lakbima.lk

සති අග ජාත්‍යන්තර පුවත් විමසුම

‘ඕස්ටේ‍්‍රලියානු අගමැති ධූර අර්බුදය‘ හේතුවෙන් මුළු ලොවෙහි ම අවධානය මේ සතිය මුළුල්ලේ ම පැසිෆික් කලාපය වෙත යොමු විය.  ඕස්ටේ‍්‍රලියානු අගමැති මැල්කම් ටර්න්බුල්ගේ  ධූරයට එල්ල වෙමින් පවතින දේශපාලන තර්ජන විසඳන තෙක් පාර්ලිමේන්තුව කල් තැබීමට ඊයේ (23) තීරණය විය. ඒ අනුව අද (24) දා පැවති ‘රහස් ඡන්ද  විමසුම‘ සඳහා ජූලි ගිලාඞ්, පීටර් ඩටන් හා ස්කොට් මොරිසන් සහභාගී  විය. පළමු ඡන්ද විමසුමෙන් පසු ජූලි ගිලාඞ් අපේක්ෂක තරඟයෙන් ඉවත් වූ අතර පීටර් ඩටන් හා ස්කොට් මොරිසන් අතර පැවති ඡන්දයෙන් 45 ට 40 ක් ලෙස ජයගැනීමට ස්කොට් මොරිසන් හට හැකි විය.

මෑතක සිට පක්ෂ සාමාජිකයන් බහුතරයක් ටර්න්බුල් ධූරයෙන් පහ කිරීමට කටයුතු සම්පාදනය කරමින් සිටි බව රහසක් නොවිණි. ගෙවී ගිය සතිය තුළ කැන්බරා පක්ෂ මූලස්ථානය තුළ පළමුවරට උණුසුම් දේශපාලන වාතාවරණයක්  උත්සන්න වූයේ ලිබරල් පක්ෂයේ ම ස්වදේශ ඇමති වූ පීටර් ඩටන් හා අගමැති ටර්න්බුල් සමඟ පසුගිය (21) වන දා සිදු වූ නායකත්ව විමසුම්  ඡන්දයෙනි.  එහි දී  48 ට 35 ක් ලෙස යන්තම් ඡන්දය ජය ගැනීමට  අගමැති ටර්න්බුල් හැකි විය. එම ඡන්ද විමසුමෙන් අනතුරුව ස්වදේශ ඇමති පීටර් ඩටන් එම ධූරයෙන් ඉල්ලා අස් වූ අතර  ඒ  සමඟින් ඇමති මණ්ඩලයේ එක් ඇමතිවරයෙක් ද සිය ඉල්ලා අස් වීම ප‍්‍රකාශ කළේ ය. එය අනුගමනය කරමින් ඇමතිවරුන් 10 දෙනෙකු ද ඉල්ලා අස් වීම සඳහා සිය ලිපි භාර දීම (22) වන දා ම සිදුවීම අගමැති ටර්න්බුල් ගේ ධූර කාලය ඉක්මණින් අවසන් වීමට විශාල ‍හේතුවක් විය .

ඒ අනුව පෙර හිටපු අගමැතිවරුන් මෙන් මැල්කම් ටර්න්බුල් හට ද සිය පාලන සමය වසර 3 කින්  සීමා කර ගැනීමට සිදුවිය. 2013 දී ලිබරල් පක්ෂයෙන් අගමැති වූ ටෝනි ඇබට් 2015 වන විට අගමැති ධූරයෙන් සමුගන්නේ ඔහු අනුගමනය කළ ඇතැම් ප‍්‍රතිපත්ති ඔහුගේ ජනප‍්‍රිය භාවයට ගිලිහීමට හේතු වූ බැවිනි. ඒ අනුව එදා ඇබට් හට ලිබරල් පක්ෂයේ ම  මැල්කම් ටර්න්බුල්  ඔහු පරයා නැඟී සිටි අතර අද වන විට ටර්න්බුල් ගේ ධූරයට අභියෝග කරමින් ස්කොට් මොරිසන් පැන නැඟී සිටියේ ය. මහා බි‍්‍රතාන්‍ය සම්ප‍්‍රදාය අනුගමනය කරනා  ඕස්ටේ‍්‍රලියාව ද අගමැති ධූරයට යම් අභියෝගයක් එල්ල වූ විට ඉල්ලා අස් වීම හෝ රහස් ඡන්ද විමසුමක් පැවැත්වීමෙන් ධූරයේ පුරප්පාඩු පිරවීම සිදු කරයි.

