lakbima.lk

ගෝඨාට වඩා චමල් පෙරමුණේ

ඉදිරි ජනාධිපතිවරණයේදී ඉදිරිපත් වන අපේක්ෂකයා පිළිබඳ පක්ෂ විපක්ෂ අදහස් මතුවෙමින් තිබියදී ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ මෙන්ම රාජපක්ෂ පවු‍ලේ දේශපාලන න්‍යායාචාර්යවරයා වන බැසිල් රාජපක්ෂ පසුගිය සතියේදී මාධ්‍ය හමුවක් පැවැත්වූයේය. කලාතුරකින් මාධ්‍ය සාකච්ඡාවලට පැමිණෙන බැසිල්ගේ වැඩි අවධානයක් යොමුව තිබුණේ ඉදිරි ජනාධිපතිවරණය කෙරෙහිය. ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න ගැන බැසිල් එහිදී ඉඟි කර තිබුණේය.

අපේ ජනාධිපති අපේක්ෂකයා  කවුරුන්ද කියලා දැනටමත් මහින්ද රාජපක්ෂ මහත්තයා තීරණය කරලා ඉවරයි. ඒ ඉදිරිපත් වන්නේ රාජපක්ෂ කෙනෙක් බැසිල් රාජපක්ෂ කීවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කාලයක් බණ්ඩාරනායකවරුන්ට අයිති වී තිබූ ආකාරයට ‍පොදුජන පෙරමුණ රාජපක්ෂවරුන්ට අයිතිවන බවට ඉඟි පළකරමිනි. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රාජපක්ෂවරයා කවුරුන්ද යන්න ගැන තවත් ඉඟියක් එහිදී බැසිල් ලබාදුන්නේය.

ආණ්ඩුව ගෙනාපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනවලින් කිහිප දෙනෙක්ම හිර කළා. හිටපු ජනාධිපතිතුමා හිර කළා. මාව හිර කළා. ගෝඨාභය රාජපක්ෂ හිර කළා. නාමල් රාජපක්ෂත් හිර කළා බැසිල් කියන ආකාරයට දැන් ජනාධිපතිවරණයකට ඉදිරිත් විය හැකි එකම රාජපක්ෂවරයා වන්නේ චමල් රාජපක්ෂය. චමල් රාජපක්ෂ ජනාධිපතිවරණයකට ඉදිරිපත් කිරීම කෙරෙහි පවුල තුළින් නැවත විවිධ අර්බුද මතුවිය හැකි බවට ලකුණු පහළ වන්නේ චමල් වරාය ඇමැතිවරයා ලෙස කටයුතු කළ කාලයේදී ඇතිවූ සිද්ධීන් ගැන තවමත් රාජපක්ෂ පවු‍ලේ අය කතා බහ කරන නිසාය.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ ‍පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට ගන්නා උත්සාහයන්ද තවම අවසන්වී නැත. ගෝඨාභයට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නොහැකිවී ඇත්තේ ඔහු තවමත් ඇමෙරිකානු පුරවැසියකු වන නිසාය. ඔහු ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීම සඳහා උත්සාහ ගෙන තිබුණත් එයට ඇමෙරිකානු බලධාරීන්ගෙන් සාර්ථක පිළිතුරක් ලැබි තිබුණේ නැත.

ගෝඨාභය ජනාධිපති   අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමේ අපේක්ෂාවෙන් සිටින ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් කිහිප දෙනෙක් බැසිල්ගේ ප්‍රවෘත්ති සාකච්ඡාවත් සමගින් ගෝඨා හමුවී තිබුණි. ගෝඨා ඔවුන්ට පවසා තිබුණේ තමන් ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීම සඳහා අවශ්‍ය ‍ලේඛන දැනටමත් ඉදිරිපත් කර අවසන් බවය. ඔහුගේ බලා‍පොරොත්තුව වූයේ තවත් මාස කිහිපයක් ඇතුළත ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට හැකිවේය යන්නයි. ඒ ගැන සහතිකයක්ද ඔහු තමන් ජනාධිපති අපේක්ෂකයා බවට පත් කිරීමේ බලා‍පොරොත්තුවෙන් සිටි අයට ලබාදී තිබුණේය.

