lakbima.lk

මාධ්‍යවේදීන් භංගවේවා

ජනවාරි 13 වැනිදා,

කොළඹදී

ජයවේවා

ප්‍රිය ජනමාධ්‍ය විරෝධීනි,

ජනමාධ්‍ය ආයතනවලට විරුද්ධව ඔබ විසින් ඒ ආයතන ඉස්සරහටම ගිහින් දැක්වූ විරෝධය අපේ මුළු පවුලම අමන්දානන්දයට පත් කළ බව දැනුම් දෙන්නයි මේ ලියුම ලියන්නෙ. හොර රහසේ පෙම් කළ මහින්ද හා මෛත්‍රී හඳපානේ පැන ගිය ලැජ්ජාව තුනී වී ගෙන යන නිසාත්, රනිල් නැවත අගමැති වීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය මහ බැංකුවේ හා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්ථාවරත්වය පිළිබඳ සුබවාදී බලා‍පොරොත්තු ඇති වීම නිසාත් රට්ටුන්ට කතා කරන්න දේවල් නැති වෙලා ගිහින්නෙ තිබුණෙ. ඒක නිසා රටේ ලොකුම ප්‍රශ්නය හැටියට ඉතිරිවුණු මාධ්‍ය ගැන නැතුව වෙන මොනව ගැන රැඩිකල් පිරිස් කතා කරන්නද?

මම නම් මාධ්‍යකාරයෙක් වීම ගැනත් වෙලාවකට ලැජ්ජයි, රටේ සෑම සියලු දෙනා රට වෙනුවෙන් තම යුතුකම හා වගකීම් ඉෂ්ට කරද්දී අපේ හාදයො හැසිරෙන හැටි ගැන, අපි ගෙදරින්ම පටන් ගමු. අහිංසක දෙමව්පියො තමන්ගෙ අවුරුදු පහේ ළමයට ළඟම පාසල හොඳම පාසල කියල ගේ ළඟ තියෙන කටු ඉස්කෝලෙට යවනව මිසක් කවදාවත් වැරදි සහතික දීල ජනප්‍රිය පාසලකට යැව්ව කියල අපි අහලවත් තියෙනවද? කිසිම කිසි ගුරුවරයෙක් පාසල් වෙලාවෙදි ළමයින්ගෙ මොළේ උඩින් උතුරන්න දැනුම බෙදා දෙනව මිසක් කවදාවත් ටියුෂන් යන්න වෙන තැනට වැඩ සලස්සල තියෙනවද? මේ දෙමාපියොයි, මේ ගුරුවරුයි නිසානෙ ජනප්‍රිය පාසල් පිරිහිලා, ඉන්ටර්නැෂනල් බංකොලොත් වෙලා, ටියුෂන් සර්ල හිඟමනට වැටිල තියෙන්නෙ. ගෙදර බුදුන් සහ දවෛනි බුදුන් ආදර්ශෙට අරගෙන හැදුණු රහසින්වත් වරදක් නොකරන වැඩිහිටි පරම්පරාවක් ඉන්න රටක මෙ මාධ්‍යවේදියො වගේ අසමජ්ජාතියො රැළක් බිහිවුණේ කොහොමද? මුන් භූමි පුත්‍රයො ‍නෙවෙයි මේ රට අස්ථාවර කරන්න පිටරටවලින් එවපු චරපුරුෂයො රොත්තක්. මුන් ඩොලර් අරගෙන ජනමාධ්‍ය වෙනුවට ජඩමාධ්‍ය පවත්වගෙන යනව ඇති. බලන්න උන්ගෙ ආදායම යන යාන වාහන, මන්දිරවල විශාල.

