lakbima.lk

මෛත්‍රී - මහින්ද මැදමුලන මළගෙදරදී මුණ ගැහුණු හැටි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වයඹ ඇළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවැනි අදියර ආරම්භ කිරීමේ මේ වැඩසටහනට සහභාගි වීමට  ‍පොල්පිතිගමට ගිය සතියේ ගියේය. එම උත්සවයට  එයට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ටද ආරාධනාවක් ලැබි තිබුණි. මෛත්‍රී එහි යනවිට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපතිවරයාද වන  ජනතා විමුක්ති පෙරමුණේ නාමල් කරුණරත්න මන්ත්‍රීවරයාද එහි පැමිණ සිටියේය. උත්සව සභාවට යන විට මෛත්‍රීට ඔහු හමුවිය.

“ආ.. කොහොමද කචල්කාරයා”මෛත්‍රී කීවේ නාමල් කරුණාරත්නගේ පිටට තට්ටුවක් දමමින්ය. සිනාසෙමින් එයට ප්‍රතිචාර දැක්වූ නාමල් කරුණාරත්න මෛත්‍රී සමග උත්සව සභාවට යන අතරවාරයේදී ගොවි ජනතාවට බලපාන ගැටලු කිහිපයක් ගැන අවධානය යොමු කළේය. ඒ අතර අලි මිනිස් ගැටුම ගැනත් ඔහු කතා කරන්න විය.

“මට අපේ රාජ්‍ය ඇමැතිතුමා මේ ගැන කිව්වා. අලි මිනිස් ගැටුමට අපි විසඳුමක් දෙනවා”මෛත්‍රී සහතිකයක් දුන්නේය

මෛත්‍රී උත්සවය අවසන් කරන තෙක් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුද එහි රැඳී සිටියහ. ඔවුන් එහි සිටිනු දුටු මහින්ද අමරවිර ඇමැතිවරයා නාමල් කරුණාරත්න මෛත්‍රී අසලට රැගෙන ගියේ “මෙන්න මහා ගොවියා ඇවිත්”යැයි කියමිනි.

“මට කලින් හමුවුණා”යැයි සිනාසෙමින් කී මෛත්‍රී නාමල් කරුණාරත්න තමන් ළඟට කැඳවාගත්තේය.

“ආපු එකේ අපි ෆොටෝ එකකුත් ගනිමු”යැයි කී මෛත්‍රී  ඡායාරූපයකට මුහුණ දුන්නේය.

උත්සවයෙන් පසු මෛත්‍රී වෙනුවෙන් දිවා ආහාරයක් සූදානම් කර තිබුණි. තමන් සමග දිවා ආහාරයට එන්නැයි මෛත්‍රී පැමිණ සිටි මැති ඇමැතිවරුන්ට දැනුම් දුන්නේය.

“ඒකනායකලාගේ ගෙදර තමයි දවල් කෑම සූදානම් කරලා තියෙන්නෙ”මෛත්‍රී කීවේය. එවිට බොහෝ දෙනා සිතුවේ ආණ්ඩුවෙන් ඉවත්වූ ටී.බි. ඒකනායක හිටපු ඇමැතිවරයා මෛත්‍රී වෙනුවෙන් දිවා ආහාරය සූදානම් කර ඇති බවය.

“ඒකනායක කිව්වේ ධර්ම ශ්‍රී බණ්ඩාර  ඒකනායක. ජනාධිපතිතුමාගේ මාධ්‍ය අධ්‍යක්ෂතුමාගේ ගෙදර තමයි දවල් කෑම සූදානම් කරලා තියෙන්නේ” එතැන සිටි නිලධාරියෙක් යා යුතු තැන නිවැරදි කළේය.

ධර්ම ශ්‍රී මෛත්‍රී වෙනුවෙන් ගමේ ආහාර සහිත දිවා ආහාරයක් සූදානම් කර තිබුණි. මෛත්‍රී පැමිණෙන බව දැනගත් දෙසීයක තුන්සියයක පිරිසක් ධර්ම ශ්‍රී ගේ නිවසට පැමිණ සිටියහ.

