lakbima.lk

අද දින (12) වින්ඩ්සර් මාළිගාවේ සිදු වූ රාජකීය මංගලෝත්සවය කෙරේ ලෝකාවධානය යොමු විය. ඒ දෙවන එළිසබෙත් රැජින ගේ ආදරණීය මිණිබිරියක් වූ ඉයුජින් වික්ටෝරියා ගේ මංගල උත්සවයයි. ඇය සමඟ අතිනත ගත්තේ උසස් පෙළපතකින් පැවතෙන විධායක ධූරයක් හොබවන්නා වූ ජැක් බෲබෑන්ක්  මහතා ය. මෙම දෙපළ 2018 ජනවාරියේ දී නිකරගුවාවේ දී විවාහ ගිවිස ගත් අතර වසර 7 ක ප්‍රේම සබදතාවයකින් පසු විවාහ දිවියට එළඹිණ. ඉයුජින් කුමරියගේ පියා දෙවන එළිසබෙත් රැජිනගේ තෙවන පුතු වූ ඇන්ඩෲ කුමරු එනම් ඩියුක් ආදිපාදවරයා වූ අතර මව වූයේ සාරා ෆර්ගියුසන් ය. පසු කලෙක ඉයුජින්‍ ගේ මව්පියන් දික්කසාද වුව ද ඉයුජින් කුමරිය හට සියලු ආදරය රජ පවුලෙන් ලැබිණ. කෙසේවෙතත් මෙම මංගලෝත්සවය සඳහා රාජකීය සාමාජිකයින් 850 ක් ද සාමාන්‍ය වැසියන් 1200 ක් ද සහභාගී වීමට නියමිත ය. එමෙන්ම අද දින සාන්ත ජෝර්ජ් දේවස්ථානයට පැමිණි පිරිස් අතර බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයන් රැසක් සිටි බවට සඳහන් ය. විවාහ  උත්සවය සදහා මේ වන විටත් යුරෝ මිලියන 2ක් වැය  වී ඇති අතර මංගල්‍යය පොලිතින් වලින් තොරව පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇත. ඉයුජින් ක=මරිය රාජකීය කිරුළට හිමිකම් කියන 9 වෙනි පුද්ගලයා ය.

ඉන් අනතුරුව මෙම සතියේ වඩාත් කැපී පෙණුනේ මුලු ලෝකය වටා පැවති සුළි කුණාටු , හරිකේන හා ටොර්නාඩෝ තත්වයයි. ඒ අතර ඇමෙරිකාවේ දකුණු ප්‍රාන්ත ෆ්ලෝරිඩා, ඇලබාමා හා ජෝර්ජියා ප්‍රාන්ත සඳහා බලපෑ හරිකේන තත්වයයි. පසුගිය බදාදා වන විට ෆ්ලෝරිඩා ප්‍රාන්තයෙන් පමණක් 370 000 ක් ඉවත් කිරීම‍ට නියෝග කෙරුණි. සෙසු ප්‍රාන්ත සඳහා හදිසි නිවේදන නිකුත් කෙරුණු අතර ඊයේ (11) වන දින මයිකල් සුළි කුණාටුව පැයට කිලෝ මීටර් 200 ක වේගයෙන් ෆ්ලෝරිඩාවට කඩා වැදුණි. මේ වන විට එහි තත්වය පාලනය කෙරෙමින් පවත්නා අතර වසර 100 කින් ෆ්ලෝරිඩාවට බලපෑ  දරුණුම හරිකේන තත්වය මෙය වී ඇත. ලක්ෂ 5 කට අධික පුද්ගලයන් ගණනකට විදුලි බලය ඇණ හිටීම සිදුව ඇති අතර පුද්ගලයන් 6 ක් මිය ගොස් ඇත. මුදා ගැනීමේ මෙහෙයුම් වලින් පුද්ගලයන් 27 දෙනෙකු ගේ ජීවිත බේරා ගෙන ඇති අතර තවත් මෙහෙයුම් 10 ක් ප්‍රාන්ත තුළ ක්‍රියාත්මක ය.

එමෙන්ම ඊයේ (11) වන දින හවස් වරුවේ ඉන්දියාවේ නැගෙනහිර ප්‍රාන්ත වන ආන්ද්‍රා හා ඔරිස්සා වෙත පැයට කිලෝ මීටර් 150 ක වේගයෙන් හමා ගිය වා සුළි තත්වය හේතුවෙන් ලක්ෂ 3 කට අධික ජනතාවක් එම වෙරළබඩ ප්‍රදේශ වෙතින් ඉවත් කිරීමට සිදු වී ඇත. පොල් ගස් අධිකව කඩා වැටීම හේතුවෙන් නිවාස සිය ගණනක් විනාශව ගොස් ඇති අතර මාර්ග විශාග ප්‍රමාණයක් අවහිර වී ඇත.  දැනට පුද්ගලයන් 8 ක් මිය ගොස් ඇති අතර අවතැන් වූ පුද්ගලයන් රැඳවුම් මධ්‍යස්ථාන 1100 ක් වෙත යවා ඇත.

ඇමරිකාවේ හා ආසියා‍වේ අයහපත් කාලගුණය මෙලෙස පවතිද්දී ඊයේ (11) ඕස්ට්‍රේලියාවේ ක්වීනස්ලන්ඩ් ප්‍රාන්තයට බලපෑ ‘සුපර් සෙල්’ ටෝර්නාඩෝ තත්වය  දරුණු ලෙස උත්සන්න වීමෙන් විශාල ප්‍රමාණයක නිවාසයන්හි වහළවල් හා ගස් ඉදිරී ගොස් පසුව ටෙනිස් බෝල ප්‍රමාණයේ හිම කැට වර්ෂාවක්  පතිත  වී ඇත. මෙම අයහපත් වාතාවරණය හේතුවෙන්  පුද්ගලයන් 4 ක්  බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර හිම වර්ෂාව හේතුවෙන් වාහන රැසකට හානි පැමිණ ඇත.  ඊට අමතරව නිවාස 10 000 ක් ආසන්න ප්‍රමාණයකට විදුලි ඇණ හිටීම් හේතුවෙන් බ්‍රිස්බේන්හි ජන ජීවිතය අඩාල වී ඇති  බව ඕස්ට්‍රේලියානු බලධරයින් ප්‍රකාශ කර සිටියි.

සවුදි අරාබි මාධ්‍යවේදී ජමාල් කාෂෝගීගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස සොයා බලන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ්  ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ ය. මේ සම්බන්ධයෙන් තමන් අදාළ සවුදි බලධරයින් සමඟ සකෙච්ඡා සිදු කළ බව ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ය. තූර්කියේ ඉස්තාන්බුල් අගනුවර පිහිටි සවුදි අරාබි තානාපති කාර්යාලයට ඇතුල් වූ කාෂෝගි ඉන් අනතුරුව අතුරුදහන් කර හෝ ඝාතනයට ලක් වන්නට ඇතැයි තූර්කි රජය ප්‍රකාශ කර සිටියි.  බොහෝ රාජ්‍ය නිළධාරීන් විසින් මෙම අතුරුදහන් වීම සම්බන්ධයෙන් සෞදි අරාබියේ විදේශ ඇමති අදෙල් අල් ජුබෙයිර් හට දුරකථන  ඇමතුම් රැසක් ලබා දී ඇති නමුත් නිසි පියවරක් සෞදි පාර්ශව‍යෙන් ගෙන ඇත.   

උත්පලා ප්‍රබුද්ධිකා

 

 

 

 

 

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.