lakbima.lk

ඉන්දීය-ජපන් රාජ්‍ය තාන්ත්‍රිකයෝ ලංකාවේ දේශපාලනය කළඹති

සුපුරුදු පරිදි මේ සතියේ අඟහරුවාදාත් කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්ය. පසුගිය සතියේදී මෛත්‍රීගේ තරමක අසනීප තත්ත්වය නිසා කැබිනට් රැස්වීම කෙටි වේලාවකට සීමාවූ නමුත් මේ සතියේ කැබිනට් මණ්ඩලයේදී අධීක්ෂණ මන්ත්‍රීවරු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අදහස් හුවමාරු විය.

“අධීක්ෂණ මන්ත්‍රීවරු පත් කළාට කිසිම ගෙවීමක් කරන්න එපා. ඒ අයගේ සේවය පමණක් අපි ගනිමු”අගමැති රනිල් වික්‍රමසිංහ යෝජනා කළේය.

“ගෙවීම් විතරක් නමෛයි කාර්යාල පහසුකම්වත් දෙන්න ඕන නෑ”මෛත්‍රී එයට තවත් එකක් එක් කළේය.

“ඒ වුනාට සර්, ඒ අය අමාත්‍යාංශයේ වැඩ වලට සම්බන්ධ වෙනවා නම් වාහනයකුයි තෙලුයි දෙන්න ඕන”මහින්ද අමරවීර යෝජනා කළේය.

“මීට කලිනුත් අධීක්ෂණ මන්ත්‍රීවරු පත් කළානේ. ඒ අයටත් එහෙම පහසුකම් දුන්නේ නෑ”මෛත්‍රී අමරවීරගේ යෝජනාවට විරුද්ධ විය.

“ඒ වුණාට ගිය ආණ්ඩුව කා‍ලේදී බැසිල් රාජපක්ෂ අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට වාහනයකුයි තෙලුයි දුන්නානේ”එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරු පැවසූහ.

“මන්ත්‍රීවරුන්ට වැඩ කරන්න කියන්න. අමුතුවෙන් පහසුකම් දෙන්න අවශ්‍ය නැහැ. ඒ හැමෝම ඇවිත් ඉන්නේ මහජන සේවාවක් කරන්න. මම අධීක්ෂණ මන්ත්‍රී කෙනෙක් පත් කරලා තියෙනවා කියලා නිරෝෂන් පෙරේරා ඇමැතිතුමා පාර්ලිමේතුවේදී කියලා තිබුණා.  ඒ මලිත් ජයතිලකයි. ලක්ෂ තුනක් මලිත්ට දෙනවා කියලා තිබුණා. අධීක්ෂණ මන්ත්‍රීවරයෙක් විදියට මලිත්ට සත පහක්වත් දීලා නෑ. එයාට ලැබෙන්නෙ මන්ත්‍රී වරප්‍රසාදය විතරයි. මේ කතාවෙන් පාර්ලිමේන්තුවත් නොමග යවලා තියෙනවා”මෛත්‍රී චෝදනා කළේය.

 නිමල් සිරිපාලට මෛත්‍රීගෙන් බාල්දියක්

ඉන් පසුව සාකච්ඡාවට ගැණුනේ ත්‍රිරෝද රථ තහනම පිළිබඳවය.

“අවුරුදු දහ අට සම්පූර්ණවූ ඕනෑම අයෙක්ට රියැදුරු බලපත්‍රයක් ගන්න පුළුවන්. ඒ නිසා ත්‍රීවීල් පදින්න වයස් සීමාවක් දාන්න බෑ”විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා නීති තර්කයක් මතු කළේය.

“ත්‍රිරෝද රථ රැකියාව නිදහසේ කරන්න පුළුවන් රැකියාවක්. අලුත් නීති රීති ගෙන එන එක මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්”මංගලත් විජයදාසගේ විරෝධයට එක්විය.

“දැන් ත්‍රීරෝද රථ වසංගතයක් වෙලා. ඒ නිසා නීති පැනවීමට තීරණය කර තිබෙනවා”ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ඔවුන්ගේ කතාවට විරුද්ධ විය.

