lakbima.lk

යහපාලන දිනය

කැබිනට් මණ්ඩලය රැස්විය.

න්‍යාය පත්‍රය අතට ගත් ජනාධිපති එය විසිකර දැම්මේය.

මොකක්ද මේ හුස්ම ගත්ත අවුරුදු තුනක් කිය කියා කෑකෝ ගහන්නෙ? ජනාධිපති කේන්තියෙන් ඇසුවේය. යූඑන්පිය 2015 මහ ඡන්දෙ දින්නට පස්සෙද හුස්ම ගන්න හම්බ වුණේ? මම ජනවාරි 8 වෙනිද දින්නට මිනිස්සුන්ට හුස්ම ගන්න හම්බ වුණේ නැද්ද?

අගමැති ඒ කතාවට සරදම් සිනාවක් පෑවේය.

ඔයාට පටලැවිලා මේක. මිනිස්සුන්ට හුස්ම ගන්න හම්බු වෙච්ච කතාවක් කවුරුවත් කිව්වෙ නෑනෙ, ලොක්කා ඔහු කියා සිටියේය. අපි මේ කියන්නෙ යූඑන්පියට හුස්ම ගන්න හම්බු වෙච්ච අවුරුදු තුනක් කියලනේ.

ජනාධිපතිගේ කේන්තිය අඩු වුවද කළකිරීම අඩුවුණේ නැත.

යූඑන්පිය තමයි ආණ්ඩු කරන්නෙ කියල කවුරුත් දන්නව තමයි. ඒත් ඒක ඔහොම ප්‍රසිද්ධියෙ කිව්වම මම මොකා ගානටද වැටෙන්නෙ? නොරිස්සුමෙන් කී ජනාධිපති සිය ‍ලේකම් කැඳෙව්වේය. මං මේක සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නව.

මෙහිදී අගමැතිගේ මුහුණ රතු විය.

ඔය හදන්නෙ හුස්ම ගත්ත අවුරුදු තුනක් කියන ප්‍රචාර ඔක්කොම නවත්තන්න කියල ඕඩර් කරන්න නේද? ඔහු ඇසුවේය. හැමවෙලාවෙම ඔහොම කරනෙක කැතයිනෙ ලොක්කා, ඔයා මොකක් හරි වෙන වැඩක් කරන්නකො ඔයාගෙම කියල.

ඒ අහිංසක ඉල්ලීම ජනාධිපතිගේ හිතට වැදුණේය.

හරි එහෙනම් මම ප්‍රකාශයට පත්කරනව ජනවාරි 8 වෙනිද යහපාලන දිනය කරනව කියල ඔහු මොහොතක් කල්පනා කර කියා සිටියේය. ඒක නිවාඩු දිනයකුත් කරනව.

එවර අගමැතිට හිනා ගියේය.

මිනිස්සුන්ට නිවාඩුවකුත් හම්බු වෙනව නම් වැඩේ නැගල යයිනෙ ඔහු කියා සිටියේය. එතකොට යහපාලන දිනය වෙනුවෙන් අපි මොනවද කරන්න යන්නෙ?

ජනාධිපති පළමුවරට සිනාසුණේය.

වැඩේ ජනප්‍රිය කරන්න එදාට මිනිස්සු අතරෙ තරග පවත්වමු. ලොකුම බොරුව කියන්නයි, බොරුම ‍පොරොන්දුව දෙන්නයි කියල.

අගමැති ඒ අසා මුහුණ නරක් කර ගත්තේය.

එතකොට ඒක අප්‍රේල් 1 වැනිද වගේනේ ඔහු කීවේය. යහපාලන දිනය මෝඩයගෙ දිනය වගේ වුණාම මහින්දයා බඩ අල්ලගෙන හිනාවෙයිනෙ.

ජනාධිපති හිස දෙපැත්තට වැනුවේය.

නෑ නෑ මේ දවසෙ මෝඩයගෙ දවසට වැඩි දෙයක් තියෙනව ඔහු කීවේය. එදාට ඕන හොරකමක් කරන එකෙකුට සිංගප්පූරුවට පැනල යන්න චාන්ස්සෙක දෙනව, තව එක දවසෙ ජනාධිපති කොමිෂන් 365 ක් පත් කරනව.

අගමැති මොහොතක් කල්පනා කළේය.

පෙළපාලිත් යනවද?

නැතුව නැතුව. වෙනදට පෙළපාලි යන එවුන්ට හම්බු වෙන්නෙ කඳුළු ගෑසුයි, ජල ප්‍රහාරයි විතරනෙ. එදාට අපි ඊට වැඩි දේකුත් දෙමු නමෝ විත්තියෙන්.

වෙන වෙන?

එක ඇමතිවරයෙකුට එක ගානෙ ඇමතිවරු දුසිම් දොළහටම එක බද්ද ගානෙ වැඩි කරන්න දෙනව. තව තෝරාගත් වාසනාවන්තයින් 225 දෙනෙකුට ඩියුටි ෆ්‍රී ජීප් එකයි, මාසිකව ලක්ෂ දෙකක දීමනාවකුයි දෙනව එදා දවස අනුස්මරණය කරන්න.

අම්මට සිරි ඔය ටික නම් ඕනවටත් වැඩියි වගේනේ.

ඒ වුණාට තව එක වැඩක් කරන්න තියෙනව. එදා උදෙන්ම අපි දෙන්න ගිහින් යහපාලන ස්මාරකේට මල් වඩම් දෙකක් තියන්න ඕන.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.