lakbima.lk

විවිධ රසට පිට්සා හදමු

“පිට්සා” ඉතාලියෙන් අප හඳුනාගත් ආහාර වර්ගයකි. නමුත් මේ වන විට ඒවා අපේ ජනතාව අතර බෙහෙවින් ජනප්‍රියත්වයක් දිනාගත් කෑමකි. ඒ නිසාම මේවා වෙළෙඳ‍පොළේ ඉතා ඉහළ මිල ගණන් වලට තීන්දු වී තිබේ. ඒද සීමිත ආහාර වර්ග කීපයක් භාවිතයෙන් තැනූ ඒවාය. අපේ ආරෙට, අපේ රුචිකත්වයට අනුව, අඩුවැඩිය දමා, සකසා ගත් මේ පිට්සා වට්ටෝරු ඔබටද අත්හදා බැලිය හැකිය.

පිටි මෝලිය

අවශ්‍ය ද්‍රව්‍ය:-

පාන් පිටි ග්‍රෑම් 250

ඊස්ට් ග්‍රෑම් 5

සීනි ග්‍රෑම් 2

ලුණු කුඩු ග්‍රෑම් 5

වතුර මි.ලි. 125-150 පමණ

ඔලිව් තෙල් මි. ලි. 35

සාදන ආකාරය:-

පිටි හොඳින් හලා ගන්න. එයටලුණු දමා හොඳහැටි මිශ්‍ර කර ගන්න. දැන් ඊස්ට්, සීනි එකතු කර එයට හොඳට කලවම් කරගන්න. දැන් ඔලිව් තෙල් දමා  අනාගන්න. වතුර මිශ්‍ර කරමින් අතේ නොඇලෙන පදමට අනා විනාඩි 15ක් පමණ විවේකීව තබන්න. දැන් මේ පිටි මෝලිය ග්‍රෑම් 80 කොටස් වලට කඩා සෙන්ටි මීටර් 1ක් ඝනකම ඇතිව, රෝලින් පින් එකක ආධාරයෙන් රොටී සාදා ගන්න. දැන් සිහින් තුඩ සහිත ගෑරුප්පුවකින් මේ රොටී  හිල් නොවන ආකාරයට කුඩා සිදුරු සාදා ගන්න. (පිරවුමේ රසය මෙයට උරා ගැනීම පහසු කරවීම සඳහා) දැන් පිට්සා සෑදීම සඳහා අවශ්‍ය කරන රොටිය සූදානම්ය. දැන් එය විනාඩි 5ක් විවේකීව තබන්න. දැන් අපි ඒ සඳහා අවශ්‍ය කරන තක්කාලි තැවරුම සාදා ගන්නා ආකාරය බලමු.

තක්කාලි තැවරුම

අවශ්‍ය ද්‍රව්‍ය:-

හොඳින් ඉදී රත්පැහැවුණු

මධ්‍යම ප්‍රමාණයේ තක්කාලි

ගෙඩි 5යි

බටර් හෝ මාගරීන් තේ හැඳි 1

සුදුලූනු බික් 1යි

කුඩා ප්‍රමාණයේ

ලොකුලූනු ගෙඩියක්

සීනි තේ හැඳි 1/2

ලුණු රසට අනුව

අඟලක පමණ කුරුඳු ‍පොතු කැබැල්ලක්

සාදන ආකාරය:-

තක්කාලි ගෙඩි වල උඩින් සහ යටින් කුඩා පැල්මක් දමා ගන්න. දැන් නටන වතුර බඳුනකට දමා විනාඩි කීපයක් වසා තබන්න. දැන් පිටතට ගෙන එහි සිවිය ඉවත් කර ගන්න. දැන් එහි මැද සමග සාරය බ්ලෙන්ඩර් කර ගන්න. දැන් ලොකු ලූනු, සුදු ලූනු ඉතාම සිහින්ව කපාගන්න. බටර් ටික හෝ මාගරින් ළිප තබා රත්වන විට කපාගත් ලූනු, සුදු ලූනු දමන්න. කුරුඳු ‍පොතු කැබැල්ලක් දමන්න. සීනි, ලුණු, තක්කාලි සාරය දමා උකුවන තුරු මද ගින්දරේ පිසගන්න. බිමට බා පසු කුරුඳු ‍පොතු කැබැල්ල ඉවත් කරන්න. දැන් ඔබ පිළියෙළ කිරීමට යන පිට්සා එක සඳහා රොටිය සහ තක්කාලි සාරය සූදානම්ය. දැන් පිරවුම ඔබ කැමති දෙයක් යොදා ගෙන සකසා ගත හැකිය.

