලාපිටියගේ ගෙවත්තේ අක්කර තුනක් පුරාම විවිධ වර්ගයේ බෝග වගා කර තිබිම නිසාය.

“ඔයාට නම් වෙනම සම්මානයක් දෙන්න වටිනවා” අමරවීර කීවේ වත්තේ තැනින් තැන ඇවිදිමිනි. ඒ අතර විවිධ වර්ගයේ පලතුරු හා එළවළු වර්ග වගා කර තිබූ තැන්වලට ගිය මහින්ද ඒවා ගැන විස්තර ඇසුවේය.

මේ අතර එතැන තිබූ පලතුරු ගසක් පෙන්වා මහින්ද අමරවීර ඇසුවේ එය කුමක්දැයි කියාය.

“මේ ගහ දං වර්ගයක්. දුර්ලභ දං වර්ගයක්. ඒත් මේක තවම අපි කාලා නෑ. කුරුල්ලෙක්වත් කනවා මම දැක්කේ නෑ. මේක වස ගහක්ද කියලා දන්නේ නෑ. ඒ නිසා ඔබතුමා නම් කන්න එපා” සියඹලාපිටිය කීවේය.

“එහෙනම් ඉතිං තරහාකාරයෙක් හොයලා මේක දුන්නා නම් හරි” සියඹලාපිටිය පැවසුවේය

“ඔව්.. ඔව්. අපි එහෙනම් ‍පොලිස්පතිතුමාට මේක දෙමු. එතකොට ඒ කරදරය එතැනින් ඉවරයිනෙ” අමරවීර කීවේය.

“අ‍පෝ සර්, ඕක කන්න දීලා දැන් කරනවාටත් වඩා වැඩියෙන් පිස්සු කෙලීවිද කියලා දන්නේ නෑ” එතැන සිටි පළාත් සභා මන්ත්‍රීවරයෙක් කීවේය.

මේ අතර එතැන සිටි අමරවීරගේ හිතවතෙක් දං ගෙඩියක් කෑවේය. එහෙත් ඔහුට එය විසවූයේ නැත.

 වජිර ලැජ්ජා වෙයි

වජිර අබේවර්ධන ඇමැතිවරයා පසුගිය සතියේදී යාපනයට ගියේ නිල මෙහෙවර වැඩසටහනකට සහභාගී වීමටය. ඔහු එහි ගොස් සිටියදී ඔහුගේ රාජ්‍ය ඇමැති ජේ.සී.අලවතුවලද යාපනයට ආවේය. ඒ විවාහ නොවූ පවුල් විවාහ කිරීමටය. යාපනයේදී එකසිය පනස්වැනි පවුලද විවාහ කර දුන්නේ ඔවුන් දෙදෙනා අත්සන් කරය.

ඔවුන් දෙදෙනාගේ විවාහ සහතිකය අතට ලබාදීමෙන් පසුව වජිර විජයකලා දෙස හැරුණේය.

“තවත් යාපනයේ විවාහ නොවූ අය ඉන්නවානම් එකතු කරගන්න. ඒ හැමෝම එකම දවසක ලියාපදිංචි කරමු. ජනාධිපතිතුමාටයි, අගමැතිතුමාටයි සාක්ෂිකරුවන් විදියට අත්සන් කරන්න කියලා කියමු” වජිර කීවේය.

මේ අතර වජිර හමුවීමට සරත් අමුණුගම ඇමැතිවරයා පසුගිය සතියේදී ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට පැමිණියේය. ඒ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ලබාදී තිබූ ඉඩමක් චන්දිම වීරක්කොඩි ඇමැති ධුරය දරන කාලයේදී සාගර විශ්වවිද්‍යාලයට ගැනීම පිළිබඳ සාකච්ඡා කිරීමටය.

“මම ගාල්ලේ දිසාපති විදියට වැඩ කළා. මම ගාල්ලේ ඉඩම්වල හතර කොන දන්නවා. රිච්මන්ඩ් එකට දීලා තිබුණ ඉඩම චන්දිම ඇමැතිතුමාගේ කාලයේදී සාගර විශ්වවිද්‍යාලය හදන්න අරගෙන තිබුණා. ඒත් අපි ඒ ඉඩම ආයිමත් රිච්මන්ඩ් එකට දෙනවා. සාගර විශ්වවිද්‍යාලය කෙරවලපිටියට අරගෙන යනවා” අමුණුගම කීවේය.

“අපි මේක මාධ්‍යයට කියමු” වජිර යෝජනා කළේය. එම යෝජනාවට අමුණුගමත් එකඟ විය.

