lakbima.lk

මුස්ලිම් ඇමතිවරු ආණ්ඩුකාරවරු අස්වූ මෙහෙයුමේ සුලමුල

 

පසමිතුරන්ව සිටිටද ජනපතිවරයාටත් අගමැතිවරයාටත් සති කිහිපයක් පුරා දේශපාලන හේතූන් නිසා ඇති වී තිබෙන පීඩනය ඔවුන් දෙදෙනාට බලපා ඇත්තේ සමවය. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බලන්නට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ජනපතිවරයාට එල්ල කළේ දේශපාලන ප්‍රහාරයකි. ඒ නිසා ඔහු ඒ ගැන සිටියේ ප්‍රසාදයකින් නොවේ. ඒ අතරේ ඔහු විසින් පත්කරන ලද ආණ්ඩුකාරවරුන් දෙදෙනකු ඉවත් කරන ලෙස බලකෙරෙමින් රට පුරා විරෝධතා ඇරඹුණි. ජනපතිවරයාට පමණක් නොව අගමැතිවරයාටද එම දේශපාලන ආතතිය දැඩිව දැනෙමින් තිබුණේය. එහෙත් දේශපාලන සටකපටකමින් අගතැන් අගමැතිවරයා එන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට තීරණය කර තිබිණි.

රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබූ විශ්වාසභංග යෝජනාව එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු බිත්තියට හේත්තු කළ ප්‍රශ්නයක් බවට පත්ව තිබුණේය. ඇමැතිවරයාට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ආණ්ඩුවට පරාජයක් අත් කර දෙනවාද, රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට පක්ෂ වෙමින් මීළග මැතිවරණයේදී ජයග්‍රහණයක් පරදුවට තබනවාද යන දෙගිඩියාවෙන් සිටි එක්සත් ජාතික පක්ෂ මැති ඇමැතිවරුගේ ප්‍රශ්නය යටට ගියේය. අතුරලියේ රතන හිමියන් ආරම්භ කළ උපවාසය නිසාය.

රතන හිමියන් උපවාසය ආරම්භ කළේ එක්සත් ජාතික පක්ෂය සමග සිටින රිෂාඩ් බදියුදීන්ට එරෙහිව පමණක් නොවේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග සිටින නැගෙනහිර පළාත් ආණ්ඩුකාවරයා වූ අතාවුල්ලා හා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වූ අසාද් සාලිටද එරෙහිවය.

ආණ්ඩුකාරවරු දෙදෙනෙක්ට එරෙහිව රතන හිමියන් උපවාසය ආරම්භ කරන විට දකුණේ ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් සිටියේ විදේශ සංචාරයක් නිමකර ලංකාව බලා එමිනි. තායිලන්තගේ ගුවන් තොටුපලට පැමිණ සිටින විට ලංකාවෙන් ඔහුට තොරතුරු ලැබි තිබුණේ තමන්ගේ අනෙක් ආණ්ඩුකාර සගයින් දෙදෙනාට මුහුණ පෑමට තිබෙන අකරතැබ්බය  ගැනය.  ඒ අවස්ථාවේදී ඔහු තමන්ගේ සගයින්ට කියා තිබුණේ අර්බුදයකට නොගොස් මේ තත්ත්වය කළමනාකරණය කරගත යුතු බවය. කීර්ති කාලයක් රතන හිමියන් සමග ඇසුරක් පවත්වා තිබිම නිසා මෛත්‍රීගේ පාර්ශ්වයෙන් අදාළ සාකච්ඡා පැවරුණේ ඔහුට.

මුලින්ම කීර්තිට සිදුවූයේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සමග සාකච්ඡා කිරීමටය. මෛත්‍රීගේ දේශපාලන වැඩසටහන් පිටුපසත් තවත් විටෙක සජිත් ප්‍රේමදාසගේ දේශපාලන මෙහෙයුම් පිටුපසත් සිටින උලපනේ සුමංගල හිමියන් සමග මුලින්ම සාකච්ඡා කළේ අසාද් සාලිගේ ඉල්ලා අස්වීම ලබාගැනීමටය. ඉල්ලා අස්වීමකින් තොරව විසඳුමක් නොමැති බව එක් පාර්ශ්වයකගේ අදහස වී තිබූ නමුත් වරදක් කර නොමැති තමුන් ඉල්ලා අස්වන්නේ කුමක් නිසාදැයි යන තර්කය අසාද් සාලි දිගින් දිගටම මතු කරමින් සිටියේය.