 මෛත්‍රී - මහින්දගේ  ගෙදර ගිය හැටි

මෛත්‍රී සහ මහින්ද පසුගිය කාලයේදී මුණ ගැසුණේ් දේශපාලන හිතවතුන්ගේ විවාහ මංගල උත්සවවලදීය. එනමුත්  දෙදෙනාටම ආරාධනා කර තිබූ විවාහ මංගල උත්සවලට එකම වෙලාවට නොපැමිණීමට දෙදෙනාම වගබලාගෙන තිබූණි. දෙදෙනා එකට මුණ ගැසුණේ අවස්ථා  කිහිපයකදී පමණි.   පසුගිය සතියේදී එම තත්ත්්වය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වූයේ මෛත්‍රී හදිසියේම මහින්දගේ මැදමුලන මහ ගෙදරට යාමට තීරණය කිරීම නිසාය.

මෛත්‍රී මැදමුලන නිවසට ගියේ මහින්දගේ සොයුරෙකු වූ අභාවප්‍රාප්ත චන්ද්‍රා රාජපක්ෂගේ දේහයට අවසන් ගෞරව දැක්වීමටය. මීට පෙර මහින්දගේ සහෝදරියක් මිය ගිය අතර ඇගේ දේහය තැන්පත් කර තිබුණේ නුගේගොඩ පිහිටි ඇගේ නිවසේය. එහෙත් එයට සහභාගී නොවූ මෛත්‍රී මෙදා සැරේ  මැදමුලන බලා පිටත්ව ගියේ දේශපාලන ලෝකයේ ඕපදූප රැසකට මුල පුරමිනි.  කොළඹ සිට මැදමුලන බලා මෛත්‍රී පිටත්ව ගියේ කොළඹ සිට හෙලිකොප්ටරයෙනි. මෛත්‍රී මේ ගමනට ඔහු සමග විජයදාස රාජපක්ෂ, ඉසුර දේවප්‍රිය, ලසන්ත අලගියවන්නද කැඳවාගෙන ගියේය.  දේශපාලඥයින්ට අමතරව වෛද්‍යවරු තිදෙනෙක්ද හම්බන්තොට බලා හෙළිකොප්ටරයෙන් යාමට පැමිණ සිටියහ.

මැදමුලන නිවසට තමන් එන බව මෛත්‍රී කල් ඇතිවම මහින්දට දැනුම්දී තිබුණේය. මහින්ද කියා තිබුණේද නිවසට පැමිණ දේහයට අවසන් ගෞරව දක්වන ලෙසය. ඒ අනුව මෛත්‍රී මැදමුලන නිවසට එන විට චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වාහනය අසලටම පැමිණ මෛත්‍රී පිළිගත්තේය. දේහයට අවසන් ගෞරව දැක්වීමට පෙරම මහින්ද ඉදිරියට පැමිණ ආයුබෝවන් යැයි කියා මෛත්‍රී පිළිගත්තේය.

“අපි ඇතුළට ගිහින් ටිකක් කතා කරමු”යැයි මහින්ද, මෛත්‍රීට යෝජනා කළේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසුවය. ඒ අනුව මහින්ද නිවසේ ඇතුළු සාලයක ගොස් මෛත්‍රී සමග කතා කරමින් සිටින විට චමල් එතැනට පැමිණියේය. මහින්ද තමන් සිටි අසුනින් නැගිට චමල්ට එතැන අසුන් ගැනීමට දුන්නේය.

“මට ඉතිං මේ තැන් නුපුරුදු තැන් නමෛයිනේ. මම මේ හැම ගෙදරකටම ඇවිත් තියෙනවා”මහින්දගේ මුහුණ දෙස බලමින් කී මෛත්‍රී අසුන් ගත්තේය.

“ගොඩක් කාලෙකින් තමයි මේ පැත්තට නම් ආවේ”එතැන සිටි අයෙකු කීවේය.

“මම අවුරුදු හතරකින් විතර තමයි මැදමුලන ගෙදරට ආවේ”මෛත්‍රී උත්තර බැන්දේය.

