lakbima.lk

ගෝඨා චමල් සැරසෙති - මෛත්‍රීගේ තීන්දුව කුමක් වේවිද?

කතා මැද කතා තීරුවෙන් පසුගිය සතියේ අනාවරණය කළ ආකාරයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර ඇතිවී තිබෙන දේශපාලන ආරවුල තවමත් විසඳාගැනීමට හැකියාව ලැබි නැත. එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන් සමග කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කැබිනට් රැස්වීම්වලට අසුන්ගත්තද එහි කටයුතුවලට වැඩි මැදිහත්වීමක් නොකළ ජනපතිවරයා පසුගිය සතියේදී රනිල්ට විරුද්ධවත තවත් සෘජු පියවරක් ගත්තේය. ඒ රනිල් වික්‍රමසිංහ අගමැතිධුරයේ කටයුතු කළ කාලයේදී සිදුවූ බව කියන දූෂණ වංචා සම්බන්ධයෙන් වන කොමිසමේ සාමාජිකයන් පත් කිරීමය. එබැවින් පැහැදිලි වන්නේ ජනපතිවරයා අගමැතිට එරෙහිව අනවරථ සටනක් අරඹා ඇති බවය.

හදිසියේම රනිල් ඉවත් කර මහින්ද රාජපක්ෂ අගමැතිධුරයට පත් කළ ජනපතිවරයා මෙවැනි කොමිසමක් පිළිබඳ කරුණු මුල් වරට අනාවරණයකර තිබුණේ විදෙස් මාධ්‍යවේදීන් පිරිසක් සමග කළ සාකච්ඡාවකදීය. නොවැම්බර් මාසයේදී පැවැති සාකච්ඡාවේදී මෛත්‍රී පවසා තිබුණේ මහ බැංකුවට අදාළ ගනුදෙනුවලදී රනිල් වික්‍රමසිංහ මැදිහත්වී ඇති ආකාරය බුද්ධි අංශ ඔස්සේ තමන්ට වාර්තාවී ඇති බවත් ඒ අනුව මෙම කමිටුව පත් කරන බවය.

රනිල් වික්‍රමසිංහට රටේ ජනාධිපතිවීම සඳහා තමන් ඝාතනය කිරීමට සැලසුම් කර ඇති ආකාරය පිළිබඳ අනාවරණය කරන බවත් ඒ අවස්ථාවේදී විදෙස් මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කර තිබූ අතර එම අනාවරණයට පෙර එහෙත් මාස එකහමාරකට පසුව මෛත්‍රී රනිල්ගේ ආණ්ඩුවට එරෙහි කොමිසමක් පත් කර තිබේ.

විශ්‍රාමික ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන, පී.ඒ. ප්‍රේමතිලක, රාජ්‍ය පරිපාලන සේවයේ විශ්‍රාමික ලලිත් ද සිල්වා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය ‍පොලිස්පති විජය අමරසිංහ පත් කර තිබේ. මෙම කමිටුව පත් කරන්නේ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවල වාර්තාවක් මත පදනම්ව සෘජුව අධිකරණයේ නඩු විභාග කිරීමට හැකි වන ලෙස අණ පනත් සම්මත කිරීමට මෛත්‍රී දැඩි උත්සාහයක යෙදෙමින් සිටියදීය. කෙසේ නමුදු මේ කොමිසම පිළිබඳ එ.ජ.ාප.යේ ප්‍රතිචාරය වන්නේ ආණ්ඩුවේ ප්‍රධානියා අගමැතිවරයා නොව ජනාධිපතිවරයා බව මතක තබාගත යුතු බවය.

මෛත්‍රී මේ සියලුම පියවර ගන්නේ ඉදිරි ජනාධිපතිවරණයකට ඉදිරිපත්වීමේ අපේක්ෂාව ඇතිව බව දැන් හොඳින්ම පැහැදිලිය. මෛත්‍රී ජනාධිපති ලෙස පත්වූයේ නැවතවරක් ජනපතිවරණයට ඉදිරිපත් වීමට අදහසක් නොමැති බව පවසමිනි. එනමුත් දැන් ශ්‍රීලනිපයේ පිරිසක් පවසන්නේ ඔහු ඊළඟ ජනපතිවරණයට ඉදිරිපත් විය යුතු බවය. ශ්‍රීලනිපයේ මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ ලක්බිම ඉරිදා සංග්‍රහයට කීවේ මෛත්‍රී ජනාධිපතිවරණයට නොඉල්ලන්නේ නම් තමා දේශපාලනයෙන් සමුගන්නා බවය. මෛත්‍රී ජනාධිපතිවරණයකට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් කටයුතු  කරන විට ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ අභ්‍යන්තර අර්බුදයක් නැවත වරක් මතුවී තිබුණේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා සම්බන්ධයෙන්ය.

විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමේ අවශ්‍යතාව වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මීළග ජනාධිපතිවරණ අපේක්ෂකයා බවට පත් කිරීමය. ඇමෙරිකානු පුරවැසිභාවය නිසා ජනාධිපතිවරණයට තරග කිරීමට පැවැති බාධාව නිසා ජනාධිපතිවරණ අපේක්ෂක කූඩයෙන් ඉවතට විසිවී සිටි ගෝඨාභය නැවතත් එම කූඩයට බැස්සේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට තමන්ට ඇති බාධක ඉවත් කරගෙන ඇති බව කියමිනි. ඔහු ගිය සතියේ ප්‍රසිද්ධියේම කීවේ ජනාධිපතිවරණයකට තමා සූදානම් බවය. එහෙත් ඔහුගේ වැඩිමහලු සොයුරා වන චමල් රාජපක්ෂ කීවේ තමන්ද ජනාධිපතිවරණයකදී ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට සූදානම් බවය. එහෙත් ඔවුන් දෙදෙනාට වඩා තීරණාත්මක සාධක දෙක වන්නේ දෙන්නාගෙන් මහින්දගේ අවසරය ලැබෙන්නේ කාටද යන්නය. එමෙන්ම බැසිල්ගේ මැතිවරණ සංවිධාන සහයත් ඔවුන්ට අවැසි වනු ඇත. දැන් අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්වීමට සූදානමින් සිටින තිදෙනෙක් සමග ‍පොදුජන පෙරමුණ ඉදිරියට යන්නේ කෙසේදැයි බලා සිටීමට සිදුව තිබේ.

රනිල්ට එරෙහිව කමිටු පත් කරන බව ජනපති ‍ලේකම් ගැසට් නිවේදනය කරන විට ජනාධිපතිවරයා මේ දිනවල සිටින්නේ පිලිපීනයේය.

පිලිපීනයේ සංචාරයක් සඳහා මෛත්‍රීට ආරාධනාවක් ලැබුණේ දැනට මාස තුනකට පමණ පෙරදීය. කෙසේ හෝ මත්ද්‍රව්‍ය ජාවාරම් වැළැක්විය යුතුය යන දැඩි අධිෂ්ඨානයක සිටින මෛත්‍රී පිලිපීනයට ගියේ එහි පළමු නිල සංචාරයකට එක්වූ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ලෙසය. පිලිපීනයට ගියා පමණක් නොව මෙරට පිලිපීන තානාපති කාර්යාලයක් මෙරටදී ආරම්භ කිරීමට පවා මෛත්‍රී කැමැත්ත පළ කර තිබුණේ ඒ සඳහා අවශ්‍ය ඉඩමක් සොයා දීමේ ‍පොරොන්දුවද ඇතිවමය.

