lakbima.lk

අපි විජයකලාට විජයකලා අපිට

ජූලි 8 වැනිදා කොළඹදී

ප්‍රිය විජයකලා,

මේ ලියුම ලියන්න වාඩිවෙලා මම සින්දුවක් මුමුණ මුමුණ හිටියා. “මුළු ලොවම නැතිවුණත් එකම හදවතක් ඇත ඔබේ නාමයෙන්” කියල. එතකොට අපේ ගෙදර කට්ටිය මගෙන් අහනව ඔය විජයකලාටද කියන්නෙ කියල. ඔව්, විජයකලා මේ දුෂ්ට ලෝකය මොනව කිව්වත් මම නම් ඔයත් එක්කයි.  ඔයාට වගේම මටත් වෙලාවකට හිතෙනව අනේ කොටිවත් හිටිය නම් කියල. එහෙනම් මේ රෙදි බැනියම් අඳින හාදයො  උන්ට හරි බයේ ඉන්නවනෙ. කොටින්ගෙ ත්‍රස්තවාදය නැති කරාට මුන්ගෙ ත්‍රස්තවාදය නැති කරන්න එකෙක් නෑනෙ ලොවේවත්.

අපි ජීවත් වෙන සමාජය හරිම කුහකයි, විජයකලා, රෙදි උස්සගෙන ඔයාට බනින ඈයො තමයි හරි නම් ඔයාගෙ පින්තූරෙට පහන් පත්තු කරල වඳින්න ඕන. ඇයි හිට්ලර් කතාවකුයි, නිව්යෝර්ක් ටයිම්ස් ප්‍රවෘත්තියකුයි පට්ට ගගහ තියෙද්දි ඔයානෙ ඒ ගොල්ලන්ගෙ ගැලවුම්කාරි වුණේ පට්ට ගොන් කතාවක් කියල. අපි ඡන්දෙ දීල කවුන්සි‍ලේට යැව්ව වෙනුවෙන් ඕකෙ ඉන්න ඈයො අපිට කරන එකම සේවය සැරින් සැරේ ඔය වගේ ආතල්ලෙකක් දීම විතරනෙ. අන්තිමේ අපිට ලොකුම ලොකු ආතල්ලෙක දෙන්න ගිහින් ඔයාගෙ නම් ඇමතිකමටත් තට්ටු වුණානෙ. ඒත් අපේ නෑනෙ ඒ ගැන කිසිම කෘතඥතාවයක්. බලු බැනුම් මිසක්.

මගේ බිරිඳ නම් ඔබේ කතාවට විරුද්ධයි. ඈ කියනව තමන්ගෙ මිනිහවත් මරපු කොටින්ව ආපහු ගේන්න ඕන කියන්නෙ මොන වගේ ගෑනියෙක්ද කියල. එතකොට මම ඈට පෙන්වල දුන්න ඒකෙන් පෙන්නුම් කරේ ඔයා රාජ්‍ය ඇමතිකමකට ‍නෙවෙයි රටේ ජනාධිපතිකමට වුණත් සුදුසු ගෑනියෙක් බවයි කියල. දැන් බලන්න චන්ද්‍රිකා එයාගෙ මිනිහව මරපු ජේවීපිය ආණ්ඩුවට අරගෙන ඇමතිකමුත් දුන්නනෙ. සිංහල ගෑනි කරාම හොඳයි, දෙමළ ගෑනි කිව්වම නරකයි. ජාති භේදෙක හැටි.

මම විතරක් ‍නෙවෙයි අපේ පුතාත් ඔයාගෙ කතාවට පක්ෂයි. මිනිහ කියනව ඔයා කොටි ආපහු ගේන්න ඕන කිව්වම උතුරෙ කවුරුවත් ඒකට විරුද්ධව  කතා කරේ නෑනෙ, චියර් කරා මිසක් කියල. එයා කියනව වෙඬරුවේ උපාලි උන්නාන්සෙ හිට්ලර් හරි වෙලා රට හදන්න කියල ගෝඨාට  කිව්වට දකුණෙ මිනිස්සු කොච්චර ඒ කතාවට විරුද්ධ වුණාද ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධී කතාවක් කියල. ඉතින් උතුරෙ කවුරුත් ඔයාගෙ කතාවට පක්ෂ නම්, උන්ගෙ කැමැත්ත කොටින්ට නම් ඒකට විරුද්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ වීමක්ලු.

ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවම කියන හැටියට 2015 දී ලංකාවෙ, බුරුමෙ හා නයිජීරියාවෙ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ ව්‍යාපෘති  සඳහා ඩොලර් මිලියන 585ක් වියදම් කරපු ඇමරිකාව දැන් උතුරෙ මිනිස්සුන්ගෙ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කරන්නත් කොයි වෙලාවක හරි එයි කියලයි පුතා කියන්නෙ. එතකොට කාටද ආඩම්බර?

මම,

මානි

ප: ලි.:- අපේ ‍ලේලිත් පුතාගෙ කතාවෙ එල්ලිලා කියනව හිට්ලර් ගේන්න කියපු කතාවට කට පියාගෙන හිටපු හාදයින්ට මොකද දැන් ප්‍රභාකරන් ගේන්න ඕන කිව්වම තදවෙන්නෙ කියල. අයිය හොඳ නම් ඇයි මල්ලි නරක කියල ඈ අහනව. කාට තේරෙනවද මේ ලොජික්?

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.