ඔවුන්  කතා කරමින් සිටින තැන ඉසුරද විය. ඒ නිසා බස්නාහිර පළාත් සභාවේ හිටපු ඇමැති උපාලි කොඩිකාර එතැනට ආවේය.

“බලන්නකෝ සර්.. අපිට තවම වාහන පර්මිට් එක ලැබුණේ නෑනේ. ඒක බලලා අපට අරන් දෙන්නකෝ”උපාලි මෛත්‍රීගෙන් ඉල්ලුවේය.

“මේ ඉසුර ඉන්නේ. ඉසුරට කියන්න. මම ඕව දෙන්න කියලා තියෙන්නේ. මේ දවස්වල ඉසුරට ඉතිං ප්‍රශ්නනේ”මෛත්‍රී කීවේ ඉසුර දෙස බලා සිනාසෙමිනි.

“ඒ කිව්වේ සර්”උපාලි කොඩිකාරට එය එක්වර වැටහුණේ නැත.

“මේ දවස්වල ඉසුරට පුටු ප්‍රශ්න තියෙනවානේ. ඒක විසඳුනාම ඉසුර දැනුවත් කරලා ඔය ප්‍රශ්නය විසඳාගන්න”මෛත්‍රී කීය.

ඉසුර කතා කරමින් සිටියත් ඔහුට අසුන්ගැනීමට පුටුවක් තිබුණේ නැත. මහින්ද වට පිට බැලුවත් එතැන ඉසුරට අසුන්ගැනීමට ඉඩක් තිබුණේ නැත.

“ඉසුර ඉතිං වාඩිවෙන්නේ ලක්ෂ ගණන් වෙන පුටුවලනේ”මහින්ද කීවේ විහිළුවටය.

මේ අතර මෛත්‍රීට තේ කෝප්පක් සාදා තිබුණේ මැදමුලනේ නිවසේ සිටි අයෙකි. මෛත්‍රීගේ ආරක්ෂක නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ තේ කෝප්පය සකස් විය.

“මේක ජනාධිපතිතුමාට දෙන්න”තේ කෝප්පය පිළිගැන්වීම තවත් අයෙක්ට පැවරුවේය. ඒ අනුව ඔහු රැගෙන ගොස් තේ කෝප්පය පිළිගැන්වූයේ මහින්දටය. වෙනදාට මහින්දට තේ ලැබෙන කෝප්පයට වඩා වෙනස් කෝප්පයක තේ ලැබිම නිසා ඒ දෙස බලා කෝප්පය පැත්තකින් තැබුවේය. තේ පිළිගැන්වූ පුද්ගලයා නැවත ගිය විට ආරක්ෂකයන්ට නැවත මෛත්‍රී වෙනුවෙන් තේ සූදානම් කිරීමට සිදුවිය.

මේ අතර කතාව දේශපාලනයට ඇදී ගියේය.

“මම ඉස්සර අතුරු මැතිවරණවලට මෙහේ එනවා. මහින්ද මහත්තයාගේ වගේම චමල්ගේ ඡන්ද කරන්නත් මම ආවා. අසූ පහේ මුල්කිරිගල  අතුරු මැතිවරණය තියන වෙලාවේ මම මෙහේ නැවතිලා ඡන්දය කළේ. එක්සත් ජාතික  පක්ෂයෙන් ගාමිණී ජයවික්‍රම පෙරේරයි, ගාමිණී අතුකෝරළයි එකතුවෙලා ඡන්දය මෙහෙයවූවා. අපිට නිදහසේ රැස්වීමක්වත් තියන්න දුන්නේ නෑ. මැරයෝ ඇවිත් අපිට ගැහුවා. මිද්දෙණියේදී ගහන්න ගත්තා. අපි අන්තිමට නැවතුණේ මැදමුලනට ඇවිත්”මෛත්‍රී, චමල් වෙනුවෙන් අතුරු මැතිවරණ කළ හැටි සිහිපත් කළේය.

පැරණි දේශපාලන කතා කතා කරමින් සිටි මෛත්‍රී නැගිට යන්න සූදානම් විය.