ඉදිරි ජනාධිපතිවරණය ගැන ඒකාබද්ධ විපක්ෂය හා ‍පොදුජන පෙරමුණ අපේක්ෂා දල්වමින් සිටින අවස්ථාවක මහනුවරදී රැලියක් සංවිධානය කර තිබුණේය. සාමාන්‍යයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රසිද්ධ රැස්වීම්වලට ජනතාව ලක්ෂ ගණනින් ගෙන්වා ගැනීමටත්, එම ජනතාව පෙන්වා තමන්ට ජන බලයක් ඇතැයි පෙන්නුම් කිරීමත් පසුගිය කාලයේදී දිගින් දිගටම දක්නට ලැබි තිබුණත් මහනුවර රැස්වීමේදී මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් අතකට ගොස් තිබුණේය. මහනුවර රැස්වීමට සාමාන්‍යයෙන් වෙනදාට පැමිණෙන තරම් පිරිසක් පැමිණ නොසිටි අතර ඒ ගැන මාධ්‍ය ඔස්සේ වැඩි ප්‍රචාරයක් ගැනීමට කටයුතු කර තිබුණේද නැත.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවට පැමිණියේ එදින අය වැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙන නිසාය. ඊට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් කැඳවූවේය. වෙනදාට ඇතැම් පාර්ලිමේන්තු සතිවල පමණක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වුවත් දැන් මහින්ද සෑම පාර්ලමේන්තු සතියකදීම මන්ත්‍රී කණ්ඩායම හමුවන්නේය.

අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ යුතු යැයි මහින්ද යෝජනා කළේ මේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදීය. එයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේද විරෝධයක් නොවීය. එහෙත් අයවැය දෙවැනි වර කියවීමේ ඡන්දය පැවැත්වෙන අවස්ථාව වන විට යෝජනාවට සහය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් අංශක තුන්සිය හැටකින් අනෙක් පැත්තට හැරී තිබුණේය.


පාර්ලිමේන්තුවේ කටයුතු ගැන පමණක් නොව අනෙකුත් දේශපාලන කටයුතු ගැනත් මෙහිදී අවධානය යොමුවූයේය. තමන් දරන දේශපාලන මතය සෘජුවම ප්‍රකාශ කරන, ඒ නිසා විවිධ අවස්ථාවලදී ගැටලුවලට මුහුණපෑමට සිදුවන ශ්‍රීලනිප මහ‍ලේකම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ගැන ෂෙහාන් සේමසිංහ චෝදනාවක් රැගෙන ආවේය.

දයාසිරි මන්ත්‍රීවරයා පසුගිය දවසක කරපු කතාවක් ගැන මට කියන්න ඕන. මේ වගේ කතා නිසා අපි අතරේ තියෙන සමගිය විනාශ වෙනවා. අපි කවුරුවත් කතා කරනකොට කල්පනාවෙන් කතා කරන්න ඕන ෂෙහාන් තමන්ගේ පැමිණිල්ල ඉදිරිපත් කළේය.

එතැන සිටි මහින්ද පාර්ලිමේන්තුවේ සභා ගර්භයට ගියේ ඔහුට පාර්ලිමේන්තුවේ කිරීමට කතාවක් තිබිම නිසාය. මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කරන කාලයේදී අයවැය යෝජනා කොළයක් බලාගෙන ඉදිරිපත් කරනා හැරෙන්නට කොළ බලාගෙන කතා නොකරන මහින්ද පාර්ලිමේන්තු කතාව ලියාගෙන පැමිණ තිබුණේය. ඔහු කාලයකින් කොළය බලාගෙන කතා කළේය.

බදාදා දිනයේදී අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වුණේය. මහින්ද සමග පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායමේදී විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට එකඟ වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඡන්දය දීමෙන් වැළකී සිටීමේ තීන්දුවකට පැමිණ තිබුණේය. එහෙත් එම තීන්දුවට විරුද්ධ වී තිබුණේ ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයාය.