මෙහි එක් සාකච්ඡාවක් පැවැත්වුණේ ප්‍රසිද්ධ සභාවකය. මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්නගේ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ පළමු සංවත්සර උත්සවය කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වෙන විට ඉදිරි එක ළඟ අසුන්වල සිටි කීර්ති හා සාලි කතා කළේ ඉල්ලා අස්වීම ගැනය. ජනාධිපතිගේ උපදේශකයෙක් මෙන්ම ජනපති මාධ්‍ය හසුරවන ශිරාල් ලක්තිලක ප්‍රධාන දේශනය පවත්වන විට ඒ ගැන කිසිදු අවධානයක් යොමු නොකළ ඔවුහු දෙදෙනා දේශපාලන කතිකාව කරගෙන ගියහ. සංවත්සර උත්සවය අවසන් වන විට අසාද් ඉල්ලා අස්වීමට කැමති වන තැනට තල්ලු කිරීමට කීර්ති සමත්වූවේය.

එම සාකච්ඡාව අවසායේදී නැවත වරක් මෛත්‍රී හමුවීමට ගිය කණ්ඩායම අවසන් එකඟතාවයන් කිහිපයක් ඇතිකරගෙන තිබුණේය. එහෙත් ඒ එකඟතාවයන් ක්‍රියාත්මක කිරීමට කිසිවෙක් ඉදිරිපත්වී තිබුණේ නැත. මේ නිසා මෛත්‍රී ඉරිදා රාත්‍රියේදී ආණ්ඩුකාරවරු කිහිපදෙනෙක් ජනාධිපති ‍ලේකම් කාර්යාලයට කැඳවූවේ එකඟතාවයන් ක්‍රියාත්මක කරගැනීම සඳහාය. එම එකඟතාවයන්ට අනුව හිස්බුල්ලා ඉල්ලා අස්වීමේ ලිපියක් සකස් කරගෙන මෛත්‍රීට භාරදුන්නේය. එහෙත් එම ඉල්ලා අස්වීමේ ලිපියේ තිබූ වාක්‍ය දෙකක් මෛත්‍රීගේ අකමැත්තට හේතුවි තිබුණේය.

“මේ ඉල්ලා අස්වීමේ ලිපිය මම ළඟ තියාගන්නම්. මේක වෙනස් කරලා ගෙනැත් දෙන්න”මෛත්‍රී හිස්බුල්ලාට දැනුම් දුන්නේය. එහෙත් අසාද් සාලිගේ ඉල්ලා අස්වීම ඒ වන තෙක් ලැබි තිබුණේ නැත. ඔහු නැවත වරක් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරන තැනකට තල්ලුවී තිබුණේය. 

මේ අතර රතන හිමියන්ගේ උපවාසයට බොදු බල සේනාවේ මහ ‍ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සහයද ලැබෙමින් තිබූ අතර ආණ්ඩුකාරවුරු දෙදෙනාට හා ඇමැතිවරයාට ඉල්ලා අස්වීමට ලබාදී තිබුණේ පැය විසිහතරක කාලයකි. නැවත වරක් ජාතිවාදයෙන් හා ආගම්වාදයෙන් රට උණුසුම්වීමේ අවදානමක් ඇතිවන විට කීර්ති හා මහින්ද අමරවීර මැදිහත්වී හිස්බුල්ලාගේ ඉල්ලා අස්වීම ලබාදීමට කටයයුතු  කර තිබුණේය.

