lakbima.lk

ගෝඨා ‍පොහොට්ටුවට ගිය හැටි

ඇමැති ධුරවලින් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නිවසට යන විට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඔවුන් සමග නොගොස් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හමුවීමට පැමිණියේය. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරී මණ්ඩලයේ සාකච්ඡාවක් කැඳවා තිබූ නිසාය. දයාසිරි එහි පැමිණ මෛත්‍රී සමග සුහද කතාවකද නිරතවිය.

“දයාසිරි මොකද ඉදිරියේදී කරන්න හදන්නේ” මෛත්‍රී ඇසුවේය.

“මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දාලා යන්නේ නෑ. පක්ෂයේ එක සාමාජිකයෙක් විතරක් ඉතුරු වුණත් මම ඒ සාමාජිකයා එක්ක පක්ෂයේ එල්ලිලා ඉන්නවා” දයාසිරි මහින්ද සමග එකතුවීමට අකමැත්ත පළ කළේය.

මේ අතර මෛත්‍රී දයාසිරිට ඉදිරියේ පක්ෂයේ වගකීම් ගැනීම ගැනත් ඉඟි පළ කළේය.

“අපේ පක්ෂයට ස්ථිර ‍ලේකම්වරයෙක් පත් කරගන්න ඕන. දයාසිරි වගේ තරුණ අයෙක් තමයි ඉදිරියේදී වගකීම් ගන්න ඕන” මෛත්‍රී දයාසිරිට ඉදිරි වගකීම් ගැන කරුණු දක්වා තිබුණේය.

 නිමල් සිරිපාලට  දිස්ත්‍රික් ‍ලේකම්වරියක්

මේ සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් සුපුරුදු පරිදි ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී පැවැත්වුණේ අඟහරුවාදාය. පුවත්පත්වලට විරුද්ධව කටයුතු කිරීම සඳහා කොමිසමක් පත්කිරීම ගැන එහිදී එක් ඇමැතිවරයෙක් අදහස් දක්වා තිබුණේය.

“කොමිෂන් දාන එකේ තේරුමක් නැහැ” මෛත්‍රී ඒ යෝජනාවට විරෝධය දැක්වූවේය.

නව දිස්ත්‍රික් ‍ලේකම්වරු පත් කිරීම ගැනත් මේ සතියේ කැබිනට් මණ්ඩලයේදී අදහස් හුවමාරු විය.

“නිමල් අපි බදුල්ලට දිස්ත්‍රික් ‍ලේකම්වරියක් පත් කරනවා. ඔයා එයත් එක්ක කතා කරලා වැඩ ටික කරගන්න” මෛත්‍රී කීවේය.

මේ අතර පසුගිය සතියේදී මෛත්‍රී හමුවීමට ජනාධිපති ‍ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු පැමිණියේ තමන්ගේ තනතුර ගැන තීරණයක් ගැනීමටය. ඔහු ජනපතිවරයාගේ දිගු කාලීන මිත්‍රයෙකි. හැත්තෑව දශකයේ ඔස්ටින් ප්‍රනාන්දු ‍පොළොන්නරුව දිසාපතිවරයා ලෙස රාජකාරි කළ සමයේ මෛත්‍රී ඔහු යටතේ හුන් ග්‍රාම නිලධාරියෙකි. මෛත්‍රී ජනපති වූ පසු ඔස්ටින් ජනපති උපදේශක සහ නැගෙනහිර ආණ්ඩුකාර ධුරයට පත්විය. ඔහු ජනපති ‍ලේකම් ධුරයට පත් වූයේ එම තනතුර දැරූ පී.බි. අබේකෝන් හදිසියේ ඉල්ලා අස්වීම නිසාය. අවුරුද්දක කාලයකට පමණක් ජනාධිපති ‍ලේකම්කම දැරීමට එකඟත්වය දක්වා තිබූ ඔස්ටින් තමන් ඉල්ලා අස්විම ගැන මෛත්‍රී සමග සාකච්ඡා කළේ තනිවමය. සැබැවින්ම ඔස්ටින් ප්‍රනාන්දු හදිසියේ ඉල්ලා අස්වූයේ ඇයි. ඒ පිළිබඳ ඔහු මේ තීරුවට අදහස් දැක්වූයේ මෙසේය.

“මම පුද්ගලිකව ජනාධිපතිතුමා හමුවෙලා ඉල්ලා අස්වීමට හේතු දැක්වූවා. අපි දෙන්නා විතරයි ඒ හේතු දන්නේ. ඒ කතාව කිව්වොත් මම ඒක කිව්වා කියලා ජනාධිපතිතුමා දැනගන්නවා” තමන් ඉල්ලා අස්වීමේ කතාවේ සැඟවුණ කතාව ඔහු යළිත් සඟවාගත්තේය.

