lakbima.lk

මෛත්‍රී-මහින්ද මඟුල් ගෙදරදී කතා කළේ මොනවාද

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සතියේ සිටියේ නේපාලයේය. බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වූ මෛත්‍රී නැවත ලංකාවට පැමිණියේ පසුගිය සති අන්තයේදීය. ඒ නේපාලයේ දින දෙකක නිල සංචාරයක්ද කරමිනි. මෛත්‍රී ඉන්දියාවේ සිට ලංකාවට පැමිණීමට නියමිත ගුවන් යානය ලංකාවේ සිට ඉන්දියාවට යනවිට එහි ඇමැතිවරයෙක් සිටියේය. ඒ රාජිත සේනාරත්න ඇමැතිවරයාය.

රාජිත ඉන්දියාවට ගියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමුළුවකට සහභාගි වීමටය. රාජිත එහි යන විට ලංකාවට පැමිණෙන ගුවන් යානය අපේක්ෂාවෙන් මෛත්‍රීගේ බිරිඳ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ‍ලේකම්වරයා ඇතුළු කණ්ඩායමක් ගුවන්තොටු‍පොළට වී බලා සිටියහ. කෙසේ හෝ ඔවුන් දෙදෙනාට ගුවන්තොටු‍පොළේදී මුණ ගැසීමට අවස්ථාව හිමිවිය.

“කොහොමද ජනාධිපතිතුමා සංචාරය” රාජිත ඇසුවේය.

“හොඳට කළා” මෛත්‍රීත් උත්තර දුන්නේය.

“හිටපු අගමැති ප්‍රචණ්ඩා හමුවුණාද” රාජිත ඇසුවේ ප්‍රචණ්ඩා රාජිතගේ හිතවත් රාජ්‍ය නායකයෙක් වීම නිසාය.

“මට එතුමා හමුවෙන්න අවස්ථාවක් ලැබුණේ නෑ. ඒත් දැන් ඉන්න අගමැතිතුමා හමුවෙලා සාකච්ඡා කළා” මෛත්‍රී කීය.

“ප්‍රචණ්ඩා අගමැති ධුරයේ ඉන්න කා‍ලේ මට හමුවීමට විනාඩි පහළොවක කාලයක් ලැබුණා. ඒත් අපි දෙන්නාගේ සාකච්ඡාව අවසන් වනවිට පැයයි විනාඩි හතළිස් පහක් ගතවෙලා තිබුණා. ඔහුගේ සන්නද්ධ විප්ලවය ගැන දීර්ඝව අපි සාකච්ඡා කළා. හරිම හොඳ නායකයෙක්” රාජිත අතීතය සිහිපත් කළේය.

මේ කතාබහ අතරවාරයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන් පිරිසක් පැමිණ රාජිතට එතැනින් පිටත්ව යාමට හැකි බව දැනුම් දුන්නේය.

“කොහෙද ඩොක්ටර් යන්නේ. මම මෙතැනින් යනකම් ඉන්න. ෆලයිට් එක රෙඩි වෙනකම් අපි මෙතැනට වෙලා ටිකක් කතා කරමු” මෛත්‍රී කීවේ ලෝක සෞඛ්‍ය සංවිධානය සමග රාජිත කරන වැඩසටහන් ගැනද විමසමිනි.

රාජිත වෙනුවෙන් සූදානම් කර තිබූ ටාජ් හෝටලයට ඔහු පැමිණියේ මෛත්‍රී ගුවන් යානයට පැමිණීමෙන් පසුවය.

මෛත්‍රීගේ උපන්දිනය යෙදී තිබුණේ පසුගිය සතියේදීමය. සිය උපන්දිනයදා උදෑසනම මෛත්‍රී කැලණිය විහාරස්ථානයට ගොස් වැඳ පුදාගෙන ආශිර්වාද ගත්තේය. ඉන් පසුව ඔහු පැමිණියේ කොටුවේ ජනාධිපති මන්දිරයටය. ඒ බෝධිය වටා සිය පෞද්ගලික ධනයෙන් ඉදිකළ රන් වැට නිරාවරණය කිරීමටය. ඒ අතරම අටවිසි බුද්ධ ප්‍රතිමාවන්ද ස්ථාපිත කළේය. ඒ අතරම අට විසි බුදුවරුන්ට බුදුවීමට පිට දුන් වෘක්ෂ විසි අටක්ද රෝපණය කළේ ජනාධිපති මන්දිර භූමියේමය.

උපන්දිනය දා සවස මෛත්‍රී කතරගම බලා පිටත්ව ගියේ කිරිවෙහෙර වැඳ පුදාගැනීමටත් කතරගම දේවාලයට ගොස් ආශිර්වාද ලබා ගැනීමටත්ය.

 කැබිනට් කතා

සුපුරුදු පරිදි මේ සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී පැවැත්වුණේ මෛත්‍රීගේ ප්‍රධානත්වයෙනි. පසුගිය සතියේ කැබිනට් රැස්වීමට ඇමැතිවරු වැඩි පිරිසක් සහභාගී වී නොසිටියේ බොහෝ දෙනා විදේශ ගතවී සිටීම නිසාය. එහෙත් මේ සතියේ කැබිනට් මණ්ඩලයට ඇමැතිවරුන්ගේ සහභාගීත්වය ඉහළ ගොස් තිබුණි.

කැබිනට් මණ්ඩලයේදී වැඩියෙන් අවධානයට ලක්වූයේ ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාව ගැනය

“මේ විරෝධතාව නිදහසේ කරගෙන යන්න ඉඩ දෙන්න ඕන. අපි කඳුළු ගෑස් ජල ප්‍රහාර එල්ල කරන්න නරකයි. ඒකට ‍පොලීසියට උපදෙස් දෙන්න ඕන” අකිල විරාජ් කාරියවසම් ඇමැතිවරයා යෝජනා කළේය.

