lakbima.lk

ට්‍රම්ප් දිගට හරහට සම්බාධක පණවයි

සතිය ආරම්භ වූයේ ඇමරිකානු දේශපාලනයේ හිටපු දැවැන්ත දේශපාලන චරිතයක වියෝවක් සමඟිනි. ඒ 1986 දී ඇරිසෝනා ප‍්‍රාන්තය නියෝජනය කළ හිටපු සෙනෙට් සභිකයෙකු හා රිපබ්ලිකන් පාක්ෂිකයෙකු වූ ජෝන් මැකේන් අභාවප‍්‍රාප්ත වීමෙනි. ඔහු  2008 ජනාධිපතිවරණයේ දී බැරක් ඔබාමා ගේ ප‍්‍රතිවාදියා විය. මොහු වියට්නාම් යුද්ධයට ඍජුව සහභාගි වූ යුද හමුදා නිලධාරියෙකි. බෝම්බ හෙලන්නකු ලෙස කටයුතු  කළ ජෝන් මැකේන් තම යානය සතුරු භූමියට පතිත වීමෙන් වියට්නාමයේ වසර 5 ක් මුළුල්ලේ යුධ සිරකරුවෙකු ලෙස ද සිරගතව සිටියේ ය. මොලයේ පිළිකාවෙන් ඔහු පසුගිය (26) වන දා  මිය යන විට 81 වැනි වියේ පසු විය. කෙසේ වෙතත් ඔහුගේ දේශපාලන එදිරිවාදියෙකු වූ ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඔහුගේ අවමංගල්‍යයට සහභාගී නොවීමට තීරණය කිරීමත් ධවල මන්දිරයේ ඇමරිකානු කොඩිය අඩකුඹු නොකිරීමත් යන කරුණු හේතුවෙන් ප‍්‍රබල ජනතා විරෝධයක් ට්‍රම්ප්ට එල්ල වුණි.  ජෝන්  මැකේන්ගේ අවමංගල්‍ය හෙට (01)  දින පැවැත්වීමට නියමිත ය. 

නිරතුරු පුවත් මවනා ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගත් මතභේදකාරී තීන්දු තීරණ රැසක් මෙම සති අගදී ද වාර්තා විය. ඉන් පළමුවැන්න වූයේ උතුරු කොරියාව සමඟ තිබූ සබඳතා අත්හිටුවීමට තීන්දු කිරිමයි. මෙයට  හේතු වූ   මූලිකම හේතුව ලෙස ධවල මන්දිරය වාර්තා කර ඇත්තේ  උතුරු කොරියානු නායකයා එවා ඇති තර්ජනාත්මක ලිපියකි. එම ලිපිය ලැබුණු පසු ට‍්‍රම්ප් ජනාධිපතිවරයා විසින්  උතුරු කොරියාවට එදිරිව සම්බාධක පැනවීමට තීරණය කර ඇත.

ඇමරිකාව ලෝක වෙළද සංවිධානයෙන් ඉවත් වන ලකුණු ද මෙම සති අගදි වාර්තා වීම සුවිශේෂී ය. ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජනාධිපති බ්ලූම්බර්ග් ප‍්‍රවෘත්තා සාකච්ඡාවක් අතරතුරේ දී අනතුරු අඟවමින් ප‍්‍රකාශ කර ඇත්තේ මෙතෙක් ඇමරිකාව වෙත පවත්නා ලෝක වෙළද සංවිධානයේ ප‍්‍රතිපත්ති හා සැලසුම් වෙනස් කිරීමට අපොහොසත් වුව හොත් ලෝක වෙළඳ සංඟමයෙන් වහාම ඉවත් වීමට කටයුතු සංවිධානය කරන බවයි.  මෙයට ප‍්‍රධානතම හේතුව ලෙස සඳහන් වන්නේ චීනය සිදු කළ පැමිණිල්ලකි. පසුගිය ජූලි මාසයේ සිට ඇමරිකාව විසින් චීනයට විරුද්ධව තීරු බදු පැමිණවීම සිදු කිරීම ආරම්භ කිරීමත් සමඟ ඇමරිකාවට විරුද්ධව පැමිණිල්ලක් චීනය ගොණු කිරීම සිදු විය. කෙසේවෙතත් මෙම පැමිණිලි විභාගය සඳහා පත් කරනු ලබන විනිසුරුවන් ගේ නිළවරණය අවහිර කිරීමට ඇමරිකාව සියලූ බලය යොදවමින් සිටින බවට වාර්තා වේ.  