ඉහළ පිළිගැනීමක් දෙමින් පිලිපීනයට පැමිණි මෛත්‍රී පිළිගත් පිලිපීන බලධාරීහු ඔහු රැගෙන ගියේ සාම්ප්‍රදායික උණ බම්බු නර්තනයක් සහිතවය. මීට පෙර පිලිපීන උණ බම්බු නර්තනයක් දැක නොතිබූ මෛත්‍රී ටික වේලාවක් නැවතී සිට නර්තනයේ රස විඳගැනීමට අමතක කර තිබුණේ නැත. මෛත්‍රී පිලිපීනයේ කළ සංචාරය වෙනත් රාජ්‍ය සංචාරවලින් වෙනස් මුහුණුවරක් ගෙන තිබුණේය. රාජ්‍ය නායකයෙක් සමග ආණ්ඩුවේ මැති ඇමැතිවරු සංචාරයට එක්වන නමුත් මෛත්‍රී සමග ගොස් සිටියේ එක් ඇමැතිවරයෙක් පමණි. ඒ විදේශ කටයුතු ඇමැතිවරයා පමණි. රාජ්‍ය නායකයෙක් සංචාරය කිරීමේදී අනුගමනය කරන සම්ප්‍රදායන් අනුව විදේශ කටයුතු ඇමැතිවරයා සහභාගී විය යුතු නිසා එම සම්ප්‍රදායට ගරු කරමින් තිලක් මාරපන එක්ව සිටියත් සෙසු සියලුම නියෝජිතයෝ විපක්ෂයේ නියෝජිතයෝ වූහ. එහි යටි කතාව වූයේ මෛත්‍රී සිය පිලිපීන සංචාරයේද එ.ජ.ප. විරෝධී පිළිවෙත අනුගමනය කළ බවය. නමුත් ඔහු නිව්යෝර්ක් සංචාරයට රාජිත සේනාරත්න, චම්පික රණවක මෙන්ම එ.ජා.ප.යේ එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයාද සහභාගි වූහ. එක්සත් ජාතික පක්ෂය සමග ජාතික ආණ්ඩුවේ ඇමැතිධුර දරමින් සිට පසුව ඇමැතිධුර අහිමිවූ ඩිලාන් පෙරේරා, නිශාන්ත මුතුහෙට්ටිගම, සාරතී දුෂ්මන්ත  වැනි විපක්ෂ මන්ත්‍රීවරු මෙන්ම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරු දෙදෙනෙක්ද මෛත්‍රී සමග සම්පූර්ණ පිලිපීන සංචාරය අවසන් වන තෙක් සිටියේය.

කෙසේ නමුදු ජනපතිවරයා සමග පිලිපීනයට ගිය මන්ත්‍රීවරු ගැන හර්ෂ ද සිල්වා ඇමැතිවරයාගේ පැහැදීමක් නොවීය. ජනාධිපතිවරයා විපක්ෂයේ මන්ත්‍රීවරු රොත්තක් ආණ්ඩුවේ නියෝජිතයන් ලෙස රැගෙන ගියේ කෙසේදහර්ෂ ද සිල්වා ටිව්ටර් පණිවුඩයක් යොමු කරමින් රනිල් වික්‍රමසිංහගෙන් විමසා තිබුණේ මෛත්‍රී සමග සංචාරයට එක්ව සිටි මන්ත්‍රීවරුන්ගේ ඡායාරූපයක්ද පළ කරමින්ය. එහෙත් එයට තවමත් රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රතිචාරයක් ලැබි තිබුණේ නැත.

මේ අතර පිලිපීන ජනාධිපතිවරයා මෛත්‍රී වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක්ද සූදානම් කර තිබුණි. පිලිපීන ජනාධිපතිවරයා මෛත්‍රී සමග රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වෙන ශාලාවට යාමට මත්තෙන් තවත් කාමරයකට කැඳවාගෙන ගියේය. ඒ කාමරයේ චිත්‍ර අඳින රාමුවක් මත රෙද්දකින් වසා තැබූ කිසියම් චිත්‍රයක් විය.

අන්න අතන චිත්‍රයක් තියෙනවා. ‍පොඩ්ඩක් ආවරණය ඈත් කරලා බලන්න පිලිපීන ජනාධිපතිවරයා මෛත්‍රීට කීවේය.

මොක්ක්ද ඒ මෛත්‍රී කුතුහලෙන් යුතුව අසමින් චිත්‍රය ආවරණය කර තිබූ රෙදි කඩ ඉවත් කළේය. එහි තිබුණේ මෛත්‍රීගේ ප්‍රියතම ඡායාරූපය අනුව අඳින ලද චිත්‍රයකි.