පසුදින පාර්ලිමේන්තුවට පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු තවත් දේශපාලන මෙහෙයුමක් ආරම්භ කළේය. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කළ දේට එකට එක කිරීමක් ලෙසය. ඔවුන් රහසින් සූදානම් වූයේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කිරීමටය.

ඒ වන විට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුද ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමේ සූදානමක් තිබූ නිසා අයවැයට විරුද්ධය ඡන්දය ලබාදීමෙන් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජයට පත් කිරීමට හැකියාව ලැබෙතැයි අපේක්ෂා කළේය ප්‍රසන්න, සනත්, දිළුම් අමුණුගම ඇතුළු මන්ත්‍රීවරු පාර්ලිමේන්තු ලොබියේ තැන තැන රැස්වෙමින් එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ටද දුරකථන ඇමතුම් දෙමින් මේ ගැන කතා කළහ. මොවුන් මෙසේ දුරකථන ඇමතුම් ලබාදෙමින් සිටියදී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා එතැනට පැමිණියේය.

මොකක්ද මේ කරන්න හදන්නේ? දිනේෂ් සිදුවන දේ ගැන ඇසුවේය.

අපි තීන්දුවක් අරගෙන තියෙනවා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කිරීමට. කවුරු කැමැති වුණත්, නැති වුණත් මම නම් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනවා සනත් නිශාන්ත මන්ත්‍රීවරයා දැඩිව කීවේය.

දිනේෂ් ඔහු සනහා ගැටලුව විසඳීමට උත්සාහ කළත් ඒ උත්සාහය එතරම් සාර්ථක නොවීය. සනත් උස් හඩින් කතා කරමින් සිටින විට එතැනට පැමිණි අය සිතුවේ කිසියම් කලබලයක් කියාය. ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාද එතැනට පැමිණි අතර ඔහු හැඟීම්වලට මුල් තැන දී කටයුතු නොකරන්නැයි ඉල්ලා සිටියේ සුපුරුදු පරිදි මෙවැනි ගැටුම් කළමනාකරණයට ඔහු දක්වන දක්ෂතාව පෙන්වමිනි. ඩලස්ගේ කතාවට සනත් යම් ආකාරයක නම්‍යශීලී බවක් පෙන්නුම් කළේය.

එහෙත් පාර්ලිමේන්තුවේ ජනාධිපති වැය ශීර්ෂයට අදාළව ඡන්දයක් නොගත් නිසා ඡන්දය ලබාදීමට කිසිවෙක්ට අවස්ථාවක් ලැබුණේ නැත. එක්සත් ජාතික පක්ෂයෙන් ඔවුන් සමග එක්වීමට සිටි චමින්ද විජේසිරිට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් හමුවිය.

සිංහයෝ වගේ කතා කරලා අන්තිමට බලු වුණා නේද? මන්ත්‍රීතුමා මීට පස්සෙවත් කරන්න බැරි වැඩ කියන්නේ නැතිව ඉන්න එක තමයි හොඳ පියල් නිශාන්ත විහිළු කළේය.

අගමැතිතුමා කතා කරපු ගමන් නැට්ට පස්සේ ගහගෙන ගියේ මොකද? මිනිස්සුන්ට පේන්න බොරු නාට්‍ය කරන්නේ නැතිව ඉන්න ඉන්දික පවසන විට රතු කට්ට පැන සිටි චමින්ද පැන්නේ ඉන්දික අනුරුද්ධට පහරදීමටය. එහෙත් අනෙක් මන්ත්‍රීවරු පැන එය වැළැක්වීය.

 රංජන්ගේ කොකේන් ලයිස්තුව

රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ උපන්දිනය යෙදී තිබුණේ පසුගිය සතියේදීය. උපන්දිය තිබුණත් රංජන් තමන් සමරන්නේ කී වැනි උපන් දිනය දැයි නොකියා සිටීමට වග බලාගෙන තිබුණේය. සුපුරුදු පරිදි මහින්දත් රංජන්ට දුරකථන ඇමතුම් ලබාදෙමින් උපන්දිනයට සුබ පැතුවේය.

