lakbima.lk

රහස් ‍පොලීසිය මහින්දගේ නිවසට ගියේ ඇයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සති අන්තයේ සිටියේ ‍පොළොන්නරුවේය. ඒ වන විටත් දුම්රිය වර්ජනය ක්‍රියාත්මක වෙමින් තිබූ අතර මහින්ද අමරවීර ඇමැතිවරයාගෙන් ඔහුට දුරකතන ඇමතුමක් ලැබුණේය.

“සර් මාත් එක්ක දුම්රිය වෘත්තීය සමිති කතා කළා. ඒ අයට සර් එක්ක සාකච්ඡාවක් කරන්න ඕනලු”අමරවීර කීවේය.

“මම දැන් ඉන්නේ ‍පොළොන්නරුවේ. කැමැතිනම් මෙහේ එන්න කියන්න. මම කතා කරන්නම්”මෛත්‍රී කීවේය. ඒ අනුව අමරවීර එම පණිවුඩය දුම්රිය වෘත්තීය සමිතිවලට දැනුම් දුන්නේය. ඒ අනුව ඔවුහු පසුදා උදෑසනම ‍පොළොන්නරුව බලා පිටත්ව ගියහ. වෘත්තීය සමිති නියෝජිතයන් එන විට මෛත්‍රී සිටියේ උදෑසන ආහාරය ගනිමිනි.

“ඔයාලා කොළඹ ඉදලාම නේද එන්නේ. කාලද ඉන්නේ”මෛත්‍රී ඇසුවේය.

“හරි සර් හරි”යැයි වෘත්තීය සමිති නියෝජිතයින් කීවා මිස වෙන කිසිවක් කියන්න ගියේ නැත.

“උදේ පාන්දරම නේද එන්න ඇත්තේ. වාඩිවෙලා මාත් එක්ක කෑම ටිකක් කමු”මෛත්‍රී කී විට වෘත්තීය සමිති නියෝජිතයෝ කෑම මේසයට වාඩි වූහ.

“ඔය අය එකපාරම වැඩ වර්ජන කරන්න ගියාම ජනතාව අපහසුතාවට පත්වෙනවා. මේ පාර වර්ජනය නිසා ඉස්කෝල ළමයින්ට විභාගයට යන එකට කරදර වුණා. වෘත්තීය ඉල්ලීම් ඉදිරිපත් කරන්න ඕන බව මම පිළිගන්නවා. ඒත් මේවා කරන්න ඕන ජනතාව අපහසුතාවට පත් නොවෙන විදියට”මෛත්‍රී කීවේය.

“අපේ ඉල්ලීම් ඉටු කරන්න බලන්න. අපි අදම වර්ජනය අවසන් කරන්නම්”වර්ජකයෝ සහතිකයක් දුන්හ.

“මොනවාද ඔයාලට තියෙන මූලික ප්‍රශ්න”මෛත්‍රී වෘත්තීය ඉල්ලීම් ගැන අවධානය යොමු කළේය.

“දුම්රිය රියැදුරන් හා රිය සහායකයින් දැන් එකම ග්‍රේඩ් එකකට අරගෙන ඇවිත් තියෙනවා. මේ නිසා අපිට වැඩ කරගෙන යන්න අමාරු තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ. ඒ අය අපි කියන දේවල් පිළිගන්නේ නැති තත්ත්වයක් තියෙන්නේ. අපි මීළග ශ්‍රේණියට තියන්න කියන එක තමයි අපේ ඉල්ලීම වෙන්නේ”වෘත්තීය සමිති නියෝජිතයෝ පැවැසූහ.

“ඔයාලාගේ ප්‍රශ්න සාධාරණයි. ආණ්ඩුවක් විදියට අපි ‍පොදුවේ ගත යුතු පියවර ගන්නම්”මෛත්‍රී සහතිකයක් දුන්නේය.

මේ සාකච්ඡාව යන අතරවාරයේදී මෛත්‍රී, මංගලට, රාජිතට සහ සරත් අමුණුගමට දුරකතන ඇමැතුම් දුන්නේය. ඔවුන් සමගද ප්‍රශ්නය ගැන සාකච්ඡා කළේය.

“මේ අයගේ ප්‍රශ්නය ගැන අවධානය යොමු කරන්න. ගන්න ඕන පියවර අරගෙන ප්‍රශ්නවලට විසඳුම් දෙන්න”මෛත්‍රී ඔවුන් තිදෙනාටම කීවේය.

සඳුදා දිනයේදී ‍පොළොන්නරුවේ සිට පැමිණි මෛත්‍රී හොරණට පැමිණියේ රණවිරු රියල් ස්ටාර් වැඩසටහනේ අවසන් වටයට තේරී පත්වූ රණවිරුවන්ට  නිවාස දීමේ වැඩසටහට සහභාගිවීමටය. එහි ගොස් යළි කොළඹ එන විට මෛත්‍රී සිටියේ තරමක් අසනීප ගතියෙන් යුතුවය.

 තවමත් තෙල් ප්‍රශ්න

සුපුරුදු පරිදි අඟහරුවාදා උදෑසන මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වුණේ ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදීය.  මෛත්‍රී කැබිනට් රැස්වීමට පැමිණියේ “අද මට සනීප නෑ. ඒ නිසා ඉක්මනට කැබිනට් එක ඉවර කරමු”යැයි කියමිනි.

මේ නිසා මේ සතියේ කැබිනට් මණ්ඩලයේදී කැබිනට් පත්‍රිකාවන්ට අමතරව වැඩි යමක් කතා කෙරුණේ නැත. එහෙත් රාජිත සයිටම් ගැන කතාවක් ඇදගත්තේය.