 බදු ගහනවාට එජාපය  ඇතුළෙන්ම විරෝධයක්

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රනිල්ගේ ප්‍රධානත්වයෙන් රැස්වුවත් මෙවර රැස්වීමට වැඩි මන්ත්‍රීවරු පිරිසක් පැමිණ සිටියේ නැත. ඒ නිසාම රනිල් ආරම්භයේදීම පැමිණ නොසිටි මන්ත්‍රීවරුන්ගේ ‍ලේඛනයක් ඉදිරිපත් කළේය

මේ රැස්වීමට ඇමැතිවරු එන්නේ නෑ. එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන අනෙක් පක්ෂවල අයත් එන්නේ නෑ”අජිත් පී පෙරේරා රාජ්‍ය ඇමැතිවරයා චෝදනා කළේය.

“අපි ‍පොළොන්නරුවේ ඉඳලා එනවා. ඒත් ඇමැතිවරු නෑ. ඇමැතිවරු එනවා නම් අපේ ප්‍රශ්න ගැන කතා කරන්න පුළුවන්” සිඩ්නි ජයරත්න කීය.

“කණ්ඩායම් රැස්වීමට මන්ත්‍රීවරුන්ගේ පැමිණීම අනිවාර්ය කරන්න ඕන” රනිල් යෝජනා කළේය.

“දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යන අය ආණ්ඩුවෙන්  ගියානේ. ඒ නිසා දැන් ආණ්ඩුවත් එක්ක ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට අපේ කණ්ඩායම් රැස්වීමට එන්න කියලා ආරාධනා කරන්න පුළුවන්. මේක ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමනේ” අජිත් පෙරේරා යෝජනාවක් කළේය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්ට මේ රැස්වීමට ආරාධනා කරන්නේ නෑ. ඒ නිසා ඒ අය මේකට එන්නේ නෑ” මලික් සමරවික්‍රම ඇමැතිවරයා කීවේය.

මේ කතාබහ අතරමැද රනිල් එංගලන්ත පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැනත් කැබිනට් සම්ප්‍රදාය ගැනත් දීර්ඝ පැහැදිළි කිරීමක් කළේය. ඉන් පසුව මේ සතියේ පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කළ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ රෙගුලාසි පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡා කළේය.

“අපි හෘද රෝගීන්ට ස්ටෙන්ස් නොමි‍ලේ දෙනවා. අක්ෂි කාච නොමි‍ලේ ලබාදෙනවා. ඒ විතරක් නමෛයි අත්‍යවශ්‍ය ඖෂධ 48ක මිල අඩු කළා”රාජිත සේනාරත්න ඇමැතිවරයා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වූ වෙනස්කම් ගැන පැහැදිලිි කළේය.

“මේවා ගැන ජනතාව දැනුවත් කරන්න. නැතිනම් හැමෝම එක්සත් ජාතික පක්ෂයට තමයි බනින්නේ” මන්ත්‍රීවරු කීහ.

“එහෙම කියන්න එපා. එක්සත් ජාතික පක්ෂ විරෝධය කියන සංකල්පය දැන් වලංගු නැහැ. ධනපති විරෝධයක් විතරයි තිබුණේ” රාජිත දේශපාලන විග්‍රහයක් කළේය.

ඉන් පසුව විවිධ බදු පැනවීම් ගැන එරාන් වික්‍රමරත්න රාජ්‍ය ඇමැතිවරයා අදහස් දැක්වූ අතර බදු පැනවීමට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන්ම පැමිණියේ විරෝධයකි.

 අලුත්  ඇමැතිවරුන්ගෙන්  සාදයක්

පසුගියදා අලුතින් ඇමැතිධූර ලැබුණ එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරු තමන්ට නව තනතුරු ලැබිම වෙනුවෙන් සාදයක් සංවිධානය කර තිබුණේ කොළඹ තරු පහේ හෝටලයකදීය. එයට වියදම දරා තිබුණේ අලුතින් තනතුරු ලැබුණු එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු අට දෙනාය.

සාදයේ සංවිධායකයෙක් වූ එඩ්වඩ් ගුණසේකරගේ උපන් දිනයද යෙදී තිබුණේ එදිනමය.

“අපිට අද එඩ්වඩ්ගේ උපන්දිනයත් සමරන්න පුළුවන්” උපන්දින කේක් ගෙඩියක් රැගෙන ආවේය. එඩ්වඩ් ගුණසේකර උපන්දින කේක් ගෙඩිය කපා පළමු කේක් කෑල්ල දුන්නේ රනිල්ටය.

රෑ බෝ වන තෙක් පැවැති සාදයේදී බොහෝ  දෙනාගේ අවධානය යොමුවී තිබුණේ විජයකලාගේ ප්‍රකාශය වෙතය.

