lakbima.lk

ඇමරිකාවෙන් ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණයට තර්ජන

නෙදර්ලන්තයේ හේග් නුවර  මේ සතියේ කැළඹී ගියේ ඇමරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් විසින් ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණය වෙත එල්ල කරන ලද  ප‍්‍රබල තර්ජනයි. කන්සර්වේටිව් ‍‍‍ ෆෙ‍‍ඩරල් පාක්ෂිකයන් අමතා පැවසූවේ “අපගේ සියලුම අභිලාෂ තුළින් අයි.සී.සී මිය ගිහින්. ඇමරිකාවට හෝ ඇමරිකානු පාක්ෂික රාජ්‍යයකට අපරාධ අධිකරණය විරුද්ධ වුව‍හොත් අප නිහඬව සිටින්නේ නැහැ..." තවදුරටත් තර්ජනය කරමින් ඔහු  පැවසුවේ එසේ ක්‍රියා මාර්ග ගතහොත් එහි නඩුකාරයින්ටත් අභිචෝදකයින්ටත් ඇමරිකාවට ඇතුල් වීමට ඉඩ නොදෙන බවයි. එමෙන් ම ඇමරිකානු  මූල්‍ය පද්ධතියෙන් ඔවුන්ට ලබා දෙන සියලු අරමුදල් කප්පාදු කරන බවයි. ඇමරිකානු අපරාධ නීති මඟින් ඔවුන් හට අභිචෝදනා සිදු කරන බවයි.

ඇමරිකාවට එරෙහිව යුධ අපරාධ චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් බෝල්ටන්ගේ මෙම ප‍්‍රකාශය පසුපස ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයේ දී සිදු කළා යැයි පවසන යුධ අපරාධ වසන් කිරීමේ න්‍යාය පත‍්‍රය සැඟව ඇතැයි මැනවින් පෙනෙයි.  එමෙන් ම ඇමරිකාවේ ඉපැරණි මිතුරෙකු වූ ඊශ‍්‍රායලයට එදිරිව පලස්තීනය ගෙන ආ පරීක්ෂණය හේතුවෙන් ඇමරිකාවේ පිහිටි පලස්තීන විමුක්ති සංවිධානයේ කාර්යාලය වසා දැමුණේ තවදුරටත් ඇමරිකානු  හෙජමොනි බලයට වැඩි බලයක් නොමැති බව ලොවට පෙන්වමිනි.  ජාත්‍යන්තර අපරාධ අධිකරණයට සම්බාධක පණවන බවට තර්ජනය කිරීම තුළ අරමුණ වී ඇත්තේ සිය බලවාදය අධිකරණ බලය  ඉක්මවූ  විශ්වීය බලයක් දක්වා පැතිරීමට ය. කෙසේවෙතත් ඇමරිකාව සමඟ කෝන්තරයෙන් පසුවූ අපරාධ අධිකරණය ද ප‍්‍රකාශ කර ඇත්තේ අපක්ෂපාතීව කටයුතු කිරීමට අධිකරණය කටයුතු කරන බවයි. යුධ අපරාධ චෝදනාවට ලක්ව සිටින ශ‍්‍රී ලංකාව වැනි කුඩා රටවලට සිදු කළ හැකි එකම කාර්යය නම් දෙපාර්ශවයේ කඹ ඇදිලි උපේක්ෂාවෙන් බලා සිටීම පමණී.

ජාත්‍යන්තරය තුල මේ සතියේ ලෝක අවධානය දිනා ගත්තේ  ‘ෆ්ලෝරන්ස් සුළි කුණාටුව‘ හා ‘මැන්ග්කට් සුළි කුණාටුවයි’. උද්ගත විය හැකි ආපදා තත්වයට ඇමරිකාව සතියේ මුල සිටම සැරසී සිටි අතර නැගෙනහිර ජනපද  වන උතුරු කැරොලිනා, දකුණු කැරොලිනා, වර්ජීනියා,  ජෝර්ජියා  හා වොෂිංටන් ඞී.සී වැනි ප‍්‍රාන්ත වෙත හදිසි තත්වයක් ප‍්‍රකාශ කිරීම සිදුවිය. මිලියන 1.7 ක ජනතාවක් මෙම නැගෙනහිර ප‍්‍රාන්ත වෙතින් ඉවත් කිරීමට ද නිළ නිවේදනය කෙරිණ. මෙම සුළි කුණාටු තත්වය වසර ගණනාවකට පසු හට ගත් තත්වයක් වුව ද මිලියන 5.25  ජනකායක් හරිකේනයට ගොදුරු විය හැකි බිම් සීමාවේ රැඳී සිටියේ  ෆ්ලෝරන්ස් හි සුළං වේගය 4 වන මට්ටමෙන් 2 වන මට්ටම දක්වා අවම ව බවට ප‍්‍රකාශ කරීමත් සමඟය.

