lakbima.lk

ජනාධිපති තාත්තා

ජනාධිපති තාත්තා 2009 මැයි මාසයේ වැඩ බලන ආරක්ෂක ඇමැති හැටියට පත්වූ දවස මට ඉතා හොඳින් මතකය. ඒ ජනාධිපති තාත්තා එදා ගෙදර ආවේ හොඳටම කේන්තියෙන් හා දුකෙන් නිසාය. කෝපය පාලනය කරගත නොහැකි වූ ජනාධිපති තාත්තා, අම්මා විසින් ඔහුට කෙසෙල් කොළයකට බෙදා තිබූ බත් පත උස්සා ‍පොළොවේ ගැසුවේය. එවිට “මේ මොන යකෙක් වැහිලදැයි” අම්මා ඇසුවාය. වහාම කෝපය පාලනය කරගත්  ජනාධිපති තාත්තා දුකට පත් වූ හැටිද, ඔහුගේ ඇස්වලින් නොනවත්වා කඳුළු ගලන්නට වූ අන්දමද මට අද වගේ මතක තිබේ. “බලන්න නෝනෙ ජේ. ආර්., ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද මුන් ඔක්කොම අවුරුදු 30ක් තිස්සේ යුද්දෙ විකුණගෙන කෑමනෙ කරල තියෙන්නෙ. මට එක වරුවෙන් තේරුණා මේක මහ ලොකු බක්කක් ‍නෙවෙයි කියල. ඔන්න බලන්න මෙයා, මං තව සුමාන දෙකෙන් මේක ඉවරයක් කරල දාන හැටි.”

ජනාධිපති තාත්තා කිව්වොත් කිව්වා බව දැන සිටියද අප බයෙන් බිරාන්ත වූයේ ජනාධිපති, අගමැති, ආරක්ෂක ‍ලේකම් හා හමුදාපති යන සියලු දෙනාම රටේ ඉන්නවත් බය වී පැන යද්දී ඔහු තනියම එයට මුහුණ දෙන්නේ කොහොමදැයි හිතා ගන්නට බැරුවය. එවිට ජනාධිපති තාත්තා සරම කැහැපට ගසාගෙන කෑ ගැසූ හැටි මට කවදාවත් අමතක කරන්නට බැරිය. “යකෝ, මම ‍පොළොන්නරුවෙ කොල්ලෙක්. රට එක්සේසත් කරල ‍පොළොන්නරුවෙ රජ කරපු මහා පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගෙන් පැවතෙන කෙනෙක්. පරාක්‍රමබාහුගෙ මී මුනුබුරාට බැරිනම් කාටද පුළුවන් බොල මේ යුද්දෙ ඉවර කරන්න.”

එයද ජනාධිපති තාත්තා ඇතුළු අපේ පවුල මතෛක් කලක් රැකගෙන ආ රහසකි. චීන කොමියුනිස්ට් පක්ෂෙන් දේශපාලනය ඇරඹූ ජනාධිපති තාත්තා තමන් රජ පෙළපතකින් පැවතෙන බව කීමට ලැජ්ජා විය. තමා ගොවි පුතෙකැයි ඔහු ප්‍රසිද්ධියේ කියා සිටියේ සිය කොමියුනිස්ට් අදහස්වලට එය ගැලපුණු නිසාය. මෙසේ ඔහුගේ  රාජකීය ‍ලේ පිළිබඳ රහස හෙළි කිරීම ගැන ජනාධිපති තාත්තා මට සමාව දෙනු ඇතැයි මම විශ්වාස කරමි. බැරිම තැන මා එය හෙළි කළේ, 2009 දී යුද්ධය අවසන් කළේ ජනාධිපති තාත්තා නම් ඒ බව කියන්නට මතෛක් කල් බලා සිටියේ ඇයිදැයි අසන මෝඩයන්ගේ දැනගැනීමටය. යුද්ධ ජයග්‍රහණය මහින්දට ලොකු වුණාට ජනාධිපති තාත්තට ලොකු නැත.

