lakbima.lk

ඩිප්ස් සීයක් ගසන්නැයි ජනපති ‍පොලිස්පතිට අණ කරයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මේ සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වුණේ ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදීය. මේ සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ කැබිනට් පත්‍රිකා අතර වරාය සහ දුම්රිය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවක්ද විය. එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණේ දුම්රිය සේවකයන්ගේ වර්ජන විසඳීම සඳහා සරත් අමුණුගම ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කැබිනට් අනු කාරක සභාවේ යෝජනා අනුවය.

“මේ විදියට වැටුප් වැඩි කරන්න බෑ. මේ විදියට වැටුප් වැඩි කළොත් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්” මුදල් ඇමැති මංගල සමරවීර කැබිනට් පත්‍රිකාවට විරෝධය දැක්විය.

“මේක කැබිනට් මණ්ඩලයේ තීන්දුවක්. මුදල් ඇමැතිවරයාගේ තීන්දුවක් නමෛයි. රටේ තීන්දු ගන්නේ කැබිනට් මණ්ඩලය. එහෙම ගන්න තීන්දු එක ඇමැතිවරයෙක්ට ඕන විදියට වෙනස් කරන්න බෑ” රාජිත සේනාරත්න ඇමැතිවරයා මංගල සමග ගැටුමක් ඇතිකරගත්තේය.

“මේ කැබිනට් එක කෙළින් දෙයක් තීරණය කරන්නේ නෑ. මේවා මුදල් සම්බන්ධ කාරණා. ඒ නිසා අපි කෙළින් තීන්දු ගන්න ඕන” මංගල කීවේය.

“අපි කෙළින් තීන්දු ගන්නවා. ඒ නිසා තමයි මේ අයගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕන” රාජිත කීවේ තරමක ආවේගයෙන් යුතුවය.

“මේක කොන්ද පණ නැති කැබිනට් මණ්ඩලයක්. වෘත්තීය සමිති කියන කියන එකට නැමෙනවා. එහෙම කරන්න බෑ” මංගලත් කීවේ තරමක ආවේගයෙන් යුතුවය.

“මේක ඇදගෙන යන්න බෑ. මේකට විසඳුමක් දෙන්න ඕන” මෛත්‍රී කීවේ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබාදෙමිනි.

එහෙත් මෙයට මංගලගේ වැඩි කැමැත්තක් තිබුණේ නැත. ඒ නිසා කැබිනට් රැස්වීම අවසන් වීමෙන් පසුව එදින සවස නැවත මෛත්‍රී හමුවීමට ඔහු ආවේ මුදල් අමාත්‍යාංශ ‍ලේකම්වරයා සමගය.

“වරාය සේවකයන්ට හා දුම්රිය සේවකයින්ට වැටුප් වැඩි කරන්නේ ඒ සේවාවන් සංවෘත සේවාවන් කරලා. මේක නැවත ප්‍රශ්න රැසකට හේතු වෙන්න පුළුවන්. ඒ නිසා මේකට ඉඩ දෙන්න එපා” මංගල මෛත්‍රීගෙන් ඉල්ලුවේය.

“මේ ගැන ප්‍රවාහන ඇමැතිතුමාගෙන් අහලා බලමු” යැයි කී මෛත්‍රී නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයාගෙන් මේ ගැන විමසුවේය.

“සර් මේ තීන්දුව අහෝසි කරන්න එපා. මේක අහෝසි කළොත් ප්‍රශ්න රැසක් ඇතිවෙන්න පුළුවන්. ආයිමත් වැඩ වර්ජන ඇතිවෙන්න පුළුවන්” නිමල් සිරිපාල කීවේය.

 අර්ජුන - ෆයිසර්  ගැටුමක්

ලිහිසි තෙල් අලෙවිය සඳහා මැ‍ලේසියානු සමාගමකට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාවක් මේ සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී තිබුණේය. චන්දිම වීරක්කොඩි ඛනිජ තෙල් ඇමැතිවරයා ලෙස කටයුතු කරන කාලයේදී ඉදිරිපත්ව තිබූ යෝජනාව නීතිපති දෙපාර්තමේන්තුවේ අදහස් ලබාගැනීමට යොමු කිරීම නිසා මාස කිහිපයකට පසුව එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්ව තිබුණේය.

“මම මේකට විරුද්ධයි” අර්ජුන රණතුංග ඇමැතිවරයා කැබිනට් පත්‍රිකාවට විරෝධය දැක්වූවේය.

“මේක නීතිපති දෙපාර්මේන්තුවට ඉදිරිපත් කරන්න කියලා කැබිනට් මණ්ඩලය තීරණය කරලා තිබුණා. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුවට යවලා තමයි දැන් මේක ආයිමත් කැබිනට් මණ්ඩලයට එන්නේ. ඒ නිසා මේ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙන එකේ ප්‍රශ්නයක් නෑ” ෆයිසර් පැහැදිලි කළේය.

“ඒ වුණාට නීතිපති දෙපාර්තමේන්තුව කියපු හැම දේම මේකට ඇතුළත් කරලා නෑ” අර්ජුන කීය.

“නීතිපති දෙපාර්තමේන්තුවේ අදහස් අරගෙන තමයි මේක ගෙනැත් තියෙන්නේ” ෆයිසර් නීතිමය තත්ත්වයද පැහැදිලි කළේය.