මගේ බිරිඳ නම් කියන්නේ කවුරු කොහොම කිව්වත් මේ ඇවිත් තියෙන්නෙ මාධ්‍යයේ හා මාධ්‍යවේදීන්ගේ හොඳම කාලය කියලයි. ඈ අහනව මතකද එක කාලයක් තිබුණා රටේ ඕනෑම වැරැද්දක වගකීම ලෝක බැංකුවට පැවරිච්ච. ඔක්කොම ප්‍රශ්න ලෝක බැංකුවෙ කොන්දේසි නිසාලු. ඊට පස්සේ ලෝක බැංකුව වැටිලා ත්‍රස්තවාදය නැගල ආවලු. එතකොට හැමදේම කොටි නිසාලු. දැන් මේ මාධ්‍යයේ ස්වර්ණමය යුගයලු ඇවිත් තියෙන්නෙ. දේශපාලනේ, පාසල්, විශ්වවිද්‍යාල, පන්සල්, පල්ලි සියල්ල පරද්දා එහෙම නැත්නම් ඒ සැමට තියුණු සටනක් දෙමින්, සමාජ පිරිහීමේ මූලික තැන ගන්න මාධ්‍යය, ජයග්‍රාහීව ඉස්සරහට යනවලු. ඒක නිසා අපේ ගෙදරත් පෙන්නලා පාරෙ යන මිනිස්සු කියනව ඇතිලු අර අරූනෙ අර ගෙදර ඉන්නෙ කියල. අතේ සතේ නැතුවත් අපිත් ඒ වගේ පිළිගැනීමක් ලැබෙන මට්ටමට පත්වීම ආඩම්බරයක්ය.

පුතා නම් කියනව ඒක ආඩම්බරයක් වෙන්න කාරණයක් නෙවිලු. ඉස්සර ලංකාවෙ වැඩියෙන්ම හිටියෙ සමාජ සේවකයොලු. කෙනෙක් මැරුණම පත්තරේ දාන්නෙ සමාජ සේවකයා මිය යයි කියලලු. දැන් දාන්නේ ප්‍රවීන මාධ්‍යවේදියා මියයයි කියලා හරි මාධ්‍යවේදියාගේ පුංචි අම්මාගේ පුතා මියයයි කියලලු. දැන් රටේ මාධ්‍යවේදීන් නොවුන අයට වඩා මාධ්‍යවේදීන් වැඩි නිසා ආඩම්බර වෙන්න ඕනේ මාධ්‍යවේදියෙක් ‍නෙවෙයි නම්ලු. මම මාධ්‍යවේදියෙක් ‍නෙවෙයි කියල ටී ෂර්ට්ටෙකක් ගැහුවොත් අද කාලෙ ඒක හොඳට විකුණ ගන්න පුළුවන් කියලයි මිනිහ කියන්නෙ.

මගේ මිත්‍ර පත්‍ර කර්තෘවරයෙක් නම් කියන්නේ අපේ එවුන්ට හොඳ වැඩේ කියල රටේම ප්‍රශ්න ගැන අයිතිවාසිකම් ගැන කතාකරන මාධ්‍ය කාරයො තමන්ගෙ ප්‍රශ්න අයිතිවාසිකම් හරියට වෘත්තීය රහස් කියලද හිතාගෙන ඉන්නෙ. මාධ්‍යකාරයන්ගේ වෘත්තීය භාවයක් නෑ කිව්වම අපේ එකෙකුට කොන්ද පණ නෑලු අපි වෘත්තීයවේදීන් ‍නෙවෙයි කියන්න. රටේ පිළිගත් වෘත්තීන් තිස් දෙකක් තියෙනවලු. තිස් දෙකටවත් නැති මාධ්‍යයෙන් වෘත්තීය භාවයක් බලා‍පොරොත්තු වෙන්නෙ කොහොමද කියල යාළුව අහනව. රජයයි සමාජයයි දෙකම මාධ්‍යකාරයින්ට පිස්සු කෙළින්න ලයිසන් දීලා ඉවර වෙලා අහනවලු කෝ බොලාගේ වෘත්තීයභාවය කියල.

මම,

මානි

ප:ලි - මාධ්‍යයට, බැණ වැදීම ගැන රැඩිකලුන් සමග කෝප නොවනසේ මාධ්‍යකරුවන්ගෙන් ඉල්ලා සිටිමි. එකක් බැණ වැදීමෙන් පමණක් නැවතීමත් ලොකු දෙයක් නිසාය. අනික රැඩිකල්වීමට බුද්ධාගමට, මහින්ද රාජපක්ෂට හා මාධ්‍යයට බැණ වැදීම අත්‍යවශ්‍ය වෙයි.

සිරා බුදි නෑ

අපේ අයියාත් මල්ලීත්, මමත් මේ ළඟදී අයියාගේ ගෙදරදී හමුවූයෙමු. ජීවිත කාලයක් පුරා කතා කර ඇති අප තිදෙනාට මෙදා කතා කරන්නට දෙයක් නැතිව ගොස් තිබුණේය. රනිල් නැවත අගමැති වී නාට්‍යය අවසන් වීම ඊට හේතුව බව කියන්නටත් ඕනෑද?

