lakbima.lk

බ්‍රෙක්සිට් යනුවෙන් ලොව පුරා මේ වන විට කතාබහට ලක්වී ඇති සංසිද්ධිය වන්නේ යුරෝපා සංගමයෙන් මහා බි‍්‍රතාන්‍යය ඉවත් වීමේ ක‍්‍රියාවලියයි. බි‍්‍රටිෂ් + එක්සිට් යන ඉංග‍්‍රීසි වදන් යුගල එක් වීමෙන් බ්‍රෙක්සිට් යන්න නිර්මාණය වී තිබේ. 2016 වසරේ ජූනි මස 23 වැනි දින මහා බි‍්‍රතාන්‍යයේ පැවැත්වුණු ජනමත  විචාරණයේදී එරට ඡුන්ද දායකයන්ගෙන් සියයට 51.9 ක් ප‍්‍රකාශ කර සිටියේ මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත් විය යුතු බවයි.

එහෙත් මහා බි‍්‍රතාන්‍යයට යුරෝපා සංගමයෙන් ඉවත් වීම එක් ක්ෂණයකින් සිදු කළ නොහැකිය. පවතින නීතිය අනුව එය ක‍්‍රියාවලියක් වශයෙන් සිදු විය යුත්තකි. මේ වන විට බ්‍රෙක්සිට් ක‍්‍රියාවලිය අර්බුදකාරී පඹගාලක් බවට පත් වූ ලකුණු පෙනෙන්නට තිබේ. 2016 වසරේදී ජනතාවගෙන් බහුතරය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට අවශ්‍ය යැයි කීවද එම මතය ස්ථාවර ලෙස තවමත් පවතින බවක් පෙනෙන්ට නැත.  බ්‍රෙක්සිට් ක‍්‍රියාවලියට විශාල හඬක් දැන් මහා බි‍්‍රතාන්‍යය තුළ ඉස්මතු වී තිබේ.

යුරෝපා සංගමය යනු රටවල් 28 කින් යුතු දේශපාලනික සහ ආර්ථික එකමුතුවකි. මෙම එකමුතුවේ සම්මුතීන්ට අනුව ඒ ඒ රටවල සිටින ජනතාවට සංගමය තුළ  ඕනෑම රටකට වීසා නොමැතිව ගමන් කළ හැකි අතර ඒ රටවල සේවය කිරීමට හැකි වේ. මහා බි‍්‍රතාන්‍යය තුළ යුරෝපා සංගමය කෙරෙහි බලවත් විරෝධයක් ඇති වූයේ මෙම සංක‍්‍රමණික ගැටලූ‍වත් සමගිනි. යුරෝපා සංගමයට  මෑත කාලයේදී යුරෝපයේ දිළිඳු රාජ්‍යයන්ද එක් වන්නට විය. එම රටවලින් මහා බි‍්‍රතාන්‍යයට පැමිණෙන නුපුහුණු සංක‍්‍රමණිකයන් නිසා මහා බි‍්‍රතාන්‍යය තුළ දේශපාලනික සහ ආර්ථික ගැටලූ‍ ඉස්මතු වීමත් සමගින් යුරෝපා සංගමයේ ප‍්‍රතිපත්ති පිළිබඳ බි‍්‍රතාන්‍ය ජනතාව තුළින් විරෝධයක් පැන නගින්නට විය.

2016 වසරේදී පැවැත්වුණු ජනමත විචාරණයෙන් පසු මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වන්නේ කුමන කරුණු මත පදනම්වද යන්න පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡුා පැවැත්වී තිබේ. එහෙත්, එම එකඟතාවන් සම්බන්ධයෙන් සෑහීමට පත්විය හැකි ප‍්‍රතිඵලයක් මෙතෙක් ලැබී නොමැත.