“කාට හරි මේකේ අඩුපාඩුවක් තියෙනවා නම් අපිට ඒවා නිවැරදි කරගන්න පුළුවන්. අපි මේ ගිවිසුමට එන්න ඕන. නැතිනම් අපිට ජාත්‍යන්තර වශයෙන් නරක තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. මේක ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත්වෙන්න පුළුවන්. ඒ නිසා මේකට කැබිනට් අනුමැතිය ගන්න” විරෝධතා මැද අර්ජුනගේ විරෝධය පුස්සක් බවට පත්විය.

 රාජිතගේ උත්සවයට  චතුරගෙන් විරෝධය

මෛත්‍රීට අඟහරුවදා සවස උත්සවයකට ආරාධනා ලැබ තිබුණේය. මේ ආරාධනය ලැබි තිබුණේ රාජිත සේනාරත්න ඇමැතිවරයාගෙන්ය. ඒ ඔහුට ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ධුරය ලැබිම නිමිත්තෙන් පවත්වන උපහාර උත්සවයක ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමටය. රාජිතට උපහාර උත්සවයක් සංවිධානය කළ යුතු බවට අදහස් ඉදිරිපත් කර තිබුණේ ඔහුගේ අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිපදෙනෙකි.

“කලින් ඉඳපු සෞඛ්‍ය ඇමැතිවරුන්ට ලෝක සෞඛ්‍ය සංවිධානයේ තනතුරු ලැබුණාම උපහාර උත්සව පැවැත්වූවා. ඇමැතිතුමාටත් උපහාර උත්සවයක් පවත්වමු” නිලධාරීහු යෝජනා කළහ.

“සෞඛ්‍ය අමාත්‍යාංශයේ බජට් එකෙන් මේවට වියදම් කරන්න එපා. වෙන විදියකට සල්ලි හොයාගෙන එහෙනම් සංවිධානය කරන්න” රාජිත උපදෙස් දුන්නේය.

ඒ අනුව “සුවපති” අභිෂේකය නමින් රාජිතට උපහාර පිදීමේ උත්සවය සංවිධානය විය. මෙහි ආරාධිත දේශනය පැවැත්වීමේ වගකීම පැවරුණේ මහාචාර්ය කාලෝ ෆොන්සේකාටය. කාලෝට ඒ සඳහා ආරාධනා කිරීමට ගියේ දොස්තර උපුල් ගුණසේකරය.

“උපුල් මට මේක භාරගන්න කලින් ඔයාලාගෙන් දෙයක් ඕන කරලා තියෙනවා. රාජිත ඇමැතිතුමා කරපු වැඩ ටික මට ගෙනැත් දෙන්න. කරපු වැඩ මිසක් කරන්න හදන වැඩ ‍නෙවෙයි” කාලෝ දැනුම් දුන්නේය. ඉන් පසුව කාලෝට රාජිත කළ වැඩ කටයුතු සඳහන් ලිපි ගොනුවක් ලැබුණි. එය කියවා බැලූ මහාචාර්ය කාලෝ ප්‍රධාන දේශනය පැවැත්වීමට එකඟ විය.

රාජිත වෙනුවෙන් උපහාර උත්සවය සංවිධානය කරන විට චතුර සේනාරත්න මන්ත්‍රීවරයා එයට විරෝධය දැක්විය. ඔහු සංවිධාන කටයුතුවලට සහභාගිවූයේද නැත. රාජිතගේ උත්සවයට චතුර පැමිණියේද අනෙක් මැති ඇමැතිවරු පැමිණීමෙන් පසුව උත්සවයේ අවසාන විනාඩි කිහිපයේදීය.

මෛත්‍රී ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වී සිටි උත්සවයට රනිල්ද පැමිණ සිටියේය. රනිල් සිටියදී කාලෝ අපූරු කතාවක් කළේය.

“එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා පළමුවෙනි සුවපති ලෙස හිටපු පක්ෂයෙන් ඉවත්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිකර රාජ්‍ය නායකයා බවට පත්වුණා. විසි පස්වැනි සුවපති වූ මෛත්‍රීපාල සිරිසේන මහතාත් රාජ්‍ය නායකයා බවට පත්වුණේ නොසිතූ විරූ අයුරින්. මට හිතෙනවා මේ ඉතිහාසය දෙස බලන විට රාජිත සුවපතිටත් පණිවුඩයක් තිබෙනවාද කියා. පළමුව සුවපති දෙවැනිව ජනපති වීමේ ප්‍රවණාතවක්ද තියෙනවා ද කියා සලකා බලන්න” කාලෝ කියන විටම රනිල් තමන්ගේ ආසනයෙන් නැගිට්ටේය. එක්වරම නැගිට සිටි ඔහු පිටත්ව ගියේ ඔහු අසල සිටි ජෝන් අමරතුංග ඇමැතිවරයාත් කැඳවාගෙනය.

රනිල් ආසනයෙන් නැගිට යන විට ‍පොලිස්පති පූජිත් ජයසුන්දරත් ඔවුන් දෙදෙනාගේ පිටුපසින්ම උත්සව ශාලාවෙන් පිටතට ගියේ මෛත්‍රී සභාවේ සිටියදීමය. රනිල් පිටුපසින් ගිය ඔහු ටික වේලාවකින් නැවත සභාවට පැමිණියේය.

මෛත්‍රී හමුවීමට ඉරාන විදේශ කටයුතු ඇමැතිවරයා පැමිණ සිටි නිසා මෛත්‍රීගේ අදහස් දැක්වීමද ඉක්මන් කළේය.

