lakbima.lk

යුක්රේනයේ ජනාධිපතිකමට විහිළුකාරයෙක්

විදේශ විත්ති විචාරකයා විස්සෝපයෙන් සිටිනු දුටු ඔහුගේ බිරිඳ දුකට හේතුව කුමක්දැයි විමසුවාය.

විහිළුකාරයෙක් යුක්රේනේ ජනාධිපති වුණානේ. ඔහු සිය බිරිඳට කියා සිටියේය. මං නම් හිතුවේ මේ ප්‍රවෘත්තිය හොඳට නැගල යයි කියලා.

විදේශ විත්ති විචාරකයාගේ බිරිඳටද එය අලුත් ආරංචියක් වූ බව ඇගේ මුහුණෙන්ම පෙනී ගියේය.

විදේශ විචාරකයා කනගාටුවෙන් කතා කළේය.

මෙච්චර අපූරු වැඩක් වෙලත් ලෝකේ කොහේවත් මිනිස්සුන්ට මේක ගානක් නැතිවීමනේ වැඩේ.

විචාරකයාගේ බිරිඳ මොහොතක් කල්පනා කළාය.

ලෝකයා කැමැති නැතුව ඇති විහිළුකාරයෙක් දේශපාලනඥයෙක් වුණාට ඕ කියා සිටියාය. විහිළුකාරයෝ මිනිස්සුන්ව හිනස්සනවනේ, දේශපාලනඥයෝ කරන්නේ මිනිස්සුන්ව කේන්ති ගැස්සිල්ලනේ.

ඒ වුණාට මේ කාලෙ මිනිස්සුන්ට විහිළු සපයන්නේ දේශපාලනඥයොනේ විදේශ විචාරකයා කියා සිටියේය. ඒකයි මං හිතුවෙ විහිළුකාරයෙක් ජනාධිපති වුණාම ඒක අල්ලල යයි කියල විචාරකයාගේ බිරිඳ වෙනත් අදහසක් පළ කළාය.

ඒත් රටක ජනාධිපති වෙනව කියන්නේ විහිළුවක් ‍නෙවෙයිනෙ ඈ කියා සිටියාය. විහිළුකාරයෙක් ජනාධිපති වුණාට ජනාධිපතිකමත් විහිළුවක් වෙයි කියල මිනිස්සු හිතනව ඇති

ඇගේ සැමියා ඊට විරුද්ධ විය.

මේ ජනාධිපතිම ඉස්සෙල්ල විහිළුවක් වුණා ‍නෙවෙයිනෙ ඔහු කියා සිටියේය. ලෝකෙ තව ජනාධිපතිවරු නැද්ද විහිළුවලට වැඩිය දෙයක් රටට දෙන්න බැරි?

විචාරකයාගේ බිරිඳ ඒ කතාවෙන් පුදුමයට පත් වූවාය.

ලෝකෙ එහෙම අයත් ඉන්නවද? ඕ අහිංසක ලෙස ඇසුවාය. මං ඉතින් ඔයා වගේ රට රටවල් ගැන දන්නෙ නෑනෙ

විදේශ විචාරකයා නොපහන් බැල්මක් සිය බිරිඳට හෙලුවේය.

බිරිඳට ඒ බැල්ම තේරුණේ නැත.

විහිළු වැඩසටහන් බලල පුරුදු මිනිස්සු හිතනව ඇති ජනාධිපතිකම කියන්නෙත් විහිළු වැඩසටහනක් කියල ඈ සිය සැමියාට කියා සිටියාය. ඒ වුණාට ජනාධිපතිධුර කාලය ඒ වගේ ඕන වෙලාවට ඕෆ් කරන්න බැරි බව දැනගත්තම තමයි සොරි වෙන්නෙ.

සැමියා අමාරුවෙන් හිනා වී බිරිඳගේ කතා අසා සිටියේය.

විහිළුකාරයෙක් ඡන්දෙ ඉල්ලනකොට මුලදී මිනිස්සු හිතන්න ඇත්තේ මිනිහ ඡන්දෙ ඉල්ලන්නෙත් විහිළුවට වගේ කියලනේ ඈ කියා සිටියාය. මිනිහෙක්ව ජනාධිපති කරාට පස්සෙනෙ තේරෙන්නේ ජනාධිපතිකමත් එක්ක විහිළු නෑ කියල

ඇමෙරිකාවෙ ජනාධිපති ඡන්දෙ ඉල්ලන කා‍ලේ ඉඳන්ම හැසිරුණේ විහිළුකාරයෙක් වගේනෙ විදේශ විචාරකයා මෙහිදී බිරිඳට කියා දුන්නේය.  ඡන්ද ඉල්ලන කා‍ලේ සීරියස් වගේ ඉඳල දිනුවට පස්සෙ විහිළුකාරයෙක් වෙනවට වැඩියෙ නම් හොඳයිනෙ ඒක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.