කොකේන් හොරු අල්ලන්න පුළුවන් වෙන සුබ උපන් දිනයක් වේවා මහින්ද සිනාසෙමින් සුබ පැතුවේය.
ඒක සීරියස් කතාවක් සර් රංජන් කීය.

රංජන් මට ඔය ලැයිස්තුව දෙන්න. අපි ඔය ලැයිස්තුව අරගෙන පුනරුත්ථාපනය කරමු. මට ලයිස්තුව දෙන්න මහින්ද යෝජනාවක් කළේය.

සර්ලාගේ අයත් ඉන්නවා. අපේ අයත් පස් දෙනෙක් විතර ඉන්නවා. විමල්ගේ දෙන්නෙක් ඉන්නවා. මම ඔය ලයිස්තුව දෙන්නම් රංජන් කීය.
මහින්ද රංජන්ගේ උපන්දිනයට සුබ පැතුවත් රනිල් හෝ මෛත්‍රී රංජන්ගේ උපන්දිනයට සුබ පතා තිබුණේ නැත.
මේ අතර උපන්දිනය දවසේ පාර්ලිමේන්තුවට පැමිණි රංජන්ට සමහර මන්ත්‍රීවරු සුබ පතා තිබුණේ ගාල්ලේ ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මන්ත්‍රීවරයාත් සිහිපත් කරමින්ය.

අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේදී කළුතරට ගියේ සිරිකොත ගමට රැගෙනය. සිරිකොත ගමට වැඩසටහනේ සම්පූර්ණ බර පැටවී තිබුණේ අකිල විරාජ් කාරියවසම් ඇමැතිවරයාගේ කර මතය. ඉදිරි මැතිවරණය ඉලක්ක කරගෙන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රවර්ධන වැඩසටහන ලෙස සිරිකොත ගමට වැඩසටහන පවත්වන්නේ පක්ෂයේ සියලුම මැති ඇමැතිවරු සම්බන්ධ කරගෙනය. සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක කරන්නේ ගමට ගොස් පක්ෂ සාමාජිකයින් බදවා ගනිමින්ය.

කොළඹ සිට කළුතරට ගිය රනිල් ප්‍රධාන රැස්වීම පැවැත්වෙන ස්ථානයට ගියේ වහල නොමැති තට්ටු දෙකේ බස් රථයකිනි. කොළ පැහැති බස් රථයෙන් රනිල් රැස්වීම පැවැති තැනට පමණක් නොව එතැන් සිට තැනින් තැනට ගියේය.

සර් අපි ගෙවල්වලට ගියාම කොස්ස නැතත් දොර‍පොල්ල අතට ගන්නකම් ‍පොහොට්ටුවේ අයයි, ශ්‍රී ලංකා එකේ අයයි බලාගෙන හිටියා. හැබැයි අපි ඒකට හොඳ උත්තරයක් අද දුන්නා අජිත් පී. පෙරේරා රනිල්ට කීවේ දොර දෙකේ බස් රථයේ නැගී යන විටය.

සිරිකොත ගමට වැඩසටහන අවසන් කර රනිල් අරලියගහ මන්දිරයට පැමිණියේ පසුපෙළ මන්ත්‍රීවරු ජනාධිපති වැය ශීර්ෂය පරාජය කිරීමට ගත් උත්සාහය නිසාය. ඔවුන් හමුවී සාකච්ඡා කළ යුතු බව රනිල් පැවැසුවේ ඇතිවී තිබෙන විරෝධය දුරකථනයෙන් කතා කර සමතයට පත් කිරීමට නොහැකිවූ නිසාය.