“කාලෝ ෆොන්සේකා මහතා ප්‍රකාශ කළ ආකාරයට රාජිත ඇමැතිතුමාට රාජ්‍ය නායකයා වෙන්න පුළුවන්. පක්ෂ මාරු කරන්නේ නැතිව දැන් ඉන්න තැන ඉඳගෙනම රාජ්‍ය නායකයා වීමේ අවස්ථාව උදා කරගන්න” මෛත්‍රී කීවේ තමන්ගේ පක්ෂයේ නොවන පක්ෂයක අයෙක්ට රාජ්‍ය නායකයා වීම ගැන එතරම් තැකීමක් කරන්නේ නැතිවය.

මෛත්‍රී  ‍පොළොන්නරුවේ

රාජිතගේ උත්සවය අවසන්වූ පසුව ඉරාන ඇමැතිවරයා හමුවී මෛත්‍රී ‍පොළොන්නරුව බලා පිටත්ව ගියේය. ඒ පිබිදෙන ‍පොළොන්නරුව සංවර්ධන ව්‍යාපෘති එකසිය අසූවක් විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමටය. ඔහු ‍පොළොන්නරුවට යන විට සංවර්ධන ව්‍යාපෘති විවෘත කිරීමේ සංවිධායකයන් සිටියේ මෛත්‍රීගේ දුවට අයත් තිදස් අරණ හෝටලයේය. ඒ පසුදින සිට දින තුනක් පුරා පැවැත්වෙන විවෘත කිරීම්වල සංවිධාන කටයුතු ගැන සාකච්ඡා කරමිනි.

“සර් සංවිධායක කමිටුව දැන් වැඩ කටයුතු ගැන සාකච්ඡා කරමින් ඉන්නේ” මෛත්‍රීගේ ‍ලේකම්වරයෙක් ඔහුට දැනුම් දුන්නේය.

“මම ගෙදර ගිහින් ඉක්මනට එතැනට එන්නම්” කී මෛත්‍රී ‍පොළොන්නරුවේ නිවසට ගොස් විනාඩි පහක් ඇතුළත නිලධාරීන් සිටි තැනට පැමිණියේය.

“මේ සංවර්ධන ව්‍යාපෘති විවෘත කරන්න එන ඇමැතිවරුන්ගේ පහසුකම් ගැන සොයා බලන්න” මෛත්‍රී උපදෙස් දුන්නේය.

පසුදා මැදිරිගිරියේ බස් නැවතුම්පළ විවෘත කළ මෛත්‍රී හිඟුරක්ගොඩ රෝහ‍ලේ ශල්‍ය වෛද්‍ය සංකීර්ණය විවෘත කිරීමට එක්විය. ඉන් පසුව මැදිරිගිරියේ බස් නැවතුම්‍පොළ හා දෙමහල් වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීමට සහභාගී විය. ‍පොළොන්නරුවට පැමිණ සිටි මැති ඇමැතිවරු වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් තිදස් අරණ හෝටලයේ සංවිධානය කර තිබුණි. මෛත්‍රී රාත්‍රී හතයි තිහට පමණ පැමිණෙන විට කැලිප්සෝ සංගීතයක් සූදානම් කර තිබුණි. එහෙත් මෛත්‍රී එන තෙක් ඔවුන් වාදනය ආරම්භ කර තිබුණේ නැත. වාදකයන් පසෙකට වී සිටි අතර වාද්‍ය භාණ්ඩ ඔවුන් අසල විය.

“මේවා නිකං තියාගෙන ඉඳලා හරියන්නේ නෑ. සිංදුවක් කියන්න” මෛත්‍රී ඔවුන්ට වාදනයට ආරාධනා කළේය. ඒ අනුව ඔවුන් වාදනය ආරම්භ කළේය. අනතුරුව වීරකුමාර දිසානායක, ලසන්ත අලගියවන්න, බුද්ධික පතිරණ ඇතුළු මැති ඇමැතිවරු සමග රාත්‍රී භෝජන සංග්‍රහයට මෛත්‍රී එක්විය.

“මැදිරිගිරියේ සංගීත සංදර්ශනයක් තියෙනවා. මම ඒකටත් යන්න ඕන” යැයි කී මෛත්‍රී රාත්‍රී ආහාරය ගෙන එතැනින් පිටත්ව ගියේය.

සංගීත සංදර්ශනයට යන විට ‍පොලිස්පතිවරයාද එතැනට පැමිණ සිටියේය.

“සර් මටත් මෙතැන සිංදුවක් කියන්න ඕන” ‍පොලිස්පතිවරයා මෛත්‍රීගෙන් ගීත ගායනයට අවසර ඉල්ලුවේය.

“ඕක ඉතිං හූවක් අහගන්න වැඩක් තමයි” මෛත්‍රී කීවේ ඇඟට පතට නොදැනීමය.

“කමක් නෑ.. සර් මම එක සිංදුවක් කියන්නම්” ‍පොලිස්පතිවරයාද සටන අතහැරියේ නැත.

“එහෙනම් ඕන එකක්” මෛත්‍රී කීවේද ‍පොලිස්පතිවරයාද හූවක් අහගන්නා හැටි ගැන බලාගැනීමට හැකි නිසාය. මෛත්‍රී කියූ ලෙසටම ‍පොලිස්පතිවරයා වේදිකාවට ගොඩ වන  විටම පැමිණි සිටි අය මහ හඩින් හූ කියන්නට වූහ.

“නියමයි.. නියමයි.. ඕව තමයි අපිට ඕන. තවත් හොඳ හූවක් දෙන්න” ‍පොලිස්පතිවරයා තවත් හූවක් ඉල්ලුවේය. හූ හඬ අසාගෙනම ඔහු ගීතයක් ගානයා කරන්න ගත්තේය. ගීතය ගයා අවසන් වූ ඔහු ආවේ මෛත්‍රී ළගටය.

