lakbima.lk

පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරමින් තම බහුතරය නියමාකාරයෙන් පෙන්වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතික පෙරමුණ ඇතුළු පක්ෂ නායකයින් හමුවේ ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතා හා එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු දේශපාලන පක්ෂ සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවු අවස්ථාවේදි ඔහු මේ බව පවසා ඇත. පැය දෙකක පමණ දිර්ඝ කාලයක් පැවැති මෙම සාකච්ඡාවේදී රටේ පවතින දේශපාලන තත්ත්වය පුළුල් ලෙස සාකච්ඡාවට බදුන් වී ඇත.
එහිදි පාර්ලිමේන්තුවේ බහුතරය තමන් සතු වන බව ප්‍රකාශ කළ එම පක්ෂ නායක කණ්ඩායම එය පිළිගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි අතර තමන් සැම විටම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන බවත් ඊට ගරු කරන බවත් ජනාධිපතිවරයා අවධාරනය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
පාර්ලිමේන්තුවට 14 දා ඉදිරිපත් කළ යෝජනාවේ අංක 1 වගන්තිය ඉවත් කිරිම සහ යළි අද (16) දිනයේදි එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිම පිළිබඳවත් මෙහිදි අවධානය යොමු වූ අතර ඡන්ද විමසිම මන්ත්‍රීවරුන්ගේ නමින් සිදුකරන ලෙස ජනාධිපතිවරයා නියෝජිත පිරිසගෙන් ඉල්ලා තිබේ.
ඊට අනුව පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්නැයි ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ව්‍යවස්ථානුකූලව කටයුතු කළ හැකි බව නියෝජිත පිරිසට දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
එසේම පාර්ලිමේන්තුව තුළ සාමය තහවුරු කරමින් ප්‍රජාතන්ත්‍රවාදය සහ ස්ථාවර නියෝගවලට අනුව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලිමක් ද කර තිබේ.

පානුක රාජපක්ෂ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.