lakbima.lk

ඉන්දියාවේ සම ලිංගික අයිතිය හා ජපානයේ ස්වභාවික ආපදා

ගෙවී ගිය මෙම සතිය ජාත්‍යන්තරය බොහෝ සිද්ධීන්ගෙන් උණුසුම් විය. සියවස් ගණනාවක් ඉපැරණි බ‍්‍රසීල ජාතික කෞතුකාගාරය සම්පූර්ණයෙන් ගිනිබත් වීම ලතින් ඇමරිකානු කලාපයට පමණක් නොව සමස්ත ලෝකයටම බලපෑමක් එල්ල කෙරුණි. කෞතුකාගාරය නිමවා ඇත්තේ 1818 දී ය. ඒ 6 වැනි ජුආ රජතුමා විසිනි. කෞතුකාගාරය මෙම වර්තමාන ස්ථානයට ස්ථාපිත කරන ලද්දේ 1892 දී ය. මිලියන 20 කට අධික පුරාවස්තු ගින්නට හසුව විනාශව ගියේ ය.  ඒ අතර වසර 12 000 ක් ලූසියා ලෙස  නම් කළ ඉපැරණි මානව හිස් කබල, ඊජිප්තු මානවකෘති, සමනලූන් හා කෘමීන් මිලියන 5 ක එකතුවක් මේ අතර වෙයි. මෙම කෞතුකාගාරය විනාශ වීමෙන් බ‍්‍රසීලයේ  සමස්ත ඉතිහාසය ම විනාශ වූවා යැයි සැළකේ.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් සිරියානු ජනපති බෂර් අල් අසාද් ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළේ යැයි ඇමරිකානු මාධ්‍යවේදියෙකු වූ බොබ් වුඞ්වර්ඞ් විසින් රචිත කෘතියක සඳහන් වීමෙන් ඇමරිකාව තුළ විශාල ආන්දෝලනයක් සිදු විය. ඒ කෘතිය දොරට වැඞීමෙන් අනතුරුව ය. වුඞ්වර්ඞ්ගේ මෙම ප‍්‍රකාශය හෙළා දකිමින් සඳහන් කර ඇත්තේ තමන් කිසි දිනක සිරියානු ජනපත් ඝාතනය සඳහා ආරක්ෂක අංශ වෙත උපදෙස් නොදුන් බවයි. වුඩවර්ඞ් සිය කෘතිය තුළ උතුරු කොරියාව, ඇෆ්ගනිස්ථානය, බදු ප‍්‍රතිසංස්කරණය, පැරිස් ගිවිසුම සම්බන්ධයෙන් ඇමරිකානු ප‍්‍රතිපත්ති ව්ශ්ලේෂණය කර ඇත. කෙසේවෙතත් ට‍්‍රම්ප් පවසා සිටින්නේ වුඞ්වර්ඞ්ගේ කෘතිය තුළ සඳහන්ව ඇති කරුණු සාවද්‍ය බවයි.

ආසියාව උණුසුම් කරමින් ඉන්දියාව සිය සම්ප‍්‍රායිකත්වයෙන් ඔබ්බට ගිය විශේෂ අවස්ථාවක් 06 වැනි දා දක්නට ලැබිණ. ඒ වසර 158 ක් ඉපැරණි බි‍්‍රතාන්‍ය නීතිය තහනම් කරමින් 'සම ලිංගික හා ලිංග සංක‍්‍රාන්තිකයන්ගේ සේවනය' නීත්‍යනුකූල කිරීමයි. ශ්‍රේෂ්ඨාධිකරණ අග  විනිසුරු දීපක් මිස්රා ඇතුළු පංච විනිසුරන් ගේ සභාවක් මෙම තීරණය ලබා දුන්නේ 2013 දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් අධිතීරණය කරමිනි. ඒ අනුව ‘සාපරාධී ක‍්‍රියාවක්‘ ලෙස අර්ථකථනය කළ සමරිසියන්ට මෙතෙක් ලබා දුන් වසර 10 ක සිර දඬුවම ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ය. මෙකී තීන්දුව ලබා දෙමින් දීපක් මිස්රා සඳහන් කළේ මෙතෙක්   ඔවුන්ටත් ඔවුන්ගේ පවුල් වලටත් සිදුවූ අසාධරණයට ඉතිහාසය සමාව ගත යුතු බවයි.

ලෝක දේශපාලනයේ  හා නීතියේ විවිධ උණුසුම්කාරී තත්වයන් සමඟ ඉතා විශාල ආපදා තත්වයක් ජපානයට උද්ගත විය. ඒ ජෙබී ටයිෆූනය ජපානයේ කොබේ ඔසාකා හරහා පැයට කිලෝ මීටර් 218 ක වේගයෙන් හමා යාමත් සමඟයි. තුන් වන වර්ගයට අයත් ටයිෆුනයක් වන ජේබී කුණාටුව වසර 25 කින් අනතුරුව ජපානයට  සිදු වූ දරුණුම සුළි කුණාටුවයි. මෙම ටයිෆූනයෙන් පුද්ගලයන් 11 දෙනෙකු මිය ගිය අතර 600 ක් තුවාල ලබා ඇත. 3000 කට අධික පිරිසක් පැය 18 ක් මුළුල්ලේ කන්සායි ගුවන්තොටුපළ පර්යන්තයේ රැඳී සිටිය හ. ඒ අතර පුද්ගලයන්  දහස් ගණනක් ආපදා ස්ථානයෙන් ඉවත් කර දැමුණි. ලක්ෂ 4 ක නිවෙස්හි විදුලිබලය ඇණ සිටියේ ය.

සැප්තැම්බර් 04 වන දින සිදුවූ ටයිෆුන් කුණාටුව සෙමෙන් පහව යද්දී සැප්තැම්බර් 06 වැනි දා උදෑසන  රික්ටර් මාපකයේ 6.7 ක ප‍්‍රබල භූම්කම්පාවක් සිදුවිය.  එම භූමිකම්පාවෙන් 8 ක් මිය ගොස් 31 ක් අතුරුදහන් වී ඇත. වැඩිම බලපෑම හොකයිඩෝ දූපත් වෙත සිදුව ඇති අතර මිලියන 3 කට අධික නිවාස රැසකට විදුලිබලය ඇණ හිට ඇත. භූමිකම්පාවෙන් පසු ඉතා විශාල මඩ ගැලීම් සිදු වීමෙන් නිවාස 40 ක් විනාශ වී ඇත. නැවත පසුකම්පන ඇති විය හැකි බැවින් සැළකිල්ලෙන් සිටින ලෙසට මහජනතාවට හදිසි නිවේදන නිකුත් කර ඇත. මේ වන විට ෂින්සෝ අබේ විසින් 4000 ක ආරක්ෂක භටයින් යොදවා ඇත. 

 

උත්පලා ප‍්‍රබුද්ධිකා

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.