“මම යන්න කලින් කිව්වානේ. මම කිව්ව විදියටම හොඳවයින් හූවක් අහගත්තානේ” මෛත්‍රී කියන විට පූජිත් සිනාසුනා මිස කිසිවක් කියන්න ගියේ නැත.

 ‍පොලිස්පතිට ඩිප්ස්

මෛත්‍රී ‍පොළොන්නරුවේ සංවර්ධන ව්‍යාපෘති විවෘත කරන අතරවාරයේදී ශරීර සුවතා මංතීරුවක්ද විවෘත කළේය. බ්‍රහස්පතින්දා උදෑසනම මෙම ශරීර සුවතා මංතීරුව විවෘත කිරීමට මෛත්‍රී ගියේ ‍පොලිස්පතිවරයාද කැඳවාගෙනය.

“‍පොලිස්පතිතුමා ඕන මේක විවෘත කරන්න” යැයි කී මෛත්‍රී ශාරීරික ව්‍යායාම් කිරීමේ අවස්ථාව ‍පොලිස්පතිවරයාට දුන්නේය. ඒ අනුව ‍පොලිස්පතිවරයා ඩිප්ස් ගැසීමට පටන් ගත්තේය.

“‍පොලිස්පතිතුමා සීයක් ගහන්න ඕන” මෛත්‍රී කීවේය.

“සීයක්”‍පොලිස්පතිවරයා කීවේ එය අමාරු ඉලක්කයක් බව ඇඟවීමටය.

“සීයක්.. සීයක්.. රාලහාමි දහයයි. අයි.පී. පහළොවයි, ඒ.එස්.පී. විස්සයි, එස්.එස්.පී. තිහයි, ඩී.අයි.ජී. පනහයි, සීනියර් ඩී.අයි.ජී. හැත්තෑපහයි. අයි.ජී. සීයයි” මෛත්‍රී ඩිප්ස් ගැසිය යුතු ප්‍රමාණය දැනුම් දුන්නේය

“ගණං කරනවා.. ගණං කරනවා” ‍පොලිස්පතිත් ඩිප්ස් ගසන අතරවාරයේදී තමන් අසල සිටි අයට කීවේය.

“ඇති.. ඇති.. නැතිනම් මට තවත් අයි. ජී. කෙනෙක් හොයාගන්න වෙනවා” මෛත්‍රී කීවේ ‍පොලිස්පතිවරයා අපහසුවෙන් ඩිප්ස් ගසන ආකාරය දෙස බලමිනි.

ලාන්සා සහ ඩුලීප්  කුතුහලයෙන්

කටානේ ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ බල මණ්ඩල රැස්වීම පසුගිය සතියේදී පැවැත්වුණේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙනි. ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු පිරිසක් මෙයට එක්ව සිටියහ. ඉන් පසුව නාත්තන්ඩියේද රැස්වීමක් පැවැති අතර බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා එහි පැමිණ සිටියේය. මේ රැස්වීම් දෙක අවසන් කළ ප්‍රසන්න ඇතුළු පිරිස තවත් රැස්වීමකට පිටත්ව ගියේ එකම වාහනයකිනි. නිමල් ලාන්සා සහ ඩුලිප් විජේසේකරද එම වාහනයටම නැග්ගෝය.

තිදෙනා ගමන් කරන අතරවාරයේදී ප්‍රසන්නට දුරකතන ඇමතුමක් ලැබිණි. එම ඇමතුමෙන් කියවුණේ ප්‍රසන්නගේ බිරිඳගේ ඥාති දියණියක් මිය ගොස් ඇති බවය. සය හැවිරිදි දැරියගේ මරණය ගැන ඇසුණ විට ප්‍රසන්න  ඉකි ගසා හඬන්නට විය. දුරකතන ඇමතුමෙන් කියවුණේ කුමක් ගැනදැයි නොදැන සිටි ලාන්සා හා ඩුලිප් මුහුණට මුහුණ බලාගන්නට වූයේ සිදුවූයේ කුමක් දැයි සිතාගත නොහැකිවය.

“මොකද මන්ත්‍රීතුමා වෙලා තියෙන්නේ” ලාන්සා ඇසුවේය.

“මට ගොඩක් හිතවත් දුවෙක් නැතිවෙලා. එයා අපේ නෝනාගේ පැත්තෙන් ඥාතියෙක් වෙන කෙනෙක්. අපේ ගෙදර ආවම කා එක්කවත් කතා කරන්නේ නෑ. මගේ ඔඩොක්කුවට වෙලාම තමයි ඉන්නේ. කොහේ හරි ඇවිදින්න ගියොත් මගේ අතේ එල්ලිලාම තමයි ඉන්නේ” ප්‍රසන්න විස්තර කළේය.

“අපි මොකද කරන්න ඕන දැන්” ඩුලිප් ඇසුවේය.

“මම දැන් කොළඹ යනවා” ප්‍රසන්න කීවේ ඇස්වල මතුවූ කඳුළු පිසදමා ගනිමිනි.

“අපි දෙන්නා රැස්වීමට යන්නම්. එතැන වැඩ අපිට බලාගන්න පුළුවන්නේ” ලාන්සා හා ඩුලිප් ප්‍රසන්නගේ වාහනයෙන් බැස පිටුපසින් පැමිණි තමන්ගේ වාහනවලට නැගුනාහ. ඔවුන් දෙදෙනා රැස්වීම්වලට යද්දී ප්‍රසන්න මෝදර පිහිටි ඥාති දියණියගේ අවමඟුල් නිවසට පැමිණියේය.