“ඡන්ද ගන්නනේ සර් විජයකලා මේ වගේ දේවල් කියන්න ඇත්තේ” රනිල් අසලට පැමිණි මන්ත්‍රීවරයෙක් කීවේය.

“මම මේකට පියවර ගන්නවා. එදා අපේ පක්ෂය විනය හේතු නිසා විජේපාල මෙන්ඩිස් වැනි ‍‍‍ජ්‍යෙෂ්ඨයන්ට පවා විරුද්ධව කටයුතු කළා. චෝදනා ආපු වෙලාවේ රවිට, මාරපණට ඇමැතිකම් අතහරින්න වුණා” රනිල් කීවේ තමන්ගේ ඉදිරි පියවර ගැන සංඥාවක් දෙමිනි.

 විජයකලා රනිල් ළඟට

ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේර්ධන පසුගිය සතියේදී යාපනය බලා පිටත්ව ගියේ විදේශ කටයුතු ඇමැති තිලක් මාරපනද සමගය. ඒ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පවත්වන “නිල මෙහෙවර” වැඩසටහනට සහභාගි වීමටය. කලින් දින යාපනයට ගිය ඔවුන්ට රැය පහන් කිරීමට සිදු වූයේ පැරණි සිර ගෙදරකය. ඔවුන් දෙදෙනා රැය ගත කළේ හැමන්හිල් බළකොටුවේ හෝටලයේය. හැමන් හිල් දූපතේ පිහිටි එම බළකොටුව පසු කලෙක හිරගෙදරක් ලෙස භාවිතයට ගැණුනි. රෝහණ විජේවීර පවා සිරගත කර තිබූ හැමන් හිල් බන්ධනාගාරය අද හෝටලයක් බවට පත් කර තිබෙන්නේ නාවික හමුදාවය. එහි රැය ගත කළ ඇමැතිවරු දෙදෙනා යාපනය නගරයේදී පැවැති “නිල මෙහෙවර” වැඩසටහනට එක්වන විට විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමැතිවරියද එහි පැමිණ සිටියාය. ඇයට කතාවක්ද වෙන්වී තිබුණි.

එල්.ටී.ටී.ඊ. සංවිධානය යළිත් අවශ්‍ය බවට පසුගිය දිනවලදී ආන්දෝලනයට ලක් වූ කතාව විජයකලා කීවේ මෙහිදීය. එම උත්සවය අවසන් වන විට වබේ අඩවි වලින් විජයකලාගේ කතාවට විශාල ප්‍රසිද්ධියක් ලබාදී තිබුණේය. මේ බව වජිරටද දැන ගන්නට ලැබුණි.

එම රැස්වීමෙන් පසුව යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැවැත්විණි. සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී වජිරගේ කතාවෙන් පසුව විජයකලාට කතා කිරීමට අවස්ථාව තිබුණි. එහෙත් වජිර තමන්ගේ කතාව අවසන් කළේ “අපි දැන් දිවා ආහාරය සූදානම් කරලා තියෙනවා. හැමෝම දිවා ආහාරය ගන්න එන්න” යැයි කියමිනි. එතැනදීත් කතාවක් කිරීමට බලා‍පොරොත්තුවෙන් සිටි විජයකලා උඩ බිම බැලුවේ තමන්ගේ කතාවට වූයේ කුමක්දැයි සිතාගත නොහැකිවය.

මේ අතර විජයකලාගේ ප්‍රකාශය ගැන රනිල්ටද තොරතුරු ලැබි තිබුණේය. රනිල් වහාම විජයකලාට දුරකථන ඇමතුමක් දී කියා තිබුණේ හැකි ඉක්මනින් කොළඹ පැමිණ තමන් හමුවන ලෙසය.

“සර් මට උණ හෙම්බිරිස්සාව, සනීප වුණ ගමන්  මම කොළඹ එන්නම්” විජයකලා කීවාය. ඒ අනුව ඇය කොළඹ පැමිණියේ රනිල් දුරකථන ඇමතුම දුන් දිනයට පසු දිනයේදීය.

“සර් මම කිව්වේ ඇත්ත තත්ත්වය දෙමළ අයගේ ඉඩම් තවම පවරලා නෑ. සංවර්ධනය මදි. අපරාධ වැඩි වෙලා” ඇය කීවාය.

“ඒත් ඒකට රජයෙන් විසඳුම් ගන්නවා මිස එල්.ටී.ටි.ඊ. සංවිධානය යළිත් ඕනෑ කියලා කියන්න අයිතියක් නෑ. ඒක තහනම් සංවිධානයක්. ඒක පරාජය කරන්න රණවිරුවො ජීවිත පූජා කළා. ඔබ විශාල වැරැද්දක් කළේ. වහාම ඉල්ලා අස්වෙන්න” රනිල් කීවේ තීරණාත්මකවය.

