lakbima.lk

ඔක්තෝබර් විප්ලවය (2)

නොවැම්ර් 4 වැනිදා 
කොළඹදී.

ප්‍රිය මෛත්‍රී,

මම මේක ලියන්න ගන්නකොටම ඒකට එබුණු බිරිඳ කිව්වා එයාට මෛත්‍රී කීම ගැලපෙන්නේ නෑනෙ කියලා. එතකොට මම ඈට පහදලා දුන්නා ඔබ මහින්දට කරපු මෛත්‍රී කිරිල්ල අප මහ බෝසතුන්වත් කිසිම භවයකදී කරල නෑනෙ කියලා. එච්චරද? ඔබ රනිල්ව අයින් කරන්න වුණත් කරේ ‍ලේ කුපිත කිරීමෙන් පමණක් නැවතුණු මෛත්‍රී සහගත කුමන්ත්‍රණයක්නෙ. අපේ පුතාත් මගේ කතාවට එකඟ වෙලා කිව්ව ඔය මෛත්‍රී කිරිල්ලෙ හැටියට නම් අනාගතේ මෛත්‍රී නමින් බුදු වෙන්නෙත් ඔබම වෙන්න බැරි නෑ කියලා.

ඔබ කරපු වැඩේ ව්‍යවස්ථානුකූල නෑ කියල ඔය එක එක්කෙනා කියන කතා නම් ගණන් ගන්න එපා රජෝ. මම රජෝ කිව්වෙ ඔබ අපිට රජෙක්ම නිසා තමයි. ගෑනියෙක් පිරිමියෙක් කරන්නයි, පිරිමියෙක් ගෑනියෙක් කරන්නයි විතරයි බැරි කියපු ජේ. ආර්. කලවාන ආසනේට මන්ත්‍රීවරු දෙන්නෙක් පත් කරන්න උත්සාහ කරා මතකද? ඒත් මෑන්ට ඒකවත් කරන්න බැරි වුණා. ඒත් ඔබ නිසා අද ආසනේකට මන්ත්‍රීවරු දෙන්නෙක් ‍නෙවෙයි, රටට අගමැතිවරුම දෙන්නෙක් ඉන්නවා. ඇත්තමයි ලොක්කා, අද හිටිය නම් ජේ. ආර්. ට වුණත් ඔබේ සුරුවිරුකම් ඉස්සරහා ලැජ්ජ හිතෙනවාට මොනවද ඔට්ටු?

ආ ඒකෙන් මේකෙන් ව්‍යවස්ථාව අමතක වුණානෙ. ඔබ කරපු දේ ව්‍යවස්ථා විරෝධීද නැද්ද කියන සංවාදෙන් නම් ඔබ අවුල් වෙලා ඇති තමයි. මොකද මේ ගැන ව්‍යවස්ථා විරෝධීයි, ව්‍යවස්ථා විරෝධී නෑ කියල අදහස් දක්වන ප්‍රවීණම නීතිවේදියො දෙගොල්ලොම ගෙනහැර දක්වන්නෙ පරම සත්‍යයනෙ. නීතිඥ වෘත්තියටම ආවේණික සර්ව සාධාරණත්වයම හිසින් ගත් මේ වටිනා මිනිසුන් පක්ෂ දේශපාලනයෙන් විනිර්මුක්ත, නීතිය නැවීම කියන වචනෙ ඇහුවමත් යක්ෂාවේශ වෙන වැදගත් ජන කොට්ඨාසයක් නිසානෙ, මොකක්ද හරි මොකක්ද වැරදි කියල තාමත් අපට තේරුම් ගන්න බැරි.

හැබැයි ඔය හරි දේ දැනගන්න නම් කරන්න තියෙන්නෙ, පාර්ලිමේන්තුව ඉදිරියට යෑම කියන කතාවට නම් මම සියේට සීයක්ම එකඟයි. ඇයි දෙයියනේ පාර්ලිමේන්තුවෙ ඉන්නෙ ජනතාවගෙ සුබ සිද්ධිය තකා දිවා රෑ වෙහෙසෙන, තනතුරු ලාභ, වරප්‍රසාද ලාභ, මුදල් ලාභ ආදිය අළුයම ලූ කෙළ පිඬක් සේ නොතකා හැර රට වෙනුවෙන්ම ඇප කැප වූ මිහිබට දෙවිවරුන් පිරිසක් නේද? ඉතින් හරි දේ තීරණය කරන්න හොඳම තැන ඒ පරම පවිත්‍ර දේවාලය ‍නෙවෙයිද?

ඔබ මෙච්චර හරියක් කරලත් රනිල් තාම ප්‍රීතියෙන් විහිළුවක් කරගෙන අරලියගහ මන්දිරේට වෙලා ඉන්න හැටි ගැන නම් අපිට හරිම සන්තෝසයි. එහෙමනෙ රටක නායකයො වුණාම දිනුමෙදිත් පැරදුමේදීත් ඉන්න ඕන. 1994 ඉඳන්ම යූඑන්පී නායකත්වයට කාටවත් කිට්ටු වෙන්න නොදී හිටපු මිනිහ හිනාව පිට වෙනවට කට තද කරගෙන රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න කියල ඉල්ලන හැටි මට මැවිල පේනව. මිනිහා ඊට පස්සෙ ඕක කියල මහාචාර්ය මෛත්‍රීට ඇඟිල්ලෙන් ඇනල හිනාවෙන හැටිත් හිතාගන්න බලන්න. ඒත් මේ අනිත් ගල්ටික් යූඑන්පීකාරයන්ට කිසිම හාස්‍ය රසයක් නෑ. උන්ට ඒකට හිනා යන් නෑ.

මම,

මානි.

ප:ලි:

ජනාධිපතිතුමනි, රනිල්ව අයින් කිරීම ගැන සතුටු වෙන ජනතාව ඊටත් වඩා සතුටු වෙයි ඔබ අපිවත් අයින් කරනව නම්. ඒ කියන්නෙ ජනතා පරමාධිපත්‍යයෙන්. අන්න කරනව නම් වැඩේ හැබැයි ඔබ පස්සෙ කියන්න එපා අපි කලින් කිව්වෙ නෑ කියල. ඔබ අපිව අයින් නොකරොත් අපි ඉල්ලා අස්වෙනව, හොඳේ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.