යුද්ධය ඉවර වෙද්දී මහින්ද ලංකාවට ආවේය. එවිට වැඩේ ඉවරයක් කර සිටි ජනාධිපති තාත්තා තමන් කිසිවක් නොකළ විදියට සියලු ගෞරව මහින්දට, ගෝඨාට හා ෆොන්සේකාට ගන්නට හැර ගෙදර ආවේය. ඔහුට ඕනෑ වූයේ යුද්දෙ ඉවර කරන්නට මිස කයිවාරු ගසන්නට නොවේ. අපේ හමුදාව යුද්දයේ අන්තිම දිනවලදී මානව හිමිකම්  උල්ලංඝනය කළා යැයි කියන හාදයින්ටද මෙහිදී කියන්නට දෙයක් මට තිබේ. ඒ යුද්ධයේ අන්තිම දවසේදීත් ජනාධිපති තාත්තා වැඩ බැලුවේ නම් ප්‍රභාකරන් අදත් ජීවතුන් අතර සිටින බවය. තමාව මරන්නට ආ ත්‍රස්තවාදියාටද සමාව දුන් ජනාධිපති තාත්තා  ප්‍රභාකරන් අල්ලන විට වැඩබලමින් සිටියේ නම් ඔහුට සමාව දෙන බව අමුතුවෙන් කියන්නට ඕනෑද? එහෙත් ජනාධිපති තාත්තා කවදාවත් ඒ බව කියා ලෝකය පුරා සිටින එල්ටීටීඊ හිතවාදීන්ගේ සහයෝගය දිනා ගන්නට උත්සාහ කළේ නැත. ජනාධිපති තාත්තාගේ හැටි එහෙමය.

මෙහිදී මට කියන්නට තවත් දෙයක් තිබේ. ඒ අපේ රටේ දේශපාලනයේ තිබෙන පවුල්වාදය නොවන්නට යුද්දය ඉවර වෙන්න තිබුණේ 1994 දී නැත්නම් 2005 දී බවය.

94 දී ජනාධිපති වූ චන්ද්‍රිකා අපේ ජනාධිපති තාත්තාට සුමාන දෙකකින් යුද්ධය ඉවර කරන්නට  පුළුවන් බව හොඳටම දැන සිටියේය. එහෙත් ඇයට ඕනෑ වූයේ යුද්ධය ඉවර කිරීමේ ගෞරවය සිය පවුලට ලබාගැනීමටය. ඒ නිසා චන්ද්‍රිකා ජනාධිපති තාත්තාට නොදී  ආරක්ෂක ඇමැතිකම අනුරුද්ධ රත්වත්තේට දුන්නේය. 2005 දී මහින්ද කළේද එයමය. ජනාධිපති තාත්තාට ආරක්ෂක ඇමැතිකම දී සති දෙකකින් යුද්දය ඉවර වුණොත් රාජපක්ෂ පවුල අත බලය තබා ගන්නට බැරි නිසා මහින්ද සිය මල්ලීව ආරක්ෂක ‍ලේකම් කළේය. 1994 දී නැත්නම් 2005 දී ඉවර කරන්නට තිබූ යුද්දය ජනාධිපති තාත්තා වැ.බ. ආරක්ෂක ඇමැති වන තුරුම ඇදුණේ එහෙමය. ෆොන්සේකාගේ ජනාධිපති තාන්තා සමග ඇති වෛරයද යුද්ධය ඉවර කළේ තමන් නොව ජනාධිපති තාත්තා බව ඔහු අවංකවම දන්නා නිසාය. ඉරිසියාවට බෙහෙත් නැත.

අද රට දියුණු නොවන්නේ රනිල්ටද මේ කුහකකම ඇති නිසාය. චන්ද්‍රිකාත්, මහින්දත් දෙදෙනාම කළ මුදල් ඇමැති ජනාධිපති තාත්තාට කරන්නට නොදී යූඑන්පීයට ඉල්ලා ගත්තේ ඒ නිසාය. ජනාධිපති තාත්තාට මුදල් ඇමැතිකම කරන්න දුන්නොත් ඔහු සති දෙකකින් ආර්ථිකය ගොඩ දාන බව රනිල් හොඳාකාරව දනී. එවිට ඔහුගේ ජනාධිපති හීනය හැබෑ කරගන්නට බැරිය. ජනාධිපති තාත්තා දැන් රනිල් එලවා මහින්ද සමග එකතු වී ආණ්ඩුවක් පිහිටුවන්නට හදන්නේ බල තණ්හාවට නොව රට ගොඩදැමීමටය. එසේ කරගන්නට ලැබුණොත් ජනාධිපති තාත්තා සුමාන දෙකින් රටේ ආර්ථිකය ගොඩදා, ඩොලරයට වඩා රුපියල ශක්තිමත් කරනවාට සැක නැත.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.