“ගම්වල ඉන්න තරුණයෝ ඉස්කෝ‍ලේ ගිහින් ඉවර වුණ ගමන් ත්‍රීවීල් එකක් ගන්නවා. සමහරු ස්වයං රැකියාවක් විදියට මේක කරනවා. ත්‍රීවීල් පාක් වල ත්‍රීවීල් වැඩි නිසා හයර් නෑ. ඒ නිසා අයථා වැඩ වෙනවා. මේක තමයි ප්‍රශ්නේ. ඒක නිසා විකල්ප ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න ඕන”රාජිත සේනාරත්න ඇමැතිවරය යෝජනා කළේය.

“ත්‍රීවීල් ආනයනය කරන එක සීමා කරන්න ඕන. ඒ වගේ එකකට අපි අවධානය යොමු කරමු”මෛත්‍රී කළ යෝජනාවට කිසිදු විරෝධයක් මතු නොවීය.

 වර්ජකයන් එකඟ නෑ

පසුගිය දිනවල වැඩ වර්ජනයක නිරතවූ දුම්රිය  වර්ජකයෝ මෛත්‍රී හමුවීමට බ්‍රහස්පතින්දා දවසේ පැමිණියහ. ඒ වර්ජනයේ ඉල්ලීම් ගැන සාකච්ඡා කිරීමටය.

“මම වැටුප් ප්‍රශ්න ගැන සොයා බලා විසඳුම් යෝජනා කිරීමට පහළොස් දෙනෙකුගේ කමිටුවක් පත් කරලා තියෙනවා. ඔයාලාගේ ප්‍රශ්නයත් මම ඒ කමිටුවට දීලා තියෙන්නේ. එතැනින් ස්ථිර විසඳුමක් යෝජනා කරාවි. එතකම් ටිකක් ඉවසාගෙන ඉන්න”මෛත්‍රී කීවේය.

“ඒ වුණාට සර් අපේ සංගමයේ අය ආයිමත් වර්ජනයකට යන්න ඕන කියලා කියනවා”වර්ජකයින් ස්ථිර විසඳුමක් එන තෙක් බලා සිටීමට සූදානම් නොවීය.

මෛත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හමුවූයේ ඉන් පසුවය. එහිදී වැඩි අවධානයක් යොමුවූයේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම කෙරෙහිය. දැනට කර තිබෙන සීමා නිර්ණය වාර්තාවට පක්ෂ වන්නේද විරුද්ධ වන්නේද යන්න ගැන එහිදී සාකච්ඡාවට ලක්විය.

මේ සාකච්ඡාව යන අතරවාරයේදී එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් ඇමැතිවරු පිරිසක් මෛත්‍රී හමුවීමට පැමිණ සිටියහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ හමුව අවසන් වන තෙක් ඔවුහු වෙනත් කාමරයකට වී බලා සිටියහ.

“දැන් එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් ඇමැතිවරු කීප දෙනෙක් මම හමුවෙන්න ඇවිත් ඉන්නවා. අපේ කැබිනට් ඇමැතිතුමන්ලා විතරක් ඒකට හිටියාම ඇති”මෛත්‍රී කීවේ මන්ත්‍රීවරුන්ට හා නියෝජ්‍ය ඇමැතිවරුන්ට සමු දෙමිනි. ඉන් පසුව එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරු එහි පැමිණි අතර  ඔවුන් සමග මෛත්‍රී සාකච්ඡා කළේද සීමා නිර්ණය වාර්තාව පිළිබඳවය.

“එක්සත් ජාතික පක්ෂය කණ්ඩායමක් විදියට මේ සීමා නිර්ණය කමිටු වාර්තාවට විරුද්ධයි”එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරු මෛත්‍රීට පැවසූහ.

එජාප ඇමැතිවරු එම තීරණය ගෙන තිබුණේ රනිල්ගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා රාත්‍රියේ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන්ගේ හමුවකින් පසුවය.

“ඒකාබද්ධයත් මේකට විරුද්ධව ඡන්දය දෙනවා කියලා ඩලස් අලහප්පෙරුමයි, දිනේෂ් ගුණවර්ධනයි පාර්ලිමේන්තුවේදී කියලා තිබුණා. ඒ නිසා අපේ පක්ෂයත් මේකට විරුද්ධව ඡන්දය දෙමු”රනිල් අවසානයේදී කීවේ පළාත් සභා මැතිවරණය ජනවාරියේදී පැවැත්විය යුතු බවත් එයට එක්සත් ජාතික පෙරමුණද සූදානම් විය යුතු බව කියමිනි.

