lakbima.lk

විදුලිබල ඇමැති රවි කරුණානායක ගිය සතියේ මාධ්‍ය ඉදිරියේ කියාපෑවේ කිසිදු හේතුවක් නිසා ලයිට් නොකපන බවය. එහෙත් ඒ වන විටත් විදුලිබල මණ්ඩලය හොරෙන් ලයිට් කපමින් සිටි බව රටුන්ට රහසක් නොවීය. ඔවුන්ට තිබූ ප්‍රශ්නය වූයේ නොදන්වා ලයිට් කැපීමය.

කොණ්ඩේ කපන්න ගිය සමහරු ආපසු ආවේ කොන්ඩයේ පැත්තක් පමණක් කපාගෙනය. ඉතිරි පැත්ත කපන්නට ලයිට් ආපසු එන ලෙස කරණවෑමියෝ කීහ. කුස්සියේ රයිස් කුකරයේ ඉදෙමින් තිබූ බත ලයිට් නැතිව ඇට්ටකුනා විය. ඇඳුම් මදිමින් සිටි වැඩට යන්න උදේ ඇහැරුණු සේවක සේවිකාවෝ වැටුණේ අලි අමාරුවකය. සමහරු ‍පොඩි වී ඇති ඇඳුම් ඇඳගෙන වැඩට යාමට නොහැකි බව කීහ. තවත් පිරිසක් ඩෙනිම් ටී ෂර්ට් ඇඳගෙන වැඩට ගියෝය.

විදුලියෙන් වැඩකරන මැෂින්වලින් ස්වයං රැකියා කරමින් සිටි සේවකයෝද විදුලි කැපිල්ලෙන් අසරණ වූහ. හෝටල්වල තිබූ අයිස්ක්‍රීම්, මස් නරක්වන්නට පටන් ගත්තේය.

දිනකට පැය 4 බැගින් විදුලිය කප්පාදු කිරීම ආරම්භ කොට මේ වන විට දින 7ක් ගතවී ඇත. විදුලි අර්බුදය සෑම වසරකම පෙබරවාරි මාර්තු හා අප්‍රේල් යන මාසවලදී මතුවෙයි. ඊට හේතුව එම කාලයේ පවතින වියළි කාලගුණය හේතුවෙන් බලාගාර ආශ්‍රිත ජලාශවල ජලමට්ටම පහත වැටීමයි.

සාමාන්‍යයෙන් ජල විදුලි බලාගාරවලින් රටේ ෙදෙනික අවශ්‍යතාවෙන් 40%ක පමණ ප්‍රමාණයක් විදුලිය උත්පාදනය කෙරේ. වියළි කාලගුණයක් ඇතිවී ජල මට්ටම පහළ ගිය විට එය සියයට 10% දක්වා අඩුවේ. එයත් සමග විදුලි අර්බුදය මතු වෙයි. ඒ අනුව හැමදාමත් ආණ්ඩුව කරන්නේ විදුලිය කප්පාදුව හෝ පෞද්ගලික බලාගාරවලින් වැඩි මිලට විදුලිය මිලදී ගෙන පැළැස්තර ඇලවීමය.

විදුලි අර්බුදයට මූලික හේතුව වන්නේ නිසි කලට විදුලි බලාගාර ඉදි නොවීමය. නොරොච්චෝ‍ලේ ගල් අඟුරු විදුලි බලාගාරය ඉදි කිරීමෙන් පසුව මේ දක්වා කිසිදු විදුලි බලාගාරයක් ඉදිකොට නොමැත. නොරොච්චෝ‍ලේ මෙගවොට් 300 බැගින් ජනන යන්ත්‍ර 3ක් පවතින, මෙගවොට් 900ක විදුලි බලාගාරයකි. මෙවර විදුලි අර්බුදය මතු වන්නේ හේතු කාරණා තුනක් මුල් කර ගනිමිනි.