 මහින්දගේ ගෙදරට ගිය  මෛත්‍රීගේ අය

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක හමුව අඟහරුවාදා රාත්‍රියේදී පැවැත්වුණේ මහින්දගේ නිල නිවසේදීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන එස්.බි. දිසානායක, ජෝන් සෙනෙවිරත්න හා සුසිල් ප්‍රේමජයන්ත මහින්දගේ නිවසට එන විට ඔවුන් පිළිගැනීමට ඉදිරියට ගියේ මහින්දය.

“අද අපේ පක්ෂ නායක රැස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එකතුවෙලා ඉන්න තුන්දෙනාම පිළිගන්නවා” මහින්ද ඔවුන් තිදෙනාම පිළිගත්තේය.

“මහින්ද මහත්තයා එක්ක එකතුවෙලා ඉදිරි දේශපාලන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අපි සූදානම්. ආණ්ඩුව පෙරළන්න අපේ කණ්ඩායම උපරිම සහාය දෙනවා” සුසිල් මහින්දට සහතිකයක් දුන්නේය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැනද අවධානය යොමුවිය.

“විස්සේ උඩින් තියෙන දේ නමෛයි යටින් තියෙන්නේ. මේක ජනතා විමුක්ති පෙරමුණ හරහා එක්සත් ජාතික පක්ෂයේ වුවමනාවන් ඉටු කරගන්න හදන වැඩක්” දිනේෂ් පෙන්වා දුන්නේය.

“අපි මේකට විරුද්ධව හඬ නගන්න ඕන” මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාද කතාවට එක්විය.

“එක්සත් ජාතික පක්ෂය ව්‍යවස්ථාදායක සභාවත් හෑල්ලු කරලා තමන්ගේ හෙංචයියෝ දාලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්මත කරගන්න හදනවා. මමයි ප්‍රසන්නයි මේකට විරුද්ධ වුණා” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී සිදුවූ දේ පැහැදිලි කළේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාය.

“මේක වෙන්න දෙන්න බෑ. මේ විදියට ව්‍යවස්ථා සම්මත වෙන්න දෙන්න බෑ” උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පැවැසුවේය.

ඉන් පසුව අවධානය යොමුවූයේ මත්තල ගුවන්තොටපුළ වෙතය.

මත්තල ගිහින් ආවට පස්සේ අපි නිමල් සිරිපාල ඇමැතිතුමා  හමුවෙන්න ගියානේ. එතැනදී නිමල් කිව්වේ පනත වෙනස් කරලා හරි මත්තල දෙනවා කියලානේ” කෙහෙළිය කීය.

“මම එතැනදී නිමල් ඇමැතිතුමාගෙන් ඇහුවේ ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද එහෙම නැතිනම් එක්සත් ජාතික පක්ෂයේද කියලයි” මහින්දානන්ද කීවේය.

“එතුමා ඉතිං ඒ පැත්තෙත් නෑ. මේ පැත්තෙත් නෑනේ” යැයි එතැන සිටි අයෙක් කීවේය.

“මත්තල ඉන්දියාවට දෙනවා කියලා කිව්වට ඉන්දියාව කියලා තියෙන්නේ ඒක ගන්න එක ගැන ඉන්දියානු ආණ්ඩුවේ සම්බන්ධයක් නෑ කියලයි. එය ඉන්දියානු සමාගමකට දෙන එක ගැන තමයි ඉන්දියාව කියලා තියෙන්නේ” තවත් මන්ත්‍රීවරයෙක් කීවේය.

“අපි ඉන්දියානු මහ කොමසාරිස්වරයා හමුවෙලා මේ ගැන සාකච්ඡා කරන්න ඕන” ඉන් පසුව ඉදිරිපත් වූ යෝජනාවට මහින්දගේත් අනුමැතිය හිමිවිය.

ඒකාබද්ධ විපක්ෂයේ සිටින රාජපක්ෂ පවු‍ලේ අයෙක්ට ඇමෙරිකානු තානාපතිවරයාගෙන් ආරාධනයක් ලැබුණි. ඒ කොළඹ තරුපංතියේ හෝටලයකදී හමුවී සාකච්ඡාවකට එන ලෙසය. ඔහු ඇමෙරිකානු තානාපතිවරයා හමුවීමට ගිය විට ඇමෙරිකානු තානාපතිවරයා පැමිණියේ තනිවම නොවේ. කැනඩා මහ කොමසාරිස්වරයා හා ජර්මානු තානාපතිවරයාත් ඇමෙරිකානු තානාපතිවරයා සමග පැමිණියේය.

“මේ ආණ්ඩුවේ කටයුතු ගැනත් අපිට විවේචනයක් තියෙනවා. ඒකට අපිට දැන් විකල්පයක් නෑ. මේ ආණ්ඩුවේ වැඩ කටයුතු ගැන සතුටු නැති වුණා කියලා ඔයාලාට උදව් කිරීමට අපි සූදානම් නෑ. මොනවා වුනත් මේ ආණ්ඩුව දිගටම පවතිනවා දකින එක තමයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ” ඇමෙරිකානු තානාපතිවරයා ආණ්ඩුව සම්බන්ධයෙන් තානාපති අංශවල  ඇති මතය ඉදිරිපත් කළේය.