 ඕස්ටේ‍්‍රලියානු අගමැති ධූරයෙන් ලෝකය උණුසුම් වන අතර පකිස්ථානයේ නව අගමැති ලෙස දිවරුම් දුන් ඉම්රාන් ඛාන් ගේ රජය ද පුවත් මවන්නක් බවට පත්විය. ඉකුත් (23)  දා  ප‍්‍රකාශයක් නිකුත් කරමින්  කියා සිටියේ රාජ්‍ය මාධ්‍යයන් වන ‘පකිස්ථාන් ටීවී‘ හා ‘රේඩියෝ පකිස්ථාන්‘ යන මාධ්‍යායතන වෙත මෙතෙක් පැවති වාරණ ඉවත් කරන බවයි. වෙනස්ම දේශපාලන මාර්ගයක අවතීර්ණව සිටි පකිස්ථානය මෙවන් තීරණ ගැනීම රටේ අනාගතය සුබ වන බවට මත පළ වේ. දිව්රුම්  දීමෙන් අනතුරුව ඇමති මණ්ඩලයේ ප‍්‍රමාණය අවම කිරීමට කටයුතු සම්පාදනය කරනා බවට පවසා සිටීමත් ඉන්දියාව සමඟ කාශ්මීර ගැටලූව විසඳා ගැනීමට කටයුතු කරනා බව පැවසීමෙනුත් පකිස්තානයේ ඉම්රාන් ගේ නව රජය පැවති රජයන්ට සාපේක්ෂව වෙනස් වන බවට අනුමාන කළ හැක.

ඒ අතර වෙනිසියුලාව තුළ පවතින ‘ආර්ථික උද්ධමන තත්වය‘ තවදුරටත් වර්ධනය වීමෙන් කාලයක් මුළුල්ලේ එරටින් සිදු වූ  ‘අනවසර සංක‍්‍රමණික තත්වය‘ සමස්ත ලතින් ඇමරිකානු කලාපිය තලයේ ම පැතිරී යෑම ආරම්භ විය. එයට මූලික හේතු ලෙස වෙනිසියුලානු බොර තෙල් සඳහා ඇමරිකානු සම්බාධක පැනවීම, තෙල් මිල සීඝ‍්‍රයෙන් පහත ගොස් තෙල් නිෂ්පාදනය කඩා වැටීම හා  රජයේ මුදල් ප‍්‍රතිපත්ති නිසි ලෙස පාලනය නොවීම ප‍්‍රමුඛ ය. එමෙන්ම නිකොලායි මදුරෝ විසින් ජනවාරියේ හඳුන්වා දුන්  කි‍්‍රප්ටෝකරන්සි වර්ගයට අයත් ‘පෙට්රෝ‘ නම් විද්‍යුත් මුදල් ඒකකය ජනතාව නොපිළිගැනීම ද මෙයට  හේතු වූ බවට වාර්තා පළ වේ.  එහිම දිගුවක් වූ ‘ස්වාධීන බොලිවාර්‘ (Sovereign Bolivar) නම් නව මුදල් ඒකකය  පසුගිය (23) වන දා හඳුන්වාදීමෙන් එරටේ උද්ධමන තත්වය තවත් උත්සන්න විය. 

කෙසේ වෙතත් මේ වන විට එහි අතුරු ප‍්‍රතිඵල හට ගැනී ඇති අතර කිලෝ දෙක හමාරක්  බර කුකුළෙකු අගය  බොලිවාර් 14 600 000ක් වන අතර එම මුදල ඩොලර් 2.22 ක මුදලකට සමාන ය. ඒ අනුව වෙනිසියුලන් බොලිවාර් එකක අගය ඩොලර් 0.0000040 වේ. මෙලෙස ජීවන මිල ඉහළ යාමත් ක‍්‍රය ශක්තිය අවම වීමත් සමඟ අවට රටවල් වෙත වන අනවසර සංක‍්‍රමණ ප‍්‍රමාණය අධික වී ඇත. මේ වන විටත් මිලියන 1 කට අධික පිරිසක් කොලොම්බියාවටත් ලක්ෂ 5කට අධික ප‍්‍රමාණයක් ඉක්වදෝරයටත් ලක්ෂ 4කට අධික ප‍්‍ර‍්‍රමාණයක් පීරූ රාජ්‍යයටත් අනවසරයෙන්  ඇතුල් වී ඇත. එක්සත් ජාතීන්ගේ සරණාගතයින් ගේ  සංඟමය විසින් ප‍්‍රකාශ කර සිටියේ ‘මෙම සංක‍්‍රමණය ලතින් ඇමරිකානු කලාපයේ මෑතකදී සිදුවූ විශාලතම ජන සංක‍්‍රමණය‘  වන බවයි.

උත්පලා ප‍්‍රබුද්ධිකා

 

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.