මෛත්‍රීගේ අනුමැතියත් එයට හිමිවිය. මේ නිසා ‍පොලීසියට දැනුම් දුන්නේ කිසිදු ආයුධයක් විරෝධතාකරුවන්ට එරෙහිව භාවිත නොකරන ලෙසය.

මේ අතර ගාල්ලේ සංවර්ධන ව්‍යාපෘති ගැන කතාවක් ඇදී ආවේය.

“ගාල්ලේ වැඩ වෙන්නේ නෑ” පාඨලී චම්පික රණවක ඇමැතිවරයා කීවේය.

“අපිටත් ඉතිං ගමේ ඉන්න බැරි වෙලා තමයි තියෙන්නේ. එක එක ව්‍යාපෘති කරනවා කියලා කියනවා. ඒත් ඒවගේ වැඩ ඉවර වෙන්නේ නෑ. ඒක අපිට ප්‍රශ්නයක්” වජිර අබේවර්ධන ඇමැතිවරයා චම්පිකටත් පෙරළා චෝදනා කළේය.

 පත්තර බලන මෛත්‍රී

ඒකාබද්ධයේ විරෝධතාව පැවැත්වෙන දවසේ උදෑසන මෛත්‍රී පාර්ලිමේන්තුවට ගියේය. ඒ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සම්මාන ප්‍රදානය කිරීමටය. කමිටු කාමරයක තිබූ එම උත්සවය අවසන්වීමෙන් පසුව මෛත්‍රී පළමු මහ‍ලේ පිහිටි ජනාධිපති කාර්යාලයට ගියේය. ඔහු එහි යන විට ලසන්ත අලගියවන්න, නිමල් සිරිපාල ද සිල්වා, එස්.එම්. මරික්කාර් ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් කාර්යාලයට පැමිණ සිටියහ. ඔවුන් මෛත්‍රී සමග කතා කරමින් සිටින විට අතුරුදන්වූවන් පිළිබද කාර්යාලයේ නිලධාරීහු පැමිණ කමිටු වාර්තාවක් මෛත්‍රී අතට පත් කළහ.

දහවල් වනතුරු මැති ඇමැතිවරු සමග කතා කරමින් සිටි මෛත්‍රී දිවා ආහාරයට සූදානම් විය.

“අපි කට්ටිය එක්කම කැන්ටින් එකට ගිහින් කමු”මෛත්‍රී පිරිස මන්ත්‍රී භෝජනාගාරය වෙත රැගෙන ගියේය. දිවා ආහාරය ගත් මෛත්‍රී ආවේ පාර්ලිමේන්තුවේ පුස්තකාලයටය. මෛත්‍රී එහි එන විට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සිටියේ ද පුස්තකාලයේය. මෛත්‍රී එන විට පුස්තකාලයේ සේවකයෙක් අතින් සංඥා කරමින් මෛත්‍රී පුවත්පත් බලන ආකාරය අනුරට පෙන්වූවේය.

එය දුටු අනුර කුමාර මෛත්‍රී සිටි තැනට පැමිණියේය.

“අද අර අයගේ විරෝධතාව නේද” අනුර කුමාර ඇසුවේය.

“හෙට වෙනකම් ඉන්නවා කියලා කිව්වට කට්ටිය රෑ වෙන්න කලින්ම යනවා. මම දන්නවානේ එයාලගේ වැඩ” මෛත්‍රී කීවේය. ඒ වනවිට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන කිසිවක් කතා නොකිරීමට දෙදෙනාම වග බලාගෙන තිබුණි.

මෛත්‍රී අනුර කුමාර සමග කතා කරමින් සිට එතැනින් එන විට නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයාද හමුවිය.

“සයිටම් ළමයි දැන් කොතලාවල එකට දාලා තියෙනවා. ඒත් මේ අයගෙන් සල්ලි අය කරනවා. ඒක ප්‍රශ්නයක්. ඒ විතරක් නමෛයි සයිටම් එකේ ශිෂ්‍යත්ව අරගෙන හිටපු ළමයින්ගෙනුත් කොතලාවල එකේදී සල්ලි අයකරනවා. මේක ප්‍රශ්නයක් ජනාධිපතිතුමා” නලින්ද ජයතිස්ස කීවේය.

“මම මේ ගැන සොයා බලන්නම්” මෛත්‍රී සහතිකයක් දුන්නේය.

එතැන සිට නැවත පාර්ලිමේන්තුවේ ඇති ජනාධිපති කාර්යාලයට පැමිණි මෛත්‍රී සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු කතා කළේද ඒකාබද්ධයේ විරෝධය ගැනය.

“ඕවා ගනං ගන්න ඕන දේවල් නමෛයි” මෛත්‍රී කීවේ වැඩි තැකීමක් නොමැතිවය

එතැන් සිට මෛත්‍රී පැමිණියේ පරිසර අමාත්‍යාංශයටය. මෛත්‍රී එහි එනවිට නියෝජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම මැණික් හා ස්වර්ණාභරණ නිෂ්පාදකයන් සමග සාකච්ඡා කරමින් සිටියේය. ඔහු සාකච්ඡා කරමින් සිටියේ බදු නිසා ඔවුන්ගේ කර්මාන්තයට සිදුව ඇති බලපෑම පිළිබඳවය.

“අජිත් ඔය ප්‍රශ්න ටික අරගෙන එන්න. අපි සාකච්ඡා කරලා මේකට විසඳුමක් දෙමු” මෛත්‍රී කීය.

 ඉසුර පුම්බන හැටි

මහවැලි ක්‍රීඩා උත්සවයේ සමාරම්භය සටහන් කරමින් ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාම ආරම්භ කළේ නිදහස් චතුරශ්‍රයේ පැවැති උත්සවයකදීය. මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයට බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රියද පැමිණ සිටියේය. උත්සවය අවස්ථාවේදී බැලුම් අහසට යැව්වේ තරුණ තරුණියන්ගේ සහභාගිත්වයද ඇතිවය.

