lakbima.lk

රන්ජාගේ රහස

රන්ජා ළඟදී පට්ට රහසක් හෙළි කළේය. ඒ අනුව මැති ඇමැතිවරු දුසිම් දෙකක් කුඩු (කොකේන්) ගහති. වන්ෂොට්ම හෙළි කරන තුරු මෙය මෙලෝ යකෙකුට වැටහුණේ නැතිවීම පුදුමයි. රටේ ප්‍රශ්න අවුල් වී, නොවිසඳී, අත තබාවත් නොතිබි තියෙන්නේ එක එක හේතු නිසා යැයි අපි සිතා සිටියෙමු. එහෙත් ඒ මැති ඇමැතිවරුන් කුඩු ගහන නිසා බව මතෛක් දවසක් අපට වැටහුණේ නැත. වන්ෂොට් සුපර් හීරෝ කෙනෙකු නිසා ඔහුට පමණක් එය තේරුම් යෑම පුදුමයක් නොවේ. සුපර් හීරෝලා ඉතා සාධාරණ නිසා රන්ජා කොකේන් ගැහිල්ල හෙළිදරව් කළද රටේ ප්‍රශ්න විසඳී නැත්තේ ඒ නිසා යැයි ලෙඩක් ඇද්දේ නැත. එහෙත් මේ රටේ හාදයින්ට වන්ෂොට් නොකියා කී දේ තේරුම් ගන්නට මොළයක් තිබුණේ නැත. සුපර් හීරෝ කෙනෙකු හැටියට මෙසේ සියල්ල වැටහෙන රන්ජාට රටේ සියලු ප්‍රශ්න අහසට නැග විසඳා දෙන්නට පුළුවන් බවද අපට නොතේරෙයි. එහෙත් සුපර් හීරෝලා ගැන අත්‍යන්ත විශ්වාසය ඇති බාලයින්ට ඡන්ද බලය තිබුණේ නම් ඔවුන් රන්ජාව ජනාධිපති කරනවා නිසැකයි. අද බාලයා හෙට පුරවැසියා බැවින් බාලයන් පුරවැසියන් වූ දාට ඔවුන් රන්ජා ජනාධිපති මන්දිරයට යවනවා ඇත.

එදාට නව ජනාධිපති රටේ කුඩු ප්‍රශ්නයද විසඳනවා ඇත. ඒ මෙසේය.

‍පොලිස්පති පැමිණ ජනාධිපති රන්ජාට මෙසේ කියයි.

සර්, කුඩු බිස්නස්කාරයො දෙලක්ෂ තිස්හතරදාස් පන්සිය හැටහතක් අපි දැන් අත්අඩංගුවට අරන් තියෙන්නෙ ඔහු කියයි. කියන්න සන්තෝෂයි සර්, කුඩු හිරකාරයින්ට ඉඩ ඕන නිසාම අපි අනිත් ඔක්කොම හිරකාරයින්ව නිදහස් කරලයි තියෙන්නෙ.

අපි මුලින්ම මේක ශාන්තිවාදීව විසඳන්න බලමු අයි.ජී. ජනාධිපති කියයි. අපිට බැරිද මුන්ගෙන් අතට අත තියල දිවුරුමක් ගන්න, ෂුවර් ‍ප්‍රොමිස් ආයෙ නම් කුඩු බිස්නස් කරන්නෙ නෑ කියල.

‍පොලිස්පතිට හොඳටම හිනා ගොස් බඩ අල්ලාගෙන බිම වාඩි වේ.

අනේ සර්, ඉඳල හිටල විහිළුකාරයටත් රඟපාන්නකො අපිට බලන්න ඔහු අමාරුවෙන් කියා ගනී. මාර ජෝක්නෙ සර් සීරියස් පිට කියල දාන්නෙ.

ජනාධිපතිගේ මුහුණ කළු වෙයි.

හරි එහෙනම් හොඳින් නැත්නම් නරකින් ඔහු ‍පොලිස්පතිගේ දෙවුර සොලවා කියයි. මුලින්ම තමුසෙගෙයි මගෙයි ප්‍රධානත්වයෙන් කිස් කිස් කිල් කිල් කියල කිලිං ස්කොඩ්ඩෙකක් ලෑස්ති කරගන්නව.

‍පොලිස්පතිගේ මුහුණ අවුල් වේ.

ඒකම හරියට හින්දි හරි දෙමළ හරි පිච්චර්රෙකක වගේනෙ සර් ඔහු කියයි. කිලිං ස්කොඩ්ඩෙකකට ගැලපෙන් නෑනෙ.

මම කිව්වෙ උන්ට ආදරෙන් චාන්සෙකක් දෙමු කියලනෙ. තමුසෙනෙ ඒක බෑ කිව්වෙ ජනාධිපති කියයි. කවද හරි සිනමා පත්තරකාරයෙක් මගෙන් මේ නම දැම්මෙ කොහොමද ඇහුවම මටත් කියන්න දෙයක් තියෙන්න එපැයි.

හරි සර් අපි දැන් උන්ට මොකද කරන්නෙ? ‍පොලිස්පති අසයි. එල්ලුම්ගහ ගෙනත් උන්ව එල්ලනවද?

රන්ජා ඔළුවේ අත ගසා ගනී.

එහෙම ‍නෙවෙයි බං, ඕන ප්‍රශ්නයක් පැය දෙකහමාරෙන් විසඳන්න පුරුදු වෙයන්, ඒක තමයි මගේ සාර්ථකත්වයේ රහස ඔහු කියයි. කිස් කිස් - කිල් කිල්ලව යවල ඕකුන් ඔක්කොම........ (අතින් කර පෙන්වයි.)

‍පොලිස්පති බයවෙයි.

අ‍පොයි සර්, උන්ට ඔහොම මිනිස්සු මරන්න දුන්නොත් උන් ඒ පිටින් උන්ගෙ තරහකාරයින්වත් මරයිනෙ.

අන්න එතකොට උඹේ ජොබ්බෙක ජනාධිපති කියයි. එහෙම වැරදි කරන හැම එකාවම උඹ මරන්න ඕන.

එතකොට සර් ‍පොලිස්පතිට වුණත් හිතෙන්න පුළුවන්නෙ තමන්ගෙ තරහකාරයො මරන්න.

ජනාධිපති හක හක ගා වන්ෂොට් හිනාව දමයි.

ඒ වෙලාවට තමයි මචං මම ඇක්ටිව් වෙන්නෙ ඔහු කියයි. මං එතකොට උඹව මරල දානව.

ඒ වුණාට සර්ටත් හිතුණොත් තමන්ගෙ තරහකාරයො ඒ ගමන් මරල දාන්න.

රන්ජා හයියෙන් හිනාවෙයි.

මං උඹට ‍ප්‍රොමිස් කරන්නම් කවදාවත් එහෙම වෙන්නෙ නෑ කියල. කොයි වෙලාවෙවත් කොල්ලා, දුෂ්ඨයා වෙන්නෙ නෑ බං ඔහු කියයි. කොහෙද බොලා පික්චර්රෙකක් කාරිය බලල රටේ ලෝකෙ ගැන තේරුම් ගන්නෙ නෑනෙ.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.