බස්නාහිර හා නැගෙනහිර ආණ්ඩුකාරවරු ඉල්ලා අස්වීමේන් පුරප්පාඩු වූ තනතුරු සඳහා පත් කරන පුද්ගලයන් පිළිබඳ මෛත්‍රීට අවධානය යොමු කිරීමට සිදුවිය. එම තනතුර දකුණු  පළාත් මහ ඇමැතිවරයාව සිටි ශාන් විජයලාල් ද සිල්වාට ලැබෙන බව මේ තීරුවෙන් මුල්වරට ගිය සතියේ අනාවරණය කළේය. ශාන්ට ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී තනතුර භාරගන්නැයි ශිරාල් ලක්තිලක හරහා දුරකතන ඇමතුමක් ලබාදී තිබූ අවස්ථාවේදී ඔහු එය භාරගැනීම මදක් අදිමදි කර තිබුණේය

එහෙත් බස්නාහිරට හා නැගෙනහිරට ආණ්ඩුකාවරු තේරීම්දී මුල් වටයේදී ශාන්ගේ නම කැපී ගොස් තිබුණේය. බස්නාහිරට කොළඹ නගර සභාවේ හිටපු නගාරාධිපති මොහොමඩ් මුසම්මිල්ගේ නම යෝජනා වන විට නැගෙනහිරට යෝජනා වී තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ‍ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසය. එහෙත් අවසානයේදී රෝහණ ලක්ෂ්මන් වෙනුවට ශාන්ගේ නම ඉහළට පැමිණ තිබුණේය.

ශාන්ට ආණ්ඩුකාර ධුරය ලබාදීම ගැන තොරතුර ලබාදී තිබුණේද මෛත්‍රීමය. ජනාධිපති ‍ලේකම් කාර්යාලයට බදාදා දහවල් දොළහට පෙර එන්නැයි දැනුම්දී තිබූ මෛත්‍රී ඔහුට නැගෙනහිර පළාත් ආණඩුකාරධුරය දුන්නේය.

“මම සර් දෙන වගකීම අකුරට ඉටු කරනවා”ශාන් තමන්ට ලැබුණ අලුත් තනතුර වෙනුවෙන් කෘතවේදීත්වය පළ කළේය.

“මම දන්නවානේ ශාන්. කොහොමත් ඉතිං ශාන් බෙන්තර පාලමෙන් එහානේ”මෛත්‍රීත් සිනාසෙමින්ම කීවේය.

ආණ්ඩුකාරවරුන්ගේ අර්බුදය විසඳා ගත්තද රිෂාඩ්ගේ ඉල්ලා අස්වීම තවත් අර්බුදයක් කරා රැගෙන ගියේය. තනිව රිෂාඩ් ඉල්ලා අස්වෙනවා වෙනුවට සිදුවූයේ ආණ්ඩුවේ සිටි සියලුම මුස්ලිම් ඇමැතිවරු ඉල්ලා අස්වීමය.

“මුස්ලිම් ඇමැතිවරු ඔක්කොම ඉවත් වුණේ ඇයි කියලා දැන් මිනිස්සු අහන්නේ. මේක අගමැතිතුමා දීපු ගේමක් කියලා කියනවා”එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී රනිල් හමුවූ අවස්ථාවේදී අසා තිබුණේය.

“මම දීපු ගේමක් නෑ. මුස්ලිම් ජනතාවට මෙහෙම ගියොත් ආරක්ෂාවක් නැතිවේවි. ඒ නිසා සාමය ඇති කරන්න අපි හැමෝම අයින් වෙනවා කියලා තමයි මුස්ලිම් ඇමැතිවරු මට කිව්වේ. දැන් ෙතේ‍රනිකායික මහනායක හාමුදුරුවරුත් මේ තනතුර භාරගන්න කියලා ඉල්ලා අස් වූ ඇමැතිවරුන්ට කියනවානේ” රනිල් සැහැල්ලුවෙන් පිළිතුරු දුන්නේය

මුස්ලිම් ඇමැතිවරු ඉල්ලා අස්වීම සඳහා ලිපිය සකස් කර තිබුණේ එක් ලිපියක් ලෙසය. එයට සියලුම ඇමැතිවරු අත්සන් තබා තිබූ අතර එය ජනාධිපතිවරයා වෙත භාර නොදී අගමැතිවරයා වෙත පමණක් භාරදුන්නේය.  අගමැතිවරයාගේ ඉල්ලීම වී තිබුණේ එය තනි තනි ලිපි ලෙස ජනාධිපතිවරයා වෙත භාරදෙන ලෙසය. එහෙත් රාමසාන් උත්සවය නිසා ඔවුන්ට ලිපි ලබාදීම තරමක් ප්‍රමාද වී තිබුණේය.