“දන්නවාද මේකට මොකද කියන්නේ කියලා” මෛත්‍රී, ඉසුරගෙන් ඇසුවේ ඉහළ යන බැලුම් පෙන්වමිනි.

“මොකක්ද සර්” ඉසුරත් ඇසුවේය.

“මේකට තමයි කියන්නේ පුම්බලා උඩ යවනවා කියලා” මෛත්‍රී කීවේ සිනාසෙමිනි.  ඉසුරත් සිනාසුනා මිස කිසිවක් කියන්න ගියේ නැත.

“මට ඕනනම් ඔයත් පුම්බලා උඩ අරින්න පුළුවන්” මෛත්‍රී කිවේය.

“වෙන කෙනෙක් කිව්වනම් බය නෑ. ඒත් සර් ඔහොම කිව්වම බය හිතෙනවා” ඉසුර කීවේ සිනාවෙමිනි.

 මෛත්‍රී නෙළුම්  මාවතට

මහින්දගේ හිතවතෙක් වන මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ මාමණ්ඩිය වන චන්ද්‍රිකා ආණ්ඩුවේ වසර දහයක් කැබිනට් ‍ලේකම් ධුරය දැරූ ධර්මසේන විජේසිංහ අභවප්‍රාප්ත වූයේ පසුගිය සතියේදීය. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු විරෝධතාවට ගොස් සිටි නිසා ඒකාබද්ධයේ මන්ත්‍රීවරු වැඩි දෙනෙක් බ්‍රහස්පතින්දා උදේ අවමඟුුල් නිවසට පැමිණ තිබුණේ නැත. දහවල් එකට පමණ හදිසියේම ආරක්ෂාව වැඩි කළේ කවුරුන් හෝ ප්‍රභූවරයෙක් පැමිණෙන බව අඟවමිනි. එසේ එක්වරම පැමිණියේ මෛත්‍රීය.

මෛත්‍රී පැමිණ දේහයට අවසන් ගෞරව දක්වා එළියට එන විට ඔහුගේ මුහුණට මුහුණ හමුවූයේ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා සහ මාධ්‍යවේදියෙකි.

“කොහොමද මන්ත්‍රීතුමා” යැයි කියමින් මෛත්‍රී උදයට කීවේය.

“සර්” යැයි කියමින් උදයත් මෛත්‍රී සිටි තැනට ආවේය.

“මොකද මේ නිදිමරලා වගේ ඉන්නේ” මෛත්‍රී ඇසුවේ සියුම් සිනහවක් මුවට නංවා ගනිමිනි.

“අපේ වැඩේ තිබුණානේ සර්. ඒකට නිදි මැරුවා. ඒ විතරක් නමෛයි මේකේ සංවිධාන වැඩවලට දවස් කීපයක් නිදි මරන්න වුණා” උදය කීවේය.

“ඔය තරුණ වයසට ඔය විදියට නිදිමරන්න එපා. ඒක සෞඛ්‍යයට හොඳ නෑ. අපි නම් නියම වෙලාවට කාලා නියම වෙලාවට නිදාගන්නවා” මෛත්‍රී පැවැසුවේය.

“අපිට කොහෙන්ද සර් ඒ වගෙ පිනක්” උදයත් අනෙක් අතටම කීය.

ඒ අතරම උදය ගම්මන්පිලගේ නඩු ගැනද කතාවක් ඇදී ආවේය. ඔහු සමග ටික වේලාවක් කතා කරමින් සිට මෛත්‍රී එතැනින් පිටත්ව ගියේය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු එහි පැමිණියේ මෛත්‍රී පිටත්ව ගිය පසුවය. චමල් රාජපක්ෂ සහ බන්දුල ගුණවර්ධන සහ මාධ්‍යවේදියෙක් ආගිය කතා කතා කරමින් සිටින අතරවාරයේදී ඒකාබද්ධයේ විරෝධය ගැනත් අදහස් මතුවිය.

“විරෝධතාවය සාර්ථකයි. ඒත් ගේනවා කියලා කියපු සෙනඟෙන් බාගයයි ආවේ” චමල් කීවේය.

“මේකේ අවසානය කොහේද කියන එක ගැන සැලසුමක් තිබුණේ නෑනේ. ඒක නිසා රෑ වෙනකොට ගොඩක් අය ගෙවල්වල ගියා” බන්දුලත් විරෝධතාව ගැන අදහස් දැක්වූවේය.

 මහින්ද - මෛත්‍රී  හමුවක්

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මෙරිල් පෙරේරාගේ පුතාගේ සහ දෙවිනුවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක නිලංග රාජපක්ෂගේ සහෝදරියගේ දියණියගේ විවාහ මංගල උත්සවය පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැවැත්වුණේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදීය. එක් පාර්ශ්වයක් වෙනුවෙන් මහින්ද සාක්ෂියට අත්සන් කිරීමට නියමිතව තිබූ අතර අනෙක් පාර්ශ්වයෙන් සාක්ෂියට අත්සන් කළේ මෛත්‍රීය. මහින්ද නැකැත් වේලාවට පෙර හෝටලයට පැමිණ තිබුණේය. මෛත්‍රී පැමිණියේ නැකැත් වේලාව ආසන්නයේදීමය.

මෛත්‍රී සහ මහින්ද වෙනුවෙන් වෙනම මේස දෙකක් වෙන් කර තිබුණේ ඔවුන් දෙදෙනා එකම මේසයක අසුන් නොගනු ඇතැයි විශ්වාස කළ නිසාය. එහෙත් සාක්ෂියට අත්සන් කර මහින්ද තමන්ගේ මේසයට ගොස් වාඩි වන විට මෛත්‍රීත් ඔහු පිටුපසින්ම ගොස් ඒ අසලින් වාඩිවිය. මහින්ද මෛත්‍රී අතර මැද සිටියේ රංජිත් සියඹලාපිටිය ඇමැතිවරයාය.  මෛත්‍රීගේ එක් පසෙකින් ඉසුර වූ අතර මහින්දගේ අනික් පසින් ප්‍රසන්න විය.

