lakbima.lk

මෙ රට වගා කළ හැකි කිසිදු ආහාර බෝගයක් ආනයනය කිරීමට එළඹෙන වසරේ සිට බලපත්‍ර නිකුත් නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉකුත් දා ප්‍රකාශ කර තිබුණි.

මෙවුකලී කෘෂිකර්ම අමාත්‍යවරයකු විසින් බොහෝ කලකට පෙර කළ යුතුව තිබූ ප්‍රකාශයකි. නමුත් එය හුදු ප්‍රකාශයක් පමණක් නොවිය යුතු යථාර්ථයක් කරගත යුතු අනිවාර්ය කාරණයකි. එහෙත් අවාසනාවකට මෙන් මේ හා සමාන ප්‍රකාශ හිටපු ජනාධිපතිවරුන් මෙන්ම වත්මන් ජනාධිපතිවරයා වරින් වර කර ඇත්තේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වූ කලී ගොවි පවුලකින් රටේ නායකත්වයට පැමිණි පුද්ගලයෙකි. ඒ නිසාම දෝ ඔහු අවස්ථා ගණනාවකදී විදේශ රටවලින් සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කොට පරිභෝජනය කිරීම ලැජ්ජාවට කාරණයක් බව ප්‍රකාශ කර සිටියේය.

ද්‍රව්‍ය ආනයනය

වත්මන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 'ජාතික වගා වැඩසටහන' ආරම්භ කිරීම ලැබිය. ඒ කෘෂිකාර්මික අංශයේ ප්‍රබෝධයක් තුළින් ආහාරවලින් ස්වයං ‍පෝෂණය වීමේ අරමුණ උදෙසාය. එසේ කටයුතු කළ ජනාධිපතිවරයාටම මේ රටේ සහල් මාෆියාවට එරෙහිව 'එක රටකින් නොව රටවල් පහකින් හෝ සහල් ආනයනය කොට සහල් මිල ගැටලුවට විසඳුම් ලබා දෙනවා'' යැයි පැවැසීමට සිදුවිය. ඒ අපි ගත වූ අවුරුදු තුන හතර තුළ සහලින් ස්වයං ‍පෝෂිත වී නොමැති නිසාය.

එපමණක් ද නොව වත්මන් රජයේ දෙවැනි අයවැය ‍ලේඛනය ඉදිරිපත් කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා කියා සිටියේ වසරකට රුපියල් කෝටි 20,000 කට වඩා වැඩි මුදලක් ආහාර කිරීම සඳහා වැය වෙන හෙයින් කෘෂිකර්මාන්තයට ඉහළ වටිනාකමක් ලබා දෙමින් මෙවර අය-වැය ඉදිරිපත් කරන බවය. එහෙත් අපි අද වන තුරු ද සහල් ආනයනය කරමින් සිටින්නෙමු. සහල් මතු නොට බඩඉරිඟු ද අද දවසේ අපි ආනයනය කරන්නෙමු. මහින්ද අමරවීර කෘෂිකර්ම අමාත්‍යවරයාටම අමතක වූ දෙයක් ඇත. එනම් ඔහු ද කැබිනට් අමාත්‍ය ධුරයක් දරමින් සිටි මීට සිව් වසරකට පමණ පෙර අප සහලින් සහ බඩ ඉරිඟුවලින් ස්වයං‍පෝෂිතව සිටි බවය. 'ඊළඟ කන්නයේ වී ගබඩා කිරීම සඳහා ඉඩ ලබා ගැනීම පිණිස අතිරික්ත වී හෝ සහල් තොග අපනයනය කිරීමට අපට සිදු විය. එසේම වත්මන් ආණ්ඩුව බලයට පත් වූ 2015 වර්ෂයේ මුල් කාර්තුවේ ලැබුණු වී අස්වැන්න ගබඩා කිරීමට ස්ථානයක් නොමැති වීමෙන් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටු‍පොළේ ගබඩා පර්යන්තය ඒ සඳහා යොදා ගැනීම සිදුවිය. එය ආන්දෝලනාත්මක සිදුවීමක් වුවත් ඉහළ වී අතිරික්තයක් පිළිබඳ සුබ ලකුණු ගැබ්ම පැවැතුණි.