මේ ‍පොටෝ එක ඔබතුමාගේ ප්‍රියතම ඡායාරූපය බව අපි දන්නවා. ඒ නිසා තමයි අපි ඔබතුමාට මේ වගේ චිත්‍රයක් තෑගි දෙන්නේපිලිපීන ජනාධිපතිවරයා කියන විට මෛත්‍රීත් එම තෑග්ග සිනාමුසුව භාරගත්තේය. මෛත්‍රී පිලිපීනයට යාමට පෙර සඳුදා උදෑසන කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්විණි. කැබිනට් රැස්වීමේදී සාමාන්‍ය කැබිනට් පත්‍රිකා පිළිබඳ අවධානය යොමුවූවා මිස වැඩිමනත් දේශපාලන කරුණු ගැන අවධානයක් යොමුවූයේ නැත. උතුරු නැගෙනහිර හා වතුකරයේ දෙමළ භාෂා පරිවර්තකයන්ගේ හිඟය පිළිබඳව මෙන්ම විදුහල්පතිවරුන් පත් කිරීමේ ගැටලුව පිළිබඳවත් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුවූවේය. ජාතික පාසල්වල විදුහල්පතිවරුන්ගේ හිඟය කෙරෙහි අවධානය යොමුවූයේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයට වසර අටක් තිස්සේ ස්ථිර විදුහල්පතිවරයෙක් පත් කරගැනීමට නොහැකිවීම පිළිබඳ ඇතිවූ කතාබහේදීය. තර්ස්ටන් විද්‍යාලයට පමණක් නොව තවත් පාසල් ගණනාවකටම ස්ථිර විදුහල්පතිවරයෙක් පත් කරගැනීමට නොහැකිවීම නිසා තවමත් කටයුතු කරන්නේ වැඩ බලන විදුහල්පතිවරුන්ය.

අලුතින් විදුහල්පතිවරු පත් කිරීමේ ‍ලේඛන මේ වන විට සකස් කරමින් යනවා. ඒ අනුව තර්ස්ටන් එකට විදුහල්පතිවරයෙක් දෙනවා අකිල විරාජ් කාරියවසම් ඇමැතිවරයා සහතිකයක් දුන්නේය.

ඒ අතරම රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත් කිරීමේ දී ඇතිවී තිබෙන ගැටලුව පිළිබඳ අවධානය යොමුවිය.

සමහර ආයතනවලට තවමත් සභාපතිවරු පත්කරලා නැහැ කියලා මාධ්‍ය වලින් කියවෙනවා. ඒ නිසා ගැටලු ඇතිවෙලා තියෙනවා කියලා මාධ්‍ය මගින් කියවෙනවා. මේ නිසා ඉක්මනට සභාපතිවරු පත් කරන්න ඕනසභාපතිවරු පත් කිරීමේ ගැටලුව ඇති කළ මෛත්‍රීම කීවේය.

ජනාධිපතිවරයා රාජ්‍ය ආයතනවලට සභාපතිවරු හා ක්‍රියාකාරී අධ්‍යක්ෂවරු පත් කිරීම පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කළේ ජනාධිපති ‍ලේකම්වරයාගෙන් අත්සනින් යුතු චක්‍ර‍ලේඛයක් නිකුත් කරමින්ය. තමන්ගේ ආයතන යටතේ ඇති ආයතන සඳහා දේශපාලන පත්වීම් දෙකක් වන සභාපති හා ක්‍රියාකාරී අධ්‍යක්ෂ තනතුරු පුවරන්නේ අදාළ විෂය භාර ඇමැතිවරයා විසින් වන නමුත් මෛත්‍රී එයට මැදිහත්වී සිටින්නේ සුදුස්සන් තෝරා පත් කරගත යුතු බව කියමින්ය. මෛත්‍රී ඉල්ලන්නේ පත් කිරීමට නියමිත සභාපතිවරුන්ගේ ලිපි ගොනු කඩිනමින් ජනාධිපති ‍ලේකම් කාර්යාලය වෙත දෙන ලෙසය. එසේ ජනාධිපති ‍ලේකම් කාර්යාලයට ලිපි ගොනු දෙන්නේ නම් කඩිනමින් පත් කිරීම් සිදුකරන බව ඔහු පවසන්නේය.

රාජිතට මෛත්‍රීගෙන් ඇමතුමක්

මෛත්‍රී ජනාධිපති කරවීමට විශාල වැඩ කොටසක් කළ රාජිත සේනාරත්න ඇමැතිවරයාට එරෙහිව කරුණු කීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා මෛත්‍රී හමුවීමට ගොස් තිබුණේ පසුගිය සතියේදීය. එම හමුවෙන් පසුව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් මාධ්‍ය ඉදිරියට පැමිණ කීවේ මෛත්‍රී දැඩි ලෙස රාජිත විවේචනය කළ බවය. එතැනින් නොනැවතී ඔවුන් කීවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂණ වංචා පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කිරීමට මෛත්‍රීගේ සූදානමක් ඇති බවය. මෛත්‍රී මෙසේ තමන්ගේ අමාත්‍යාංශයේ කටයුතු විවේචනය කර ඇති බවට තොරතුරු ලැබිමත් සමග රාජිත තමන්ගේ හිතවතුන්ට දක්වා තිබුණේ දැඩි ප්‍රතිචාරයකි. ඒ පිළිබඳ මෛත්‍රීටත් තොරතුරු වාර්තාවී තිබූ අතර ඔහු දුරකථනයෙන් රාජිත සම්බන්ධ කරගැනීමට උත්සාහ ගත්තේය.