මුහුදු රළ මට්ටම මීටර් 25 ක් දක්වා උස් විය හැකි බවත් ඇලබාමා , ටෙනිසී , කෙන්ටකි හා බටහිර වර්ජීනියා වැනි ප‍්‍රාන්ත සඳහා විශාල ගංවතුර තත්වයක් හට ගත හැකි බවත් නිවේදනය කර තිබුණි. කෙසේ වෙතත් අද (14) උදෑසන වන විට  ෆ්ලෝරන්ස් සුළි කුණාටුව දකුණු කැරොලිනාවට ඇතුල් වූයේ පැයට කිලෝ මීටර් 90 ක වේගයෙනි. නිවාස 100 000 ක විදුලි බලය ඇණ හිටවුණු අතර සහන කණ්ඩායම් ඇති විය හැකි ආපදා අවම කරලීමට එහි රැඳී සිටියි.

ඒ අතර ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් ඊයේ (14) නිළ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ පෝටෝ රිකෝහි  හටගත්      මාරියා සුළි කුණාටුවෙන් 3000 ක් මිය ගිය බවට පෝටෝරිකෝ හි ආණ්ඩුකාරවරයා සිදු කළ නිවේදනය සාවද්‍ය බවයි. එම කුණාටුවෙන් මිය ගිය ගණන ඉතා කුඩා සංඛ්‍යාවක් බවත් මෙය තමන් ගේ නම කෙළෙසීමේ අරමුණින් ඩිමොක‍්‍රැටික් පාක්ෂිකයන් විසින් සිදුකළ කුමන්ත‍්‍රණයක් බවට ට‍්‍රම්ප් වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේ ය.

ෆ්ලෝරන්ස් කුණාටු උණුසුම මඳක් යල් පැන ගියේ පිලිපීන් දූපත් කලාපයේ සක‍්‍රීය වූ මැන්ග්කට් සුළි කුණාටුව හේතුවෙනි. මේ වන විට හොංකොං දුපත් හා මැකාවූ දුපත් වෙත ප‍්‍රබල බලපෑමක් එල්ල කර ඇති  මෙම කුණාටුව පිලිපීනයට ඇතුළු වන්නේ 15වන දා ය. සුපර් ටයිෆූනයක් ලෙස 5 වැනි මට්ටමෙන් ආරම්භ වූ මෙම සුළි කුණාටුව පිලිපීනයේ දකුණු දිග කොටස් වෙත දැඩිව බලපෑමක් එල්ල කරනු ඇති බවට ලෝක කාලගුණ සංඟමය ප‍්‍රකාශ කර ඇත.

කෙසේවෙතත් මෙම ආපදා තත්වයෙන් පවා පෙනී ගිය වැදගත් කරුණක් නම් ඇමරිකානු පූර්ව ආපදා  අනතුරු ඇඟවීමේ කලාවේ දියුණුවයි. ආපදා කලමණාකරණයේ සියළුම අවස්ථා නියමාකාරයෙන් අනුගමනය කිරිමක් සිදුවන ෆ්ලෝරන්ස් කුණාටුව අවසන් වන විට දැන ගත හැකි වනුයේ ඉතා කුඩා ප‍්‍රමාණයක මරණ සංඛ්‍යාවක් පමණී. ඊට සාපේක්ෂව දුර්වල ආපදා කළමණාකරණ හේතුවෙන් පිලිපීනයට බලපෑ හැකි සුළි කුණාටුව හරහා ඉතා විශාල මරණ සංඛ්‍යාවක් වාර්තා වනු ඇත. ජාත්‍යන්තර වාර්තා දක්වා ඇති ආකාරයට ජූලි හා අගෝස්තු මාස තුළ අධික මෝසම් වර්ෂාවටත් ගං වතුරටත් හසු වූ මිලියන 10 ක් මෙම සුළි කුණාටුව මඟින් නැවතත් අසරණ වනු ඇති බවකි. කුණාටුව ෙදාරකඩ තිබිය දී ආපදා පැලැස්තර දැමීමේ අහිතකර ප‍්‍රතිඵල ඉක්මණින් පිලිපීනයට දැනෙනු ඇත.