“එක්සත් ජාතික පෙරමුණේ වැඩකටයුතු ගැන ජනාධිපතිතුමා දැනුවත් කරන්න ඕන” රනිල් යෝජනා කරන විට මන්ත්‍රීවරු කිහිප දෙනෙක් පැවැසුවේ තමන් ගොස් මෛත්‍රී හමුවන බවය.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම කැඳවූයේ ඉන් පසුවය. එහිදී සාකච්ඡා වූයේද සීමා නිර්ණය වාර්තාව ගැනය.

සර් අපිම ගේන එකකට අපිම විරුද්ධ වෙන එක හරි නෑනේ මන්ත්‍රීවරයෙක් කීවත් රනිල් කීවේ එය ගැටලුවක් නොවන බවය.

රනිල් - සාගල -ප්‍රියාන්  ගිය මඟුල් ගෙදර

පසුගිය සතියේදී රනිල් සාගල රත්නායක ඇමැතිවරයාද කැටුව හෙලිකොප්ටරයෙන් දඹුල්ලට ගියේය. ඒ විවාහ මංගල උත්සවයකට සහභාගීවීමටය. එහි මනාලිය වූයේ රනිල්ගේ ආරක්ෂක අංශයේ සේවය කරන නිලධාරිනියකි. මනාලයා වූයේ සාගලගේ ආරක්ෂක අංශයේ සේවය කරන නිලධාරියෙකි. දඹුල්ල ජෙට්වින් ‍ලේක් හෝටලයේ පැවැති උත්සවයට රනිල් රැගෙන පැමිණි හෙලිකොප්ටරය දඹුල්ල කෘෂිකර්ම දෙපාර්තමේන්තු ක්‍රීඩාංගණයට පැමිණ තිබුණි. එතැන් සිට හෝටලයට ගිය රනිල් දඹුල්‍ලේ එජාප සංවිධායක ප්‍රියාන් විජේරත්න තමන් සිටි මේසයටම කැඳවා ගත්තේය.

සර් මම ටිකක් කලින් යනවා. අද හවස ගම්රෙළිය වැඩසටහන ගැන රැස්වීමට යන්න ඕනනේ ප්‍රියාන් රනිල්ට කීවේය.

මමත් එක්ක චොපර් එකේ යන්න එන්න රනිල් කළ යෝජනාව ඉවත දැමීමට ප්‍රියාන්ට නොහැකි විය.

ටික වේලාවක් උත්සවයේ සිටි රනිල් නැවත කොළඹ බලා පැමිණීමට පිටත් විය. රනිල් සහ සාගල එකම වාහනයකින් හෙලිකොප්ටරය නවතා තිබූ තැනට පැමිණියහ. හෙලිකොප්ටරයේදී රනිල් මැදි කරගෙන වාඩිවූ සාගලත් ප්‍රියානුත් කතා කළේ සංචාරක ව්‍යාපාරය ගැනය.

කොහොමද දඹුල්‍ලේ සංචාරක ව්‍යාපාරයේ තත්ත්වය රනිල් ඇසුවේය. ප්‍රියාන් තරුපහේ හෝටල් කළමනාකරුවකුව සිටි බැවිනි.

දැන් තත්ත්වය හොඳයි ප්‍රියාන් කීවේය.

ඉස්සරහට සංචාරක ව්‍යාපාරය මීට වඩා දියුණු කරන්න ඕන. ඒකට අපි හොඳ මාකටිං වැඩපිළිවෙළක් කරන්න අවශ්‍යයි. දඹුල්ල වගේ පළාත්වල හෝම් ස්ටේවලට හොඳ මාකට් එකක් හදන්න පුළුවන් රනිල් කොළඹට එනතෙක්ම කතා කළේ සංචාරක ව්‍යාපාරය ගැනය.

සංචාරක ව්‍යාපාරය ගැන අත්දැකීම් තියෙන අයගේ උදව් මේකට අරගන්න ඕන සර්සාගල කීවේ ප්‍රියාන් දෙස බලමිනි.

 නාමල්ගේ ඇමතුමෙන් මහින්දට ඇඬෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පවු‍ලේ සිව්වැන්නා වූ චන්ද්‍රා රාජපක්ෂ පසුගිය සතියේදී අභාවප්‍රාප්ත විය. ඔහු හදිසි අසනීප තත්ත්වයක් නිසා ඊට දිනකට පෙර තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබුණි. ඔහු රෝහල් ගත කර ඇති බව පවු‍ලේ හිතවතෙක් මහින්දට දුරකථනයෙන් දැනුම් දී තිබුණි.