මෛත්‍රී දුරකථනයෙන් රාජිතට ඇමැතුමක් ගත්තේ මේ ගැන කතා කිරීමටය. ඒ වන විට රාගම ශික්ෂණ  රෝහ‍ලේ විවෘත කිරීමකට එක්ව සිටි රාජිත දුරකථන ඇමතුමට පිළිතුරු දුන්නත් වැඩිදුරටත් කතා නොකළේ උත්සවය අවසන්වූ පසුව කතා කරන්නම්යනුවෙන් කියමිනි. උත්සවය අවසන්වීමෙන් පසුව වාහනයට නැගුන රාජිත මෛත්‍රීට දුරකථන ඇමතුමක් දුන්නේය. ඒ වන විට ජනපති සිටියේ උත්සවයකය. ඒ නිසා ඔහුට ජනපති සම්බන්ධ කරගැනීමට නොහැකි විය. එහෙත් පසුදා උදෑසන මෛත්‍රී රාජිතට ඇමතුමක් දුන්නේය.

ජී.එම්.ඕ. එක මොනවා කිව්වත් ඩොක්ටර් මට අමාත්‍යාංශයකට විරුද්ධව කොමිසමක් දාන්න බැහැ. රජයේ දූෂණ වංචා සොයන්න ජනාධිපති කොමිසමක් දාන්න පුළුවන්. ඒත් මම වෛද්‍ය සංගමයට ඔය වගේ ‍පොරොන්දුවක් දුන්නේ නෑ.මෛත්‍රී පැහැදිලි කළේය.

එතොකට ජනාධිපතිතුමා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂිත ඇමැතිවරයෙක් හිටියා. හැබැයි ඒ ඇමැතිවරයා කරපු දූෂණ වංචාවලට වඩා දූෂණ වංචා මම කරලා තියෙනවා කියලා කියන කතාවරාජිත තවත් කතාවක් ඇසුවේය.

ඒක සම්පූර්ණයෙන්ම බොරුවක්. මම මේ ගැන කියලා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයාට ලියුමක් යැව්වා. බොරු කියලා ජනතාව නොමග යවන්න එපා කියලා මම ඒ ලියුමේ ලියලා තියෙනවා. මම පිලිපීනයේ ගිහින් ආවට පස්සේ අපි හමුවෙලා කතා කරමුමෛත්‍රී කීවේ දේශපාලන සංවාදයක් කෙරෙහි බලා‍පොරොත්තුවක් තබාගනිමිනි.

මැති ඇමැතිවරුන්ට විශ්ව විද්‍යාලවලට ඇතුළුවීමට අවස්ථාවක් නොදෙන්නේ දේශපාලන මැදිහත්වීම් නිසාය. දශක ගණනාවක් තිස්සේ විශ්ව විද්‍යාල තුළට යාමට විෂය භාර ඇමැතිවරු උත්සාහ ගත් විට එයට විරෝධය දැක්වූයේ කලින් ජනතා විමුක්ති පෙරමුණේ දැන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේද අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයයි. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ ඒකාධිකාරය විනාශ කළේ විදේ‍යා්දය පිරිවෙනේ ඉගෙන ගන්නා කාලයේ අන්තරයේ සභාපතිවරයෙක්ව කටයුතු කළ එස්.බි. දිසානායකය. කළු කොඩි හා හූ හඬ මැද එස්.බි. විශ්වවිද්‍යාල තුළට ගියේය. එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන්ටද දැන් විශ්වවිද්‍යාල තුළට යාමට අවස්ථාව ලැබි තිබේ. සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය විවෘත කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ සහ රාජිත යාමට සූදානමින් සිටින විට විරෝධතා දැක්වීමට ශිෂ්‍ය කණ්ඩායම් සූදානමින් සිටියහ. එහෙත් රාජිතට මෙන්ම රනිල්ට විශ්වවිද්‍යාලය තුළට යාමට අවස්ථාව ලැබි තිබුණි. වෛද්‍ය පීඨය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වන අතරවාරයේදී රනිල් රාජිතට දේශපාලන රහසක් අනාවරණය කර තිබුණේය.