“සර් මම ඒ ප්‍රකාශය ඉල්ලා අස්කරගෙන සමාව ගත්තොත් මදිද” විජයකලා ඇසුවාය. එහෙත් රනිල්ගෙන් එයට තිබුණේ සුබ වාදී ප්‍රතිචාරයක් නොවේ.

“එහෙම බැහැ. ඉල්ලා අස්වෙන්නම ඕන” රනිල්ගේ ස්ථාවරය දැඩි විය.

පක්ෂය ඇතුළෙන් මට විනය පරීක්ෂණයකුත් තියනවද” විජයකලා ඇසුවාය.

“විනය පරීක්ෂණයක් තියන්න වෙනවා. ඒකේ තීන්දුව අනුව අනික් දේවල් ගැන බලමු” රනිල් කීවේ ඒ කතාව අවසන් කරමිනි.

අවසානයේදී ඇය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉල්ලා අස් වූයේ තමා කළේ වැරදි කතාවක් බව පිළිගනිමිනි.

චන්දිමගේ යෝජනාවට මහින්දගෙන් බාල්දියක්

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පසුගිය සඳුදා පැවැත්වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්ය. එම කණ්ඩායම් රැස්වීම කැඳවා තිබුණේ එදිනම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසයේ කණ්ඩායම එහි පැමිණීමට නියමිතව තිබූ නිසාය.

“තව ටිකකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසයේ කණ්ඩායම අපි හමුවෙන්න එනවා. මොකද ඔය අය කියන්නේ” මහින්ද ඇසුවේය. මහින්ද ඇසූ ප්‍රශ්නයට උත්තර දීමට කිසිවෙක් ඉදිරිපත් වූයේ නැත. විනාඩි කිහිපයක් කිසිවෙක් අදහස් නොදක්වා සිටින විට කතාව පටන්ගත්තේ කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයාය. ඔහු කීවේ දහසයේ කණ්ඩායම මහින්දගේ නායකත්වය පිළිගෙන පැමිණිය යුතු බවය.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු සම්බන්ධයෙන් පැතිරී යන ප්‍රචාරයක් ගැන මහින්ද අවධානය යොමු කළේය.

“ඒකාබද්ධයේ බෙදීමක් තියෙනවා කියලා ලොකු ප්‍රචාරයක් යනවා. මම යන යන තැන ජනාධිපති අපේක්ෂකයා

ගෝඨාද බැසිල් ද කියලා අහනවා. ජනාධිපති අපේක්ෂකයා තීරණය කරන්නේ මම. අපේ අයත්  මාධ්‍යවලට ප්‍රතිවිරුද්ධ මත ප්‍රකාශ කරන්න ගියාම ගැටලු ඇතිවෙනවා. අපි ඒකාබද්ධ විපක්ෂය විදියට සාකච්ඡා කරලා මේ ගැන තීරණයක් ගනිමු. ජනාධිපති අපේක්ෂකයා ගැන තීන්දුව මම අවශ්‍ය වෙලාවට ගන්නම්” මහින්ද කීවේ තීරණත්මකවය.

මේ සාකච්ඡාව යන අතරවාරයේදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසයේ කණ්ඩායමේ මන්ත්‍රීවරුද විජේරාම නිල නිවස අසලට පැමිණෙමින් සිටියහ. මුලින්ම පැමිණියේ ලක්ෂ්මන් යාපා, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න සහ චන්දිම වීරක්කොඩිය. ඔවුන් තිදෙනා පැමිණ කණ්ඩායම් රැස්වීම අවසන් වන තෙක් සිටි අතර කණ්ඩායම මහින්දගේ කාර්යාලය තුළට යන විට ඒකාබද්ධ විප්කෂයේ මන්ත්‍රීවරු ඔවුන් පිළිගත්තේ අත්‍පොළසන් දෙමිනි.

“දැන් දහසයේ කණ්ඩායම කියලා එකක් නෑ. ඉන්නේ හැත්තෑවේ කණ්ඩායම” ජෝන් සෙනවිරත්න කීවේය.

“හැත්තෑවේ කණ්ඩායමේ ඉන්න පරණම සාමාජිකයා තමයි මම” මහින්ද කී විට සියල්ලෝම පුදුමයෙන් මෙන් මහින්ද දෙස බලන්නට වූහ.

“නෑ. ඉතිං මම කිව්වේ හැත්තෑවේ පාර්ලිමේන්තුවට ආපු කණ්ඩායම ගැන” මහින්ද කාගේත් කුතුහලය සංසිදුවමින් කීවේය.

මේ සාකච්ඡාව යන අතරවාරයේදී තාරානාත් බස්නායක හා ටී.බි. ඒකනායක සාකච්ඡාවට පැමිණියහ. ඔවුන් පැමිණි පසුව මාධ්‍යවේදීන්ටද සාකච්ඡාව විවෘත වූයේ ඡායාරූප කිහිපයක් ගැනීමටය.