“ඊයේ රෑ දඟලලා මහන්සිත් ඇති නේද” මෛත්‍රී මහින්දගෙන් අසමින් පුටුවෙන් වාඩිවිය.

“අපිට ඉතිං ඕවා පුරුදුයි. මෙයා නම් ඉවර වෙනකම් එතැනට වෙලා හිටියා” මහින්ද පිළිතුරු දුන්නේ ප්‍රසන්න පෙන්වමිනි.

“හැමතැනම කුණු එහෙම දාලා තිබුණානේ” මෛත්‍රී ඇසුවේය.

“නෑ.. නෑ.. අපි සුද්ධ කරලයි ගියේ” ප්‍රසන්න වහාම කීවේය.

“සුද්ධ කරලා තිබුණේ නෑ. මම උදේ දහයට මඟුල් ගෙදරකට යනකොටත් කුණු තිබුණා. නගර සභාවත් කිව්වේ සුද්ධ කරලා නෑ කියලයි” මෛත්‍රී කීවේය.

“ඒක නම් වෙන්න බෑ. අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ටික කුණු සේරම සුද්ධ කරලා පාරත් අතුගාලයි ගියේ. සමහරවිට අපි ගියාට පස්සේ වෙන කවුරුහරි අපි අල්ලන්න ගෙනත් දැම්මද දන්නේ නෑ” ප්‍රසන්න කීවේය.

ටික වේලාවකින් මහින්ද එතැනින් පිටත්ව ගිය අතර මෛත්‍රී තව ටික වේලාවක් සිට එතැනින් පිටත්ව ගියේය.

“දැක්කද ඊයේ පෙළපාළි ගියාට අද දෙන්නම යන්නේ එකට. ඕක තමයි කවදාහරි වෙන්නේ. දෙන්නා එකතු වෙනවා” එය දුටු ඉසුර කීවේය.

පසුගිය සති අන්තයේදී අගමැති රනිල් වික්‍රමසිංහ සේරුවාවිල ගියේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගමගේ ආරාධනාවක් අනුවය. ඒ විහාරස්ථානයක විවෘත කිරීමක් සඳහාය. රනිල් කොළඹ සිට සේරුවාවිලට ගියේ හෙලිකොප්ටරයෙනි. රනිල් සමග එම විහාරස්ථානයේ ගිහි අනුශාසක නවීන් දිසානායක ඇමැතිවරයාද විය. උදෑසන එහි ගොස් විවෘත කිරීම් අවසන් කර නැවත කොළඹ පැමිණියේ දිවා ආහාරය කොළඹදී ගැනීමට සැලසුම් කර තිබූ නිසාය.

එක්සත් ජාතික පක්ෂයේ හැත්තෑ දෙවැනි සංවත්සරය සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණේ රනිල්ගේ ප්‍රධානත්වයෙන්ය. රනිල් පක්ෂ සංවත්සරයට සහභාගිවීමට පෙර සිරිකොතේ තමන්ගේ කාර්යාලයට ගියේය.

“සර් ආණ්ඩු පෙරළන්න ආපු ‍පොහොට්ටුවේ අය හොඳටම බිලා පෙරළුණා මිසක් ආණ්ඩුව පෙරළන්න බැරිවුණානේ” රනිල්ගේ මුහුණට හමුවූ කිරිඇල්ල කීවේය.

“මාත් එක්ක කාර්යාලයට යන්න එන්න” යැයි කී රනිල් කිරිඇල්ල තමන්ගේ කාර්යාලයට කැඳවාගෙන ගියේය.

“බැසිල් නැතිව එයාලාට රැස්වීමක්වත් තියාගන්න බැරි තරම්. සමෘද්ධි අය දැන් එක්සත් ජාතික පක්ෂයේ මෙහෙයවීම නිසා ලොකු පාඩුවක් වුණා. මහින්ද දැන් විකල්පයක් නමෛයි කියලා පෙනුණා” නවීන් දිසානායක ඇමැතිවරයා රනිල්ගේ මුහුණටම කීවේය.

“‍පොහොට්ටුව ඇතුළේ ප්‍රශ්නය ගිනියම් වෙලා කියන එක ඔප්පු වුණා. බැසිල්ගේ පිල විරෝධතාවයට කකුල් මාට්ටු දැම්මා. ඊළඟට බැසිල් රැලියක් කරන වෙලාවට අනික් අය කකුලෙන් අදීවි. බෙදීම ඒ තරමට තියුණුයි. ඒ නිසා මහින්දට තීන්දු ගන්න අමාරුයි” රනිල් විග්‍රහ කළේය.

මේ කතාබහ අවසන් වූයේ රනිල් පක්ෂ සම්මේලනයට යාමට නැගිටීමත් සමගය. පක්ෂ සම්මේලනයට ගිය රනිල් කීවේ තමන් දෙවැනි පෙළ නායකත්වයට නායකත්වය දෙන්නේ 2030දී බවය.

ඒ කතාවෙන් රනිල් නොකියා  කීවේ තමාට අවුරුදු 80ක් පිරෙන තෙක් එජාප නායකත්වයෙන් ඉවත් නොවෙන බවය.

 රවිට ඇමැතිකමක්

පසුගිය සතියේදී රවි කරුණානයක මන්ත්‍රීවරයාට මෛත්‍රී හමුවී තිබුණි. ඔහු මෛත්‍රී සමග කතා කර තිබුණේ තමන්ගේ ඇමැතිකම ගැනය.