“ගෝඨත් දැන් එනගමන් ඉන්නේ”මහින්ද කීවේ මෛත්‍රී නැගිට යන්න සූදානම් වූ විටය.

“මම එහෙනම් ගෝඨා එනකම් ඉන්නම්”මෛත්‍රී නැවත වාඩිවුණේය.

ගෝඨා පැමිණියේ මෛත්‍රීට ආයුබෝවන් කියමිනි. මෛත්‍රීත් වාඩිවී සිටි අසුනින් නැගිට පෙරලා ආයුබෝවන් කීවේ “ලංකාවේ හිටියේ නෑ නේද? කවදාද ලංකාවට ආවේ”යැයි අසමිනි.

“මම පෙරේදා ලංකාවට ආවේ. මළගෙදර නිසා ආවේ. කොළඹ ඉඳලා ආවේ අද උදේ”ගෝඨා මෛත්‍රී සමග සුහදව කතා කළේය.

ගෝඨා සමගත් මෛත්‍රී කතා කළේ ආ ගිය දේශපාලන කතාය. ටික වේලාවක් ගෝඨා සමගත් කතා කරමින් සිටි මෛත්‍රී පිටත්ව ආවේය. මෛත්‍රී සමග වාහනය තිබූ තැනටම පැමිණීමට ගෝඨා අමතක කළේ නැත.

එතැන් සිට නයිගල රජමහා විහාරයට මෛත්‍රී ගියේ විහාරස්ථානයේ  පැවැති රාජ්‍ය වෙසක් උත්සවයට යාමට නොහැකිවීම නිසාය. විහාරාධිපති හාමුදුරුවන්  හමුවූ මෛත්‍රී නැවත කොළඹ  පැමිණියේය

මේ අතර මංගල සමරවීර ඇමැතිවරයාට මහින්දගේ සොයුරාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මැදමුලනට යාමට නොහැකි විය. එහෙත් ඔහු දුරකථනයෙන් මහින්දට කතා කර ශෝකය පළ කළේය.

“මම කලින් යොදාගෙන තිබෙන වැඩ කටුයුතු වගයක් තිබෙනවා. එනටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ වැඩත් තියෙනවා. බැංකුවල අයත් හමුවෙන්න එනවා”ශෝකය පළකරමින් මංගල කීවේය.

එහෙත් මංගල බණ පිංකමට සහභාගීවීමට මැදමුලනට ගියේය. මංගල එහි යන විට බණ අවසන්වී තිබුණි. එහෙත් මහින්ද සමග ඇතුළු සාලයට ගිය මංගල දිගු වේලාවක් කතා කරමින් සිටියේය. එම කතාබහ යන අතරවාරයේදී ගෝඨාත් එතැනට ආවේය. ගෝඨා මංගල පිළිගත්තේ අතට අත දෙමිනි.

 කැබිනට් රැස්වීමට නැති ඇමැතිවරු

මේ සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ ජනාධිපති ‍ලේකම් කාර්යලයේදීය. මේ සතියේ කැබිනට් රැස්වීමට ඇමැතිවරු විශාල පිරිසක් පැමිණ සිටියේ නැත. ඇමැතිවරු දහයකට වඩා වැඩි පිරිසක් විදේශ ගතව සිටි අතර තවත් ඇමැතිවරු බොහෝ පිරිසක් මොනරාගල බලා ගොස් තිබුණේ එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ සංවිධාන කටයුතුවලට සහභාගීවීම නිසාය. ඒ නිසා කැබිනට රැස්වීම වැඩි වේලාවක් පැවැත්වුණේ නැත.

කැබිනට් රැස්වීම අවසන්වීමෙන් පසුව රාජිත සේනාරත්න ඇමැතිවරයා මෛත්‍රී හමුවීමට ගියේය.