“සයිටම් එකේ ළමයි දැන් කේ.ඩී.යූ. එකට දාලා තියෙනවා. ඒ අයට ලක්ෂ දහතුනක් ගෙවන්න කියලා. මේ අය සයිටම් එකටත් සල්ලි දුන්නා. මේ ළමයි අතර දුප්පත් ළමයි ඉන්නවා. මේ නිසා මේ අයට සහනයක් දෙන්න ඕන”රාජිත අවධානය යොමු කළේය. එහෙත් එයට මෛත්‍රීගෙන් පැහැදිලි  පිළිතුරක් ලැබුණේ නැත.

මේ සතියේදීත් තෙල් ප්‍රශ්නය කැබිනට් මණ්ඩලයේදී ඇදී ආවේය

“දැන් තෙල් මිල ආයිමත් වැඩි කළා. මේක හැමදාම කරන්න බෑ”මෛත්‍රී කීවේ අර්ජුන රණතුංග ඇමැතිවරයා දෙස තදින් බලමිනි.

“ඉරානයෙන් ඩොලර් වලට තෙල් ගැනීමට නොහැකි විදියට සම්බාධක පනවලා තියෙනවා. ලංකාවේ පිරිපහදුවේ අනෙක් තෙල් පිරිපහදු කරන්න බෑ”අර්ජුන කීවේය.

“ඉරානයෙන් බැරිනම් වෙන රටකින් හරි තෙල් ගේන්න”මෛත්‍රී කීවේ තෙල් ප්‍රශ්නයට විසඳුම් දිය යුතු බව අවධාරණය කරමිනි.

“එහෙමනම් අපි රුපියල්වලින් තෙල් ගන්න ක්‍රමයක් බලමු. අපි තේකොළ දීලානේ ඉරානයෙන් තෙල් ගන්නේ. ඒ ගැන අපි අවධානය යොමු කරන්න ඕන”සරත් අමුණුගම ඇමැතිවරයා තෙල් ප්‍රශ්නය ගැන ගැඹුරින් කතා කරන්න විය.

“මේ තෙල් ප්‍රශ්නය විසඳන්න කමිටුවක් පත් කරමු”යැයි යෝජනා කළ මෛත්‍රී සරත් අමුණුගම ඇතුළු ඇමැතිවරුන් කිහිපදෙනෙක්ගෙන් සමන්විත කමිටුවක් පත් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය සතියේදී ගාල්ල බලා පිටත්ව ගියේ දිවංගත ඇමැති රිචඩ් පතිරණ ගුණ සමරුවට සහභාගී වීමටය. මහින්ද වාහනයෙන් බසින විටම එජාපයේ විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයා උත්සවයේ සිට එළියට පැමිණියේය. කාලයක් රිචඩ් පතිරණගේ පෞද්ගලික ‍ලේකම්වරයා ලෙස කටයුතු කිරීම නිසා ගුණ සැමරීමට පැමිණ සිටි විජේපාලගේ මුහුණට මුහුණ හමුවූයේ මහින්දය.

“ආයුබෝවන් සර්” විජේපාල මහින්දට ආයුබෝවන් කීවේය.  එය දුටු හැමෝම කීවේ විජේපාල උත්සවයට පැමිණි මහින්ද පිළිගත් බවය. එහෙත් ඔහු මහින්දට ආයුබෝවන් කියා එතැනින් පිටත්ව ගියේය.

මහින්ද උත්සවයට පැමිණ රමේෂ් පතිරණ මන්ත්‍රීවරයාත් අනෙක් මන්ත්‍රීවරු සමගත් කතා කරමින් සිටියේ රිචඩ් පතිරණගෙන් වූ සේවය ගැනය. ඒ අතරම රිචඩ් ගැන වූ පැරණි රස කතාද කතාකරමින් සිටියහ.

“අද වගේ කාලයක තමයි රිචඩ් වගේ අධ්‍යාපන ඇමැතිකෙනෙකුගේ වටිනාකම තේරෙන්නේ” මහින්ද කීවේ ඒ කතා මැදය.

“ඒක හරි. ඒ කා‍ලේ රිචඩ් මහත්තයා වැඩ කළ හැටි අපිට මතකයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩක් කියලා කිව්වොත් වෙනකිසිම දෙයක් මතක නෑ. ඒ තරම් කැපවීමකින් වැඩ කළේ” විජේපාල අතීතය සිහිපත් කළේය.

“දැන් කොහේද ඒ වගේ ඇමැතිවරු ඉන්නේ. දැන් ඉන්නේ තියෙන දෙයක් හරි විකුණලා අත පිහදාගන්න බලන ඇමැතිවරුනේ” රමේෂ් කීය.

“දැන් ඉන්න අධ්‍යාපන ඇමැතිට අධ්‍යාපනයට වඩා කරන්න වැඩ තියෙනවානේ. ළමයින්ගේ දේවල් සොයා බලන්නේ නැතිව වෙන වෙන ව්‍යාපෘති එයාලට කරන්න ඕනනේ”මොහාන් පී. ද සිල්වා පැවැසුවේය.

 මහින්දගෙන්  දහසයේ කණ්ඩායමට  භෝජන සංග්‍රහයක්

මහින්ද රිචඩ් පතිරණ ගුණ සමරුවට සහභාගී වී තංගල්‍ලේ කාල්ටන් නිවස බලා පිටත්ව ගියේය. මහින්ද එහි සිටියදී පැමිණියේ දහසයේ කණ්ඩායමේ සාමාජිකයන්ය. සුසිල් ප්‍රේමජයන්ත, තිලංග සුමතිපාල, චන්දිම වීරක්කොඩි, ජෝන් සෙනවිරත්න, සුමේධා ජයසේන ඇතුළු දහසයේ කණ්ඩායම මහින්ද හමුවීමට ගියේ ඉදිරි දේශපාලන කටයුතු ගැන රහස් සාකච්ඡාවක් පැවැත්වීමටය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් ආණ්ඩුවේ ඉන්නවාද, නැතිනම් ආණ්ඩුවෙන් යනවාද කියන උත්තරය පක්ෂ සම්මේලනයට කලින් අපිට දැනුම් දෙන්න කියලා ලිඛිතව ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලුවා. ඩිලාන් ඒක ජනාධිපතිතුමාට ගිහින් දුන්නා”දහසයේ කණ්ඩායමේ මන්ත්‍රීවරු පැවැසූහ.