අපි ඔක්තෝබර් 26, විප්ලවේට කලින් මොනවද කතා කරේ? අයියා අවසානයේ දිග සුසුමක් හෙළා අපෙන් ඇසුවේය.

මල්ලී ඔළුව කසමින් කල්පනා කරන්නට පටන් ගත්තේය.

මං හිතන්නේ අපි ජීවන වියදම ගැනයි කතා කරේ මම මොහොතක් සිතා කීවෙමි.

ඔව් ඔව් අයියාද එය අනුමත කළේය. ඒත් අපි ජීවන වියදම ගැන මොනවද කතා කරේ කියල මට මතක නෑනෙ

අපි ජීවන වියදම වැඩියි කියල නේද කතා කරේ මල්ලී මෙහිදී මතක් කර දුන්නේය.

ඒ වුණාට විප්ලවෙන් පස්සෙ බ‍ලේට ආපු මහින්දත් බඩු මිල අඩු කරා ප්‍රති විප්ලවෙන් ආපු රනිලුත් බඩු මිල අඩු කරනවා මම කියා සිටියෙමි. ඉතින් දැන් මොනව කතා කරන්නද?

කතාව නැවතත් ඇණ හිටියේය. අයියා කතාව නවත්වා ප්‍රවෘත්ති අහන්නට ගත්තේය. මල්ලී පත්තරයක් කියවන්නට විය. මම පුටුවේම නින්දට වැටුණෙමි.

එකවරම අයියා සින්දුවක් කියන හඩින් මට ඇහැරුණේය.

බලා‍පොරොත්තුව අපට තියේ හෙට හිරු පායන සේ අනාගත සම්පත් වළඳන බලා‍පොරොත්තුව අපට තියේ අයියා ෙශෙලිගත නාට්‍යයක රැඟුමක් පාමින් ගීය ගයමින් සිටියේය.

මොකද යූඑන්පීකාරයෙක් වගේ ෆෝම් වෙලා? මල්ලීත් මමත් එකවර ඇසුවෙමු.

අපේ ගැලවුම්කාරයා සටන අතෑරල නෑ අයියා උදේ‍යා්ගයෙන් කියා සිටියේය. අලුත් යුගයක් උදා කරයි කියලා ජනවාරි 8 තියපු බලා‍පොරොත්තු උන්නැහේ නැති කරල නෑ

මේ සැරේ මොකක්ද කරල තියන්නෙ?

අමාත්‍යාංවලට අයිති ආයතන ගැසට් කරන්නැතුව හොරගෙඩියා ප්‍රයිවෙට් ට්‍රිප්පෙකක් ගිහින්, ඒකත් බැංකොක්වලට අයියා අත්පුඩියක් ගසමින් කියා සිටියේය. රනිල් ඇඹරිලා ඉන්නවලු දැන් මෑන් එනතුරු එක තැනකවත් අධ්‍යක්ෂ මණ්ඩල පත්කර ගන්න විදියක් නැතුව මල්ලී ජයපැන් වීදුරුවක් අතට ගත්තේය.

මම ඕගොල්ලන්ට හැමදාම කිව්වනෙ මනුස්සය ගැන බලා‍පොරොත්තු අතඇරගන්න එපා කියල ඔහු කියා සිටියේය. ලොක්කා කවදාවත් රට්ටුන්ව දුකේ හෙළන්නෙ නැති බව මං දැනගෙන හිටියා. දැන් 2019 වෙනකම් ඉතින් රටට සදා සතුට තමයි ඒ වුණාට ඒක ‍ලේසි නෑ මම කියා සිටියෙමි. ඡන්දයක් එනකම් රනිල්ට ජනප්‍රියත්වය තියාගන්න නම් දිගින් දිගටම කෙණහිලිකම් කරන්න ඕනනෙ අයියාද ඊට එකඟ විය.

ළමයින්ව හදාගන්න දඬුවම් කරන කොට තාත්තලව පේන්නෙ යක්ෂයෝ වගේනෙ, ඒ වුණාට රනිල් කවදහරි ලොකු වුණාම අඬ අඬා කියයි ‍පොඩි කාලෙ අපිට අරහෙම දඬුවම් කරපු නිසා තමයි දැන් අපි මෙතන ඉන්නෙ කියල මල්ලී ද හිස වැනුවේය.