“අපි ඉතිං ආණ්ඩුවෙන් කරගන්න බැරි දේ වජිරට කියලා කරගන්නවානේ. අපි දෙන්නා හොඳ යාළුවෝනේ” අමුණුගම එතැනින් ආවේ වජිරගේ පිටට තට්ටුවක් දමා එසේ කියමිනි.

මේ අතර රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වජිර කැඳවා තිබුණේය.

“අපේ රටේ තියෙන දූෂිතම ආයතනය තමයි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව. ළමයෙක් ඉපදුන වෙලාවේ උප්පැන්න සහතිකය හදන වෙලාවේ ඉඳලා සේරම කරන්නේ හොර වැඩ. ළමයි ඉස්කො‍ලේ දාන්න හොර ඔප්පු හදනවා. බම්බලපිටියේ පැත්තේ ට්‍රිලියන ගාණක් වටින ඉඩමකට හොර ඔප්පුවක් හදලා තියෙනවා. ඒක රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ ලාච්චුවක දාන්න කියලා මම කියලා තියෙන්නේ. ඒක නිදහස් කරන්න කියලා එක එක දේශපාලන පක්ෂවල අය මට කියනවා. මම මේ ගැන අගමැතිතුමාටත් කිව්වා. මෙහෙම වෙන එක ගැන මට හරි ලැජ්ජයි. මගේ යටතේ මේ වගේ ආයතනයක් තියෙනවා කියන එක ගැන මම ලැජ්ජා වෙනවා. මම මේක කොහොම හරි හදලා ගන්නවා” වජිර තදින් කියා තිබුණේය.

 ජී.එල්. - විජිත හමුවක් 

ඉන්දියාවේ දිල්ලියේ තෙදින සංචාරයක නිරතවූ ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක නැවත ලංකාවට පැමිණියේ පසුගිය අඟහරුවාදාය. ඒ වනවිට මාලදිවයිනේ සංචාරයක නිරතවෙමින් සිටි සුනිල් හඳුන්නෙත්තිද ආපසු පැමිණ සිටි අතර බ්‍රහස්පතින්දා දේශපාලන මණ්ඩලය රැස්විය. අනුර කුමාර තමන්ගේ ඉන්දීය සංචාරය ගැනත් හඳුන්නෙත්ති මාලදිවයින් සංචාරය ගැනත් දේශපාලන මණ්ඩලය දැනුවත් කළේය. ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයන් දෙදෙනෙක් හමුවී කළ කතාව ගැන අනුර කුමාර පැහැදිලි කළේ දැඩි උනන්දුවකිනි.

“රුපිය‍ලේ කඩාවැටීම ගැන ආණ්ඩුව කියන්නේ බහුබූත කතා. මුදල් ඇමැති වෙන වෙන කතා කියනවා. ආනයනය පාලනය කරලා මේකෙන් ගොඩ එන්න පුළුවන් කියලා හිතනවානම් මංගල සමරවීරගේ මොළය පරීක්ෂා කරන්න ඕනෑ”අනුර කුමාර කීවේය.

“මේ තරම් අර්බුදයක් තියෙන වෙලාවක පර්මිට් නතර කරනවා කියලා විහිළු කරනවා. මන්ත්‍රීවරුන්ගේ පර්මිටි දීලා දැන් අවුරුදු තුනහමාරකටත් වැඩියි. අපි හැරෙන්න අනෙක් හැම මන්ත්‍රීවරයෙක්ම පර්මිට් එකට ගෙනාවේ ලක්ෂ හාරසීය පනහ පැනපු වාහන. මේකෙන් පාඩු වෙන්නේ රාජ්‍ය සේවකයන්ට. සමහර අය පරණ වාහන වික්කා. පර්මිට් එකට අලුත් එකක් ගන්න. දැන් එකක්වත් නෑ” විජිත හේරත් රාජ්‍ය නිලධාරීන්ගේ දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කළේය.

“අතීසාරෙට අමුඩ ගහනවා වගේ වැඩ කරලා මේ අර්බුදයෙන් ගොඩ එන්න බෑ. එහෙම තත්ත්වයක් තියෙත්දීත් ආණ්ඩුව සිංගප්පූරුව එක්ක ගිවිසුම් ගහනවා”ලාල් කාන්ත සිංගප්පූරු ගිවිසුම කතාවට ඈදා ගත්තේය.

“දවසින් දවස බඩු මිල ඉහළ යනවා. බදු බර වැඩිවෙනවා. ආණ්ඩුව තෙල් සූත්‍රයක් ගෙනත් ඉන්ධන මිල වැඩි කරනවා. ඒකෙන් සියලුම භාණ්ඩවල මිල විතරක් නමෛයි බස් ගාස්තු, ත්‍රීවීල් ගාස්තු වැඩි වෙනවා. ජනතාවගේ විරෝධයක් ආණ්ඩුවට තියෙනවා”ටිල්වින් සිල්වා කීවේය.