කුකුල් මස්, ඉස්සන්, දැල්ලන්, සොසේජර්ස්, කැරට්, වම්බටු වැනි ඕනෑම දෙයක් යොදාගෙන පිට්සා සකසා ගත හැකිය.

චිකන් පිට්සා පිරවුම

අවශ්‍ය ද්‍රව්‍ය:-

කුකුල් මස් ග්‍රෑම් 400

ලොකු ලූනු ග්‍රෑම් 250 පමණ

තක්කාලි ගෙඩි 2-3ක්

ඔලිව් තෙල් මේස හැඳි 2

ලුණු රසට අනුව

ගම්මිරිස් රසට අනුව

කහකුඩු ස්වල්පයක්

මොසරැල්ලා චීස් අවශ්‍ය තරමට

පිටි මෝලිය අවශ්‍ය තරමට

තක්කාලි තැවරුම අවශ්‍ය තරමට

සාදන ආකාරය:-

කුකුල් මස් කටු ඉවත් කර අඟ‍ලේ පමණ කැබැලි වලට කපා ගන්න. දැන් එයට ලුණු, ගම්මිරිස් සහ කහකුඩු ස්වල්පයක් දමා අත ගා පසෙකින් තබන්න. ලූනු සිහින් පෙති ලෙස කපා ගන්න. මාළු මිරිස් ද රවුම් හෝ හරස් අතට හෝ පෙති කපා ගන්න. තක්කාලි ද පෙති කපා ගන්න. දැන් තෙල් ටික දමාගත් පෑන් එකක් ළිප තබා රත්වන විට මස් ටික දමා මද ගින්දරේ යන්තමට පිස ගන්න.

දැන් කලින් සාදාගත් පිට්සා රොටියක් ගෙන එහි මතුපිට සාදාගත් තක්කාලි තැවරුම හොඳට ආ‍ලේප කර ගන්න. දැන් ඒ මත ලූනු, මාළු මිරිස්, තක්කාලි පෙති තට්ටුවක් සේ අඩුක් කර ගන්න. දැන් ඒ මත සිහින්ව ග්‍රේට් කරගත් චීස් ටිකක් ඉස ගන්න. දැන් සකසාගත් කුකුල් මස් තට්ටුවක් සේ අසුරා ගන්න. ඒ මත නැවත ලොකු ලූනු පෙති, මාළු මිරිස් පෙති සහ තක්කාලි පෙති අසුරා ගන්න. දැන් මේ මිශ්‍රණය මත හොඳින් චීස් අතුරා ගන්න. දැන් සකසාගත් තැටියක මේ සාදාගත් පිට්සා අඩුක්කර

220ජං - 250ජං උෂ්ණත්වය සහිත උදුනක උඩින් රන්වන් පාට වනතුරු (විනාඩි 10-15 පමණ) පුළුස්සා ගන්න.

දැල්ලෝ පිට්සා

අවශ්‍ය ද්‍රව්‍ය:-

දැල්ලන් ග්‍රෑම් 400

ලුණු රසට අනුව

ගම්මිරිස් රසට අනුව

මාළුමිරිස් ග්‍රෑම් 250

ලොකු ලූනු ග්‍රෑම් 250

තක්කාලි ග්‍රෑම් 300ක් පමණ

මොසරැල්ලා චීස් අවශ්‍ය තරමට

පිටි මෝලිය අවශ්‍ය තරමට

තක්කාලි තැවරුම අවශ්‍ය තරමට

ඔලිව් තෙල් මේස හැඳි 2ක්

සාදන ආකාරය:-

දැල්ලන් සෝදා පිරිසිදු කර අඟ‍ලේ පමණ කැබැලි වලට කපා ගන්න. එයට ලුණු, ගම්මිරිස් අතගා ගන්න. තෙල් ටික ළිප තබා දැල්ලන් දමා විනාඩි කීපයක් තබා ළිපෙන් බා ගන්න. දැන් රොටී සකස් කර ඒවා ගෑරුප්පුවකින් ඇන සිදුරු සාදාගෙන, තක්කාලි තැවරුම ගා ගන්න. සිහින්ව පෙති කපා ගත් ලොකු ලූනු, මාළු මිරිස්, තක්කාලි පෙති තට්ටුවක් ලෙස අසුරා ගන්න. මොසරැල්ලා චීස් ග්‍රේට් කරගෙන ඉසින්න. දැන් සකස් කළ දැල්ලන් මිශ්‍රණය දමන්න. නැවත ලූනු, තක්කාලි, මාළු මිරිස් පෙති තට්ටුවක් සේ ක්‍රමවත් රටාවකට අතුරා ගන්න. එය වැසී යන සේ ග්‍රේට් කර ගත් චීස් දමන්න. සකසා ගත් තැටියක අඩුක් කර 220ජං - 250ජං  පමණ උෂ්ණත්වය සහිත උදුනක පුළුස්සා ගන්න.