ලොක්ක ‍පොහොට්ටුවට යමු කිව්වම ශ්‍රී ලංකා කාරයො කියනවලුනෙ එකතු වෙන්න එපා බෑ කියල. ඒකනෙ මෑන් ශ්‍රී ලංකා මූලස්ථානෙත් ලොක් කරල යතුරුත් අරන් ගිහින් තියෙන්නෙ රට යනකොට ඔහු කියා සිටියේය. එතකොට ශ්‍රී ලංකාකාරයො තදවෙලා උන්ගේ 10ත් අරගෙන යූඑන්පීයට ගියාම කොහොමද? මේව තමයි සිරාගේ සිරා ගේම්

නෑ අනේ ජනාධිපති රජවෙන්න හදන් නෑ

අපේ ගෙදර දොරේ ප්‍රශ්න ගැන දුක් ගන්නේ බිරිඳය. ඒ සඳහා ඇයට දවසේ පැය විසි හතරද මදිය. මේ නිසා ඔක්තෝබර් 26 විප්ලවයෙන් පසු ශ්‍රී ලංකාව ගැන දිනපතා ඇයව දැනුවත් කිරීමේ රාජකාරිය පැවරී ඇත්තේ මටය.

එසේ වුවද මේ සතියේ දවසක හදිසියේ ගෙදර දුවගෙන ආ බිරිඳ මට දොස් පවරන්නට පටන් ගත්තාය.

ඔයා දවසම ගත කරන්නෙ පත්තර කියව කියව, රේඩියෝ අහ අහ, ටෙලිවිෂන්, ෆේස්බුක් බල බල ඕ කියා සිටියාය. ඒ වුණාට රටේ වැදගත්ම ආරංචි මට දැනගන්න වෙන්නෙ පාරෙ තොටේ මිනිස්සුන්ගෙන්.

ඒ ඇසීමෙන් මට ලැජ්ජා සිතුණු බව අවංකවම පිළිගත යුතුය.

ඒත් ඒක වෙන්න බෑනෙ මම කියා සිටියෙමි.

ඇයි බැරි? ඕ වාද කරන්නට පටන් ගත්තාය. මෛත්‍රීපාල සිරිසේන රජවුණා කියල ඔයා මට කවදාවත් කිව්වද?

මට ඒ අසා හොඳටම හිනා ගිය බව අමුතුවෙන් කිව යුතු නැත.

උන්නැහේට ජනාධිපතිකමත් බර වැඩියි මගෙ හිතේ මම කීවෙමි. එහෙම තියෙද්දි රජ වෙන්නත් හිතයිද?

බිරිඳ ඒ අසා කෝප වූවාය.

එහෙනම් මේ මිනිස්සු කියන්නෙ? ඕ කියා සිටියාය. පාර්ලිමේන්තුවෙ 225ම ඉල්ලුවත් එයා රනිල්ව අගමැති කරන්නෑ කිව්ව කියල.

මම නිහඬව, හිස වනා එය පිළිගතිමි.

එහෙම නම් කිව්ව තමයි මම කීවෙමි. ඒත් එදා මුණුබුරා ඇවිත් හිටපු නිසයි මං ඒක ඔයාට නොකිය හිටියෙ.

ඒ ඇසීමෙන් බිරිඳ හොඳටම කලබල වූවාය.

‍පොඩි එකාගෙ ඒමෙයි ඒ ආරංචිය මගෙන් හැංගිල්ලෙයි තියෙන සම්බන්ධෙ මොකක්ද?

මම ඔළුව කැසුවෙමි.

කොල්ලා ඉඳැද්දි ඒක කිව්වම ඔයා මොනව කියයිද දන්නැති නිසා මම කට පියාගෙන හිටිය මම බිරිඳට කරුණු පහදා දුනිමි. අපි ළමය ඉස්සරහ පිස්සා, මෝඩයා වගේ වචන කියන්නෙ නෑනෙ.

බිරිඳ එවර මගේ හැසිරීම අනුමත කළාය.

ඒක හොඳයි තමයි, නැත්නම් ‍පොඩ්ඩා මොන මොන හරස් ප්‍රශ්න අහයිද දන්නෑනෙ බිරිඳ කියා සිටියාය. රටේ නායකයො කියන්නෙ වග විභාගයක් නැතුව කතා කරන, වැඩ කරන හාදයින්ටද කියල ඇහුවොත් එහෙම?