යුරෝපානු පාර්ලිමේන්තුව මඟින් ප‍්‍රථම වරට යුරෝපානු සංඟමයේ රාජ්‍යයකට එරෙහිව ඡන්දයක් පැවැත්වූ ප‍්‍රථම අවස්ථාව වාර්තා වූයේ ද මෙම සතියේ දී ය. ඒ හන්ගේරියානු අගමැති වික්ටර් ඔර්බාන් ගේ රජය විසින් සිදු කරනු ලැබූ විද්‍යුත් මාධ්‍යයන් වෙත බලපෑම් එල්ල කිරීම, නීතියේ පාලනය හා සුළු ජන කොටස් වෙත බලපෑම් සිදු කිරීම වැනි  අහිතකර පියවර හේතුවෙනි. යුරෝපා සංඟමයේ සාමාජික රාජ්‍යයන් විසින්  හන්ගේරියාවට එදිරිව ඡන්දය ප‍්‍රකාශ කළ අතර මෙම චෝදනා ජාතික මට්ටමේ දී ඔප්පු වුවහොත් දඬුවම වන්නේ ඡන්ද අයිතිය අහෝසි කිරීම සිදුවෙයි. හන්ගේරියාවට එල්ල වූ ප‍්‍රධානම චෝදනාවක් වූයේ ආරම්භයේ සිට ‘නීත්‍යනුකූල නොවන සංක‍්‍රමණ‘ සඳහා ප‍්‍රබල විරෝධයක් එල්ල කිරීමයි. එහි දිගුවක් ලෙස රාජ්‍යයක් නොමැති සංක‍්‍රමණිකයින් වෙනුවෙන් පෙනී සිටින නීතීඥයින් හා ක‍්‍රියාකාරීන් හට එරෙහිව නීතියක් හඳුන්වාඳුනි. ඒ ‘නීති විරෝධි සංක‍්‍රමණ‘ සඳහා උදව් දීම යටතේ ය.

ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව ඉන්දියන් රුපියලේ අගය 72.91 දක්වා පහත වැටීම හේතුවෙන් බොරතෙල් ආනයනය වැනි වැදගත් ක්ෂේත‍්‍රයෙන් වැඩි මුදල් ප‍්‍රමාණයක් වැය කිරිමට සිදුවනු ඇතැයි ඉන්දීය ආර්ථික විශේෂඥයන් ප‍්‍රකාශ කර ඇත.  මේ ‘ඉන්දීය රුපියල‘ මෙතරම් ප‍්‍රබලව කඩා වැටුණු ප‍්‍රථම වතාව යි. මේ වන විට ඉන්දීය රුපියල පමණක් නොව ආසියාවේ හා ලතින් ඇමරිකාවේ  ද ඩොලරය මත දෝලනය වන තත්වයක් දක්නට ලැබෙයි.

බ‍්‍රසීල ජනපතිවරණයෙන් බ‍්‍රසීලයේ හිටපු ජනපති ලූලා ද සිල්වා ඉවත් වීමට තීරණය කර ඇත. ඒ 72 හැවිරිදි හිටපු ජනපතිවරයා වසර 12 ක සිර දඩුවමක් සඳහා නියම වීමෙන් අනතුරුව  එය බල රහිත වීමෙනි. මෙම හේතුව නිසා තම පක්ෂයෙන් තරඟ වැදීමට වෙනත් අයෙකුට අවස්ථාව ලබා දිමට ලූලා ද සිල්වා කටයුතු කළේ පාක්ෂිකයන්ගේ ඉල්ලීම නොතකමිනි.

මේ වන විට අපේක්ෂත්වය හිමිව ඇත්තේ ෆර්නැන්ඩෝ හදාද් වන අතර ඔහු මුළු මහත් බ‍්‍රසීලියානුවන් වෙනුවෙන් පෙනී සිටිනු ඇතැයි  ලූලා ද  සිල්වා පාක්ෂිකයන් හට  පවසා සිටියේ ය.  අපේක්ෂක ෆර්නැන්ඩෝ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වූ අතර පසුව එරට අධ්‍යාපන ඇමති බවට ද පත් විය. කෙසේ වෙතත් මීට සති කිහිපයකට පෙර ලූලා ද සිල්වා හට සිටි ප‍්‍රබල විරුද්ධවාදියෙකු වූ ජෙයාර් බොල්සනාරෝ හට එල්ල වූ මාරාන්තික පිහි ඇණුම් හේතුවෙන් ඔහු තවමත්  දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියි.මේ හේතුවෙන් විශාල ජයක් ලැබීමේ අවස්ථාව ෆර්නැන්ඩෝ හදාද් සතුය.

උත්පලා ප‍්‍රබුද්ධිකා

 

 

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.