lakbima.lk

සංගා ජනාධිපති වෙන්න බෑ කියයි

ජනාධිපති කරණවෑමියා, ජනාධිපතිවරයාගේ කොණ්ඩය කපන්නට කතුරත්, පනාවත් අතට ගත්තේය.

කොණ්ඩෙ ඔක්කොම බූ ගාල දානව.

ජනාධිපතිවරයාගේ බසින් බාබර්ගේ අත් වෙව්ලන්නට පටන් ගත්තේය.

එතැනින් යමින් ගමන මේ කතාව කණ වැටුණු ජනාධිපති ආර්යාව කඳුළු සලන්නට පටන් ගත්තාය.

ඇයි මහත්තයෝ ඔයත් මඛාදේව රජ්ජුරුවො වගේ හිසේ නරකෙසක් දැකල කළකිරිල තපසට යන්නද හදන්නෙ?

ජනාධිපතිට ඒ කතාවට කේන්ති ගියේය.

බම්බුව තමයි, මගේ කොණ්ඩෙ සුදුවෙන්න අරගෙන දැන් අවුරුදු විසිපහකටත් වැඩියිනෙ ඔහු නොමනාපයෙන් කීවේය. මම මහණ වෙන්න හිතුවෙ අර කුමාර් සංගක්කාරයා නිසයි.

පුදුමයට පත්වූ ආර්යාව ඒ මන්දැයි විමසුවාය.

පහුගිය දොහේ ෆේස්බුක්කෙකේ ප්‍රචාරයක් ගියාලුනෙ 2020 දි සංගක්කාරව ජනාධිපති කරමු කියල ජනාධිපති කියා සිටියේය. අද මං පත්තරේ බලනකොට දැක්ක, මේන් මූ කියල තියෙනව ඌට ඕන ඇති ජනාධිපතිකමක් නෑයි කියල.

ආර්යාව මදහසක් පහළ කළාය.

ඔයත් ජනාධිපති වුණාට පස්සෙ ජනාධිපති වෙලා වැඩක් නෑ කියලද මිනිහ කියල තියෙන්නෙ?

ජනාධිපති ඇය දෙස රවා බැලුවේය.

මන්ත්‍රී කෙනෙක් කරන්න ඕනෑ නෑ, ජාතික ලැයිස්තුවට නම දානව කිව්වොත් මේ රටේ ඕන කෙරුමෙක් දණ ගාගෙන එන්නෙ ඔහු කියා සිටියේය. එහෙව් එකේ මේ බෝල ගහපු එකෙක් ජනාධිපතිකම එපැයි කියන කොට සසර කළකිරෙන්නෙ නැද්ද මැණිකෙ?

ආර්යාව සිය ස්වාමි පුරුෂයාගේ හිත හදන්නට වූවාය.

ඔයා ඕකෙන් කළකිරිල මහණ වෙන්න එපා, 2020 වෙනකම් ඈ කියා සිටියාය. ඔය සමහර පිස්සො ඉන්නවනෙ මෙයා තනතුරුවලට වැඩියෙ තමන්ගෙ නම්බුව වටිනව කියල හිතන.

ජනාධිපති මෙහිදී දත්කූරු කෑවේය.

අරජුනයි, සනතුයි දෙන්නත් බෝල ගහන්න දක්ෂයොනෙ ඔහු කේන්තියෙන් කියා සිටියේය. ඒ වුණාට මූ වගේද උන් දෙන්න, කොච්චර නම් හොඳ කොල්ලොද?

මතෛක් නිහඬව මේ දෙබස අසා සිටි කරණවෑමියා මෙහිදී කට ඇරියේය.

නීතිපතිතුමා සංගට නඩු දානෙකක් නැද්ද සර්? ඔහු කුතුහලයෙන් ඇසුවේය. මහින්ද මහත්තය තුන්වෙනි පාරටත් ජනාධිපති වෙන්න බලන් ඉන්නව, රනිල් සර් එක සැරයක්වත් ඔය පුටුවෙ වාඩිවෙන්න ට්‍රයි කරනව, එහෙම තියෙද්දි සංගට ජනාධිපති වෙන්න ඕන නෑ කියනෙක පදවියට කරපු අපහාසයක් ‍නෙවෙයිද?

ජනාධිපති ඊට හිස වැනුවේය.

මේකා රටේ හැම වැදගතෙකුටම අපහාස කරන ඔළුව ඉදිමිච්ච හාදයෙක් ඔහු කියා සිටියේය. මතකද මං සැරයක් මූට එංගලන්තෙ මහ කොමසාරිස් වෙන්න කිව්වම ඒකත් එපැයි කිව්ව. ඇයි බං රටේ කොයි ලොක්කද තමන්ට තානාපතිකමක් දුන්නම ඒක එපැයි කියන්නෙ?

දැන් මහත්තයා ඔයා මොනවද මිනිහට කරන්න යන්නෙ? ආර්යාව මෙහිදී විමසුවාය.

මං මිනිහට හොඳ වැඩක් කරන්නයි ඉන්නෙ, ඒත් මං මේ ‍පොඩ්ඩක් ඉවසල බලනව, ක්‍රිකට් ලෝලීන්ගේ බලවත් ඉල්ලීම පිට මිනිහ අදහස වෙනස් කරගනියිද කියල.

ආර්යාව මෙහිදී හිනාවුණාය.

මොනව හරි කියල ටික දවසකින් ඒක වෙනස් කරන්න එයා ජනාධිපති කෙනෙක් ‍නෙවෙයිනෙ මහත්තයා.

ජනාධිපති මෙහිදී මරු හිනාවක් පහළ කළේය.

මුගේ හැසිරීමෙන් නම් මට හොඳටම විශ්වාසයි මූ ශ්‍රී ලාංකිකයෙක් නම් වෙන්න බෑ කියල ජනාධිපති කියා සිටියේය.  පිටරැටියෙක් වෙස් වලාගෙන ශ්‍රී ලංකාවට බෝල ගැහුවයි කියල ඔප්පු කරල අපිට මිනිහගෙ ඔක්කොම රැකෝඩ් කැන්සල් කරන්න පුළුවන්. මං ඒකට අදම ජනාධිපති කොමිසමක් පත්කරනව.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.