“අන්න අර දොර ළඟ දොරටුපාලයා වගේ ඉන්න ප්‍රසන්නත් අහුවෙන්නම ෆොටෝ ගන්න” මහින්ද මාධ්‍යවේදීන්ට කීවේ සිනාසෙමිනි.

“ඔව්.ඔව්. එයාවත් ගන්න. ඔය දොරකොඩටම වෙලා ඉන්නේ එන අය පිළිගන්නයි”විමල් පැවැසුවේය.

“එන අය පිළිගන්න නමෛයි ප්‍රසන්න ඉන්නේ. මෙතැන ඇතුළට ඇවිත් ආපහු යන අය අල්ලගන්න තමයි ප්‍රසන්න එතැනට වෙලා ඉන්නේ”මහින්ද කීවේ එතැන සිටි අය සිනා ගන්වමිනි.

“මේ අය මහින්ද මහත්තයාගේ නායකත්වය පිළිගන්නවා නම් කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි අතරමගදී යන්නේ නැතිව අපිත් එක්ක විශ්වාසවන්තව ඉන්න ඕන” ප්‍රසන්නද සිනාවෙන්ම උත්තර දුන්නේය.

“දැන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු  හැත්තෑවක් ඉන්නවා. ඒ අය පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් විදියට පිළිගන්න ඕන. මේක ලිඛිතව කථානායකතුමාට දැනුම් දෙමු” අනුර ප්‍රියදර්ශන යාපා යෝජනා කළේය. එම යෝජනාවට සියල්ලෝම අත් ඔසවා කැමැත්ත පළ කළහ.

“පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට හිමිවෙන්න ඕන. ඒක මහින්ද මහත්තයාට ලබාදෙන්න ඕන කියලා මම යෝජනා කරනවා”චන්දිම තවත් යෝජනාවක් කළේය.

“මම තනතුරු බලාගෙන නමෛයි මේවා කරන්නේ. මගේ අරමුණ වෙන්නේ ආණ්ඩුව ගෙදර යවන එකයි. තනතුරු ගැන පස්සේ කතා කරමු” මහින්ද චන්දිමගේ යෝජනාව ප්‍රතික්ෂේප කළේය.

 ටී.බි.  ලස්සන  වෙලා

මහින්ද පසුගිය සතියේදී කුරුණෑගල තමන්ගේ මැතිවරණ දිස්ත්‍රික්කයට ගියේය. මහින්ද එදින රාත්‍රිය ගත කළේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ නිවසේය. එහි සිටි ඔහු පසුදා උදෑසනම වැව රවුමේ ශාරීරික ව්‍යායාම සඳහා ගියේය. ඒ අතර වැව රවුමේ ඡායාරූප ගැනීමට පැමිණ සිටි මනාල යුවළක් මුණගැසුණේය.

“සර්ට ආරාධනා කරලා මෙතැනට එන්න කිව්වා වගේ වැඩක් නේ සර්” මනාල යුවල මහින්ද සමගත් ඡායාරූප ගත්තේය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලට තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ හමුවක් පැවැත්විණි. එයට ටී.බි. ඒකනායක මන්ත්‍රීවරයාත් පැමිණ සිටියේය.

“ආ.. දැන් ටී.බි. තවත් ලස්සන වෙලානේ” මහින්ද කීවේය.

“සර්ගේ පැත්තට ආවට පස්සේ තමයි ලස්සන වුණේ” ටී.බි. සිනාසෙමින්ම කීවේය.

එම සාකච්ඡාව අවසන්වීමෙන් පසුව මහින්ද එහි පැමිණ සිටි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සමග සාකච්ඡාවකට එක්විය.

“පාර්ලිමේන්තු එන්න කියලා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු හැමෝටම උපදෙස් දෙන්න ඕන. පාර්ලිමේන්තුව තමයි අපිට ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන් හොඳම තැන. පහුගිය කා‍ලේ අපිට වැරදුණ  තැනක් තමයි ඒක අමතක කරපු එක. දැන් ඒක නිවැරදි කරගන්න ඕන” මහින්ද ස්වයං විවේචනයක යෙදුණේය.

 සුජීවට කෙසෙල්  දුන් අය

ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් පසුගිය සතියේ චීනයේ අධ්‍යයන චාරිකාවක යෙදුනහ. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් දිළුම් අමුණුගම, විදුර වික්‍රමනායක, සනත් නිශාන්ත ඇතුළු පිරිසක් එයට සහභාගී වී සිටියහ.

දිනක් ආහාර ගැනීමෙන් පසුව ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා අසල සිටි සුජීව සේනසිංහ  රාජ්‍ය ඇමැතිවරයාට කෙසෙල් ගෙඩියක් දිගු කළේ “කන්නකෝ අයියේ කෙසෙල් ගෙඩියක්” යැයි කියමිනි.

