lakbima.lk

ජනාධිපති යළිත් එල්ලන මූඩ්ඩෙකේ

සැප්තැම්බර් 9 වැනිදා

කොළඹදී.

සැරද

ප්‍රිය මෛත්‍රී,

‍පොදු දේපළ සාවද්‍ය ලෙස පරිහරණය කරන්නන්ට විරුද්ධව මරණීය දණ්ඩනය නියම කළ යුතු යැයි ඔබ කළ ප්‍රකාශය කියවලා ඇතිවූ චිත්ත ප්‍රීතිය නිසයි අද මේ ලියුම ලියන්න ගත්තෙ. දැන් ටික දවසකට කලින් හිරගෙවල්වල ඉඳන් කුඩු ජාවාරම් කරන්නන් අම්මපා එල්ලනවා එල්ලනවාමය කියල කියපු වෙලාවෙ අපි ඔබට හිනාවුණානෙ එල්ලුම් ගහට නියම වෙලා ඉන්න ඈයින් ඒ ගැන බයවෙන්න ඕනත්නෑ, මේකට විරුද්ධව කෑගහන කට්ටිය නිකම් පැටේ‍රා්ල් පුච්ච ගන්නත් අවශ්‍ය නෑ කියලයි අපි හිතුවෙ. ඒ මේ ආණ්ඩුව වෙච්ච ‍පොරොන්දු ඉෂ්ට කරපු අවස්ථාවල් පෙන්නන්න එක අතක ඇඟිලිත් වැඩි නිසා. ඒත් ඔබ, අපි කියපු දේවල් බොරු කරල ඔක්කොම කුඩු ජාවාරම්කාරයො විතරක් ‍නෙවෙයි ඒවට ආධාර දීපු හිරගෙදර ලොක්කොත් ප්‍රාණය නිරුද්ධ වෙනතුරු එල්ලලා මැරුවනෙ. (ජයවේවා)

ඔබ තාමත් මිනිස්සු එල්ලන මූඩ්ඩෙකේ ඉන්න බවයි අලුත් ප්‍රකාශයෙනුත් පේන්නෙ. මේක අහල මගේ බිරිඳ කිව්ව ඔබ වෙනුවට නිදහස හම්බු වෙච්ච වෙලාවෙ ඩී. එස්. සේනානායක මේ වැඩේ පටන් ගත්ත නම් අද වෙනකොට ලංකාවෙ දේශපාලනඥයො කීයෙන් කී දෙනාද ඉතුරු වෙන්නෙ කියල. ඒ විතරක්ද? එහෙනම් අපේ ජාතික ධනය ඉතුරු වෙලා, ඉතුරු වෙලා විදේශ ණය ගන්නව වෙනුවට විදේශවලට ණය දෙන්නත් පුළුවන් මට්ටමක අපි ඉන්නවනෙ.

ඒත් අපේ පුතා නම් කියන්නෙ මේක ඔබ දුර දිග හිතා නොබලා කරපු, ආවේගශීලී ප්‍රකාශයක් කියලයි. ‍පොදු දේපළ සාවද්‍ය ලෙස පරිහරණය කරන්නන් ඔක්කොම එල්ලන්න ගියොත් ආණ්ඩුවෙයි, ආණ්ඩුව අරගෙන යන්න ගිය බදාදා කොළඹ ආපු කට්ටියගෙයි වැඩි දෙනෙක්ව එල්ලන්න වෙනවනෙ කියල මෑන් කියනව. ඉතින් හොඳයිනෙ කියල මම කිව්වම පුතා කියනව එතකොට කවදාවත් පාර්ලිමේන්තුවට රැස්වෙන්න බැරුව යයි ගණපූරණේ නැති නිසා කියල. ඇත්ත නේන්නම්. අනේ, අනේ, ඔබ හීන් නූලෙන් පාර්ලිමේන්තුවට වැඩේ දීලා තනියම රට පාලනය කරන්න ගහන ගේම්මෙකක්ද මේක?

කුඩ්ඩන්ට එල්ලුම් ගහ ගේන්න හදපු වෙලාවෙ මුලින්ම එල්ලන්නෙ කවුද කියල පත්තරවල ලිපිත් පළවුණානෙ. මේ සැරේ ඔබ කාවද ඉස්සෙල්ලම එල්ලන්නෙ කියල අපේ ගෙදරත් කතා වුණා. මම කිව්ව තමන්ගෙ නිල නිවස සුද්ද පවිත්‍ර කරන්න අවුරුද්දකට රුපියල් ලක්ෂ 84 ගානෙ වෙන් කරපු නගරාධිපතිනිව මුලින්ම එල්ලයි නේද කියල. එතකොට මගේ බිරිඳ කියනව රටට කීර්තිය ගෙනාපු රූපරාජිනියක් බව සලකල ඔබ ඈට ජනාධිපති සමාව දෙයි කියල. ඒ නිසා ඉස්‍ලේලම පුටවකට රුපියල් ලක්ෂ හයමාරක් ගානෙ පුටු 104 ක් ගේන්න යන මහ ඇමතිව එල්ලයිලු. එතකොට අපේ පුතා කියනව ඒ හාදයගෙ බරට එල්ලුම් ගහ කඩා වැටුණොත් ඒක නරක පෙරනිමිත්තක් වෙන නිසා මෑන්ව හාපුරා කියා එල්ලනෙකක් නැතිලු. පුතා නම් කියන්නෙ මාසෙකට මිලියන 21 ක කුලියට නිළියකගෙ බිල්ඩිමක් අරගෙන ඒකෙ පදිංචියටවත් නොගිය ඇමතිව මුලින් එල්ලයි කියල. (මම මේ අයගෙ නම් සඳහන් කරේ නැත්තෙ වැරදිලාවත් නම් ගම් හෙළි කළොත් ඔබ ඒ කවුද කියල දැනගෙන ඔවුන්ව එල්ලන්න ඉඩ තියෙන නිසා. ඒකෙ පාපයත් එතකොට මටනෙ.)

මගේ බිරිඳයි, පුතයි නම් කියන්නෙ ලංකාව බැඳිල ඉන්න ජාත්‍යන්තර ප්‍රඥප්තියි, පිටරට මානව හිමිකම් සංවිධානවල බලපෑමයි නිසා ආයෙ කවදාවත්, කාවවත් එල්ලන්න වෙන්නෙ නැති බව ඔබ නොදන්නවා වෙන්න බැහැ කියල. ඒක නිසා ඔබ දොඩන්නෙ හිස් බස්ලු. හිස් බස් කියන්නෙ දස අකුසල්වලින් එකක්නෙ. ඒක නිසා ඔබ ජනතාවට ආතල් දෙන්න ගිහින් නිකරුණේ පව් සිද්ද කරගන්නවලු.

මම,

මානි.

ප:ලි: ඒක ‍නෙවෙයි, මෙහෙ එක එකාව එල්ලන්න කලින් ලංකා රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කරල, සිය රට බලා ගිහින් ඉන්න සිංගප්පූරු ජාතිකයව ගෙන්නගෙන නඩුවක් දැම්මොත් නරකද?

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.