“මම ඔයාට ඇමැතිකමක් දෙන්න විරුද්ධ නෑ. ඒත් ඒකට එක්සත් ජාතික පක්ෂයේ අනුමැතිය තියෙන්න ඕන. ඔයාලගේ පක්ෂයේ දේශපාලන මණ්ඩලයේදී මේක කතා කරලා විසඳාගෙන ආවොත් මම ඇමැතිකමක් දෙනවා” මෛත්‍රී කියා තිබුණේය.

“මට ඇමැතිකමක් නැති කරපු එක සාධාරණෑ” රවි කීවේය.

“මගේ ප්‍රශ්නයක් නෑ රවි. ඔයා අගමැතිතුමා එක්ක කතා කරලා ප්‍රශ්නය විසඳාගෙන එන්න” මෛත්‍රී කීවේය.

ඒ අනුව පසුගිය සතියේදී රැස්වූ එක්සත් ජාතික පක්ෂ දේශපාලන කමිටුවේදී රවිගේ ප්‍රශ්නය ගැන සාකච්ඡා වී තිබුණි.

“මම ජනාධිපතිතුමා හමුවෙලා මට ඇමැතිකමක් ලැබිම ගැන කතා කළා. ඒකට දේශපාලන කමිටුව කැමැතිනම් ජනාධිපතිතුමාට ඉතිරි වැඩ ටික කරන්න පුළුවන්” රවි පැහැදිලි කළේය.

“අපිට ඔබට ඇමැතිකමක් ලැබෙන එකට ප්‍රශ්නයක් නෑ” දේශපාලන කමිටුව තීරණය කර තිබුණේය.

 චතුරගේ  දෙවැනි ගමන

චතුර සේනාරත්න මන්ත්‍රීවරයාගේ විවාහයේ දෙවැනි ගමන යෙදී තිබුණේ පසුගිය බ්‍රහස්පතින්දාය. ඒ ටාජ් සමුද්‍රා හෝටලයේය. චතුරගේ විවාහ මංගල උත්සවයට පැමිණීමට නොහැකිවූ මෛත්‍රී දෙවැනි ගමනට පැමිණ තිබුණි.

“ඔබතුමා දැන්මම යන්නද හදන්නේ” චතුරට සුබ පතා එතැනින් ඉවත්වන විට චතුර මෛත්‍රීගෙන් ඇසුවේය.

“නෑ. නෑ.. මම ටික වෙලාවක් ඉඳලා යන්නේ”යැයි කියා මෛත්‍රී තමන්ට වෙන් කර තිබූ මේසයේ අසුන් ගත්තේය. ඔහුගේ මේසයේ යුද්ධය සමයේ රටේ ප්‍රකට චරිතයක් වූ මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ද අසුන්ගෙන සිටියේය.

“චතුර ගියපාර ජනාධිපතිවරණයේදී කරපු කැපවීම දන්නේ මම විතරයි” මෛත්‍රී ශවේන්ද්‍රට කීවේ දේශපාලන ලෝකයේ සැඟවුණ කතා කිහිපයක්ද කියමිනි.

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ ජනබලය කොළඹට විරෝධතාව පිළිබද සාකච්ඡාවක් අඟහරුවාදා උදෑසන පැවැත්වුණේ ටොරින්ටන් හි පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවසේදීය. ඩලස් අලහප්පෙරුම, නාමල් රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ, ෂෙහාන් සේමසිංහ ඇතුළු මන්ත්‍රීවරු එහි පැමිණ විරෝධතාව ගැන සාකච්ඡා කළේ විරෝධතාව පවත්වන්නේ කොහිදැයි කියාය.

“‍ලේක්හවුස් වට රවුම, ගෝල් ෆේස් පිට්ටනිය, අරලියගහ මන්දිරය කියන තැන් තුන දැනට යෝජනා වෙලා තියෙනවා. අපි මේ තැන් තුනෙන් එකක් ගැන තීරණයක් ගනිමු. හැබැයි තියෙන තැන ගැන අන්තිම තීරණය ගන්න ඕන බදාදා දවල්ටයි. එහෙම නොවුණොත් ආණ්ඩුව මේ වැඩේ බ්ලොක් කරාවි” නාමල් පැවැසුවේය.

අනතුරුව මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමුවූයේ උද්ඝෝෂණයට පැමිණෙන පෙළපාළි සම්බන්ධයෙන්ය. නුගේගොඩ, පංචිකාවත්ත, බම්බලපිටිය ආදී වශයෙන් විවිධ මාර්ග ඔස්සේ පෙළපාළිය ආරම්භ කිරීමට සැලසුම් කෙරිණි. මන්ත්‍රීවරුන්ට එක් එක් වගකීම් බෙදා දුන්නේද මේ සාකච්ඡාවේදීය. මහින්දාන්නද අලුත්ගමගේට හා ෂෙහාන් හේමසිංහට මාධ්‍ය සම්බන්ධීකරණ වගකීම් පැවරිණි. මාධ්‍යයට තොරතුරු දීම ඩලස්ගේ වගකීමක් බවට පත්විය. ප්‍රසන්නට පැමිණෙන විරෝධතාකරුවන්ට ආහාර පාන ලබාදීමේ වගකීම් පැවරිණි.

“මේ රැස්වීම්වලට එන අයට බොන්න දුන්නාම ප්‍රශ්න ගොඩක් ඇතිවෙනවා.  ඒ නිසා එන අයට බොන්න නොදී ඉන්න පුළුවන් නම් හොඳයි” ඩලස් යෝජනා කළේය.

“ඒක නම් ගොඩක් හොඳ යෝජනාවක්” ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා ඩලස්ගේ යෝජනාවට අනුමැතිය දුන්නේය. එහෙත් තවත් මන්ත්‍රීවරු කිහිපදෙනෙක් කීවේ මේ යෝජනාව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි දෙයක් නොවන බවය. ඒ නිසා එම යෝජනාව ගැන වැඩි යමක් කතා නොකිරීමට සියල්ලෝම වගබලාගත්හ.