“මේ කින්ඩි දාන්නේ නැතිව යමන්” සුජීව කීවේ මුහුණ තරමක් අඳුරු කරගනිමිනි.

“කින්ඩි නමෛයි අයියේ. කන්නකෝ කෙසෙල් ගෙඩියක්” ප්‍රසන්න යළිත් පැවැසුවේය. ඒ කතාව ඇසී එතැනට ආවේ දිලුම් අමුණුගමය. දිලුම් ඔහුගේ අතින් අල්ලාගෙන පැත්තට ඇදගෙන ගියේ තද වචන කිහිපයක් කියමිනි.

“පිස්සුද යකෝ සුජීවට කෙසෙල් දෙන්න. ඔය මනුස්සයට කෙසෙල් ගෙඩියක් දැක්කත් කේන්ති යනවා. අර ගංවතුර කා‍ලේ ආපු සුජීවගේ නම ගහලා බෙදපු කතාව මතක නැද්ද” දිළුම් කීවේ ප්‍රසන්නට දෙස් දෙවොල් තබමිනි.

“කාටද ඉතිං අයියේ ඒවා මතක තියාගෙන ඉන්න පුළුවන්” ප්‍රසන්න කීවේ තමන්ගේ වරද සඟවා ගනිමිනි.

රාජපක්ෂ පවු‍ලේ සාමාජිකයන් අතර පසුගිය දිනවල පැවති ගැටුම් ගැන විවධ අදහස් දේශපාලන ලෝකයේ විවිධ අදහස් මතුවී තිබුණි. ඒ කතා අතරේදී ගෝඨාභය රාජපක්ෂ බත්තරමුල්‍ලේ නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ කාර්යාලට පැමිණියේය. ගෝඨා මුලින්ම නෙළුම් මාවතට එන උත්සවයේ සංවිධාන කටයුතු ගැන සොයා බැලීමට මුලින්ම පැමිණියේ බැසිල් රාජපක්ෂය. බැසිල් එනවිට පක්ෂයේ පාලක ‍ලේකම් රේණුක පෙරේරා ඇතුළු පිරිස නෙළුම් මල් ‍පොහොට්ටු අතේ තබාගෙන සිටියේ පැමිණෙන අය

පිළිගැනීමටය. බැසිල් එන විට රේණුක නෙළුම් මල් මිටක් බැසිල්ගේ අතට දෙමින් පිළිගත්තේය.

“මේ මොකද මාව පිළිගන්නේ” බැසිල් පුදුමයෙන් මෙන් ඇසුවේය.

“නෑ.. ඉතිං අපි සර්වත් පිළිගන්න හිතුවා” රේණුක කීවේය.

“මාව අමුතුවෙන් පිළිගන්න දෙයක් නෑ. මම මෙතැන හිටපු මිනිහා. මම කලින්ම ආවේ සංවිධාන කටයුතු ගැන හොයලා බලන්න. මෙච්චර වෙලා මම හිටියේ මහින්ද මහත්තයාගේ ගෙදර. ගෝඨාභය මහත්තයාත් ඉන්නේ එතැන” බැසිල් කීවේය. ටික වේලාවකින් ගෝඨා එහි පැමිණියේය. ඒ මහින්ද සමග එකම වාහනයෙන්ය. ඒ වන විට චමල්ද එහි පැමිණ සිටියේය.

රාජපක්ෂවරුන්ට උත්සවයේ ආසන වෙන් කර තිබුණේ එකම තැනකය. එහෙත් එකම තැන රාජපක්ෂවරු සිව් දෙනෙක්ට ආසන වෙන් කර තැබිම ගැන ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා සිටියේ වැඩි කැමැත්තකින් නොවේ.

“රාජපක්ෂවරු හතර දෙනෙක් එක තැන ඉන්නවා දැක්කම කට්ටිය එක එක දේවල් කියන්න පුළුවන්” ඩලස් කීවේය. ඒ කතාව අසා සිටි චමල් මුල් පෙ‍ලේ අසුනකවත් නොසිට පසුපෙළ අසුනකට ගියේ මුල් පෙළ අසුන් තුනක් අනෙක් සහෝදරයින් තිදෙනාට දෙමිනි.

උත්සවය අවසන් වීමෙන් පසුව රාජපක්ෂවරු සිව්දෙනා නෙළුම් මාවතේ කාමරයකට ගියේ තේ පානයටය.

“කෝ අනෙක් අයටත් එන්න කියන්න. නැතිනම් මේක පවු‍ලේ හමුවක් වෙනවා” මහින්ද කීවේය.

 ඒ අතර අනෙක් මන්ත්‍රීවරුද එහි පැමිණියහ.