 ජිනීවා යන අය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරය මේ දිනවල ජිනිවාහිදී පැවැත්වේ. වෙනදාට ජිනීවා සමුළුවට ආණ්ඩුවේ මැති ඇමැතිවරු සමග නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වන නමුත් මෙවර ජිනීවා යන්නේ කවුරුන්ද යන්න ගැන ඇත්තේ පිල් බෙදීමකි. අය වැය විවාදවලට සහභාගීවීමට තිබෙන නිසාත්, අය වැය අතර ඕනෑම අවස්ථාවකදී ඡන්දයක් පැමිණීමේ හැකියාවක් තිබෙන නිසාත් ආණ්ඩුවේ මැති ඇමැතිවරු සිටින්නේ ඕනෑම වේලාවක පාර්ලිමේන්තුවට පැමිණීමේ සූදානමින්ය.

මේ අතර ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වී තිබුණේ ඔහුගේ නියෝජිතයින් තිදෙනෙක් ජිනීවා යැවීමටය. ජනාධිපතිවරයා සහභාගී වන රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවලට ආණ්ඩුවේ ඇමැතිවරු නොමැතිව විපක්ෂයේ මන්ත්‍රීවරු රැගෙන යාමේ පූර්වාදර්ශයක් පෙන්වා ඇති මෛත්‍රී ජිනීවා සාකච්ඡා සඳහාත් විපක්ෂයේ නියෝජිතයන් යැවීමට සූදානම් විය. රටක ආණ්ඩුවක් නියෝජනය කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභභාගීවීමට ලැබෙන ජාත්‍යන්තර පිළිගැනීම ගැන අවධානය යොමු වූ විට මෛත්‍රී තීරණය කර තිබූණේ ඔවුන් ආණ්ඩුවේ නායකයා වන ජනාධිපතිවරයාගේ නියෝජිත කණ්ඩායම ලෙස පිටත් කර යැවීමටය.

 ඒ අනුව විදේශ කටයුතු ක්ෂේත්‍රයේදී සාර්ථක භාවයක් පෙන්නුම කර ඇති පරිණත උගත් දේශපාලනඥයකු වන ආචාර්ය සරත් අමුණුගමගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත කණ්ඩායමක් පිටත් කර යැවීමට ඔහු උත්සාහ ගත්තේ ඒ මගින් විපක්ෂයේ නියෝජිතයින් මෙයට සහභාගී වනවාය යන විරෝධය යම් ආකාරයකින් මැඩ පැවැත්වීමට හැකියාව ලැබෙතැයි යන විශ්වාසය ඇතිවය.

ජිනීවා අත්දැකීම් ඇති මහින්ද සමරසිංහ හා උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස රාජ්‍ය කටයුතු සඳහා සහභාගී වන ආචාර්ය සුරේන් රාඝවන් අනෙක් නියෝජිතයන් ලෙස මෛත්‍රී නම් කළේය. එහෙත් එය එතරම් සාර්ථක උත්සාහයක් වී තිබුණේ නැත.

ජිනීවා මානව හිමිකම් සමුළුවට විපක්ෂයේ නියෝජිතයන් සම්බන්ධ කරනවාට මෛත්‍රී සමග හිතවත් ඇතැම් පාර්ශ්වයන්ගේ වැඩි කැමැත්තක් තිබුණේද නැත. ඔවුන්ගේ අදහස වී තිබුණේද මේ සඳහා ආණ්ඩුවේ නියෝජිතයින් සමබන්ධ කළ යුතු බවය. ඒ අතර ආණ්ඩුව වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ දැඩි ස්ථාවරය වී තිබුණේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආණ්ඩුව වෙනුවෙන් ජාත්‍යන්තරයට ‍පොරොන්දු ලබාදිය නොහැකි බවය. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවේ නියෝජනයක් ලෙස ඉදිරිපත් වීමට හැකියාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ දැඩි ස්ථාවරය විය.

මේවාට යන්නේ ආණ්ඩුවේ නියෝජිතයෝ. එහෙම නැතිව විපක්ෂයේ නියෝජිතයෝ ගිහිල්ලා ආණ්ඩුවක් නියෝජනය කරන්නේ කොහොමද? මේකට විදේශ කටයුතු ඇමැතිවරයා සම්බන්ධ වෙන්න ඕන. එහෙම නැතිනම් ආණ්ඩුවේ ඇමැතිවරයෙක් යන්න ඕන ආණ්ඩුව ජනපතිවරයාට දැනුම්දී තිබුණේය.

