lakbima.lk

ඔබ සුවපති අනේ යහපති

අපේ පස් හැවිරිදි මුණුබුරා පිහිණුම් පංතියකට යයි. ඔහුගේ දෙමව්පියන්ගේ වැඩ ඉවරයක් නැති දවසට ඔහු එහි ගෙනයන්නේ බිරිඳත්, මාත්ය.
පහුගිය බ්‍රහස්පතින්දා කොල්ලා එහි කැඳවාගෙන ගිය අපි ‍පොඩි එකාගේ පිහිණුම් උපදේශකට අපටද ඒ පංතියට බැඳීමට අවශ්‍ය බව කීවෙමු.
පිහිණුම් උපදේශක අප දෙදෙනාගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා නොපහන් බැල්මක් හෙලුවේය.
ඔය වයසට ස්විමිං ඉගෙන ගන්න අමාරුයි ඔහු අනතුරුව කියා සිටියේය. අනික ඔය ඉන්න ටිකට මොකටද ස්විමිං ඉගෙන ගන්න හදන්නෙ.
බිරිඳ මට පෙර ඔහුට පිළිතුරු දුන්නාය.
අපිට ‍පෝක් සමුද්‍ර සන්ධිය තරණය කරන්න ඕනවෙලා තියෙනව.
පිහිණුම් උපදේශක හයියෙන් හිනැහී අත්පුඩියක්ද ගැසුවේය.
හරි හරි ‍පෝක් සමුද්‍ර සන්ධිය පීනපු වයසකම ජෝඩුව හැටියට වාර්තාවක් තියන්න නේද?
මම හිස දෙපැත්තට වැනුවෙමි.
කෙහෙල්මල් වාර්තා තිවිල්ලක්ද? මම ඔහුට කීවෙමි. අපිට ඕන කොහොම හරි ඉන්දියාවට යාගන්න.
උපදේශකවරයාගේ මුහුණ පුදුමයෙන් පිරුණේය.
ඉන්දියාවට යන්න නම් ඔය ප්‍ලේන්නෙකේ නැගල ගියෑකිනෙ ඔහු කියා සිටියේය. ස්විමිං ඉගෙන ගන්නවට වැඩිය ඒක ලාබයි, ‍ලේසියි.
බිරිඳ යළිත් කතාවට පිවිසුණාය.
ඒ වුණාට පෙරේද මහාචාර්ය කාලෝ ‍පොන්සේකා කියපු කතාවට පස්සෙ ප්‍ලේන් සීට් ඔක්කොම අවුරුදු ගානකට බුක් වෙලා ඇති නේද?
උපදේශක තමන්ට ඒ කතාව පැහැදිලි කර දෙන ලෙස බිරිඳගෙන් ඉල්ලා සිටියේය.
ඇයි අනේ, රාජිත සේනාරත්න ලෝක සෞඛ්‍ය සංවිධානෙ උප සභාපති වීම නිමිත්තෙන් තියපු උපහාර උත්සවේදී කාලෝ කියපු කතාව ඇහුවෙ නැද්ද? ඈ ඇසුවාය. බණ්ඩාරනායකත් සෞඛ්‍ය ඇමති වෙලා ඉඳල ආණ්ඩුවෙන් ගිහින් රාජ්‍ය නායකයා වුණා, සිරිසේනත් සෞඛ්‍ය ඇමති වෙලා ඉඳල ආණ්ඩුවෙන් ගිහින් රාජ්‍ය නායකයා වුණා, රාජිත සේනාරත්නත්....
බිරිඳ කතාව ඉවර කරන්නටත් පෙර උපදේශකයා පිහිණුම් තටාකයේ සිටින ‍පොඩි එවුන් දෙසවත් නොබලා ගොඩට පැමිණ තුවායකින් ඇඟ පිහිදා ගන්නට විය.
මොකද කලබ‍ලේ? බිරිඳත්, මාත් එකවර ඇසුවෙමු.
රාජිත රාජ්‍ය නායකයා වෙන්න කලින් පයින් ගිහින් හරි රටින් පිටවෙන්න ඕන ඔහු කඩිමුඩියේ ඇඳුම් අඳින ගමන් කියා සිටියේය.
අපේ කතාව ඇහෙන තෙක් මානයේ සිටි පිහිණුම් පංතියේ දරුවෙකුගේ පියෙක්ද මෙහිදී කතාවට සම්බන්ධ විය.
ඇයි ඉතින් රාජිත වගේ අවංක මනුස්සයෙක් රාජ්‍ය නායකයා වෙනවට ඔහේල අකමැති?
ඒ අසා මට හිනා ගියේය.
මිනිහ ලංකාවෙ ලියාපදිංචි ඔක්කොම දේශපාලන පක්ෂවලයි,  ලියාපදිංචි නැති පක්ෂ හතරකයිත් හිටපු කෙනෙක්නෙ මම කීවෙමි. ඉතින් එයා අවස්ථාවාදියෙක් මිසක් අවංක කෙනෙක් වෙන්නෙ කොහොමද?
අපේ අලුත් මිත්‍රයා මගේ කතාවට හිනාවුණේය.
ලංකාවෙ දේශපාලන පක්ෂනෙ මේ රට කෑවෙ ඔහු කියා සිටියේය. ඒ හැම එකකින්ම ගියා කියන්නෙ මිනිහ හොඳ කෙනෙක් කියන එකනෙ.
එසේ කී ඔහු තවදුරටත් තමන්ම කතා කරන්නට විය.
මතකද රාජිත ‍පොඩි අසනීපෙකට බේත් ගන්නත් සිංගප්පූරුවෙ මවුන්ට් එලිසබෙත් රෝහලට ගියා. ලංකාවෙ සෞඛ්‍ය සේවය ගැන විශ්වාස තියන්න බෑ කියනෙක නේද සෞඛ්‍ය ඇමති හැටියට මිනිහ ඒකෙන් කිව්වෙ? ඔහු ඇසුවේය. ඉතින් එහෙම අවංක මිනිහෙක් නේද දැන් රටේ නායකත්වයට ඕන වෙලා තියෙන්නෙ?
මෙහිදී පිහිණුම් උපදේශක හැඬුම්බර හඬකින් කතාවට එක්විය.
මං මේ කල්පනා කරේ මෙයා වගේ ලෝකෙම රාජිතගෙ හොඳනෙ දකිනව ඇත්තෙ කියල. ඒකනෙ මිනිහව ලෝක සෞඛ්‍ය සංවිධානෙ උප සභාපතිත් කරේ ඔහු කියා සිටියේය. අපි ඉතින් රටින් පිටවෙලා ඒ වගේ ලෝකෙකට ගිහින් වැඩක් වෙයිද බොස්?

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.