“රේණුක, තේ බිලා ඉවර වුණාට පස්සේ ගෝඨාභය මහත්තයා උඩට එක්කගෙන යන්න” ගෝඨාභය තමන්ගේ කාමරයට කැඳවාගෙන ඒමේ වගකීම බැසිල් පැවැරුවේ රේණුකටය. එසේ කී බැසිල් එතැනින් පිටත්ව ගියේ ඔහු හමුවීමේ අපේක්ෂාවෙන් සිටි පිරිසක් හමුවීමටය. ටික වේලාවකින් රේණුක ගෝඨා කැඳවාගෙන බැසිල්ගේ කාමරයට ගියේය.

“ආ.. මේකද බැසිල්ගේ කාමරය” යැයි අසමින් ගෝඨා බැසිල්ගේ කාමරයට ඇතුළු විය. එතැන තිබූ ‍පොත් පත් හා වාර්තා ගැනත් ගෝඨා අවධානය යොමු කළේය.

“මේ ඉන්නේ කාර්යාලයේ දේශපාලන අංශයේ ප්‍රධානීන්” බැසිල් එතැන සිටි දේශපාලන අංශයේ නියෝජිතයන් හඳුන්වා දුන්නේය. ගෝඨා එතැනින් පිටත්ව ගියේ කාර්යාලයේ සේවය කරන සියලු දෙනාම හමුවීමෙන් පසුවය.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් පසුගිය සතියේ පැවැත්වුණේ පාර්ලිමේන්තුවේදීය. පක්ෂ නායක අනුර කුමාර දිසානායක විදෙස්ගත වී සිටි නිසා රැස්වීම පැවැත්වුණේ විජිත හේරත් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන්ය. මේ සතියේ ඔවුන්ගේ අවධානය යොමු වී තිබුණේද විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය වෙතය.

“විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. ඒක කරන්නේ ජනාධිපතිවරයාගේ ජංගම සේවා උත්සවයකදී. ඒ විතරක් නමෛයි ඒ උත්සවයේ ස්වදේශ කටයුතු ඇමැතිවරයායි, විදේශ කටයුතු ඇමැතිවරයායි ඉන්නවා. ඒ ඇමැතිවරු දෙන්නාම ළඟින් තියාගෙන මේ වගේ ප්‍රකාශයක් කළත් පහුවෙනිදා දවල් වනතුරු කිසිම දෙයක් කරලා නෑ” බිමල් රත්නායක කීවේය.

“ඔව්. ඒ උත්සවය ආණ්ඩුවේ වැඩක්. ආණ්ඩුවේ ඇමැතිවරු මේ වගේ ප්‍රකාශ කරන එක බරපතළයි. ඇමැතිවරිය කළ ප්‍රකාශය ගැන එතැන හිටපු සමහරු කතාවෙලා තියෙනවා. ඒත් ආණ්ඩුවේ ඇමැතිවරු ඒ ගැන කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. ඒ විතරක් නමෛයි ආණ්ඩුවේ ගෲප් මීටිං එකකදීවත් මේ ගැන කතා කරලා නෑ. ඒ තරමට ආණ්ඩුව මේක සැහැල්ලුවට අරගෙන තියෙන්නේ. ඒ නිසා මේ ගැන අපි විරෝධය දක්වන්න ඕන. ඒ විතරක් නමෛයි මේ සිදුවීමට අදාළව නීතිය තදින් ක්‍රියාත්මක කරන්න කියලා ආණ්ඩුවට බලපෑම් කරන්න ඕන” විජිත හේරත් කීවේය

“අද රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. ජාවාරම් වැඩිවෙලා. ඒ අතරේ සමහරු හිට්ලර් කෙනෙක් ඕන කියලා කියනවා. තවත් කොටසක් ප්‍රභාකරන් ඕන කියලා කියනවා. මේ වගේ ප්‍රකාශවලට ඉඩ හැදෙන විදියට රට අරාජික වෙලා” නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා පැවැසුවේය.

මේ අතර මේ සතියේ විගණන පනතද විවාදයට ගත් අතර ඒ ගැනද ජනතා විමුක්ති පෙරමුණේ අවධානය යොමු වී තිබුණේය.

“මේ සතියේ විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් දින සීයේ ආණ්ඩුව කාලෙදී තමයි විගණන පනත එන්න තිබුණේ. ඒත් කල් මරලා කල් මරලා වෙනත් පාර්ශ්වවලින් බලපෑම් එල්ලවෙන නිසා තමයි විගණන පනත දැන් ඉදිරිපත් කරන්නේ” විජිත හේරත් මන්ත්‍රීවරයා පැවැසුවේය.