ඉන් ප්‍රධානතම කාරණය වන්නේ නිසිකලට අඩු වියදම් බලාගාර ඉදිනොවීමය. අනෙක් කරුණ වන්නේ නොරොච්චෝ‍ලේ විදුලි බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රිය වී විදුලි බලාගාරයේ කටයුතු බිඳවැටීමය. තුන්වන කරුණ නම් හදිසි විදුලි මිලදී ගැනීම් සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉවත් කර ගැනීමය. හදිසි මිලදී ගැනීම් කැබිනට් පත්‍රිකාව ඉවත් කර ගන්නේ ටෙන්ඩර් කැඳවීමකින් තොරව එය ඉදිරිපත් කිරීම නිසා ඊට ඇමැතිවරු දැක්වූ විරෝධතාවය.

අර්බුදය දුරදිග ගියේ දිනකට දිවා කාලයේ පැය 3ක් සහ සවස් කාලයේ පැයක් ලෙස කලාප 4කට බෙදා වෙන් කොට විදුලිය කප්පාදු කිරීමත් සමගය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇමැති මණ්ඩලයේදී මේ ගැටලුවට විසඳුම් සෙවීමට ඇමැතිවරුන් 4 දෙනෙකුගෙන් යුතු කමිටුවක්ද පත් කළේය. විදුලි බල හා බලශක්ති ඇමැති රවි කරුණානායක ප්‍රධානත්වයෙන් යුතු කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස කබිර් හෂිම්, දයා ගමගේ හා ආචාර්ය හර්ෂ ද සිල්වා යන ඇමැතිවරුන් පත් කර ඇත.

කෙසේ නමුදු ජල විදුලි උත්පාදනය ගත් කළ මේ වන විට එය 10% දක්වා පහත බැස තිබේ. විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ඉහළ නැංවීම වෙනුවෙන් කෘත්‍රිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතියක් අමාත්‍යාංශය හා එක්ව විදුලි බල මණ්ඩලය ආරම්භ කළ අතර පළමු පියවර ලෙස කාසල්රී ජලාශය අවට ඉහළ අහසේ වලාකුළු ඝනීබවනය කොට කත්‍රිම වැසි ඇති කළේය. විනාඩි 45ක කාලයක් එම වැසි පැවතුණද එය ප්‍රමාණවත් නොවූවේ ඊට වඩා වලාකුළු එම ප්‍රදේශයේ නොවීම නිසාය.

කාසල්රි ජලාශයේ ජල මට්ටම මේ වන විට 9% දක්වා පහත බැස ඇති බැවින් එහි වර්තමාන විදුලි උත්පාදනය මෙගාවොට් 165 කට සීමා වී තිබේ. එහි සාමාන්‍ය විදුලි උත්පාදනය මෙගාවොට් 378ක් පමණවේ. සමනලවැව ජලාශයේ ජලධාරිතාව 17% දක්වා පහත බැස ඇත. එම නිසා එහි වර්තමාන විදුලි උත්පාදනය මෙගාවොට් 40කට සිමා වී ඇත. ජලය පවතින අවස්ථාවේ එහි සාමාන්‍ය විදුලි උත්පාදනය මෙගාවොට් 120 කි.

කොත්ම‍ලේ ජලාශයේ ජලධාරිතාව 31% දක්වා පහත බැසීම හේතුවෙන් එහි විදුලිය නිෂ්පාදනය මේ වන විට අත්හිටුවා ඇත. සාමාන්‍යයෙන් එහි විදුලිය උත්පාදනය මෙගාවොට් 200කි. ඉහළ කොත්ම‍ලේ ජලාශයේ ජල මට්ටමද පහත බැස ඇති අතර එහි විදුලි උත්පාදනය මෙගාවොට් 50 දක්වා පහත බැස තිබේ. එහි සාමාන්‍ය විදුලි උත්පාදනය මෙගාවොට් 150කි.

වික්ටෝරියා ජලාශයේ ජලධාරිතාවද 35% දක්වා පහත බැස ඇති අතර  එහි විදුලි උත්පාදනයද මෙගාවොට් 45 දක්වා පහත බැස ඇත. එහි සාමාන්‍ය විදුලි උත්පාදනය මෙගාවොට් 200 ක් පමණ වේ. රන්දෙණිගල ජලාශයේ ජලධාරිතාව 88%කින් පහත බැස එහි වර්තමාන විදුලි උත්පාදනයද රාත්‍රී කාලයට පමණක් සීමා වී ඇත.

