lakbima.lk

වෙනිසියුලාව යනු වර්ග කිලෝමීටර් 916,445 ක් පුරා විහිදුණු ඛනිජ තෙල් සම්පත්වලින් බහුල දකුණු ඇමෙරිකානු මහද්වීපයේ උතුරු කොටසට වන්නට පිහිටි රාජ්‍යයකි. 1522 වසරේ දී ස්පාඤ්ඤය විසින් ස්වදේශික ජනතාව මරා දමමින් ඉතා කෲර ලෙස වෙනිසියුලාව යටත් විජිතයක් බවට පත් කරගන්නා ලදී. අද ද ස්පාඤ්ඤ භාෂාව, ස්පාඤ්ඤ සංස්කෘතිය එහි ප‍්‍රමුඛස්ථානයේ පවතිනු දැකගත හැක.

වෙනිසියුලාව සම්බන්ධයෙන් මෑත ඉතිහාසයේ වැඩිම සාකච්ඡුාවක් ඇති වූයේ එහි සිදුවූ දේශපාලනික පෙරළි හේතුවෙනි. විශේෂයෙන් හියුගෝ චාවේස් යටතේ වෙනිසියුලාව ප‍්‍රබල ලතින් ඇමෙරිකානු වාමාංශික බළකඳවුරක් බවට පත් වූ අතර චාවේස්ගේ නායකත්වය යටතේ බොලීවියාව ඇතුළු රටවල් දායක කර ගනිමින් ඇමෙරිකා විරෝධී බළකඳවුරක් නිර්මාණය කිරීම ද සිදු විය. 1999 වසරේදී හියුගෝ චාවේස් විසින් නව ව්‍යවස්ථාවක් බිහිකර ගනිමින් අධිරාජ්‍ය විරෝධී වැඩපිළිවෙළක් ගෙන ගිය අතර විශේෂයෙන් රටේ ඛනිජ තෙල් සම්පත ජනසතු කෙරිණ.

හියුගෝ චාවේස් පිළිකා රෝගයකට ගොදුරු වී අකාලයේ මියයෑමෙන් පසු ඔහුගේ අනුප‍්‍රාප්තිකයා ලෙස පත්වූයේ නිකලොස් මධුරෝය. මධුරෝට චාවේස් මෙන් ජනප‍්‍රිය නායකයෙකු වීමට නොහැකි විය. ඔහුගේ සමස්ත පාලන කාලයම හැළ හැප්පීම්වලින් ගහන වී තිබේ.

මේ අතර වෙනිසියුලාව තුළ රෙජීම මාරුවක් සඳහාද ඇමෙරිකා සහයෝගය හිමි වෙමින් පවතී. ඇමෙරිකා එක්සත් ජනපදය සහ තවත් රටවල් 20ක් ප‍්‍රකාශ කර ඇත්තේ වෙනිසියුලාවේ විපක්ෂ නායක ජුවාන් ගුවයිදෝ අන්තර්වාර ජනාධිපතිවරයා වශයෙන් පිළිගත යුතු බවයි. ඒ අනුව නිකලොස් මධුරෝ සහ ඔහුගේ හිතවතුන් බලයෙන් ඉවත් විය යුතු බව ඇමෙරිකා එක්සත් ජනපදය අවධාරණය කර තිබේ. පසුගිය  සතිය වන විට මධුරෝ පාලනයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය උපායමාර්ගික වැඩසටහන් ක‍්‍රියාත්මක කරන ආකාරය දැක ගැනීමට ලැබිණ. එහිදී PDVSA නම් වෙනිසියුලා රජයට අයත් ඛනිජ තෙල් ආයතනයට එරෙහිව පනවා ඇති ඇමෙරිකා සම්බාධකය ප‍්‍රධාන වේ.

මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදය වෙනිසියුලාවෙන් තෙල් මිලදී ගැනීම සම්පූර්ණයෙන් නවතා ඇති අතර එය වෙනිසියුලාවට එල්ල වූ මරු පහරක් වී තිබේ. ඊට ප‍්‍රධාන හේතුව නම් වෙනිසියුලාවේ තෙල් ආදායමෙන් සියයට 41ක ලැබෙන්නේ ඇමෙරිකාවට කරන අපනයනවලින් වීමය. ඇමෙරිකා එක්සත් ජනපදයට ඛනිජ තෙල් අපනයනය කරන ප‍්‍රධාන රටවල් 4 අතර වෙනිසියුලාව ද සිටී. නිකලොස් මධුරෝ පවසා ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය ගෙන ඇති මෙම ක‍්‍රියාමාර්ගයට එරෙහිව අන්තර්ජාතික අධිකරණවලදී නීත්‍යනුකූල ක‍්‍රියාමාර්ග ගැනීමට වෙනිසියුලාව සූදානම් බවයි.

ඇමෙරිකා එක්සත් ජනපදය පනවා ඇති සම්බාධකයට අනුව කිසිදු ඇමෙරිකානු පුරවැසියෙකුට වෙනිසියුලාව සමග ගනුදෙනු කිරීමට නොහැකි වනු ඇත. කෙසේවෙතත්, රුසියාව, චීනය, මෙක්සිකෝ සහ තුර්කිය වෙනිසියුලාවට සහයෝගය පළ කර තිබේ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල  රැස්වීමේදී රුසියාව දැඩි ලෙස ඇමෙරිකාවට දෝෂාරෝපණය කර ඇත. එ් ඇමෙරිකා එක්සත් ජනපදය වෙනිසියුලාවේ ආණ්ඩු පෙරළීමේ දැවැන්ත කුමන්ත‍්‍රණයක නිරත වන බවට චෝදනා කරමිනි.

රුසියාව මේ සිද්ධිය සම්බන්ධයෙන් මැදිහත් වීම නව භූදේශපාලනික යුද්ධයකට මුලපිරීමක් බව විචාරකයන්ගේ අදහසයි. කෙසේවෙතත්, රුසියාව පවසා ඇත්තේ නිකලොස් මධුරෝ වෙනිසියුලාවේ නීත්‍යනුකූල නායකයා වශයෙන් තමන් පිළිගන්නා නමුත් ඔහුගේ ආණ්ඩුවට මූල්‍ය හෝ හමුදා ආධාර ලබාදීම සම්බන්ධයෙන් තවමත් කිසිවක් සාකච්ඡුා කර නොමැති බවට චෝදනා කරමිනි.

නිකලොස් මධුරෝ බලයට පැමිණෙන්නේ ඔහුගේ පූර්වගාමියා වූ හියුගෝ චාවේස් හදිසියේ අභාවප‍්‍රාප්ත වීමෙන් පසුව 2013 වසරේ දී පැවැති මැතිවරණයෙනි. ඔහු දෙවැනි වාරය සඳහා මැතිවරණයට ඉදිරිපත් වන්නේ 2018 වසරේ මැයි මාසයේදීය. එහිදී ඔහුගේ ප‍්‍රතිවාදීන් කිහිපදෙනෙකුට ඡුන්දයට ඉදිරිපත්වීම් තහනම් කෙරුණු බවටත් ඇතැම් ප‍්‍රතිවාදීන් සිරගත කෙරුණු බවටත් මධුරෝට චෝදනා එල්ල විණ. විපක්ෂ සඳහන් කළේ ඡන්දය නිදහස් හා සාධාරණ නොවන බැවින් තමන් මධුරෝ ජනාධිපතිවරයා ලෙස නොපිළිගන්නා බවයි.

පසුගිය වසරේ මැයි මාසයේ දී මැතිවරණයෙන් ජයග‍්‍රහණය කිරීමෙන් පසු මධුරෝ කියා සිටියේ තමන්ගේ මුල් කාලසීමාවට අදාළ ධුර කාලය ගෙවීමන් පසු ජනවාරි මස 10 වැනිදා දෙවැනි ධුර කාලය සඳහා දිවුරුම් දෙන බවයි. කෙසේවෙතත් එරට පාර්ලිමේන්තුවේ බහුතරය පවතින්නේ විපක්ෂයටයි. වෙනිසියුලා ව්‍යවස්ථාවේ 233 සහ 333 වගන්ති උපුටා දක්වමින් විපක්ෂ නායක ජුවාන් ගුවයිදෝ තමන් ජනාධිපතිවරයා බවට ජනවාරි මස 23 වැනිදා ප‍්‍රකාශයට පත් කිරීමෙන් නව අර්බුදය නිර්මාණය විය. පසුව ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් ගණනාවක් ගුවයිදෝගේ තනතුර පිළිගත් අතර ඊට ප‍්‍රතිචාර ලෙස නිකලොස් මධුරෝ සිදුකළේ ඇමෙරිකා රාජ්‍ය තාන්ත‍්‍රිකයන්ට වෙනිසියුලාවෙන් පැය 72ක කාලයක් තුළ පිටවන ලෙස නියෝග කිරීමයි.