“මේවා සේරම එකතු කරලා කොළඹ ලොකු විරෝධයක් කරමු” ලාල් කාන්ත යෝජනා කළේය. ලාල්කාන්තගේ යෝජනාවට දේශපාලන මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

මේ අතර ජර්මානු ජාතික දින උත්සවය පසුගිය තුන් වැනිදා ජර්මන් තානාපති කාර්යාලයේදී පැවැත්වුණේය. විජිත හේරත් මන්ත්‍රීවරයා එහි ගියේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින්ය.

“කොහොමද මන්ත්‍රීතුමා. විස්ස ගැන අලුත් තත්ත්වය මොකද? ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකතුමාට ලැබුණා කියලත් කියනවානේ? මොකක් වෙයි කියලාද හිතන්නේ” ජී.එල්. ප්‍රශ්න වැලක් ඉදිරිපත් කළේය.

“ගොඩක් වෙලාවට ජනමත විචාරණයකට යන්න වේවි කියලා හිතනවා”විජිත කීවේය.

“ඔව්. මටත් එහෙම තමයි හිතෙන්නේ” ජී.එල්. කීය

“එහෙම වෙන එකත් හොඳයි. මොකද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් විතරක් සම්මත කරගන්න පනතක් නැවතත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් අරගෙන අහෝසි කරන්න පුළුවන්. ඒත් ජනමත විචාරණයකට ගිහින් ජනතාවගේ කැමැත්තෙන් සම්මත කරගත්තොත් ආපහු හකුලා ගැනීමට නොහැකි වෙනවා. අපි කියන්නේ පාර්ලිමේන්තුවේ හිරකරන්නේ නැතිව ජනතාවට භාරදෙමු” විජිත හේරත් කීවේය.

මහින්ද ගිය  මඟුුල් ගෙදර

එක්සත් ජාතික පක්ෂයේ  ‍‍‍ජ්‍යෙෂ්ඨ ඇමැතිවරියක වන චන්ද්‍රානි බණ්ඩාරගේ වැඩිමහල් පුතාගේ විවාහ මංගල උත්සවය පසුගිය සඳුදා පැවැත්වුණේ සිනමන් ‍ලේක් සයිඩ් හෝටලයේදීය. මනාලිය වූයේ එස්.බි. දිසානායක හිටපු ඇමැතිවරයාගේ ඥාතියෙකි. චන්ද්‍රානි බණ්ඩාරගේ පාර්ශ්වයෙන් විවාහයේ  සාක්ෂියට අත්සන් කිරීමට සිටියේ මහින්ද රාජපක්ෂය. මෛත්‍රී අත්සන් කළේ මනාලියගේ පාර්ශවයෙනි. වෙනදාට මහින්ද - මෛත්‍රී යන විවාහ මංගල උත්සවලදී මහින්ද පැමිණි පසුව මෛත්‍රී පැමිණෙන නමුත් මෙදින මෛත්‍රී කල් ඇතිව පැමිණියේය.

මෛත්‍රී පිළිගැනීමට චන්ද්‍රානි ඉදිරියට පැමිණියාය.

“ආ.. අද හරිම ලස්සනයිනේ. හරියට මනමාලි වගේනේ”මෛත්‍රී සභාවට ගියේ චන්ද්‍රානිට විහිළුවක්ද කරමිනි.

මෛත්‍රී ටික වේලාවක් අසුන්ගෙන සිටින විට මහින්දත් එහි ආවේය. ඔවුන් දෙදෙනා සාක්ෂියට අත්සන් කිරීමෙන් පසුව ප්‍රධාන මේසයේ අසුන්ගත්තේද එකටමය. එම මේසයේ සිටියේ මනාල යුවළගේ දෙමාපියන් පමණි.  මහින්ද සහ මෛත්‍රී දිවා ආහාරය ගෙන පිටත්ව ගිය පසු රනිල් එහි පැමිණියේය. රනිල් එන විට එක්සත් ජාතික පක්ෂයේ තලතා අතුකෝරළ, ගයන්ත කරුණාතිලක, ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු ඇමැතිවරු පිරිසක්ද වූහ.

“අගමැතිතුමා නේ හරිනම් මේකට අත්සන් කරන්න ඕන. ඒත් හිටපු ජනාධිපතිතුමයි, දැන් ඉන්න ජනාධිපතිතුමයි මේකට අත්සන් කළේ ඇයි” එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරුන්ට එය විශාල ප්‍රහේලිකාවක් වී තිබුණි.

තිලකජය 
කාටූන් - අංජන ඉන්ද්‍රජිත්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.