“මේක කඩාකප්පල් කරන්න ආණ්ඩුව උත්සාහ ගන්නවා කියලා අපිට ආරංචි වුණා. ඒ ගැනත් අවධානය යොමු කරලා තමයි අපි සැලසුම් හදන්න ඕන” නාමල් කීවේය.

“අපි මේ උද්ඝෝෂණය සංවිධානය කරනකොට අපේ සමගිය යළිත් තහවුරු වුණා. ඒ සමගිය අපි ආරක්ෂා කරන්න ඕන” ඩලස් ඒකාබද්ධ විපක්ෂයේ සමගිය ගැන කතා කරන්න විය.

මේ කතා අතරවාරයේදී උද්ඝෝෂණය පවත්වන තැන ගැන අවසන් තීරණයක් ගැනීමට නොහැකි විය. ඒ ගැන විවිධ අදහස් මතුවිය.

“උද්ඝෝෂණය තියන තැන ගැන තීරණයක් ගන්න අපි තරුණ මන්ත්‍රීවරුන්ට අවස්ථාව දෙනවා. මන්ත්‍රීවරු තීන්දු කරලා අපිට  කියන්න. අපි ඉතුරු වැඩ ටික කරන්නම්” ඩලස් පැවැසුවේය.

“අපි එදා රෑට සත්‍යග්‍රහයක් කරමු. මේක පුළුවන් තරම් සාමකාමී විදියට මේක කරන්න කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා අපිට කියලා තියෙනවා. ඒ නිසා සත්‍යග්‍රහයක් කරමු” නාමල් යෝජනා කළේය.

“ඒක හොඳ අදහසක්” නාමල්ගේ අදහසට මන්ත්‍රීවරුන්ගේ සහය හිමිවිය.

“එදා රෑට වීදි නාට්‍ය, හිටිවන කවි, විරිදු, ශාන්තිකර්ම සංවිධානය කරමු” එතැන සිටි මන්ත්‍රීවරයෙක් යෝජනා කළේය.

“ගාල්ලේ ක්‍රිෂාන්ත කොහොමත් ශාන්තිකර්ම වැඩ කරනවානේ. ඒ නිසා එයාට මේක පවරමු” මන්ත්‍රීවරු පැවැසූහ. එහෙත් එම සාකච්ඡාව අවසන්වූයේ විරෝධතාව පවත්වන තැන ගැන අවසන් එකඟතාවක් නොමැතිවය.

 මන්ත්‍රී කණ්ඩායම  කැඳවයි

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට එන්නැයි ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා ලිපියක් මගින් දැනුම් දී තිබුණේය. ඒ අනුව අඟහරුවාදා උදෑසන පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පැවැත්වුණේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන්ය.

“ආණ්ඩුව අපේ රැස්වීම කඩාකප්පල් කරන්න හදනවා. බස් අනුමැතියකින් තොරව මේකට ආවොත් දඩ ගහන්න හදනවා. මම බස්නාහිර පළාත් ප්‍රවාහන ඇමැතිවරයා විදියට වැඩ කරන කා‍ලේ තමයි මේ නීතිය ගෙනාවේ” ප්‍රසන්න රණතුංග කීවේ තමන් ගෙන ආ නීතිය තමන්ටම හරස් වී ඇති ආකාරය සිහිපත් කරමින්ය.

“අපි මේ ගැන කථානායකතුමාගෙන් ප්‍රශ්න කරමු” දිනේෂ් කීවේය.

පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අවසන් වී එළියට එන විට ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාට හමුවූයේ රංජිත් මද්දුමබණ්ඩාර ඇමැතිවරයාය.

“ඔයා තමයි මේ ගේම් පිටිපස්සේ ඉන්නේ. නේද” රංජිත් මද්දුමබණ්ඩාර ඇසුවේය.

“ඔබතුමා දන්නවානේ ඉතිං අපේ ගේම් ගැන” ප්‍රසන්න උත්තර දුන්නේය.

 මාමයි - බෑනායි

පාර්ලිමේන්තුවේ ලොබියේදී බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා හා ඩී.වී.චානක මන්ත්‍රීවරයා එකට එන විට ෂෙහාන්ට හා පියල් නිශාන්තට ඔවුන් දෙදෙනා හමුවිය.

“ආ..ඩී.වී. දැන් මාමමත් එක්කමනේ ගමන” ෂෙහාන් විහිළු කරන්නට පටන් ගත්තේය.

“එහෙම එක්ක නෑ”ඩී.වී. කීවේ ලැජ්ජාවෙන් ඇඹරෙමිනි.

“අපිටත් ආරංචියි දැන් මේවා. දැන් අඳින්නේ, කතා කරන්නේ, හැසිරෙන්නේ මාම කියන විදියටලු නේද” ෂෙහාන් විහිළු කරන්න ගත්තේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පෙන්වමිනි.

“දැන් ඉතිං ටෙම්පල් ටී්‍රස්වල ඕනම කෙනෙක්ට වෙඩින් එකක් ගන්න පුළුවන්නේ. ඒකේ වාසියත් මේ අයටම තමයි” පියල් කීවේය.

“ඉස්සර අරලියගහ මන්දිරයේ දන්සල් දෙනවා කියලා යූ.එන්.පී. එක මැරෙන්න හැදුවා. දැන් ඒකේ මඟුුල් නටනවා” ෂෙහාන් කීවේ චතුර සේනාරත්න මන්ත්‍රීවරයාගේ විවාහ මංගල උත්සවය සිහිපත් කරමින්ය.