ඉන්දියානු මහ කොමසාරිස්වරයා මේ සාකච්ඡාවට එක්ව නොසිටියත් දුරකථනයෙන් සාකච්ඡාවට එක්විය.

“අපි අතින් පසුගිය කාලෙදී සිදුවුණ වැරදි දැන් නිවැරදි කරගෙන තියෙනවා. ආණ්ඩුව අපි කරපු දේට චෝදනා කරපු එකක්වත් ඔප්පු කරගන්න බැරිවෙලා තියෙනවා. අපි ස්වයං විවේචනයක යෙදිලා අලුත් ගමනක් ආරම්භ කරලා තියෙන්නේ” ඒකාබද්ධයේ ප්‍රධානියා කීවේ රාජපක්ෂ ආණ්ඩුවේදී සිදුවූ වැරදි ගැනත් විස්තර කරමිනි.

“ඒත් අපට පහුගිය ආණ්ඩුවේ අය ගැන විශ්වාසයක් තියන්න අමාරුයි. ඔයාලාගේ ප්‍රතිපත්ති තවම වෙනස් වෙලා නැහැ කියලයි අපිට හිතෙන්නේ” තානාපතිවරයෙක් කීවේය.

“අපි පළාත් සභා මැතිවරණය තියන්න කියලා දිගටම ඉල්ලනවා. ආණ්ඩුව ඡන්ද තියන්න කැමැති නැහැ. ඒත් අපේ කාලයෙදී අපි ඡන්ද කල් දැම්මේ නෑ. නියමිත කාලයටත් කලින් මැතිවරණ පැවැත්වූවා” රාජපක්ෂ පවු‍ලේ ප්‍රධානියා කිවේය.

“මොනවා වුනත් පළාත් සභා මැතිවරණය තියන්න ආණ්ඩුවට අවසර දෙනවා. දිගටම මැතිවරණ කල් දාන එක ආණ්ඩුවට හොඳ නෑ” ඇමෙරිකානු තානාපතිවරයා පැවැසුවේය

“එහෙම වුණාම රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ කියලා මතයක් ජනතාව අතරට යනවා. ඔයාලගේ ආණ්ඩුවක් නැවත බලයට එනවා දකින්න ජාත්‍යන්තර ප්‍රජාවගේ වැඩි කැමැත්තක් නැහැ. අපි මේ ගැන බලලා සමීක්ෂණයක් පවා පවත්වලා තියෙනවා” තවත් තානාපතිවරයයෙක් කරුණු ඉදිරිපත් කළේය.

“මිනිස්සු ඉල්ලන්නේ මහින්ද මහත්තයා. රටේ මිනිස්සු ඉල්ලන්නේ ඒක. තානාපති කාර්යාලවලට වුවමනා විදියට ඒක වෙනස් කරන්න බෑ” රාජපක්ෂ පවු‍ලේ සාමාජිකයා කීවේ සාකච්ඡාව අවසන් කරමිනි.

මේ සාකච්ඡාව අවසන්වූ වහාම ඔහු ගියේ මහින්ද හමුවීමටය.

“මම තානාපතිවරු හමුවුණ වෙලාවේදී අපිට ලොකු අනතුරු ඇඟවීමක් කළා. ඒක අපිට හොද තත්ත්වයක් නමෛයි” ඔහු මහින්දට අනතුරු ඇඟවූවේය.

“අපේ කාලයේ හිටපු තානාපතිවරු හමුවෙලා මේ ගැන සාකච්ඡා කරමු” මහින්ද යෝජනා කළේය. ඒ අනුව හිටපු තානාපතිවරුන්ගේ හමුව සංවිධානය කළේ ඊශ්‍රායලයේ හිටපු තානාපති සරත් විජේසිංහය. ඔහු එය සංවිධානය කර තිබුණේ ඔහුට අයත් හෝටලයකදීය. රාජපක්ෂ ආණ්ඩුවේ කැපී පෙනුණ තානාපතිවරයෙක් වූ ආචාර්ය දයාන් ජයතිලකට මේ සාකච්ඡාවට ආරාධනාවක් ලැබ තිබුණේ නැත.

මේ සාකච්ඡාවට මහින්ද පැමිණියේ ජී.එල්.පීරිස් සමගය.

“අපිට ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක් හදාගන්න ඕන. ඒ නිසා අපි කමිටු කීපයක් හදලා විදේශ ප්‍රතිපත්තියක් ගැන තීරණයක් ගනිමු” ජී.එල්. යෝජනා කළේය.

“අද අපි හමුවුණේ තානාපතිවරු අපිට කරපු අනතුරු ඇඟවීමක් ගැන කතා කරන්න. අපිට ජාත්‍යන්තර වශයෙන් හොඳ තත්ත්වයක් නමෛයි තියෙන්නේ. මේකට මොකද කරන්නේ” මහින්ද ඇසුවේය.

“රාජපක්ෂ ආණ්ඩුව ගැන ජාත්‍යන්තරයට ගියපු අදහස් නිසා තමයි මේ වගේ දෙයක් වෙලා තියෙන්නේ. ඒකට විසඳුමක් තියෙන්න ඕන” හිටපු තානාපතිවරු පැවැසූහ.

“මේකට කරන්න තියෙන්නේ තානාපති කාර්යාවලට ගිහින් ඒ අය දැනුවත් කිරීමයි” තවත් යෝජනාවක් ඉදිරිපත් විය.