අනික ඊළඟට ඒකා කිව්වොත් මට නම් තවත් මේ රටේ ඉන්න බෑ කියල අපි මොනවද කරන්නෙ? මමද කියා සිටියෙමි. මෑන්ව මෙහෙන් අරගෙන යනව කියන්නෙ ඌට අපේ සංස්කෘතියයි, සභ්‍යත්වෙයි, ශිෂ්ටාචාරෙයි, අහවල් දේයි ඔක්කොම නැතිවෙනවටනෙ.

මෙහිදී ටික වේලාවක් කල්පනා කරමින් සිටි බිරිඳ එකවරම මට ඇඟිල්ල දිගු කරමින් කතා කළාය.

කොහොම වුණත් ඔයා පත්තරේට සැර ලිපියක් ලියන්න ඕන ජනාධිපතිට රජවෙන්න එහෙම ලෑස්ති වෙන්න එපා කියල.

ජනාධිපතිගේ එබඳු සූදානමක් නැති නිසා එවැන්නක් ලියන්න බැරි යැයි මම කියා සිටියෙමි.

ඇයි නැත්තෙ? පාර්ලිමේන්තුවෙ 225ම කිව්වත් අහන්නෑ කියන්නෙ අර එංගලන්තෙ හිටපු පළමුවැනි චාල්ස් රජ්ජුරුවො කිව්ව ජාතියෙ කතාවක්නෙ බිරිඳ කියා සිටියාය.

චාල්ස් කියන්නෙ අර පාර්ලිමේන්තුව එක්ක හැප්පිල බෙල්ල නැති කරගත්ත රජ්ජුරුවො නේද?

ඔව් ඔව් එයා තමයි බිරිඳ කියා සිටියාය. ලිපියෙ මතක ඇතුව ලියන්න පාර්ලිමේන්තුව එක්ක හැප්පුණේ ඉස්සර හිටපු රජවරුය, ඒකත් 1650 ට කලින්ය කියල.

ගුණමකුවෝ

යූඑන්පීකාරයෝ වගේ ජනාධිපති තාත්තා කවදාවත් යහපාලන මාර්ගෙන් පිට පැන්නේ නෑ කියල මානි පිළිගන්නවද?

මට ඒ කතාව තේරුණේ නෑ, චතූ

හරි, එහෙනම් යහපාලනයක් ඇති කිරීමේ වුවමනාව අපිට ඇතිවුණේ මහින්ද මහත්තයා නිසා කියල මම කිව්වොත් ඒක තේරෙනවද?

අ‍පොයි ඔව්, මහින්ද ලොක්කව ගෙදර යවල, මනුස්සයට අලගිය මුලගිය හැම එකාම හිරේ දැමිල්ලනෙ යහපාලනේ තිබිච්ච ප්‍රධාන අරමුණ ජනාධිපති තාත්තා නම් මහින්ද මහත්තයව පැරැද්දුවා. ඒත් නීතිය බාර ආයතන ඔක්කොම අතේ තිබිච්ච යූඑන්පීයට බැරිවුණා රාජපක්ෂ පවුලෙ එකෙක් හිරේ දාන්න ඒ කතාව නම් හරි අන්තිමේ ජනාධිපති තාත්තටම සිද්ධ වුණා කොටින්ටත් අන්නන්න බැරි වුණු වීරයව අන්නල රනිල්ව ගොඩ දාන්න.

මොකක්ද ඒ හරුපෙ?

ඇයි වදේ, ඔක්තෝබර් 26 වෙනකොට රනිලුයි මෑන්ගේ ඇමැතිල රොත්තයි හොඳටම කිච වෙලා හිටපු බවවත් මතක නැද්ද?

ඇයි අමතක? ජනාධිපතිවරණද? මහ ඡන්දෙද ඕන එහෙක තුනෙන් දෙකේ දිනුම මහින්ද ලොක්කගේ ගිනුමෙ ස්ථාවර තැන්පතු දාලනේ තිබුණේ එතකොට.

එහෙම දෙකේ කො‍ලේට වැටිල හිටපු රනිල්ව යූඑන්පී කාරයින්ට වීරයෙක් කරල දුන්නේ ජනාධිපති තාත්තා ‍නෙවෙයිද?

