lakbima.lk

කියන දේ තේරුම් ගන්න බැරිද?

ජනාධිපතිවරණයේදී ඔබ ඡන්දය දෙන්නේ කාටද?

මම ගෝඨාට, මම බැසිල්ට, මම රනිල්ට, මම සජිත්ට, මම කරූට, මම අනුර කුමාරට, මම මෛත්‍රීට ආදී වශයෙන් මේ රටේ මිනිස්සු මේ වන විට පිල් බෙදී සිටිති.

ඒ අතරේ මගේ බිරිඳ අමුතු කතාවක් කීවාය.

මම නම් ඡන්දෙ දෙන්නෙ හොඳම අපේක්ෂකයට

අපි ඡන්දෙ දෙන්නෙත් හෙඳම අපේකෂකයට තමයි පුතාත්, මමත් කියා සිටියෙමු.

ඕගොල්ලො ඡන්දෙ දෙන්නෙ ඕගොල්ලො හොඳයි කියල හිතෙන අපේක්ෂකයටනෙ බිරිඳ කියා සිටියාය. ඒ වුණාට ඒ හොඳම අපේක්ෂකයා ‍නෙවෙයිනෙ.

ඒ මොකක්ද ඒ කතාව? පුතාත්, මමත් විමසුවෙමු.

දැන් මෙහෙම හිතන්න බිරිඳ අපට සිය අදහස පැහැදිලි කරන්නට උත්සාහ කළාය. ඔයා ඡන්දෙ දෙනව කියල හිතන්න චමල්ට, පුතා ඡන්දෙ දෙනව කියල හිතන්න කරූට, ඒ වුණාට ඒ කවුරුවත් හොඳම අපේක්ෂකයා ‍නෙවෙයිනෙ.

ඒ අසා මට හිනා ගියේය.

යුද්ද කිරිල්ල හොඳ නෑ කියන ඔයත් අන්තිමේ එහෙනම් ගෝඨගෙ ස‍පෝටර් කෙනෙක් වුණා, හොඳයි, හොඳයි මම කීවෙමි.

විකාර බිරිඳ කීවාය. මම කියන දේ තේරුම් ගන්න බැරිද?

අම්මට සිරි මට ඉබේටම කියවුණේය. ඒ කියන්නෙ ඔයා ස‍පෝට් බැසිල්ටද?

එහිදී බිරිඳ සිය දෑතින් ඔළුව බදාගත්තාය.

පුතා මෙහිදී අප අතරට පැන්නේය.

මං හිතන්නෙ අම්ම ස‍පෝට් රනිල්ට පුතා කීවේය. අමතක කරන්න එපා මේගොල්ලන්ගෙ පවුලම ‍ලේ කොල පාට යූඑන්පීකාරයෝ.

බිරිඳ මෙහිදී හයියෙන් කෑගැසුවාය.

තාත්තට විතරක් ‍නෙවෙයි පුතාටත් මඤ්ඤං

පුතා මෙහිදී ඇස් අමුතු කර බැලුවේය.

අම්ම මොකටද සජිත්ට ස‍පෝට් කරන්නෙ? ඔහු සිය මවගෙන් ඇසීය. මොකෝ මෑන් අපිට ගෙයක්වත් දෙයි කියලද?

අවසානයේ මට සත්‍යය අවබෝධ විය. මම දිග සුසුමක් පිට කළෙමි.

අම්මට ජීවිතේ කළකිරිල මම පුතාට කීවෙමි. නිලුත් එකයි, කොලත් එකයි කියල අනුර කුමාරට ඡන්දෙ දෙන්න තීරණය කරලා.

බිරිඳ පුටුවක් උස්සා ‍පොළොවේ ගැසුවාය.

මහ ලොකු උගත්තු විදියට පෙනී හිටින්නෙ, ඒ වුණාට කියන දේ තේරෙන්නෙ නෑ

මෙහිදී පුතාගෙන් හැඬුමක් පිට විය.

අනේ අම්මෙ, ඇයි අම්මෙ, මොනවටද අම්මෙ ඡන්දෙ අපතෙ යවන්න තීරණය කරේ?

යකුනේ බිරිඳ කෝපයෙන් කෑගෑවාය. මම සිංහලෙන් කිව්ව තේරුණේ නැද්ද මම ඔය එකෙකුටවත් ‍නෙවෙයි ඡන්දෙ දෙන්නෙ හොඳම අපේක්ෂකයට කියල.

මෙවර නම් පුතා මල් හිනාවක් පෑවේය.

ප්‍රශ්නයක් නෑ තාත්තෙ, අම්ම ඡන්දෙ දෙන්නෙ නෑලු

එහෙම කියන්නෙ කොහොමද? මම කීවෙමි. එයා හොඳම අපේක්ෂකයට ඡන්දෙ දෙනව කියලනෙ කියන්නෙ.

හරි හරි ඒත් හොඳම අපේක්ෂකයට ඡන්දෙ දෙන්න විදියක් නෑනෙ පුතා කීවේය. හොඳම අපේක්ෂකයා ඡන්දෙ ඉල්ලන්නෙ නෑනෙ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.