පාප්තුමන් ගේ  දින දෙකක ‘අයර්ලන්ත සංචාරය’ සිදු වූ මෙම සතියේ දි  ඇමරිකාවේ වතිකානු හිටපු තානාපති වූ ද නායක බිෂොප්වරයෙකු වූ  ද කාලෝ මාරියා විගානෝ විසින් පිටු 11කින් සමන්විත  ලේඛනයක් මඟින් පාප් තුමා ඉල්ලා අස් විය යුතු බවට ප‍්‍රකාශ කිරීම හරහා විශාල ආන්දෝලනයක් හට ගැණින. පාප් වහන්සේ විසින් 2013 වන විටත් කාදිනල් තියඩෝර් මැක්කැරික් විසින් සිදු කළා යැයි පවසන දූෂණ චෝදනා පිළිබඳව  නිසි පියවර නොගනිමින් ඔහුට පක්ෂව කි‍්‍රයා කිරීම හරහා වතිකානුවේ කීර්තිය විනාශ කිරීමට සමත්ව ඇති බවට එහි වැඩිදුරටත් සඳහන් වුණි. කෙසේවෙතත් පාප් තුමන් 2015 දී පවා පූජක විද්‍යාල තුළ කාදිනල් මැක්කැරික් සිදු කළා යැයි  කියන දූෂණ චෝදනා ප‍්‍රතික්ෂේප කළ බව ද මාරියෝ විගානෝ පවසා ඇත. කාදිනල් මැක්කැරික් විසින් පාප් තුමන් හට ඉල්ලා  අස්වීමේ ලිපිය භාර දෙන්නේ ජූලි 27 වන දා ය.

කෙසේ වෙතත් අයර්ලන්ත සංචාරයේදී පාප්තුමන් විසින් 1925 ත් 1961 ත් අතර කතෝලික පල්ලියේ අනුග‍්‍රහයෙන් ඝාතනය වූවා යැයි සැලකෙන ‘තුවාම් දරුවන්’ වෙනුවෙන් ප‍්‍රසිද්ධියේ සමාව ගැනීම ජාත්‍යන්තර අවධානයට ලක් වූ අවස්ථාවකි. එංගලන්ත කතෝලික සභාව විසින් පවත්වාගෙන ගියා යැයි සැලකෙන සාත්තු නිවාස 10 න් එකක් වූ අයර්ලන්තයේ ගැල්වේ ප‍්‍රදේශයේ ‘තුවාම් සාත්තු නිවාසය’ තුළ බිළිඳු දරුවන් 796 ක් ඝාතන වීම් හා එහි විසූ අවිවාහක මව්වරුන් දූෂණය කිරීම් සියල්ල පල්ලියේ පූජක වරුන් රැසක් හරහා සිදු වී ඇතැයි හෙළි වන්නේ 2016 ඔක්තෝබරයේදී ය. මෙම සාත්තු නිවස තුළ 35 000 ක් පමණ අවිවාහක මව්වරුන් වාසය කළ බවට එය විමර්ශනය කළ කොමිසම විසින් සොයා ගෙන ඇත. විමර්ශනය අයර්ලන්තයේ සිදුවෙමින්  පවතින අවස්ථාවක කාදිනල් මැක්කැරික් විසින්  වසර 40 ක් තිස්සේ පූජක විද්‍යාල තුළ තරුණ පූජක වරුන්ට සිදු කළා යැයි කියන ලිංගික දූෂණ සම්බන්ධයෙන් බරපතළ විමර්ශන  ආරම්භ කර ඇත.