ඇමැතිවරු ආණ්ඩුකාරවරු ඉල්ලා අස්වෙමින් රතන හිමියන් ඇතිකළ දේශපාලන පෙරළිය අතරවාරයේදී මිතුරන් හතුරන් වන හැටිත්, හතුරන් මිතුරන් වන හැටිත් පෙනෙමින් තිබුණේය. රතන හිමියන් සමග දීර්ඝ කාලයක් දේශපාලනය කළ පසුව උරණවූ පාඨලී චම්පික රණවක ඇමැතිවරයා රතන හිමියන්ගේ සුව දුක් විමසීමට ගොස් සිටියේය. චම්පික යාමට පෙර කරු පරණවිතාන නියෝජ්‍ය ඇමැතිවරයා උපවාස කළ ස්ථානයට යැවූ චම්පික ඔවුන් දෙදෙනා අතර ඇතිවූ සාකච්ඡාවෙන් පසුව ඇතිවූ සුභදායී ප්‍රතිචාරයන් හමුවේ රතන හිමියන් හමුවිය.

ඔවුන් දෙදෙනා සුහද වන විට ජාතික ව්‍යාපාරයේ තමන් රතන හිමි සමග බොහෝ කාලයක් එකට කටයුතු කළ ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ් රතතන හිමියන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළහ. රතන හිමියන්ට සහය ලබාදීමට ප්‍රසිද්ධියේ පෙනී සිටි  ඥානසාර හිමියන් ඒ වන විට තමන්ගේ හිතවතුන්ට කියා තිබුණේ රතන හිමියන්ගේ වැඩකටයුතු නිසා ජාතික ව්‍යාපාරයම බිඳ වැටෙන බවය. රතන හිමියන්ගේ උපවාසය අවසන්වූ වහාම ප්‍රහාරක ස්ථාවරයට ගියේ ඥානසාර හිමියන්ගේ අභ්‍යන්තර දේශපාලන මෙහෙයුම ඉදිරියට දමමිනි.

මේ අතර එක් දේශපාලන ගින්නක් නිවී යමින් තිබියදී මංගල සමරවීර ඇමැතිවරයා තවත් ගින්නක් පත්තු කළේය. කිවයුතු දේ කිවයුතු සභාවක කියන්නට නොදන්නා මංගල සමරවීර ඇමැතිවරයා සිය ලිබරල් දර්ශනය නිසා දෝෂදර්ශනයට ලක්වූ මුල්ම අවස්ථාව මෙය නොවේ. එය අවසන් අවස්ථාවද නොවනු ඇත. අගරදගුරුතුමා හා රතන හිමිගේ උපවාසය විවේචනය කරමින් ඔහු කළ කතාවට මහා සංඝරත්නයෙන් දැඩි විවේචනය එල්ල වුවද, ඒ සියල්ල ඔහු යළිදු වරක් උපේක්ෂාවෙන් විඳදරා ගත්තේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා අගමැති රනිල් වික්‍රමසිංහ එදා සිටියේද,  අද සිටින්නේද පැහැදලි දේශපාලන අවබෝධයකින් බව රහසක් නොවේ.  මේ දේශපාලන අවබෝධය කරළියට එන්නේ දෙදෙනාගෙන් එක් අයෙක් දේශපාලන වශයෙන් අසීරුතාවයන්ට ලක්වූ විටය. දේශපාලන අසීරුතාවයට අමතරව ඇතිවී තිබෙන මේ අවස්ථාවේදීත් රනිල්ගේ පිහිටට පැමිණිමට මහින්ද අමතක කර තිබුණේ නැත. මහින්ද  හමුවීමට අවශ්‍ය යැයි රනිල් කළ දැනුම්දීමකට අනුව ඔහු අරලියගහ මන්දිරයට ගියේය. මහින්ද ගියේ බන්දුල ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත,ගාමිණී ලොකුගේ හා උදය ගම්මන්පිල සමගය.  රනිල්ගේ පාර්ශ්වයෙන් මංගල සමරවීර හා හර්ෂද සිල්වා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ නිලධාරීහු එක්ව සිටියහ.