“සර්, මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ හා රන් භාණ්ඩ අලෙවිකරුවන්ගේ සංගමය මාත් එක්ක සාකච්ඡාවක් පැවැත්වුවා. අපි බදු පැනවීමෙන් මුහුණදෙන තත්ත්වය ඒ අය පැහැදිලි කළා. මගේ ආසනයේ මැණික් වෙළෙඳාම් කරන බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ අයත් මේ ප්‍රශ්න නිසා පීඩාවට පත්වෙලා ඉන්නේ” රාජිත පැහැදිලි කළේය.

“මේ ප්‍රශ්නය මීට කලිනුත් කතා කළා. මුදල් අමාත්‍යාංශය මේකට විසඳුම් දෙන බවට ‍පොරොන්දු වුණත් ඒක ඉටු වෙලා නෑ. මේ ගැන ජාතික ආර්ථික සභාවේදී කතා කරමු”මෛත්‍රී යෝජනා කළේය.

“මහ බැංකුවේ අයත් එතැන ඉන්න නිසා මේක එතැනදී කතා කරන එක හොඳයි”රාජිත කීය.

“විශ්ව විද්‍යාලවලට ආචාර්ය මහාචාර්යවරුන්ගේ හිඟයක් තියෙනවා. එකට විසඳුමක් දෙන්න ඕන” රාජිත කීවේය.

ඒකත් ආර්ථික සභාවට දාන්න”මෛත්‍රී කීවේය.

 චතුරගේ මගුල්ගේ

පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්නගේ විවාහ මංගල උත්සවය අරලියගහ මන්දිරයේ පැවැත්වීම ගැන සාකච්ඡා කර තිබුණේ දැනට සති කිහිපයකට පෙර සිටය. ඒ ගැන රනිල් සමග කතා කර තිබුණේ රාජිතය. ඒ අනුව චතුරගේ විවාහ මංගල උත්සවයේ කටයුතු සඳහා දින වෙන් කෙරිණි. එහෙත් විවාහ මංගල උත්සවයේ ආරාධනා පත්‍ර ආරාධිතයන් අතට යැව්වේ අවසාන මෙහොතේදීය. එහෙත් එම ආරාධනා පත්‍රය කාගේත් සිත් ගත් එකක් විය. රෝස මල් පෙතිවලින් සකස් කළ කර වීදුරු ආවරණයකින් නිමවා තිබූ ආරාධනා පත්‍රය විශාල බරකින් යුක්ත විය. අවසාන මෙහොතේදී ආරාධනා යවන විට ඇතැම් අය චතුරගෙන් ඇසුවේ අවසාන මොහොතේදී ආරාධනා පත්‍රය යවන්නේ ඇයිදැයි කියාය.

“මේකට එන්නේ මගේ යාළුවෝ. ඒ නිසා ඒ අය කොයි වෙලාවක කිව්වත් මගේ වැඩකට එනවා”චතුර කීවේය. චතුර කී ලෙසටම අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාව පිරී ඉතිරී යන්නට මැති ඇමැතිවරු, ව්‍යාපාරිකයෝ, මාධ්‍ය මිතුරෝ මෙන්ම පාක්ෂිකයෝද පැමිණ සිටියහ.

“දැන් මේක අරලියගහ මන්දිරයේ ගන්නවා කිව්වම කට්ටිය හැමෝම එක එක ඒවා කියන්න ගනීවි”චතුරගේ හිතවතෙක් කීවේය.

“නොමි‍ලේ නමෛයිනේ මේක ලැබෙන්නේ. මගේ යාළුවෝ අරලියගහ මන්දිරයට ගෙවලානේ ඒක අරගෙන තියෙන්නේ”චතුර උත්තර දුන්නේය.

චතුර උදෑසන ඡායාරූප ගෙන අරලියගහ මන්දිරයට එන විට නේපාලයේ නිල සංචාරයක නිරතවෙමින් සිටි ජනපති මෛත්‍රීගෙන් දුරකථන ඇමතුමක් ලැබුණේය

“ඔයාගේ වෙඩින් එකට ඕන දේවල් තියෙනවා නම් කියන්න. දැන් හෝල් එකට යන ගමන්ද ඉන්නේ”මෛත්‍රී විමසුවේය.