තංගල්‍ලේ ඉඳලා හරියන්නේ නෑ. කොළඹ අරගෙන එන්න මහින්ද කීවේය. එහෙත් කොළඹ ඒමට චන්ද්‍රා කැමැති වූයේ නැත.

මහින්දට ඒ ආරංචිය එන විට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිටියේ කුමාර වෙල්ගම, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් සමග රත්මලාන දුම්රිය අංගනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනි. මේ අතරවාරයේදී නාමල්ට මහින්දගෙන් දුරකථන ඇමතුමක් ලැබුණේය

චන්ද්‍රා බාප්පා අසනීප වෙලා. දැන්මම තංගල්ලට යන්න මහින්ද නාමල්ට උපදෙස් දුන්නේය. ඒ අනුව නාමල් තංගල්ල බලා පිටත්ව ගියේය. ඔහු තංගල්ල බලා යන අතරවාරයේදී දුරකථන ඇමතුමක් ලැබුණේය. එම ඇමතුමෙන් කියවුණේ ඔහු මියගොස් ඇති බවය.

ඒ ඇමැතුම ලැබුණ වහාම නාමල් මහින්දට දුරකථන ඇමැතුමක් ගෙන කනගාටුදායක ආරංචිය කීවේය. නාමල්ගේ ඇමතුමෙන් මහින්දට ඇඬුණේය. ටික වේලාවක් අඬමින් සිටි මහින්ද ඇමෙරිකාවට දුරකථන ඇමතුම් ගත්තේය. ඒ මේ දිනවල ඇමෙරිකාවේ සිටින බැසිල්ට හා ගෝඨාට හා එහිම පදිංචිව සිටින ඩඩ්ලිට දැනුම් දීමටය.

මැදමුලන ගෙදරට යන්න. ගෙදර අවමඟුල කරන්න කටයුතු සූදානම් කරන්න යැයි කී මහින්ද ගියේ සොයුරාගේ දේහය තැන්පත් කර තිබූ මල් ශාලාවටය.

මේ අතරවාරවාරයේදී භාරතීය ජනතා පක්ෂයේ සභාපති සුබ්‍රමනියම් ස්වාමි හමුවීමට මහින්ද දින වෙන් කරගෙන තිබුණි. ඉන්දියාවේ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ලංකාවට පැමිණෙන බවට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම්දී තිබුණේ ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කිරීමටය. එසේ පැමිණෙන රාජ්‍ය තාන්ත්‍රිකයා කවුරුන්ද යන්න කලින් නොකියා සිටීමට ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය වග බලාගෙන තිබුණි. මේ අතරවාරයේදී මහින්දගේ කාර්යාලයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දී තිබුණේ සුබ්‍රමනියම් ස්වාමි ලංකාවට පැමිණෙන්නේ මහින්ද හමුවීමට බවය.

මහින්ද සුබ්‍රමනියම් ස්වාමි කොළඹදී හමුවීමට නියමිතව තිබුණි. එහෙත් සිය සොහොයුරාගේ අවමඟුල නිසා ඔහුට කොළඹ පැමිණීමට නොහැකි විය. ඒ නිසා මැදමුලනට එන්නැයි සුබ්‍රමනියම් ස්වාමිට දැනුම්දී තිබුණි.

 ලංකාවට පැමිණි සුබ්‍රමනියම් ස්වාමි පිළිගැනීමට කටුනායකට ගොස් සිටියේ පසුගිය සතියේදී ප්‍රසිද්ධියේම මහින්දගෙන් බැණුම් අසාගත් ඔහුගේ පෞද්ගලික ‍ලේකම් උදිත ලොකුබණ්ඩාරය. කටුනායක සිට වෝටර්ස් ඒජ් හෝටලයට සුබ්‍රමනියම් ස්වාමි කැඳවාගෙන ආ උදිත ඔහුට උදෑසන ආහාරය පිළියෙළ කිරීමට කටයුතු කර තිබුණි. එතැන් සිට ඔවුහු හෙලිකොප්ටර් යානාවකින් වීරකැටිය බලා පිටත්ව ගියහ.

