lakbima.lk

ධනාත්මක ප්‍රවෘත්ති

 

ආණ්ඩුව නිතර මාධ්‍යවලට බනියි. තමන් කරන හොඳ වැඩ මාධ්‍ය වාර්තා කරන්නේ නැතැයි කියයි. මාධ්‍ය කරන්නේ ආණ්ඩුවේ වැරදිම උලුප්පා රටට පෙන්වීම යැයි කියා සිටියි.

මේ චෝදනාවද බොරු නොවේ.

ටෙලිවිෂන් හැමදාම රෑට රැකියා නැති පිරිස් රැකියා ඉල්ලා පිකට් කරන හැටි, පෙළපාලි යන හැටි පෙන්වයි. එපමණක්ද? තමන්ගේ ප්‍රශ්නය ජනාධිපතිට, අගමැතිට කියන්නට ඔවුන්ට ඉඩ නොදී වතුර ගසා, කඳුළු ගෑස් ගසා, බැටන් පහර ගසා එළවන හැටිද පෙන්වයි. ඉතින්, මිනිස්සු ආණ්ඩුව ගැන කළකිරෙති.

රැකියා නැති සියයට දහය රැකියා ඉල්ලන හැටි පුන පුනා පෙන්වන මාධ්‍ය රටේ සියයට අනූවකට රැකියා ඇති බව නොකියයි. ඔවුන් නොපෙන්වයි. රැකියා නැත්තන් පාර අහුරාගෙන සිටිද්දී රැකියා ඇත්තන්ට වැඩ ඇරී ගෙදර යන්නට, ගෙදර ගොස් ගමනක් බිමනක් යන්නට ප්‍රමාද වන සැටි නොපෙන්වයි.

මේ අසාධාරණය ගැන ගැඹුරින් කල්පනා කළ ටෙලිවිෂන් කොම්පැණිය අලුතින් ප්‍රගතිශීලී වැඩසටහනක් ආරම්භ කිරීමට තීරණය කළේය.

මිත්‍රවරුනි, මතෛක් ජනමාධ්‍ය මගින් රටට සැඟවූ දැවැන්ත ප්‍රවෘත්තිය ඔබට අනාවරණය කිරීමේ සුවිශේෂී වැඩ සටහනයි අපි මේ අරඹන්නේ. අපේ රටේ රැකියා අවශ්‍ය සියයට 89.9 කටම රැකියා ඇති බව අපේ ගවේෂණාත්මක මාධ්‍යවේදීන් විසින් දිවයින පුරා ගොස් කරන ලද සමීක්ෂණයේදී හෙළිදරව් කරගෙන තිබෙනවා. අද අපි හාපුරා කියා ඒ අතරින් එකම එක රැකියා හිමියෙක් මේ වැඩසටහනින් ඔබ හමුවට ගෙන එනවා. අපි දැන් යමු ඔහුගේ නිවහනට.

ආයුබෝවන් මහත්මයා, ඔබට හරි දැකුම්කළු නිවෙසක් තියෙනවානේ.

බොහොම ස්තුතියි. හැබැයි මම මේක බැංකුවෙන් ණයක් අරගෙනයි හදාගත්තෙ.

අපට ඒ ගැන වැඩිදුරටත් විස්තර කරනව නම්...

මට හොඳ රස්සාවක් තියෙනවා. ඒකෙන් මාසෙකට සෑහෙන පඩියක් ලැබෙනවා. ඒ කරුණු සලකා බලා බැංකුව මට ගේ හදාගන්න ණයක් දුන්නා.

ඒ කියන්නෙ ඔබට ආණ්ඩුවෙන් සමෘද්ධි ඉල්ලන්නවත්, ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ ‍පෝලිම්වල රස්තියාදු වෙන්නවත්, පාර අයිනෙ බෝඩ් එල්ලන් ඉන්නවත් ඕනෙ නෑ.

ඒ විතරක් ‍නෙවෙයි, මට ‍පොඩි හරි කාරෙකක් තියෙන නිසා බස්වල, කෝච්චිවල රස්තියාදු වෙන්න ඕනත් නෑ. අපි අපේ ළමයින්වත් සල්ලි වියදම් කරල හොඳ ඉස්කෝලවලට දාගෙන තියෙනවා. ඒගොල්ලන්ව ටියුෂන් යවන්නත් පුංචි පඩියක් තරම් වියදම් කරනව.

රස්සාවක් තිබිම ගැන ඔබට ඇතිවෙන හැඟීම මොකක්ද?

අමුතු හැඟීමක් නෑ. ඒකෙන ඉතින් වෙන්න ඕන, නේද?

ඒ වුණාට ඔබට හිතෙන වෙලාවල් නැද්ද රස්සාව මහ කරදරයක් කියල.

අ‍පොයි තියෙනව. අවංකවම කිව්වොත් මට ගෙදර ඉන්න හිතෙන වෙලාවල් තියෙනව. ඒත් මම ගෙදර හිටියොත් ගෙදර ලෝන්නෙක ගෙවන්නෙ කොහොමද?

රස්සාවක් කරන්න වීම ගැන ඔබට ආණ්ඩුවත් එක්ක විරෝධයක් නැද්ද?

ඒ මොකටද? මං හොඳට ජීවත් වෙනවට ආණ්ඩුවට බනින්නෙ කොහොමද? උන් මොනව කරත් රස්සාව තියෙන නිසානෙ අපි සෙකන්ඩ් නොවී ඉන්නෙ.

(නැවතත් රූපවාහිනී මැදිරියට.)

අද අපි ඔබ හමුවට ගෙනාවේ ජනගහනයෙන් සියයට 89.9 ක් දෙනාගෙන් කෙනෙක්. ආණ්ඩුවේ හා විපක්ෂයේ මැති ඇමැතිවරුන් මොනවා කිව්වත්, කරත් තම ජීවිතය සතුටින් ගත කරන රැකියා හිමියෙක්. අපි බලා‍පොරොත්තු වෙනවා මේ පිරිස අතරින් තවත් සුවිශේෂී කෙනෙක් හෙට මේ වේලාවටම අපේ වැඩසටහනින් ගෙන ඒමට.

ආණ්ඩුව කියන්නේ මෙන්න මෙහෙම වැඩ සටහන් කරන්නයි.

ඔබ මේ වැඩ සටහන දිගටම නරඹනවාද? නැත්නම් වෙන චැනලයකට හරවනවාද?

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.