“මේ ආණ්ඩුව ඇත්තටම විගණන පනතේ අඬු කඩලා තමයි අරගෙන එන්නේ. විගණකාධිපතිවරයාගේ බලතල අඩු කරලා, අධිභාරය පැනවීම කප්පාදු කරලා, දඩ පැනවීම් දුර්වල කරලා. අපි මුලින්ම විවිධ පාර්ශ්වත් එක්ක මේ ගැන සාකච්ඡා කරලා විගණන පනතක් හැදුවා. ඒක පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදියට ඉදිරිපත් කළා. ඒත් ආණ්ඩුව ඒකට අවස්ථාවක් දුන්නේ නෑ. මේ ගැන උනන්දුවක් තියෙන අය මාත් එක්ක කතා කළා. කොහොම හරි විගණන පනත සම්මත කරන්න මේ අයට උවමනායි. ඒත් බලයක් නැති විගණන පනතක් සම්මත කිරීම කිසිම තේරුමක් නෑ” සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා පැහැදිලි කළේය.

“අපි පනතට සංශෝධන යෝජනා කරමු”නිහාල් ගලප්පත්ති යෝජනා කළේය.

“අපි මේ පනත බලාත්මක කරන ආකාරයේ සංශෝධන දාන්නේ නෑ. එහෙම වුණොත් ඒ අය අපේ සංශෝධන පිළිගන්නේ නැතිවේවි. ඒත් රටට වැඩක් වෙන විදියට අපි කරන්න පුළුවන් සංශෝධන ටික අරගෙන එමු” බිමල් යෝජනා කළේය. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ විසින් එම සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

 අලුත් අධිකරණ

නඩු විභාග කඩිනම් කිරීම සඳහා වන විශේෂ අධිකරණ පිහිටුවීම ගැන පසුගිය දිනවල ඇතිවූ කතාබහ දේශපාලන ලෝකයේ ආන්දෝලනයට ලක්ව තිබුණේය. මෙම අධිකරණ  තුනෙන් එකක් කඩිනමින් පිහිටුවීම ගැන පසුගිය දින කිහිපයේදී ආණ්ඩුවේ ඉහළ තැන්වල සාකච්ඡාවට ලක්විය. ඒ ගැන රහසිගත සාකච්ඡාවක් කැඳවා තිබුණේ තලතා අතුකෝරළ ඇමැතිවරියයි. මේ සාකච්ඡාවට නීතිපතිවරයා පැමිණ සිටියේය.

“මේ සාකච්ඡාවට ඔබතුමන්ලා දෙන්නත් ආවොත් හොඳයි” තලතා තවත් ඇමැතිවරු දෙදෙනෙක්ට ආරාධනා කළේය.

“අලුතින් පිහිටුවන අධිකරණවල නඩු විභාග ගැන අපි අවධානයෙන් ඉන්න ඕන. පසුගිය ආණ්ඩුවේ සිදුවූ දූෂණ වංචා කඩිනමින් මෙහි විභාග කරන්න පුළුවන්” ඇමැතිවරු සාකච්ඡා කළහ.

වාර්තාවන ආකාරයට නඩු දහයක් සම්බන්ධ කටයුතු කඩිනම් කිරීමට මෙහිදී අවධානය යොමු වී තිබෙන්නේය. මැදමුලන කෞතුකාගාරයට අදාළ නඩුව, සී.එස්.එන් නාලිකාව පිළිබඳ නඩුව ඇතුළු නඩු දහයක් මෙහිදී මුලින්ම විභාග කිරීම ගැන එහිදී අවධානය යොමුවී තිබේ.

මේ සාකච්ඡාව ගැන එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරු කිහිපදෙනෙක්ටද තොරතුරු ලැබි තිබුණේය.

“පසුගිය ආණ්ඩුවේ ප්‍රධානීන් ගැන තියෙන නඩු විභාග කරන අධිකරණ තුන තවම පරක්කු ඇයි” ගයන්ත කරුණාතිලක ඇමැතිවරයා රනිල්ගෙන් අසා තිබුණේය.

“ඉක්මනින්ම පළමුවැනි එක පිහිටුවනවා. ඒ අත්දැකීම් මත අනෙක් ඒවා පිහිටුවන්න පුළුවන්” රනිල් කීවේය.

කෙසේ නමුදු විශේෂ අධිකරණ පිළිබඳ පාර්ලිමේන්තුවේදී ජවිපෙ මන්ත්‍රීවරයෙකු ඇසූ ප්‍රශ්නයට තලතා උත්තර දෙමින් සිටියදී අසල සිටි ඇමැතිවරයකු “ඔයා ලස්සනයි“ යනුවෙන් කීවේය. කටට බ්රේක් නැති වූ තලතා “මඟුලක් කතාකරනවා” යනුවෙන් හෙමින් කීවද මයික්‍රෆෝනය ක්‍රියාත්මක වී තිබිම නිසා ඇගේ කතාව මුළු පාර්ලිමේන්තුවටම ඇසුණේය.

තිලකජය

කාටූන් - අංජන ඉන්ද්‍රජිත්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.