 මහින්දට  තරහ යයි

ජනබලය කොළඹට විරෝධතාවය පැවැති බදාදා දිනට පෙර දින සවස මහින්ද ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ට සිය නිල නිවසට එන්නැයි දැනුම්දී තිබුණේය. ඒ විරෝධතාවය ගැන සාකච්ඡා කිරීමටය. මන්ත්‍රීවරුන්ට විරෝධතාව ගැන කරුණු පැහැදිලි කිරීමේ වගකීම පැවැරී තිබුණේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාටය.

“මේ උද්ඝෝෂණය සාමකාමීව කරන්න ඕන” නාමල් කීවේ උද්ඝෝෂණය ගැන දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරමිනි.

“මේවා තරුණ මන්ත්‍රීරුන්ට හොඳ අත්දැකීම්. අපි ඒ කා‍ලේ කරපු සටන් මේ වගේ තැන්වලට එන්න උදව් වුණා. කිසි කෙනෙකුගෙන් දොසක් අහන්න බැරිවෙන්න මේක සංවිධානය කරන්න”මහින්ද උපදෙස් දුන්නේය.

එම රැස්වීම අවසන් වන විටම ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මහින්දගේ නිවසට පැමිණ සිටියහ. ඒ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට සහභාගී වීමටය. එහිදී සියලුම මන්ත්‍රීවරුන්ට නාමල් ලිපි ගොනුවක් බැගින් බෙදාදී තිබුණේය. ඒ විරෝධතාවට එක් එක් මන්ත්‍රීවරු පැමිණිය යුතු ආකාරය සඳහන් කරමිනි

“දැන් කොහෙන්ද උද්ඝෝෂණය පටන් ගන්නේ” උද්ඝෝෂණය ආරම්භ වන තැන ගැනවත් නිවැරදිව දැන නොසිටි වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා නාමල්ගෙන් ඇසුවේය.

“දැනට ස්ථාන තුනක් ගැන අපි සාකච්ඡා කරගෙන යනවා” නාමල් නිශ්චිත ස්ථානයක් ගැන සඳහන් කළේ නැත.

“විරෝධතාවය තියන තැන ගැන තීරණය ගැනීමේ වගකීම අපි තරුණ මන්ත්‍රීවරුන්ට දීලා තියෙන්නේ” ඩලස් කීවේ නාමල් ප්‍රශ්නයෙන් බේරා ගනිමිනි.

“ටවුන් හෝල් එකේ මේ විරෝධතාවය කරමු” අලුත් යෝජනාවක් ආවේය.

“එතැන විරෝධතා කරනවාට මම කැමැති නෑ. එහා පැත්තෙන් තියෙන්නේ ජාතික රෝහල. ඔතැන විරෝධතා තියන්න ගිහින් ඇම්බියුලන්ස් එකකින් එන ලෙඩෙක්ට මොනවා හරි වුණොත් මේ විරෝධතාව කරන එකේ වැඩක් නැති වෙනවා” මහින්ද විරෝධතාව ටවුන්හෝල් හි පැවැත්වීමට අකමැති විය.

“එහෙනම් අපි මේක ‍ලේක්හවුස් වටරවුමේ තියමු” ඒ යෝජනාවට මහින්දගේ වැඩි අකමැත්තක් තිබුණේ නැත.

“අපි විරෝධතා පා ගමනින් ඇවිත් කණ්ඩායම් තුනක් විදියට බෙදිලා ගිහින් අරලියගහ මන්දිරය වට කරනවා. ජනාධිපති මන්දිරය වට කරනවා. පාර්ලිමේන්තුව වට කරනවා” රාත්‍රියේ කරන සැලසුම ගැන කරුණු හෙළි කළේය.

“මේවා වට කරන්න යන්න එපා. එහෙම යනවා නම් මම මේකට එන්නේ නෑ. මේවා කරන්නේ ආණ්ඩු ගන්න. අපිත් ආණ්ඩුවක් කළා. ආණ්ඩු අරගන්න මේ වගේ දේවල් කරන්න ඕන නෑ. එහෙම  වටකරන්න ගියාම ඒක වැරදි ආදර්ශයක් වෙනවා. කිසිම රාජ්‍ය ආයතනයකට හානි කරන්න එපා. බලෙන් ඇතුළුවෙන්න යන්න එපා. අපේ මිනිස්සු පාලනය කරගෙන සාමකාමීව මේ වැඩේ කරන්න. ආණ්ඩු විරෝධයක් කියලා ජනතාවට හානියක් වෙන්න දෙන්න එපා” මහින්ද උපදෙස් දුන්නේය.

 ගෝඨාට කෙනෙහිලිකම් 

විරෝධතාව පැමිණෙන තැන ගැන පැහැදිලි දැනුම්දීමක් කෙරුණේ බදාදා දහවල් එකොළහට පමණය. මහින්ද ඒ වන විට සිටියේ විජේරාම නිවසේය. ගෝඨාභය රාජපක්ෂද විරෝධතාවයට එක්වීමට නිවසේ සිට පැමිණ සිටියේ ‍ලේක්හවුස් වටරවුම අසලටය. ඔහු ඒ අසල ඇති විහාරස්ථානයට වී සිටි අතර කලින් දැනුම්දී තිබුණේ මහින්දත් එහි එන බවය. මහින්ද සමග ගෝඨා එකට සිටින රූපරාමු ගැනීමට මාධ්‍ය ආයතවලට අවශ්‍ය වී තිබූ අතර රූපවාහිනී මාධ්‍යවේදියෙක් ගෝඨාට ඇමතුමක් දුන්නේය.

“සර් කොහේද ඉන්නේ. මට කැමරා එකක් ඔතැනට එවන්න ඕන” මාධ්‍යවේදියා කීවේය.

“මම මේ පන්සල ළඟ ඉන්නේ. මහින්ද මහත්තයා මෙතැනට එනවා කියලා කිව්වා” ගෝඨා උත්තර දුන්නේය.