රන්ටැඹේ, උකුවෙල, කුකුළේ ගඟද විදුලි උත්පාදනය රාත්‍රියට පමණක් සීමා කොට තිබේ. එම ජලාශයන්හි ජල මට්ටමද 30%කින් පහත බැස තිබේ. ඉඟිිනියාගල ජලාශයේද ජල මට්ටම පහත බැසීම හේතුවෙන් විදුලිය නිෂ්පාදනය අත්හිටුවා ඇත. පවතින තත්ත්වයත් සමග වර්ෂාව අප්‍රේල් මාසයේ අගදී ඇති වනු ඇතැයි විදුලි බල මණ්ඩලය අපේක්ෂා කරයි. එය නොලදහොත් අර්බුදය තවත් උග්‍රවනු ඇත.

එම නිසා සැබෑ අර්බුදය පවතින්නේ කොතනද යන්න ප්‍රබලම ගැටලුවක් වන්නේ අදාළ පාර්ශ්ව එකිනෙකාට ඇඟිල්ල දිගු කර ගැනීම නිසාය.

පවතින තත්ත්වයට විදුලි බල අමාත්‍යාංශය මෙන්ම විදුලිබල මණ්ඩලයේ නිලධාරින්ද වගකිව යුතු බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ‍ලේකම් රන්ජන් ජයලාල් ලක්බිම ඉරිදා පත්‍රයට පැවැසීය. විදුලි අර්බුදය සම්පුර්ණයෙන්ම ව්‍යාපාරයක් බවද ඔහු පෙන්වා දෙන්නේය. ඒ බව ඔප්පු වන්නේ ඉකුත් බ්‍රහස්පතින්දා සවස පෞද්ගලික බලාගාර 3 කින් වැඩි මිලට විදුලි ඒකකයක් මිලදී ගැනීමට අදාළ ගිවිසුම් අත්සන් කිරීමෙන් බවද රන්ජන් ජයලාල් පෙන්වා දුන්නේය.

රුපියල් 25 ත් 45 ත් අතර මිල ගණන් යටතේ විදුලි ඒකකයක් මිලදී ගැනීම සඳහා මෙම පෞද්ගලික බලාගාර තුනෙන් විදුලිය මිලදී ගැනීම සඳහා ගිවිසුම් අත්සන් කර තිබෙන බව විදුලිබල මණ්ඩලයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු තහවුරු කළේය. කෙසේ නමුදු ලංකා විදුලි ඉංජිනේරු සංගමයේ ප්‍රධාන ‍ලේකම් අවධාරණය කළේ ව්‍යාජ විදුලි කප්පාදුවක් පෙන්වා පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගන්නේ විදුලිබල මණ්ඩලයේ බලාගාරවලින් ප්‍රයෝජන නොගෙන බවයි.

“විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් මේවායේ ටෙන්ඩර් කැඳවනවා. නමුත් මතුගම සවිකර තිබෙන මෙගාවොට් 20 ක දැවිතෙල් බලාගාරය තවම විවෘත කරලාවත් නැහැ. තුල්හිරිය මෙගාවොට් 10 විදුලි බලාගාරය පැය 500ක් දුවලා කැඩුණා. කොළොන්නාව මෙගාවොට් 20 ක බලාගාරයෙන් මෙගාවොට් 10ක විදුලිය අරගෙන පස්සේ නවත්තලා දැම්මා” යැයිද ඔහු කිවේය.

මෙම බලාගාරවල ඇති විදුලි ජනන යන්ත්‍ර 2018 දී ඉන්දියාවෙන් මිලදී ගෙන තිබේ. එය කැඩී ඇත්තේ විදුලි බලාගාරයන්හි ජනන යන්ත්‍ර මෙරට උෂ්ණත්වයට නොගැළපෙන නිසා බවත් එය යුරෝපයේ උෂ්ණත්වයට නිෂ්පාදනය කළ ඒවා බවද රන්ජන් ජයලාල් පෙන්වා දෙයි. මෙහි ක්‍රියාත්මක වන්නේ විදුලි මාෆියාවක් බවද ඔහු ප්‍රකාශ කළේය.