“මොකද ඒකට උත්තරයක් තියෙනවාද”මහින්ද ඇසුවේය.

“තවම නෑ සර්”මන්ත්‍රීවරු උත්තර දුන්හ.

“ඒකනේ කියන්නේ” මහින්ද කීවේ බැරෑරුම් මුහුණක් පෙන්වමිනි.

දහසයේ කණ්ඩායම පැය හතරක් පමණ කාල්ටන් නිවසේ රැඳී සිටි අතර මහින්දට සමු දුන්නේ දිවා ආහාරය ගැනීමෙන් පසුවය.

“අපිට තියෙන ප්‍රශ්න මහින්ද මහත්තයා හමුවෙලා නිරාකරණය කරගත්තා. ඉදිරියේදී ‍පොදුජන පෙරමුණත් එක්ක එකතුවෙලා අපි වැඩ කරනවා” මහින්දගේ සාකච්ඡාව අවසන් කර එළියට පැමිණි චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා එහි පැමිණ සිටි මාධ්‍යවේදීන්ට පැවැසූහ.

 මහින්දගේ රැස්වීමේ  ගැටුමක්

ඒකාබද්ධ විපක්ෂයට සහය දෙන වෘත්තීය සමිති නියෝජිතයන්ගේ හමුවක් පැවැත්වුණේ නාරාහේන්පිට අභයාරාමයේදීය. මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවට වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන, ගාමිණී ලොකුගේ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

“අපි ආණ්ඩුවේ මර්දනයට විරුද්ධව එකට එකතුවෙලා සටන් කරන්න ඕන” පසුගියදා දුම්රිය වැඩවර්ජනය කැඳවූ ශ්‍රී ලංකා නිදහස් දුම්රිය සේවක සංගමයේ නදීර මනෝජ් කීවේය.

“ඒක ඇත්ත. මර්දනකාරී පසුබිමක අපි හුදකලාව සටන් කරන්න ගියොත් පරදිනවා. සියලු බලවේග එකතු කර ගෙන එක සටනක නියැළුනොත් ආණ්ඩුවට අපිව පරද්දන්න බෑ” වාසු කීවේ දීර්ඝ වෘත්තීය සමිති විග්‍රහයක් කරමිනි.

“පහුගිය කා‍ලේ අපි ආණ්ඩුවට විරුද්ධව තනිව කරපු ඇතැම් සටන් දිනුවා. ඇතැම් සටන් පැරදුණා. දිනුව සටන්වලින් වුණත් අපි බලා‍පොරොත්තු වුණ ප්‍රතිඵල ලැබුණේ නෑ. ඒ නිසා අපේ සටන් මෙහෙයවන්න ඒකාබද්ධ වෘත්තීය සමිති මධ්‍යස්ථානයක් අවශ්‍යයි” පැරණි වෘත්තීය සටන්කරුවෙක් වන ඩබ්ලිව්.එච්. පියදාස පෙන්වා දුන්නේය.

“එහෙම මධ්‍යස්ථානයක් තිබුණොත් මේ සටන් මෙහෙයවන්න වගේම ජයග්‍රහණය කරන්නත් පහසුයි. අපි තනිවෙලා ඉන්නකොට ආණ්ඩුවට අපිට ගහන්න ‍ලේසියි. අපි එකතු වුණොත් ආණ්ඩුව වුණත් අත දාන්න ඉක්මන් වෙන්නේ නෑ” ඩලස් අලහප්පෙරුම කීය.

“මමත් අවුරුදු ගාණක් වෘත්තීය සමිති එක්ක වැඩ කරපු කෙනෙක්. එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවල මර්දනකාරී වැඩපිළිවෙළ මම හොඳාකාරව දන්නවා. හොඳින් බැරිනම් නරකින් හරි වෘත්තීය සමිති පරාජය කරනවා. ඒ නිසා අපි එකට විරුද්ධව එකතුවෙමු” මහින්ද යෝජනා කළේය.

මේ සාකච්ඡාවට එක්ව සිටි ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ මහින්ද කහඳගමගේ ගැටුමක් ඇතිකරගත්තේ ත්‍රිරෝද රථ සංගමයේ සභාපතිවරයා සමගය.

“මම රිමාන්ඩ් කරපු අයත් දැන් මෙතැනට ඇවිත් ඉන්නවා. මහින්ද මහත්තයාගේ සාක්කුවට වැටිලා වාසි ගන්නයි ඒ අය හදන්නේ” මහින්ද කහඳගමගේ සිය විරෝධය දැක්වූවේය.

එයට ත්‍රිරෝද රථ සංගමයේ සභාපතිවරයාද උත්තර බඳින්න ගියේය.

“මේ වගේ අය එක්ක අපිට වැඩ කරන්න බෑ” මහින්ද කහඳගමගේ සිය විරෝධය දැක්වූවේය.

“ඕවා ගැන කතා කරන වෙලාවක් නමෛයි මේක. අපි මහින්සි වෙන්න ඕන ආණ්ඩුවක් හදන්න. එහෙම නැතිව පුද්ගලික කෝන්තර ගැන කතා කරන්න නමෛයි”මහින්ද දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් කීවේය.