මධුරෝ කියා සිටියේ දීර්ඝ කාලයක් මුළුල්ලේ ඇමෙරිකා එක්සත් ජනපදය තමන් බලයෙන් නෙරපා දැමීම සඳහා කුමන්ත‍්‍රණයක නිරත වෙමින් සිටින බවයි. බිල් මැක්ලෝග්ලින් වැනි විචාරකයන් පවසන පරිදි වෙනිසියුලා ප‍්‍රශ්නයට තුන්වැනි ලෝක යුද්ධයකට අත වැනීමක් වීමටද හැකිය. සිරියාව තුළ ඇමෙරිකා එක්සත් ජනපදය සහ රුසියාව අතර පවතින කඹ ඇඳීම ඉතා දරුණු ඛේදයක් ලෝකය වෙත බිහි කර ඇති බව බොහෝදෙනෙකු දන්නා දෙයකි. රුසියාව මෙන්ම ඉරානය ද වෙනිසියුලා පාර්ශ්වය වෙනුවෙන් කඳවුරු බැඳ ගනිමින් සිටීම කුමන ආකාරයේ අනාගත ප‍්‍රතිඵලයක් ගෙනදේ ද යන්න අවිනිශ්චිතය. කෙසේ වෙතත්, තෙල් පසුපස ඉව කරමින් යන ඇමෙරිකා දේශපාලනයට වෙනිසියුලාව යනු නිම කළ නොහැකි සම්පතකි.

ලෝකයේ සහතික කරන ලද ඛනිජ තෙල් සම්පත්වලින් වැඩිම සංචිත ප‍්‍රමාණයක් (Worlds largest proven oil reserve) ඇත්තේ වෙනිසියුලාවේය. දැනට ගණන් බලා ඇති පරිදි ඒ ඛනිජ තෙල් බැරල බිලියන 296.5කි. මෙය ලෝකයේ සහතික කරන ලද ඛනිජ තෙල් සම්පත්වලින් පහෙන් එකකි. වෙනත් කිසිදු රටක් මේ තරම් සම්පතකට උරුමකම් කියන්නේ නැත. ඉරාකයට, ලිබියාවට සහ තවත් ඛනිජ තෙල් සම්පත් ගහන රටවලට ඇමෙරිකාව තැබූ අත වෙනිසියුලාවට නොතබාවි යැයි කාට හෝ කිව නොහැකිය.

රුසියාව විසින් පසුගිය මාසයේදී ප‍්‍රදර්ශනාත්මක ලෙස ගුවන් හමුදා බළඇණියක් වෙනිසියුලාවට යැවූ අතර එය අවශ්‍ය  ඕනෑම වෙලාවකදී හමුදා බලය සැපයීමට තමන් සූදානම් බව සංකේතීය ලෙස ප‍්‍රකාශ කිරීමක්  ලෙස සැලකිය හැකිය. රුසියාවේ අතුරු හමුදාවක් වාග්නර් ගෲප් නම් සංවිධානයේ නියෝජිතයන් මධුරෝගේ ආරක්ෂාව සඳහා යොමු කර ඇති බවටද වාර්තා පළ වී තිබේ. මේ අනුව වෙනිසියුලානු ප‍්‍රශ්නය තෙල්, මුදල් සහ හමුදා බලය අතර දෝලනය වන පහසුවෙන් විසඳා ගැනීමට හැකි වෙතැයි අපේක්ෂා කළ නොහැකි ගැටලූ‍වකි.

දර්ශන අශෝක කුමාර

Page 1 of 7

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.