කෙසේ වෙතත් මේ වන විට තත්ත්වය ඉතාම භයංකර වී ඇත. සහල්, බඩඉරිඟු මතු නොව ‍පොල් පවා ආනයනය කිරීමට ආණ්ඩුවට සිදුවිය

නිෂ්පාදනය

කෘෂිකාර්මික නිෂ්පාදනය බරපතළ ලෙස කඩා වැටීමට ලක් වූ අතර එය නියඟයට හා ගංවතුරට බාර කොට අත පිසදා ගැනීමට රජයේ වගකිවයුතු අංශ කටයුතු කළ අයුරු දක්නට ලැබුණි. කෙසේ වෙතත් මෙහි ප්‍රතිඵලය භයානක වූ අතර අප අද මුහුණ දී ඇති විනිමය ගැටලුව වඩාත් උග්‍රවීමට මෙය හේතුවක් වී තිබේ. අද වන විට ඇමෙරිකන් ඩොලරයක් සඳහා රුපියල් 174.12 ක් ගෙවීමට සිදු වී තිබෙන පසුබිමක පවා කුරක්කන්, කව්පි, මුංඇට, බඩඉරිඟු, රටකජු, සෝයා, තල, වියළි මිරිස්, ගම්මිරිස්, වියළි හාල්මැස්සන්, කරවල ආදිය තොග පිටින් ආනයනය කරන්නෙමු. ඉකුත් වසරේ මෙරටට ආනයනය කොට තිබෙන රටකජු ප්‍රමාණය පමණක් මෙට්‍රික් ටොන් 4000 කි.

බඩඉරිඟුවලින් ශ්‍රී ලංකාව ස්වයං‍පෝෂිතව තිබුණි. නමුත් අද තත්ත්වය වෙනස්ය. රුපියල් මිලියන 6627 ක් වැයකොට බඩඉරිඟු ආනයනය කොට ඇත. රටකජු ආනයනය සඳහා රුපියල් 689 ක් ද කජු ආනයනය සඳහා රුපියල් මිලියන 750 ක් ද, කුරහන් ආනයනය සඳහා රුපියල් මිලියන 243ක් ද වැය කොට ඇත. මෙවැනි පසුබිමක් යටතේ රටේ කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් හා අමාත්‍යවරයකු සිටින්නේ කුමකටදැයි කාට හෝ සිතුනහොත් පුදුම විය යුතු නැත.

වගකීම

ඇත්ත වශයෙන්ම මෙහි වගකීම පවතින රජය මතු නොව වෙනත් බලයේ සිටි සෑම රජයන්ම බාරගත යුතුය. කෘෂිකර්මාන්තයේ නවෝදයක් ඇති කරනවා යැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සමයේදී 'වගා ලංකා වගා සංග්‍රාමය' වැඩසටහන කරළියට පැමිණියේය. නමුත් එය සෝඩා බෝතලය කැඩුවා හා සමාන විය. ඉන්පසුව මහින්ද රාජපක්ෂ රජය සමයේ 'දිවිනැගුම ගෙවතු වගා දශ ලක්ෂයේ වැඩසටහන' හඳුන්වා දෙනු ලැබිය. ‍පොහොර සහනාධාරය ප්‍රදානය කිරීමත් සමග එමගින් කිසියම් ප්‍රගතියක් අත්කරගනු ලැබුවත් එය දිගු කාලීනව පවත්වාගෙන යාමට අපහසු විය. මෙම වැඩසටහන යටතේ සහල් සහ බඩඉරිඟුවලින් ශ්‍රී ලංකාව ස්වයං ‍පෝෂිත වීමට හැකි වුවද ගබඩාකරණය, වෙළෙඳ‍පොළ, අනාගත වෙළෙඳ‍පොළ අපේක්ෂා වැනි කාරණා නිවැරදි ලෙස කළමනාකරණය කර ගැනීමට නොහැකි වීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි විය.

අද තත්ත්වය වඩාත් බැරෑරුම් වී ඇත්තේ රටේ ආහාර නිෂ්පාදනය ජාතික අවශ්‍යතාව හා කිසිසේත්ම ප්‍රමාණවත් නොවීමය. එය අනිවාර්ය ප්‍රතිඵලය ආහාර ආනයනය කිරීමට සිදු වීමය. විනිමය අනුපාතයේ දැඩි අවප්‍රමාණය හමුවේ ආහාර ද්‍රව්‍යවල දේශීය මිල ගණන් ඉහළ යාම වළක්වා ගැනීම අසීරුය.