 මහින්දාන්ද - වෙල්ගම  බදාගෙන

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම සුපුරුදු පරිදි මහින්දගේ විජේරාම නිවසේදී පැවැත්විණි. එහිදී වැඩි අවධානයක් යොමුවූයේ පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය ගන්නේද නැද්ද යන්න කෙරෙහිය. සාකච්ඡාව ආරම්භවීමට පෙර මහින්ද එහි පැමිණ සිටි මන්ත්‍රීවරු පිරිසක් සමග සුහද කතාබහක යෙදෙමින් සිටියේය. ඒ අතර මහින්දට දුරකතන ඇමැතුමක් ලැබුණේය.

“සර්ට සී.අයි.ඩී. එකෙන් එන්න කියලා තියෙනවාද” මහින්දගෙන් ඇසුවේය.

“නෑ..මට එහෙම කැඳවීමක් ලැබිලා නෑ” මහින්ද උත්තර දුන්නේය.

“කීත් නොයාර්ට පහරදීම ගැන ප්‍රකාශයක් ගන්න ඔබතුමා කැඳවලා තියෙනවා” හිතවතා මහින්දට කීවේය

“මම එහෙම එකක් දන්නේ නෑ. එහෙම කැඳවීමක් ලැබුණොත් යනවා. මම ඕවට බය නෑ” මහින්ද පැවැසුවේය.

“සී.අයි.ඩී. එකෙන් මට එන්න කියලා තියෙනවාද” දුරකථනය විසන්ධි කළ මහින්ද තමන්ගේ කාර්ය මණ්ඩලයේ අයගෙන් ඇසුවේය.

“එහෙම එකක් තවම ඇවිත් නෑ සර්” කාර්ය මණ්ඩලයේ අයෙක් උත්තර දුන්නේය.

ඉන් පසුව මහින්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙක්ට දුරකථන ඇමතුමක් ගත්තේය.

“ඔහෙලා මගෙන් ප්‍රකාශයක් ගන්න ඕන කියලා තියෙනවාද” මහින්ද ඇසුවේය.

“ඔව් සර්. හැබැයි අපිට ඔබතුමාගෙන් වෙලාවක් ලැබුණේ නෑ” මහින්දට උත්තරයක් ලැබුණි.

“ඔයාලා කාටද කතා කළේ. කවුද වෙලාව නොදුන්නේ” මහින්ද ඇසුවත් එයට උත්තරදීමට ‍පොලිස් ප්‍රධානියා අදිමදි කළේය.

“ඔහොම දෙයක් තියෙනවා නම් මට කෙළින්ම කතා කරන්න. මම එන්නම්. හරි දැන් කවදද මම එන්න ඕන. ඕන නම් මට සිකුරාදා උදේ දහයට එන්න පුළුවන්” මහින්ද වෙලාවක් දුන්නේය.

“ඉන්න සර්. මම බලලා කියන්නම්” කියා දුරකථනය විසන්ධි කළ නිලධාරීයා පසුව මහින්දට ඇමැතුමක් ගෙන කීවේ මහින්දගේ නිවසට පැමිණ  ප්‍රකාශයක් ගන්නා බවය.

මෙම කතාබහ ඇදී යමින් තිබෙන අතරවාරයේදී කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා එහි පැමිණියේ පක්ෂ නායක රැස්වීමට සහභාගීවීමටය.

“අනේ සර් මට ‍පොඩි වෙලාවක් දෙන්න. අපේ ලෙකු අයියා එනවා” ඔහු එනු දුටු මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා නැගිට ගියේය. දෙදෙනා අතර හිත් හොඳ නැති බව දන්නා මහින්ද ඒ දෙස වැඩි උන්නදුවකින් බැලුවේය.

“අයියේ මට සමාවෙන්න” මහින්දානන්ද වෙල්ගම ඉදිරියට ගොස් ඔහු බදාගත්තේය.

“අයියෝ මල්ලි, සමාව ගන්න දෙයක් නෑ. ඔයා මට දෙයක් කිව්වා. මම ඒකට උත්තර දුන්නා. ඒකට සමාව ගන්න ඕන නෑ” වෙල්ගම උත්තර දුන්නේය.

ඔවුන් දෙදෙනා වැලඳගෙන සිටිනු දුටු දිලුම් අමුණුගම මන්ත්‍රීවරය තමන්ගේ ජංගම දුරකථනය රැගෙන ඡායාරූපයක් ගත්තේ රණ්ඩුවුණ දෙදෙනා බදාගෙන සිටින ඡායාරූපයක් තිබිම වැදගත් බව කියමිනි.

මේ අතර දහසයේ කණ්ඩායමේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ද එහි පැමිණියේ ඔවුන් බදාගෙන සිටින විටදීමය.

“මේ බොරු රණ්ඩු කරගන්න අය” ඔවුන් කීවේද දෙදෙනාටම සිනාවෙමිනි.

“අපි රණ්ඩුවෙනකොට සමහරුන්ට හරි චූන්. හැබැයි ඔය චූන් එක වැඩි කාලයක් තියෙන්නේ නෑ” මහින්දානන්ද කීවේය

ඉන් පසුව පක්ෂ නායක රැස්වීම ආරම්භවූ අතර විපක්ෂනායක ධුරය ගැන එහිදී දීර්ඝ ලෙස අවධානය යොමුවිය.

“නීතිය පැත්තෙන් බැලුවොත් මෙතැන මත දෙකක් තියෙනවා. මේ මන්ත්‍රීවරු ස්වාධීනව වැඩ කරන්න ගියොත් මන්ත්‍රී ධුරය අහෝසි වෙනවා. අනික් පැත්තෙන් මේ අය පාර්ලිමේන්තු ආවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නිසා සන්ධානයේ මන්ත්‍රීවරු ජාතික ආණ්ඩුවට එකතුවෙලා නෑ කියලත් තර්ක කරන්න පුළුවන්. මගේ අදහස නම් මේ ගැන තවත් හොයලා බලලා කටයුතු කරන්න ඕන කියන එකයි”ජී.එල්. පීරිස් නීතිමය තර්කයක් පෙන්වා දුන්නේය.

