lakbima.lk

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ‍පොරේ

වර්තමාන පාර්ලිමේන්තුවේ බරපතළම ගැටලුව වී ඇත්තේ අලුත් විපක්ෂ නායකවරයකු පත්කර ගැනීමේ ප්‍රශ්නයයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2015 ජනවාරි 8දා බලයට පැමිණීමෙන් පසුව එම  වසරේම අගෝස්තු මාසයේ පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වුණි. එහිදී එක්සත් ජාතික පක්ෂය ආසන 107ක් හා එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 95ක්, දෙමළ ජාතික සන්ධානය ආසන 16ක්, ජනතා විමුක්ති පෙරමුණ ආසන 6ක් සහ ඊ.පී.ඩී.පී. පක්ෂය  එක් ආසනය බැගින් දිනා ගත්තේය.
පාර්ලිමේන්තුවේ ලැබුණු ආසන සංඛ්‍යාව අනුව එකදු පක්ෂයකටවත් ආසන 113ක් නොලැබුණු නිසා එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගත්හ.
ඒ අනුව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා තෝරා ගැනීම කථානායකවරයාට භාර වූ අතර එහිදී මන්ත්‍රී ආසන 16ක් දිනාගත් දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායක ධුරය හිමිවිය.
ජාතික ආණ්ඩුවට විරුද්ධ වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිස පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්හ.
එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පාර්ලිමේන්තුවට තරග කළ මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ ඇතුළු සෙසු දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුද මහින්ද රාජපක්ෂ සමග එක්වූ අතර ඔවුන්ගේ මන්ත්‍රී ගොඩ පනස් එකක් දක්වා ඉහළ ගියේය. ‍පොදු විපක්ෂය හෙවත් ඒකාබද්ධ විපක්ෂය බිහිවූයේ ඒ අයුරින් ඔවුන් එක්වීමෙනි.
මෙසේ බිහිවූ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ගණන දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ප්‍රමාණයට වඩා වැඩි නිසා විපක්ෂ නායක ධුරය තමන්ට ලබාදෙන මෙන් දැන් ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා සිටී.
මෙම ප්‍රමාණය ගැන සිය අදහස් දක්වමින් කතා කළ එක්සත් ජනතා  නිදහස් සන්ධානයේ මහ‍ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ පාර්ලිමේන්තුව පිළිගත් දේශපාලන පක්ෂයක් සේ සලකන්නේ මැතිවරණයට තරග කළ
පක්ෂයක් බැවින් ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුව තුළ පක්ෂයක් සේ නොසලකන බවයි. ඒ නිසාම ඔවුන්ට විපක්ෂ නායක ධුරයට හිමිකම් කීමට නොහැකි බවද ඔහු කියා සිටියේය.
ඒකාබද්ධ විපක්ෂයේ සිටින සියලු මන්ත්‍රීවරුන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කළ අය නිසා ඔවුන්ට විපක්ෂ නායකකම ලබාදිය නොහැකි බව කථානායකවරයාද එම වකවානුවේදී කියා සිටියේය. ඊට හේතුව හැටියට කථානායකවරයා පෙන්වා දුන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කටයුතු කළ ප්‍රධානම දේශපාලන පක්ෂ වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ජාතික ආණ්ඩුවට එකතුවී ඇමැතිකම් දැරීමය.
මෙවැනි තත්ත්වයක් මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය දෙමින් ආණ්ඩුවේ ඇමැතිකම් දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු 16 දෙනකු ආණ්ඩුවෙන් එළියට බැස ඒකාබද්ධ විපක්ෂය සමග එකතු වී ‍පොදු විපක්ෂයේ අසුන් ගත්හ. ඒ අනුව මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු සංඛ්‍යාව 70 දක්වා ඉහළ ගොස් ඇත. දැන් අපේ ගොඩ වැඩියි. ඒ නිසා අපට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කම දෙන්න මෙම මන්ත්‍රීවරුන් කථානායකවරයාගෙන් යළිත් ඉල්ලා සිටියේ ඒ අනුවය.
දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා විපක්ෂ නායක ධුරයට පත්කර ගන්නැයි ඉල්ලමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ඉකුත්දා කථානායකවරයාට ලිපියක් බාරදී තිබුණේ මේ පසුබිම යටතේය. මේ අතර තවත් මන්ත්‍රීවරු පිරිසකගේ යෝජනාව වූයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම විපක්ෂ නායකයා හැටියට පත්කළ යුතු බවයි.
දිනේෂ් ගුණවර්ධන හෝ කුමාර වෙල්ගම දෙදෙනාගෙන් අයකු විපක්ෂ නායක කරන්නේ නම් එම ධුරයේ දැනට කටයුතු කරන ආර්. සම්බන්ධන් ඉන් ඉවත් කළ යුතුය.