ඒකත් හරි තමයි. ඡන්ද‍පොළ පැත්ත බලාගෙන කෙළ ගහන්න හිටපු යූඑන්පී කාරයෝ දැනටම රනිල්ව දිනවන්න ඡන්ද ‍පෝලිමට එකතු වෙලානේ.

එච්චරද හලෝ රනිල්ගෙ පුටුවෙ වාඩි වෙන්න කවද්ද කියල බල බල හිටපු සජිත්ව රනිල්ට පාර්ලිමේන්තුවේ විශ්වාසය තියෙනව කියල යෝජනා කරන තැනට ගෙනාවෙ ජනාධිපති තාත්තා ‍නෙවෙයිද?

ඒක නම් ඇත්ත. අගමැතිකම දීල ගොඩ ගන්න බැරි වෙච්ච හාදයව අගමැතිකමෙන් පන්නල ගොඩ ගත්ත නේන්නම්.

ඒකනෙ මං මුලදීම කිව්වෙ යූඑන්පීය යහපාලන අරමුණෙන් පිටපැන්නට ජනාධිපති තාත්තා හැමදාම ඒ අරමුණේ නොසැලී හිටිය කියල

ඇත්ත නේන්නම් චතූ, මහින්දට අගමැතිකම දීල ව‍ලේ දැම්ම. රනිල්ව අගමැතිකමෙන් එලවල ගොඩ දැම්ම.

දැක්කද ජනාධිපති තාත්තගේ මාස්ටර් ප්ලෑන් ඔය විදිහටම තමයි මහ බැංකු කේස් එකෙනුත් රනිල්ව ගොඩ දැම්මේ

ඒ මොකක්ද ඒ කතාව

ඇයි අනේ, කෝප් වාර්තාව ආවා නම් රනිල් අමාරුවේ නිසා පාර්ලිමේන්තුව කල්දාලා මෑන්ව ගොඩ දැම්ම මතක නැද්ද? ඊට පස්සේ කොමිසමක් දාලා ඒකට යවල රනිල් බය නැති අගමැති කරා.

අම්මපා ජේ.ආර්. මාමා කරේ රනිල්ට ඇමැතිකමක් දීම විතරනෙ. මෙයා මිනිහට ජනාධිපති වෙන්නම රෝඩ් ක්ලියර් කරලනෙ.

මෙහිදී චතුරිකා හඬන්නට පටන් ගනී.

අර්ජුන මහේන්ද්‍රනුයි එයාගේ බෑණයිවත් රනිල්ට ඔහොම උදව් කරල තියෙනවද? ඔච්චර කරපු ජනාධිපති තාත්තාට දෝෂාභියෝග ගේන්නනෙ දැන් යූඑන්පී කාරයෝ සෙට් වෙන්නෙ

එවර මගේ ඇස්වලටද කඳුළු ඉනුවේය.

ඒක නේන්නම්. සැමදා ජනපති කරන්න ඕන මනුස්සයෙක්ටනෙ මුන් මෙහෙම සලකන්නෙ. යූඑන්පී කාරයෝ මහා ගුණමකුවොනෙ. අන්න ඒකට මහින්දගෙ ගැන්සිය. තමන්ව තුන්පාරක් අන්නපු හාදයට කොහොමද තාමත් තියෙන සැලකිල්ල.

ජනාධිපති සම්මානය ජනාධිපතිටම

මා මිත්‍ර කාටූන් ශිල්පියෙකුගේ බිරිඳ පසුගියදා මට කතා කළාය.

අපේ මනුස්සය ජීවිතේ හොඳටම කලකිරිල ඈ හඬමින් පැවැසුවාය. මට බය කොයි වෙලාවක හරි දිවි නසා ගනියි වත්ද කියලයි.

මම සියලු වැඩ පසෙක දමා මිත්‍රයාගේ ගෙදර ගියෙමි.

ඔහු කිලිටි සරමක් හා කිලිටි මේස් බැනියමක් හැඳ නොකැපූ රැවුල් කොට පිරි කම්මුලකට අතක් තබාගෙන කල්පනා කරමින් සිටියේය.