“මම දන්න විදියට නම් මහින්ද මහත්තයා පිටකොටුවේ බෝගහ ළඟදී විරෝධතාවට එකතුවෙනවා” මාධ්‍යවේදියා කීවේය.

“මට නාමල් කිව්වේ මෙතැනට මහින්ද මහත්තයා එනවා කියලයි. ‍පොඩ්ඩක් ඉන්න බලන්න” යැයි කී ගෝඨා දුරකථනය විසන්ධි කළේය. පසුව ඔහු මහින්ද රැලියට එක්වූ තැනට ආසන්න තැනක සිට විරෝධතාවයට එක්වූයේ විමල් වීරවංශ මන්ත්‍රීවරයාද කැටුවය.

මහින්ද විරෝධතාවට එක්වන විට මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ඔහු සමග සිටි අතර ජනතාව තෙරපෙමින් මහින්ද අසලට ඒමට උත්සාහ ගත්තේය. මේ නිසා තදබදයක් ඇතිවූ අතර ඇතැම් අයට ක්ලාන්තයද සෑදිණි. සුදර්ශනී ප්‍රනාන්දුපුල්‍ලේ මන්ත්‍රීවරියට ක්ලාන්තයක් ඇතිවූ අතර ඇය වාහනයකට දමාගැනීමට ආරක්ෂකයන් කටයුතු කර තිබුණි.

මහින්ද විරෝධතාවයට එක්වී ටික වේලාවකින් පයින්ම ඉදිරියට යාමට උත්සාහ ගත්තත් දැඩි තෙරපුමත් සමග මහින්දට ඉදිරියට යාම එතරම් පහසුවූයේ නැත. මහින්දගේ ආරක්ෂකයන්ද ඔහු පයින් යනවාට වැඩි කැමැත්තක් දක්වා තිබුණේ නැත. ඒ නිසා මහින්ද පෙළපාළියේ ඉදිරියට ගියේ වහල විවෘත කළ වාහනයක නැගීය

මහින්ද පෙළපාළියෙන්ම ‍ලේක්හවුස් වටරවුම අසලට පැමිණියේය. එතැන පාරේ හිඳගත් ඔහු සත්‍යග්‍රහය ආරම්භ කළේය. පෙළපාළියට එක්වූ මහින්ද කතාවක් නොකළද සත්‍යග්‍රහය පැවැති තැන කතාවක් කළේය.

මේ අතර ඇතැම් මන්ත්‍රීවරු පෙළපාළිය ආරම්භ වන තැනට පැමිණ ටික වේලාවකින් එතැනින් පිටත්ව ගොස් තිබුණි.

“මේක නම් හරියන වැඩක් නමෛයි” පෙළපාළියේ සූදානම ගැන බැලූ අනුරාධ ජයරත්න මන්ත්‍රීවරයා ටික දුරක් පැමිණ පිටත්ව ගොස් තිබුණි.

 පවිත්‍රාට චුයිංගම්

විරෝධතාවට පැමිණි අයෙකු මන්ත්‍රීවරුන් සිටි තැනට පැමිණ කඩල බෙදාදුන්නේය. ඒ වන විට පවිත්‍රා සිටියේ චයිංගමයක් හපමිනි.

“මම මේ චුයිංගම් එකක් කකා ඉන්නේ” පවිත්‍රා කඩල කෑම ප්‍රතික්ෂේප කළේය.

“එක හක්කකින් චුයිංගම් එක කන ගමන් අනෙක් හක්කෙන් කඩල කන්න පුළුවන්” බන්දුල පවිත්‍රාට අලුත් පාඩමක් ඉගැන්වීමට සූදානම් විය.

“ඒ කොහොමද” පවිත්‍රා ඇසුවාය.

“කෝ මට එක චුයිංගම් එකක් දෙන්න” යැයි කියමින් පවිත්‍රාගෙන් චුයිංගමයක් ඉල්ලා ගත් බන්දුල එක් හක්කකින් චුයිංගම් හපමින්, අනෙක් හක්කෙන් කඩල කන හැටි පෙන්වූවේය.

මේ අතර රැය පහන්වනතුරු සත්‍යග්‍රහයේ යෙදීමට පැමිණ සිටි පිරිස රෑ නමය දහය වන විට ක්‍රමයෙන් අඩු වන්නට විය. ඒ සමග හදිසියේම නිවේදනය කළේ සත්‍යග්‍රහය අවසන් කරන බවය. ඊට පැයකට පමණ පෙර රැය පහන්වන තුරු සිටින බව මහින්ද කියූ කතාවට පරස්පර දෙයක් වන විට රැය එහි ගත කිරීමේ අපේක්ෂාවෙන් පැමිණ සිටි අය මුහුණට මුහුණ බලාගන්නට වූයේ සිදුවන්නේ කුමක්දැයි යන්න ගැන සිතාගත නොහැකිවය.

රැස්වීම අවසන් කර නාමල් ගිය ගමන

රෑ දහයට පමණ රැස්වීම අවසන් කළ නාමල් ගොස් තිබුණේ කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයකටය. විරෝධතාව ගැන එහිදී නාමල් කතා කරමින් සිටියේ තවත් තරුණ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් සමගය.

මෙසේ නාමල් සුපිරි හෝටලයක සිටින ඡායාරූපද අන්තර්ජාලයට නිකුත්වී තිබුණේය.

“අපි පෙළපාළිය ඉවර කරලා කොළඹ වටේම ගියා. නාමල් මන්ත්‍රීතුමා එක්ක. ඊට පස්සේ රෑ තුනට විතර තමයි ගෙදර ආවේ” පියල් නිශාන්ත  මන්ත්‍රීවරයා කීවේය.

“මම ගෙදර ආවා. මම ඔය හෝටලයට ගියේ නෑ” පියල් කීවේ මේ ගැන කළ විමසීමකදීය.

තිලකජය

කාටූන් - අංජන ඉන්ද්‍රජිත්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.