එළැඹෙන වසරේ සිට මෙරට වගා කළ හැකි කිසිදු ආහාර බෝගයක් ආනයනය කිරීමට බලපත්‍ර නිකුත් නොකරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා පවසා ඇත්තේ ධාන්‍ය වර්ග ආනයනකරුවන් සමග කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදීය. මෙය යහපත් ප්‍රවේශයකි. එහෙත් ගැටලුව නම් අමාත්‍යවරයාගේ කාල රාමුවයි. මෙම වසර ඉකුත් වීමට තව ඇත්තේ මාස දෙකක පමණ කාලයකි. මෙම කාලය ඇතුළත දේශීය ආහාර නිෂ්පාදනය ජාතික අවශ්‍යතාවට සරිලන පරිදි වර්ධනය කර ගත හැක්කේ කෙසේද?

කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීමට සමත් වැඩපිළිවෙළක් හෝ ප්‍රතිපත්තියක් කරළියට පැමිණ නොමැත. අපනයනය ඉලක්ක කර ගත් නිෂ්පාදනයේ වර්ධනයක් සිදු විය යුතු වුවද ප්‍රමිතිය අවිචාරවත් බව හා වංකත්වය නිසා තිබෙන වෙළෙඳ‍පොළ ද අපට අහිමි වී ගොස් ඇත. ඊට හොඳම උදාහරණය අන්නාසි සහ මඤ්ඤාෙක්කා වෙළෙඳ‍පොළයි. ඉහත දැක්වූ බෝග දෙක සඳහා පසුගිය කාලයේ ඉතා ඉහළ ඉල්ලුමක් ජාත්‍යන්තර වෙළෙඳ‍පොළේ පැවැතුණි. ඒ අප රසායනික ‍පොහොර හා පළිබෝධනාශක නොයොදා උක්ත බෝග වගාකරන බවට ආනයනකරුවාට ලබා දී තිබූ සහතිකයන් නිසාය. එහෙත් මෙරට නිෂ්පාදකයන් දිගින් දිගටම රසායන ද්‍රව්‍ය හා හෝමෝන මිශ්‍රිත ‍පොහොර යෙදීම තුළින් මෙරටට පෑදී තිබූ අන්නාසි හා මඤ්ඤාෙක්කා වෙළෙඳ‍පොළ අපට අහිමි විය. අපනයනය කරනු ලැබූ අන්නාසි හා මඤ්ඤාෙක්කා කන්ටේනර් පිටින් පෙරළා ආපසු එවනු ලැබිය. එමගින් අපට අහිමි වුණේ අපනයන වෙළෙඳ‍පොළත් පමණක් නොව රටේ කීර්ති නාමයට ද බරපතළ හානියක් සිදු වූයේය. මේවා පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශය හෝ අදාළ බලධාරීන් ගෙන ඇති පියවර කුමක්ද?

වසරකට රුපියල් කෝටි 20,000 කට වැඩි ප්‍රමාණයක් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට වැය කරන රටකට ආර්ථික ස්වාධීනත්වයක් පිළිබඳ කතාකළ හැකි වේද? ආසියානු කලාපයේ ශ්‍රී ලංකාව හැරුණු විට බොහෝමයක් රටවල් ආහාරවලින් ස්වයං ‍පෝෂිතය. ශ්‍රී ලංකාව වටා ඇත්තේ මහ සයුරකි. එහෙත් අපට හාල්මැස්සන්, කරවල හා මාළුවලින් ස්වයං‍පෝෂිත වීමට නොහැකි වී තිබේ. අපි හාල් මැස්සන් ආනයනය කරනු ලබන්නේ සිංගප්පූරුවෙන්, තායිලන්තයෙන් හා මාලදිවයිනෙනි. මී පැණි හා මුං ඇට ආනයනය කරනු ලබන්නේ ඕස්ට්‍රේලියාවෙනි. කුරහන්, කව්පි, සෝයා බෝංචි ටික ඉන්දියාවෙනි. මීට වඩා තවත් ලැජ්ජාවක් අපට තිබිය හැකිද?

සාලිය ජනක කුමාර

Page 5 of 9

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.