lakbima.lk

වහ කෑම

සර්, මම අපරාධයක් ගැන ‍පොලිසියට පැමිණිලි කරන්නයි ආවෙ.

මිනීමැරුමක්ද? ස්ත්‍රී දූෂණයක්ද? හොරකමක්ද?

නෑ සර්, කවුදෝ අපේ පවුලට වහ දීල මරන්න හදනව.

අම්මට සිරි කවුද ඒ? ඔහේලගෙ තරහකාරයොද?

නෑ සර්, අපිට තරහකාරයො නෑ, අපි අහිංසක මිනිස්සු.

එහෙනම් මොළේ අමාරුකාරයෙක් වෙන්න පුළුවන්, ඔහේට කාව හරි සැකද?

ඔව් සර්, මට ගොවියොන්ව සැකයි.

තමුසෙට පිස්සුද අයිසෙ? ලංකාව කෘෂිකාර්මික රටක්නෙ. මෙහෙ ගොවියො ඉන්නවනෙ ලක්ෂ ගානක්.

ඔව් සර්, ඒ ඔක්කොම එකතු වෙලා තමයි අපිට වහ දීල මරන්න හදන්නෙ.

ඒ කොහොමද ඒ?

සර්, ඒගොල්ලො අපි කන හාල්, එළවළු,    පලතුරු ඔක්කොම ලොකුවෙන්න, සත්තු නොඑන්න, නරක් නොවෙන්න බේත් ගහනව. ඒව වහ

රටේ ඉන්න ලක්ෂ ගානක් ගොවියො සංවිධානය වෙලා තමුසෙගෙ පවුලෙ කෑමට වහ දාල මරන්න හදනව කියන්නෙ මැන්ටල් කතාවක්නෙ.

අපේ පවුලෙ විතරක් ‍නෙවෙයි සර් ලංකාවෙ ඔක්කොම පවුල් මරන්නයි ඒගොල්ලො හදන්නෙ.

පිස්සු කෙළින්න එපා අයිසෙ, කවුරු හරි එහෙම සමූල ඝාතනයක් කරන්න හදනව නම් අනිත් මිනිස්සුන්ගෙනුත් පැමිණිලි එන්න එපැයි.

ඒක මං දන්නෑ සර්, අනිත් මිනිස්සු සමහර විට මේව දන්නැතුව ඇති. නැත්නම් පැමිණිලි කරන්න බය ඇති.

ඇයි ඕයි, කවුරු හරි තමන්ව වහ දීල මරන්න හදනෙක ගැන පැමිණිලි කරන්න බයවෙන්නෙ මොකටද?

සර්, රටේ ජනාධිපතිත් ගොවි පවුලක කොල්ලෙක්නෙ. ඒක නිසා ගොවියො ගැන පැමිණිලි කළොත් තමන් අමාරුවෙ වැටෙයි කියල මිනිස්සු බය ඇති.

ඒ මොකද ඒ?

ඇයි සර්, ජනාධිපති කොච්චරවත් එක එක්කෙනාට බනිනවනෙ. මං ගොවි පවුලකින් ආපු නිසා තමයි දැන් මේ ඒ අහිංසකයන්වත් මිනීමරුවො කරන්න හදන්නෙ, අපි දීල තියෙන මාධ්‍ය නිදහස පාවිච්චි කරල ගොවියො ගැන බොරු ප්‍රචාර ගෙනියනව කියල බැන්නෙත්.

ඉතින් ඒක සාධාරණයිනෙ අයිසෙ, මඩ සෝදා ගත් කල ගොවියා රජකමටත් සුදුසුය කියල රොබට් නොක්සුත් කියල තියෙනවනෙ.

ඒ කතාව නම් ඇත්ත තමයි සර්. දැන් ඉන්න ගොවියො රටට කරන අපරාදෙ හැටියට ඊළඟට ඒගොල්ලො සුදුසු රජකම් කරන්න තමයි.

හොඳයි, තමුසෙ අපිට මොකක්ද කරන්න කියන්නෙ?

දැන් සර්, කවුරු හරි සර්ගෙ ගෙදරට ඇවිත් සර්ගෙ පවුලෙ අයගෙ කෑමට ආසනික් දැම්මොත් සර් මොකද කරන්නෙ?

අඩෝ ඒව කොහෙද මාත් එක්ක. එහෙනම් මං ආයෙ ඌට ගෙදර බත් කන්න තියන්නෑ.

අන්න හරි සර්, ඉතින් හාල්වලට, එළවළුවලට, පලතුරුවලට වහ දාන එවුනුත් අල්ලල දාන්නකො හිරේ.

ඒ වුණාට ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධීයිනෙ අයිසෙ.

ඇයි සර් ඒ?

ඇයි ඕයි, ප්‍රජාතන්ත්‍රවාදය යටතෙ ඕන මිනිහෙකුට ඕන දෙයක් කරන්න නිදහස තියෙනවනෙ. ගොවීන්ට නිදහස තියෙනව හාල්, එළවළු, පලතුරුවලට බේත් දාන්න. තමුසෙලට නිදහස තියෙනව අකැමති නම් ඒව නොකා ඉන්න.

එතකොට සර්, අපි මොනවද කන්නෙ?

ඇයි ඕයි, ඔය ගොවියොම නිෂ්පාදනය කරන්නෙ ඕගනික් බඩු. වස විස නැති හාල්,  එළවළු, පලතුරු එහෙම. කනවකො ඒව.

ඒව අස්ප ගණන්නෙ සර්.

බලනව තමුසෙලට වස විස නැති කෑමත් ඕන. ඒක ලාබෙටත් ඕන. ඉතින් අහිංසක ගොවියො කියල මොනව කරන්නද ඕයි තමුසෙල වගේ මිනිස්සු රටේ ඉන්න කොට.

එහෙනම් සර්, මේ අපරාධෙට විරුද්ධව පියවරක් ගන්නෙ නැද්ද?

අපරාධ කියන්නෙ අයිසෙ තනි තනි මිනිස්සු කරන වැඩවලට. මේක අපරාධයක් ‍නෙවෙයි, මේක පරිසර ප්‍රශ්නයක්.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.