මහින්ද පැමිණෙන විට රනිල් ඉදිරියට ගොස් පිළිගත් අතර සාකච්ඡා මේසයයට ගිය ඔවුන්ට සාකච්ඡාව ආරම්භ කිරීමට නොහැකි විය. ඒ මංගල තරමක් ප්‍රමාදවීම නිසාය.  මංගල එනතෙක් සාකච්ඡා ප්‍රමාද කෙරුණේ ඔහු මුදල් ඇමැතිවරයා නිසාය.

“මම විනාඩි හතක් පරක්කුයි”මංගල තමන්ගේ ප්‍රමාදය ගැන කීවේය.

“විනාඩි  හතක් නමෛයි පහළොවක් පරක්කුයි. මම වෙලාව බලාගෙන හිටියේ”මහින්ද සිය පැරණි මිතුරාට සිනාසෙමින් කීවේය.

මංගල එනතුරු සිටි මහින්ද රතන හාමුදුරුවන්ගේ උපවාසය ගැනත් කතා විය. මහින්ද අතීතය සිහිපත් කළේ තමන් ආණ්ඩුවේ සිටියදී උපවාසවලට මුහුණදුන් ආකාරය ගැනය.

“මම එකපාරක් උපවාසයක් කරපු තැනකට යන්න හදනකොට යන්න එපා කියලා වාසු කිව්වා. වාසු කිව්වේ හතරවැනි දවසේ හරි පස්වැනි දවසේ හරි යන්න කියලා. එතකොට අමාරුවෙන්නේ ඉන්නේ. එතකොට දෙයක් කරන්න නැති නිසා එකඟ වෙනවා”මහින්ද උපවාසවලට මුහුණ  දිය යුතු ආකාරය ගැන සිහිකරමින් රනිල්ට උපදෙස් දෙන්න විය.

මහින්ද එන විට සංචාරක හෝටල් හිමියන්ගේ, සංචාරක මාර්ගෝපදේශක රියැදුරන්ගේ, තොරණ් නිර්මාණකරුවන්ගේ, විරිදුකරුවන්ගේ ආදි ක්ෂේත්‍ර නියෝජනය කරමින් පැමිණි පිරිස් තමන්ට ලබාදුන් දුක් ගැනවිලි මාලාවක්ද රනිල්ගේ අතට ලබාදුන්හ.

“පහුගිය දවස්වල බොහෝ ක්ෂේත්‍රවල අය මම හමුවෙන්න ආවා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ ඒ අයට මුහුණපාන්න වෙලා තියෙන ගැටලු ගැන  ඒ අය මම දැනුවත් කළා. මේ හැම අංශයක් ගැනම හොයාල බලන්න රජයට වගකීමක් තියෙනවා”මහින්ද තමන්ගේ යෝජනා ඉදිරිපත් කරන්න විය

“අපි මේවා ගැන අවශ්‍ය පියවර අරගෙන තියෙනවා. වැඩියෙන්ම බලපෑම් එල්ලවූ ක්ෂේත්‍ර ගැනත් අපි හොයලා බැලුවා. මුදල් ඇමැතිතුමා පාර්ලිමේන්තුවේදී මේ ගැන විශේෂ ප්‍රකාශයකුත් කරනවා”රනිල් උත්තර දුන්නේය.

“ප්‍රහාරයෙන් පසුවේ රට ගොඩ නගනවා වෙනුවට ‍පොලිටිකල් ශෝ එකක් කරගන්න එපා. ප්‍රහාරයෙන් විපතට පත්වූ අයට වන්දි ගෙවන එකඟ වුණත් ‍පොලිටිකල් ශෝ එක්ක කරගන්න හදපු විදිය අපි දැක්කා. ඒවා වැරදියි. මිනිස්සු දුකට පත්වෙලා ඉන්න වෙලාවේ අපි අපේ බලය වෙනුවෙන් දුක පාවිච්චි කරන්න හොඳ නෑ”මහින්ද පැහැදිලි කළේය.

ආර්ථිකය ගැන කතා කිරීමෙන් පසුව අවධානය යොමුවූයේ රටේ දේශපාලන කරුණු කෙරෙහිය. රතන හිමියන්ගේ උපවාසය ගැනත් එහි ගිය අය ගැනත් කතාබහක් ඇදී ආවේය.