මේ අනුව කථානායක කරු ජයසූරිය විසින් දිනේෂ් ගුණවර්ධන විපක්ෂ නායකයා බවට පත් කිරීමේ යෝජනාව පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ‍ලේකම් මහින්ද අමරවීරගෙන් කරුණු විමසීය.
ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයින් එක තැනකට රැස්විය. අවසානයේ මහ‍ලේකම් මහින්ද අමරවීර ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් ආණ්ඩුව සමග සිටින නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේම තරග කළ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයකුට විපක්ෂ නායක ධුරය ලබාදීම පිළිගත නොහැකි බවයි.
කෙසේ නමුත් මේ පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු විවිධ මත පළ කළේය.
මන්ත්‍රීවරු සංඛ්‍යාව අතින් ගත් පසු දෙමළ ජාතික සන්ධානයට වඩා විශාල පිරිසක් ඒකාබද්ධ විපක්ෂයේ සිටින නිසා නියම ප්‍රජාතන්ත්‍රවාදය ඉටු කරන කථානායකවරයකු නම් ඒකාබද්ධයට විපක්ෂ නායක ධුරය ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කීවේය.
දින සියයේ ආණ්ඩුව පැවැති කාලයේ විපක්ෂ නායකයා වූයේ නිමල් සිරිපාල ද සිල්වා බැවින් ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායක ධුරය දැරීමට බාධාවක් නොමැත බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පැවැසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලයට පැමිණි පසු දින සියයේ වැඩසටහන ක්‍රියාත්මක විය. එම අවස්ථාවේ ජනාධිපතිවරයා විසින් විපක්ෂ නායකව සිටි රනිල් වික්‍රමසිංහ අගමැති කළ අතර නිදහස් පක්ෂයේ ඇමැතිවරයකුව සිටි නිමල් සිරිපාල ද සිල්වා විපක්ෂ නායකයා ලෙස කටයුතු කළේය. ඒ මොහොතේ කථානායකවරයාව සිටි චමල් රාජපක්ෂ විපක්ෂ නායකයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා පිළිගත් නිසා අතීත පූර්වාදර්ශ පදනම් කරගෙන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයකුට විපක්ෂ නායක ධුරය ලබාදීමේ හැකියාව කථානායකවරයාට ඇති බව දිනේෂ් ගුණවර්ධන පැවැසීය.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවැසුවේ පිරිසක් ආණ්ඩුවට එක්ව සිටින, තවත් පිරිසක් විපක්ෂය ලෙස කටයුතු කරන පක්ෂයකට විපක්ෂ නායකකම ලබාදිය නොහැකි බවයි. එය අනාගත පාර්ලිමේන්තුවකටද නරක පූර්වාදර්ශයක් බව ඔහු කීවේය. ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායකකම අවශ්‍ය නම් ඒ සියලු මන්ත්‍රීවරු එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වී ස්වාධීන විය යුතු බවද අනුර කුමාර දිසානායක මහතා කීවේය.
මේ අතර පාර්ලිමේන්තුවේ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවැසුවේ ජනාධිපතිවරයා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුවේ ඇමැතිකම් දරන පිරිසක් සමග විපක්ෂයේ අසුන්ගතහොත් විපක්ෂ නායක ධුරය ලබාදිය හැකි බවයි. එලෙසම මෙය පක්ෂය අභ්‍යන්තර ප්‍රශ්නයක් නිසා පක්ෂය තුළ විසඳාගත යුතු බවද ඔහු කීවේය.
ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ පිළිගත් දේශපාලන පක්ෂයක් නොවන බවට තර්ක ඉදිරිපත් වුවත් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීම්වලදී ඒකාබද්ධ විපක්ෂයට තවත් දේශපාලන පක්ෂයක වටිනාකම ලබාදෙන අවස්ථා  තිබේ. ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායකයා වන්නේ දිනේෂ් ගුණවර්ධනය. එනිසා පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම්වලට දිනේෂ් ගුණවර්ධන සහභාගිවේ. පක්ෂ නායක රැස්වීම්වලදී තම කණ්ඩායම පක්ෂයක් ලෙස පිළිගන්නා නිසා පාර්ලිමේන්තුව තුළදීද තවත් දේශපාලන පක්ෂයක් ලෙස පිළිනොගෙන සිටීමට කිසිදු හේතුවක් නොමැති බව ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ මන්ත්‍රීවරු තර්ක කරති.
මෙවන් තත්ත්වයක් යටතේ කථානායක කරු ජයසූරිය විපක්ෂ නායකයා පිළිබඳව සිය මතය පාර්ලිමේන්තුවට පෙරේදා (10) ඉදිරිපත් කළේය.
ව්‍යවස්ථානුකූලව හා පාර්ලිමේන්තුවේ දැනට පවතින සම්ප්‍රදායට අනුව විපක්ෂනායක ධුරයේ වෙනසක් කිරීමට තමාට හැකියාවක් නොමැති බව කථානායක පැවැසීය.