දන්නවාද රාජිත, මම ඊයේ රෑ මංගල උත්සවයකට සහභාගී වුණා. මට මහින්ද එතැනදී හමුවුණා. ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා මම ඇහුවා. එතකොට ඒ අය මෛත්‍රීට උදව් කරන්නේ නම් නෑ කියලා කිව්වා. මේ වෙනකොට අවස්ථා තුනකදීම මෛත්‍රීට සහය දෙන්නේ නැති බව කියලා තිබෙන බව කිව්වා. අපි ‍පොහොට්ටුවෙන් තමයි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ කියලා මහින්ද කිව්වාරනිල් දේශපාලන රහසක් අනාවරණය කළේය. මහින්ද ‍පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට සූදානම් වන විට එක්සත් ජාතික පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයකට සූදානම් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ නමින්ය. පාඨලී චම්පික රණවක ඇමැතිවරයාත්, රාජිතත් අලුත් දේශපාලන පක්ෂය හැදීමේ වැඩ කටයුතුවලට ආශිර්වාදය දෙන්නේ ඒ හරහා ඔවුන්ගේ දේශපාලන අනාගතය ගැන පැහැදිලි දැක්මක් ඇතිවය. දින පනස් දෙකක අරගලය අවසන් කිරීමෙන් පසුව ගෝල් ෆේස් පිටියේදී පැවැති රැස්වීමේදී අලුත් දේශපාලන සන්ධානය ගැන කරුණු හෙළි කළ රනිල් දැන් එම සන්ධානය ලියාපදිංචි කිරීම සඳහා කටයුතු කරමින් සිටී.

රනිල්ගේ ප්‍රධානත්වයෙන් බදාදා රාත්‍රියේදී අරලියගහ මන්දිරයේදී මේ ගැන සාකච්ඡා කර තිබුණේ කල් දමා ඇති පළාත් පාලන ආයතන කිහිපයක මැතිවරණය අවසන් වන තෙක් අලුත් පක්ෂයක් හෝ සන්ධානයක් ලියාපදිංචි කිරීමට නොහැකි නිසාය. එහෙත් රනිල්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී තීරණය වූයේ අලුත් පෙරමුණේ ව්‍යවස්ථාව සකස් කර අවසන් කිරීමටය. එහි වගකීම් පැවරුණේ නීති විශාරදයකු වන ජයම්පති වික්‍රමරත්නටය 

මම ඉක්මනට ව්‍යවස්ථාව කෙටුම්පත් කරලා දෙන්නම්. ඊට පස්සේ ලියාපදිංචි කරන්න දානවා. ඊට පස්සේ අපිට අලුත් පෙරමුණ එළිදැක්වීමේ උත්සවය තියන්න පුළුවන්ජයම්පති තමන්ට පැවරුණ වගකීම් ඉටු කිරීමට කාල රාමුවක් ගැන අදහසක් ඉදිරිපත් කළේය.

 දයාසිරිට හොරා ආ අමරවීර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අලුතින් පත්වූ මහ ‍ලේකම් දයාසිරි ජයසේකර පක්ෂ මූලස්ථානයේ වැඩ භාරගත් නමුත් තවමත් විශාල වෙනස්කම් කිරීමට යන බවක් පෙන්වා නැත. මේ අතරවාරයේදී මහින්ද අමරවීර හදිසියේම පසුගිය සතියේදී ශ්‍රී ලංකා පක්ෂ මූලස්ථානයට පැමිණ තිබුණේ පක්ෂයට සම්බන්ධ සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරීන් කිහිපදෙනෙක් හමුවීමටය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නිල වබේ අඩවි කිහිපයක් දැන් තිබෙන අතර අවසානයේදී පැවැති පක්ෂ සම්මේලනයේදී පක්ෂයේ සභාපතිවරයාට විවෘත කිරීමට සිදුවූයේ පක්ෂයේ නිල වබේ අඩවියක් නොව ප්‍රවෘත්ති වබේ අඩවියකි. ඒ පක්ෂයේ නිල වබේ අඩවි එක් එක් කණ්ඩායම් අත පැවැතීමත් ඒවා ඔවුන්ට අවශ්‍ය ආකාරයට හසුරවාගැනීමත් නිසාය.