“ජී.එල්. එක්ක සාකච්ඡා කරලා අවශ්‍ය පියවර ගන්න. මාසයකට වතාවක් ජී.එල්.එක්ක සාකච්ඡා කරලා ගන්න ඕන පියවර ගැන තීරණය කරන්න” මහින්ද කීවේය.

සාකච්ඡාවෙන් පසුව රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වුණේ තානාපතිවරුන්ගේ ආගිය කතා මැදය. තානාපති සේවයේ රසකතාවලින්ද රාත්‍රී සාදය අඩුවක් නොවීය.

 රනිල්ට මෝදි ඇඳුමක්

අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය සතිඅන්තයේ සිටියේ නැගෙනහිර පළාතේය. තරමක විවේකයෙන් කාලය ගත කළ රනිල් හා නැගෙනහිර ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ. යුද්ධයෙන් පීඩාවට පත්වූ ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය ඇතුළු ප්‍රශ්න ගැන සොයා බැලූ රනිල් ඉරිදා මඩකලපුවට පැමිණියේය. ආරියම්පති ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාල ගොඩනැගිල්ල විවෘත කළ ඔහු එරාවුර් බලා ගොස් එහිද ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයක් විවෘත කළේය.

“නැගෙනහිර පළාතේ සංචාරක ව්‍යාපාරය සීඝ්‍රයෙන් දියුණු කිරීමට සෘජු ගුවන් සේවයක් ආරම්භ කරනවා. එවිට සංචාරකයන් හා ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගේ කටයුතු කඩිනම් වේවි” රනිල් කීවේය.

එම උත්සවය අවසන් කළ රනිල් ගියේ දිවා ආහාරය ගැනීමටය. දිවා ආහාරය සූදානම් කර තිබුණේ එරාවුර්හි පිහිටි නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමැතිවරයාගේ නිවසේදීය. බෝගොල්ලාගම ආණ්ඩුකාරවරයා සහ රවුෆ් හකීම්, වජිර අබේවර්ධන මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුද දිවා ආහාරයට කැඳවා ගැනීමට රනිල් අමතක කර තිබුණේ නැත.

ඉරිදා සවස නැවත කොළඹ පැමිණි රනිල් සඳුදා ගාල්ල බලා පිටත්ව ගියේ ගිංතොට සහිරා විද්‍යාලයේ ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමටය. ගාල්ලට යන විට තරමක වැසි ගතියක් තිබූ අතර, උත්සවය අවසන් කර එන විට වැස්ස වැඩි වී තිබුණි. මේ නිසා හෙලිකොප්ටරයෙන් නැවත කොළඹ බලා පැමිණීම තරමක් දුෂ්කර විය. විනාඩි විස්සක් පමණ බලා සිටි රනිල් හෙලිකොප්ටරයෙන් කොළඹ බලා පිටත්වීමට තීරණය කළ අතර, අධික වැස්ස නිසා ගුවන් නියමුවන් හෙලිකොප්ටරය රැගෙන ආවේ වෙරළ තීරය දිගේය. ඒ වැස්ස නිසා මඟ බලාගැනීම අපහසු වීම නිසාය.

අඟහරුවාදාත් රනිල් නැවත ගාල්ලට පැමිණියේය. හෙලිකොප්ටරයකින් ඔහු ගාල්ලට ආවේ තරු හෝටලයක් විවෘත කිරිමටය. රාජිතගේ උත්සවයේදී සුවපති ජනපති වෙන හැටි කියද්දී නැගිට පැමිණ රනිල් ගාල්ලට එනවිට මඳ වැසි ඇදහැලෙමින් තිබුණේය. කොළඹින් ඔහු පිටත් වන විට වෙනදාට අඳින ඇඳුමට වඩා වෙනස් ඇඳුමක් රනිල් ඇඳගෙන තිබුණි.

“කෝට් එක අඳිනවාට වඩා ෂර්ට් එකට උඩින් ජැකට් එකක් අදිමු. ස්මාර්ට් කැෂුවල්නේ එන්න කියලා තියෙන්නේ” යැයි කී රනිල් තැඹිලි පැහැයට හුරු ඉන්දියානු ක්‍රමයේ ජැකට් එකක් ඇද උත්සවයට එක්විය.

“අපි හිතුවා මෛත්‍රීපාල ජනාධිපතිතුමා ඡන්දය ඉල්ලන්න එනවා කියලා” වජිර අබේවර්ධන ඇමැතිවරයා  කියන විට අසල සිටි ගයන්ත කරුණාතිලක ඇමැතිවරයා සිනාසෙමින් එය අනුමත කළේය. එදින රාත්‍රියේ රනිල් නැවතුනේද එම හෝටලයේය.

රනිල් බ්‍රහස්පතින්දා උදෑසනම අරලියගහ මන්දිරයට පැමිණියේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ දූත පිරිසක් හමුවීමටය. ඉන් පසුව රනිල් අරලියගහ මන්දිරයට පැමිණ සිටි මැති ඇමැතිවරු පිරිසක් හමුවිය.

“ආණ්ඩුව පෙරළලා මහින්ද අගමැති කරන ලිප්ටන් උද්ඝෝෂණය අද නේද තියෙන්නේ. පළාත් පාලන ඡන්දෙදී කිව්වෙත් මහින්ද අගමැති කරනවා කියලානේ” ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා සුපුරුදු ලෙස කතාවට මුල පිරුවේ සිනාවක් මුවට නංවාගනිමිනි

“ඒකාබද්ධයේ දැන් ඇතුළෙත් උද්ඝෝෂණ, එළියෙත් උද්ඝෝෂණ. ආණ්ඩුව ඕනෑම උද්ඝෝෂණයකට ආරක්ෂාව දෙනවා. එයාල වගේ වෙඩි තියලා මිනිස්සු මරලා, අත පය කඩන්නේ නෑ” රනිල් කීවේ ඒ සිනාවටම එක්වෙමිනි.