“අපි ස්වාධීන වෙන්න ඕන. පාර්ලිමේන්තු මන්ත්‍රීකම නැතිවුණත් ඒක කරන්න වෙනවා”ප්‍රසන්න රණතුංග කීය.

“කණ්ඩායමක් විදියට ගන්න ඕනම තීන්දුවකට අපි එකතු වෙනවා” එස්.බි. පැවැසුවේය

මේ සාකච්ඡාවලින් පසුව අවසානයේදී තීරණය වූයේ ජීඑල්, සුසිල්, දිනේෂ් ඇතුළු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර මේ සම්බන්ධයෙන් වන නීතිමය තත්ත්වය තවදුරටත් අධ්‍යයනය කිරීමටය. ඒ අධ්‍යනයෙන් පසුව පක්ෂ නායක රැස්වීමට වාර්තාවක් සැපයීමටද එකඟ විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් ගිය සිකුරාදාවේ මහින්දගේ නිල නිවසට පැමිණියහ. මාධ්‍යවේදී කීත් නොයාර්ගේ පැහැරගැනීම පිළිබඳ කටඋත්තරයක් ගැනීමටය. ඒ බව මහින්දට කල් ඇතිවම දැනුම් දී තිබුණේය. ඒ අනුව සිකුරාදා දහවල් දොළහයි තිහට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මහින්දගේ විජේරාම නිවසට පැමිණිහය. එහෙත් සිකුරාදා දිනය මහින්දට මංගල උත්සව කිහිපයකටම සහභාගී වීමට තිබුණි. විවාහ මංගල උත්සව දෙකකම සාක්ෂියට අත්සන් කිරීමට තිබුණේද මහින්දටමය.

උදෑසනම විජේරාම නිල නිවසේදී විවාහයක සාක්ෂිකරුවෙක් ලෙස අත්සන් කළ මහින්ද පසුව කිංස්බරි හෝටලයට ගියේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ හෝමාගම ප්‍රදේශයේ හිතවතකුගේ විවාහ මංගල උත්සවයක සාක්ෂිකරුවෙක් ලෙස අත්සන් තැබිමටය. විවාහ උත්සවයේ ටික වේලාවක් සිටි මහින්ද එතැනින් නැගිට්ටේ “මට අද සී.අයි.ඩී. එකට කට උත්තරයක් දෙන්න තියෙනවා” යැයි කියමිනි.

ඒ වනවිට බන්දුල සිටියේද මහින්ද අසුන්ගෙන සිටි මේසයේය. මහින්ද විජේරාම නිවසට පැමිණියේ බන්දුලත් තමන්ගේ වාහනයට නංවාගනිමිනි.

“බලන්නකෝ බන්දුල, කථානායකතුමා ඉන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන බලන්නත් එක්ක. විශේෂයෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දෙන එක කථානායකවරයෙක්ගේ වගකීමක්” මහින්ද වාහනයේ එන අතරවාරයේදී බන්දුලට කීවේය

“සර්, හිටපු ජනාධිපතිතුමා වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. කීත් නොයාර් පැහැරගත්ත එක ගැන කථානායකතුමා දීපු කටඋත්තරයක් නිසා සර්ට කරදර කරන එක වැරදියි. අනෙක මන්ත්‍රීවරුන් ආරක්ෂා කරන්න ඉන්න කථානායකතුමා” බන්දුල මහින්දගේ අවධානයට යොමු කළේය.

“බන්දුල, මට දවසට කෝල් කීයක් නම් එනවාද? මට කොතරම් රාජකාරී තිබුණාද? මේවා සේරම මම මතක තියාගෙන ඉන්නේ නෑනේ. මේවා ඉතිං මඩ ගහන්න කරන වැඩනේ” මහින්ද කීවේ සැහැල්ලුවෙනි.

මේ කතාව අවසන් වන විට ඔවුන් දෙදෙනා විජේරාම නිවස අසලට ළඟාවී සිටියහ. ඔවුන් දෙදෙනා එහි එන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ සිටි අතර නිවස තුළට ගිය මහින්ද සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන පැමිණ සාක්ෂි දුන්නේය.

මහින්දගෙන් කට උත්තරයක් ගත්තේ දැනට අවුරුදු දහයකට පෙරදී 'නේෂන්' පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ හා ආරක්ෂක තොරතුරු වාර්තාකරු වූ කීත් නොයාර් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන්ය. කීත් නොයාර් පැහැරගැනීම ගැන එකල එම පුවත්පත අයත් සමාගමේ විධායක නිලධාරියා වූ ක්‍රිෂාන්ත කුරේට තොරතුරු ලැබිමෙන් පසුව ඔහු ඒ බව දැනුම් දී තිබුණේ ඔහුගේ පෞද්ගලික හිතවතෙක් වන කරු ජයසූරියටය. ඒ වන විට කරු මහින්දගේ ආණ්ඩුවේ ස්වදේශ කටයුතු හා රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා විය.

“සර් වගේ මහත්මා දේශපාලනඥයෙක් මේ වගේ වැඩ කරන ආණ්ඩුවක ඉන්නේ කොහොමද” යැයි ප්‍රශ්න කරමින් කීත් නොයාර් බේරාගන්නැයි ඔහුගෙන් ඉල්ලා තිබුණේය.

ඒ අනුව කරු මැදියම් රැයේදීම මහින්දට දුරකථන ඇමතුමක් දී තිබුණේය. මහින්දගේ දුරකථනයට උත්තර දුන් පුද්ගලයා කියා තිබුණේ ඒ වන විට මහින්ද නින්දට ගොස් ඇති බවය. එහෙත් කරු මහ රෑ මහින්ද සම්බන්ධ කරගැනීමේ උත්සාහය අතහැර තිබුණේ නැත. කෙසේ හෝ මහින්ද සම්බන්ධ කරගෙන තිබුණි.