“අර අප්පච්චි මලාට විරෝධතාවයක් ආවානේ”මහින්ද කීවේය.

“කවුද? කවුද?”එතැන සිටි එක්සත් ජාතික පක්ෂයේ අයෙක් ඇසුවේය.

“අර අප්පච්චි මලා” කීවා මිස මහින්ද විජිත් විතමුණි සොයිසාගේ නම කියන්න ගියේ නැත.

“ඒක ‍පොඩි විරෝධතාවක්නේ” හර්ෂ කීය.

“මොන ‍පොඩිද? ලොකු විරෝධතාවයක් එල්ලවෙලා තියෙන්නේ”මහින්ද සිනාසෙමින් කීවේය.

එම සාකච්ඡාව අවසන් කළ මහින්ද ගියේ මෛත්‍රී හමුවීමටය. මෛත්‍රී සමග රටේ ආර්ථිකය ගැන කතා නොකළ මහින්ද දේශපාලනය ගැන පමණක් කත කළේය..

“දැන් තියෙන තත්වය අනුව මැතිවරණයකට යාම තමයි සුදුසුම දේ වෙන්නේ”මෛත්‍රී මැතිවරණයකට යාමට මහින්දට යෝජනා කළේය.

“ජනාධිපතිවරයා විදියට  සුදුසු තීරණයක් ගන්න. අපි නම් ඕනම වෙලාවක මැතිවරණයකට සූදානම්”මහින්ද දැඩි විශ්වාසයක් ඇතිව කීවේය.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු  මන්ත්‍රී කණ්ඩායම පසුගිය සතියේදී රැස්වුණේ පාර්ලිමේන්තුවේදීය. ඒ වන විට ආණ්ඩුවේ සියලුම මුස්ලිම් ඇමැතිවරු ඉල්ලා අස්වී තිබූ අතර ඒ ගැන ඔවුන්ගේ අවධානය යොමුවිය.

“ආණ්ඩුව ලොකු අර්බුදයක ඉන්නේ. දැන් අපි ඉක්මනින් අපේ ඊළඟ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළොත් හොඳයි”මහින්දානන්ද යෝජනා කළේය

“ඊළග වැඩපිළිළෙකට යන එක හොඳයි. අපි ඔක්කොම එකකතුවෙලා තීන්දුවක් ගනිමු” මහින්ද පැවැසුවේය.

මේ අතර මහින්ද රනිල් හමුවීමට යාම ගැන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු තැන තැන කළ විවේචන මහින්ද ඉදිරියෙම කරන්නට පටන් ගෙන තිබුණේය. මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මහින්ද රනිල් හමුවීමට යාමට විරෝධය දැක්වූ පිරිසක් තමන්ගේ අදහස් ප්‍රසිද්ධියේම කියන්න ගත්තේය.

“සර් අගමැතිතුමා හමුවෙන්න ගියපු එක ගමට  යන්නේ වෙන විදියකට. ඒකට එක එක අර්ථකතන දීල තමයි ගමට කතාව යන්නේ. ඒක අපිට අවාසිදායකයි”මන්ත්‍රීවරු කිහිපදෙනෙක් පැවැසූහ.

“මම වැඩ කරන්නේ විපක්ෂ නායක විදියයට. විපක්ෂ නායක විදියට  වැඩ කරනකොට කඩිනමින් විසඳුම් ගන්න ඕන ප්‍රශ්නවලට ඉක්මනින්  විසඳුම් ගන්න ඕන. මම හමුවෙන්න එක එක අය එනවා. වැවිලි ක්ෂේත්‍රයේ අය ඇවිත් මම හමුවුණා. සංචාරක ක්ෂේත්‍රයේ අය ඇවිත් මම හමමුවුණා. දැන් ගල් පුපුරවන අය මේ රැස්වීමෙන් පස්සේ ඇවිත් හමුවෙනවා. අපේ ආණ්ඩුවක් ඇවිත් විසඳුම් දෙනකම් මේ අයට ඉන්න බෑ. කඩනමින් මේවාට විසඳුම් දෙන්න ඕන. ඒ නිසා තමයි මම ගිහින් අගමැතිතුමා හමුවුණේ”මහින්ද තමන්ගේ ගමන සාධාරණීකරණය කළේය.