“අපි දැන් මේ ෆොටෝ ගන්න ගමන් ඉන්නේ”චතුර කීවේය.

“ෆොටෝ ගන්න ඕන නම් ජනාධිපති මන්දිරයට යන්න. එතැන ඕන විදිටය ෆොටෝ ටික ගන්න”මෛත්‍රී කීවේය. ඒ අනුව චතුර සිය බිරිඳ සරූපාද කැටිව ජනාධිපති මන්දිරයට ගොස් මන්දිරය ඉදිරිපිට ඡායාරූප ගත්තේය.

රනිල් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති කොළඹ ආරක්ෂක සමුළුවේ ප්‍රධාන දේශනය කර නැවත අරලියගහ මන්දිරයට පැමිණියේ චතුරගේ විවාහ මංගල උත්සවයට සහභාගීවීමටය.

“අද වැඩ ගොඩක් තියෙනවා. ඉක්මනට අරලියගහ මන්දිරයට එන්න. චතුර මන්ත්‍රීතුමාගේ වෙඩින් එක අරලියගහ මන්දිරයේ ලොකු හෝල් එකේ තියෙන්නේ. රනිල් කීවේ සිය බිරිඳ මෛත්‍රීට ඇමතුමක් දෙමිනි.

රනිල් උත්සව ශාලාවට පැමිණ රාජිත ඇතුළු මැති ඇමැතිවරුන් අසුන්ගෙන සිටි මේසයේ අසුන්ගත්තේය. මහින්දගේ කාලයේදී විවාහ ගිවිසගැනීම් හා උත්සව සඳහා අරලියගහ මන්දිරය විවෘත වී තිබුණි. එහෙත් මේ ආකාරයට විශාල ආරාධිතයන් සංඛ්‍යාවක් ඇතිව විවාහ මංගල උත්සවයක් ගෙන තිබුණේ නැත. මේ ගැන එහි පැමිණ සිටි මැති ඇමැතිවරුන්ට තිබුණේ කුතුහලයකි.

අරලියගහ මන්දිරයේ ලොකු හෝල් එක බොහෝ දවස්වල වහලා තියෙන්නේ. ඒක විශ්වාසය තහවුරු කළ හැකි අයගේ උත්සවලට දීලා ආදායම් ගන්න අපේ නිලධාරීන් තීන්දු කරලා තියෙනවා. එතකොට ඒ සල්ලිවලින් ඒකේ එදිනෙදා වියදම් පියවාගන්න පුළුවන්රනිල් පැහැදිලි කළේය.

මෛත්‍රී මේ දිනවල නේපාලයේ සංචාරයක නිරතවන නිසා ඔහුට විවාහ මංගල උත්සවයට සහභාගීවීමට හැකිවූයේ නැත. එහෙත් ජනාධිපති දියණිය චතුරිකා සිරිසේන එහි ගොස් බොහෝ වේලාවක් රැඳී සිටියාය.

ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ මැති ඇමැතිවරුද ආරාධනා ලැබසිටි අය අතර වූහ. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු විශාල පිරිසක් එහි පැමිණ සිටියහ.

විවාහ මංගල  උත්සවලදී මනමාලයා හෝ මනමාලිය මංගල සභාව අමතන සිරිතක් නැතත් චතුර විවාහ මංගල උත්සවයේ දී කතාවක් කළෙ බිරිඳ සරූපාද ළඟ තබාගෙනය.