“ජනපතිතුමා 'නේෂන්' පත්තරේ කර්තෘ පැහැරගෙන ගිහින් තියෙනවා. මේ වගේ දේවල් වෙන ආණ්ඩුවක ඉන්න මට ලැජ්ජයි” කරු මහින්දට කියා තිබුණි. කීත් සොයා ගැනීමට නොහැකි වුවහොත් තමා ආණ්ඩුවෙන් ඉවත්වන බව කරු ජනපතිට පවසා තිබුණි. මේ දුරකථන ඇමැතුමෙන් පසු පසුදා උදේ වනවිට කීත් නොයාර් මහ මග දමා ගොස් සිටියදී සොයාගෙන තිබුණි.

මේ ගැන පරීක්ෂණ කටයුතු අවුරුදු ගණනක් තිස්සේ ඇදී යමින් තිබුණත් පසුගිය කාලයේදී එම පරීක්ෂණ කටයුතුවලට පණ ලැබි තිබුණේය. එය කොතරම් ඉදිරියට ගියේද යත් හිටපු ජනාධිපතිවරයාගෙන් කට උත්තරයක් ගන්නා තැනට තෙක් එය ඇදී ගොස් තිබුණේය. මහින්දගෙන් එම කට උත්තරය ගෙන තිබුණේ කරු ජයසූරිය දෙතුන් මසකට ඉහතදී මෙම පැහැර ගැනීම ගැන දුන් සාක්ෂිය අනුවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කට උත්තර ලබාගැනීමෙන් පසුව එතැනට පැමිණ සිටි රූපවාහිනී වාර්තාකරුවෝ මහින්දගෙන් ඒ ගැන විමසීමට නිවස අසලට ගියහ. මහින්ද නිවසේ පඩියක් මත සිටගෙන මාධ්‍යවේදීන්ට කතා කිරීමට සූදානම් විය. එහෙත් එතැනට පැමිණ සිටි දේශපාලඥයෝ  කිහිපදෙනෙක් මහින්ද වටකරගත්හ.

අපි එළියට යමු මහින්දගේ පෞද්ගලික ‍ලේකම් උදිත ලොකුබණ්ඩාර කීවේය. එවිට මහින්ද වටකරගත් පිරිස තවත් වැඩිවිය. ඒ නිසා මහින්ද පැත්තකට තල්ලුවිය. ඒ සමග මහින්දගේ මුහුණ අඳුරුවී ගියේය.

මාව මෙතැනට උස්සගෙන ආවනේ මෙහේට. මහ මෝඩ යකෙක් මේ... යැයි මහින්ද කීවේ උදිත දෙසට අත දිගු කරමිනි.

එවිට උදිත සිනාසෙමින් මහින්ද අසලට ළංවූවා මිස කිසිවක් කියන්න ගියේ නැත

මේ අන්න අරහෙට වෙලා ඉන්නවාඔහු තමන් අසලට එනු දුටු මහින්ද කීවේය. එවිට උදිත එතැන සිටි අය අතර සැඟවුණේ මහින්දට නොපෙනේනටය.

 රනිල් කාවින්ද එක්ක ගිය ගමන

අගමැති රනිල් වික්‍රමසිංහ සතිය ආරම්භයේදී නුවරඑළියට ගියේ වතු කම්කරුවන් වෙනුවෙන් ඉන්දීය රජය ඉදිකළ නිවාස ව්‍යාපෘතියක් ජනතා අයිතියට පත් කිරීමටය. ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ පලනි දිගම්බරන් ඇමැතිවරයා ඇතුළු පිරිසක් එයට එක්ව සිටියහ.

“පහුගිය ආණ්ඩුවල හිටපු වතු කම්කරු ජනතා නියෝජිතයන් යැයි කියාගන්නා අය තමන් හැදුනා මිසක් කම්කරුවන්ට කරපු දෙයක් නෑ. මම මේ නිවාස හදනවා විතරක් නමෛයි පර්චස් හත ගානේ බෙදලත් දෙනවා. ඒ වගේම රනිල් ඊළඟ ජනාධිපති කරලයි වතු කම්කරු ජනතාව පස්ස බලන්නේ” දිගම්බරන් කීවේ අනාගතයේ දේශපාලනය ගමන් කරන දිශාව ගැනත් ඉඟිියක් දෙමිනි.

නුවරඑළිය එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩලය පිහිටුවීමේ කටයුතුද එදිනටම යෙදී තිබුණ නිසා නවීන් දිසානායක හා අකිල විරාජ් කාරියවසම් ඇමැතිවරයා එහි පැමිණියේ තරමක් ප්‍රමාදවීය.

නුවරඑළියේ සිට කොළඹ පැමිණි රනිල් පසුදා කොළඹ සිට අනුරාධපුරයට හෙලිකොප්ටරයකින් ගියේ කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා කැටුවය. ඒ කාවින්ද ජයවර්ධන  සංවිධානය කර තිබූ ආගමික වැඩසටහන් මාලාවකට සහභාගී වීමටය. රනිල් සහ කාවින්ද අනුරාධපුරයට ගොස් ශ්‍රී මහා බෝධිය වැඳ ආශිර්වාද ගත්හ. ඉන් පසුව මිරිසවැටියේ කප්රුක් පූජාවක් සංවිධානය කර තිබුණේද කාවින්දමය. රනිල් මිරිසවැටිය විහාරාධිපති ස්වාමීන්වහන්සේ හමුවීමට ගියේ ආගමික වතාවත්වලින් පසුවය.