ඉංජිනේරුවන් ඉදිරිපත් කරනු ලබන දිගුකාලීන ජනන සැලැස්ම ක්‍රියාත්මක නොකිරීම මෙම විදුලි අර්බුදයට හේතුව බව විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු ප්‍රකාශ කළේය. ලංකා විදුලි බල මණ්ඩලයේ සැලසුම් අංශයේ සිටින විදුලි ඉංජිනේරුවන් වසර 20කට මෙරටට අවශ්‍ය බලාගාර සම්බන්ධයෙන් ජනන සැලැස්මක් ඉදිරිපත් කරනවා. එය වසර දෙකෙන් දෙකට සංශෝධනය කරනවා. 2016න් පසු මහජන උපයෝගිතා කොමිසමෙන් අනුමත වූ ජනන සැලැස්මක් නැහැ යැයිද ඒ මහතා පෙන්වා දුන්නේය.

මහජන උපයෝගිතා කොමිසම සාම්පූර් බලාගාරය කපා හැරි බවත් එහි මෙගාවොට් 500ක විදුලි බලාගාරයක් ඉදිකිරීමට නියමිතව තිබූ බවත් සෞම්‍ය කුමාරවඩු ප්‍රකාශ කළේය. ජනන සැලැස්ම අනුමත කර ගැනීම සඳහා 2018 වර්ෂයේදී ඔවුන්ට වෘත්තීය අරගලයක නිරතවීමට සිදුවූ බවද ඔහු පෙන්වා දෙයි.

කෙරවළපිටියේ මෙගාවොට් 300 ක ද්‍රව වායු (LNG) බලාගාරයක් 2017දී ඉදිකිරීම් ආරම්භ කිරීමට අනුමැතිය හිමිවුවද එය මතෛක් ක්‍රියාත්මක වූවේ නැත. එහි ටෙන්ඩර් විවෘත කිරීමෙන් පසු ඇති වූ කඹ ඇදීමක් මත එය තවමත් කල් අදිමින් පවතියි. 2017දී ටෙන්ඩර් විවෘත කොට වැඩ ආරම්භ වූවේ නම් 2019 ජනවාරි වන විට එම බලාගාරයෙන් විදුලිය ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීමට හැකියාව ලැබෙනු ඇත.

එම බලාගාරය මේ වන විට චින රජය වෙත ලබාදීමට කටයුතු සැලසුම් කර තිබේ. එහෙත් තවමත් එම කටයුතුද ප්‍රමාද වෙමින් පවතියි.

ලංකාවේ විදුලි ඉල්ලුම සෑම වසරකම මෙගාවොට් 150කින් ඉහළ යන බව විදුලි ඉංජිනේරු සංගමයේ සභාපතිවරයා කීවේය. ඉල්ලුම වැඩිවුවද ඊට සමානව බලාගාර ඉදිවී නොමැත. ඒ අනුව අවුරුදු 4කට වරක් මෙගාවොට් 500 බැගින් බලාගාර ජාතික විදුලි පද්ධතියට එකතු විය යුතු බවද සභාපතිවරයා සඳහන් කළේය.

විදුලි ඉංජිනේරුවන් කියන ආකාරයට විදුලි බලාගාර ඉදිනොවුණේ මහජන උපයෝගිතා කොමිසම ඉංජිනේරුවන්ගේ ජනන සැලැස්මේ ඇති බලාගාර ප්‍රතික්ෂේප කිරීම නිසා දැයි අපි එහි මාධ්‍ය අධ්‍යක්ෂ ජයනාත් හේරත්ගෙන් විමසා සිටියෙමු.

මහජන උපයෝගිතා කොමිසම එහෙම බලාගාර ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අපි කටයුතු කරන්නේ ජාතික ප්‍රතිපත්තියකට අනුවයි. අපි යෝජනා කළේ ගල් අඟුරු බලාගාරවලින් මිදිලා ඹ්ව්ට් සුළං බලාගාර, සූර්ය බලාගාර වැනි සුනිත්‍ය බලශක්තියට යන්න කියලායි. ඔවුන් එයට එකඟ නොවන්නේ ඇයි කියලා අපට හිතාගන්න බැහැ. 2016 දී අපි විදුලිබල අමාත්‍යාංශයටත් රජයටත් ලියලා දැනුම් දුන්නා අලුත් බලාගාර ඉදිකරන්න ඕනා කියලා. නමුත් ඊට ඉංජිනේරුවන් උනන්දු වන්නේ නැත්තේ ඇයි කියලාත් අපි ප්‍රශ්න කරලා තියෙනවා.