යුරෝපා සංගමයත්, මහා බි‍්‍රතාන්‍යයත් අතර ඇති කර ගැනීමට අපේක්ෂිත එකඟතාව ඩිවෝස් ඞීල් හෙවත් දික්කසාද ගනුදෙනුව වශයෙන්ද ඇතැම් විචාරකයෝ හඳුන්වති.  මෙම ගනුදෙනුවේදී ආවරණය කෙරෙන ක්ෂේත‍්‍ර ගණනාවක් වේ. ඉන් එකක් නම් යුරෝපා සංගමයෙන් ඉවත් වීමේදී මහා බි‍්‍රතාන්‍යය ගෙවිය යුතු මුදලයි. පවතින නීතිය අනුව ස්ටර්ලිං පවුම් බිලියන 39 ක් පමණ මහා බි‍්‍රතාන්‍යය විසින් යුරෝපා සංගමය වෙත ගෙවිය යුතු වේ. එසේම, ගිවිසුම තුළදී අවධානය යොමු කළ යුතු අනෙක් ප‍්‍රධාන කරුණ වන්නේ යුරෝපා සංගමයේ විවිධ රටවල මේ වන විටත් විසිරී සිටින බි‍්‍රතාන්‍ය ප‍්‍රජාව සම්බන්ධයෙන් තීරණයක් ගන්නේ කෙසේද යන්නයි. එසේම, උතුරු අයර්ලන්තය සහ අයර්ලන්ත ජනරජය අතර තිබෙන දේශසීමාව පවත්වා ගැනීමද සාකච්ඡුාවට බඳුන් වෙමින් තිබෙන අංශයකි.

යුරෝපා සංගමය සහ මහා බි‍්‍රතාන්‍යය අතර ඉදිරියේදී වෙළෙඳ සහ ආර්ථික සම්බන්ධතා පවත්වා ගැනීම සම්බන්ධයෙන්ද යම් එකඟතාවක් ඇති කර ගත යුතු වේ. යුරෝපා සංගමයත්, මහා බි‍්‍රතාන්‍යයත් අතර එකඟතා ලේඛනයක් මේ වන විට කෙටුම්පත් කර ඇතිමුත් එය මහා බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේද අනුමැතියට අනිවාර්යය වශයෙන් යටත් කළ යුතුය. අදාළ කෙටුම්පත බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරුණු අතර එහිදී අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ හට අත් වූයේ දරුණු පරාජයකි.  පසුගිය ජනවාරි මස 15 වැනි දින පැවැති එම ඡුන්ද විමසීමේ දී 432 ට 202 ක් වශයෙන් ‍තෙරේසා මේ ගේ කෙටුම්පත පරාජයට පත් විය.

මෙම පරාජයත් සමග බි‍්‍රතාන්‍ය කම්කරු පක්ෂය සඳහන් කළේ  අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ සිය තනතුරෙන් වහා ඉවත් විය යුතු බවයි.  ඒ අනුව ඇයට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ආවද එය ජය ගැනීමට අග‍්‍රාමාත්‍යවරියට හැකි විය. ඊට හේතු වූයේ කොන්සර්වේටිව් පක්ෂ මන්ත‍්‍රීවරුන්ගේ සහාය ඉතා හොඳින් ඇය වෙත ආරක්ෂා වී තිබීමයි. මන්ත‍්‍රීවරුන් බොහෝ දෙනෙකු යුරෝපා ගිවිසුමට විරුද්ධ වුවද තෙරේසා මේ ගේ පාලනයට සමස්තයක් ලෙස විරුද්ධ නොවූ බව එයින් පෙනී යයි.