“ඔබතුමාගෙන් තරුණ දේශපාලනඥයන්ට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. මේ ලෝකය තියෙන්නේ කාලය සහ අවකාශය කියන දෙක උඩයි. ඔබගේ ඉවසීම මත තමයි මේ තරම් දුර ඇවිත් තියෙන්නේ. මේවා තරුණ දේශපාලනඥයන්ට හොඳ පාඩම්” මිරිසවැටිය නායක හිමියන් කීවේ කාවින්ද දෙසත් බලමිනි.

එදින රාත්‍රියේ රනිල් අනුරාධපුරයේ හමුදා කඳවුරක නතර විය. පසුදා උදෑසන හෙලිකොප්ටරයෙන් රනිල් මඩු පල්ලිය වෙත ගියේය. ඒ මඩු මංගල්‍යයට සහභාගී වීමටය. උදෑසන මඩු පල්ලියට ගිය රනිල් සහ කාවින්ද වෙනුවෙන් උදෑසන ආහාරය සූදානම් කර තිබුණේ මන්නාරම රදගුරු නිල නිවසේය. මීට පෙර රණසිංහ ප්‍රේමදාස අගමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටි කාලයේදී මඩු පල්ලියේ මංගල්‍යයකට සහභාගී වී තිබූ අතර ඉන් පසුව එහි පැමිණි අගමැතිවරයා වූයේ රනිල්ය.

“ආගමකට විවිධ ජාතීන් එකතු කරන්න පුළුවන්. අද මෙතැනට සිංහල, දෙමළ  බර්ගර් ජාතීන් එකතුවෙලා ඉන්න හැටි බලන්න”රනිල් කීවේ උදෑසන ආහාරය ගන්නා අතරවාරයේදීමය.

“අගමැතිතුමා වතිකානුවේ සංචාරයක් සූදානම් කරගන්න. පාප්වහන්සේ මුණ ගැසීම සඳහා වේලාවක් වෙන් කරලා දෙන්නම්” මැල්කම් රංජිත් කාදිනල්තුමා රනිල්ට ආරාධනා කළේය. එම ආරාධනාවත් පිළිගත් රනිල් කොළඹ පැමිණියේ දේව මෙහෙයටත් සහභාගී වීමෙන් පසුවය.

 මනෝලා මහින්ද හමුවුණේ  රනිල් දැනුවත්වද?

බ්‍රහස්පතින්දා උදෑසනම රනිල් අරලියග මන්දිරයට පැමිණියේ ඔහු හමුවීමට පැමිණ සිටි විදේශීය නියෝජිතයන් කණ්ඩායමක් මුණගැසීමට හා තවත් රාජකාරී කටයුතු කිහිපයක් අවසන් කිරීමටය. රනිල් හමුවීමට පැමිණ සිටි මැති ඇමැතිවරු කිහිපදෙනෙක්ට රනිල් “හුස්ම ගත්ත වසර තුනක්” ප්‍රචාරක වැඩසටහනට අදාළ වාර්තා පෙන්වුවේය.

“වසර තුනක් ජනතාව හුස්ම ගත්තේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් විතරක්ම නමෛයි. ආර්ථිකය ඇතුළු සියලුම පැති ඊට අදාළයි. ණය ගෙවීම් හොඳින් කරනවා. ගම හදන්න මුදල් දෙනවා. සමෘද්ධිය වැඩි කළා. මහ‍පොළ වැඩි කළා. තෙල් මිලත් රාජපක්ෂ කාලෙට වඩා අඩුයි. ජනමාධ්‍ය නිදහසත් තියෙනවා. ඒත් රාජපක්ෂ නඩය තවම ඒ වළේ ඉඳගෙන එකිනෙකා මරාගන්නවා. ඒත් අපි ඉස්සරහට යනවා” රනිල් විග්‍රහයක් ඉදිරිපත් කළේය.

“මනෝ ගනේෂන්ලා හකීම්ලා මහින්ද හමුවෙලා තිබුණානේ. ඒ අය කතා කළේ පළාත් සභා ගැන විතරමද? වෙන දේශපාලනයකුත් එතැන තියෙනවාද” දයා ගමගේ රනිල්ගෙන් ඇසුවේය.

“මට කියලයි එයාලා මහින්ද හමුවෙන්න ගියේ. පිල් මාරුවක් ගැන හරි වෙන කිසිම දේශපාලනයක් එතැන නෑ. පළාත් සභා ඡන්දය තියන්න ඕන ක්‍රමය ගැනයි කතා කරලා තියෙන්නේ. අලුත් නීතිය සම්පූර්ණ නැති නිසා ඒ ක්‍රමයට ඡන්දය තියන්න අමාරුයි. ඒකට උප ‍ලේඛන දාන්න තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරණ ක්‍රමයට විරුද්ධයි. ඕනම ක්‍රමයකට මැතිවරණය තියන්න කැමැතියි කියලා ජීඑල් චැ‍ලේන්ජ් කළා. පක්ෂ බලන්නේ තමන්ගේ දේශපාලන වාසි අවාසි ගැන විතරයි”රනිල් පවතින දේශපාලන තත්ත්වය විග්‍රහ කළේය.

 ‍පොදු අපේක්ෂකයෙක්  ‍පොදු ලකුණක්

රාජිත සේනාරත්න ඇමැතිවරයා පසුගිය සතියේදී රනිල් හුමවීමට ගියේ ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ ගැන සාකච්ඡා කිරීමටය. එහිදී වැඩියෙන්ම අවධානය යොමුවයේ ඉදිරි ජනාධිපතිවරණය කෙරෙහිය.

“අගමැතිතුමා, අපිට දැන්ම මීළඟ මැතිවරණ ගැන අවධානය යොමු කරන්න වෙනවා. ඉදිරියේදී එන ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ කොහොමද, කවුද ඒකට ඉදිරිපත් කරන්නේ කියන එක ගැන අවධානය යොමු කරන්න වෙනවා”රාජිත කීවේය.