මැදමුලනට ආ සුබ්‍රමනියම් ස්වාමි පිළිගැනීමට ඉදිරියට පැමිණියේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාය. මැදමුලන නිවසේ තැන්පත් කර තිබූ දේහයට අවසන් ගෞරව දැක්වූ සුබ්‍රමනියම් ස්වාමි මහින්ද සමග නිවසේ ඇතුළු කාමරයකට ගියේ රහස් සාකච්ඡාවක් සඳහාය. එම සාකච්ඡාව අවසන් කළ මහින්ද සහ සුබ්‍රමනියම් ස්වාමි එකම වාහනයකට නැගී වීරකැටිය වත්තට ගියේය. ඒ දිවා ආහාරය සඳහාය. දිවා ආහාරය රැගෙන නැවත කොළඹ බලා සුබ්‍රමනියම් ස්වාමි පිටත් වන විට මහින්ද හෙලිකොප්ටරය අසලටම පැමිණියේය.

මට මළගෙදර නිසා එන්න විදියක් නැති වුණාට ඔබතුමා ලංකාවෙන් පිටත්ව යනකම් මගේ පෞද්ගලික ‍ලේකම්තුමා ඔබත් එක්ක ඉන්නවා මහින්ද කීවේ උදිත ලොකුබණ්ඩාර පෙන්වමිනි. උදිත සුබ්‍රමනියම් ස්වාමි සමග කොළඹ පැමිණ හිල්ටන් හෝටලයේදී තවත් හිටපු රාජ්‍ය නායකයෙක් සඳහා හමුවක් සූදානම් කළේය. ඒ මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් වෙනුවෙන්ය. ඒ අතර වාද්දුවට සුබ්‍රමනියම් ස්වාමි පැමිණියේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සමග සාකච්ඡාවකටය. මේ සාකච්ඡාව අතරවාරයේදී රනිල්ගෙන් දුරකථන ඇමැතුමක් ආවේය.

ඔබතුමා මම හමු නොවීමද යන්න හදන්නේ රනිල් අසා තිබුණේය.

මේක මගේ පෞද්ගලික හිතවතෙක් හමුවීමට පැමිණි අවස්ථාවක්නේ යැයි කියමින් ඔහු දුරකථනය විසන්ධි කළේය.

මේ අතර මහින්දගේ මළගෙදරට ශ්‍රීලනිපයේ දහසයේ කණ්ඩායමේ මන්ත්‍රීවරුද පැමිණ රැය පහන් කර තිබුණි. තිලංග සුමතිපාල, එස්.බි. දිසානායක ඇතුළු පිරිස මළගෙදරට වී කතා කරමින් සිටින අතරවාරයේදී නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා එහි පැමිණියේය.

සර්, ඔන්න අපි නිමල් ඇමැතිතුමාවත් ගෙන්වා ගත්තා දහසයේ කණ්ඩායමේ මන්ත්‍රීවරයෙක් කීවේය.

නිමල්ට ඉතිං මේවා නුපුරුදු තැන් නමෛයිනේ. එයාට ඕන වෙලාවක එන්න පුළුවන් මහින්ද කීවේ නිමල් සිරිපාල පිළිගනිමිනි. ඔහු පැමිණ අසුන් ගත්තේද අනෙක් මන්ත්‍රීවරු සිටි තැනමය.

මොකද නිමල් සීමා නිර්ණය වාර්තාවට කරන්න හදන්නේ මහින්ද මළගෙදරදීම දේශපාලනය කතා කිරීමට ගත්තේය.

අපි සර් පක්ෂව ඡන්දෙ දෙනවා නිමල් සිරිපාල කීවේය.

ආණ්ඩුව ඉතිං පනතට මුවාවෙලා ඡන්දේ කල් දාන්නනේ හදන්නේ කෙහෙළිය කීවේය.

අපි පනතට පක්ෂ වෙන්නේ ඡන්දය ඉක්මන් කරන්නයි නිමල් සිරිපාල පැවැසුවේය.