ඉස්සන් පිට්සා

අවශ්‍ය ද්‍රව්‍ය:-

තරමක ඉස්සන් ග්‍රෑම් 400

ඔලිව් තෙල් මේස හැඳි 2

ලුණු රසට අනුව

ගම්මිරිස් රසට අනුව

ලොකු ලූනු ග්‍රෑම් 250

තක්කාලි ග්‍රෑම් 300

මාළු මිරිස් ග්‍රෑම් 250

මොසරැල්ලා චීස් අවශ්‍ය තරමට

පිටි මෝලිය

තක්කාලි තැවරුම

සාදන ආකාරය:-

හිස සහ ‍පොතු ඉවත් කරගත් ඉස්සන් ඉතා හොඳින් පිලී යන ලෙස සෝදාගන්න. ලුණුූ ගම්මිරිස් අතගා පසෙකින් තබන්න. ලොකු ලූනු, මාළු මිරිස්, තක්කාලි පෙති කපා ගන්න. දැන් ග්‍රෑම් 80ක පමණ පිටි ගුලි වලින් රොටී වඩා ගන්න. සිදුරු සකසාගෙන තක්කාලි තැවරුම ආ‍ලේප කරගන්න. තක්කාලි, ලූනු, මාළු මිරිස් පෙති රටාවකට අතුරන්න. සකස් කරගත් ඉස්සන් මිශ්‍රණය රටාවකට අතුරන්න. ලූනු පෙති, මාළු මිරිස් පෙති තක්කාලි පෙති අසුරාගෙන, චීස් ග්‍රේට් කරගෙන තට්ටුවක් සේ ඉසගන්න. 220ජං - 250ජං අතර උෂ්ණත්වයේ විනාඩි 10-15 ක් පමණ පුළුස්සා ගන්න.

කැරට් පිට්සා

අවශ්‍ය ද්‍රව්‍ය:-

කැරට් අල ග්‍රෑම් 250

ලොකු ලූනු ගෑම්400

තක්කාලි ග්‍රෑම් 400

ලුණුූ රසට අනුව

ගම්මිරිස් රසට අනුව

ලොකු ලූනු ග්‍රෑම් 250

තක්කාලි ග්‍රෑම් 250

මාළු මිරිස් ග්‍රෑම් 250

මොසරැල්ලා චීස් අවශ්‍ය තරමට

පිටි මෝලිය

තක්කාලි තැවරුම

සාදන ආකාරය:-

කැරට් සූරා, සෝදා සිහින් පෙති ලෙස කපාගන්න. දැන් පෑන් එකකට බටර් හෝ මාගරීන් දමා රත්කරන්න. දැන් කැරට් පෙති ටික දමන්න. ලුණු, ගම්මිරිස් ස්වල්පයක් ඉසගන්න.

දැන් ලූනු, තක්කාලි, මාළු මිරිස් පෙති කපා ගන්න. මෝලියෙන් පිටි ගුලි කඩා ගෙන වඩා ගන්න. සිහින් සිදුරු සාදාගන්න. දැන් තක්කාලි තැවරුම උඩින් ගා ගන්න. දැන් ලූනු, මාළු මිරිස්, තක්කාලි පෙති අඩුක් කරන්න. ග්‍රේට් කරගත් චීස් දමන්න. දැන් යන්තමට මලවා ගත් කැරට් පෙති තට්ටුවක් සේ අඩුක් කර ගන්න. ලූනු, තක්කාලි, මාළු මිරිස් පෙති අඩුක් කර චීස් ඉස 220ජං - 250ජං බේක් කර ගන්න.

මේ ආකාරයටම ඔබට වම්බටු පෙති කපා බටර් ටිකක් යන්තමට තෙම්පරාදු කොට පිට්සා මත අතුරා සකසා ගත හැකිය.

උපදෙස් දොම්පේ, පූගොඩ කොළඹ පාරේ “ඩියෝනා ෆේ‍රෂ් හට්” හි ප්‍රවීණ සූපවේදිනී ඊ. ඩබ්ලිව්. ඒ. සුනීතා මහත්මිය

සාකච්ඡා කළා නිර්මලා කුමාරි සේනාරත්න

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.