“මෙතැන මගේ ඥාතීන් ඉන්නේ විස්සකට වඩා අඩු සංඛ්‍යාවක්. මෙතැනට එක ව්‍යාපාරිකයෙක් හරි ඇවිත් ඉන්නවා කියලා පෙන්නුවොත් මම හෙට මේ තනතුරුවලින් ඉල්ලා අස්වෙනවා. මෙතැන ඉන්නේ මම වෙනුවෙන්, සිවිල් ව්‍යාපාරය වෙනුවෙන් ‍ලේ කඳුළු හලපු අය. මට අද තෑග්ගක් විදියට ශ්‍රී ලංකා මහජන පක්ෂයේ කාන්තා සංවිධානයේ ඉන්න කෙනෙක් මම 1990 දී ලියපු ලියමක් ගෙනැත් දුන්නා. එයාගේ පුතා විදේශගතවන අවස්ථාවේදී අපි දේශපාලනය කරන හැටි ගැන තමයි ඒ ලියුමේ ලියලා තිබුණේ. කුඩා දරුවෙක්ගේ ඇසින් දේශපාලනය කරන හැටි ගැන ඒකේ ලියලා තිබුණා. එදා සිට අද වෙනකම් අපිත් එක් හිටපු අයට තමයි මම ආරාධනා කළේ. මට නැකැත් ලැබුණ වෙලාවේ මේ වගේ එකක් ගන්න කිසිම උත්සව ශාලාවක් හිස්ව තිබුණේ නෑ. ඒ වෙලාවේදී අගමැතිතුමා තමයි මට මේ ශාලාව ලබාදීමට කටයුතු කළේ. සාමාන්‍ය අයෙක්ට සල්ලිවලට ගන්න වෙන දේවල් මම නිකම් ගත්තා. ‍පෝරුවේ ඉඳලා වාඩිවෙලා ඉන්න පුටුව දක්වා හැම එකක්ම කළේ ප්‍රජාවේ තරුණ තරුණියන්. වෙනස්ම විදියක ආරාධනා පත්‍රය හැදුවේත් මගේ සහෘදයින්”චතුර කීවේය.

හිරුණිකාගේ  කණ්ණාඩියට කී කතා

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය උත්සවයට පැමිණ තිබුණේ සිය සැමියා හා දරුවා සමගය. වෙනදාට කණ්ණාඩි දමාගෙන සිටින හිරුණිකා මෙදින පැමිණ තිබුණේ කණ්ණාඩිය නැතිවය. ඒ ගැන අවධානය යොමු වූයේ මාධ්‍යවේදින් පිරිසක් වාඩිවි සිටි මේසය අසලින් ඇය යන විටය.

“මොකද මේ අපි දැක්කේ නැතිව වගේ යන්න හැදුවේ”රූපවාහිනී මාධ්‍යවේදියෙක් ඇයගෙන් ඇසුවේය.

“අනේ මේ කණ්ණාඩි දෙක නැතිව මම දැක්කේ නෑනේ”යැයි කියමින් ඇය මාධ්‍යවේදීන් සිටි මේසයේම අසුන් ගත්තාය.

“තව ටික දවසකින් ඉතිං තවත් පේන්නේ නැතිව යනවානේ”මාධ්‍යවේදියෙක් කීවේ විහිළුවටය.

“අනේ.. මේ..”හිරුණිකාද එය විහිළුවකටම ගත්තාය.

“නෑ.. මම මේ කියන්නේ තව ටික දවසකින් හතළිස් ඇඳිරිය එනවානේ. එතකොට තවත් ටිකක් පෙනීම අඩු වෙනවා”මාධ්‍යවේදියා කීවේ තමන් ද පැලද සිටී උපස් යුවළ යටින් බලමිනි.

“ඔයාලා මේ විහිළු කරනවා. මම මේ පුතා හොයනවා. අපේ අක්කා කෙනෙක් එක්ක තමයි පුතා හිටියේ. දැන් එයා පේන්න නෑනේ”හිරුණිකා තමන්ගේ පුතා සෙවීමට නැගිට ගියාය.

චතුරගේ විවාහ මංගල උත්සවයට පැමිණි පාක්ෂිකයන්ට අලංකාරවත් කේක් පෙට්ටියක් සුදානම් කර තිබුණි. ඒ අතරම පාක්ෂිකයන්ට ආරාධනා  පත්‍රයක් වෙනුවට යවා තිබුණේ ලිපියකි. එම ලිපිය රැගෙන උත්සවයට පැමිණි පිරිස උත්සවයෙන් පිටව යාමට පෙර පේළි සැදී සිටියේ චතුරගේ අලංකාරවත් ආරාධනා පත්‍රය ගැනීමටය.

තිලකජය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.