මොන ක්‍රමයකට හරි ඉක්මනට ඡන්දය තියන්න ඕන. ඡන්ද කල් දාන එක හොඳ වැඩක් නමෛයි. ඉතිහාසයේ ඕන තරම් තියෙනවා ඡන්ද කල් දාපු ආණ්ඩුවලට වෙච්ච දේවල්. එදා මැතිනිය 75දී තියන්න ඕන ඡන්දේ තිව්වේ 77දී. ඒ නිසා උඩින්ම පැරදුණා. පහුගිය කා‍ලේ පළාත් පාලන මැතිවරණයේදී මේ ආණ්ඩුවට වුණෙත් ඒකමයි. මැතිවරණ කල් දැම්මා කියලා පරාජයෙන් ගැලවෙන්න බෑ. මේවා ආණ්ඩුව තේරුම් ගන්න ඕන මහින්ද කීවේ නිමල් සිරිපාල දෙස බලමිනි.

සුබ්‍රමනියම් ස්වාමි හම්බන්තොටට පැමිණ මහින්ද හමුවන විට තවත් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් හම්බන්තොටට පැමිණියේය. ඒ ජපානයේ ආරක්ෂක ඇමැති ඉසොනොරි ඔනෙඩේරාය. ඔහු ජපානයෙන් පිටත්වූයේ ලංකාවේ සංචාරයකට පමණක් නොවේ. ලංකාවට පැමිණීමට පෙර ඔහු ඉන්දියාවට ගියේය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමගත් සාකච්ඡා කළ ඔහු ලංකාවට පැමිණියේය. ලංකාවට පැමිණි ඔහු පිළිගැනීමට කටුනායක ගුවන් තොටුපලට ගොස් සිටියේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නය.

කොළඹට පැමිණි ඔහු තිරිකුණාමලය නාවික හමුදා කඳවුරට ගියේය. එහිදී ආරක්ෂක තත්ත්වයන් ගැන අවධානය යොමු කළ ඔහු තිරිකුණාමලය වරායේ ඒ වන විට නවතා තිබූ ජපාන ස්ව ආරක්ෂක නෞකාවට ගොස් එය නිරීක්ෂණය කළේය. ඉන් පසුව ඔහු ගියේ තිරිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය නැරඹීමටය. එතැන් සිට හෙලිකොප්ටරයෙන් ඔහු කෙළිින්ම පැමිණියේ හම්බන්තොටටය. ඒ මත්තල ගුවන් තොටුපළටය. එතැන් සිට ඔහු හම්බන්තොට වරායට ගියේය. වරායට ඔහු යන විට මාධ්‍යය වරය තුළට ගෙන නොයාමට ඔහු වග බලාගෙන තිබුණේය.

හම්බන්තොට වරායේ චීන මැදිහත්වීම ගැන ඔහු අවධානය යොමු කර තිබුණි.

හම්බන්තොට වරාය චීනයේ කඳවුරක් විය යුතු නෑජපානයේ ආරක්ෂක ඇමැතිවරයා චීන මැදිහත්වීම්වලට ඇති අකමැත්ත ප්‍රකාශ කළේය.

නැවත කොළඹ පැමිණි ඔහු මෛත්‍රී හමුවීමට පැමිණියේය. එහිදී ජපානය හා ලංකාව අතර ඇති සම්බන්ධතා තර කරගන්නා ආකාරය ගැන මෙන්ම චීන මැදිහත්වීම් පිළිබඳවද දීර්ඝ ලෙස අදහස් හුවමාරු කරගෙන තිබුණි.

 විරෝධතාකරුවන්ට මැකෝගෙන් චීස්

පළාත් සභා මැතිවරණය  කඩිනමින් පවත්වන ලෙස ඉල්ලමින් පළාත් සභා හිටපු නියෝජිතයෝ පිරිසක් මැතිවරණ ‍ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් දැක්වූහ. මේ විරෝධතාව අවසානයේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය හමුවීමට අවශ්‍ය යැයි පණිවුඩයක් යවා තිබුණි.

එන්න කියන්න ඒ අයටමහින්ද දේශප්‍රිය කියා තිබුණේ සුපුරුදු ගැඹුරු හඩිනි.

ඒ අනුව විරෝධතාකරුවෝ මහින්ද දේශප්‍රියගේ කාමරයට පැමිණියහ.

ආ..එන්න..එන්න.. දැන් කෑ ගහලා උගුර එහෙම අමාරු ඇතිනේ. මම ඔන්න බිස්කට් එක්ක චීස් ලෑස්ති කළා. බිස්කට් එකක් කාලා තේකක් බිලා කතා කරන්න එන්නමහින්ද දේශප්‍රිය සාකච්ඡාව ආරම්භ කළේය.

තිලකජය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.