විජය කුමාරයා ලංකාවට ආවට පස්සෙ කාටූන්කාරයින්ට මෙහෙම සශ්‍රීක කාලයක් කවදාවත් ආවෙ නෑනෙ මම ඔහුට කීවෙමි. ඒකට පාටියක් දානව මිසක් මොකද නිකම් විශ්වාසභංගයක් පැරදිලා වගේ ඉන්නෙ?

මිත්‍ර කාටූන් ශිල්පියා මා දෙස ඔරවා බැලුවේය.

අර ලිප පත්තු කරන තුරු හැලියෙ දිය කෙළපු කකුළුවා වගේ ඉන්නද උඹ මට කියන්නෙ? ඔහු කේන්තියෙන් පෙරලා කීවේය. දැන් මිනිස්සු කාටූන් බැලිල්ල අතෑරලා ඕයි, ඉතින් තව ටික දවසකින් කර්තෘල කියයි අපේ සේවය අනවශ්‍යයි කියල.

ඇයි ඒ?

වෙනදට මිනිස්සු පත්තර පිටු පෙරළල කාටූන් හොයාගෙන ගිහින්නෙ හාස්‍ය රසය විඳින්නෙ මිත්‍රයා කීවේය. දැන් පත්තර ලෑල්ල ගාවට ගිහින් පත්තරේක මුල පිටුවට එබුනම උන්ට සුමානයක් හිනාවෙන්න බඩු තියෙනවනෙ.

ඇත්ත නේන්නම් මමද පිළිගතිමි.

අපි අවුරුදු ගානක් ඉගෙන ගෙන තව කාලයක් අභ්‍යාස කරලනෙ උපහාසය මතු කරන්න අල්ල ගත්තෙ ඔහු මට කියා සිටියේය. ඒකට බලනවකො ජනාධිපතියි, ආණ්ඩුවයි කිසිම ආයාසයක් නැතුව හාස්‍යය මතු කරන ලස්සන.

හැබැයි විපක්ෂෙත් අත අරින්නෙ නෑ නේද? මම මිත්‍රයාට පෙන්වා දුනිමි. උන් ප්‍රජාතන්ත්‍රවාදය රැකගනිමු කිව්වහම ඇතිනෙ බඩ අල්ලගෙන හිනාවෙන්න.

මිත්‍රයාද ඊට එකඟ විය.

හැබැයි ජනාධිපතිට තමයි මචං ජනාධිපති සම්මානෙ හම්බු වෙන්නෙ කාටූන් මිත්‍රයා සිනහවකින් තොරව මට කීය.

මිනිහ මාසයක් තිස්සෙ කරන විහිළු දිහා බලාගෙන ඉඳල තමයි මට තේරුම් ගියේ කාටූන්කාරයො ඔක්කොටම රස්සාවල් නැතිවෙනව කියල.

මම මෙහිදී මගේ අදහස කීවෙමි.

මගේ නම් ප්‍රියතම කාටූන් කැරැක්ටරේ ජාතියේ පියාගෙ මී මුණුබුරා මම කියා සිටියෙමි. ඔහේ දන්නවද මිනිහ පහුගියදවසක ආණ්ඩුවෙන් විපක්ෂෙට යන අතරමගදි මිනිහටම හම්බුවුණා කියල මිනිහ විපක්ෂෙ ඉඳන් ආණ්ඩුවට එනවා.

කාටූන් මිත්‍රයා යළි බැරෑරුම් මුහුණක් හදා ගත්තේය.

මට බයයි මචං. කොයි වෙලාවක හරි රනිල් නැත්නම් මහින්ද මං මේක අත අරිනව කියයිද කියල ඔහු කීවේය. ඒක මතක් වෙනකොට මට රෑ නින්ද යන්නෙත් නෑ බං.

ඒ අසා මට හිනා ගියේය.

එහෙම ‍නෙවෙයි මට නම් හිතෙන්නෙ කොයි වෙලාවක හරි දෙන්නම එක සැරේ කියයිද කියල මං මේක අතාරිනව කියල මම කියා සිටියෙමි. ඊළඟට ජනාධිපති කිව්වොත් ඒව ඔට්ටු නෑ කියල.

මිත්‍රයා එකවරටම කෑ ගසාගෙන පුටුවෙන් නැගිට්ටේය.

මං කිව්වෙ නැද්ද උඹට මුලදිම, මේ තුන්දෙනා කරන්න, හදන්නෙ අපිව පාරට බස්සල, රට හිනැස්සිල්ල උන් බාරගන්න කියල.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.