ඒ අනුව ජනපතිවරයා මෙම නියෝජිත කණ්ඩායමට විදේශ කටයුතු ඇමැතිවරයා සම්බන්ධ කිරීමට තීරණය කළේය. මෛත්‍රීගේ අදහස වී තිබෙන්නේ පසුගිය වසරේදී මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාව ඉවත් කරගැනීමටය. මෛත්‍රී ඒ සදහා අවශ්‍ය උපදෙස් මහින්ද සමරසිංහට ලබාදී තිබේ. එහෙත් එයට ආණ්ඩුවේ සූදානමක් පෙන්නුම් කරන්නේ නැත. හිටපු විදේශ කටයුතු ඇමැති මංගල සමරවීරගේ සහායද ඇතිව ඉදිරිපත් කළ යෝජනාව නැවත හරවා ගැනීම ආණ්ඩුවේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය  පිළිබද ප්‍රශ්න ඇති කරන්නකි. ඒ නිසා ආණ්ඩුව මේ යෝජනාව නැවත හරවා ගැනීමට වැඩි උනන්දුවක් දක්වන බවක් පෙන්නුම් කරන්නේ නැත.

ජිනීවාහිදී මානව හිමිකම් මත ගැටලුවක් මතුවීමට හැකිව තිබියදී ජනපතිවරයා කෙන්යාව බලා පිටත්ව ගියේය. ඒ එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවකට සහභාගීවීමටය. ජනපතිවරයා මේ සමුළුවට සහභාගී වන්නේ ලංකාව වෙනුවෙන් යෝජනා හතරක් ලෝකයට ඉදිරිපත් කිරීමටය.

ලෝකයට යෝජනා හතරක් ඉදිරිපත් කරන ජනපතිවරයා ලබන සතියේදී තවත් යෝජනාවක් යුනෙස්කෝ ආයතනයට ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ ත්‍රීපිටකය ලෝක උරුමයක් ලෙස නම් කළ යුතු බවට වන යෝජනාවයි. මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ දළදා මාලිගාවේදීය.  ජනාධිපති ‍ලේකම් කාර්යාලයම මේ දිනවල  සූදානම් වන්නේ  ඒ සඳහාය.

 ජවිපෙ විස්ස උස්සන් යයි

ජනතා විමුක්ති පෙරමුණ මේ දිනවල විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සඳහා නොයෙක් උත්සාහයන් දරමින් සිටී. ඒ සඳහා සහාය ලබාගැනීමට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු හමුවීමට ගියේ පසුගිය සතියේදීය. ජනතා විමුක්ති පෙරමු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන කතා කරන විට දෙමළ ජාතික සන්ධානය කතා කළේ දේශපාලන විසඳුමක් ලබාගැනීම ගැනය.

දේශපාලන විසඳුමක් ගැනීම ගැන අපි ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළා. ජුලි මාසය වන විට මේ ගැන වාර්තාවක් දෙන්න ජනාධිපතිතුමා ‍පොරොන්දු වුණා සම්බන්ධන් කීය.
රටේ සෑම ජන කොටසක්ම පාලන බලයට සම්බන්ධ කරගත යුතුය කියන ස්ථාවරයේ අපි ඉන්නවා අනුර කුමාර දිසානායක ඒ ගැන සිය ස්ථාවරය පැහැදිලි කළේය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න හැම පාලකයාම ‍පොරොන්දු වුණා. ඒත් ඒවා ඉටු වුණේ නෑ. මේක කරන්න නම් දෙමළ ජාතික සන්ධානයේ සහාය අනිවාර්යෙන්ම අවශ්‍යයි. ඒ නිසා අපිට සහාය දෙන්න අනුර කුමාර ඉල්ලුවේය. එහෙත් එයට දෙමළ ජාතික සන්ධානයෙන් අවසන් එකඟතාවයක් ඇතිව තිබුණේ නැත.

 තිලකජය

කාටූන් - අංජන ඉන්ද්‍රජිත්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.