මහජන උපයෝගිතා කොමිසමේ අදහස එයයි. මෙගාවොට් 1000ක බලාගාර ඉදිවිය යුතු තමයි අපි පෙන්වා දුන්නේ යැයිද ඔහු කීවේය.

කෙසේනමුත් වාලච්ච්ෙන, වැලිකන්ද යන ප්‍රදේශවල මෙගාවොට් 10 බැගින් වූ සුළං බලාගාර ඉදිකිරීමට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය දී තිබේ. ඊට අමතරව ගාල්ල හා තිරිකුණාම‍ලේ මෙගාවොට් 100 බැගින් වූ තාප බලාගාර දෙකක් ඉදිකිරීමටද කොමිසම අනුමැතිය දී තිබේ. එම නිසා ඉංජිනේරුවන් කරන චෝදනා පදනම් විරහිත බවත් නීත්‍යනුකූලව කළයුතු දේ කර තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.

විදුලි මාෆියාවක් පවතින බවට එල්ල වන චෝදනාවන් හි යම් සත්‍යතාවයක් පවතින බවද පෙනී යන්නේ මේ වන විට මෙරට රාජ්‍ය ආයතනවල පවතින ජෙනරේටර්ස් භාවිත නොකරන්නේ මන්ද යන ප්‍රශ්නය මතය. විදුලි බල මණ්ඩලයට අවශ්‍ය නම් ත්‍රිවිධ හමුදා හා ‍පොලීසිය වගේම තවත් රාජ්‍ය ආයතන ගණනාවකම ජෙනරේටරස් පවතියි. පවතින මෙගාවොට් 350ක අඩුව එම ජෙනරේටර්ස් මගින් නිපදවන විදුලිය විදුලි බල පද්ධතියට එකතු කර ගැනීමෙන් පියවා ගත හැකිය.

නමුත් එවැනි පිළියමකට කිසිවෙක් කටයුතු කර නොමැත. මන්ද රාජ්‍ය ආයතනයන් හි ඇති ජෙනරේටර්ස් (විදුලි උත්පාදන යන්ත්‍ර) සඳහා වියදම් කිරීමට වන්නේ ඩීසල්වලට හා එහි නඩත්තුවට පමණකි. එසේ තිබියදී මේ වන විට විදුලි බල මණ්ඩලය හදිසි මිලදී ගැනීම් ලෙස පෞද්ගලික අංශයේ බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට සුදානම් වේ.

එලෙස විදුලිය මිලදී ගැනීම තුළ අධික පාඩුවක් රටට අත්වීම වැළැක්විය නොහැක. මේ අතරේ ජනතාව බියට පත්ව සිටින්නේ අලුත් අවුරුද්දටත් විදුලි කපයිදෝ කියාය. නමුත් විදුලි බල මණ්ඩලය කියන්නේ සිංහල හින්දු අලුත් අවුරුද්දට විදුලිය ලබා දෙන බවය. එසේම ලබන මස 10 දායින් පසු විදුලි කප්පාදු නොකරන බවද විදුලි බල හා බලශක්ති ඇමැති රවි කරුණානායක ප්‍රකාශ කළේය. එහිදී ඔවුන් අපේක්ෂා කරනුයේ අවුරුදු කාලයේදී කර්මාන්ත ශාලා වැසෙන බැවින් විදුලි අවශ්‍යතාව අඩුවන නිසා හා පෞද්ගලික විදුලි බලාගාරවලින් විදුලිය ලබා ගැනීම නිසාය.

රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් මුහුදු ජලයෙන් විදුලිය නිපදවීමට උත්සාහ කරයි. එවැනි නව නිපැයුම් සඳහාද රජය උපකාර කළ යුතුය. එසේ නොමැතිව විදුලි බල මණ්ඩලය වැසි ප්‍රාර්ථනා කරමින් කරන ආශිර්වාද පූජාවන්වලින් මෙම ප්‍රශ්නයට විසඳුම් ලැබෙන්නේ නැත.