අගමැති පුටුවට පාර කපන විපක්ෂ නායක ධුරය

විපක්ෂ නායක ධුරය වූ කලී වෙස්මිනිස්ටර් සම්ප්‍රදාය හෙවත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමයෙන් අපේ රටට ලද ධුරයකි. පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව මතෛක් විපක්ෂ නායක ධුරයට පත්ව ඇත්තේ විපක්ෂය නියෝජනය කරන පක්ෂ අතරින් බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් හිමි මන්ත්‍රී කණ්ඩායමේ හෝ පක්ෂයේ නායකයාය. බොහෝ විට ආණ්ඩු පෙරළියකින් පසු අගමැති ධුරයට හිමිකම් කියා ඇත්තේ විපක්ෂ නායකවරයාය. එස්.ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, ඩඩ්ලි සේනානායක, ජේ.ආර්. ජයවර්ධන. සිරිමාවෝ බණ්ඩාරනායක, රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ එසේ විපක්ෂ නායක ධුරයට පසු අගමැති පුටුවේ වාඩි වූ දේශපාලනඥයන්ය.
ජනපති, අගමැති සේම විපක්ෂ නායක ධුරයට පත්වන තැනැත්තාට ජාත්‍යන්තර වශයෙන්ද ලැබෙන්නේ ඉහළ පිළිගැනීමක් හා ගරු සත්කාරයය.
ලංකාවේ රාජ්‍ය ධුරාවලිය අනුව විපක්ෂ නායකවරයාට කැබිනට් ඇමැතිවරයකුට හිමි වරප්‍රසාද හිමිය. යාන වාහන, පාර්ලිමේන්තුවේ මෙන්ම කොළඹ නගරයේත් විපක්ෂනායක කාර්යාලයක්. ඊට අවශ්‍ය කාර්ය මණ්ඩලයත් නිල නිවසක්, ප්‍රභූ ආරක්ෂාවක්ද විපක්ෂ නායක ධුරයට හිමිය. මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ධුරය දරන අවධියේ ඔහුට කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සෙබළුන්ගේ අතිවිශේෂ ආරක්ෂාවක්ද ලැබුණි.

 පානුක රාජපක්ෂ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.