“ඒක ඇත්ත වෙන්න පුළුවන්”කිහිපදෙනෙක් මහින්දගේ විග්‍රහය පිළිගත්තේය.

“ඒ වුණාට සර් ගමේ අය කියන්නේ වෙන කතාවක්. සර් අගමැතිතුමා එක්ක ඩීල් එකක් දාගන්න ගියා කියලා තමයි ගමේ අය කියන්නේ” රංජිත් සොසියා නොබියව මහින්දගේ මුහුණටම කිව යුතු දේ කීවේය.

“එහෙම එකක් අගමැතිතුමාගේ පැත්තෙන් යනවා නම් මම අයිමත් කවදාවත් අගමැතිතුමා හමුවෙන්න යන්නේ නෑ”මහින්ද අවසන් තීරණයකට ආවේය. ඒ අනුව  නැවත වරක් මහින්ද - රනිල් හමුවකට ඉඩක් ලැබෙන පාටක් පෙනෙන්නට නැත.

මේ අතර  රිෂාඩ්ට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංගයට මහින්දගේ ඇති නොකමැත්ත තවමත් අඩුවී නැත. බැසිල් මුලින්ම එයට විරෝධයක් දක්වා තිබුණත් විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මෙයට නායකත්වය ලබාගැනීම නිසා බැසිල් කිසිවක් කියන්න ගොස් තිබුණේ නැත.

“රිෂාඩ්ට විරුද්ධව චෝදනා තිබුණා නම් ඔහුට විරුද්ධව කටයුතු කරන්න තිබුණා. එහෙම නැතිව දැන් මේක මුස්ලිම් ජනතාව ඉලක්ක කරගෙන ගෙන යන වැඩපිළිවෙළක්  බවට  පත්වෙලා තියෙනවා. අපේ අය තමයි ඒ තැනට මේක තල්ලු කරගෙන යන්නේ. ඒක අපිට අවාසිදායක  තත්ත්වයක්” මහින්ද තවමත් තමන්ගේ ඇති විරෝධය පැහැදිලිිවම ඉදිරිපත් කළේය.

මේ අතර රිෂාඩ්ට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ඉවත් කරගැනීමට කටයුතු කරන්නේ මේ වන විට රිෂාඩ් ඇමැතිවරයෙක් නොවන නිසාය. රිෂාඩ්ගේ විශ්වාසභංගය විවාදයටවත් නොගෙන ඉවත් කරන විට රනිල් තවත් දේශපාලන මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින්නේ තවත් මාසයකින් නැවත මුස්ලිම් ඇමැතිවරුන්ට ඇමැතිධුර ලබාදීමටය. ඒ මාසයක් ඇතුළත ඔවුන් සම්බන්ධයෙන් ඇති පරීක්ෂණ අවසන් කර ඔවුන් නිදොස් බව පෙන්වාදීමටය. ඒ නිසා ඉල්ලා අස්වූ ඇමැතිවරු කිසිවෙක්ට ඇමැතිධුර ලබාදීමට ඔහු කටයුතු කරන්නේ නැත.

ඒ වෙනුවට ඇමැතිවරුන්ට අරලියගහ මන්දිරයට පැමිණෙන්නැයි දැනුම්දී අමාත්‍යාංශ ‍ලේකම්වරුන්ද එහි කැඳවා අවශ්‍ය උපදෙස් ලබාදීමට රනිල් අවශ්‍ය පරිසරය නිර්මාණය කරරමින් තිබෙන්නේය. ඒ අනුව  මහාමාර්ග, ජල සම්පාදන, උසස් අධ්‍යාපන ඇතුළු ප්‍රධාන අමාත්‍යාංශවල සියලු  වැඩ කටයුතු අරලියගහ මන්දිරයේ සිට ක්‍රියාත්මක වනු ඇත. එයට පැරණි ඇමැතිවරුම නොනිල වශයෙන් අවශ්‍ය නියෝග ලබාදෙනු ඇත.

තිලකජය

කාටූන් - අංජන ඉන්ද්‍රජිත්

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.