ගෙවී ගිය සතියේ දී ආසියාව කළඹවමින්  මියන්මාරයේ රාජ්‍ය නායිකා අවුන් සාන් සුකීටත් හමුදා ප‍්‍රධානීන් 5 දෙනෙකුටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පළ කළ විමර්ශන වාර්තාවක් හරහා සමූහ ඝාතන අපරාධ චෝදනාව එල්ල කිරීමක් සිදුවිය. ඒ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ප‍්‍රධානී සයිඞ් රා අද් අල් හුසේන් විසින් ප‍්‍රකාශ කර සිටියේ අවුන් සාන් සුකී තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

රෝහින්ග්‍යා ජනයා කේන්ද්‍ර කරගනිමින් මියන්මාර් බෞද්ධ ජනතාව විවිධ හිංසාවාදී ක‍්‍රියා සිදු කළේ 2012 සිට ය. මියන්මාර් බෞද්ධ ජනතාවට අනුව රෝහින්ග්‍යා යනු බි‍්‍රතාන්‍ය සමයේ දී අනවසරයෙන් පැමිණි බෙංගාලිවරුන් ය. 2017 දී උත්සන්න වූ රක්හිනේ ප‍්‍රාන්තයේ වූ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සඳහා මැදිහත් වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉඩ ලබා දීමක් සිදු නොවිණි. කෙසේවෙතත් අවුන් සාන් සුකී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එල්ල කරන ලද මේ සියලූ චෝදනා ඉවතලා ඇත.  ඒ අතර සමූහ ඝාතන සිදු කළ මියන්මාර් හමුදා නිළධාරීන්ට අයත් යැයි පවසන  ෆේස්බුක් ගිණුම් 52  ක් අත්හිටු වීමට ෆේස්බුක් සමාගම කටයුතු කිරීමක් ද සිදු විය. සමාජ ජාල අඩපණ කිරීමෙන්  හරහා මියන්මාරයට සිදු කරන ලද වෑයම ඇමරිකානු වෛරය පිරිමසාගැනීමක් බවට මියන්මාරය චෝදනා කර සිටියි.

2019 දී නිළ වශයෙන් යුරෝපා සංඟමයෙන් ඉවත් වීමට නියමිත එක්සත් රාජධානිය සිය අප‍්‍රිකානු වෙළඳ සබඳතා තර කිරීමේ අරමුණින් කටයුතු කිරීමක් පෙනී යයි. බි‍්‍රතාන්‍ය අගමැතිනිය තෙරේසා මේ ප‍්‍රථම වරට සිදුකරන මෙම සංචාරය මූලික වශයෙන් දකුණු අප‍්‍රිකාව නයිජීරියාව හා කෙන්යාව යන රටවල් අතර සිදු කිරීමට නියමිත ය. 2020 වන විට  අප‍්‍රිකානු මහද්වීපයේ විශාලතම ආයෝජකයා වීමේ  අභිලාෂය බි‍්‍රතාන්‍යයින් සතුවන බව පෙනී යයි.

සමස්ත ලතින් ඇමරිකානු කලාපය තුළ මේ වන විටත් පවතින්නේ ඉහළ උද්ධමන තත්වයකි. පසුගිය සති කිහිපය තුළ වෙනිසියුලාවෙන් ආරම්භ වූ ඉහළ උද්ධමන තත්වයට සමාන තත්වයක් මේ වන විට පැතිරී ඇත්තේ ආර්ජන්ටිනාව තුළ ය. එහි භාවිත වන මුදල් ඒකකය වන පෙසෝ හි අගය ඇමරිකාවේ ඩොලරයට සාපේක්ෂව 40% කින් පහත බැසීමෙන් විශාල ආර්ථික  බිඳ වැටීමකට ආර්ජන්ටිනාව මුහුණ පාමින් සිටින බවට පසුගිය දා අනතුරු ඇඟවීමක් සිදු කෙරිණි. ඒ අනුව ආර්ජන්ටිනා ජනපති මොරීෂියෝ මැක‍්‍රි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් බිලියන 5 ක මුදලක් ලබා දෙන මෙන් ඉල්ලීමක් කර ඇත. කෙසේ වෙතත් 2001 දී ලබා ගත්තාක් මෙන්  නැවත ජාත්‍යන්තර ණය මුදලක් ඉල්ලීම සම්බන්ධයෙන් එරට විරුද්ධ පක්ෂය සිය විරෝධය ප‍්‍රකාශ කර සිටියි.

 

උත්පලා ප‍්‍රබුද්ධිකා

                                                                                                                                                                                                                                                                                                                                                                                                  

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.