“ඒ ගැන අපි දැන්ම අවධානය යොමු කරන එක හොඳයි. ඒ ගැන සාකච්ඡාවක් තියෙන්න ඕන” රනිල් කීය.

“‍පොදු අපේක්ෂයෙක් ඉදිරිපත් කරන එක තමයි හොඳම දේ කියලා මට නම් හිතෙන්නේ” රාජිත යෝජනා කළේ එක් ලාංඡනයක් යටතේ මැතිරවණයට ඉදිරිපත් විය යුතු බවය.

“රාජිත, ඔයා එක්සත් ජාතික පෙරමුණ සංවිධානය කරන්න. එක් ලාංඡනයක් යටතේ ප්‍රතිසංවිධානය කරලා ගොඩනගන්න”රනිල් උපදෙස් දුන්නේය.

“මම මේ ගැන අනික් අයත් එක්කත් සාකච්ඡා කරන්නම්” රාජිත පැවැසුවේය.

“ඔයා මලික් එක්ක කතා කරගන්න. ඕන දේවල් මට කියන්න” රනිල් කීවේය. ඒ අනුව රාජිත මලික් හමුවීමට ගියේය.

“අපි එකතුවෙලා මේ වැඩේ කරමු” රාජිත මලික්ටත් යෝජනා කළේය.

“අපි එකට වැඩ කරන්න ඕන. අපි ඉදිරි සතිවලදී මේ ගැන සාකච්ඡා ආරම්භ කරලා ඉදිරියට යන්නේ කොහොමද කියන එක ගැන අවධානය යොමු කරමු” මලික් කීවේය.

 රංජන් සාක්ෂියට  කැඳවන අය

රංජන් රාමනායක පසුගිය සතියේදී ජනාධිපති ‍ලේකම් කාර්යාලයට ගියේ මෛත්‍රී හමුවීමටය.

මොකද රංජන් දැන් ඔයාගේ නඩුවේ වෙන්නේ රංජන් දුටු විට මෛත්‍රී ඇසුවේය.

මම සර් දැන් මගේ පැත්තෙන් සාක්ෂිවලට එකසිය පණහක් විතර සූදානම් කරගන ඉන්නේ රංජන් උත්තර දුන්නේය.

ඒ කවුදමෛත්‍රී ඇසුවේය.

නන්දා මාලිනී, සුනිල් ආරියරත්න වගේ එකසිය පණහක ලැයිස්තුවක් තියෙනවා රංජන් කීවේය.

මොකටද ඒ අය සාක්ෂිවලට කැඳවන්නේ මෛත්‍රී යළිත් ඇසුවේය.

නෑ. සර්. ඒ අයත් අධිකරණය විවේචනය කරලා සිංදු ලියලා තියෙනවානේ. සිංදු කියලා තියෙනවානේ. ඒක නිසා ඒ අය සාක්ෂිවලට ගෙන්වනවා. ඒ විතරක් නමෛයි, සර්ගේ නමත් තියෙනවා රංජන් කීය.

මගේ නම මොකද මෛත්‍රී ඇසුවේ කුතුහලයෙනි.

මොහාන් පීරිස්ට ඇවිත් සර් හමුවෙලා තිබුණානේ. දිගටම ඉන්න දෙන්න ඕනම නඩුවක් ඕන විදියකට කරලා දෙන්නම් කියලා තිබුණ බව සර් කිව්වානේ. ඉතිං ඒකත් අධිකරණය විවේචනය කිරීමක් නේරංජන් කීවේ නීති තර්කයක් ඉදිරිපත් කරමිනි.

 කරුගේ චෝදනාව

කථානායක කරු ජයසූරිය සිකුරාදා දිවා ආහරයට පුවත්පත් කර්තෘවරුන් කැඳවා තිබුණේය. පාර්ලිමේන්තුවේ කටයුතු වාර්තා කිරීම ගැන එහිදී වැඩි වශයෙන් අවධානය යොමුවිය.

පාර්ලිමේන්තුවේ එක දවසකට රුපියල් ලක්ෂ හතලිස් පහක් වියදම් කරනවා. ඒත් මන්ත්‍රීවරුන්ගේ පැමිණීම අඩුයි. හැමදාම පත්තරවලත් පාර්ලිමේන්තුවේ නරක ගැනමයි ලියන්නේ. ඒකේ තියෙන හොඳ ගැනත් ටිකක් ලියන්න කරු කර්තෘවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

ඒ අතර කරුගේ දේශපාලනය ගැනත් කතා බහ ඇදී ආවේය.

මම කොළඹ නගර සභාවට තරග කරන වෙලාවේ ආවොත් කරු - පායයි හිරු කියලා ‍පෝස්ටරයක් ගැහුවා. ඒකට අනික් අය ආවොත් කරු - පෙනෙයි තරු කියලා ‍පෝස්ටරයක්  අලවගෙන ගියා. මට විරුද්ධව. ඊට පස්සේ ආවොත් කරු - වටේට හොරු කියලත් එකක් ගැහුවා. ඊට පස්සේ නම් මම ‍පෝසටර් ගහන්න ගියේ නෑ කරු අතීතය සිහිපත් කළේය.

එතකොට කථානායකතුමා 2010 ඡන්දෙදී මොකද වුණේ කර්තෘවරයෙක් ඇසුවේය.

මම ඡන්දෙ දවස්වල යවපු ලියුම් ටිකත් උස්සලානේ. එහෙමනේ ඉතිං පබා දෙකට ආවේ කරු කීවේ ඒ ගැන වැඩි යමක් නොකියාම බැරි නිසාය.

තිලකජය

කාටූන් - අංජන ඉන්ද්‍රජිත්

Comments  

+1 #1 lal silva 2018-08-21 10:56
95% politicians are seem to be Monitors and could not be believe and they do not love srilanka and they do not need to develop our country and try to earn money for their family.
we have disgusted for them.
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.