අමරවීර සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් කැඳවන ආරංචිය දයාසිරිගේ කනට ගොස් තිබුණේය. ඒ වන විට වෙනත් කටයුත්තක යෙදී සිටි දයාසිරි කඩිනමින් පක්ෂ මූලස්ථානයට පැමිණියේය.

එන්න මහ ‍ලේකම්තුමායැයි කියමින් අමරවීරත් දයාසිරි  පිළිගත්තේය. එතැන මුල් පුටුවක්ද දයාසිරිට දුන් පිරිස සාකච්ඡාව ඉදිරියට කරගෙන ගියහ. දයාසිරිත් කිසිවක් නොදන්නා ආකාරයට සාකච්ඡාවට හවුල්විය.

හැකි තාක් ශ්‍රී ලංකා නිදහස්  පක්ෂයට සහය දෙන සමාජ මාධ්‍ය ජාල සහ වබේ අඩවි අලුතින් ක්‍රියාත්මක කරන්නැයි අමරවීර ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

 කබිර්ගේ දොර කඩයි

එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මැති ඇමැතිවරුන්ට පසුගිය දිනවලදී දිගින් දිගටම එල්ලවූ චෝදනාව වූයේ ඔවුන් හමුවීමට අවස්ථාවක් ලබාගත නොහැකිය යන්නයි. මලික් සමරවික්‍රම ඇමැතිවරයා හමුවීමට ගිය පසුපෙළ මන්ත්‍රීවරු බොහෝ දෙනෙක්ට සිදුව තිබුණේ නැවත හැරී පැමිණීමටය.

කබිර් හෂීම් ඇමැතිවරයාටද මේ චෝදනාව දිගින් දිගටම එල්ලවූවේය. පක්ෂයේ මහ ‍ලේකම්ධුරයද ඔහුට අහිමිවූයේ දේශපාලන කටයුතු සඳහා ඔහු හමුවීමට පාක්ෂිකයන්ට අවස්ථාවක් නොලැබිමේ චෝදනාව බරපතළ ලෙස නැගීම නිසාය.

පසුගිය සතියේදී ලක්ෂ්මන් විජේමාන්න මන්ත්‍රීවරයා කබිර්ගේ අමාත්‍යාංශයට පැමිණියේ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් සමගය. ඒ කළුතර දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මකවීම මන්දගාමී වීම නිසා ඒ ගැන සාකච්ඡා කිරීමටය.

මම ලක්ෂ්මන් විජේමාන්න. මට ඇමැතිතුමා හමුවෙන්න ඕන ආරක්ෂක  නිලධාරීන්ට හා එහි සිටි අමාත්‍ය කාර්යමණ්ඩලයේ නිලධාරීන්ට කියුවත් කබිර් හමුවීමට යාමට අවස්ථාවක් ලැබුණේ නැත. ටික වේලාවක් බලා සිටි ඔවුන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියේ කාමරය ඇතුළට වී සිටි ඇමැතිවරයා මන්ත්‍රීවරයාට එන්න යැයි දැනුම් නොදීම නිසාය. ඉවසීමේ සීමාව ඉක්මවා ගිය මන්ත්‍රීවරයා ඇමැතිවරයාගේ කාමරයේ දොරට පයින් ගැසුවේය. අගුලු නොදමා තිබූ දොර එක්වරම විවෘත වූ අතර ලක්ෂ්මන්  විජේමාන්න අනෙකුත් ක්‍රියාකාරීන් සමග කබිර්ගේ කාමරයට ඇතුළු විය. අමාත්‍යාංශයේ විශාල පිරිසක් බලා සිටියදී සිදුවූ දේ පසුදා වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තාවෙමින් තිබුණේය. එයට ප්‍රතිචාර දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් දොර නොකැඩූ බවත් දොරට පයින් ගැසූ විට අගුලු නොදැමුන දොර විවෘත වූ බවය. මේ ගැන විමසීමට කබිර් හෂීම්    ඇමැතිවරයා සම්බන්ධ කරගැනීමට උත්සාහ ගත් නමුත් එම උත්සාහය අසාර්ථක විය.

තිලකජය 
කාටූන් - අංජන ඉන්ද්‍රජිත්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.