රටට අවශ්‍ය වනුයේ නිසි කලට විදුලි බලාගාර මෙන්ම අර්බුදය සමනය කර ගැනීමට අවශ්‍ය නිසි සැලසුම්ය. එසේ නොමැතිව කඹ ඇද ගැනීමෙන් අර්බුදය උග්‍රවනවා මිස අඩු නොවනු ඇත. අප මෙම අර්බුදය සෑම වසරකදීම මෙම කාලයේදී කතා කොට තිබේ නමුත් තවමත් එය විසඳී නැත. විදුලි අර්බුදයේදී ආණ්ඩුව හරියට හැසිරෙන්නේ වැසි කාලයට වඳුරන් ගෙවල් හදන්නට කතා කරනවා වගේය. වැස්ස තුරල් වූ පසුව වඳුරන් හදන ගෙවලුත් නැත. වැස්ස ලැබෙන විට ආණ්ඩුව ජල විදුලිය නිපදවනවා මිසක් යළිදු වරක් වියළි කාලයේදී එන විදුලි බල අර්බුදයට විසඳුම් සෙවීමට මහන්සි වන්නේ නැත.

ලසන්ත වීරකුලසූරිය

  1. පෞද්ගලික අංශය වහල්ලූ කරන නව කම්කරු පනත් කෙටුම්පත
  2. ආර්ථිකය නැංවීමේ වගකීම බැංකුවලට භාරදී තිබේ
  3. ජිනීවා දැලි පිහියෙන් කිරි කෑම
  4. ජිනීවා මර උගුල
  5. රජයේ සේවක වැටුප් ගෙවන්නට වත්කමක් නැති ආර්ථිකය
  6. දෙපැත්තකින් අර්බුදයකට මුහුණ පා ඇති තේ කර්මාන්තය
  7. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මරන්න පුළුවන්ද?
  8. නිදහස් දවසේවත් ඥානසාර හාමුදුරුවන්ට නිදහස ලැබෙයිද?
  9. අලුත්ම කෙල්ලෝ කොල්ලො ලක්ෂ 14ක් මෙදා සැරේ ඡන්ද ‍පොළේ
  10. රට බෙදෙන බව කියන ඔරුමිත්තනාඩුව සොයා ගියෙමු
  11. කොටුගොඩ මහනාහිමි ඉල්ලන සෙනට් සභාව
  12. නුදුටු ව්‍යවස්ථාවකට චෝදනා එල්ල කිරීම සාධාරණද? - මහාචාර්ය කේ.එන්. ඕ. සොයිසා
  13. ලෝක උරුම සිංහරාජය වනසමින් මාර්ග 02ක් ඉදිකෙරේ
  14. අපනයන නැංවීමෙන් රුපියල ශක්තිමත් කළ හැකිය
  15. සේනා මඩින්න ඩ්‍රෝන
  16. අයවැයෙන් වාර්තාගත සහන ලබාදිය නොහැක
  17. ඉතිහාසයෙන් අත්දැකීම් නැති ආර්ථිකයක් සමග නව වසරකට පා තැබීම
  18. රට කියන තරම් අගාධයකට වැටී නැත
  19. විදේශ මුදල් අලූතින් සොයා ගැනීමේ වගකීම
  20. විශ්වාසභංග යෝජනා නීතියට අනුව සම්මත වී නැහැ - නිතිඥ කණිෂ්ක විතාරණ
  21. දේශපාලන වියවුලෙන් ආර්ථිකයත් අවුලෙන් අවුලට
  22. දේශපාලන අර්බුදයක් වී පුපුරා ගියේ ආර්ථිකයේ දූෂණ සහ අක්‍රමිකතා
  23. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාවට එකඟයි - නීතිිඥ කණිෂ්ක විතාරණ
  24. ගෙදර ගැටුම් තිබියදී ණය දෙන්නේ කවුද?
  25. අලූත් ආණ්ඩුව හමුවේ ඇති ආර්ථික අර්බුද

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.