බ්‍රෙක්සිට් ක‍්‍රියාවලිය වෙනුවෙන් පෙනී සිටි මන්ත‍්‍රීවරුන් පවා තෙරේසා මේගේ යෝජනාවලියට විරුද්ධ වීමට හේතු වූයේ ජනමත විචාරණයේ දී ජනතාව අපේක්ෂා කළ අරමුණු එම යෝජනා මගින් සම්පූර්ණ නොවීම හේතුවෙනි. ඔවුන්ගේ අදහස වන්නේ යෝජිත ගිවිසුමට අනුව තවදුරටත් යුරෝපා සංගමය වෙත මහා බි‍්‍රතාන්‍යය බැඳී පවතින අතර යුරෝපා සංගමයෙන් ඉවත් වීමට වඩා යුරෝපා සංගමයේ සිටීම ඒ අනුව හොඳ වනු ඇති බවයි. 2017 වසරේ මහා මැතිවරණයේ සිට තෙරේසා මේ ක‍්‍රියාත්මක වන්නේ පහළ මන්තී‍්‍ර මණ්ඩලයේ බහුතරයක් නොමැති ආණ්ඩුවක අග‍්‍රාමාත්‍යවරිය ලෙසයි. ඇයට මූලික වශයෙන් සහාය ලැබෙන්නේ උතුරු අයර්ලන්තයේ ඞීයූපී පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගෙනි. පවතින නීතිය අනුව ඇයගේ බලය තවත් වසරක් යන තුරු අභියෝගයට ලක් කළ හැකි නොවේ.

කෙසේවෙතත්, තෙරේසා මේ විසින් යුරෝපා සංගමය සමග එක්ව සකස් කරන ලද එකඟතා කෙටුම්පතට අනුව මහා බි‍්‍රතාන්‍යයට තමන්ගේ ස්වෛරීත්වය සම්බන්ධයෙන් පරිපූර්ණ තත්ත්වයක් හිමි නොවන බවයි බොහෝ මන්තී‍්‍රවරුන්ගේ අදහස වී ඇත්තේ. තෙරේසා මේ තමන්ගේ යෝජනා කෙටුම්පත පාර්ලිමේන්තුවේ පරාජය වීමෙන් පසු නැවතත් ජනවාරි මස 21 වැනි දින පහළ මන්ත‍්‍රී මණ්ඩලය වෙත සංශෝධන සහිත සැලසුමක් ඉදිරිපත් කළාය. මෙම සංශෝධිත කෙටුම්පත සම්බන්ධයෙන් ජනවාරි මස 29 වැනි දින යළිත් ඡුන්ද විමසුමක් පැවැත්වීමට නියමිතයි.

ජනවාරි මස 29 වැනි දින ඉදිරිපත් කෙරෙන කෙටුම්පතද අනුමත නොවුණහොත් සිදු වන්නේ මාර්තු මස 29 වැනි දින කිසිදු ගිවිසුමකින් තොරව මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමයි. ඊට හේතුව නම් යුරෝපා සංගමයෙන් ඉවත් වීම මේ වන විටත් නීතියක් බවට පත් වී ඇති බැවිනි. බි‍්‍රතාන්‍ය වේලාවෙන් මාර්තු මස 29 වැනි දින පස්වරු 11.00 ට යුරෝපා සංගමයෙන් ඉවත් වීම සිදු විය යුතුය. කෙසේවෙතත්, මෙය සංකීර්ණ තත්ත්වයක් වී ඇති අතර ඉදිරියේදී සිදුවන්නේ කුමක්ද යන්න නිශ්චිත වශයෙන්ම පැවැසිය නොහැකිය.

ඇතැම් විට මාර්තු මස 29 වැනි දිනට යෙදී ඇති දින සීමාව කල් යෑමටද ඉඩ ඇත. එසේම, යුරෝපා අධිකරණය විසින් මෑතකදී ලබා දුන් තීන්දුවකට අනුව යුරෝපා සංගමයට අයත් සෙසු රාජ්‍යයන්ගේ මතය විමසීමකින් තොරව මහා බි‍්‍රතාන්‍යයට යුරෝපා සංගමයෙන් ඉවත් නොවී සිටීමට හෙවත් බ්‍රෙක්සිට් ක‍්‍රියාවලිය අහෝසි කිරීමට පුළුවන.

දර්ශන අශෝක කුමාර

Page 2 of 7

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.