“හවසට අගමැතිකම ඉල්ලලා උද්ඝෝෂණ කළාට උදේට විපක්ෂ නායකකම තමයි ඉල්ලන්නේ” එතැන සිටි මන්ත්‍රීවරයෙක් කීවේය.

“පාර්ලිමේන්තු සම්ප්‍රදායට කාටවත් අභියෝග කරන්න බෑ. අගමැති පත්වෙන්නේ වැඩිම මන්ත්‍රීවරු ඉන්න පක්ෂයෙන්. විපක්ෂ නායක පත්වෙන්නේ ඊළඟට වැඩිම පක්ෂයෙන්. මේ පාර්ලිමේන්තුවේ දෙවැනි වැඩිම මන්ත්‍රීවරු ඉන්න පක්ෂය ආණ්ඩුවේ ඉන්න නිසා තුන්වැනියට වැඩිම මන්ත්‍රීවරු ඉන්න පක්ෂයටයි විපක්ෂ නායක ධුරය යන්නේ. මේක නොතේරෙන බබාලයි අද ඒකාබද්ධයේ ඉන්නේ” යැයි කිරිඇල්ල කියන විට “මෙයාලා ඒක තේරුම් ගන්නේ නැතිව බොරුවට කථානායකතුමාට බනිනවා” යැයි රනිල් කීවේය.

“ඇඹිලිපිටියේ පන්සලකට ගිය මහින්ද මහත්තයා ආවේ නෑ කියලා චමල් ආවම මිනිස්සු හූ තියලා. මහින්ද ටෙලිෆෝන් එකෙන් සංවිධායකට බැනලා අපි කියන විදියට උඹලා වැඩකරපන් කියලා තර්ජනය කරලා. මේක ඒකාබද්ධයේම කණ්ඩායමක් සංවිධානය කළා කියලා තමයි ආරංචි” නවීන් දිසානායක ඇමැතිවරයා කීවේය

“සර් දැන් ‍පොඩි කාර්වලට ගහන බද්ද වැඩි කරලා. මේක ගැන මිනිස්සු ටිකක් කළකිරීමෙන් ඉන්නේ” දයා ගමගේ ඇමැතිවරයා රනිල්ට කීවේය.

“දැනටමත් පාරවල් හිරවෙලා. මිනිස්සු ඒකට බනිනවා. වාහන එන එක අඩු කරන්න ගන්න පුළුවන් පියවර ගන්නවා. ඒකටත් මිනිස්සු බනිනවා. රාජ්‍ය ණය නිසා අලුත් පාරවල් හදන්න රටට සල්ලි නෑ. ඉක්මනින් කණු උඩ යන කෝච්චි ආවම පාරවල්වල තදබදය අඩුවෙනවා. එතකොට බදුවල වෙනසක් කරන්න පුළුවන්” රනිල් කීය.

“මාතර ඉඳලා හම්බන්තොටට අධිවේගී මාර්ගය තවත් වසර හතරකට ඕන නෑ. මුලින් හම්බන්තොට කර්මාන්ත දියුණු කරලා පස්සේ තමයි අධිවේගය ගේන්න තිබුණේ. අපරාදේ රාජපක්ෂලා රටේ සල්ලි හිරකළා” ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා කීවේය.

“හම්බන්තොට පැත්තේ අනවශ්‍ය ඉදිකිරීම් හා පාරවල්වලට වියදම් කරපු සල්ලි තිබුණා නම් නුවර හා රත්නපුර අධිවේගවලට ඒ මුදල් දාලා තවත් ඉක්මන් කරන්න තිබුණා” කිරිඇල්ල කීය.

“නුවර ටවුන් එක මැද ඉදිකරන්න ගිය ටනල් එක කෝ. අධිවේගයත් නුවර පැත්තේ ඉදිකිරීම් මන්දගාමීවයි සිදුවෙන්නේ. මේ නිසා මිනිස්සු දොස් කියනවා කියලා මට මයන්ත මල්ලි කිව්වා” නවීන් දිසානායක ඇමැතිවරයා කීවේ රනිල්ටය.

“ටනල් එක නුවර වැවේ මට්ටමටත් පහළට ගෙනියන්න වෙනවා. එතකොට අධික මුදලක් වැය වෙනවා. ණය සීමාවත් පනීවි. ඒත් නුවර අධිවේගය ඊළඟ ඡන්දවලට කලින් සම්පූර්ණ කරන්න ඕන” රනිල් කීවේය.

“රාජිත ඇමැතිතුමා ඖෂධ හතළිස් අටක මිල කලින් අඩු කළා. ළඟදී තවත් විසිපහක මිල අඩු කරනවා. මේවා ජනතාවට දැනෙන්නේ නැත්තේ ඇයි? ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ අඩුපාඩු තවම තියෙනවා” නවීන් කීය. “නවීන් ජාතික සංවිධායක විදියට රටපුරාම වැඩ කටයුතු කරගෙන යනවා. ඒක පක්ෂයට හයියක්. අනික් පැත්තෙන් සජිත් රටපුරා ගෙවල් හැදීමත් තවත් හයියක්” දයා ගමගේ කීවේ ප්‍රශංසනාත්මකවය.

තිලකජය

කාටූන් - අංජන ඉන්ද්‍රජිත්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.